තෙමසක් වස් වසා පවාරණය කළ භික්ෂූන් හට භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම වෙහෙස නැතිව මග ආවාහුද? පිණ්ඩපාතය නොලැබී ක්ලාන්ත වූයේද, මහණෙනි, තෙපි කොහි සිට ආවාහුද? ආදී පිළිසඳර විසින් විචාරන ලද්දාහූ.
භික්ෂූන්, භාග්‍යවතුන් වහන්ස! ශාක්‍ය ජනපදයෙහි කපිලවස්ථාගාරයේ සිට ජාත භූමියෙන් ආම්භයි කීහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන මහරජුගේ, සුක්කොදන රජුගේ, සක්කොදන රජුගේ, ධොතොදන රජුගේ, අමිතොදන රජුගේ, අමිතා දේවියගේ, පමිතා දේවියගේ, මහා ප්‍රජාපතීගේ ආදී සියලු ශාක්‍ය මණ්ඩලයාගේ සුවදුක් නො විචාළේය. අනතුරුව තමාත් දශ කථා වස්තුලාභී වූ අනුනුත් එහි සමාදන් කරවන්නා වූ ප්‍රතිපත්ති සම්පන්න වූ භික්‍ෂුවක් පිළිබද ව විචාරණ සේක්,
කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන ආදීන්ගේ සුවදුක් නො විචාරා මෙබඳු වූ භික්‍ෂුවකගේම විචාරන සේක්, ප්‍රිය බැවිනි. බුදුරදුන්ට ප්‍රතිපන්න භික්‍ෂූහු ද, භික්‍ෂුණීහු ද, උපාසක උපාසිකාවෝ ද, ප්‍රිය වෙත්. මනාප වෙත්. කුමක් හෙයින්ද? ධර්ම ගරුත්වය හෙයින් තථාගතයෝ ධර්මගරුක වූවාහු වෙති.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ගරුත්වය හා ධර්මයට ගරුත්වය දැක්වු අවස්ථා කිපයක්.
- මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයේ දී තුන් ගව්වක් පමණ පෙර ගමන් වැඩියහ.
- අතිරේක යොදුන් සියයක් ගොස් ගංගා තීරයේ දී දහම් දෙසා මහාකප්පින ස්ථවිරයන් රහත් බලයෙහි පිහිටවූහ.
- එක්දිනක් බතින් පසුව පන්සාලිස් යොදුන් මග ගෙවා ගොස් කුඹල් නිවසේ තුන්යම රෑ මුලුල්ලේ දහම් දෙසා පුක්කුසාති කුලපුත්‍රයා අනාගාමි කළ සේක.
- එක්විස් යොදුන් ගොස් වනවාසී තෙරණුන්දෑට අනුග්‍රහ කළහ.
- සැටයොදුන් මග ගොස් ඛදිරවනිය රේවත තෙරුන්ට දහම් දෙසූහ.
- අනුරුද්ධ තෙරුන් පාචීනවංස මිගදායෙහි හුන්නේ මහා පුරුෂ විතර්කය විතර්ක කෙරේයයි දැන අහසින් එහි ගොස් තෙරුන් හමුවෙහි බැස සාධුකාර දුන්හ.
- කුටිකණ්ණසොණ තෙරුන්ට එක් ගඳකිළියෙහි සෙනසුන් පනවවා අලුයම දම් දෙසුමට ආරාධනා කොට, අවසානයේ සාධුකාර දුන්හ.
- තුන්ගවු මග ගෙවා ගොස් තුන් කුලපුතුන් වසන තැන, ගොසිංගසාල වනයෙහි සමගි රසයෙහි අනුසස් වදාළහ.
- කාශ්‍යප බුදුහාමුදුරුවෝ ද ඝටීකාර කුඹල්කරුගේ නිවෙසට ගොස් මෙතෙම අනාගාමී ඵලයට පැමිණි ආර්යයෙකැයි විශ්වාස උපදවා සියතින් අහර ගෙන වැළඳූහ.
- අපගේ භාග්‍යවතුන් වහන්සේ ද වස් එළඹෙන දිනය පැමිණි කල්හි, භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලදුව දෙව්රමින් නික්ම චාරිකාවේ යෙදුනහ. කොසොල් මහරජු අනේපිඬු සිටු ආදීන්ට නවත්වනු නොහැකි විය. අනේපිඬු සිටු ගෙට අවුත් දොම්නසට පැමිණ සිටියහ. එකල පුණ්ණ නම් දාසිය පැමිණ ස්වාමීනි දොම්නසට පැමිණියේ ඇයිදැයි ඇසීය. එසේය ශාස්තෲන් වහන්සේ නවතා ගන්නට නො හැකි විය. මම මේ තෙමස තුළ ධර්මය අසන්නට හෝ අදහසේ හැටියට දන් දෙන්නට හෝ නො ලබමි. මම ශාස්තෲන් වහන්සේ නවත්වා ගන්නෙම් ද? ඉදින් හැකිනම් නවත්වා ගනුව, එසේ වුවහොත් තී දාසියක් නො වූවාම වේ. ඕ තොමෝ ගොස් දශබලධාරීන් වහන්සේගේ පාමුල වැටී භාග්‍යවතුන් වහන්ස නවතිනු මැනව කීවාය. පුණ්ණාවෙනි! තී අනුන් නිසා ජීවත් වන්නියකි. තී කුමක් කරන්නද? භාග්‍යවතුන් වහන්සේ මට දීමට සුදුසු වස්තුවක් නම් නැති. ඔබවහන්සේ දනී. එසේ වුවත් භාග්‍යවතුන් වහන්සේ නවතින්නේ නම් මම තිසරණ සරණයෙහි ද පංච ශීලයෙහි ද පිහිටමි. භාග්‍යවතුන් වහන්සේ මැනවි මැනවැ පුණ්ණාවෙනි වදාරා සාධුකාර දී නැවතී ජේතවනාරාමයට වැඩම වූ සේක. මේ කථාව පතළ විය. සිටුතුමා මේ කථාව අසා පුණ්ණා විසින් භාග්‍යවතුන් වහන්සේ නවත්වා ගත්තේ යයි අසා ඇය දාසි බවින් නිදහස් කොට දූ තනතුරෙහි තැබීය. ඕ තොමෝ ප්‍රවජ්‍යාව යැද පැවිදි වූවාය. පැවිදි වී විදර්ශනාව ආරම්භ කළාය. ඕ තොමෝ අර්හත් බවට පැමිණ අභිඥා සම්පන්න ශ්‍රාවිකාවක් වූවාය. තථාගතයෝ මෙසේ ධර්මය ගරුකකොට ඇත්තාහ.
- නන්‍දක ස්ථවිරයෝ උපස්ථාන ශාලාවෙහි ධර්මය දේශනා කරන කල්හී භාග්‍යවතුන් වහන්සේ ස්නානය නොකරම ගොස් තුන්යම රාත්‍රී සිටගෙනම බණ අසා දේශනා අවසානයේ සාධුකාර දුන්හ. ස්ථවිරයන් පැමිණ වැඳ ස්වාමීනි, කවර වේලාවක වැඩියාහුදැ’යි විචාළේය. ‘ඔබ ධර්මදේශනාව ආරම්භ කළ මොහොතේමය. වහන්ස, දුෂ්කර කාර්යයක් කළාහුය. නුඹවහන්සේ බුදු හෙයින් සියුමැළි වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ නන්දකය, ඉදින් ඔබ කල්පයක් බණ කියන්නේද? කල්පයක් පමණම මම සිටියේම අසන්නෙමි යි වදාළහ. මෙසේ තථාගතයෝ ධර්මගරුක වෙත්. ධර්මගරුක බවින් ඔවුන්ට පිළිවෙතට පැමිණියාහු ප්‍රිය වෙති.
- ඛුජ්ජුත්තරාව අන් දිනවල කහවණු හතරක් දී මල් ගෙන යයි. ඒ දිනයෙහි වනාහි දක්නා ලද සත්‍ය ඇති බැවින් (සෝවාන් වූ නිසා) අන්සතු දෙයෙහි (සොර) සිතක් නො උපදවා කහවණු අටම දී කූඩය පුරවාගෙන මල් රැගෙන සාමාවතිය සමීපයට ගියාය. ඉක්බිති ඈ (සාමාවතිය) උත්තරා මැණියනි, ඔබ අන් දිනවල බොහෝ මල් නොගෙනාවාය. අද බොහෝ ඇත. ඇයි රජතුමා අපට වඩාත් පැහැදුනේදැයි ඇගෙන් (උත්තරාවගෙන්) විමසුවාය. ඈ බොරු කියන්නට නුසුදුසු බැවින් අතීතයේ දී තමා විසින් කළ දේ නො සඟවා ඇත්ත කීවාය. එසේ නම් කුමක් නිසා අද බොහෝ මල් ගෙන එන ලදදැයි විමසූවිට අද මම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා අමෘතය (නිවන) ප්‍රත්‍යක්‍ෂ කළෙමි. එහෙයින් මම ඔබ නොරැවටුවෙමියි කීවාය. එය අසා ‘බොල දුෂ්ට’ දාසිය මෙපමණ කාලයක් තා විසින් ගන්නා ලද කහවණු දෙන්නැ’යි තර්ජනය නොකොට පෙර (කළ පින්) හේතුවෙන් මෙහෙයවනු ලබන්නී මෑණියනි, ඔබ විසින් පානය කරන ලද අමෘතය අපට ද පොවන්නැයි කියා එසේනම් මා නහවන්නැයි කී කල්හි සුවඳ පැන් කළ දහසයකින් නහවා සිනිඳු සළු දෙකක් දෙවුවාය. ඈ එක් සළුවක් හැඳ එකක් පොරවා අසුනක් පණවා ආසනයෙහි හිඳ විසිතුරු විජිනිපත ගෙන පහත් ආසනවල හිඳින පන්සියයක් ස්ත්‍රීන් අමතා ශෛක්‍ෂ ප්‍රතිසම්භිදාවෙහි සිට ශාස්තෲන් වහන්සේ දේශනා කළ ක්‍රමයෙන්ම ඒ ස්ත්‍රීන්ට ධර්මය දේශනා කළාය. දේශනාව අවසානයෙහි සියල්ලෝම සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඒ සියලු දෙනාම ඛුජ්ජුත්තරාවට වැඳ මෑණියනි, අද පටන් ඔබ කිලිටි වැඩ නො කරන්න. අපගේ මව් තනතුරෙහි ද ගුරු තනතුරෙහි ද සිටින්නැයි කියා ගරු කටයුතු ස්ථානයෙහි තැබූහ.
- ඉක්බිති භාග්‍යවත් බුදුහු බොහෝ භික්‍ෂූන් සමග නුවරින් නික්මෙනුවෝ නුවරදොරැ වැටුණු ආයුෂ්මත් සාගත තෙරුන් දුටුහ. දැකැ වදාරා “මහණෙනි, සාගතයා ගන්නයැයි” යි මහණුන් ඇමැතූහ. එසේ ය භාග්‍යවතුන් වහන්ස යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට පිළිවදන් දී ආයුෂ්මත් සාගත තෙරුන් ආරාමයට ගෙන ගොස් භාග්‍යවතුන් දෙසට හිස කොට හොවා තැබූහු. එකල්හි ආයුෂ්මත් සාගත පෙරැළී භාග්‍යවතුන් දිසාවට පාදිගු කොට ශයනය කෙළේ යැ. එකල්හි බුදුහු මහණුන් ඇමැතූහ:
“මහණෙනි, සාගත මහණ තථාගතයන් කෙරෙහි ගරු සහිත වූයේ බුහුමන් සහිත වූයේ දැ යි ඇසූහ.
එසේ භාග්‍යවතුන් වහන්ස,
මහණෙනි, සාගත මහණ දැන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගරු සහිත වූයේ බුහුමන් සහිත වූයේ වේ දැ යි ඇසිය.
එම කරුණ එසේ නො වේ භාග්‍යවතුන් වහන්ස,
මෙහිදි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දිසාවට හා ධර්මයට හා දේශකයන් වහන්සේට, සංඝ රත්නය වැඩ සිටින දිසාවට පාද දික්කර හිද ගැනිම පවා තෙරුවන්ට කෙරෙහි ගෞරවය නැති බව දත යුතුය.