- තමන්ට හිත පිළිපන්නේ අනුන්ට හිත බවට නො පිළිපන්නේය.
- අනුන්ගේ හිත බවට පිළිපන්නේ තමන්ට හිත පිණිස නො පිළිපන්නේය.
- තමන්ට ද අනුන්ට ද හිත බවට පිළිපන්නේය.
- තමන්ට ද අනුන්ට ද හිත පිණිස නො පිළිපන්නේය යනුවෙන් හතරවැදෑරුම් වේ.
එහි යමෙක් තමන් දශකථා වස්තුලාභී වේද, එහි අනුන් අවවාද නො කෙරේද, අනුශාසනා නො කෙරේ ද? ආයුෂ්මත් බක්කුල තෙරුන් මෙනි. මේ තෙමේ තම හිතබවට පිළිපන්නේ පරහිත බවට පිළිපන්නේ නොවේ. මෙබඳු වූ භික්‍ෂූන් භාග්‍යවතුන් වහන්සේ නො විචාරණ සේක. කවර හෙයින්ද මාගේ ශාසනයෙහි වෘද්ධි පක්‍ෂයෙහි නො සිටියේ යයි කියා
යමෙක් වනාහී දශකථා වස්තූන් නො ලබන සුළු වූයේ ඒ දශකථා වස්තූන්ගෙන් අනුන් අවවාද කෙරේද? ඒ කරන ලද වත් ඉවසනු පිණිසය. උපනන්ද ශාක්‍යපුත්‍රයන් මෙනි. මේ අය පරහිත පිණිස පිළිපන්නේ ස්වහිත පිණිස නො පිළිපන්නේය. මෙබඳු අයගෙන් ද නො විචාරති. කුමක් හෙයින්ද ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ නොවූ බැවිනි.
යමෙක් තමාත් දශකථාවස්තු නො ලබනසුළු වූයේ අන්අයටත් එයින් අවවාද නො කෙරේද? ලාළුදායි තෙරුන් මෙනි. මේ තෙමේ තමහට වැඩ පිණිස පිළිපන්නේත් නැත. අනුන්ට වැඩ පිණිස පිළිපන්නේ ද නොවේ. මෙබඳු අය ද නො විචාරති. කුමක් හෙයින්ද ඔහුගේ ඇතුළත ක්ලේශයන් පොරවකින් කැපිය යුතු තරම් මහත් වූ නිසයි.
යමෙක් වනාහි තෙමේ දශකථා වස්තුලාභී වූයේ අනුනුත් එයින් අවවාද කෙරේද? මෙතෙමේ තම හිත බවටද අනුන්ගේ හිත බවට ද පැමිණියේ වෙයි. සැරියුත් මුගලන් කසුප් ආදී අසූමහා සව්වන් මෙනි. මෙබඳු වූ භික්‍ෂුව විචාරණ සේක. කවර හෙයින්ද, මාගේ ශාසනයේ වෘද්ධි පක්‍ෂයේ සිටිය බැවිනි.