චුල්ලපනාථක මහරහතන් වහන්සේ සහ මහරහතන් වහන්සේ.

අතීතයෙහි පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරවැසිවූ දෙබෑ කෙළෙඹිකෙනෙක් ශ්‍රද්ධාවෙන් පැහැදුනෝ නිබඳ ශාස්තෘන් හමුවට ගොස් ධර්‍මය අසත්. එක්දිනක් ඒ දෙදෙනා අතුරෙන් කනිටුබෑයා අංගදෙකකින් යුත් එක් භික්‍ෂුවක ‘මගේ සසුනෙහි මනොමයකාය නිර්‍මාණය කරන්නවුන් අතුරෙන්ද චෙතො විවර්‍තනයෙහි දක්‍ෂයන් අතුරෙන්ද මේ භික්‍ෂුව අග්‍රයයි එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක මෙසේ සිතීය. ‘ඒකාන්තයෙන්ම මේ භික්‍ෂුව ශ්‍රේෂ්ඨයෙකි. එක්කෙනෙක්ම අංග දෙකක් සම්පූර්‍ණකොට හැසිරෙයි. මාවිසින්ද අනාගතයෙහි එක්බුදුකෙනෙකුන්ගේ සසුනෙහි අංගදෙකක් පුරන්නකු වී හැසිරීමට වටීය.’ යනුවෙනි. හෙතෙම පළමු ක්‍රමයෙන්ම ශාස්තාන් ආරාධනාකොට සත්දිනක් මහදන්දී මෙසේ කීවේය: ‘ස්වාමීනි, මෙයින් සත්දිනකයට මත්තෙහි නුඹවහන්සේ යම් භික්‍ෂුවක, මනොමය අංගයෙන්ද චෙතොවිවට්ට කුසලඅංගයෙන්ද මෙතෙම මගේ සසුනෙහි අග්‍රයයි ඒකදග්‍රස්ථානයෙහි තැබුවාහුද මමද මේ පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් ඒ භික්‍ෂුව මෙන් අංග දෙක සපුරන්නෙක් වෙම්වායි ප්‍රාත්‍ථර්‍නා කළේය.

ශාස්තෘන්වහන්සේ අනාගතය බලා අනතුරකින් තොරව ඔහුගේ ප්‍රාර්ථනාව ඉටුවනබව දැන ‘අනාගතයෙහි කල්පලක්‍ෂයක අවසානයෙහි ගොතමනම් බුදුකෙනෙක් උපදින්නාහ. උන්වහන්සේ මොහු මේ තනතරු දෙකෙහි තබන්නාහ’යි ව්‍යාකරණය කොට අනුමෙවෙනිකොට වැඩමකළසේක. ඔහුගේ සහෝදරයාද එක්දිනක් සංඥාවිවර්‍තනයෙහි දක්‍ෂවූ භික්‍ෂුවක ඒතදග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක එසේම පුණ්‍යකර්‍මකෙට ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේද ඔහුට විවරණ දුන්සේක.

ඒ දෙදෙනාම ශාස්තෘන්වහන්සේගේ ජීවමාන කාලයෙහි කුසල් කොට ශාස්තෘන් පිරිනිවන් පෑ කල්හි ශරීරචෛත්‍යයෙහි රන් පූජාව කොට එයින් සැවවූවාහු දෙව්ලොව උපන්නාහුය. මොවුන් දෙව්මිනිසුන් අතර සැරිසරද්දීම කල්ප ලක්‍ෂයක් ඉක්මුණේය. එහි මහාපන්‍ථකයන්ගේ අතරතුර කළ පින්කම් නොකියනු ලැබේ. චුල්ලපන්‍ථක වනාහි කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේගේ සසුනෙහි පැවිදිවී අවුරුදු විසිදහසක් ඔදාතකසිණකර්‍මයකොට දෙව්ලොව උපන්නේය. ඉක්බිති අපගේ ශාස්තෘන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පවත්වනලද උතුම් දම්සක් ඇතිසේක් රජගහනුවර ඇසුරු කොට වෙළුවන මහාවිහාරයෙහි වාසයකරනසේක.

මෙතැන් සිට මේ දෙදෙනොගේම උපත කීමට වටී. රජගහනුවරෙහි ධනවත් සිටුකුලයක දියනියන් තමාගේ දාසයා සමඟ ඇසුරු කොට අන්‍යයෝද මගේ මේ ක්‍රියාව දැනගන්නාහුයයි බියවූවා මෙසේ කීවාය: ‘අපට මෙතැන්හි විසීමට නොහැකිය. ඉදින් මගේ මාපියෝ මේ වරද දැනගන්නාහු නම් මා කඩකඩ කරති. විදේශයකට ගොස් වසන්නෙමු’යි වටිනා ධනය ගෙන ප්‍රධාන දොරටුවෙන් නික්ම අන්‍යයන් විසින් නොදන්නා යම්කිසි තැනකට ගොස් වසන්නෙමු’යි දෙදෙනාම ගියාහුය.

ඒක තැනක වසන්නාවූ ඔවුන්ගේ සංවාසය නිසා ඇයගේ කුසෙහි ගැබක් පිහිටියේය. ඕ ගැබ මුහුකිරීමට පැමිණ ස්වාමියා සමඟ, ‘මගේ ගැබ මුහුකුරා ගියේය. නෑමිතුරන් නැති තැනක දරුප්‍රශූතිය නම් අප දෙදෙනාටම කරදයක්ම වේ. කුලගෙයටම යමු’යි කතා කළාය. හෙතෙම් අද යමු හෙටයමුයි දින ඉක්මෙව්වේය. ඕතොමෝ ‘මේ බාලතෙමේ තමාගේ වරද බලවත් බැවින් යාමට උත්සාහ නොකරයි. මවුපියෝ නම් ඒකානත්යෙන් හිතවත්ය. මෙතෙමේ ගියා හෝ නොගියා හෝ වේවා. මා යාමට වටීයයි සිතුවාය. ඔහු ගෙයින් පිටත්ව ගිය කල්හි ඕතොමෝ ගෙහි බඩු එකලස් කොට තමාගේ කුලගෙයට ගියබව ඊලඟ ගෙහි වැසියන්ට සැළකොට මගට පිළිපන්නීය.

ඉක්බිති ඒ පුරුෂයා ගෙට අවුත් ඇය නොදැක ඇසුරු කරන්නවුන්ගෙන් අසා කුලගෙයට ගියායයි දැන වේගයෙන් ළුහුබැඳ ගොස් අතරමගදී මුණගැසුනේය. ඇයටද එහිදීම දරුප්‍රශූතිය වීය. හෙතෙම, ‘සොදුර, මේ කුමක්දැයි ඇසීය. ‘ස්වාමීනි, එක් පුතෙක් උපන්නේය’යි කීවාය. ‘දැන් කුමක් කරන්නෙමුද? යමක් සඳහා අපි කුලගෙයට යමුද ඒකාර්‍ය්‍යය අතරමගදීම සපිරිණි. එහි ගොස් කුමක් කරන්නෙමුද? නවතිමුයයි දෙදෙනාම එක් සිත්ව නැවැත්තාහුය. ඒ දරුවාටද මගෙහි උපන් බැවින් පන්‍ථකයයි නම් කළහුය. ඇයට නොබෝකලකින්ම වෙනත් ගැබක් ද පිහිටියේය. සියල්ල පෙර පරිද්දෙන්ම විස්තර කළයුතුය. ඒ දරුවාටද මගෙහි උපන් බැවින් පළමු උපන්නාට මහාපන්‍ථකයයි නම් කොට අනෙකාට චුල්ලපන්‍ථකයයි නම් කළාහුය.

ඔවුහු ඒ දරු දෙදෙනාම ගෙන තමන් වසන තැනටම ගියාහුය. එහි වසන්නාවූ මේ දෙදෙනාගෙන් මේ මහාපන්‍ථක දරුවා අනෙක් දරුවන් සුළුපියාය. මහපියාය, මුත්තාය, මිත්තණියයි කියනු අසා මවගෙන් ‘මෑණියනි, අනික් ලමයි මුත්තායයි කියත්, මිත්තණියන්ද කියත් කිම අපට නෑයෝ නැද්දැයි ඇසීය. ‘එසේය, දරුව නුඹලාට මෙහි නෑයෝ නැත. රජගහනුවර නුඹලාගේ මුත්තා ධනසෙට්ඨි නම්වේ. එහි නුඹලාගේ බොහෝ නෑයෝයි කීවාය. ‘මෑණියනි, කුමක් හෙයින් එහි නොයමුද?’ ඕතමන් පැමිණි කාරණය නොකියා ඔවුන් යළියළිත් කියන කල්හි සැමියාට, මේ දරුවෝ බෙහෙවින් කරදරවෙත්, කිම මව්පියෝ අපදැක (අපගේ) මස් කත්ද? එව, දරුවන්ට මුත්තණුගෙය දක්වන්නෙමුයි කීවාය. මට මුහුණ දේනට නොහැක්කෙමි. ඔබ යවන්නෙමි’යි හෙතෙම කීය. ‘මැනව, ස්වාමීනි, යම්කිසි ක්‍රමයකින් දරුවන්ට මුත්තණුගෙය දැක්වීමට වටීය’යි ඕ කීවාය. දෙදෙනාම දරුවන් රැගෙන පිළිවෙළින් රජගහ නුවරට පැමිණ නගර දොරටුවෙහි එක් ශාලාවක නැවතී දරුවන්ගේ මව දෙදරුවන් ගෙන ආබව මාපියන්ට සැළකෙරෙව්වාය.

ඔවුහු එපුවත අසා, ‘සසර සැරිසරන්වුන්ට පුතෙක් නොවන්නෙක් දුවක් නොවනනෙක් නම් නැත. ඔවුහු අපට මහාපාරාධයක් කළ අයයි. ඔවුන්ට අපගේ ඇස් හමුවෙහි සිටීමට නොහැකිය. මෙපමණ නම් ධනයක් ගෙන දෙදෙනාමපහසු තැනකට ගොස් ජීවත් වෙත්වා! දරුවන් මෙහි එවත්වා’යි දැනවූහ. සිටුදියණිය මව්පියන් එවූ ධනය ගෙන දරුවන් ආවාවූ දූතයන්ගේම අතටදී යැවුවාය. දරුවෝ මුත්තණුගෙහි වැඩෙති. ඔවුනතුරින් චුල්ලපන්‍ථක තෙමේ ඉතා ළදරුය. මහා පන්‍ථක වනාහි මුත්තණුවන් සමඟ බුදුන්වහන්සේගේ ධර්‍මකථා ඇසීමට යයි. නිබඳවම ශාස්තෘන් හමුවෙහි ධර්‍මකථා අසන්නාවූ ඔහුගේ සිත පැවිද්ද දෙසට නැමුණේය. හෙතෙම මුත්තාට, ඉදින් ඔබතුමා පිළිගන්නහු නම් මම පැවිදි වන්නේමි’යි කීවේය. දරුව නුඹ කුමක් කියහිද? මට සියලු ලෝකයාගේම පැවිද්දට වඩා නුඹගේම පැවිද්ද මැනවි. ඉදින් හැකිනම් පැවිදි වන්න දරුව’යි පිළිගෙන ශාස්තෘන් සමීපයට ගියේය. ශාස්තෘන්වහන්සේ කිමෙක්ද මහසිටු, ඔබ විසින් දරුවෙක් ලබන ලද්දේයි ඇසූසේක. ‘එසේය, ස්වාමීනි, මේ දරුව මගේ මුණුබුරාය. නුඹවහන්සේ සමීපයෙහි පැවිදිවෙමැයි කියයියී කීවේය.

ශාස්තෘන්වහන්සේ පිඬුහැසිරෙන එක්තරා භික්‍ෂුවකට මේ දරුවා පැවිදිකරවයි අණකළසේක. තෙරුන්වහන්සේ ඔහුට තචපඤ්චක කර්‍මස්ථානය දැනුම්දී පැවිදි කරවූහ. හෙතෙම බොහෝ බුදුවදන් උගෙන පිරිපුන් වස් ඇත්තේ උපසම්පදාව ලැබුවේය. උපසපන් වූයේ යොනිසෝ මනසිකාරයෙහි කටයුතු කරන්නේ සතර අරූපාවචරධ්‍යානලාභීවී ධ්‍යානාංගයන්ගෙන් නැඟිට රහත්බවට පත්වූයේය. මෙසේ හෙතෙම සංඥාවිවර්‍තදක්‍ෂතා ඇත්තවුන් අතුරෙන් අග්‍රවූයේය. හෙතෙම ධ්‍යානසුඛයෙන්ද මාර්‍ගසුඛයෙන්ද ඵලසුඛයෙන්ද නිර්‍වාණසුඛයෙන්ද කල්ගෙවන්නේ මෙසේ සිතුවේය: ‘මේ සැපය චුල්ලපන්‍ථකට දීමට හැකිවේද’ යනුවෙනි. ඉක්බිති මුත්තණුසිටුවරයා ලඟට ගොස් මහ සිටුතුමනි, ඔබතුමා පිළිගන්නහු නම් මම චුල්ලපන්‍ථක පැවිදි කරවන්නෙමි’යි කීවේය. ‘ස්වාමීනි පැවිදි කරන්නැයි සිටුවරයා කීය. තෙරුන්වහන්සේ චුල්ලපන්‍ථක දරුවා පැවිදිකරවා දසසිල්හි පිහිටුවූහ. චුල්ලපන්‍ථක හෙරණ තෙමේ සොහොයුරාගේ සමීපයෙහි,

‘පදුමං යථා කොකනදං සුගන්ධං
පාතො සියා ඵුල්ලමවිතගන්ධං
අඩ්ගිරසං පස්ස විරෙචමානං
තපන්තමාදිච්චමිවන්තලික්ඛේ’

(සුවදැති, පිපුණු, පහනොවූ සුවද ඇති රත් පියුමක් උදෑසන යම්සේ වේද
(එසේ) බබළන්නාවූ අඞ්ගීරසයන් (බුදුන්වහන්සේ) අහසෙහි බබළන හිරුමෙන් බලව)

මේ ගාථාව උගණියි. මතු පද උගන්නාවූ උන්වහන්සේගේ උගත් උගත් පදය නැසෙයි (අමතකවෙයි) මේ ගාථාවම උගෙනීමට වෑයම් කරන්නාවූ උන්වහන්සේට සිවුමසක් ඉක්මුණේය. ඉක්බිති මහාපන්‍ථක තෙමේ ඔහුට, ‘පන්‍ථකය, නුඹ මේ සසුනෙහි අභව්‍යයෙකි. සිවු මසකින් එකගාථාවකුදු උගෙනීමට නොහැකි වූවෙහි. නුඹ කෙසේ නම් පැවිදිකිස මුදුන්පත් කරන්නෙහිද? මෙයෙනි නික්ම යන්නැයි පැවසීය. හෙතෙම තෙරුන් විසින් නෙරපන ලද්දේ විහාර ප්‍රත්‍යන්තයෙහි අඬමින් සිටියේය.

එසමයෙහි භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර ඇසුර කොට ජීවකම්බවනයෙහි වාසයකරනසේක. එකල්හි ජීවක තෙමේ ‘භික්‍ෂූන් පන්සියයක් සමඟ ශාස්තාන්වහන්සේ නිමන්ත්‍රණය කරව’යි පුරුෂයකු යැවීය. එකල්හි මහාපන්‍ථක තෙරණුවෝ භත්තුදේදසක වෙති. උන්වහන්සේ ‘ස්වාමීනි භික්‍ෂූන් පන්සියයකට හික්‍ෂාව පිළිගනුමැනවැ’යි කීකල්හි, ‘බාලපන්‍ථකයන් හැර සෙස්සන්ට පිළිගනිමි’යි කීහ. චුල්ලපන්‍ථක තෙමේ ඒ කථාව අසා බොහෝ සෙයින් දොම්නසට පත් වූයේය. ශාස්තෘන්වහන්සේ චුල්ලපන්‍ථකගේ ඛේදය දැක ‘චුල්ලපන්‍ථක තෙමේ මා ගිය කල්හි අවබෝධකරන්නේය’යි ගොස් නුදුරුතැනෙක තමන් දක්වා, ‘පන්‍ථකය, නුඹ හඬහිදැ’යි විමසූසේක. ස්වාමීනි, සොහොයුරා මා පිටමං කරයි’ යයි කීවේය. ‘පන්‍ථකය, නුඹේ සොහොයුරාට වෙනත් පුද්ගලයන්ගේ ආසයානුසය පිළිබඳ දැනීමක් නැත. නුඹ බුදුන් විසින් හික්මවිය යුත පුද්ගලයෙක් නම් වේයයි සෘද්ධියෙන් මවා පිරිසුදු රෙදි කඩක්දී, පන්‍ථකය, මෙය ගෙන රජෝහරණං රජොහරණංයි කියමින් භාවනා කරන්නැ’යි වදාළසේක.

හෙතෙම ශාස්තෘන් විසින් දෙනලද රෙදිකඩ රජොහරණං රජොහරණං (කිළිටි හැරීම) යි (කියමින්) අතින් පිරිමදිමින් සිටියේය. (එසේ) පිරිමදිමින් සිටියදී ලොම් කිළිටි ස්වභාවය ඇත්තේවිය. නැවත පිරිමදිනවිට ඇතිලි පිස්නාවක් සමානවිය. හෙතෙම නුවණමුහුකුරා යාමට පැමිණ එහි රළුබව හා ගෙවීයාම සලකා මේ රෙදිකඩ ප්‍රකාතියෙන් සුදුසුය. පිරිසුදුය. තෘෂ්ණාදිය විසින් ගන්නාලද ශරීරය ඇසුරුකොට කිළිටිවිය. සිතද මෙබඳු ස්වභාවය ඇත්තේමයයි සමාධිය වඩා සතර රූපාවචර ධ්‍යානයන් පාදකකොට පිළිසිඹියා සමඟ රහත්බවට පැමිණියේය. හෙතෙම මනොමය ඤාණලාභියෙක්වී එක්කෙනකු වී බොහෝ දෙනෙකුවීමටත් බොහෝ දෙනකුවී එක් කෙනකුවීමටත් සමත් වූයේය. අර්හත්මාර්‍ගය සමඟම ඔහුට ත්‍රිපිටකයත් අභිඥා යසත් (පිළිබඳ දැනුම) පැමිණියේය.

දෙවැනි දිනයෙහි ශාස්තෘන් වහන්සේ සාරසිය අනූනවයක් භික්‍ෂූන් මඟ ගොස් ජීවකගේ නිවසෙහි හුන්සේක. චූලපන්‍ථක තෙමේ වනාහි තමාට හික්‍ෂාව නොපිළිගත් බැවින් නොගියේය. ජීවක තෙමේ කැඳ දීමට පටන් ගත්තේය. ශාස්තෘන්වහන්සේ පාත්‍රය අතින් වැසූසේක. ස්වාමීනි, කුමක්නිසා නොගන්නා සේක්දැයි ඇසීය. ‘ජීවකය, විහාරයෙහි එක් භික්‍ෂුවක් ඇතැයි වදාළ සේක. හෙතෙම, ‘පින්වත, විහාරයෙහි හිඳිනා ආර්‍ය්‍යයන්වහන්සේ රැගෙන එව’යි සැළකොට පුරුෂයකු යැවීය. චුල්ලපන්‍ථක තෙරුන්වහන්සේද ඒ පුරුෂයාගේ පැමිණීමට පෙරම භික්‍ෂූන් දහසක් මවා එක්කෙනෙකු අන්කෙනකුගේ අසමානද එක්කෙනකුගේ සිවුරු පෙරවීම් හැසිරීම් ආදී ශ්‍රමණ කටයුතු අන්කෙනකුගේ සිවුරු පෙරවීම් හැසිරීම් ආදී ශ්‍රමණ කටයුතු අන්කෙනකුගෙන් අසමානද කළහ. ඒ පුරුෂයා විහාරයෙහි භික්‍ෂූන් බොහෝබව දැක ගොස්, ස්වාමීනි, විහාරයෙහි භික්‍ෂූසංඝයා මේ භික්‍ෂුසංඝයාට වඩා වැඩිය. කැඳවිය යුතු භික්‍ෂූන් වහන්සේ නොදනිමි’යි ජීවකට කීවේය. ජීවක තෙමේ, ස්වාමීනි විහාරයෙහි හිඳිනා භික්‍ෂූන් වහන්සේ කවරෙකු නම් වේද’යි භාග්‍යවතුන්වහන්සේගෙන් අසූවේය. ‘ජීවකය, චුල්ලපන්‍ථක නම් වෙය’යි පැවසූසේක. ‘පින්වත, යන්න චුල්ලපන්‍ථක නම් කවරෙක්දැයි විමසා කැඳවා ගෙන එන්නැ’යි (පුරුෂයා නැවත යැවීය) හෙතෙම විහාරයට ගොස් ‘ස්වාමීනි, චුල්ලපන්‍ථක නම් කවරෙක්දැයි විමසීය. මම චුල්ලපන්‍ථකය, මම චුල්ලපන්‍ථකයයි භික්‍ෂූන් දහසක් දෙනාම ප්‍රකාශ කළහ. යළි ගොස් දහසක් පමණ භික්‍ෂුහු සියලුදෙනාම මම චුල්ලපන්‍ථක වෙමැයි පවසති. මම කැඟවිය යුත්තා අසුවලායි නොදනිමි’යි ජීවකට පැවසීය. ජීවක තෙමේ අවබෝධකළ සත්‍යය ඇති බැවින් සෘද්ධිමත් භික්‍ෂුවකැයි නයවශයෙන් දැන පළමුව (නම) කියන භික්‍ෂුවම ශාස්තෘන්වහන්සේ නුඹවහන්සේ කැඳවන සේකැයි කියා සිවුරුකොණින් අල්ලාගෙන දරුව’යි කීවේය. හෙතෙම විහාරයට ගොස් එසේ කළේය. එකෙණෙහිම දහසක් පමණවූ භක්‍ෂූහු අතුරුදහන් වූහ. ඒ පුරැෂයා තෙරුන්වහන්සේ ගෙන විහාරයට ගියේය. ශාස්තෘන්වහන්සේ එකෙණෙහි කැඳ පිළිගත් සේක.

බුදුන්වහන්සේ බත්කිසකොට විහාරයට ගියකල්හි ධර්‍මසභාවෙහි බුදුවරුනම් ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයෝය. සිවුමසකදී එක් ගාථාවක් උගෙනීමට නොහැකිවූ භික්‍ෂුවක මෙසේ මහත් සෘද්ධි ඇත්තකු කළහ’යි කථාවක් උපන්නේය. ශාස්තෘන්වහන්සේ ඒ භික්‍ෂූන්ගේ සිත් හසර දැන බුද්ධාසනයෙහි හිඳ මහණෙනි, කුමක් කියහුදැයි ඇසූසේක. ‘ස්වාමීනි, අන්කිසිවක් නොකියමු. චුල්ලපන්‍ථක විසින් නුඹවහන්සේ සමීපයෙන් මහත් ලාභයක් ලබන්ලදැයි නුඹවහන්සේගේම ගුණය කථාකරමු’යි පැවසූහ. මහණෙනි, දැන් මාගේ අවවාදය (අනුව කටයුතු) කොට ලෝකෝත්තර දායාදය ලැබීම පුදුමයක් නොවේ. පෙරද මෙතෙම නොමුහුකුරාගිය නුවණ ඇතිව මගේ අවවාදය පිළිගෙන ලෞකිකදායාදය ලැබීය’යි වදාළසේක. භික්‍ෂූහු, ‘ස්වාමීනි, කවදාද’යි ආයාචනය කළහ. ශාස්තෘන්වහන්සේ ඒ භික්‍ෂූන්ට අතීතය ගෙනහැර දැකවූ සේක.

මහණෙනි, අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් රජකම් කරවීය. එසමයෙහි චුල්ලසෙට්ඨි නම් පණ්ඩිතයෙක් ව්‍යක්ත වූයේ සියලු නිමිති දනියි. හෙතෙම එක් දිනක රාජඋපස්ථානය සඳහා යන්නේ ඇතුල් වීදියෙහි මළමීයකු දැක එකෙණෙහි නැකත් එක්කොට බලා මෙසේ කීවේය. ‘නුවණැති කුලපුතකු විසින් මේ (මළ) මීයා ගෙන අඹුදරුවන් රැකීමටත් කර්‍මාන්තයෙහි යෙදීමටත් හැකිවන්නේය’යි යනුවෙනි. එක්තරා දිළිඳු කුලපුත්‍රයෙක් සිටුවරයාගේ ඒ වචනය අසා ’මෙතෙම නොදැන නොකියන්නේ’යි මීයා ගෙන එක් අවන්හලක බළලුන් සඳහා දී කාකණික මිළක් ලැබීය. ඒ කාකණිකයෙන් සකුරු ගෙන එක් බඳුනකින් පැන් ගත්තේය. හෙතෙම වනයෙන් පැමිණෙන මල් කරුවන් දැක ටික ටික සකුරු කැබලිදි හැන්දෙන් පැන් දුන්නේය. ඔවුහු ඔහුට එක් එක් මල්මිටක් දුන්හ. හෙතෙම ඒ මල්මිලෙන් දෙවන දිනයේද සකුරුද පැන් කළයද ගෙන මල් උයනටම ගියේය. එදවස මල් කරුවෝ ඔහුට අඩක් නෙළුෑ මල්පැලෑටිදී ගියාහුය. හෙතෙම නොබෝදිනකින්ම මේ ක්‍රමයෙන් කහවණු අටක් ලැබීය.

නැවත එක් සුළංසහිත වැසි දිනෙක විසරුණු උයනට ගොස් වැටුණුදර එකතු කොට හුන්නේ රජුගේ කුඹුල්කරුගේ සමීපයෙන් කහවණු සොළසක් ලැබුවේය. හෙතෙම කහවණු විසිහතරක්වූ විට මේ උපාය මට ඇතැයි සිතා නුවර දොරටුවෙන් නුදුරු තැනක එක් පැන්සැළියක් තබා තණගෙනයන්නන් පන්සියයකට පැනින් උවටැන් කළේය. ඔවුහු, යහළුව, නුඹ අපට උපකාරකයෙකි. නුඹට අපි කුමක් කරමුදැයි ඇසූහ. හෙතෙම මට වැඩක් ඇති කල්හි කරන්නැයි කියා ඔබිමොබ හැසිරෙන්නේ ගොඩබිම් මාර්‍ග කාර්මිකයා හා ජගමාර්‍ග කාර්මිකයා සමඟ මිතුදම් පැවැත්වීය. ඔහුට ගොඩබිම්මාර්‍ග කාර්මිකයා හෙට මේ නගරයට අස්වෙළෙන්දෙක් අසුන් පන්සියයක් ගෙන එන්නේයයි සැළ කලේය. හෙතෙම ඔහුගේ වචනය අසා තණගෙනෙන්නවුන්ට සංඥාවක්දී එක් ඒක් තණමිටියක් දෙගුණ කොට ගෙන්වාගත්තේය. ඉක්බිති අසුන් නගරයට පිවිසි වේලාවෙහි තණමිටි දහස ඇතුල්දොරෙහි ගොනු කොට හුන්නේය. අස් වෙළෙන්දා සියලු නුවරෙහි අසුන්ට ගොදුරු නොලැබ ඔහුට දහසක්දී ඒ තණ ගත්තේය.

එයින් කිහිපදිනකට පසු ඔහුගේ මුහුදෙහි වැඩකරන යහළුවෙක් පටුනට (වරායට) මහනැවක් ආවේයයි සැළ කළේය. හෙතෙම මේ උපාය ඇතැයි කහවණු අටකින් සියලු පිරිවරින් යුත් තාවකාලිකරථයක් ගෙන නැව්තොටට ගොස් එක් ඇඟිලිමුද්‍රාවක් නැවට අත්තිකාරම් වශයෙන්දී නොදුරුතන්හි තිරයෙන් වටකරවා එහි හුන්නේ, පිටින් වෙළෙන්දන් පැමිණි කල්හි තෙවන හස්නෙන් සැළකරවුයයි පුරුෂයන්ට අණකරවීය. නැව පැමිණියේයයි අසා බැරණැසින් සියයක් පමණ වෙළෙන්දෝ බඩු ගන්නෙමුයි ආවාහුය. නුඹලා බඩු නොලබන්නහුය. අසුවල් තැන සිටිනා මහා වෙළෙන්දා විසින් අත්තිකාරම් දෙන ලදී. ඔවුහු ඔවුන්ගේ කථාව අසා ඔහුගේ සමීපයට ගියාහුය. සේවකයෝ පෙර සංඥාවශයෙන් තෙවැනි හස්නෙන් ඔවුන් ආබව සැළකළාහුය. ඒ සියයක් පමණ වෙළෙන්දෝ එක් එක් දහස බැගින්දී ඔහු සමඟ හවුල්කරුවන්වී යළි එක් එක් දහස බැගින්දී මිළදීගෙන බඩු තමන් අයත් කරගත්හ. ඒ පුරුෂයා දෙලක්‍ෂය ගෙන බරණැසට අවුත් කෙළෙහිගුණ සලක්නෙකු වියයුතුයයි එක් ලක්‍ෂයක් ගෙන්වා ගෙන චුල්ලසෙට්ඨි වෙත ගියේය.

ඉක්බිති ඔහුට ඒ සිටුතුමා ‘දරුව නුඹ විසින් කුමක් කොට මේ ධනය ලබන ලද්දේදැයි ඇසීය. හෙතෙම, ‘ඔබතුමන් විසින් කියලද උපායෙහි සිට සිටුමසක් තුළම ලබන ලදැ’යි කීවේය. සිටුතෙමේ ඔහුගේ වචනය අසා දැන් මෙබඳු දරුවකු අන්සතු කිරීමට නොවටීයයි සිතා වියපත් දියණිය දී මුළු පවුලටම හිමියා කළේය. ඒ කුලපුත්‍රයාද සිටාණන්ගේ ඇවෑමෙවන් ඒ නගරයෙහි සිටු තනතුර ගෙන දිවි ඇතිතෙක් සිට කම්වූ පරිද්දෙන් මිය ගියේය. ශාස්තෘන්වහන්සේ කථාවස්තු දෙක වදාරා අනුසන්‍ධි ගලපා බුදුවූ කල්හි මේ ගාථාව වදාළ සේක.

“අප්පකෙනපි මෙධාවී පාහතෙන විචක්‍ඛණො
සමුට්ඨාපෙති අත්තානං අණුං අග්ගිංව සන්‍ධමං’’
(විචක්‍ෂණ බුද්ධිමත් තැනැතේ ස්වල්පවූද පඬුරකින් කුඩා ගින්නක් පිඹ අවුලුවන්නාක් මෙන් තමා නංවයි.)

මෙසේ ශාස්තෘන්වහන්සේ ධර්‍මසභාවෙහි හුන්නවුන්ට මේ කාරණය දැක්වූ සේක. මේ මහාශ්‍රාවකයන් දෙදෙනාගේම පූර්‍ව ප්‍රාත්‍ථර්‍නාවේ නාවේ සිට අනුපිළිවෙළ කථාවයි. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ අර්‍ය්‍යසමූහයා විසින් පිරිවරණ ලද්දාහු ධර්‍මාසනයෙහි වැඩහුන් සේක. මනොමය ශරීරයන් නිර්‍මාණය කරන්නවුන් හා චෙතොවිවට්ට කුසල් ඇත්තවුන් අතුරෙන් චුල්ලපන්‍ථක තෙරුන් අග්‍රස්ථානයෙහි තැබූසේක. සඤ්ඤා විවට්ට කුසලයනල් අතුරෙන් අග්‍රවූවෝ මහාපන්‍ථක තෙරණුවෝයි.