පිණ්ඩෝලභාරද්වාජ මහා රහතන් වහන්සේ.
පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ උදෑසන කාලයෙහි ලොව බලන සේක් ඔහුගේ හේතු සම්පත් දැක හංසවතියෙහි පිඬු පිණි හැසිර පසුබතෙහි සිංහයා ගොදුරු සඳහා පිටත්ව ගිය කල්හි ඔහුගේ වසන ගුහාවට පිවිස අහසෙහි පළක් බැඳ නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් සේක. සිංහයා ගොදුරු ලැබ ආපසු හැරී ආයේ ගුහා දොරකඩෙහි සිටියේ ඇතුළු ගුහාවෙහි වැඩහුන් බුදුන්වහන්සේ දැක, ‘මගේ වසන තැනට අවුත් හිඳීමට සමත් අන්සතෙක් නම් නැත. ඒකාන්තයෙන් මේ පුරුෂයා ශ්‍රේෂ්ඨයෙකි. ඇතුළු ගුහාවෙහි පළක් බැඳ හුන්නේයි. මොහුගේ ශරීර ප්‍රභාවද හාත්පස පැතිරී ගියේය. මවිසින් මෙබඳුවූ අසිරියක් නොදුටුවිරූය. මේ පුරුෂයා මේ ලෝකයෙහි පිදීමට සුදුස්සන් අතුරෙන් ශ්‍රේෂ්ඨයා වන්නේය. මා විසින්ද මොහුට හැකි පරිද්දෙන් සත්කාර කිරීමට වටනේයයි දියෙහි හටගන්නාවුද ගොඩ භටගන්නාවූද නොයෙක් මල් එක් කොට බිමසිට හුන් පළඟෙහි තැනට මලසුනක් අතුරා සියලු රැය අබිමුවෙහි තථාගතයන්වහන්සේ නමඳිමින් සිටියේය. දෙවැනි දිනයෙහි පරණ මල් ඉවත් කොට අලුත් මලින් ආසනය ඇතිරීය.
මේ ක්‍රමයෙන්ම දිනසතක් මල් අසුන් පනවා බලවත් ප්‍රීතිය හා සොම්නස උපදවා ගුහාදොරටුවෙහි රැකවල් ගත්තේය. සත්වැනි දිනයෙහි භාග්‍යවතුන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැඟිට ගුහා දොරටුවෙහි වැඩ සිටි සේක. මෘගරාජවූ සිංහයාද තථාගතයන් වහන්සේ තෙවරක් පැදකුණු කොට සිවු තැන්හි වැඳ ඉවත්වී සිටියේය. ශාස්ථාන් වහන්සේ මොහුගේ උපනිශ්‍රය මෙපමණක් වටීයයි අහසට පැන නැඟී විහාරයටම ගියසේක.
ඒ සිංහයාද බුද්ධ වියෝගයෙන් දුකට පත් වූයේය. කළුරිය කොට හංසවතී නුවරෙහි මහධනවත් කුලයක පිළිසිඳ ගෙන වියට පැමිණියේ එක් දිනක නුවරුන් සමඟ වෙහෙරට ගොස් දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක සිංහනාද ඇත්තවුන් අතුරෙහි අගතන්හි තබන්නාවූ ශාස්තෘන් වහන්සේ දැක කියනලද ක්‍රමයෙන්ම සත්දිනක් මහදන් පවත්වා ඒ තනතුර පතා ශාස්තෘන්වහන්සේ විසින් (පැතුමට) අනතුරක් නොදැක විවරන දෙන ලද්දේ දිවි ඇතිතෙක් කුසල් කොට එහි කළුරිය කළේ දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර බ්‍රාහ්මණ මහාසාර කුලයෙක්හි උපන්නේය. නමින් භාරද්වාජ නම් වූයේය. හෙතෙම වියට පත්වූයේ ත්‍රිවේදයන් උගෙන මානවකයන් පන්සියයකට මන්ත්‍ර උගන්වමින් හැසිරෙයි. හෙතෙම තමන්ගේ ජ්‍යෙෂ්ඨ භාවයෙන් ආරාදනා ලද තන්හි සියල්ලන්ගේ හික්‍ෂාව තෙමේම පිළිගනී. මෙතෙම වනාහි මඳක් ලොල් ස්වභාවය ඇත්තේ විය. හෙතෙම ඒ මානවකයන් සමඟ කැඳ කොහිද බත් කොහිදැයි කැඳබත් කනදෑම සොයමින් හැසිරෙයි. හෙතෙම ගියගිය තන්හි පිණ්ඩය (අහර)ම ගරු කරමින් හැසිරේයයි පිණ්ඩොලභාරද්වාජ යන නමින් ප්‍රකටවිය.
හෙතෙම එක් දිනක් ශාස්තෘන්වහනසේ රජගහ නුවරට පැමිනි කල්හි ධර්‍මකථාව අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වී විදර්‍ශනාවට කටයුතු කරන්නේ රහත් බවට පැමිණියේය. රහත් බවට පත් වේලෙහිම යතුරක් ගෙන වෙහෙරින් වෙහෙරට පිරිවෙණින් පිරිවෙණට ගොස් යමෙකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්නම් හෙතෙම මා විමසාවායි සිංහනාද නඟමින් හැසුරුනේය. හෙතෙම එක් දිනක් රජගහ සිටු විසින් උණ දඬුවලින් ඔසවා අහසෙයි එල්වන ලද බඳු වදමල් පැහැය ඇති සඳුන් හරෙන් කරනලද පාත්‍රයක් සෘද්ධියෙන් ගෙන සාධුකාර දෙන්නාවූ මහජනයා විසින් පිරිවරන ලද්දේ විහාරයට අවුත් තථාගතයන්වහන්සේගේ අතෙහි තැබුවේය. ශාස්තෘන්වහන්සේ (කරුණ) දන්නාසේක්ම, ‘භාරද්වාජ, ඔබ විසින් කොයින් මේ පාත්‍රය ලබන ලද්දැ’යි ඇසූසේක. හෙතෙම ලැබූ කාරණය පැවසීය. ශාස්තෘන්වහන්සේ, ‘ඔබ මෙබඳුවූ උත්තමසාරධර්‍මයක් මහාජනයාට දැකුවූයෙහිය. ඔබ විසින් නොකළයුත්තක් කරන ලදැයි නොයෙක් අයුරින් නින්දා කොට, ‘මහණෙනි, ගිහියන්ට උතුරුමිනිස්දමින් සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය නොදැක්විය යුතුයි. යමෙක් දක්වන්නේ නම් ඔහුට දුකුළා ඇවැත්වේ’යයි ශික්‍ෂාපදයක් පැනවූසේක.
ඉක්බිති බික්සඟන මැද කථාවක් උපන්නේය: ‘සිංහනාද ඇති තෙරුන්වහන්සේ රහත් බවට පත් දිනයෙහි බික්සඟන මැද යමෙකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්ද හෙතෙම මා විමසාවායි කීය. බුදුන්වහන්්සේගේ අබිමුවෙහිද තමන්ගේ රහත්බවට පැමිණීම කීහ. සෙසු සව්වෝ නිහඬවූහ. තමාගේ සිංහනාද ඇති බැවින්ම මහජනයාගේ පැහැදීම උපදවා අහසට පැනනැඟී සඳුන්හරෙන් කළ පාත්‍රයද ගත්හ’ යනුවෙනි. ඒභික්‍ෂූහු මේ ගුණ තුනම එක් කොට ශාස්තෘන්වහන්සේට පැවසූහ. බුදුවරු නම් ගැරහියයුතු දෙය ගරහති. පැසසිය යුතු දෙය පසසතියි මෙතන්හි පැසසිය යුතුවූ අංගම ගෙන, මහණෙනි, ඉන්‍ද්‍රියන් තුනක් වැඩූබැවින්, බොහෝකොට වැඩු බැවින් භාරද්වාජ භික්‍ෂුව ‘ජාතිය ක්‍ෂය විය. බඹසර වසනලදී. කළයුතු දෙය කරනලදී. මින්පසු අන්දෙයක් නැතැයි දනිමි’යි දන්නේ ප්‍රකාශ කළේය. කවර නම් තුන් දෙනෙකුගේද යත්? සති ඉන්‍ද්‍රියයාගේ, සමාධි ඉන්‍ද්‍රියයාගේ හා පඤ්ඤ ඉන්‍ද්‍රියයාගේයි. මහණෙනි, මේ ඉන්‍ද්‍රියයන් තිදෙනා වැඩූ බැවින්, බොහෝකොට වැඩූ බැවින් භාරද්වාජ භික්‍ෂුතෙම ‘ජාතිය ක්‍ෂයවිය. බඹසර වසන ලදී. කළයුතු දෙය කරනලදී. මින්පසු අන් දෙයක් නැතැ’යි දනිමියි දන්නේ ප්‍රකාශ කළේය’යි තෙරුන්වහන්සේ පසසා සිංහනාද ඇති භික්‍ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.