කාළුදායී මහරහතන් වහන්සේ.

 

මේ තෙරණුවෝ නුදුටු බුදුන් දැකීම් ඇති සුදොවුන් මහරජුගේ නිවෙස්න පැහැදවූහ. එබැවින් කුලපහදන්නවුන් අතුරින් අග්‍රනම්වූහ.

පියුමුතුරා බුදුන්කල හංසවතී නුවර කලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ දම් දෙසුම අසමින් එක් භික්‍ෂුවක කුලපහදවන්නවුන් අතුරෙන් අගතැන්හි තබන්නාවූ බුදුරජාණන්වහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ අපගේ බෝසතුන් මවුකුස පිළිසිඳ ගන්නා දිනයෙහි කිඹුල්වතෙහිම ඇමති ගෙයක පිළිසිඳ ගත්තේය. උපන් දිනයෙහි බෝසතුන් සමඟම උපන්නේයයි එදිනම ඔහු දුහුල් ආධාරකයක හොවා බෝසතුනට උවටැන් සඳහා යැවූහ. බෝසතුන් සමඟ බෝරුක, රහල්මව, සිවුමහ නිදන්සැළි, නැඟයායුතු ඇත, කන්‍ථක අසු, ඡන්න හා කාළුදායී යන මේ සත එක් දිනෙක උපන් බැවින් එකට උපන්නාහු නම් වූවාහුය. ඉක්බිති ඔහුට නම්දෙන දිනයෙහි සියලු නුවරුන්ගේ සතුටුසිත් ඇති දිනයෙහි උපන්නේයයි උදායී යනුවෙන් නම් කළාහුය. මඳක් කළුස්වභාවය ඇති බැවින් කාළුදායී නම් වූයේය. හෙතෙම බෝසතුන් සමඟ කුමරකෙළි කෙළින්නේ වැඩිවියට පැමිණියේය.

මෑතකාලයහි බෝසතුන්වහන්සේ මහබිනික්මන් නික්ම අනු පිළිවෙළින් සර්‍වඥතාඥානයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් ලෝකානුග්‍රහය කරමින් රජගහනුවර ඇසුරුකොට වසනසේක. එසමයෙහි සුදොවුන් මහරජතෙමේ, ‘සිදුහත් කුමරු අභිසම්බෝධියට පත්ව රජගහ නුවර ඇසුරු කොට වේළුවනයෙහි වාසය කරති’යි අසා පුරුෂයින් දහසක් පිරිවර කොට ඇති එක් ඇමතියකු මගේ පුතු මෙහි ගෙන එව’යි යැවීය. හෙතෙම සැටයොදුන් මගගොස් බුදුන්වහන්සේගේ සිවුපිරිස මැඳ හිඳ දහම් දෙසන වේලෙහි විහාරයට පිවිසියේය. හෙතෙම රජු එවූ හසුන තිබියේවායි (සිතා) පිරිස් කෙළවරෙහි සිටියේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසා සිටි ලෙසින්ම පුරුෂයන් දහස සමඟ රහත්බවට පැමිණියේය. ඉක්බිති ඔවුන්ට ශාස්තෘන්වහන්සේ ‘එවූ මහණෙනි’යි අත දිගු කළ සේක. සියල්ලෝ එකෙණෙහිම සෘද්ධිමය පාත්‍රචීවර දරන්නාවූ වස්සියයක් ගිය තෙරවරුන් මෙන් වූවාහුය. රහත්බවට පත් කල් පටන් ආර්‍ය්‍යයෝ නම් මධ්‍යස්ථ වූවෝම වෙතියි රජු යැවූ හසුන බුදුන්වහන්සේට සැළ නොකළෝය. රජතෙමේ ‘ගියාහු නොඑන්නොමය. හසුනකුදු නොඅසනු ලැබේ’යයි ‘එව. දරුව නුඹ යව’යි ඒ අයුරින්ම වෙනත් ඇමතිවරයකු යැවීය. හෙතෙමේත් ගොස් මුල් අයුරින්ම පිරිස සමඟ රහත් බවට පත්ව නිහඬ වූයේය. මෙසේ ඇමතියන් නව දෙනකු සමඟ නවදහසක් මිනිසුන් යැවීය. සියල්ලෝ තමන්ගේ කටයුතු නිමවා නිහඬ වූවාහුය.

ඉක්බිති රජතෙමේ මෙසේ සිතුවේය: මෙපමණ ජනයෝ මා කෙරෙහි සෙනෙහසක් නොමැති බැවින් බුදුන් වහන්සේට මෙහි පැමිණීම සඳහා කිසිවක් නොකීවාහුය. අන් අය ගොස්ද දශබලයන්වහන්සේ ගෙන්වා ගැනීමට නොහැකි වෙත්, මගේ පුත් උදායි දශබලයන් සමඟ එකම වයස් ඇත්තෙකි. වැළි කෙළෙයෙහි පටන් මා කෙරෙහිද මොහුගේ ස්නේහයක් ඇතැයි කාළුදායී කැඳවා ‘දරුව, පුරුෂයින් දහසක් පිරිවර ඇතිව ගොස් දශබලයන්වහන්සේ වැඩමවාගෙන එව’යි කීවේය. පළමුව ගිය පුරුෂයින් මෙන් පැවිදිවීමට ලබන්නේ ගෙනෙන්නෙමි දේවයිනි’යි (හෙතෙම පැවසීය) ‘යම් කිසිවක්කොට මගේ පුතු දක්වව’යි (රජතෙමේ කීවේය) ‘මැනවි දේවයිනි’යි රජුගේ හසුන ගෙන රජගහ නුවරට ගොස් ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනා වේලාවෙහි පිරිස් කෙළවර සිටියේ දහම් අසා පිරිවර සහිත වූයේ රහත් පලයට පත්ව ඒහි භික්‍ෂු භාවයෙහි පිහිටියේය. ඉක්බිති (හෙතෙම) සිතීය: දශබලයන්වහන්සේට කුලනගරයට යාමට මේ තවම කාලය නොවේ. වසන්ත සමයෙහි සුපිපි වන ලැහැබ් ඇති විට පොළොව නිල් තණින් ගැවසුණ විට ඒ සුදුසු කාලය වන්නේයයි කල් බලමින් ඒ කාලය ආ බව දැන,

‘දැඩිසීත නැත. දැඩි උණුසුම නැත. දැඩි ආහාර හිඟය හා දැඩි කුසගින්න නැත. පොළොව ළදල්ලෙන් නිල්වන්ය. මහමුනි උතුමාණෙනි, මේ (ඔබට) සුදුසු කාලයයි.’

සැටක් පමණවූ ගාථාවන්ගෙන් දශබලයන්වහන්සේට කුලනගරයට යාම සඳහා ගමන් වැණුම කළේය. ශාස්තෘන්වහන්සේ, ‘උදායි ගමන් වැණුම කියයි. කිඹුල්වත් නුවරට යාමට මේ කාලයයි’යි විසිදහසක් භික්‍ෂූ පිරිවර ඇත්තාහු මඳ ගමනින් චාරිකාවෙහි නික්මුණුසේක.

උදායි තෙරණුවෝ බුදුන් නික්මුණු බව දැන පියමහරජුට සංඥාවක් දීමට වටීයයි අහසට පැන නැඟී රජුගේ නිවෙසෙහි පහළවූහ. සුදොවුන් මහරජතෙමේ තෙරුන් දැක තුටුසිත් ඇත්තේ මාහැඟි පළඟක වඩා හිඳුවා තමන්ට පිළියෙළ කරනලද නොයෙක් අග්‍රරස සහිත භෝජනයෙන් පාත්‍රය පුරවා දුන්නේය. තෙරණුවෝ නැඟිට යනසැටියක් පෙන්වූහ. හිඳගෙනම වළඳව දරුව’යි රජ කීවේය. ‘මහරජ, ශාස්තෘන් සමීපයටම ගොස් වළඳන්නෙමි’ ‘දරුව, ශාස්තෘන්වහන්සේ කොහිද?’ ‘මහරජ, විසිදහසක් භික්‍ෂු පිරිවර ඇත්තාහු නුඹ දැකීම සඳහා චාරිකාවෙහි නික්මුණු සේක!’ ‘නුඹ වහන්සේ මේ පිණ්ඩපාතය වළඳා යම්විටෙක මගේ පුතා මේ නගරයට සැපැමිණෙයිද එවිට ඔහුට මෙයින්ම පිණ්ඩපාතය ගෙන යනු මැනව.’ තෙරණුවෝ බත්කිසකොට බුදුන්වහන්සේට ගෙනයායුතු බත ගෙන දහම්කතා කියා බුදුන්වහන්සේ නොදැකීමෙන්ම සියලු රජනිවෙසට ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබාදී සියල්ලන් බලා සිටියදීම පාත්‍රය අහසෙහි මුදාහැර තෙමේත් අහසට පැන නැගී පිණ්ඩපාතය රැගෙන බුදුන්වහන්සේගේ අතෙහි තැබූහ. ශාස්තෘන්වහන්සේ එම පිණ්ඩපාතය වැළදූසේක. තෙරණුවෝ සැටයොදුන් මග යොදුනක් පරම කොට වඩින්නාවූ ශාස්තෘන්වහන්සේට දිනපතා රජ මැදුරෙන් බත් ගෙනවුත් දුන්හ. මෙසේ කථාවස්තුව දතයුතුය. ඉක්බිති මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ මගේ පිය මහරජුගේ සියලු නිවෙස්න පැහැදවීයයි තෙරුන් කුලපහදන්නවුන් අතුරෙන් අගතනතුරෙහි තැබූසේක.