පිළින්‍දිවච්ඡ මහරහතන් වහන්සේ.

 

පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි මහ ධනවත් කුලයක උපන්නේ පෙර කියනලද අයුරින්ම ශාස්තෘන්වහන්සේගේ ධර්‍ම දේශනය අසන්නේ එක් භික්‍ෂුවක දෙවියන්ට ප්‍රියමනාපස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට දෙව්මිනිසුන් අතරෙහි සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි සැවතෙහි බමුණු ගෙයක උපන්නේය. මොහුට පිළින්‍දිවච්ඡයයි නම් කළාහුය. හෙතෙම මෑතභාගයෙහි බුදුන්වහන්සේගේ ධර්‍මදේශනය අසා ලද ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව උපසපන්වූයේ විදසුන් වඩා රහ්බවට පැමිණියේය. හෙතෙම ගිහියන් සමගද භික්‍ෂූන් සමඟද කථා කරන්නේ එව වසලය, යව වසලය, දෙව වසලය, ගනුව වසලයයි වසලවාදයෙන්ම ප්‍රකාශකරයි. ඒ කථාව ගෙනහැර තථාගතයන් වහන්සේගෙන් ‘භාග්‍යවතුන්වහන්ස, ආර්‍ය්‍යයෝ නම් පරුෂවචන ඇත්තෝ නොවෙති’යි විමසූහ. ‘මහණෙනි, ආර්‍ය්‍යවරුන්ගේ අනුන් පහත්කිරීම් වශයෙන් පරුසවචනයක් නම් නැත. එසේවුවත් භවාන්තරයෙහි පුරුදු කිරීම් වශයෙන් වන්නේය.’ ‘ස්වාමීනි, පිළින්‍දිවච්ඡතෙරහු නැඟිට නැඟිට ගිහියන් සමඟද භික්‍ෂූන් සමඟද කථාකරන්නාහු වසලය වසලයයි කියති. ස්වාමීනි, මෙහි කරුණ කිමේක්ද? මහණෙනි. මගේ පුතුගේ මෙය දැන් පමණක්ම පුරුදු කරනලද්දක් නොවේ. අතීතයෙහි මෙතෙම ජාති පන්සියයක් වසලවාදී බ්‍රාහ්මණ කුලයෙහි උපන්නේය. මෙසේ මෙතෙම භවපුරුද්දෙන්ම කියයි. ඵරුෂවශයෙන් නොවේ. ආර්‍ය්‍යයන්ගේ ව්‍යවහාරය ඵරුෂ සමානවුවද චෙතනාව කරණකොටගෙන අපරුෂ භාවයෙන් පිරිසුදු වූයේම වෙයි. මෙහි සුළුවුද පාපයක් හටනොගනීය’යි පවසා ධර්‍මපදයෙහි මේ ගාථාව දෙසූසේක.

“අකක‍්කසං විඤ‍්ඤාපනිං, ගිරං සච‍්චමුදීරයෙ;
යාය නාභිසජෙ කඤ‍්චි, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

‘(යමෙක්) යම් වචනයකින් කිසිවකු කෝප නොකරන්නේද රළු නොවන අදහස් හඟවන සත්‍ය වචන ප්‍රකාශ කරන්නේද හෙතෙම බ්‍රාහ්මණයෙකැයි මම පවසමි.’

ඉක්බිති එක්දිනක් තෙරුන්වහන්සේ රජගහනුවරෙහි පිඬු පිණිස හැසිරෙන්නාහු තිප්පිලි භාජනයක පුරවා රැගෙන ඇතුළු නුවරට පිවිසෙන එක් පුරුෂයකු දැක ‘වසලය, නුඹේ භාජනයෙහි කිමෙක්දැයි ඇසූහ. හෙතෙම සිතීය: මේ ශ්‍රමණයා මා සමඟ උදෑසනම ඵරුෂ වචන කියයි. මොහුට සුදුසු දෙයක්ම කීමට වටී.’ එසේ සිතා, ‘ස්වාමීනි මගේ භාජනයෙහි මීබෙටිය’යි කීවේය. ‘වසලය, එසේ වන්නේය.’ ඒ තෙරුන් නොපෙනී යනවිට සියල්ල මීබෙටිම වූයේය. හෙතෙම සිතීය: මේ තිප්පිලි මීබෙටි සමානව පෙනේ. මේ ස්වභාවයද නැද්දැයි විමසනුයේ අතින් තද කළේය. ඉක්බිති ඔහුට මීබෙටි බව දැන බලවත් දොම්නසක් උපන්නේය. හෙතෙම මේවා පමණක් මෙබඳුවීද නැත්හොත් ගැලෙහිද එසේවීදැයි ගොස් බලන්නේ සියලුම තිප්පිලි එබඳුම වී ඇතිබව දැන අතින් පපුව දරාගෙන, ‘මෙය අනිකෙකුගේ වැඩක් නොවේ. මා උදෙන්ම දුටු භික්‍ෂුවගේ වැඩකි. ඒකානත්යෙන්ම (හෙතෙම) මායාවක් දන්නේය. ඔහුගිය තැන සොයා දැන ගෙන මෙකරුණ දනිමි’යිි තෙරුන් ගියමග අසා (ඒ අනුව) ගියේය.

ඉක්බිති එක් පුරුෂයෙක් ඉතා ඉක්මන් ගමන් ඇතිව යන ඔහු දැක ‘පින්වත් පුරුෂය, එබ ඉතා ඉක්මන් ගමන් ඇතිව යයි. කවර වැඩකට යන්නෙහිදැයි ඇසීය. හෙතෙම ඔහුට එපුවත සැළ කළේය. හෙතෙම ඔහුගේ කථාව අසා මෙසේ කීය: ‘පින්වත, නොසිතව, මගේ ආර්‍ය්‍යවූ පිළින්‍දිවච්ඡ තෙරණුවෝ වන්නාහ. නුඹ මේ භාජනයම පුරවා රැගෙන වුත් තෙරුන් ඉදිරියෙහි, සිටුව. මේ කිමෙක්ද වසලයයි කී කල්හි, ‘ස්වාමීනි, තිප්පිලිය’යි කියව. තෙරණුවෝ වසලය එසේ වන්නේයයි කියති. යළි සියල්ල තිප්පිලි වන්නේය.’ හෙතෙම එසේ කළේය. සියලු තිප්පිලි යළි මුලින් තිබූ ලෙසින්ම විය. මේ කථාවස්තුව මෙපමණෙකි. අපරභාගයෙහි ශාස්තෘන්වහන්සේ දෙවියන්ට ප්‍රියමනාපබවම වස්තුකොට තෙරුන් දෙවියන්ට ප්‍රි​යමනාපවූවන් අතුරෙන් අග තනතුරහි තැබූසේක.