නානාබද්ධ – අවිකෝපනය, සඞ්ඝපතිමානනය, සත්‍ථු පක්කෝසනය, අද්ධාන පරිච්ඡේදය යන චතුර්විධ පූර්වකෘත්‍යයන් කරයි.
 
එහි ‘නානාබද්ධ-අවිකෝපන’ යනු, යම් (පිරිකර ආදියක්) මේ භික්‍ෂුව හා සමග එක්ව බැඳී නොපවතී නම්, එනම් (හඳනා, පොරෝනා ආදී වශයෙන් පරිභෝග නොකැරෙමින්) වෙන්ව පවතින යම් පා-සිවුරු, ඇඳපුටු හෝ නිවාස ගෘහ හෝ අන්කිසි පිරිකර ආදියක් හෝ වේ නම්, එයට හානි නොවන සේ – එනම්, ගිනි, දිය, සුළං, ආදියෙන් හෝ, සොරුන්, මීයන් ආදීන්ගෙන් විනාශ නොවන සේ – අධිෂ්ඨාන කළයුතුය.
 
එහිලා අධිෂ්ඨාන කළ යුතු ආකාරය මෙසේය:- “මේ මේ මේ දැය මෙම සතිය තුළ ගින්නෙන් නොදැවේවා, ජලයෙන් පාවී නොයේවා, සුළඟින් නොවිසිරේවා, සොරුන් විසින් පැහැරගනු නොලැබේවා, මීයන් විසින් කා-දමනු නොලැබේවා” ආදී වශයෙනි. මෙසේ අධිෂ්ඨාන කළ කල එම සතිය තුළ එයට කිසි හානියක් නොවන්නේය.
 
එසේ අධිෂ්ඨාන නොකළහොත්, ගිනි ආදියෙන් හානි සිදුවිය හැකිය, මහානාග ස්ථවියන්හට සෙයිනි; උන්වහන්සේ මව් උවැසියගේ ගමට පිඬු පිණිස පිවියහ; උවැසි තොමෝ උන්වහන්සේට කැඳ පිළිගන්වා ආසනශාලායෙහි හිඳවූය; උන්වහන්සේ නිරෝධයට සමවැද වැඩහුන්හ; උන්වහන්සේ වැඩහිඳියදී ආසනශාලාවට ගිනි ඇවිලිණි; සෙසු භික්‍ෂූහු තමතමන් හුන් අසුන් ගෙන ඉවත ගියහ. ගම්වැසියෝ රැස්වී තෙරුන් දැක, ‘අලස මහණෙක, අලස මහණෙකැ’යි කීහ; ගින්න තණ, හුණ, දැව දවාගෙන තෙරුන් වට කොට සිටියේය; මිනිස්සු කළවලින් දිය ගෙනවුත්, ගිනි නිවා, අලු ඉවත් කොට, පිරිසිදු කොට, මල් විසුරුවා වඳිමින් සිටියහ. තෙරුන් වහන්සේ පිරිසිඳින ලද කාලය අවසන් වූ කල ඔවුන් දැක, “ප්‍රකට වීමි”යි (නිරෝධ සමාපත්තියට සමවැද හුන් රහතකු බව හෙළි වීය’යි) අහසට නැඟ පුවඟු දිවයිනට වැඩියහ. ‘නානාබද්ධ – අවිකෝපන’ යනු මේය.
 
 
යමක් (පිරිකර ආදියක්) එක්ව බැඳී පවතීද, (දරා සිටි) එවන් හඳනාපොරෝනා හෝ හුන’සුන හෝ පිළිබඳව වෙන්කොට අධිෂ්ඨාන කිරීමක් අවශ්‍ය නොවේ. සමවත මගින්ම එය රැකේ, ආයුෂ්මත් සංජීව තෙරුන්හට සෙයිනි. කියන ලදමැයි, “ආයස්මතො සඤ්ජීවස්ස සමාධිවිප්ඵාරා, ඉද්ධි, ආයමතො සාරිපුත්තස්ස සමාධිවිප්ඵාර ඉද්ධි’’ (ආයුෂ්මත් සංජීව තෙරුන්ගේ සමාධිබලයෙන් පතළ ඍද්ධියයි, ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ගේ සමාධිබලයෙන් පතළ ඍද්ධියයි) යනුවෙනි.
 
සඞ්ඝස්ස පතිමානනං’ යනු, එම භික්‍ෂුව කෙරෙහි සංඝයාගේ බහුමානයයි, එම හේතුවෙන්ම සංඝකර්මයෙකදී එම භික්‍ෂුවගේ පැමිණ සිටීම අපේක්‍ෂා කරන බවයි. එම භික්‍ෂුව පැමිණෙන තුරු සංඝකර්මය ආරම්භ නොකොට (පොරොත්තුව) සිටීමය යන අර්ත්‍ථයි. මෙහිලා භික්‍ෂුවගේ පූර්වකෘත්‍යය වනුයේ පතිමානනය නොව පතිමානනය ගැන සැලකිලිමත් වීමයි. එහෙයින් මෙසේ ආවර්ජනය කළයුතුය:- “ඉදින් මා සතියක් නිරෝධ සමාපත්තියට සමවැද හුන් කල ‘ඤත්ති’ ආදී වූ කිසියම් (විනය) කර්මයක් කළයුතු වේද, එකල යම්තාක් කිසි භික්‍ෂුවක් පැමිණ මා කැඳවත්ද ඒ තාක් නොනැගිටින්නෙමැ’යි (කැඳවූ කෙණෙහි නැඟිටින්නෙමැ’යි) මෙසේ ඉටා ගෙන සමවැදුණහොත් එකල (තමාගේ පැමිණීම අවශ්‍ය වූ කල) නැඟිටිනුයේමය.
 
යමෙක් එසේ නොකෙරෙත්ද, සංඝයාද රැස්වී ඒ භික්‍ෂුව නොදැක, “අසුවල් භික්‍ෂුව කොහිදැ”යි විමසා, “නිරෝධසමාපත්තියට සමවන්හ”යි කී කල, ‘සංඝයාගේ වචනයෙන් එම භික්‍ෂුව කැඳවනු යැ’යි කිසි භික්‍ෂුවක් යවත්ද, එවිට එම භික්‍ෂුව විසින් (සමවතට සමවන්නහුට) ඇසෙන තෙක් මානයේ සිට, “ඇවැත්නි, සංඝයා ඔබගේ පැමිණීම හරසරින් අපේක්‍ෂා කෙරෙති”යි කී කෙණෙහිම නැඟිටීම සිදුවේ. මෙසේ සංඝාඥාව වූකලී ඉතා ගරු (සුලු පටු නොවූ) දෙයකි; එහෙයින් එය ගැන සැලකිලිමත්ව, යම්සේ තමාම නැඟිටිත්ද, එසේ අදිටන් කොට සමවැදීම මැනවි.
 
සත්‍ථූපක්කොසන’ යන මෙහිද සමවදින්නාගේ පූර්ව කෘත්‍යය වනුයේ ශාස්තෘන් වහන්සේ විසින් කැඳවනු ලැබීමේ භව්‍යතාව ආවර්ජනය කිරීමයි; එහෙයින් එයද මෙසේ ආවර්ජන කළයුතුය:- “ඉදින් මා සතියක් නිරෝධයට සමවැද හුන් කල, යම්කිසි සිද්ධියක් පැන නැඟී, ශාස්තෘන් වහන්සේ ශික්‍ෂාපදයක් පණවත්ද, එවැනි කරුණක් සිදුවී ධර්මයක් හෝ දෙසත්ද, කිසිවක් පැමිණ මා නැඟිටුවන්නට පෙර නැඟිටිමි’යි මෙසේ අදිටන් කොට හුන්නේ එකල නැඟිටිනුයේමය.
 
යමෙක් වනාහි එසේ අදිටන් නොකෙරෙත්ද, ශාස්තෘන් වහන්සේද සංඝයා රැස්වූ කල ඒ භික්‍ෂුව නොදැක, “අසුවල් භික්‍ෂුව කොයිදැ’යි විමසා නිරෝධයට සමවැඳුනහ’යි කීකල, “ගොස් මාගේ වචනයෙන් ඒ භික්‍ෂුව කැඳවන්නැ”යි කිසියම් භික්‍ෂුවක් යවත්ද, එවිට ඒ භික්‍ෂුව විසින් (සමවැඳ හුන්) භික්‍ෂුවට ඇසෙන තෙක් මානයේ සිට “ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැ’යි කී කෙණෙහිම නැඟිටීම සිදුවේ. මෙසේ ශාස්තෘන් වහන්සේ විසින් කැඳවනු ලැබීම ගරුක වූ (සුලුපටු නොවු) දෙයකි. එහෙයින් එය ආවර්ජනය කොට, යම්සේ තමාම නැඟිටිත්ද, එසේ අදිටන් කොට සමවැදීම මැනවි.
 
අද්ධාන පරිච්ඡේද’ යනු තමාගේ ජීවිත කාලය පිරිසිඳීමයි. මේ භික්‍ෂුව කාලය පිරිසිඳීමෙහි ඉතා දක්‍ෂ විය යුතුය. තමාගේ ආයුසංස්කාරය සත්දවසක් පවතීද නොපවතීදැ’යි ආවර්ජන කොටම සමවැදිය යුතුය. ඉදින් සත් දිනක් ඇතුළත ඉකුත් වීමට ඇති ආයුසංස්කාරය ඇති කල, ආවර්ජන නොකොටම සමවැදුණහොත්, එම භික්‍ෂුවගේ නිරෝධ සමාපත්තිය මරණය වලකනු නොසමත්වන හෙයින්ද, නිරෝධ සමාපත්ති කාලය තුළ මරණය නොවිය හැකි හෙයින්ද සත්දවස අතරතුරදීම සමවතින් නවතින්නට සිදුවේ. එහෙයින් මෙය ආවර්ජන කොටම සමවැදිය යුතුය. සෙසු පූර්වකෘත්‍යයන් ආවර්ජන නොකළද මෙය ආවර්ජනය කළයුතුමය’යි කියන ලදි.