පුණ්ණ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ.
පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේ පහළවීමට කලින්ම හංසවතී නුවරෙහි බමුණුමහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි ගොතමයි නම් කළාහුය. හෙතෙම වියට පැමිණියේ තුන්වේදයන් උගෙන සියලු ශිල්පයන්හි දක්‍ෂවී මානවකයන් පන්සියයක් පිරිවරකොට ඇත්තේ හැසිරෙමින් ත්‍රිවේදයන්ද විමසමින් මොක්‍ෂධර්‍මයක් සොයන්නේ නොදැක මේ ත්‍රිවේදය නම් කෙසෙල් කඳන් මෙන් පිටින් මටය. ඇතුළතින් හරනැත්තේය. මෙය ගෙන හැසිරීම දහයියා කෙටීමක් බඳුවෙයි. මෙයින් මට කවර වැඩෙක්දැයි සෘෂි පැවිද්දෙන් පැවිදව බඹවිහරණයන් උපදවා නොපිරිහුණුධ්‍යාන ඇතිව බඹලොව සෙලවමින් යන්නේමැයි මානවකයන් පන්සියය සමඟ පර්‍වතපාදයට ගොස් සාෂි පැවිද්දෙන් පැවිදි විය. ඔහුට අටළොස් දහසක් ජටිලයෝ පිරිවරවූහ. හෙතෙම පංචාහිඥ අෂ්ට සමාපත්තීන් උපදවා ඔවුනටද කසිණ පරිකර්‍ම කියා දුන්නේය. ඔවුහු ඔහුගේ අවවාදයෙහි සිට සියල්ලෝම පංචාභිඥාඅෂ්ට සමාපත්ති ඉපදවූහ.
කල් ඉක්මුණු කල්හි ඒ ගොතම තාපසයාගේ මහළු කල්හි පදුමුත්තර දශබලයන්වහන්සේ උතුම් අභිසම්බෝධියට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇත්තාහු හංසවතී නුවර ඇසුරු කර වාසය කළසේක. උන්වහන්සේ එක් දිනක උදෑසන කාලයෙහි ලොව බලා වදාරණසේක් ගෝතම තවුසාගේ පිරිසගේ රහත් බවට උපනිශ්‍රයද ගෝතම තවුසා ‘මම අනාගතයෙහි උපදින බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ධර්‍මකථිකභක්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි’යයි පතනබවද දැක උදයෙන්ම සිරුර පිළිදැගුම්කොට තමන්ගේ පාසිවුරු තෙමේම ගෙන අප්‍රකට වේශයකින් ගෝතම තවුසාගේ අතවැස්සන් වනමුල් පලවැල සඳහා ගියකල්හි වැඩම කොට ගෝතමගේ පන්සල් දොරටුවෙහි සිටිසේක. ගෝතම තෙමේ බුදුන්වහන්සේ උපන් බව නොදන්නේවුවද දුරදීම දශබලයන් වහන්සේ දැක මේ පුරුෂයා ලොවින් මිදුනෙක්වී පැනෙයි. මොහුගේ ශරීර නිෂ්පත්තිය යම්සේ වේද යම්වූ ලක්‍ෂණයන්ගෙන් සමන්විත වූයේද (එබඳු පුද්ගලයා) ගිහිගෙහි සිටින්නේ හෝ සක්විති රජවෙයි. පැවිදිවන්නේ හෝ ඉවත්කරන ලද සසර පියසි ඇති සර්‍වඥවූ බුදු වේයයි දැන පළමු දැකීමෙන්ම දශබලයන් වහන්සේ වැඳ ‘භාග්‍යවතුන්වහන්ස, මෙහි වඩිනු මැනවැ’යි බුද්ධාසනයක් පනවා දුන්නේය. තථාගතයන්වහන්සේ තවුසාට දම් දෙසමින් වැඩහුන්සේක.
එකල්හි ඒ ජටිලයෝ මිහිරි මිහිරි වනමුල් පලවැල ආචාර්‍ය්‍යවරයාට දී ඉතිරිය වළඳමුයි එන්නාහු උසසුන්හි හිඳිනා දශබලයන්වහන්සේසේද මිටි අසුනෙහි හිඳිනා ඇදුරුවරයාද දැක අපි මෙලොව අපගේ ඇදුරුවරයාගෙන් ශ්‍රේෂ්ඨවූවෙක් නැතැයි හැසුරුණෙමු. දැන් වනාහි අපගේ ඇදුරුතුමන් මිටි අසුනෙහි හිඳුවා උසසුන්හි හුන්නෙක් පැනෙයි. ඒකාන්තයෙන්ම මේ පුරුෂයා ශ්‍රේෂ්ඨයෙක් වන්නේයයි (පලවැල) කුඩා රැගෙන ආවාහුය. (ගෝතම තවුසා) මොවුහු දශබලයන්වහන්සේ ඉදිරියෙහි මට වඳින්නාහුයයි බියපත් වුයේ, ‘දරුවනි, මට නොවඳින්න. දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලයා වූ සියල්ලන්ගේ වැඳුමට සුදුසු වූ පුරුෂයා මෙහි හුන්නේය. උන්වහන්සේ වඳුව’යි කීවේය. තවුසෝ නොදැන ඇදුරුතුමා නොකියතියි සියල්ලෝම තථාගතයන්වහන්සේගේ පාදයන් වැන්දාහුය. දරුවනි, දශබලයන්වහන්සේට දිය යුතු අන් බොජුනක් අපට නැත. මේ වන මුල්පලාපල දෙන්නෙමුයි කියා මිහිරි මිහිරි දෙය බුදුන්වහන්සේගේ පාත්‍රයෙහි පිහිටවීය. ශාස්තෘන්වහන්සේ වනමුල්පලාපල වැළදූසේක. ඉන් අනතුරුව තවුසාද අතවැසියන් සමඟ වැළදුවේය. ශාස්තෘන්වහන්සේ බත්කිස කොට, ‘දෙඅගසව්වෝ භික්‍ෂූන් ලක්‍ෂයක් ගෙන එත්වායි සිතූසේක. එසමයෙහි අගසව් මහාදේව තෙරුන්වහන්සේ ‘ශාස්තාන්වහන්සේ කොහි වැඩිසේක්දැයි විමසා බලන්නේ ශාස්තෘන්වහන්සේ අපගේ ගමන බලාපොරොත්තු වන සේකැයි භික්‍ෂූන් ලක්‍ෂයක් ගෙන ශාස්තෘන් සමීපයට ගොස් වැඳ නමඳිමින් සිටියහ.
ගෝතම තවුසා අතවැසියන්ට, දරුවනි, අපට වෙනත් සත්කාරයක් නැත. භික්‍ෂු සංඝයා දුකසේ සිටියේයි. බුදුපාමොක් බික් සඟනට මල් අසුනක් පනවන්නෙමු. දිය ගොඩමල් ගෙන එව්යයි කීවේය. ඔවුහු එකෙණෙහිම පර්‍වතපාදයෙන් පැහැයෙන් හා සුවඳින් යුත් මල් සෘද්ධියෙන් ගෙනවුත් සැරියුත්තෙරුන්ගේ කථාවස්තුවෙහි කියනලද අයුරින් අසුන් පැනවූහ. නිරෝධ සමාපත්තියට සමවැදීමද සත් දැරීමද සියල්ල කී ක්‍රමයෙන්ම දතයුතුය.
ශාස්තෘන්වහන්සේ සත්වෙනි දිනයෙහි නිරෝධයෙන් නැඟිට පිරිවරා සිටි තවුසන් දැක ධමර්‍කථිකභාවයෙහි අග්‍රස්ථානයට පත් සව්වකුට ‘භක්‍ෂුව, මේ තවුස්ගණයා, විසින් මහත් බුද්ධසත්කාරයක් කරනලදී. මොවුනට මල් අසුන් අනුමෝදනාව කරන්නැ’යි පැවසූසේක. හෙතෙම ශාස්තෘන්වහන්සේගේ වචනය පිළිගෙන තුන්පිටකයන් සම්මර්‍ශනය කරමින් අනුමෝදනය කළේය. උන්වහන්සේගේ දෙසුම කෙළවර ශාස්තෘන්වහන්සේ තෙමේ බ්‍රහ්මස්වර විහිදුවා දම්දෙසූසේක. දෙසුමඅවසන්හි ගෝතමයන් හැර සෙසු අටළොස් දහසක් ජටිලයෝ රහත්බවට පැමිණියාහුය.
ගෝතම වනාහි ඒ අත්බැවින් ප්‍රතිවේධ කිරීමට නොහැක්කේ භාග්‍යවතුන්වහන්සේට ‘භාග්‍යවතුන්වහන්ස, යම් භික්‍ෂුවක විසින් පළමුව ධර්‍මය දෙසන ලද්දේ? මෙතෙම නුඹවහන්සේගේ සසුනෙහි කවරෙක් නම් වේදැයි ඇසුවේය. ‘ගෝතමය, මෙතෙම මගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රයාය.’ ‘ස්වාමීනි, මමද සත්දිනක් කරනලද මේ ප්‍රාර්ථනාවගේ බලයෙලන් මේ භික්‍ෂුව මෙන් අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රවන්නෙමැ’යි ප්‍රාත්‍ථර්‍නා කොට පාමුල්හි වැදහොත්තේය.
ශාස්තෘන්වහන්සේ අනාගතය බලා අනතුරකින් තොරව මොහුගේ පැතුම ඉටුවන බව දැන, ‘අනාගතයෙහි කල්ප ලක්‍ෂයක අවෑමෙවන් ගෞතම නම් බුදුකෙනෙක් උපදින්නාහ. නුඹ උන්වහන්සේගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍ර වන්නෙිය’යි විවරණදී ඒ රහත්වූ තවුසන්ට ‘එව්, මහණෙනි’යි වදාළසේක. සියල්ලෝ අතුරුදහන්වූ කෙස් රැවුල් ඇත්තාහු සෘද්ධිමයවූ පාසිවුරු දරන්නාහු වස් සියයක් ඇති තෙරුන් මෙන් වූහ. ශාස්තෘන්වහන්සේ බික්සඟන සමඟ විහාරයට වැඩිසේක.
ගෝතමද දිවිඇති තෙක් තථාගතයන් වහන්සේ ඇසුරු කොට ශක්ති පරිද්දෙන් පින්කම්කොට කල්ප ලක්‍ෂයක් දෙව් මිනිසුන් අතර සැරිසරමින් අපගේ බුදුන්වහන්සේගේ කාලයෙහි කිඹුල්වත් නුවරට නුදුරෙහි දොණවත්‍ථු බමුණුගමෙහි බමුණු මහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි පුණ්ණ මානවයායි නමක් කළාහුය. ශාස්තෘන්වහන්සේ අභිසම්බෝධියට පැමිණ පවත්වනලද උතුම් දම්සක් ඇතිව පිළිවෙළින් අවුත් රජගහ නුවර ඇසුරු කොට වාසය කරනකල්හි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්වහන්සේ කිඹුල්වතට ගොස් තමාගේ බෑණණුවන් වන පුණ්ණ මානවකයා පැවිදි කරවා යලි බුදුන්වහන්සේ වෙත අවුත් උන්වහන්සේ වැඳ සැල කොට විසීම සඳහා ඡද්දන්ත විලට වැඩියහ. පුණ්ණ මන්තානිපුත්ත තෙමේද මයිලණුවන් වන අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් සමඟ බුදුන්වහන්සේ සමීපයට නොගොස් මගේ පැවිදිකිස මුදුන් පමුණුවාම බුදුන් සමීපයට යන්නේමැයි කිඹුල්වතෙහිම නැවතුනේ නුවණින් මෙනෙහි කිරීමෙහි කටයුතු කරන්නේ නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය. උන්වහන්සේ සමීපයෙහි පැවිදිවූ කුලපුත්‍රයෝද පන්සියයක් වූහ. තෙරුන්වහන්සේ තෙමේ දසවත්‍ථුකථා ලැබීම් ඇති හෙයින් ඔවුන්ටද දසවත්‍ථු කථාවන්ගෙන් අවවාද කරති. ඔවුහු උන්වහන්සේගේ අවවාදයෙහි සිට සියල්ලෝම රහත්බවට පත්වූහ.
ඔවුහු තමන්ගේ පැවිදි කිස මුදුන් පත්බව දැන උපාධ්‍යයයන් වෙත එළඹ, ‘ස්වාමීනි, අපගේ කිස මුදුන් පැමිණියේයි. දසකථාවත්‍ථුලාභිහුද වෙමු. අපට බුදුන් දැකීමට කාලයයි’ කීහ. තෙරුන්වහන්සේ ඔවුන්ගේ කථාව අසා, ‘මගේ දසකථාවත්‍ථුලාභිතාව බුදුන්වහන්සේ දන්නා සේක. මම දම් දෙසසන්නෙම් දසකථාවස්තූන් නොහැරම දෙසමි මා යනකල්හි මේ සියල්ලෝම මා පිරිවරා යන්නාහ. මෙසේ ගණසංඝනිකාවෙන් ගොස් බුදුන් දැකීමට මට නොසුදුසුය. මොවුහු පළමුව ගොස් බුදුන් දකිත්වා’යි (සිතා) ඇවැත්නි, නුඹලා කලින් ගොස් තථාගතයනවහන්සේ දකිවු. මගේ වචනයෙන් උන්වහන්සේගේ දෙපාද නමදිවු. මමද නුඹලා ගිය මගින්මයන්නෙමි’යි ඒ භික්‍ෂූන්ට කීහ.
බුදුන්වහන්සේගේ උපන් රටෙහි වසන්නාවූ ඒ සියලු තෙරවරුම සියල්ලෝ ක්‍ෂීණාශ්‍රව වූවාහු සියල්ලෝ දසකථාවත්‍ථුලාභිවූවාහු තමන්ගේ උපාධ්‍යායයන්ගේ අවවාදය කඩනොකොට තෙරුන් වැඳ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් සැටයොදුන් මඟ ඉක්මවා රජගහනුවරෙහි වෙළුවන විහාරයට ගොස් බුදුන්වහ්නසේගේ පා වැඳ එකත්පසෙක හුන්නාහුය. ‘ආගන්තුක භික්‍ෂුන් සමඟ පිළිසඳරෙහි යෙදීම භාග්‍යවත්වූ බුදුවරුන්ගේ පුරුද්දකි’යි භාග්‍යවතුන්වහන්සේ ඒ භික්‍ෂුන් සමඟ ‘මහණෙනි, සුවදුක් කෙසේද’ ආදීවශයෙන් මිහිරි පිළිසඳර කොට ‘මහණෙනි, තෙපි කොහි සිට ආවුහුදැ’යි විමසූසේක. ඔවුන් විසින් ‘ජාතිභූමියෙන්’ යයි කී කල්හි, ‘මහණෙනි ජාතිභූමියෙහි ජාතිභූමකවූ භික්‍ෂූන්ට සබ්‍රම්සරුන් ලවා මෙසේ සම්භාවනා කරනලද්දේ තමාද අපිස්වූයේ භික්‍ෂූන්ට අපිස්කතා කළ තැනැත්තේ කවුරුදැ’යි දසකථාවත්‍ථුලාභීවූ භික්‍ෂුව ගරන විමසූසේක. ඔවුහුද ‘ස්වාමීනි, පුණ්ණ නම්වූ ආයුෂ්මත් මන්තානි පුත්‍රයයි සැළකළාහුය. ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ ඒ කථාව අසා තෙරුන් දකිනු කැමැත්තෝ වූහ.
ඉක්බිති ශාස්තෘන්වහන්සේ රජගහනුවරින් සැවතට වැඩිසේක. පුණ්ණ තෙරණුවෝ එහි දශබලයන්වහන්සේගේ පැමිණීම අසා, ‘ශාස්තෘන්වහන්සේ දකින්නෙමි’යයි ගොස් ඇතුළු ගඳ කිළියෙහිදීම තථාගතයන්වහන්සේ වෙත එළඹුණහ. ශාස්තෘන්වහන්සේ ඔහුට දම් දෙසූසේක. තෙරණුවෝ දහම් අසා බුදුන් වැඳ විවේකය සඳහා අන්‍ධවනයට ගොස් එක්තරා රුක්මුලක දිවාවිහාරණයෙහි හුන්සේක. සැරියුත් තෙරණුවෝද උන්වහන්සේගේ පැමිණීම අසා හිස් අනුව බලමින් ගොස් අවස්ථාව සලකා ඒ රුක්මුලට ගොස තෙරුන් සමඟ සතුටු වී සප්ත විශුද්ධි පිළිවෙළ විමසූහ. තෙරුන්වහන්සේද සැරියුත් තෙරුන් විමසූ විමසූදෙය පැහැදිලි කළහ. ඔවුහු ඔවුනොවුන්ගේ යහපත් කථා පිළිබඳව සතුටුවූහ. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි බික්සඟන මැද වැඩසිටිසේක් තෙරුන් ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.