තීර්ථකයෝ සිහි කරති.

ශ්‍රාවකයෝ සිහි කරති.

පසේ බුදුවරයන් වහන්සේලා සිහි කරති.

බුදුරජාණන් වහන්සේලා සිහි කරති.



කොතරම් සීමාවක් තීර්ථකයෝ සිහිකරත්ද? යම් ඒ කර්මවාදී වූ අගතැන්පත් වූවාහු ද කල්ප හතලිහක් සිහිකරත්.

කොතරම් සීමාවක් ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ශතසහස්‍රයක් සිහිකරත්.

කොතරම් සීමාවක් අගසව් දෙදෙනා වහන්සේ අසංඛෙය්‍ය වූ කල්ප ශත සහස්‍රයක් සිහිකරත්.

කොතරම් සීමාවක් පසේබුදුවරයන් වහන්සේලා කල්ප ශතසහස්‍ර අසංඛ්‍ය දෙකක්ද සිහිකරත්.

බුදුවරයන් වහන්සේලාට මෙපමණයැයි සීමාවක් නැත. යම්තාක් කැමැති වෙත්ද ඒතාක් සිහි කරත්.



යම් ඒ අගතැන්පත් කර්මවාදී තීර්ථකයෝ වෙත්ද ඔවුහු කඳපිළිවෙලින් සිහිකරත්. පිළිවෙල සිඳ දමා නොහැකි වෙත්. පිළිවෙලින් සිහිකරන්නාහු නමුත් අසඤ්ඤභාවයට පැමිණ ස්කන්ධ පැවැත්ම නොදකිත්. දැලෙහි බැඳුනු පක්‍ෂීන් මෙනි. මොට වූවන් මෙන් කොරුන් මෙන් වෙත්. ඔවුහු එහි සිට මෙය පමණයි. මින් එහා නැත යන දෘෂ්ටිය ගනිත්. මෙසේ තීර්ථකයන් පෙරවිසූ කඳපිළිවෙල සිහිකිරීම වනාහි අන්ධයාගේ කණවැල අල්ලාගෙන යාම වැනිය. යම්සේ අන්ධයෝ සැරයටිය අග අල්වා ගත්තවුන් ඇතිකල්හි යත්. නැතිකල්හි එහිම හිඳිත්. මෙපරිද්දෙන් තීර්ථකයෝ කඳපිළිවෙලින් සිහිකරන්නට හැකිවෙත්. පිළිවෙල හැර නොහැකි වෙත්.

ශ්‍රාවකයෝ ද කඳපිළිවෙලින් සිහිකරත්. අසඤ්ඤ භවයට පැමිණ ස්කන්ධයන්ගේ පැවැත්ම නොදකිත්. මෙසේ ඇතිකල්හිද සසර සැරිසරන සත්ත්වයන්ගේ ස්කන්ධයක් නොමැති කාලයක්ද නැත. අසඤ්ඤ භවයෙහි වනාහි කල්ප පන්සියයක් පවතීයැයි එපමණ කාලයක් ඉක්මවා බුදුවරයන් වහන්සේලා විසින් දෙන ලද ක්‍රමයෙහි පිහිටා එයින් එහි සිහිකරත්. යම්සේ ආයුෂ්මත් ඝොසිත තෙරුන් මෙනි.

අගසව් දෙනමද පසේබුදුරයන් වහන්සේලා ද චුති ප්‍රතිසන්ධි බල බලා සිහිකරත්.

බුදුවරයන් වහන්සේලාට චුති, ප්‍රතිසන්ධි දෙකම නැත. යම් යම් ස්ථානයක් දකිනු කැමැතිද ඒ ඒ දේම දකිත්.



තීර්ථකයෝ ද පෙර අත්බැව් සිහිකරන්නාහු තමා විසින් දකින ලද අසන ලද කරන ලද දෙයම සිහිකරත්. ශ්‍රාවකයෝද එසේම වෙත්.

පසේබුදුවරයන් වහන්සේලාත්, බුදුවරයන් වහන්සේලාත් තමන් විසින් හෝ අනුන් විසින් දකින ලද අසන ලද කරන ලද සියල්ලම සිහිකරත්.



තීර්ථකයන්ගේ පෙර විසූ අත්බැව් දැනීමේ නුවණ කදෝපැණියකුගේ ආලෝකය බඳුය.

ශ්‍රාවකයන්ගේ වනාහි ප්‍රදීපයක ආලෝකය බඳුය.

අග්‍ර ශ්‍රාවකයන්ගේ වනාහි ඕෂධී තාරකාවේ ආලෝකය මෙනි.

පසේබුදුවරයන් වහන්සේලාගේ වනාහි චන්ද්‍රයාගේ ආලෝකය වැනිය.

බුදුවරයන් වහන්සේලාගේ වනාහි සරත් කාලයේ සූර්යයාගේ ආලෝකය බඳුය. උන්වහන්සේලාට මෙපමණ ජාති සියය ජාති දහසක් ජාති ලක්‍ෂයක් හෝ කල්ප සියයක් කල්ප දහසක් කල්ප ලක්‍ෂයක් කියා නැත. යමක් සිහි කරන්නේ ද එහි පැකිලීමක් හෝ ගැටීමක් නැත. ආවර්ජනය හා බැඳුනේම වන්නේ ය. කැමැත්ත, මෙනෙහි කිරීම හා සිතිවිල්ල පහළවීම හා බැඳී පවතී. දුබල පරඬලාවක හෙළන ලද රත්වූ යකඩයක් මෙන් සිනේරු පර්වතයෙහි විදින ලද වජ්‍රයක් මෙන් නොරැඳී ගමන් කරයි.
අහෝ! බුදුවරයන් වහන්සේගේ පෙර විසූ කඳපිළිවෙල දන්නා නුවණ පුදුම සහගත ය. මහත්ය.