උපසේන මහරහතන් වහන්සේ.

 

පියුමුතුරා බුදුන්කල්හි හංසවතී නුවර කුලගෙයක උපන්නේ විය පත්ව පෙර පරිද්දෙන්ම ශාස්තෘන් සමීපයට ගොස් ධර්‍මය අසන්නේ එක් භික්‍ෂුවක සියල්ලන් පහදවන්නවුන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන ශාස්තෘන් දැක ශාස්තෘන් කෙරෙහි පින්කම් කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි නාලක බමුණු ගමෙහි සාරිබැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුට උපසෙන දරුවායි නම් කළහ.

හෙතෙම වියපත්ව ත්‍රිවේදයන් උගෙන බුදුන්වහන්සේ සමීපයෙහි දහම් අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වූයේය. හෙතෙම උපසම්පදාවෙන් එක්වස් ඇත්තේ වී ආර්‍ය්‍යගර්‍භය (ආර්‍ය්‍ය පිරිස) වඩමියි එක් කුලපුතකු තමා සමීපයෙහි පැවිදිකොට උපසපන් කළේය. හෙතෙම පවරා සද්ධිවිහාරිකයාට එක් වස් කල්හි තමා දෙවස්වූයේ බුදුන්වහන්සේ මාදැක සතුටු වන සේකැ’යි සද්ධිවිහාරිකයා රැගෙන බුදුන්වහන්සේ දැකීමට පැමිණියේය. ශාස්තෘන්වහන්සේ වැද එකත්පසෙක හුන්නාවූ ඔහුගෙන් මහණ, ඔබ කෙතෙක් වස් ඇත්තෙහිදැයි ඇසූසේක. ‘භාග්‍යවතුන් වහන්ස, මම දෙවස් ඇත්තෙමි.’ ‘මේභික්‍ෂුව කෙතෙක් වස් ඇත්තේද?’ ‘භාග්‍යවතුන් වහන්ස, එක්වස් ඇත්තෙකි.’ ‘මේ භික්‍ෂුව ඔබේ කවරෙක් වේද’? ‘භාගයවතුන් වහන්ස, මගේ සද්ධිවිහාරිකයාය.’ ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔහුට, ‘මොඝපුරිසය, ඔබ ඉතා ලාමකය. අධිකබවට පැමිණියෙහි’යයි කියා නොයෙක් අයුරින් නින්දා කළසේක. තෙරණුවෝ ශාස්තෘන් සමීපයෙන් නින්දා ලැබ භාගවතුන් වැඳ ‘මේ පුන්සඳක සොභා ඇති මුවින්ම ශාස්තෘන්වහන්සේ ලවා පිරිස නිසාම සාධුකාර දෙවන්නෙමැ’යි එදිනම එක් තැනකට ගොස් විදර්‍ශනාවට කටයුතු කොට නොබෝදිනකින්ම රහත් බවට පැමිණියහ.

ඉක්බිති, තෙරුන්වහන්සේ යම්හෙයකින් මහාකුලයකින් නික්ම පැවිදිවූයේ පොළොව හඬ නැංවූ ධර්‍ම කථිකයෙක් වූයේද එහෙයින් ඔහුගේ ධර්‍මකථාවෙන්ද පැහැද මිත්‍රාමාත්‍යඥතිකුලයන්ගෙන්ද නික්ම බොහෝ කුලදරුවෝ තෙරුන් සමීපයෙහි පැවිදිවෙත්. ‘මම ආරණ්‍යකයෙක්මි. නුඹලාද ආරණ්‍යකයන් වීමට හැකි වන්නාහු පැවිදි වවුයයි තෙරණුවෝ කීහ. ඔවුන් තෙළෙස් ධුතංගයන් විමසා ‘ස්වාමීනි, හැක්කෙමුයි’ කියන කල්හි පැවිදි කරවති. ඔවුහු තමන්ගේ බලයෙන් ඒ ඒ ධුතාංගය අධිෂ්ඨාන කරත්, තෙරණුවෝ තමන්ට දසවස් කල්හි විනය ප්‍රගුන කොට සියල්ලන්ම උපසපන් කරවූහ. මෙසේ ඔහුට උපසපන්වූම පන්සියයක් පමණවු භික්‍ෂු පිරිසක් විය.

එසමයෙහි ශාස්තාන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වසනසේක් ‘මහණෙනි, මම අඩමසක් විවේකීව සිටීමට කැමැත්තෙමි’යි බික්සඟනට සැළකොට හුදෙකලා වූසේක. භික්‍ෂු සංඝයාද යමෙක් භාග්‍යවතුන් දැක්මට එළඹෙයිද හෙතෙම පචිති ඇවැත් දෙසිය යුත්තෙයයි කතිකාවක් කළේය. එකල්හි උපසේන තෙරණුවෝ ‘භාග්‍යවතුන් දකින්නෙමි’යයි තමන්ගේ පිරිස සමඟ දෙව්රමට ගොස් ශාස්තෘන් වෙත එළඹ වැඳ එකත්පසෙක සිටියහ. ශාස්තෘන්වහන්සේ කථාව නංවනු සඳහා තෙරුන්ගේ එක් සද්ධිවිහාරිකයෙකු ඇමතූසේක. ‘භික්‍ෂුව ඔබට පංසුකූල සිවුරු මනාපද?’ ‘ස්වාමීනි, පංසුකූලසිවුරුවලට මා කැමති නැතැ’යි කියා උපාධ්‍යායයන් කෙරෙහි ගෞරවයෙන් පාංශුකූලිකබව සැළකළේය. මෙතැන්හි ශාස්තෘන්වහන්සේ ‘සාධු සාධු උපසේනය’යි පවසා තෙරුන්ට සාධුකාරදී නොයෙක් අයුරින් ගුණකථාව කළසේක. මේ මෙහි සංක්‍ෂපයයි. විස්තර වශයෙන් මෙය පෙළෙහි ආයේමය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ආර්‍ය්‍යගණ මධ්‍යයෙහි හුන්සේක් තෙරුන් මේ සසුනෙහි සියල්ලන් පහදවන්නවුන් අතුරින් අගතැන්හි තැබූසේක.