ප්‍රත්‍ය සන්තෝෂයෙන් සමන්විත වූයේ, ඒ සන්තෝෂය වනාහි දොළොස් ආකාර වෙයි. කෙසේද යත්, යථාලාභ සන්තෝෂ යථා බල සන්තෝෂ, යථා සාරුප්ප සන්තෝෂ යනුවෙන් තෙපරිදිය. පිණ්ඩපාතාදියෙහි ද මෙසේය. මේ එහි ප්‍රභේද විස්තරයයි.
මෙහි භික්‍ෂුවක් සිනිඳු හෝ රළු හෝ සිවුරක් ලබයි. හෙතෙම එයින් ම යැපෙයි. වෙන එකක් ප්‍රාර්ථනා නො කරයි. ලැබුනත් නො ගනියි. මෙය ඔහුගේ සිවුරු පිළිබඳ යථාලාභ සන්තෝෂයයි. ඉක්බිති යම් භික්‍ෂුවක් ස්වභාවයෙන් ම දුර්වල වේද, රෝගයකින් හෝ ජරාවෙන් පීඩා විඳින්නේ ද, බර සිවුරක් පොරවන්නේ ක්ලාන්ත වේද, හෙතෙම සභාග භික්‍ෂුවක් සමග එය මාරුකොට සැහැල්ලු සිවුරක් ලබාගෙන සතුටු වන්නේද මේ ඔහුගේ චීවරයෙහි යථාබල සන්තෝෂයයි. වෙනත් කෙනෙක් ප්‍රණීත වූ ප්‍රත්‍යය ලබනසුළු වේද, හෙතෙම පට සිවුරක් හෝ වෙනත් වටිනා සිවුරක් හෝ බොහෝ සිවුරු හෝ ලැබ, මෙය පැවිදිව බොහෝකල් වූ ස්ථවිර නමකට නැතිනම් බහුශ්‍රැතයන්ට සුදුසුය. නැතිනම් මෙය ගිලනුන්ට හෝ අල්පලාභියෙකුට සුදුසුයයි එවැන්නෙකුට දී ඔවුන්ගේ පැරණි සිවුරක් හෝ, කසල ගොඩ ආදියෙන් අවුලා සකස් කරන ලද සඟල සිවුරක් දරන්නේ ද එයින් සතුටු වන්නේ ද චීවරය පිළිබඳ යථා සාරුප්‍ය සන්තෝෂයයි.
නැවත භික්‍ෂුවක් වනාහි නීරස හෝ මිහිරි හෝ පිණ්ඩපාතයක් ලබයි ද හෙතෙම එයින් යැපෙයි ද, වෙනත් දෙයක් නො පතයිද, ලැබුනත් නො ගන්නේ ද මෙය ඔහුගේ පිණ්ඩපාතය පිළිබඳ යථාලාභ සන්තෝෂයයි. යම්කිසි භික්‍ෂුවක් තමාගේ ස්වභාවයට (කැමැත්තට) විරුද්ධ හෝ රෝගයට අපථ්‍ය හෝ පිණ්ඩපාතයක් ලබයි. යම්කිසි විධියකින් පරිභෝග කරන ලද පිණ්ඩපාතයකින් අපහසු තත්ත්වයකට පත්වීද, හෙතෙම එය සභාග මහණක් හට දී ඔහු අතින් වෙනත් යහපත් බොජුන් වළඳා මහණදම් කරන්නේ ද සතුටුවූයේම වේ ද මේ ඔහුගේ පිණ්ඩපාතයෙහි යථාබල සන්තෝෂයයි. වෙනත් භික්‍ෂුවක් බොහෝ ප්‍රණීත පිණ්ඩපාතය ලබයිද, හෙතෙම එය ප්‍රවෘජිත ස්ථවිරවරුන්ට, බහුශ්‍රැතයන්ට අල්පලාභීන්ට දී ඔවුන්ගෙන් ඉතිරිය හෝ පිණ්ඩපාතයේ හැසිර මිශ්‍රක ආහාරයක් ලැබ එය වළඳමින් සතුටු වන්නේද මේ පිණ්ඩපාතයෙහි යථා සාරුප්‍ය සන්තෝෂයයි.
මෙහි භික්‍ෂුවක් වනාහි කැමති හෝ අකමැති සෙනසුනක් ලබාද, හෙතෙම එයින් සොම්නසක් හෝ ක්‍රෝධයක් උපදවයි ද, යටත්පිරිසෙයින් තණ ඇතිරියක් ලද පරිද්දෙන් ම සතුටු වේද, මේ ඔහුගේ සෙනසුන් පිළිබඳව ‘යථාලාභ’ සන්තෝෂයයි. යම් භික්‍ෂුවක් වනාහි තමන්ගේ ස්වභාවයට විරුද්ධ හෝ අසනීපයට විරුද්ධ හෝ සෙනසුනක් ලබයි. එහි වැසීම අපහසු වෙයි ද, හෙතෙම එය සභාග භික්‍ෂුවකට දී ඔහු සමීපයෙන් සත්ප්‍රාය වූ ගැලපෙන්නා වූ සෙනසුනක් ලැබ සන්තෝෂ වන්නේ ද, මේ ඔහුගේ සෙනසුන් පිළිබඳව ‘යථාබල සන්තෝෂයයි. වෙනත් භික්‍ෂුවක් ලෙන්, මඩුලු, කුළුගෙවල් ආදියෙන් සමන්විත බොහෝ සැප පහසු ඇති සෙනසුනක් ලබා ද, එය චීවරාදියෙහි මෙන් වැඩි වස් සහිත ස්ථවිර භික්‍ෂුවකට හෝ බහුශ්‍රැත භික්‍ෂුවකට හෝ අල්පලාභි භික්‍ෂුවකට හෝ ගිලන් භික්‍ෂුවකට හෝ දී, යම්කිසි තැනක වෙසෙමින් සතුටු වන්නේ ද මේ සෙනසුන් පිළිබඳව යථා සාරුප්‍ය සන්තෝෂය වන්නේ ය. උතුම් සේනාසන නම් ප්‍රමාදයට කරුණුය. එහි ඉන්නා අයට ථීනමිද්ධය, නිදිමත බව ඇති වේ. නින්දෙන් මඩනා ලදුව නැවත පුබුදින්නන්ට පාප සිතිවිලි පහළ වෙති. ප්‍රත්‍යවේක්‍ෂා කොට එවැනි සෙනසුනකට පැමිණිය ද නො පිළිගනී. හෙතෙම එය ප්‍රතික්ෂේප කොට පාළු හිස් තැනක, ගසක් මුලක වෙසෙමින් ම සතුටු වන්නේ ද එය සේනාසන පිළිබඳව යථා සාරුප්‍ය සන්තෝෂය වේ.
මෙහි යම්කිසි භික්‍ෂුවක් වනාහි බෙහෙත් ගිලන්පස ලබයි. එය ප්‍රණීත වූයේ හෝ තිත්ත වූයේ හෝ තමන් එයින් සතුටු වන්නේ ද වෙන යමක් නො පතන්නේ ද, ලැබුනත් නො ගන්නේ ද එය ගිලන්පස පිළිබඳව යථාලාභ සතෝෂය වේ. යම්කිසි භික්‍ෂුවකට තෙලින් ප්‍රයෝජන ඇති කල්හි (උක්) පැණි ලබයි ද, හෙතෙම එය සභාග භික්‍ෂුවකට දී ඔහු අතින් තෙල් ගෙන වෙනත් තෙලක්ම සොයා වෙදකම් කරන්නේ ම සතුටට පත් වේද, මේ වූ කලී බෙහෙත් ගිලන්පස පිළිබඳ යථාබල සන්තෝෂය වේ. අනෙක් මහ පිනැති භික්‍ෂුවක් බොහෝ තෙල්, මී, සකුරු, ආදී ප්‍රණීත වූ බෙහෙත් ලබයිද? හෙතෙම එය මහා ස්ථවිර, බහුශ්‍රැත, අල්පලාභී, ගිලන්, භික්‍ෂුවකට දී ඔවුන්ගෙන් ලබන්නා වූ කිසිවකින් යැපෙමින් සතුටු වේද, නැතහොත් එක් භාජනයක මුත්‍ර හරීතකය ද, එකක චතුමධුර ද තබා ස්වාමීනි, කැමති දෙයක් ගන්නැයි කී කල්හී, ඉදින් ඔහුගේ රෝගය ඒ දෙක අතුරෙන් එකකින් වුවත් සන්සිඳෙන්නේ ද, එකල්හි මුත්‍ර හරීටකය බුද්ධාදීන් විසින් වර්ණිත බැවින් චතුමධුර පිළිකෙව් කොට මුදු හරීටකය ගෙන බෙහෙත් කරමින් පරම සතුටට පත් වන්නේද? මේ වූ කලී ගිලන්පස පිළිබඳව යථා සාරුප්‍ය සන්තෝෂය වේ.
මොවුන් අතුරෙන් වනාහි වෙන වෙනම ප්‍රත්‍යයන්හි මේ සන්තෝෂ තුන අතුරෙන් යථා සාරුප්‍ය සන්තෝෂයම අග්‍ර වේ.