මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ මහාතණ්හාසඞ්ඛය සූත්‍ර අට්ඨකථාවෙහි සඳහන් වන්නේ මෙසේ ය.

තස්‌මා අයං භික්‌ඛු බුද්‌ධෙන අකථිතං කථෙති,

( එම නිසා මෙම භික්ෂුව බුදු රජුන් විසින් නොකියන ලද දෙයක් කියයි )

ජිනචක්‌කෙ පහාරං දෙති,

( { භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම චක්‍රය ට } ජිනචක්‍රයට ප්‍රහාරයක් දෙයි )

වෙසාරජ්‌ජඤාණං පටිබාහති,

( {භාග්‍යවතුන් වහන්සේගේ සතරක් වූ} විශාරද ඥානයන් සම්පූර්ණයෙන් බැහැර කරයි )

සොතුකාමං ජනං විසංවාදෙති,

( {භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය} අසන්නට කැමැති වූ ජනතාව බොරුවෙන් මුලා කරයි )

අරියපථෙ තිරියං නිපතිත්‌වා මහාජනස්‌ස අහිතාය දුක්‌ඛාය පටිපන්‌නො.

( ආර්ය මාර්ගයෙහි හරහට පතිත වී මහ ජනතාවට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ය )

යථා නාම රඤ්‌ඤො රජ්‌ජෙ මහාචොරො උප්‌පජ්‌ජමානො මහාජනස්‌ස අහිතාය දුක්‌ඛාය උප්‌පජ්‌ජති,

( යම්සේ රජුගේ රාජ්‍යයෙහි මහ සොරෙකු උපදින්නේ මහජනතාවට අහිත පිණිස දුක් පිණිස ඉපදෙයි ද )

එවං ජිනසාසනෙ චොරො හුත්‌වා මහාජනස්‌ස අහිතාය දුක්‌ඛාය උප්‌පන්‌නොති වෙදිතබ්‌බො

( මෙසේ ජිනශාසනයෙහි සොරෙක් වී ජනතාවට අහිත පිණිස දුක් පිණිස ඉපදුනා යැයි දැන ගත යුතුයි )

භාග්‍යවතුන් වහන්සේ විසින් අති දීර්ඝ කාලයක් පාරමිතා පූරණය කරන ලද්දේ ඉතා නිවැරදි ව අන්‍යයන්ට ධර්මය දේශනා කිරීම පිණිසය. මෙසේ, අප්‍රමාණ වූ ත් අච්න්ත්‍ය වූ ත් මහා කුසල් ප්‍රමාණයක් රැස් කිරීම මගින් ලබාගත් සර්වඥතා ඥානයට නො සලකමින්, අන්‍යාගමිකයන් සේ අගෞරව කරමින්, එම අතුල්‍ය වූ ඥානයෙන් දේශිත එක ධර්ම ස්කන්ධයකුදු බැහැර කරන්නේ නම්, එම කර්මය අතිශයින් බැරෑරුම් වූ කර්මයකි. අතිශය භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි. මෙම කර්මය රැස්කර ගන්නා පුද්ගලයා හට කවදා සෙතක් සුවයක් අත් වේද යන්න සිතා ගැනීමට ත් දුෂ්කර ය.