1).එකල්හි භාග්‍යවතුන් වහන්සේ පියවරෙහි පියවර තබමින් ලැසිගමනින් පෙරටුව පෙරටුව වඩනාසේක. රාහුල හිමියෝ බුදුහිමියන්ගේ පා අනුව පසුපසින් වඩිති.

එහිදී භාග්‍යවතුන් වහන්සේ සුපිපි සල්වනයක් මැද සිට යහපත් බිමකට බැසීමට නික්මුණු උතුම් මත් ඇතකු මෙන් බැබලුණු සේක. රාහුලභද්‍ර උතුම් හස්තියාගේ පසුපසින් නික්මුණු ඇත්පැටවකු මෙන් විය. භාග්‍යවතුන් වහන්සේ සවස්යාමයෙහි මැණින් ගුහාවකින් නික්මී ගොදුරට පිළිපන් කේශර සිංහයකු මෙන් වූහ. රාහුලභද්‍ර සිංහරාජයා ලුහුබඳිමින් නික්මුණු සිංහ පෝතකයකු මෙනි. භාග්‍යවතුන් වහන්සේ මැණික් පව්වක් වැනි වන ලැහැබින් එන මහ දත්ඇති මහා ව්‍යාඝ්‍රයෙකු වැන්න. රාහුලභද්‍ර ව්‍යාඝ්‍රරාජයා අනුව යන ව්‍යාඝ්‍ර පෝතක යකු වැන්න භාග්‍යවතුන් වහන්සේ සිම්බලි පොකුණින් නික්මුණු ගුරුළු රජුවැන්න. රාහුලභද්‍ර ගුරුළුරජු පසු පසින් නික්මුණු ගුරුළු පොව්වකු වැන්න. භාග්‍යවතුන් වහන්සේ චිත්‍ර කූට පර්වතයෙන් ගුවන්තලයට පියෑඹු ස්වර්ණහංස රාජයකු වැන්න. රාහුලභද්‍ර හංසරාජයා අනුව පියාඹන ස්වර්ණ හංස පෝතකයකු වැන්න. භාග්‍යවතුන් වහන්සේ මහ සයුරෙහි පාවෙන මහරන් නැවක් වැන්න. රාහුලභද්‍ර රන් නැවට සම්බන්ධව පසුපසින් බැඳි පහුරක් වැන්න. භාග්‍යවතුන් වහන්සේ චක්‍ර රත්න ආනුභාවයෙන් ගුවන් තලයට සැපත් සක්විති රජුවැන්න. රාහුලභද්‍ර රජු අනුව සැපත් පුත්‍රරත්නය වැන්න. භාග්‍යවතුන් වහන්සේ වලාකුළු නැති අහස්තලයට පිළිපන් චන්ද්‍රයා වැන්න. රාහුලභද්‍ර චන්ද්‍රයාගේ මගට පිළිපන් පරිශුද්ධ ඕසධී තාරකාව වැන්න.

භාග්‍යවතුන් වහන්සේද මහාසම්මත ප්‍රවේණියෙහි ඔක්කාක රාජවංශයෙහි උපන්හ. රාහුලභද්‍ර එසේය. භාග්‍යවතුන් වහන්සේද රාහුල භද්‍රද සක්ගෙඩියක දැමු කිරක් සේ සුපරිශුද්ධ ජාති ඇති ක්ෂත්‍රිය කුලයෙහි උපන්හ. භාග්‍යවතුන් වහන්සේද රාහුල භද්‍රද රාජ්‍යය අත්හැර පැවිදිවුවෝය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය දෙතිස් මහා පුරිස් ලකුණින් ප්‍රතිමණ්ඩිතය. දෙවිනුවර නැගු රුවන් තොරණක් වැන්න. සැමතැන මල් පිපුණු පරසතු රුකක් මෙන් අතිමනෝහරය. රාහුලභද්‍රගේ ශරීරයද එසේය. මෙසේ දෙදෙනම අහිනීහාර සම්පන්නය. දෙදෙනාම රජකුලයෙන් පැවිදිවුවෝය. දෙදෙනම ක්ෂත්‍රිය සුකුමාරය. දෙදෙනම රන්වන්ය. දෙදෙනම උපලක්ෂණ සම්පන්නය. එක් මගකට පිළිපන්නෝය. පිළිවෙළින් යන්නාවූ චන්ද්‍රමණ්ඩල දෙකෙහි, සුර්ය මණ්ඩල දෙකෙහි, ශක්‍ර සුයාම සන්තුසිත පරනිර්මිත වසවර්ති මහා බ්‍රහ්මයන්…… දෙදෙනාගේ ශ්‍රීය අභිබවන්නාක් මෙන් බැබලුණහ.
එහිදී ආයුෂ්මත් රාහුල හිමියෝ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යන්නාහු තථාගතයන් වහන්සේගේ පාතලයෙහි සිට කේශාන්තය දක්වා බැලුහ. හේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වේශයෙනි විලාසය දැක දෙතිස් මහා පුරුෂලක්ෂණයෙන් විචිත්‍ර වු ශරීරයක් ඇති බඹයක් වටකළ ප්‍රභා මණ්ඩලයක් ඇති, විසිරීගිය රන් සුණු මැදට පැමිණියාක් මෙන්ද විදුලියෙන් වෙළාගත් රන් පව්වක් මෙන්ද. යන්ත්‍ර සුත්‍රයන්ගෙන් ඇදගෙන යන්නාවු රුවනින් විචිත්‍ර වූ රන් ඇහෑයක් මෙන්ද පංසුකූල චීවරයෙන් වැසුණද රන් කම්බිලියෙන් වැසුණු රන්පව්වක් මෙන්ද, පබළුවැලින් විසිතුරු වූ රන් ඇගෑයක් මෙන්ද, චීන පිටිසුන්නෙන් පිදුණු ස්වර්ණ චෛත්‍යයක් මෙන්ද, ලාරසින් තවරන ලද කනක යූපස්තම්භයක් මෙන්ද, රන්වලාවන් අතරට පැමිණි එකෙණෙහි නැගුණු පුන්සඳමෙන්ද, භාග්‍යවතුන් වහන්සේ බබලන සේක. සමතිස් පෙරුම් දමින් සැදුණු ආත්මභාවයෙන් ශ්‍රී සම්පත්තිය පුදුමය යයි සිතූහ. ඉන්පසු තමාදෙසද බලා මමද හොබිමි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සිව්මහ දිවයින්හි සක්විති රජය කළසේක්නම්, මට පරිනායක තනතුර දෙනු ඇත. මෙසේ ඇති කල්හි දඹදිව් තලය අතිශයින් බැබලෙන්නට තිබුණියි ආත්මභාවය ඇසුරින් ගෙන සිත ඡන්දරාගය ඉපදවීය.

2).ඉක්බිති, ඔහුගේ භවනයෙහි තථාගතයන්වහන්සේ වැඩහුන් කල්හි සෙසුභික්‍ෂූන් කෙළවරෙහි සිට වැඩහිඳිත්දී හාස්තෘන්වහන්සේ ඉදිරියෙහිම උපරෙවත සාමණේරයන්ට අසුනක් පැනවීය. නාරජු කැඳ දෙමින්ද කැවිලි දෙමින්ද වරක් බුදුරදුන් දෙස බලයි. වරක් උපරේවත සාමණේරයන් දෙස බලයි ඔහුගේ සිරුරෙහි තථාගතයන්ගේ සිරුරෙහි මෙන් දෙතිස් මහා පුරුෂලක්‍ෂණ පැනෙයි. ඉක්බිති නාරජ තෙමේ, ‘මේ සාමණේර නම බුදුවරුන්ට සමානව පෙනෙයි. මේ කිමෙක් වේදැයි නුදුරෙහි හුන් එක්තරා භික්‍ෂුවකගෙන් ‘ස්වාමීනි. මේ සාමණේර තෙමේ දශබලයන්වහන්සේට කවරෙක් වේදැයි ඇසීය ‘මහරජ, පුතුය.’ හෙතෙම, ‘පුදුමයෙකි, මේ භික්‍ෂුව මෙසේ රූපයෙන් හා යසසින් අගතැන්පත් තථාගතයන්වහන්සේගේ පුත්‍රභාවය ලැබීය. මොහුගේ ශරීරයද ඒකදේශයකින් බුදුන්ගේ ශරීරයට සමානව පෙනෙයි. මාද අනාගතයෙහි මෙබන්දකු වීම වටනේයයි සිතුවේය. හෙතෙම සත්දිනක් මහදන්දී ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයාගේ ආනුභාවයෙන් මේ උපරේවත මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ පුතෙක් වන්නෙම්වායි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුන්ගේ පුත්‍රයා වන්නෙහියයි විවරණදී වැඩිසේක.

පටවින්‍ධර තෙමේ යළි අඩමස පැමිණිවිට විරූපාක්‍ෂ සමඟ සක් දෙවියන්ගේ උටවැනට ගියේය. ඉක්බිති සමීපයෙහි සිටි ඔහුගෙන් සක්දෙව් තෙමේ, ‘යහළුව, මේ දෙව් ලොව පතන ලද්දේදැ’යි ඇසීය. ‘ස්වාමීනි, නොපතන ලදී.’ ‘කවර දොසක් දැක්වේහිද?’ ‘මහරජ, දොසක් නැත. මම දශබලපුතුවූ උපරෙවත සාමණේරයන් දුටුවෙමි. ඔහුදුටු කල්හි සිට මගේ සිත අන්තැනක නොනැමුනේය. ඒ මම අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ මෙබඳුවූ පුතෙක් වන්නෙම්වා’යි ප්‍රාත්‍ථර්‍නා කෙළෙමි. ඔබද මහරජ, එක් පැතුමක් කරව. (එනම්): ‘ඒ අපි උපදින තැන නොවෙන් වන්නෙමු’යි කියාය. සක්දෙව් තෙමේ ඔහුගේ වචනය පිළිගෙන එක් මහානුභාව ඇති භික්‍ෂුවක දැක ‘මේ කුලපුත් තෙමේ කවර කුලයකින් නික්ම පැවිදි වූයේයදැ’යි සිහි කරන්නේ මෙතෙම බිඳුණු රටක් එක් කිරීමට හැකි කුලයක පුත්‍රයෙක්වී තුදුස් බත්සිඳීමක් කොට පැවිද්දට මව්පියන් අනුදන්වා ගෙන පැවිදි වූයේයයි දැන ගත්තේය. දැනද නොදන්නකුමෙන් තථාගයන්වහන්සේගෙන් අසි සත්දිනක් මහාසත්කාර කොට ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් නුඹවහන්සේගේ සසුනෙහි මේ කුලපුත්‍රයා මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍ර වන්නෙම්යයි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක ‘මහරජ, නුඹ අනාගතයෙහි ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී වැඩිසේක. සක්දෙව්තෙමේද තමන්ගේ දෙවිපුරයටම ගියේය.

3).ඕතොමෝද දිවිඇතිතෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නී අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම දෙව්දහනුවර මහාසුප්පබුද්ධගේ ගෘහයෙහි පිළිසිඳ ගත්තාය. ඇයට ගොතමීයයි නමක් කළාහුය. මහාමායාවගේ කනිටු සොයොහුරිය වෙයි. මන්ත්‍රගායන බමුණෝ ලකුණු පිළිගනිමින් (බලමින්) මේ දෙන්නාගේම කුසෙහි විසූ දරුවෝ සක්විති වන්නාහුයයි ප්‍රකාශ කළාහුය. සුදොවුන් මහරජතෙමේ වියපත්කල්හි ඒ දෙදෙනාම සරණමංගල කොට තමන්ගේ ගෙදරට රැගෙන ආවේය. මැතකාලයෙහි අපගේ බෝසතාණෝ තුසීපුරෙන් සැව මහාමායා දේවියගේ කුසෙහි පිළිසඳ ගත්හ. මහාමායා දේවිය ඒ බෝසතුන් උපන් දිනයෙන් සත්වෙනි දිනයෙහි කලුරිය කොට තව්තිසාවෙහි උපන්නීය. සුදොවුන් මහරජතෙමේ බෝසතුන්ගේ සුළුමවවූ ප්‍රජාපතී ගොතමිය අගමෙහෙසුන් කළේය. එකල්හි නන්ද කුමරුවා උපන්නේය. මේ මහාප්‍රජාපතී ගෝතමිය නන්දකුමරු කිරිමවුන්ට දී තොමෝ බොසතුන් වැඩුවාය.