ඥාන බලය වනාහි සිව් වැදෑරුම් විශාරද නුවණ, අටපිරිස්හි කම්පා නොවන නුවණ, සිව් යෝනීන් පිළිබඳ පිරිසිඳි නුවණ, පංච ගති පිළිබඳ පිරිසිඳි නුවණ, තෙ සැත්තෑ නුවණ, සත් සත්තෑ නුවණ සහ අනෙක් දහස් ගණන් ඥානයෝ මේ ඤාණ බලය ම වේ.
තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේට පමණක් ලැබෙන,
ලෝකධාතුවෙහි පසේ බුදුරජාණන් බුදුරජාණන් වහන්සේලාට නොලැබෙන, අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක ආදි රහතන් වහන්සේලාට ද නොලැබෙන, සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ම ලැබෙන, අසාධාරණ ඤාණ හයයි.
ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණං බුද්ධ ඤාණං
සත්තානං ආසයානුසයේ ඤාණං බුද්ධ ඤාණං
යමකපාටිහාරියේ ඤාණං බුද්ධ ඤාණං
මහාකරුණා සමාපත්තියා බුද්ධ ඤාණං
සබ්බඤ්ඤුත ඤාණං බුද්ධ ඤාණං
අනාවරණ ඤාණං බුද්ධ ඤාණං
ඉමානි චුද්දස බුද්ධඤාණානි, ඉමෙස් අට්ඨ ඤාණානි සාවක
සාධාරණානි “ඡ”ඤාණානි අසාධාරණානි සාවකේහී ති.
පළමු වැන්න, ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණය
දෙවැන්න, ආසයානුසයේ ඤාණය
තෙවැන්න, යමකපාටිහාරියේ ඤාණය
සිවුවැන්න, මහාකරුණා සමාපත්ති ඤාණය
පස්වැන්න, සර්වඥතා ඤාණය
හයවැන්න, අනාවරණ ඤාණය
බුද්ධඥාන තුදුසෙකි: දුඃඛසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛසමුදයසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛනිරෝධසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ අත්‍ථපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ ධම්මපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ නිරුත්තිපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ පටිභානපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ ඉන්‍ද්‍රියපරාවරාතාඥානය බුද්ධඥාන යැ ආශයානුශයඥානය බුද්ධඥාන යැ යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය බුද්ධඥාන යැ මහාකරුණාසමාපත්තියෙහි ඥානය බුද්ධඥාන යැ සර්‍වඥතාඥානය බුද්ධඥාන යැ අනාවරණඥානය බුද්ධඥාන යි. මොහු තුදුස් බුද්ධඥානයෝ යි. මේ තුදුස් බුද්ධඥානයන් අතුරෙන් ඥානයෝ අටදෙනෙක් ශ්‍රාවකසාධාරණ වෙති. ඥානයෝ සදෙනෙක් ශ්‍රාවකයන් හා සමග අසාධාරණ වෙත්.
ලොව්තුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඤාණ සාගරයක්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඤාණ උත්පාදනය කරන්නට ලෝකයේ තවත් සර්වඥයන් වහන්සේ කෙනෙක් හැර සමතෙක් නෑ.
ෂට් අසාධාරණ ඤාණ පමණක් නොව, සෙසු සියලු ම ඤාණත් ශ්‍රාවකයන් වහන්සේලාට ඒක දේශයකින් සාධාරණ වුවත්, සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඊට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන්, ලක්ෂ කෝටි ගුණයෙන්, අසංඛ්‍ය ගුණයෙන්, අසාමාන්ත ලෙස ඒ ඤාණ ධාතුන්ගෙන් සමන්නාගත වෙනවා. චුද්දස බුද්ධ ඤාණ නමින් අපේ දේශනාවේ සඳහන් වෙනවා බුද්ධ ඤාණ දාහතරක්, ඒවා අතරින් අටක්, ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙනවා. එසේ නමුත් ඒ ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන ඤාණ අට ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන්නේ ඒක දේශයකින්, එක්තරා ප්‍රමාණයකින් පමණයි. ලොව්තුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට ලැබෙන ඒ ඤාණ අසාමාන්ත ඤාණ හැටියට හඳුන්වනවා.”දුක්ඛ ඤාණං බුද්ධ ඤාණං” කිව්වාම දුක්ඛ සත්‍යය පිළිබදව ලැබෙන ඤාණයක්. මේ දුක්ඛ සත්‍යය පිළිබදව අවබෝධ ඤාණය, ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන, දුක්ඛ ඤාණයට වඩා අසංඛෙය්‍ය, අප්‍රමෙය්‍ය ගුණයකින්, භාග්‍යවත් බුදුරජාණන්. වහන්සේගේ දුක්ඛ ඤාණය අසාමාන්තයි. මේ වාගේ තමයි සෑම ඤාණ ධාතුවක් ම, සර්වඥයන් වහන්සේට හා ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ ඤාණ වලිනුත් භාග්‍යවතුන් වහන්සේ අසාමාන්තයි, ශ්‍රාවකයන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ද, නොලැබෙන සාරාසංඛ්‍යෙ කල්ප ලක්ෂ ගණන්, අට අසංඛෙය්‍ය කල්ප ලක්ෂ ගණන්, සොළොසාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන්, විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂ ගණන් මුළුල්ලේ පාරමී සම්පූණ කරලා, ලොව්තුරා බුදුවන සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට පමණක් ලැබෙන ශ්‍රෙෂ්ඨ ඤාණ හයයි ෂට් අසාධාරණ ඤාණ නමින් හඳුන්වන්නේ.
හේතුව හේතුව වශයෙන්, යම් හෙයකින් හේතුව වනාහි එහි ඵලයට පැමිණ සිටීද? එයට අයත් පැවතුම් ඇති හෙයින් හටගනීද? පවතීද? එහෙයින් හේතුවයැයි කියයි. එය භාග්‍යවතුන් වහන්සේ යම් යම් ධර්මයන්ගේ ඉපැත්ම සඳහා යම් යම් ධර්ම හේතුප්‍රත්‍යය වේද? ඒ ඒ දේ හේතුව නම් වේ. යම් යම් ධර්ම යම් යම් ධර්මයන්ගේ ඉපැත්ම සඳහා හේතුප්‍රත්‍යය නොවේද? ඒ ඒ කරුණ අහේතුව යැයි දන්නේ හේතුවද, හේතු වශයෙන් අහේතුවද අහේතු වශයෙන් තත්වාකාරයෙන් දැනගනී. (දනී) යම් ඤාණයකින්, මෙම ඨානා ඨානඤාණය, තථාගතයන් වහන්සේගේ තථාගත බලය නම් වේයයි අර්ථයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව නියම අවබෝධයක් ලැබෙන්නට නම්, මෙම සර්වඥතා ඤාණ අපි තේරුම් කරගන්නට ඕනෑ.
එ බැවින් තෙසැත්තෑ ඤාණ නම්.
01.සුතමය ඤාණය
ධර්ම දේශකයන් වෙත කන් යොමු කිරීමෙන් අසා දැනගත් ධර්මයන් කෙරෙහි පවත්නා වූ බෙදීම් බවට ගිය ප්‍රඥාව සුතමය ඤාණයයි. කන් යොමු කිරීමෙහි නුවණ සුතමය ඤාණය වශයෙන් සඳහන් කළ හැකියි.
02.සීලමය ඤාණය
අසා හික්මීමෙහි නුවණ සීලමය ඤාණයයි. සුතමය ඤාණය තුළින් අසා දැනගත් ධර්මය මනා ලෙස ශ්‍රවණය කර එයට අනුව හික්මීමෙහි නුවණ සීලමය ඤාණයයි.
03. සමාධි භාවනාමය ඤාණය
සීලමය ඤාණයෙන් සංවර කළාවූ එක් අරමුණක සිත මනා ලෙස පිහිටුවා ගැනීමේ ප්‍රඥාණ සමාධි භාවනාමය ඤාණයයි. කුසල් සිතෙහි එකඟකම සමාධිය යන අදහසයි. කුසල් සිතේ පවත්නා නොවිසිරුණුගතිය සමාධියයි.
04.ධම්මට්ඨිති ඤාණය
නොදැනීම මෝඩකමට හේතුවකි.හේතු මුල්කොට සකස් වූ දේවල් හේතු නිසා හටගත් ඒවාය. මෙලෙස හේතු විමසා බැලීමේ නුවණ ධම්මට්ඨති ඤාණයයි. සත්වයා යනු කවරෙක්ද? ඔහු හටගත්තේ කෙසේද? මෙම කරුණු දෙකට නිවැරදි පිළිතුරු සොයා ගැනීමට උපාකාරවන නුවණයි.
05.සම්මසන ඤාණය
අතීත,අනාගත, වර්තමාන, ධර්මයන් පිළිබඳ කෙටි කොට අනිත්‍යාදී වශයෙන් වටහා ගැනීමේ නුවණයි. අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණයට අනුව වටහා ගැනීම සම්මසන ඤාණයයි.
06.උදයබ්බ ඤාණය
විපරිනාමය දක්නා නුවණ, වෙනස්වන බව වටහා ගෙන කටයුතු කරන නුවණ උදයබ්බ ඤාණයයි. වර්තමාන නාම හා රූපවල ඉපදීම හා විනාශය බලන නුවණ ලෙස මෙය හැඳින්වේ. (උදය ඉපදීම ද දක්නා බවයි) උප්පත්තිය නිසා මරණය සිදුවිය. එලඹ සිටි සිහියෙන් විපරිනාමය අවබෝධ කරගැනීමයි.
07.භංග ඤාණය
ඉපදෙමින් විනාශවෙමින් පවත්නා වූ රූපාදී වූ ධර්ම සමූහය පිළිබඳ අනිත්‍යතාව වටහා ගැනීමයි.අනිත්‍යය ලෙස නුවණින් බලමින් ඉපදීම හැර විනාශය භංගයට අනුව බැලීමෙහි නුවණයි.
08. ආදීනව ඤාණය
භව වශයෙන් වැටහීමේ ප්‍රඥාව ආදීනව ඤාණ නම්වේ. භය වශයෙන් වැටහීමේ යම් නුවණක් ඇද්ද යම් ආදිනව නුවණක් වේද යම් කලකිරීමක්වේද යනු එකම අර්ථයයි. සංස්කාර ධර්මවල භේද දැකීමෙන් ආදීනව ඤාණය උපදී. බිය ඇතිවූ පසු ආදීනව ඤාණය ඉපදීම ධර්ම නියාමයයි.
9.සංඛාරුපෙක්ඛා ඤාණය
කිසිම සංස්කාර ධර්මයක් ආත්මසාරය වශයෙන් නොගෙන ඒවා කෙරෙහි මැදහත් බවක් දක්වන නුවණ සංඛාරුපෙක්‍ඛා ඤාණයයි.
10. ගොත්‍රභු ඤාණය
බාහිර වු සංස්කාර නිමිත්තෙන් නැගිටීම වු පෙරළීමෙහි ප්‍රඥාව ගොත්‍රභු ඤාණයයි. අසංඛත ධාතුව වූ නිර්වාණ ධර්මයෙන් පිටතට පවතින හෙයින් සියලු සංස්කාර බාහිර වේ. පෙරලීම නම් ඒ සංස්කාර නිමිත්තෙන් සිත පෙරළීමයි. නිවන කෙරෙහි සිත පැවතීමයි. මෙලෙස සංස්කාර නිමිතිවලින් නැගිට නිවනට පවතින ප්‍රඥාව ගොත්‍රභු ඤාණයයි.
11.මග්ග ඤාණය
මග්ග යන්නට අදහස් දෙකක් ඇත.සෙවීම, මැරීම යනුවෙනි. සොයනුයේ නිවනයි. මරනුයේ කෙලෙස්ය. මෙම දෙකම ආර්ය මාර්ගයේ සිදුවන නිසා එයට යෙදූ නුවණ මග්ග ඤාණයයි.
12. ඵල ඤාණය
ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා බොහෝ සෙයින් ගන්නා වූ උත්සාහය උත්සාහයාගේ සංසිදීමේ නුවණයි. සංස්කාර ධර්මවල ත්‍රිලක්‍ෂණය පිළිබඳ විදර්ශනා කොට ප්‍රතිඵලය ලබාගැනීමට යෙදූ සිත හා නුවණ ඵල ඤාණයයි.
13. විමුක්ති ඤාණය
වනසා දමන ලද සිඳ දමන ලද කෙලෙස් සමූහය දැකීමෙහි ප්‍රඥාව විමුක්ති ඤාණයයි. ආර්ය මාර්ගයට පත් යෝගාවචරයෝ මේ මාර්ගයෙන් මෙම කෙලෙස් නැසූ බවත්, මා වෙත ඉතිරි වී ඇති බවත් ලෙසින් සිහිකර බැලීමේ නුවණ විමුක්ති ඤාණයයි. රහත්බව ලැබූ අයට නොව එය අවබෝධය ලබමින් සිටින අයට නොනැසූ කෙලෙස් සිහිකර බැලීමේ හැකියාව තිබේ.
14.පච්චවෙක්‍ඛණ ඤාණය
මාර්ග ඤාණයන්හි රැස්වූ මාර්ග – ඵල චතුරාර්ය සත්‍යය ධර්මයන් දැකීමේ නුවණ පච්චවෙක්‍ඛණ ඤාණයයි. විමුක්ති ඤාණයේදි එක් මෙනෙහි කිරීමකි. එහිදී කරනුයේ කෙලෙසුන් පමණකි. මෙම ඤාණය තුළින් සෙසු සිහිකල යුතු ධර්ම ඇද්ද එකී සියල්ල මෙනෙහි කරයි.
15.වත්‍ථුනානත්ත ඤාණය
වත්‍ථූ යනු සිත් ඉපදීමට හේතුවන විවිධ වූ වස්තුන්ය. එබදු වස්තු 06 කි. ඇස, කන නාසය, දිව,ශරීරය , මනස යනුවෙනි.
නා ත්ත යනු පවතින විවිධත්වයයි.ඇසෙහි ආකාරය එක ක්‍රමයකි. කනේ ආකාරය තව ක්‍රමයකි.ඇස, කන නොවේ. කන ,ඇස නොවේ. එය පිළිබඳ පවතින නිවැරදි දැනීම වත්‍ථුනානත්ත ඤාණයයි.
16.ගොචරනානත්ත ඤාණය
බාහිර හා පිටත රූප හා ආයතන පිළිබඳව මනාව දැනීමේ නුවණ ගෝචරනානත්ත ඤාණයයි. අධ්‍යාත්මික දෙයින් බැහැර වූ රූප -සද්ධා, ගන්ධ , රස,ඵොට්ඨබ්බ ධම්ම යන බාහිර ආයතන පිළිබඳ මනා දැනීම ගෝචරනානත්ත ඤාණයයි.
17.චරියානානත්ත ඤාණය
හැසිරීම නම් අරමුණෙහි හැසිරීමයි. අරමුණෙහි හැසිරීම මෙනෙහි කිරීමේ ප්‍රඥාව චරියානානත්ත ඤාණයයි. අරමුණ පිළිබඳ කිනම් අයුරකින් පවතීද යන්න විමසා බලන නුවණයි.
18.භුමිනානත්ත ඤාණය
භූමි යනු කොටස යන අරුත දේ. සතර ධර්මයන් පිළිබඳ දන්නා නුවණ එනම්, කාමාවචර භූමි,රූපාවචර භූමි, අරූපාවචර භූමි. ලෝකෝත්තර භූමි යන මේවායේ පවතින වෙනස් ස්වභාවය සැලකීම හෙවත් මනාව දැන ගැනීමේ නුවණ භූමි නානත්ත ඤාණයයි.
19.ධම්මනානත්ත ඤාණය
ධර්ම නවයක් පිළිබඳ දැනීෙමේ ප්‍රඥාව ධම්මනානත්ත ඤාණයයි. කාමාවචර ධර්ම කුසල වශයෙන්ද අකුසල් වශයෙන්ද දනී.අව්‍යකෘත වශයෙන් දනී. රූපාවචර ධර්මයන් දනී.අව්‍යකෘත වශයෙන් දකී. අරූපාවචර ධර්මයන් කුසල් වශයෙන් දනී. අව්‍යකෘත වශයෙන් දනී. අරියාපන්න ලෝකෝත්තර ධර්මයන් කුසල වශයෙන් දනී. අව්‍යකෘත වශයෙන් දනී යන මෙ නව ආකාරය මනා ලෙස දක්නා නුවණයි.
20. ඤාතට්ඨ ඤාණය
විශේෂ දැනීමෙ ප්‍රඥාවයි. ඤාතට්ඨ ඤාණයයි. එම ධර්මයන්ගේ ලක්‍ෂණ,රසාදිය පිළිබඳව වෙන වෙනම දැනීමෙහිලා උපකාරිවන නුවණයි. රූපය අනිත්‍යය. දුක්ඛයි. අනාත්මය වශයෙන් දැකීමට හැකිවීමයි.
21.තීරනාටිඨ ඤාණය
පිරිසිද දැනීමේ නුවණ තීරනාටිඨ ඤාණයයි. මාර්ග ඵල ලාභිත්වයෙන් මෙම ඤාණය සම්පූර්ණ වේ.
22. පරිච්චාගට්ඨ ඤාණය
ප්‍රහාණය කිරීමේ ප්‍රඥාව පරිච්චාගට්ඨ ඤාණයයි. කෙලෙස් සහිතව සිටි කළ නිත්‍ය වශයෙන් සිතු දේවල් පිළිබඳව වැරදි අදහස් ඉවත් කොට දැකීමේ නුවණ පරිච්චාගට්ඨ ඤාණයයි.
23.එකරසට්ඨ ඤාණය
වැඩීමෙහි නුවණ එකරස්ට්ඨ ඤාණයයි. වැඩීම නම් විදර්ශනාව වැඩීමයි. එහි ඇති චිත්ත සුඛය හිතෙහි ඇති සැපය ක්‍රියා වශයෙන් එකක්මය. එනම් ඇලීම , ගැටීම ආදිය අත්හැරීමයි. විදර්ශනාවේ ඇත්තේ එකම රසයකි. එනම් විමුක්ති රසයයි.
24.ඵුසනට්ඨ ඤාණය
ළඟා කරගැනීමේ ප්‍රඥාව ඵුසනට්ඨ ඤාණයයි. නිවන් දැකීම සඳහා හෝ ඵල ලාභිත්වය වශයෙන් හෝ පවතින ඥානයන් නුවණින් හැප්පීම හෙවත් ස්පර්ශ කිරීමට හැකි නුවණ ඵුසනට්ඨ ඤාණයයි.
25.අත්‍ථපටිසම්භිදා ඤාණය
අර්ථය හා ඵලය දෙකෙහි වෙන වෙනම පවතින නොයෙක් අයුරු දැනගන්නා නුවණ අත්‍ථපටිසම්භිදා ඤාණයයි.
26.ධම්ම පටිසම්භිදා ඤාණය
ආර්ය මාර්ගය කුසලය අකුසලය හේතු යන පස්වැදෑරුම් හේතුන්ගේ විවිධත්වය දැකීමේ ප්‍රඥාව ධම්මපටිසම්භිදා ඤාණයයි. ආර්ය මාර්ගයේ යෙදෙන ධර්මයන් කෙරෙහි පමණක් පවතින්නකි.
27.නිරුත්ති පටිසම්භිදා ඤාණය
වචනයත් වචනයේ අරුතත් දන්නා වූ ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදා ඤාණයයි. ආර්ය මාර්ගයේදී භාවිතා වන වචනත් ඒවායේ අර්ථයන්වල විවිධ අරුත් මනා ලෙස අවබෝධ කරගැනීමේත් ඤාණයයි.
28.පටිභාන පටිසම්භිදා ඤාණය
අර්ථ,ධර්ම, නිරුක්ති යන ඒවායේ විෂයන්වල ඇති වෙනස් අයුරු වැටහීමේ නුවණ පටිභාන පටිසම්භිදා ඤාණයයි.
29.විහාරට්ඨ ඤාණය
වෙනස් වශයෙන් පවතින විහරණයන්හි විමසීම්වල ප්‍රඥාව විහාරට්ඨ ඤාණයයි. විහාර යනු අනිත්‍ය පිළිබඳව ත්‍රිවිධ විදර්ශනාවෙන් විසීමයි. එනම් අනිත්‍යානු දර්ශනා විහරණය, දුක්ඛානු දර්ශනා විහරණය, අනාත්මානු දර්ශන විහරණයයි. වෙන් වෙන්වූ විමසීම පිළිබඳ නුවණ විහාරට්ඨ ඤාණයයි.
30.සමාපත්තට්ඨ ඤාණය
වෙනස් වශයෙන් පවතින සමාපත්තීන්හි සමවැදීමේ ප්‍රඥාව සමාපත්තට්ඨ ඤාණයයි.
31.විහාරට්ඨ ඤාණය
ඵල සමාපත්තියට පෙර සංඛාරුපෙක්‍ඛා ඤාණයෙහි සිටියහුගේ විදර්ශනාව, විහාර පිලිබඳ වෙනස් බවෙහි නුවණ විහාරට්ඨ ඤාණයයි.
32.අනාන්තරික සමාධි ඤාණය
තමාගේ පැවැත්මට අනතුරුව නියම ලෙස ඵල ලබාදෙන ආනන්තරික නම් ඇති මග්ග සමාධිය (මාර්ග අවස්ථාවට පත්වීම) සමඟ යෙදුනා වූ නුවණ ආනන්තරික සමාධි ඤාණයයි.
33.අරණ විහාර ඤාණය
කෙලෙස් නොමැතිව විසීම මේ නම්වේ. රාගාදී කෙලෙස්වලට “ රණ”නම්වේ. මෙම කෙලෙස් නිසා සත්වයෝ හඬා වැලපෙති.
34. නිරෝධ සමාපත්ති ඤාණය
ප්‍රථම ධ්‍යානයට සමවැදීමෙන් පිළිවෙළින් චිත්ත, චෛතසිකයන්ගේ පැවැත්ම නතරවීම නිරෝධ සමාපත්ති ඤාණයයි.
35.පරිනිබ්බාණ ඤාණය
මනාව දන්නහුගේ කෙලෙස්වලට ස්කන්ධවලද පැවැත්ම අවසාන කිරීමේ ප්‍රඥාව පරිනිබ්බාණ ඤාණයයි. ඤාණයේ දියුණුම අවස්ථාවට මෙය ගෙනේ.
36.සමසීසට්ඨ ඤාණය
සියලු ධර්ම මනාලෙස සඳීමෙහි ද, නිරුද්ධ කිරීමේද,නොඉපදවීමේද නුවණ සමසීසට්ඨ ඤාණයයි. නව ලෝකෝත්තර මාර්ගයන්හිදී මනාකොට සිඳීම නම් නැවත නූපදින පරිද්දෙන් ඉවත්කිරීමයි.
37.සල්ලෙඛට්ඨ ඤාණය
විරුද්ධ ධර්ම මනාලෙස ලියා දමයි. කපා දමයි. මනාලෙස සිඳිනු ලබයි. විරුද්ධ ධර්ම නම් දුෂ්ශීල බව වැනි අලාමක බව සිඳනු ලබයි. එහෙයින් ඒ හා යෙදුන නුවණ සල්ලෙඛට්ඨ ඤාණයයි.
38.විරියාරම්භ ඤාණය
වීර්යය පිළිබඳ ආරම්භය පටන් ගැනීම පිළිබඳ නුවණ විරියාරම්භ ඤාණයයි.නොමැලි බව, නොපසුබට උත්සාහය, රුකුල්දීම, උත්සාහය ඇරඹීම යන මෙතෙක් පැවති ගති පිළිබඳ යෙදුනා වූ ප්‍රඥාව විරියාරම්භ ඤාණයයි.
39.අත්‍ථ සංදස්සන ඤාණය
නොයෙක් තේරුම් අනුන්ට මනාලෙස දැක්වීමට, දහම් පදයක යම්තාක් තේරුම් ඇද්ද සියල්ල අසා සිටින අයට අවබෝධ වන ලෙස පැහැදිලි වන ලෙස දේශනා කිරීමට ඇති ඥානය අත්‍ථසංදස්සන ඤාණයයි.
40.දස්සන විසුද්ධි ඤාණය
ලෞකික ධර්ම හා ලෝකෝත්තර ධර්ම පිළිබඳව ගොනු කිරීම කැටි කිරීම ඇති හැකියව දස්සන විසුද්ධි ඤාණය වේ.
41.ඛන්ති ඤාණය
ප්‍රකට ලෙස දැනගන්නා ලද ප්‍රඥාව ඛන්ති ඥාන නම්වේ. පංචස්කන්ධය පිළිබඳව කොටස් වශයෙන් ගෙන අනිත්‍යය වශයෙන් බැලීම ඛන්ති ඤාණයය.
42. පරියොගාහන ඤාණය
නුවණින් අනිත්‍ය ලක්‍ෂණයන් ස්පර්ශ කිරීමට ඇති නුවණ පරියොගාහන ඥානයයි. ත්‍රිලක්‍ෂණය, සංස්කාර ධර්ම ස්පර්ශ කිරීමට ඇති හැකියාව.
43.පදෙසවිහාර ඤාණය
එක් රැස්කිරීමේ, පිඬු කිරීමේ පවත්නා වූ ප්‍රඥාව පදෙසවිහාර ඤාණයයි. මෙම නුවණ පිහිටනුයේ රහතන් වහන්සේලාට පමණි.
44.සඤ්ඤාවිවට්ට ඤාණය
අධිපති භාවයෙන් පවතින ප්‍රඥාව සඤ්ඤාවිවට්ට ඤාණයයි. ධර්මයම අධිපතිභාවයෙන් පවතී. එම හේතුවෙන් එයට විරුද්ධ දේ මතුවීමට ඉඩ නොදේ.
45.චෙතොවිවට්ට ඤාණය
කාමච්ඡන්දය අශාන්තය. නෛෂ්කර්මය ශාන්තය. මෙම කාමච්ඡන්ද ආදියෙහි ආදීනව දැකීමෙ නුවණ චෙතොවිවට්ට ඤාණයයි.
46.චිත්තවිවට්ට ඤාණය
සිත පිහිටුවීමේ ප්‍රඥාව චිත්තවිවට්ට ඤාණයයි
47.ඤාණවිවටිට ඤාණය
ශුන්‍යභාවයෙහි හිස්බවෙහි පවත්නා වූ ප්‍රඥාව ඤාණවිවට්ට ඤාණයයි. තමාය තමා පිළිබඳව යන දෙයාකාරයෙන් ගෙන පංචස්කන්ධයෙහි ඇති ඤාණභාවය බැලීම වේ.
48.විමොක්ඛවිවට්ට ඤාණය
කාමච්ඡන්දයෙන් සිත නිදහස්කොට සිත මනාව තබාගැනීම විමොක්‍ඛවිවට්ට ඤාණයයි.
49.සවිවවිවට්ට ඤාණය
චතුරාර්ය සත්‍ය පිළිබඳව පවත්නා නුවණයි. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධකරමින් ආර්ය මාර්ගයට ලංවීම
50.ඉද්ධිවිධ ඤාණය
ශරීරයද සිතද සමානකොට මෙනෙහි කිරීමේ සැපය, එහි සැහැල්ලු බව වටහාගැනීම ඉද්ධිවිධ ඤාණයයි. යම් බලාපොරොත්තුවක් වෙයිද ඒ සියල්ල ඉටුවීම විවිධ ඍද්ධි ප්‍රාතිහාර පෑමට හැකියාව මෙය වේ.
51.සොතධාතු විසුද්ධි ඤාණය
මනුෂ්‍යන්ගේද දෙවියන්ගේද හඬ ශ්‍රවණය කිරීමේ හැකියාව සොත ධාතු විසුද්ධි ඤාණයයි. ළඟ හා දුරින් ඇසෙන එම ශබ්ද නිවැරදිව තේරුම් ගෙන වටහාගෙන දැනගැනීමේ නුවණයි.
52.චෙතොපරිය ඤාණය
පරචිත්ත විජානන යනුද මෙයට නමකි. අනුන්ගේ සිත් දැනගන්නා නුවණයි. අනුන්ගේ සිත් කෙරෙහි මෙහෙයවා එම සිත් මේ වශයෙන් පවති යැයි මනාව දැනගැනීමයි.
53.පුබ්බේ නිවාසානුස්සති ඤාණය
පෙර විසූ භාවයන් පිළිබඳ සිහි කිරීමට උපයෝගී කරගන්නා නුවණ පුබ්බේ නිවාසානුස්සති ඤාණයයි. එක් භවයක ප්‍රතිසන්ධියේ පටන් චුතිය තෙක් ඇති ජීවිත පැවැත්ම භවයෙන් භවයට සිහි කිරීමට ඇති හැකියාව.
54.දිබ්බ චක්ඛු ඤාණය
මනුෂ්‍යයන් වශයෙන් අපට පෙනෙන්නේ සත්වයෙකු මිය යන අවස්ථාව පමණි. ඉන් පසුව සත්වයාට සිදුවන්නෙ කුමක්ද යන්න කෙනෙකුට ඇසින් දැකිය නොහැක. සත්වයාගේ නැවත ඉපදීම සිදුවන අයුරු දැකිය හැකි ලෙස සංවර්ධනය කරගත් නුවණ දිබ්බ චක්ඛු ඤාණයයි.සත්වයාගේ උත්පත්තිය සුගතියේද දුගතියේද දත හැකි බව.
55.ආසවක්‍ඛය ඤාණය
කාමය- භවය – පංචස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීම,අවිද්‍යාව, ආශ්‍රව ධර්මයන් යන මේවා අවසන් කිරීමට යෙදූ නුවණ ආසවක්‍ඛය ඤාණයය. ආශ්‍රව නමින් පවතින කෙලෙස් සමූහය අවසන් කිරීමයි.
56.දුක්ඛ ඤාණය
මිනිසාට එලඹෙන දුක් ඉපදීම, ලෙඩවීම ආදි මෙන්ම පංචස්කන්ධයම දුකකි. එය පිළිබඳව නිවැරදි වැටහීම
57.සමුදය ඤාණය
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පිළිබඳව අවබෝධ ලබාගැනීමේ නුවණ ලෞකික සම්පත්වලට ගිජු නොවී වාසය කිරීමට වඩවා ගන්නා ඤාණය
58.නිරෝධ ඤාණය
රාගය තරහව මෝඩකම බැහැර කිරීමට වඩවාගන්නා ඤාණය නිරෝධ ඤාණයයි.
59.මග්ග ඤාණය
නිවන් දැකීීම නිසා දැකීම් අර්ථයද මෙය සඳහා යෙදේ. මග දැකීමෙන් නිවන් මගට පැමිණීමට භාවිතා කරන ඤාණය මග්ග ඤාණයයි.
60. දුක්ඛ ඤාණය
61.දුක්ඛ සමුදය ඤාණය
62.දුක්ඛ නිරෝධ ඤාණය
63.දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ඤාණය
මේ ඤාණ සතරම ලොව්තුරා මාර්ගයට එලඹෙන විට එකම ප්‍රඥා චෛතසිකය දුක්ඛ ඤාණයේ සිට දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ඤාණය දක්වා බෙදී ගිය බව තේරුම් ගත යුතුවේ.
64.අත්‍ථ පටිසම්භිදා ඤාණය
65.ධම්ම පටිසම්භිදා ඤාණය
66.නිරුත්ති පටිසම්භිදා ඤාණය
67.පටිභාන පටිසම්භිදා ඤාණය
තෙසැත්තා ඤාණවල සඳහන් 25,26,27,28 ඤාණවල සඳහන් අත්‍ථපටිසම්භිදාව , චතු පටිසම්භිදාව ධර්මයන් පුහුණුකල ඇතැම් ශ්‍රාවකයන් අවබෝධ කරගෙන. නමුත් ඒවා හැම ශ්‍රාවකයෙකුටම සාධාරණ නොවේ.
එහෙත් මෙහි සඳහන් අර්ථ,ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන ඤාණ හතර සත්‍යාවබෝධයත් සමඟ ලැබේ.
මෙහි සඳහන් 67 ක් ඤාණයන් ශ්‍රාවකයන් වහන්සේලාට පවතින පොදු වූ ඤාණයන්ය.
මෙම ඤාණ ඉපදවීමේ මූලිකයා වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. ශ්‍රාවකයන් වන අප උන් වහන්සේලාගේ දේශනාවන්ට අනුගතව එය ලබාගන්නෝ වෙති.
68.ඉන්ද්‍රිය පරොපරියත්ත ඤාණය
ධර්ම දේශනා කිරීමෙන් හික්මවා ගත හැකි සත්වයන් කෙරෙහි බලපවත්වන උස් පහත්කම දැකගැනීමේ නුවණ ඉන්ද්‍රිය පරොපරියත්ත ඤාණයයි. සත්වයන් තුළ පවතින ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්ගේ අඩු වැඩි බවයි. මෙම ඤාණයෙන් හඳුනාගත හැක.
69.ආසයාසුසය ඤාණය
සත්වයන්ගේ සිත්වල පවතින ආසන යනු කාමාදී කෙලෙස්ය. අනුස යනු සත්වයන්ගේ සිත්වල නිදාගෙන සිටින ලෙස පවතින කෙලෙස් ධර්මයන්ය. (ඒවා සොයාගත නොහැකි ලෙස සත්වයන් තුළ සැඟව පවතී) එම දැන ගැනීමේ බුද්ධ ඤාණයයි.
70.යමකපාටිභිර ඤාණය
ජලය හා ගිනි දහරාවන් පෙරට විහිදුවීමේ හැකිබව, මෙය තුළින් ශ්‍රද්ධාවෙන් තොර විරුද්ධවාදීන් පලවාහැරීමට හැකියාව ලැබේ. මෙය සඳහා යෙදුනු බුද්ධ ඤාණය යමක පාටිභීර ඤාණයයි.
71.මහා කරුණා සමාපත්ති ඤාණය
ලොව දත යුතු සියල්ල පැහැදිලිව දැන ගැනීමේ ඤාණය මහාකරුණා සමාපත්ති ඤාණයයි. මෙම ඤාණය නොමැතිනම් සර්වඥතා ඥානය ලැබිය නොහැකිය. දේශනා කළ ධර්මයේ අඩුවක් හෝ නැවත තව කෙනෙකුට වරදක් කීමට එහි ඉඩ තිබිය නොහැක.
72.සබ්බඤ්ඤුත ඤාණය
හේතු ප්‍රත්‍ය ධර්මයෙන් සමන්විත වූ එම හේතු ප්‍රත්‍ය ධර්මයෙන් සකස් නොවුවද සියල්ල ඉතිරි නොවීමක් දැනීමේ ඤාණය සබ්බඤ්ඤුත ඤාණයයි.
73.අනාවරණ ඤාණය
ආවරණයක් නොමැත. එම නිසා අනාවරණ ඤාණය නම්වේ. සර්වඥතා ඤාණයෙන් සියල්ල දැන ගනී. එහිදි අවහිර වීමකින් තොරව අනාවරණය කරයි.