“චුන්දය! යම්සේ දැන් මේ ලෝකයේ පහළ වූ යම් සමූහයක්, ගණයක් වේනම්, චුන්දය! භික්ෂු සංඝයා මෙන් ලබන ලද ලාභ, කීර්ති ප්‍රශංසාදියෙන් යුක්ත වූ අන්‍ය සමූහයක් හෝ ගණයක් මම නොදකිමි.”

මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද උපන් (මහා සැඩපහර දෙකක් බඳු) ලාභ සත්කාර දෙක එක්වී, මහා නදී දෙකක ජලපාර මෙන් අප්‍රමාණ විය.

ඉක්බිති ශාස්තෘන් වහන්සේ තනිව හුදකලා වූ සේක් මෙසේ සිතූ සේක. “අතීත බුදුවරුන්ට ද ලාභසත්කාර ලැබීම් මේ අයුරින් ම සිදුවිය. අනාගත බුදුවරුන්ට ද මෙසේම සිදුවේ. කිම භික්ෂූන් වහන්සේලා රසවත් ආහාරපාන ලැබ, සිහිකල්පනා ඇතිව රාගාදිය දුරුකරමින් සිවුපසය පරිභෝජනය කිරීමට සමත්වේද? අසමත්වේද?”යි යනුවෙනි.

මෙසේ විමසා බැලූ බුදුපියාණන් වහන්සේ දැන් අලුත පැවිදි වූ ඇතැම් කුලපුත්‍රයෝ ප්‍රත්‍යවේක්ෂා නොකර ආහාරපානාදිය පරිභෝජනය කරනු දුටුසේක. එය දැකීමෙන් පසු බුදුපියාණන් වහන්සේට මේ අදහස පහළවිය. “මවිසින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පාරමීදම් පිරූයේ හුදෙක් චීවරාදී ප්‍රත්‍ය ලැබීමට නම් නොවේ. උතුම් ඵලය වූ අරහත් බව පිණිසම පුරන ලද්දේය. මේ භික්ෂූහු මා ළඟ පැවිදි වූවෝ චීවරාදී ප්‍රත්‍ය ලබාගැනීමට ම නොවෙති. අර්හත් ඵලය සාක්ෂාත් කරගැනීමට ම පැවිදි වූහ. දැන් ඔවුහු මා දැක්වූ අසාර දෙය සාර ලෙසත් සාර දෙය අසාර ලෙසත් ගනිති”යි බුදුරදුන්ට ධර්මසංවේග පහළ වූ සේක. අනතුරුව මෙසේ සිතූසේක. “ඉදින් මට පස්වන පාරාජිකාවක් පැණවිය නොහැක. ප්‍රත්‍යවේක්ෂා නොකර ආහාර ගැනීම පස්වන පචිති ඇවතක් ලෙස සමාන වුවත්, මේ ආහාර ගැනීම් ආදිය පුහුදුන් සත්වයන්ගේ නිත්‍ය අවශ්‍යතාවක් වන බැවින් එසේ පැණවිය නොහැක. මෙය පස්වැනි පාරාජිකාව මෙන් දේශනා කළ කල්හි, අනාගතයේ එය සිහිපත් කරන භික්ෂූන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරමින් සිවුපසය වළඳනෝ ම ය. උන්වහන්සේලා මෙසේ ධර්මයේ දාසයන්ව, සංවරයෙන් යුක්තව, තම සීමාව මැනවින් දැනගනිති. මේ අර්ථෝත්පත්තිය සඳහාම මෙම පුත්තමංස උපමා සූත්‍රය දේශනා කළ සේක.

අඹු සැමි දෙදෙන තම පුතා ද රැගෙන අල්පවූ මාර්ගෝපකරණ සහිතව යොදුන් සීයක් වූ කාන්තාර මාර්ගයට පැමිණියහ. ඔවුන් ගෙනා මාර්ගෝපකරණ යොදුන් පනහක් ගිය තැන නිමාවට පත්විය. ඔවුහු සා පිපාසා දෙකින් පීඩිතව දුර්ලභ ගස් සෙවනක හිඳගත්හ. පුරුෂයා භාර්යාවට මෙසේ කීවේය. “සොඳුර! මේ හාත්පස පනස් යොදුනක් යනතෙක් ගමක් හෝ නියම්ගමක් හෝ නැත. එනිසා පුරුෂයකු විසින් කළයුතු සීසෑම්-ගවරක්‍ෂණාදියක් මාහට දැන් කළ නොහැක. එන්න. මා මරා මගේ ශරීරයෙන් භාගයක් කා, ඉතිරි භාගය මාගෝපකරණ ලෙස ගෙන පුතා සමග කාන්තාරය තරණය කරන්න”යි පැවසූ වදන් ඇසූ බිරිඳ “ස්වාමීනි! මවිසින්ද දැන් ස්ත්‍රියක විසින් කළයුතු වූ නූල්කැටීම් ආදී ජීවනෝපායක් කළ නොහැක. එන්න. මා මරා ශරීරයෙන් අඩක් කා, ඉතිරි අඩ මාර්ගෝපකරණ ලෙස ගෙන පුතා සමග සුවසේ කාන්තාරයෙන් එතරවන්න”යි කීවාය. එය ඇසූ සැමියා නැවත බිරිඳට මෙසේ කීවේය. “සොඳුර! ස්ත්‍රියගේ මරණය සිදුවුවහොත් දෙදෙනෙක් මරණයට පත්වේ. මේ ළදරු කුමරා මව නොමැතිව ජීවත්වීමට අසමත් වේ. ඉදින් අපි දෙදෙනම ජීවත්වෙමු නම් නැවත දරුවකු ලබාගන්නෙමු. එනිසා අපි පුතා මරා මස් කා කාන්තාරය තරණය කරමු” යනුවෙනි. එවිට මව තම පුතුට මෙලෙස කීවාය. “පුතේ! පියා ලඟට යන්න” දරුවා පියා ලඟට ගියවිට, පියා “මවිසින් මේ පුතණුවන් නොයෙක් ගොවිතැන් ගවරක්ෂණාදී කර්මාන්තවල යෙදීමෙන් අනල්ප වූ දුක් විඳිමින් පෝෂණය කළෙමි. මම පුතා මැරීමට අසමත් වෙමි. නුඹම නුඹේ පුතා මරව”යි කියා දරුවාට “පුතේ! අම්මා වෙතයන්න”යි කීව්වේය. දරුවා නැවත මවු ලගට ගියේය. එවිට මවු ද “මවිසින් පුතෙකු ප්‍රාර්ථනා කරමින් ගෝවෘත, සුනඛවෘත, දෙවියන්ට කන්නලවු කිරීමාදියෙන් අනල්පවූ දුක් නුඹ ලබාගැනීමට වින්දෙමි. නුඹ කුසදරණ කාලයේ විඳි දුක් ගැන කියනු කිම? මේ පුතු මැරිමට මම අසමත් වෙමි”යි කීවාය. මෙලෙස මේ මවු-පිය දෙදෙන වෙත යමින් ම දරුවා මැරී වැටුණි. ඔවුහු එය දැක හඬා වැලපී මස් ගෙන කමින් පිටත්ව ගියහ.

ඔවුන්ගේ ඒ පුත්‍ර මාංශය කාරණා නවයකින් පිළිකුල් සහගත වේ. ක්‍රීඩා පිණිස හෝ මදය පිණිස හෝ අලංකාරය පිණිස හෝ සැරසීම පිණිස හෝ නොව හුදෙක් කාන්තාරයෙන් එතෙරවීම සඳහා ම ඔවුහු එය අනුභව කරති.

කවර කාරණා නවයකින් එම ආහාරය පිළිකුල් කටයුතු වේද?

තම වර්ගයේම අයෙකුගේ මස් බැවින්,

සිය ඥාතියකුගේ මස් බැවින්,

තම එකම පුතුගේ මස් බැවින්,

ප්‍රිය වූම පුතුගේ මස් බැවින්,

ළදරු මස් බැවින්,

අමු මසක් බැවින්,

නොකෑ යුතු මසක් බැවින්,

ලුණු නැති මසක් බැවින්,

නොපිසූ මසක් බැවින් යන කරුණු නවයෙනි.

මෙසේ ආකාර නවයකින් පිළිකුල් වූ ඒ මස් ඔවුහු දෙදෙන ඇලී ගිජුව ගෙන නොම අනුභව කළහ. මධ්‍යස්ථ වූම නොකැමති විරාගී පරිභෝජන සිතින් යුක්තවම අනුභව කළහ. ඔවුහු දරුවාගේ සිරුරේ ඇට, නහර, සම් ආදිය ආශ්‍රිත වූ අපද්‍රව්‍ය බැහැර කර, තර වූ දැඩිවූ හොඳ මස්ම තෝරාගෙන අනුභව නොකළහ. අතට පැමිණි මසක්ම ගෙන අනුභව කළහ. මදින්මද ඒ ඒ දිනට යැපීම් පමණට ම මස් අනුභව කළහ. ඔවුනොවුන් කෙරෙහි මසුරු-ලෝභ සිතින් නොම අනුභව කළහ. දුරුවූ මසුරුමල ඇති, පිරිසිදු වූ සිතින්ම එය අනුභව කළහ. “අනික් කිසියම් මුව මසක් හෝ මොණර මසක් හෝ එවැනි අනික් මසක් කමු”යි නොමුලාව ම අනුභව කළහ. මෙය මා ප්‍රිය පුතුගේ ම මාංශය යැයි දැන දැනම අනුභව කළහ. එපමණක් නොව, “අනේ අපිට මෙබඳු වූ තවත් පුතෙකුගේ මාංශයක් කෑමට ලැබේවා!”යි ප්‍රාර්ථනා නොකර ම මේ මස් අනුභව කළහ. කිසිදු පැතුමක් නොමැතිවම ආහාරය අනුභව කළහ. “මේ කොටස කාන්තාරයේදී අනුභව කර, ඉතිරි කොටස කාන්තාරය නිමවූ පසුව ගමට ගොස් ලුණු-ඇඹුල් යොදා රසකර කන්නෙමු” යි මස් ඉතිරි කරගෙන අනුභව නොකළහ. කාන්තාරය අවසන් වූ කෙණෙහිම “නුවර මහජනයා දකී”යැයි ඉතිරි මස් වළ දැමූහ. නැතිනම් ගින්නට දැමූහ. “වෙන අන් කිසිවෙක් අප මෙන් තම. පුතුගේ මස් කෑමට නොලැබුවෝයැ”යි තමා ගැන මානයක් හෝ ආඩම්බරයක් නොදැක්වූහ. නිහතමානීව, නිරහංකාරව ම එය අනුභව කළහ. “මේ ලුණු නැති, ඇඹුල් නැති, නොපිසූ, දුගඳ හමන ආහාරයෙන් කවර වැඩක් ද?”යි පිළිකුල් කරමින් අනුභව නොකළහ. “පිළිකුල” දුරින්ම දුරුකර අනුභව කළහ. “මේ නුඹේ භාගයයි.” “මේ මගේ භාගයයි.” “නුඹේ පුතා” “මගේ පුතා” යනුවෙන් ඔවුනොවුන්ට අවමන් කරමින් අනුභව නොකළහ. සමගි සමාදානයෙන් යුක්තව ම එම මස් අනුභව කළහ. ඔවුන්ගේ මේ පරිභෝජනය සළකා බලන ශාස්තෘන් වහන්සේ භික්ෂු සංඝයාට ද ඒ කාරණය ම අනුදැන වදාරන සේක්,

මෙසේ මේ නවාකාර ප්‍රතිකූලයන්ගේ වශයෙන් පුත්‍ර මාංශය උපමා කරගෙන ආහාර අනුභව කළයුතුයි.

යම්සේ අඹුසැමි යුවල පිළිකුල් වූ පුතුගේ මාංශයම අනුභව කරන ලද්දේ එහි ඇලී-ගිජු සිතින් නොවේ. මධ්‍යස්ථ භාවයෙන් හා දුරුකළ ඡන්ද -රාග ඇතිවම එය අනුභව කළාක් මෙන් භික්ෂුව ද සිවුපස පරිභෝජනය කිරීමේදී “ඡන්ද-රාග දුරුකළ මැදහත් සිත” පවත්වාගත යුතු වේ. එම දෙමාපිය දෙදෙන ඇට, සම්, නහර මිශ්‍රිත වූ මස් කොටස් බැහැරලා, තද -දැඩි වූ හොඳ හොඳ මස්ම අනුභව නොකර, අතට පැමිණි මසක්ම අනුභව කිරීම මෙන් භික්ෂුව ද නීරස බත් ව්‍යඤ්ජනාදිය පිටි අලෙන් බැහැර කර, වටුමස්-කුකුල්මස් ආදිය සීමාවක් නොදැන පිළිගෙන ඒ ගිතෙල් මස් ආදියෙන් යුතු රසවත් ආහාරම සොයා අනුභව නොකර, සිංහයකු මෙන් පිළිවෙලක් සහිතව අනුභව කළ යුතුය.

යම්සේ ඒ දෙමාපිය දෙදෙන ගෙල ලඟට ම ආහාර නොගෙන එක් එක් දිනට යැපෙන පමණට මදින් මද ආහාර අනුභව කළේ ද එලෙසින්ම භික්ෂූන් වහන්සේ ද ආහාරහත්ථකාදී බමුණන් මෙන් කුස පිරීයන තරම් ආහාර නොගෙන, සතර පස් පිඩකට ඉඩ තබා ධර්මසේනාපති සැරියුත් මහතෙරුන් මෙන් වැළඳිය යුතුයි.

තෙරුන්වහන්සේ වනාහී අවුරුදු හතලිස් පහක් වැඩ වසමින් පසු බත් කල, ඇඹුල්රස උගුරට එන පරිදි කිසිදිනෙකවත් ආහාර නොගත් බව සිංහනාද කරමින් පවසන සේක් මේ ගාථාව වදාළහ.

චත්තාරො පඤ්ච ආලොපෙ අභුත්වා උදකං පිවෙ
අලං ඵාසු විහාරාය – පහිතත්තස්ස භික්ඛුනො

“කුසේ සතර-පස් පිඩකට ඉඩ තිබියදී ආහාර අනුභව නොකර ජලය පානය කළෙමි. නිවන පිණිස මෙහෙයූ-වීර්ය වඩන්නා වූ සිත් ඇති භික්ෂුවගේ පහසු විහරණයට මෙනිසා හැකියාව ලැබේ.”
ඒ අඹුසැමියෝ දෙදෙන ඔවුනොවුන්ට මසුරුසිත් නූපදවා, දුරුකල මසුරු සිත් ඇතිව, පිරිසිදු සිතින් ම පුත්‍ර මාංශය අනුභව කළාහුද එපරිද්දෙන්ම පිණ්ඩපාතය ලැබ ඒ පිළිබඳ මසුරුසිත් නොමැතිව; “මේ සියල්ල ගන්නහුට මේ සියල්ලම දෙමි. මින් අඩක් ගන්නහුට ඒ අඩ දෙමි. ඉදින් අන්‍යයන් රැගෙන ඉතිරි වූ දෙයක් වේ නම් එය තමා විසින් අනුභව කරන්නේය” යන සාරාණීය (සිහිකටයුතු) ධර්මයේ පිහිටියහු විසින් ම ආහාර අනුභව කළයුතු වන්නේය.

ඒ අඹු සැමි දෙදෙන “අනික් කිසියම් මුව-මොණර ආදී රසවත් මාංශයකි”යි මුළාවට පත්නොවී, “මේ පුත්‍ර මාංශය මයැ”යි දැන දැනම අනුභව කළාක් මෙන් පිණ්ඩපාතය ලැබ; “මම ආහාර ගනිමි. අනුභව කරමි” යැයි ආත්ම දර්ශනයේ පිහිටා මුලාවීමට අවසර නොදී, “මේ කබලිංකාහාරය, සිවුමහාභූතමය වූ මේ කය තමා විසින්ම පෝෂණය කරන්නේ ය”යි නොදනී. මේ සිවුමහා භූතමය කය ද කබලිංකාර ආහාරයෙන් මා වර්ධනය වන්නේ යැයි නොදනී. යනුවෙන් මෙසේ නොමුලාව අනුභව කළ යුතුයි. සති සම්ප්‍රප්ඥ වශයෙන් හෝ නොමුලා වී වැළඳිය යුතුයි.

එසේම දෙමාපිය දෙදෙන – “අනේ අපට නැවතත් මෙබඳු පුත්‍ර මාංශයක් කෑමට ලැබේවා!”යි ප්‍රාර්ථනා නොකොට, මෙබඳු පැතුමක් නොමැතිවම අනුභව කළේද, ඒ අයුරින්ම භික්ෂුව ප්‍රණීත භෝජනයක් ලැබ, “අනේ හෙටත්, ඉන් පසුවත් මෙබඳු ම ආහාර ලැබේවා!”යි යනුවෙන් ද, නීරස ආහාරයක් ලැබ “අනේ ඊයේ මෙන් අද රස භෝජනයක් නොලැබුණේයැ”යි යනුවෙන්ද ප්‍රාර්ථනා කිරීම හා ශෝක කිරීම යන දෙකම තණ්හා දුරුකළ භික්ෂූන්ට නුසුදුසුය.

“අතීතං නානු සොචාමි නප්ප ජප්පාන මනාගතං
පච්චුප්පන්නෙන න යාපෙමි- තෙන වණ්ණො පසීදති”

“අතීතය පිළිබඳව ශෝක නොකරමි. අනාගතය පිළිබඳ කල්පනා ඇතිකර නොගන්නෙමි. වර්තමානයේ ම යැපෙමි. ජීවත් වෙමි. එයින් සිරුර පැහැපත් වේ.
මෙසේ අවවාද සිහිකරන්නහු විසින් “වර්තමානයේ ම යැපෙමි”යි ආහාර වැළඳිය යුතුයි.

මවුපිය දෙදෙන, “මේ මස් කොටස කාන්තාරයේදී අනුභව කර, ඉතිරි කොටස ගමකට පැමිණ ලුණු-ඇඹුල් යොදා රසට කමු”යි තැන්පත් නොකළහ. කාන්තාරය නිම වූ වහා “නුවර ජනයා දකීවි”යැයි බියෙන් ඉතිරි වූ මාංශ පොළවෙහි සැඟවූහ. ගින්නට හෝ දැමූහ. මේ අයුරින් ම

අන්නානමථො පාණානං ඛාදනීයානං අථොපි වත්ථානං
ලද්ධන සන්නිධිං කයිරා නච පරිතස්සෙ තානි අලභමනො

“ආහාර පානයන් ද කෑයුතු-බුදිය යුතු දේ ද වස්ත්‍රාදිය ද ලැබ ඒවා රැස්කිරීම නොකල යුතුයි. ඒවා නොලැබුණු විට ශෝක කිරීම ද නොකළ යුතුයි.”
යනාදී මේ අවවාද සිහිකරන්නවුන් විසින් සිවුපසයෙන් තමාට යමක් ලැබේද එයින් යැපෙන පමණක් ගෙන, ඉතිරිය අන්‍ය සබ්‍රහ්මචාරීන්ට දී රැස් කිරීමෙන් තොරව සිවුපස පරිභෝජනය කළ යුතුයි.

මාපිය දෙදෙන, “අනික් කිසිවකු අප මෙන් මෙබඳු වූ පුත්‍ර මාංශයක් කෑමට නොලැබුවෝය”යි මානයක් හෝ ආඩම්බරයක් හෝ නූපදවා, නිහතමානීව-නිරහංකාරවම එය අනුභව කළහ. මේ අයුරින් ම රස භෝජනයක් ලැබ, “මම වනාහී ඉතා උසස් සිවුරු, පිණ්ඩපාත ආදිය ලබන්නෙමු”යි මානයක්-ආඩම්බරයක් නොකළ යුතුයි. “මේ පැවිද්ද සිවුරු ආදී හේතුවක් නිසා නොව රහත්බව පිණිසමයැ”යි ප්‍රත්‍යවේක්ෂා කර දුරුවූ මාන දර්ප ඇතිව සිවුපස පරිභෝජනය කළ යුතුයි.

ඒ මාපිය දෙදෙන – “මේ ලුණු නැති, ඇඹුල් නැති, නොපිසූ, දුගද හමන ආහාරයෙන් කවර වැඩක් ද?”යි පිළිකුල් නූපදවා, පිළිකුල දුරුකර මාංශය අනුභව කළහ. ඒ අයුරින්ම භික්ෂුව පිණ්ඩපාතය ලැබ, “මේ රූක්ෂ වූ නීරස වූ අශ්ව, ගවාදීන්ට දෙන ආහාර වැනි වූ – ආහාරයෙන් කවර ප්‍රයෝජනයක්ද? මෙය ප්‍රාණීන් සහිත දොළකට දමවු”යි කියා පිණ්ඩපාතය විසිකිරීම හෝ, “මෙය අනුභව කරනුයේ කවුද? බලු කපුටන්ට ම දෙව”යි කියා දායකයන් දුන් දානය පිළිකුල් කර ඔවුන්ට ම දීම හෝ නොකළ යුතුයි.

සපත්තපාණි විචරන්තො- අමුගො මූග සම්මතො
අප්පං දානං න හීළෙය්‍ය- දාතාරං නාව ජානියා

“පාත්‍රය අතින් ගෙන හැසිරෙනුයේ – ගොළුවකු නොවූයේ නමුත් කිසිවකු හා කථාබහ නොමැතිව, අල්ප දානයේ දී වුවත් පිළිකුල් නූපදවා දෙන්නා වූ දායකයාට ද අවමන් නොකර පිණ්ඩපාතයේ හැසිරිය යුතුයි.”
මේ අවවාද සිහිකරන්නා විසින් පිණ්ඩපාතය අනුභව කළ යුතුයි.
ඒ දෙමාපියෝ “මේ නුඹගේ භාගයයි. මේ මගේ භාගයයි. මේ නුඹේ පුතායි. මේ මගේ පුතායි” යනුවෙන් ඔවුනොවුන් ඉක්මවමින් අවමන් කිරීමෙන් ඉවත් වී සමගිව සතුටින් යුක්තවම මාංශය අනුභව කළහ. එපරිද්දෙන්ම පිණ්ඩපාතය ලැබූ ඇතැම් භික්ෂූහු, “නුඹලාට දන් දෙන්නේ කවුද? නිකරුණේ ගෙදර එළිපත්ත මත පැකිළෙමින් ඇවිදින්නෙහු. නුඹලා වැදු මව පවා නුඹලාට දන් නොදෙති. මට වනාහී ගිය ගිය තැන ප්‍රණීත වූ සිවුරු පිරිකර ලැබේ” යනුවෙන් සිල්වත් සබ්‍රහ්මචාරීහු හෙළාදකිමින්, ඔවුන්ට අවමන් කරති. ඒ සඳහා මෙය කියන ලදී.

“ඒ භික්ෂුව ලාභ, සක්කාර, කීර්ති, ප්‍රශංසාදියෙන් අන්‍ය ශික්ෂාකාමී භික්ෂූහු පහත්කොට සිතයි. අවමන් කරයි. මහණෙනි! ඒ මෝඩ හිස් පුරුෂයාට එම කාරණය බොහෝ කාලයක් අහිත පිණිස, දුක්පිණිස හේතු වන්නේය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ.

එනිසා මෙසේ කිසිවකුත් පිළිබඳව අවමන් නොකර, සියලු බ්‍රහ්මචාරීන් සමග සමගිව සමාදානයෙන් යුතුව සතුටින් සිවුපස පරිභෝජනය කළ යුතුයි.