ඛුද්දික පීති, ඛණික පීති, ඔක්කන්තීක පීති, උබේබග පීති, එරණ පීතිය යි පඤ්චවිධ වේ.
ඛුද්දක ප්‍රීතිය – ශරීරයෙහි ලොමුදහ ගැන්වීම් මාත්‍රයක් කරන්නට සමර්‍ථ ය. ශරීරයේ ලොම් නැගිටවීම් පමණක් සිදු කරන දුර්වල ප්‍රීතිය ඛුද්දක ප්‍රීතිය යි. එය ඉපද වහා බිඳෙයි. නැවත නැවත නැග නො එයි.
ක්‍ෂණික ප්‍රීතිය – එක් වරකින් ම කෙළවර නො වී අහසෙහි විදුලිය මෙන් නැවත නැවත නැගෙන ප්‍රීතිය විදුලි කෙටීමක් සේ ඛුද්දක ප්‍රීතියට වඩා බලවත් ව උපදී.
ඔක්කන්තික ප්‍රීතිය – මුහුදු වෙරළ පැතිරෙන මුහුදු රළ සෙයින් ශරීරය පිනවමින් පැතිරැ බිඳෙයි. (මෙය ක්‍ෂණික ප්‍රීතියට වඩා බලවත් එකෙකි.)
උබේබග ප්‍රීතිය – එයටත් වඩා බලවත් ය. කය උඩට ගෙන ගොස් අහසට ඔසවා ගෙන යන පමණට පමුණුවයි.
පුණ්ණාගල්ල (පණගල) නම් විහාරවාසී මහාතිස්ස තෙරුන් වහන්සේ පසළොස්වක පොහෝදා සවස එහි චෛත්‍ය මලුවට පැමිණැ සඳ එලිය දැක රුවන් වැලි සෑ දිශාවට හැරී “එකාන්තයෙන් මේ වේලායෙහි සිව් පිරිස මහ සෑය වඳිති”යි පෙර මහා සෑයෙහි පූජා දුටු විරූ හෙයින් බුද්ධාරම්මණ උබේබග පීති උපදවා සුණුබිම ගැසූ විසිතුරු පන්දුවක් සේ අහසට නැඟී මහ සෑ මළුයෙහි පිහිටි සේක.
එසේ ම ගිරිහඬුමහවෙහෙරට සමීප වත්තකාල නම් ගම්වැසි එක් කුලදුහිතෘවක් බලවත් වූ බුද්ධාලම්භන උබේබග ප්‍රීතියෙන් අහස නැංගාය. ඒ මෙසේ ය.
කුලදුවකගේ උද්වේග ප්‍රීතිය
ඇයගේ මව්පියෝ එක් දවසෙක සවස බණ අසනු සඳහා විහාරයට යන්නට සැරසී ‘දුවණියනි! ඔබ ගර්භණිය. අවේලාවෙහි ඇවිදීම නුසුදුසු ය. අපි ඔබ ද සිහිපත් කොට බණ අසම්හ”යි කියා ගියාහ. ඇයටත් යාමට අවශ්‍ය වුව ද මව්පියන්ගේ වචනය ඉක්මවන්නට අසමර්ථ වැ ගෙදොර මිදුලේ සිට සඳ පහනින් ගිරිහඬුයෙහි ආකාශ චෛත්‍ය මලුව බලන්නී එහි පහන් පූජාව දුටුවා ය. සිව් පිරිස සුවඳ මලින් සෑය පුදා පැදකුණු කරති. භික්‍ෂු සංඝයාගේ ගණ සජ්ඣායනා ශබ්දය ද ඇසේ. “විහාරයට ගොස් මෙබඳු සෑ මලුවෙක ඇවිදින්නට මෙ බඳු මධුර ධර්‍මකථා අසන්නට ලැබුවෝ අහෝ එකාන්තයෙන් මහා පිනැත්තෝ ය”යි මුතු රැසක් බඳු චෛත්‍යය බලත් ම ඇයට උබේබග ප්‍රීතිය උපන. ඕ අහස නැඟී මව්පියන්ට පෙරාතුවම ආකාශ චෛත්‍යාඞ්ගණයෙහි බැස සෑය වැඳැ බණ අසමින් සිටියාය. මව්පියෝ අවුත් විස්මිත වැ “දරුව උඹ කවර මඟකින් අවුද”යි විචාළහ. ‘මම අහසින් ආමි. මඟකින් නො ආමි”යි ඕ කීවා ය. “දරුව අහසින් යන්නෝ රහතන්වහන්සේ ය. උඹ කෙසේ අවුදැ”යි නැවත කී කල “සඳ පහනින් චෛත්‍යය දිශාව බලාගෙනැ සිටි මට බලවත් වූ බුද්ධාරම්මණ ප්‍රීතියෙක් පහළ විය. එයින් මම මා උන් සිටි බව නො දත්තෙමි. ගත් අරමුණින් ම අහස නැඟැ සෑ මලුයෙහි පිහිටියෙහි”යි ඕ කීවාය. මෙසේ උබේබග ප්‍රීතිය නඟා පියන තරම් ය.
එරණ ප්‍රීතිය – උපන් කල සකල ශරීරය පිඹ පිරූ විතක් මෙන් ද, මහා ජල ප්‍රවාහයකින් පිරුණු පර්‍වත කුක්‍ෂියක් මෙන් ද, හාත්පසින් ස්පර්‍ශ කරන ලද්දේ වේ. සකල ශරීරයේ පැතිර සකල ශරීරය ම ස්පර්ශ කර ගෙන උපදනා අතිප්‍රණීත ප්‍රීතිය