එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, “මහණෙනි, සතර මහා අපදේශයන් දෙසන්නෙමි. එය අසවු, මොනොවට සිත්හි කරවු, කියන්නෙමි” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ ’ යි ඒ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, මෙහි මහණෙක්, ‘ඇවැත්නි, ධර්‍මය මේ යැ, විනය මේ යැ, ශාස්තෘශාසනය මේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සිට මා විසින් මෙය අසන ලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී පිළිගන්නා ලද්දේ යැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, (එ පමණින්) එ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යංජන මොනොවට ඉගෙන සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො බස්නාහු ද, විනයයෙහි නො සැසැඳෙන්නාහු ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, මෙය මේ මහණහු වරදවා ගත් දැයෙකැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහිත් බැසැගනිත් ද විනයෙහිත් සැසැඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ, යි මේ මහණහු විසින් මෙය මොනොවට උගන්නා ලදැ’ යි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ පළමු මහා අපදේශය සිත්හි ලා දරවු. (1)
මහණෙනි, මෙහි මහණෙක් ‘තෙරුන් සහිත ගණපාමොක් මහණක්හු සහිත භික්‍ෂුසංඝයා අසෝ නම් ආවාසයෙහි වෙසෙයි. ‘මේ දහමැ යි, මේ විනයැ යි, මේ ශාස්තෘශාසන යැ යි ඒ සඟන හමුයෙහි සිටි මා විසින් අසන ලදි, අසා ඒ සඟන හමුයෙහි මැ පිළිගන්නා ලදැ’ යි කියන්නේ වී නම් මහණෙනි, (එ පමණින්) ඒ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහාලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැස ගන්නාහු නම් විනයෙහි නො ද සැසැඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ’ යැයි ද ‘ඒ සඟන විසිනුත් වරදවා ගන්නා ලද්දෙකැ’ යි ද කියා මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය ද බැහැර ලවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙකින් බැස ගනිත් නම්, විනයෙහිත් සැසැඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ මෙය ඒ සඟන විසිනුත් මොනොවට උගන්නා ලද්දේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ දෙවෙනි මහ අපදේශය සිත්හි ලා දරවු. (2)
මහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත කළ ආගමය ඇති, ධර්‍මධර විනයධර මාතෘක ධර බොහෝ ස්ථවිර භික්‍ෂූහු වෙසෙත්. ‘මේ ධර්‍මයැ’යි ‘මේ විනයැ’ යි ‘මේ ශාස්තෘශාසනයැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි. මා විසින් පිළිගන්නා ලදැ’ යි කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය නො මැ පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු, නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැසැගනිත් ද, විනයෙහි නො සැසැඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය නො වේ, ඒ තෙරවරුන් විසින් ද මෙය වරදවා ගන්නා ලදසේ යැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහ් බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසැ ගනිත් ද, විනයෙහි සැසැඳෙත් ද, ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යි, ඒ තෙරවරුන් විසිනුත් මොනොවට උගන්නා ලද සේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ තෙවෙනි මහා අපදේශය සිත්හි ලා දරවු. (3)
මහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත ආගමය ඇති, ධර්‍මධර විනයධර මාතෘකාධාර එක් ස්ථවිර භික්‍ෂු නමෙක් වෙසෙයි. ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි, ඒ තෙරුන් හමුයෙහි මා විසින් පිළිගන්නා ලදැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය එ පමණින් නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැසගනිත් ද, විනයෙහිත් නො ම සැසැඳෙත් ද, එ විටැ ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, ඒ තෙරහු විසින් ද වරදවා ගන්නා ලද්දෙකැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසගනිත් ද, විනයෙහිත් සැසැඳෙත් ද, එ විට ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ. ඒ තෙරහු විසිනුත් මොනොවට ඉගෙන ඇති නියා යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ සිවුවන මහා අපදේශය සිත්හි ලා දරවු. (4) මහණෙනි, මේ සතර මහා අපදේශයන් සිත්හි දරවු” යනුයි.