මහා නිරය අටෙකි.
එනම් සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞරචය, තාපය, මහා තාපය හෙවත් ප්රතාපය, අවීචිය, යන අටය.
- සංජීව නරකය: සත්ත්වඝාතනාදිය කළාවූ සත්ත්වයන් උපදින නිරයකි. මේ මහා පොළොවට යොදුන් 15000 ක් යටින් පිහිටා ඇති මේ සංජීව නරකයෙහි උපන්නාවූ නිරිසතුන්ගේ වයස නිරය ගණනින් අවුරුදු 500 කි. එහි එක් දවසක් මනුෂ්‍යයන්ගේ ආයු පමණින් අවුරුදු නවලක්ෂයකැයි කියන ලදී. එසේ වූ දින :30 ක් එක් මසක් ද, දොළොස් මසක් එක් අවුරුද්දක් ද, එවැනි අවුරුදු 500 ක් සංජීව නරකයෙහි ආයුෂය වේ.
- කාල සූත්‍රය: මව්පිය, ගුරුවර, උපාද්ධ්යායාදීන් කෙරෙහි වරදවා පිළිපදින සත්ත්වයෝ ද, මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ සත්ත්වයෝද වැඩි වශයෙන් කාල සූත්‍ර නරකයෙහි උපදින්නාහුය. මේ නරකය සංජීව නරකයට යොදුන් 15000ක් පමණ යටින් පිහිටා ඇත. එහි ආයුෂ නිරය ප්‍රමාණයෙන් අවුරුදු දහසකි. එහි එක් දවසක් සංජීවයට දවස් සතරකි.
- සංඝාතය: ගවයන්, එළුවන්, කුකුලන් ආදීවූ සත්ත්වයන් ඝාතනයකොට ජීවත් වන්නාවූ වැදි කෙවුල් ආදීවූ සත්ත්වයන් උපදින නිරයකි. කාලසූත්රයට යොදුන් 15000 ක් පමණ යටින් පිහිටි මේ නිරයෙහි ආයුෂ අවුරුදු දෙදහසකි. එහි එක් දවසක් කාලසූත්රයෙහි දින සතරකි.
- රෞරවය: සංඝාත නරකයට යොදුන් 15000 ක් යටින් පිහිටා ඇති මේ නිරය, සත්ත්වයන්ට හිංසා පීඩා කරන්නාවූ. ද, ඉන්ද්‍රජාල, මායාකාර ආදී අනුන් රවටා ජීවත් වන්නාවූද සත්ත්වයන් වැඩි වශයෙන් උපදින නිරයකි. එහි ආයුෂ නිරය ගණනින් අවුරුදු සාරදහසකි. සංඝාත නරකයෙහි සතර දිනක් රෞරවයට එක් දිනයකි.
- මහා රෞරවය: තුනුරුවන් සතු වස්තු. පැහැර ගන්නා වූ ද, අම්බලම්, මඩම් ආදිය විනාශ කරන්නාවූ ද පුද්ගලයන් උපදින නිරයකි. රෞරවයට යොදුන් 15000 ක් යටින් පිහිටි මේ නිරයෙහි වසන නිරිසතුන්ගේ ආයුෂ නිරය පමණින් අවුරුදු අට දහසකි. එහි එක් දිනක් රෞරවයට දින සතරකි.
- තාපය: ප්‍රාණඝාතාදී දුෂ්චරිතයන්හි හැසිරෙන්නා වූ පුද්ගලයන්ට අනිෂ්ට විපාකයෙක් නැත, සුගතියත් දුගතියත් මේ මනුෂ්‍ය භූමියෙහිම මිස අන් තැනෙක පිහිටා නැත යනාදී වශයෙන් මිථ්‍යා දෘෂ්ටි ගත්තාවූ පුද්ගලයන් උපදින නරකයෙකි. මහා රෞරව නරකයට යොදුන් 15000 කට පමණ යටින් පිහිටා ඇති මේ නරකයෙහි ආයුෂ නිරය ගණනින් අවුරුදු සොළොස් දහසකි. එහි එක් දිනක් මහා රෞරවයට සතර දිනකි.
- මහා තාපය; හෙවත් ප්රතාපය, බුදුන් නැත, දහම් නැත, ආර්‍ය්‍ය සංඝයා නැත යනාදී බලවත් දෘෂ්ටි ගත්තා වූ පුද්ගලයන් උපදින භූමියකි. මේ නිරය තාප නිරයට යොදුන් 15000 ක් පමණ යටින් පිහිටා ඇත. එහි ආයුෂ අර්ධ අන්තර කල්පයකි. අන්තර කල්පයක් නම් මනුෂ්‍ය භූමියෙහි පරමායුෂ අවුරුදු 10 සිට ක්‍රමයෙන් වැඩි වී අසංඛ්‍යය දක්වා නැග, නැවත පිරිහෙන්නට පටන් ගන්නා කාලය වේ.
- අවිචිය: මව්පියන්, රහතන් මැරුවා වූ ද, බුදුන් ඇඟින් ලේ සෙළවීම කළා වූද, සංඝ භේදය කළා වූද, සංඝ සන්තක දේපළ ආරාම, දාගැබ්, බෝමළු, ප්‍රතිමා රූපාදිය විනාශ කළා වූ ද පුද්ගලයන්ගේ උත්පත්ති භූමියකි. තාප නරකයට යොදුන් 15000 ක් පමණ යටින් පිහිටා ඇති මේ අවීචි මහා නිරයට ආයුෂ එක් කල්පයකි. දුකින් අතරක් නැති හෙයින් ද අවීචිය යයි කියනු ලැබේ.
මේ අට මහා නිරයයන් අතුරෙන් එක් එක් මහ නිරයකට පිරිවර වශයෙන් එක් පාර්ශ්වයෙක්හී සතර සතර බැගින් දාසයක් ඔසුපත් නිරය වේ. එවිට අටමහා නිරය සහ පිරිවර ඔසුපත් නිරයයන් එකතුකොට ගත් කල්හි එකසියතිස්හයක් (136) නිරයයන් වෙත්. තවද, චක්‍රවාටයන් තුන්දෙනෙක් හෙවත් සක්වළවල් තුනක් එකතු වූ තැන ලෝකාන්තරික නම් නරකයක් ද, එසේම ලෝහකුම්හි හෙවත් ලොහොකුඹු නම් කුඩා නිරයක්ද, වේතරණි නම් ගංගා නරකයක් ද, කෝටිඉම්බලි හෙවත් කටු ඉඹුල් නම් වෘක්ෂාකාර නරකයෙක් ද යන මේ සියලුම නරකයෝ නිරය භූමි නම් වෙත්.