තුන් ලෝ වැසියන්ට පිහිට වීමට උතුම් බුද්ධ රාජ්‍යයට පැමිණි වදාළ බුදුරජාණන් වහන්සේද ප්‍රඥප්ති ධර්‍මයේ පිහිටා පරමාර්ථ ධර්‍මය ලොවට වදාළ සේක.
ඒ අනුව බුදු රජුන්ගේ සතලිස්පස් (45) බුද්ධ ජීවිතය කාල සටහනකට අනුව පැවැත්වූ සේක.
උන් වහන්සේගේ දිනයක් කෘත්‍යය පසකින් යුක්ත විය. උන් වහන්සේගේ දිනයේ කෘත්‍ය හා එම කාලපරිච්ඡේද මෙසේ දක්වා ඇත.

මනුෂ්‍ය ප්‍රජාව උදෙසා
(පැය 16)

පූර්ව භක්ත කෘත්‍යය
(පෙර බත් කිස),

උදේ 06.00 සිට 12.00 දක්වා කාලය

  • උදෑසන නැගිට උපස්ථායකයනට අනුග්‍රහ පිණිසත්, ශරීර පහසුව පිණිසත් මුහුණ සේදීම ආදි ශරීර පරිකර්මයන් සිදු කරන සේක.
  • පිඬු පිණිස හැසිරීය යුතු වේලාව වන තුරු විවෙිකයෙන් කල් ගත කරන සේක.
  • සිවුරු පොරවා පාත්‍රය ගෙන පිඬු පිණිස වැඩම කරනා සේක. සමහර දිනක හුදකලාව ද, දිනක භික්ෂු සංඝයා සහිතවද එසේම දිනක ප්‍රකෘති වේශයෙන් ද, දිනක බොහෝ‍ ප්‍රාතිහාර්ය සහිත ව වඩනා සේක.
  • භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස වඩනා පෙරමඟ ආශ්චර්ය දැන පෙරමඟට මිනිසුන් පැමිණ තථාගතයන් වහන්සේගේ පාත්‍රය ගෙන තම නිවෙස් වලට වඩමවා දං පිළිගන්වන සේක. තථාගතයන් වහන්සේ දන් වළඳා අවසානයේ ධර්ම දේශනා කොට පෙරලා විහාරයට වැඩම කරන සේක.
  • විහාරයේ මණ්ඩල මාලයේ පණවන ලද ආසනයෙහි වැඩ හිඳ භික්ෂූන් දැන් වළඳා එනතුරු බලාපොරොත්තුවෙන් වැඩ සිටිනා සේක.
    (මේ පෙර බත් කිස අවසානයයි)

පශ්චාද් භක්ත කෘත්‍යය
(පසු බත් කිස),

දහවල් 12.00 සිට සවස 6.00 දක්වා කාලය

  • උපස්ථායක භික්ෂුවක් පැමිණ භික්ෂූන් දන් වළඳා අවසන් බව දැන් වූ කල ගන්ධ කුටිය අභියස පනවන ලද අසුනෙහි වැඩ හිඳ පා සෝදා ගඳ කිළියෙහි පඩිය මත සිට දිනපතා කරන අවවාදය වදාරන සේක. (දුර්ලභ කරුණු පස හා අප්‍රමාදව කටයුතු කිරීම සිහි කිරීම)
  • අවවාදයට අනතුරුව එතැන දී කමටහන් අසන භික්ෂූන්ට වර්යයානුකූලව බලා කමටහන් දී වදාරන සේක.
  • තථාගතයන් වහන්සේ ඉන් අනතුරුව ගඳකිළියට පිවිස සිංහ සෙය්‍යාවෙන් මොහොතක් සැතපී විඩා සංසිඳවා නැගිට සිටිනා සේක.
  • අනතුරුව මහා කරුණා සමාපත්තියට සමවැදී (දොළොස් කෝටි ලක්ෂ වාරයක්) ඉන් නැඟී සිට ගඳ කිළියේ පටන් සක්වළ කෙළවර දක්වා පිහිට වීමට හේතු සම්පත් ඇත්තවුන් බලා වදාරන සේක.
  • සවස් කාලයේ දහම් ඇසීමට පැමිණෙන්නවුන් පැමිණි කල්හි දම්සභා මණ්ඩපයට වැඩම කොට ඔවුනට සුදුසු පරිදි බණ වදාරන සේක. සුදුසු කල පැමිණි විට ඔවුන් පිටත් කර යවන්නාහ.
    (මේ පසු බත් කිස අවසාන යයි)

ප්‍රථම යාම කෘත්‍යය,
සවස 6.00 සිට රාත්‍රි 10.00 දක්වා කාලය

  • ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනයෙන් නැගී ජල ස්නානය කරනු කැමති සේක් නම් ස්නානය කරන තැනට වැඩම කොට ස්නානය කරන්නාහ.
  • අනතුරුව උපස්ථායකයා ගඳකිළිය මිදුලෙහි පනවන බුද්ධාසනයට වැඩම කර ඒ ඒ දිශාවන්ගෙන් පැමිණෙන්නාවූ භික්ෂූන් විමසන ප්‍රශ්න විසඳීම, කමටහන් දීම, හා ඇරයුම පරිදි දහම් දේශනා කොට ප්‍රථම යාමය සම්පූර්ණ කරන සේක.

අමනුෂ්‍ය ප්‍රජාව උදෙසා
(පැය 04)

මධ්‍යම යාම කෘත්‍යය,
රාත්‍රී 10.00 සිට 2.00 දක්වා කාලය

  • ප්‍රථම යාමයේ පිරිස තථාගතයන් කෙරෙන් බැහැර වූ පසු මධ්‍යම යාමයේ නොයෙක් දිශාවලින් පැමිණෙන දිව්‍ය බ්‍රහ්මයෝ අසන ප්‍රශ්න විසඳමින් දම් දෙසීමෙන් මධ්‍යම යාමය ඉක්මවන සේක.
අලුයම 2.00 සිට 03.20

පශ්චිම යාම කෘත්‍යය,
අලුයම 2.00 සිට 06.00 දක්වා කාලය

  • උදේ සිට බොහෝ වේලාවක් වාඩිවෙමින්ම සිටියා වූ බුදුරජාණන් වහන්සේ පශ්චිම යාමයේ මුල් භාගයේ සක්මන් සුවයෙන් ගත කරන්නාහ.
අලුයම 03.20 සිට 04.40
  • දෙවන භාගයේ ගඳකිළියට පිවිස සිහි නුවණින් යුක්තව සිංහ සෙය්‍යාවෙන් සැතපෙන සේක.
අලුයම 04.40 සිට 06.00
  • තුන් වන භාගයේ මහා කරුණා සමාපත්තියට සම වදින සේක.(දොළොස් කෝටි ලක්‍ෂ වාරයක්) ඉන් නැඟී පෙර බුදු සසුන්හි දාන ශීලා දී පිංකම් කොට හේතු සම්පත් ඇති පුද්ගලයන් දකිනු පිණිස සක්වළ කෙළවර සිට ගඳකිළිය මුව දක්වා බලා වදාරන සේක.

මෙම බුදුරජාණන් වහන්සේගේ දින චර්යාවේ පඤ්ච කෘත්‍යය වේ.