යස මහරහතන් වහන්සේ.
පෙර බුදුවරු හමුවෙහි කරන ලද නා ඇතිව ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා පින් රැස්කරමින් පැමිණ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ ලොව උපන් කාලයෙහි මහානුභාව නාගරාජයෙකු වී උපන්හ. නා රජු බුද්ධප්‍රමුඛ මහා “සංඝරත්නය තම භවනට වඩමවාගෙන ගොස් මහදන් පැවැත්වීය. භාග්‍යවතුන් වහන්සේට මහත් අනර්ඝ තුන් සිවුරක් පූජාකළේය. එක් එක් භික්‍ෂුවට මහත් අනර්ඝ වූ වෙන් වෙන් වස්ත්‍ර යුගල බැගින් ද සියලු ශ්‍රමණ පිරිකර ද පූජා කළේය. ඒ පින්කමේ චිපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම සිද්ධත්ව භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දි සිටුපුතෙක් ව මහ බෝ මැඬට සත්විධ රත්නයන්ගෙන් පූජා කළේය. මෙසේ කාම සුගතීන් හි ම සැරි සරමින් අවුත් මේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී මහත් සම්පත් ඇනි සිටුවරයෙකුට දාව බරණැස් නුවර දී ඉපිද යස නමින් ප්‍රකට විය. ඔහු අතිශයින් සියුමැලිය.
ඔහුට ප්‍රාසාදයෝ තුණක් වෙත්. එක් ප්‍රාසාදයෙක් හෙමන්ත ඍතුවට සුදුසු ය. එක් ප්‍රාසාදෙයක් ග්‍රීෂ්ම ඍතුවට සුදුසු ය. එක් ප්‍රාසාදයෙක් වර්‍ෂාසෘතුවට සුදුසු ය. ඒ යස කුලපුත්‍රතෙමේ වැසිකලට සුදුසු පහයෙහි වැසි සාරමස්හි ස්ත්‍රීන් විසින්ම වාදනය කළ තුර්‍ය්‍යයන් ගෙන් හැම ලෙසින් ඉඳුරන් පිණවන්නේ යටපහයට නො බසියි.
ඉක්බිති පස්කම්ගුණයෙන් මොනවට සෑහීමට පැමිණි හැම ලෙසින් ඉඳුරන් පිණවන යස කුලපුත්‍රයාහට හැමට පළමුව නින්ද පැමිණියේය. පිරිවර ජනයාහට ද නින්ද පැමිණියේය. මුළු රෑ තෙල් පහන ද දැල්වේ.
එකල්හි යසකුලපුත්‍රතෙමේ හැමට පළමු පිබිද නිදන සිය පිරිවර දුටුවේ ය. එකකගේ කිසිල්ලෙහි වීණාව වී ය. එකකගේ බෙල්ලේ මිහිඟුබෙරය වී ය. එකකගේ කිසිල්ලෙහි පණාබෙරය වී ය. අවුල් වූ කෙස් ඇති එකක ද කෙළ වැහෙන එකක ද නන් දොඩන අන් අඟනන් ද දුටුවේ ය. එතැන හමුවට පත් අමුසොහොනක් වැනි වී ය. දැක, ඒ කුලපුත්‍රයාහට දොස් පෙණී ගියේ ය. සසර කළකිරීමෙහි සිත පිහිටියේය.
ඉක්බිති යසකුලපුත්‍රතෙමේ “භවත්නි, ඒකාන්තයෙන් තෘෂ්ණාදි ක්ලෙශයන් විසින් පීඩා කරණ ලද්දේ ය. භවත්නි, තෘෂ්ණාදික්ලෙශයන් විසින්. දැඩි කොට ගන්නා ලද්දේ ය” යි උදන් ඇනී ය.
ඉක්බිති යසකුලපුත්‍රතෙමේ රන්මිරිවැඩිසඟළ පය ලා නිවෙස්දොරට පැමිණියේ ය. දෙවියෝ “යසකුලපුත්‍රයාහට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිද්දට කිසිවෙක් අන්තරාය නො කෙරේවා” යි දොර හළහ.
ඉක්බිති යසකුලපුත්‍ර තෙමේ නුවර දොරට පැමිණියේ ය. යසකුලපුත්‍රයාහට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිද්දට කිසිවෙක් අන්තරාය නො කෙරේවා” යි දෙවියෝ දොර අළහ.
බෝසත්තෙමේ නෙරංජන නදී තෙරට ගොස් රන්තලිය තෙරෙහි තබා නහා ගොඩට අවුත් එකුන්පනසක් පිඬු කරමින් පායාසය වළඳා රන්තලිය නදියෙහි පාකොට පිළිවෙළින් බෝමැඬට නැඟ සර්‍වඥතාඥානයට පැමිණ සත්සතියක් බෝමැඩ ඉක්මවා ඉසිපතන මිගදායෙහි පවත්වනලද උතුම් දම්සක් ඇත්තේ සුජාතාගේ පුත්වූ යස කුලපුතුගේ හේතුසම්පත් දැක ගොස් එක්තරා රුකක් මුලක වැඩහුන්නේය
ඉක්බිති යසකුලපුත්‍රතෙමේ ඉසිපතනය වූ මෘගදායයට ගියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අලුයම්වේලෙහි නැඟී සිට එළිමහනෙහි සක්මන් කරණසේක. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ යසකුලපුත්‍රයා දුර දී ම දුටුසේක. දැක, සක්මනින් ඉවත් වී පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. එකල්හි යසකුලපුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැනක සිට “භවත්නි, ඒකාන්තයෙන් තෘෂ්ණාදික්ලෙශයන් විසින් පීඩා කරණ ලද්දේ ය. තෘෂණාදික්ලෙශයන් විසින් දැඩි කොට ගන්නා ලද්දේ ය” යි උදන් ඈනී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යසකුලපුත්‍රයාහට “යසය, මේ වනාහි තෘෂ්ණාදික්ලෙශයන් විසින් පීඩා නො කරණ ලද්දේ ය. තෘෂ්ණාදි ක්ලෙශයන් විසින් දැඩි කොට නො ගන්නා ලද්දේ ය. යසය, එව. හිඳුව, තට දහම් දෙසන්නෙමි” යි වදාළ සේක. ඉක්බිති යසකුලපුත්‍රතෙමේ “මේ පීඩා නො කරණ ලද්දේ ල. මේ දැඩි කොට නො ගන්නා ලද්දේ ල” යි සතුටු වූයේ ඔද වැඩි වූයේ මිරිවැඩිසඟළ ගලවා භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ යසකුලපුත්‍රයාහට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළකතාව වදාළසේක. එනම්:– දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන්ගේ දොෂය ලාමකභාවය කෙලෙසීමට හෙතු වන බව ගිහිගෙන් නික්මීමෙහි අනුසස් (යන මෙය) ප්‍රකාශ කළසේක. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ යසකුලපුත්‍රයා (කාමච්ඡන්දය පහ වීමෙන්) යොග්‍ය වූ සිත් ඇත්තෙකැ යි ද, (ව්‍යාපාදය දුරු වීමෙන්) මොළොක් වූ සිත් ඇත්තෙකැ යි ද, (උද්ධච්චකුක්කුච්චය දුරු වීමෙන්) නො විසිරුණු සිත් ඇත්තෙකැ යි ද (ථීනමිද්ධය පහ වීමෙන්) නො හැකුළුනු සිත් ඇත්තෙකැ යි ද (විචිකිච්ඡාව දුරු වීමෙන්) නිසැක සිත් ඇත්තෙකැ යි ද දත් සේක් ද, එකල්හි බුදුවරයන්ගේ තමා ම උසස්බවට පැමිණි යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරොධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ වතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළසේක. පහ වූ කිලුටු ඇති පිරිසුදු වස්ත්‍රයක් මනා සේ සායම් ගන්නේ යම් සේ ද, එපරිද්දෙන් යසකුලපුත්‍රයාහට ඒ අසුනෙහි දී ම “හටගැණීම ස්වභාවය කොට ඇති යම්කිසිවක් වේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන රාගාදිරජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති දහම්ඇස (සොතාපත්තිඤාණය) පහළ වූයේ ය.
ඉක්බිති යසකුලපුත්‍රයාගේ මවුතොමෝ පහයට නැඟී යසකුලපුත්‍රයා නො දක්නී සිටුගැහැවියා වෙත ගියා ය. ගොස්, සිටුගැහැවියාහට “ගැහැවිය, ඔබගේ පුත් වූ යසතෙමේ නො දක්නා ලැබේ” යයි කීවා ය. එකල්හි සිටුගැහැවි තෙමේ අසුන් නැඟී දූතයන් සිවුදිගට යවා තෙමේ ම ඉසිපතන නම් වූ මෘගදායයට ගියේ ය. එහි සිටුගැහැවි තෙමේ සුවර්‍ණපාදුකාවන්ගේ අඩි සටහන දුටුයේ ය. දැක, එය අනු ව ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ සිටුගැහැවියා දුර දී ම දුටු සේක. දැක්මෙන් භාග්‍යවතුන් වහන්සේට “මෙහි හුන්නා වූ සිටුගැහැවි තෙමේ මෙහි හුන් යසකුලපුත්‍රයා යම් සේ නො දක්නේ ද, මම එබඳු වූ සෘද්ධියක් කරන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත වි ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ සෘද්ධියක් කළ සේක.
ඉක්බිති සිටුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කිම? භාග්‍යවතුන් වහන්සේ යසකුලපුතු දුටු සේක් ද?” යි ඇසී ය. “ගැහැවිය, එසේ නම්’ හිඳුව. මෙහි හුන් තෝ මෙහි හුන් යසකුලපුතු ඒකාන්තයෙන් දක්නෙහි ය”යි (උන් වහන්සේ වදාළ සේක.)
ඉක්බිති සිටුගැහැවි තෙමේ “මම මෙහි ම හුන්නෙම් මෙහි ම හුන් යසකුලපුතු ද දකින්නෙමි” යි සතුටු වූයේ ඔද වැඩි සිතැත්තේ, භාග්‍යවතුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සිටුගැහැවියාහට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළකතාව වදාළ සේක. –පෙ– ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යයයක් නැත්තේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, යටිකුරු කරණලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු යැ’ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍ය පුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියා වූ මා උපාසකයකු කොට දරණ සේක්වා”යි කීයේ ය. හෙතෙමේ ම ලොකයෙහි පළමු තෙවාචික උපාසක වූයේ ය.
ඉක්බිති පියාහට දහම් දෙසනු ලබන කල්හි දුටු පරිදි දත් පරිදි ආර්‍ය්‍යභූමිය මැනැවින් සලකන්නා වූ යසකුලපුත්‍රයාගේ සිත තාෂ්ණදෘෂ්ටි වශයෙන් අල්ලා නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “පියාහට දහම් දෙසනු ලබන කල්හි දුටු පරිදි දත් පරිදි ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යාවෙක්‍ෂා කරන්නා වූ යසකුලපුත්‍රයාගේ සිත තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ ය. යසකුලපුත්‍ර තෙමේ පෙර ගිහි කල්හි මෙන් − ගිහි වී – කම්සැප විඳීමට නුසුදුසු ම ය. මම ඒ සෘද්ධිය දැන් හැර ලන්නෙම් නම් යෙහෙකැ” යි සිතෙක් උපන්නේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ඍද්ධිය හළ සේක. සිටුගැහැවිතෙමේ එහි හුන් යසකුලපුත්‍රයා දුටුයේ ය. දැක, “පුත්‍රය, යස, නුඹගේ මවු තොමෝ වැලපීමට හා ශොකයට පැමිණියා ය. මවට ජීවිතය දෙව” යි යසකුලපුත්‍රයාහට කීයේ ය.
ඉක්බිති යසකුලපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ දෙස බැලුයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිටුගැහැවියාහට “ගැහැවිය, ඒ කුමකැ යි සිතහි ද? යසකුලපුත්‍රයා විසින්, ඔබ විසින් මෙන්, (පළමු කොට) සෙඛඤාණයෙන් ද සෙඛදස්සනයෙන් ද ආර්‍ය්‍යසත්‍යධර්‍මය දක්නා ලද්දේ ය. දක්නා ලද පරිදි දන්නාලද පරිදි ඒ ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නා වූ ඒ යසකුලපුත්‍රයාගේ සිත තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ ය. ගැහැවිය, යසකුලපුත්‍ර තෙමේ පෙර ගිහිකල මෙන් ගිහිබවට හැරී කම්සැප විඳින්නට සුදුස්සෙක් වේ දැ?” යි අසා වදාළ සේක. “ස්වාමීනි, සුදුසු නො වේ ම ය.” “ගැහැවිය, යසකුලපුත්‍රයා විසින් යට තුන්මග නුවණින් ද යට තුන්මග දැක්මෙන් ද චතුස්සත්‍ය ධර්‍මය, ඔබ විසින් මෙන්, (පළමු කොට) දක්නා ලද්දේ ය. දුටු පරිදි දත් පරිදි ඒ ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නා වූ ඔහුගේ සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නො ගෙණ ආශ්‍රවයන්ගෙන් මිදුනේ ය. ගැහැවිය, යස කුලපුත්‍ර තෙමේ පෙර ගිහිකල මෙන් ගිහි වී කම්සැප විඳින්ට නුසුදුසු ම ය.”
“යම් සේ යසකුලපුත්‍රයාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන් ගෙන් මිදුනේ ද, ස්වාමීනී, යසකුලපුත්‍රයාහට එය ලාභයකි. ස්වාමීනි, යස කුලපුත්‍රයා විසින් ඒ මනා සේ ලද්දකි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පසුමහණ වූ යසකුලපුතු සමග අද මාගේ බත ඉවසන සේක්වා.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් ඉවසු සේක.
ඉක්බිති සිටුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි යසකුලපුත්‍ර තෙමේ සිටුගැහැවියා ගිය නො බෝ වේලාවක දී “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය. උන් වහන්සේ “මහණ, එව. ධර්‍මය මොනවට දෙසන ලද්දේ ය. මොනවට දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙව” යි වදාළ සේක. බුදුන්ගේ ඒ වචනය ම ඒ ආයුෂ්මත්හුහට උපසම්පදාව වී ය.
ශාස්තෘන්වහන්සේ යසගේ ගෙට ගොස් කරනලද බත්කිස ඇතිසේක් දහම් දෙසූසේක. දෙසුම කෙළවර යසගේ මව සුජාතාද පැරණි බිරියද සෝවාන් පෙළෙහි පිහිටියාහුය. එදවස මේ සුජාතා තොමෝ ලේලිය සමඟ තේවාචික සරණයෙහි පිහිටියේය. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි පිළිවෙළින් උවැසියන් තනතුරුවල පිහිටුවන සේක් මේ උවැසිය පළමුව සරණ යන්නියන් අතුරෙන් අගතැන්හි තැබූසේක.