ඝෝටමුඛ බ්‍රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “භවත් උදේනයෙනි, ඉතා කාන්ත යැ, භවත් උදේනයෙනි, ඉතා කාන්ත යි. භවත් උදේනයෙනි, යම්සේ යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් උදේනයන් විසින් නොයෙක් අයුරින් දහම් පැවැසිණ. තෙල මම් භවත් උදේනයන් දහම් හා බික්සඟන හා සරණ කොට යෙමි, භවත් උදේනයෝ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්ව”යි.

බමුණ, තෙපි මා සරණ නොයන්න, මම් යම් කෙනකුන් සරණ ගියෙම් ද, ඔබ ද එ භාග්‍යවතුන් වහන්සේ සරණ යව’යි.

භවත් උදේනයෙනි, වැළිත් ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භවත් ගෞතමයන් දැන් කොහි වැඩවෙසෙත් දැ? යි

බමුණ, ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ මෙ කල්හි පිරිනිවියහ’යි.

භවත් උදේනයෙනි, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේ දසයොදනෙක්හි අසන්නමෝ නම් අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට දසයොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි, ඉදින් ඇපි ඒ භවත් ගෞතමයන් විසියොදනෙක්හි … තිස්යොදනෙක්හි … සතලිස්යොදනෙක්හි …. පනස්යොදනෙක්හි අසන්නමෝ නම්, අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට පනස්යොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි, ඇපි යොදුන් සියයෙක්හිදු ඒ භවත් ගෞතමයන් අසන්නමෝ නම් අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට සියක් යොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි යම් දවසෙක ඒ භවත් ගෞතමයන් වහන්සේ පිරිනිවිසේක් ද, අපි පිරිනිවියා වූ ද ඒ භවත් ගෞතමයන් ධර්‍මය හා භික්‍ෂුසඞ්ඝයා හා සරණ යම්හ, භවත් උදේනයෝ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්වා. භවත් උදේනයෙනි, මට දවස් පතා නිත්‍යභික්‍ෂා දෙන අඞ්ගරජ ඇත. මම භවත් උදේනහට එයින් එක් නිත්‍යභික්ශාවක් දෙමි’යි.

බමුණ තොපට අඟුරජ දිනපතා කිනම් නිත්‍ය භික්‍ෂාවක් දේ ද? භවත් උදයනයෙනි, පන්සියක් කහවණු යැ. බමුණ අපට රන්රිදී පිළිගන්නට කැප නො වෙයි.

ඉදින් භවත් උදයනයන්හට ඒ රන්රිදී නොකැප වේ නම් භවත් උදයනයන්හට වෙහෙරක් කරවමි’යි.

බමුණ, ඉදින් තෙපි මට වෙහෙරක් කරවනු කැමැත්තහු නම් පැළලුප්නුවර සඟනට උපස්ථානශාලාවක් කරව’යි.

මම මෙයිනුදු භවත් උදයනයන්හට බෙහෙවින් සතුටු වීමි. සිත් ඇලවීමි. භවත් උදයනයෝ යම් හෙයෙකින් මා සඟුන් විෂයෙහි දෙන දන්හි සමාදන් කරවත් ද, එහෙයිනි. භවත් උදයනයෙනි, තෙල මම මෙම නිත්‍යභික්‍ෂායෙකිනුදු අ‍නෙක් නිත්‍යභික්‍ෂායෙකිනුදු පාටලීපුත්‍රයෙහි සඟනට උපස්ථානශාලාවක් කරවමි’යී.

ඉක්බිති ඝෝටමුඛ බමුණු මෙම නිත්‍යභික්‍ෂායෙකිනුදු අ‍නෙක් නිත්‍යභික්‍ෂායෙකිනුදු පාටලීපුත්‍රයෙහි සඟනට උපස්ථාන ශාලාවක් කරවී. ඒ ශාලාව දැන් ‘ඝෝටමුඛ’ යයි කියනු ලැබේ