දබ්බමල්ල පුත්තමහරහතන් වහන්සේ.
පියුමුතුරා බුදුන් කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද වියපත්වූයේ කීඅයුරින්ම විහාරයට ගොස් දහම් අසන්නේ එක් භික්‍ෂුවක සෙනසුන් පනවන්නාවූ භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්කම්කොට ඒ තනතුර පතා ශාස්තෘන් විසින් විවරණ දෙනලද්දේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ සසුනෙහි පිරිහෙනකල්හි පැවිදිවූයේය. එකල්හි ඔහු සමඟ වෙනත් සයදෙනෙකිසි සත්දෙනා එක්සිත් ඇත්තෝව සසුනට අගෞරව කරන අනයයන් දැක ‘මෙහි කුමක් කරමුද? එක් පෙදෙසක මහණදම්කොට දුක් කෙළවර කරන්නෙමු’යි හිණිමගක් බැඳ උස් පව්මුදුනකට නැඟ තමන්ගේ සිතේබලය දන්නාහු හිණිමග හෙලත්වා ජීවිතයෙහි ආශා ඇත්තෝ බසිත්වා පසුව තැවෙන්නෝ නොවෙත්වායි කියා සියල්ලෝ එක්සිත්වී හිණිමඟ හෙලා ‘ඇවැත්නි, අප්‍රමාදවවු’ යයි ඔවුනොවුන්ට ඔවාදී සිත්ඇලවූ තැන්හි හිඳ මහණදම් කිරීමට අරඹූහ.
ඉක්බිති එක් තෙර කෙනෙක් පස්වෙනි දිනයෙහි රහත්බවට පැමිණ මගේ කිස නිමියේයි. මම මෙතැන්හි කුමක් කරම්දැ’යි සෘද්ධියෙන් උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනවුත් ‘ඇවැත්නි, මේ පිණ්ඩපාතය පරිභොග කරන්න. පිඬුසඳහා යාම මගේ වැඩක් වේවා! නුඹලා තමන්ගේ වැඩකරවු’යි කීවේය. ‘කිමෙක්ද ඇවැත්නි, අපි හිණිමග හෙලන්නාහු, ‘යමෙක් පළමුව දහම් පසක් කරන්නේද හෙතෙම භික්‍ෂාව ගෙනේවා! ඔහු ගෙනෙනලද්ද සෙස්සෝ පරිභොගකොට මහණදම් කරන්නාහු’යි මෙසේ කීවෙමුදැයි (අනෙක් අය ඇසූහ.)’ නැත, ඇවැත්නි,’ ‘නුඹවහන්සේ තමන්ගේ පූර්‍වහේතුවෙන් ලැබූහ. අපිද හැකිවන්නමෝ සසර කෙළවර කරන්නෙමු. නුමවහන්සේ යනු මැනව.’ තෙරණුවෝ ඔවුනට හඟවන්නට නොහැකි වන්නෝ පහසු තැනක පිණ්ඩපාතය වළඳා වැඩියහ. වෙනත් තෙරකෙනෙක් සත්වෙනි දිනයෙහි අනගැමි පෙලට පත්ව එයින් චුතවූයේ සුද්දාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේය.
සෙසු තෙරවරු එයින් චුත වූවාහු එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි ඒ ඒ කුලයන්හි උපන්නාහුය. එක්කෙනෙක් ගන්‍ධාර රට තක්සිලා නුවර රජගෙයක උපන්නේය. එක්කෙනෙක් පබ්බතිය රටෙහි පිරිවැජියකගේ කුසෙහි උපන්නේය. එක්කෙනෙක් බාහිය රටෙහි කෙළෙඹි ගෙයක උපන්නේය. එක් කෙනෙක් රජගහනුවර කෙළෙඹි ගෙයක උපන්නේය. මේ දබ්බතෙරණුවෝ මල්ල රට අනුපිය නුවර එක් මල්ල රජෙකුගේ ගෙහි පිළිසිඳ ගත්හ. ඔහුගේ මව ප්‍රසුතියට ළංවූ කල්හි කළුරිය කළාය. මළසිරුර සොහොනට ගෙනවුත් දරසෑයට නංවා ගිනි දැල්වූහ. අග්නිවේගයෙන් තැවුණු ඇයගේ උදරය දෙකඩ වූයේය. දරුවා තමන්ගේ පින්බලයෙන් උඩට විසි වී එක් දැව කණුවක වැටුනේය. ඒ දරුවා ගෙන මිත්තනියට දුන්හ. ඈ ඔහුට නම් දෙන්නී දැන කණුවෙහි වැටී ලදදිවි ඇති බැවින් දබ්බයයි ඔහුට නම් කළාය.
ඔහුට සත් අවුරුදු කල්හි ශාස්තෘන්වහන්සේ බික්සඟන පිරිවරා මල්ලරටෙහි චාරිකාවෙහි හැසිරෙනසේක් අනුපිය නියම්ගමට පැමිණ අනුපිය අඹවනයෙහි වාසය කරනසේක. දබ්බකුමාරයා ශාස්තෘන්වහන්සේ දැක දැකීමෙන්ම පැහැද පැවිදිවනු කැමැත්තෙවී බුදුරදුන් සමීපයෙහි පැවිදි වන්නෙමැයි මිත්තනියගෙන් ඇසීය. ඕ මැනවි දරුවයි දබ්බකුමරු රැගෙන බුදුරදුන් සමීපයට ගොස් ‘ස්වාමීනි, මේ කුමරුන්, පැවිදිකරවනු මැනවැ’යි කීවාය. බුදුරජාණන්වහන්සේ එක්තරා භික්‍ෂුවකට ‘භක්‍ෂුව, මේ දරුවා පැවිදි කරවන්නැ’යි සංඥාවක් දුන්සේක. ඒ තෙරණුවෝ ශාස්තාවචනය අසා දබ්බ කුමරුවා පැවිදි කරන්නේ තචපංචක කමටහන පැවසූහ. පෙර හේතු සම්පත් ඇති, කළ පැතුම් ඇති සත්ව තෙමේ පළමු කෙස්වැටිය බහන කෙණෙහි සෝවාන් පෙලෙහි පිහිටියේය. දෙවැනි කෙස්වැටිය බහන විට සකෘදාගාමි ඵලයෙහිද තෙවැන්න බහනවිට අනාගාමි ඵලයෙහිද සියලු කෙස් බැහීමද රහත්ඵලය පසක් කිරීමද නොපසුව නොපෙරටුව සිදුවිය.
ශාස්තෘන්වහන්සේ මල්ල රටෙහි කැමැති පරිද්දෙන් වැස රජගහ නුවරට සැපත්ව වෙළුවනයෙහි විසුසේක. එහි ආයුෂ්මත් දබ්බමල්ල පුත්ත තෙරණුවෝ රහසිගත වූවාහු තමන්ගේ කටයුතු නිමාවීම බලමින් සංඝයාට වතාවත් කිරීමෙහි කය යොදනු කැමැත්තෝ, ඉදින් ‘මම සංඝයාට සෙනසුන් පනවන්නෙම්ද බත් උදෙසන්නෙම්ද නම් යෙහෙකැයි සිතූහ. හෙතෙම ශාස්තෘන් සමීපයට ගොස් තමන්ගේ අදහස දැන්වූයේය. ශාස්තෘන්වහන්සේ ඔහුට සාධුකාරදී ඔහුගේ සෙනාසන පඤ්ඤාපක බවද භත්තුද්දෙසක බවද පිළිගත් සේක. ඉක්බිති ඔහුට ‘මේ දබ්බතෙමේ දහරයෙක් (කුඩා කෙනෙක්) වූයේ මහත් තැනක සිටියේය’යි සත් අවුරුදු කල්හිම උපසපන් කරවූයේය. තෙරණුවෝ උපසපන් කාලයෙහි සිට රජගහනුවර ඇසුරුකොට වසන්නාවූ සියලු භික්‍ෂූන්ට සෙනසුන්ද පනවති. භික්‍ෂාවද පිළිගෙන උදෙසති. ඔහුගේ සේනාසන පඤ්ඤාපක භාවය සියලු දිශාවන්හි ප්‍රකට විය. ‘දබ්බමල්ල පුත්ත තෙරණුවෝ වනාහි සභාගී සභාගී භික්‍ෂූන්ට එක් එක් තැන්හි සෙනසුන් පනවති. දුරෙහිද සෙනසුන් පනවන්නේමය. යාමට නොහැකි වන්නවුන් සෘද්ධියෙන් පමුණුවන්නෝය’ යනුවෙනි.
ඉක්බිති භිකෂූහු ඔහුට, කල්හිද නොකල්හිද ඇවැත්නි අපට ජීවකම්බ වනයෙහි සෙනසුන පනවන්න. අපට මද්දකුච්ඡියෙහි, මිගදායෙහි’යි මෙසේ සෙසුන උදෙසවානෙ ඔහුගේ සෘද්ධිය දක්නාහු යති. හෙතෙමේද සෘද්ධියෙන් මනෝමය කායයන් මවා එකිනෙක් තෙරුන්ට තමන් සමානවූ එකිනෙක් භික්‍ෂුවදී ඇගිල්ල දිලෙත්දී ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් මේ ඇඳය, මේ පුටුවය ආදිය කියා සෙනසුන පනවා යළි තමන් වසන තැනටම එයි. මේ මෙහි සංක්‍ෂෙපයයි. විස්තර වශයෙන් මේ කථාව පෙළෙහි ආයේමය. මෙකරුණම අර්‍ත්‍ථොත්පත්ති කොට මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ ආර්‍ය්‍ය සමූහයා මැද වැඩසිටිසේක් තෙරුන් සෙනසුන් පනවන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අගතන්හි තැබූසේක.