දේවදත්ත විසින් තථාගත ජීවිතය විනාශ කිරීමට දුනුවායන් යොදවන කල්හි, සියල්ලට පළමුව යවන ලද්දා අවුත්, ස්වාමීනි; භාග්‍යවතුන්ගේ ජීවිතය විනාශ කිරීමට මට නො හැක්කේය. ඒ භාග්‍යවතුන් වහන්සේ, මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න යයි කී කල්හි, දේවදත්ත, නුඹ ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ නො කරව. මම ම ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමි යි කියා තථාගතයන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයේ සවස් කාලයේ සක්මන් කරන කල්හි තෙමේ ගිජ්ඣකූට පර්වතයට නැග යන්ත්‍ර වේගයෙන් මහත් වූ ගලක් යන්ත්‍රයකින් පෙරලීය. මේ ගලෙන් ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමියි යන න්‍යායෙනි. එකල ගල්කුළු දෙකක් සපැමිණ එ් පෙරළූ ගල වැළැක්වීය. එයින් ගැලවුණු ගල් පතුරක් විසි වී අවුත් භාග්‍යවතුන්ගේ පාදයක ගැටී ලේ ගලා ආවේය. බලවත් වේදනා හටගත්තේය. ජීවක තෙමේ තථාගතයන්ගේ පාදය සැත්කමකින් පලා නරක් වූ ලේ මුදා හැර නරක් වූ මස් ඉවත්කොට සෝදා බෙහෙත් ගල්වා නීරෝගී කෙළේය. ශාස්තෲන් වහන්සේ පෙර මෙන් ම මහත් භික්‍ෂු සංඝයා පිරිවරා ගෙන මහත් වූ බුද්ධ ලීලාවෙන් නගරයට පිවිසි සේක.

ඉක්බිති උන්වහන්සේ දැක, දේවදත්ත මෙසේ සිතුවේය. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රූප ශෝභාවෙන් අගතැන්පත් සිරුර දැක කිසියම් මිනිසකු (බුදුන්) වෙත සමීපවීමට නොහැකි වෙයි. රජුගේ නාලාගිරි නම් ඇතා, චණ්ඩය. ඵරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. බුද්ධ ධම්ම සංඝ ගුණයන් නො දනියි. හෙතෙම මුන්වහන්සේට ජීවිතක්‍ෂයට පමුණුවන්නේය. උන්වහන්සේ ගොස් රජුට මේ පුවත දැනුම් දුන්හ. රජු යහපතැයි පිළිගෙන ඇත්ගොව්වා කැඳවා, මිත්‍රය; හෙට නාලාගිරිව මත්කොට උදෑසන ම ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිපන් මාර්ගයට පිටත්කර හරිව් යයි කීවේය. දේවදත්තද ඔහුගෙන් වෙනත් දිනවල ඇතා කොපමණ සුරා බොන්නේදැයි විචාරා ස්වාමීනි, කළ අටක් යයි කී කල්හි හෙට ඔහුට කළ දහසයක් පානය කරවා, ශ්‍රමණභවත් ගෞතමයන් පිළිපන් මාර්ගයට අභිමුඛ කරන්නැයි කීවේය. ඔහු යහපතැයි පිළිගත්තේය. රජු නගරයේ බෙරහඬ නංවා හෙට නාලාගිරි මත්කොට නගරයට පමුණුවන්නේය. නගරවැසියෝ උදෑසනම කළයුතු කටයුතු නිමවා, අතුරු වීථියට නොපැමිණේවායි කීවේය. දේවදත්ත ද රජමාළිගාවෙන් බැස, ඇත්හළට ගොස් ඇත්ගොව්වන් අමතා බොල; අපි උසස් තනතුරු පහත් කරන්නටත් පහත් තනතුරු උසස් කරන්නටත් දක්‍ෂයෝ වෙමු. ඉදින් තොප කීර්තිමත් වූයේ, හෙට උදෑසනම නාළාගිරිට පැසුණු රා කළ දහසයක් පානය කරවා, ශ්‍රමණ භවත් ගෞතමයන් පැමිණෙන වේලාවට හුල් තෝමරයෙන් (හෙණ්ඩුවෙන්) විදිමින්, කෝප කරවා, ඇත්හල බිඳවා ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිපන් වීථියට අභිමුඛ කොට, ශ්‍රමණ භවත් ගෞතමයන් ජීවිතක්‍ෂයට පමුණුවවු යයි කීවේය. ඔවුහු යහපතැයි පිළිගත්හ.

ඒ ප්‍රවෘත්තිය මුළු නගරයේම ප්‍රසිද්ධ විය. බුදුන් දහම් සඟුන් මාමක වූ උපාසකයෝ ඒ පුවත අසා ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, දෙව්දත් රජු සමග එකතු වී හෙට ඔබවහන්සේ පිළිපන් වීථියට නාලාගිරිව පමුණුවන්නේය. හෙට පිඬු පිණිස නොවැඩ මෙහි ම වැඩසිටින්න. අපි විහාරයේදී ම බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට භික්‍ෂාව දෙන්නෙමුයි කීවාහුය. ශාස්තෲන් වහන්සේ හෙට පිඬු පිණිස නොවඩින්නෙමි යි නොකියාම හෙට මම නාලාගිරි දමනය කර ප්‍රාතිහාර්ය පා, තීර්ථකයන් මැඩ රජගහනුවර පිඬු පිණිස නොහැසිර භික්‍ෂු සංඝයා පිරිවරා නගරයෙන් නික්ම වේළුවනයට ම යන්නෙමි. රජගහ නුවර වාසීහු බොහෝ බත් භාජන ගෙනවුත්, වේළුවනයටම පැමිණෙන්නාහ. හෙට විහාරයේම දන් වැළඳීම වන්නේය යන මේ කාරණයෙන් ඔවුන්ගේ ඉවසීම සිදුවිය. ඔවුහු තථාගතයන්ගේ ඉවසීම දැන, බත් භාජන රැගෙන විහාරයේ ම දානය දෙන්නෙමුයි පිටත් වූහ.

ශාස්තෲන් වහන්සේ පළමු යාමයේ දහම් දෙසා මධ්‍යම යාමයේ දේවතාවන්ගේ ප්‍රශ්න විසඳා පශ්චිම යාමයේ පළමු කොටසේ සිංහ සෙය්‍යාවෙන් කල්යවා දෙවෙනි කොටසේ ඵල සමාපත්තියෙන් කල්ගත කොනට තෙවෙනි කොටසේ මහාකරුණා සමාපත්තියට සමවැදී නැගිට අවබෝධ කළයුතු වෙනේය ජනයන් බලන්නේ, නාලාගිරි දමනයේදී අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වන බව දැක අළුයම් වේලාවේ කරන ලද ශරීර පිළිදැගුම් ඇත්තේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා රජගහ නුවර හාත්පස පිහිටි අටළොස් මහා විහාරවල සියලුම භික්‍ෂූන්ට මා සමග රජගහනුවරට පිවිසීමට ආරාධනා කෙරේවායි වදාළහ. තෙරුන් වහන්සේ එසේ කළහ. සියලු භික්‍ෂූන් වේළුවනයට රැස්වූහ. ශාස්තෲන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයා පිරිවරන ලද්දේ රජගහ නුවර පිඬු පිණිස පිවිසි සේක. ඉක්බිති ඇත්ගොව්වෝ කැමැති පරිදි පිළිපැද්දාහ. මහත් සේනාවක් විය. සැදැහැති මිනිස්සු අද වනාහි බුද්ධ නම් මහ ඇතෙක් තිරිසන්ගත ඇතකු සමග යුද්ධයක් වන්නේය. උපමා රහිත බුද්ධ ලීලාවෙන් නාලාගිරිගේ දමනය බලන්නෙමුයි, ප්‍රාසාද සෑදවීය. ගෙවල් පියසි ආදියට නැග සිටියහ. ශ්‍රද්ධා රහිත මිථ්‍යා දෘෂ්ටිකයෝ මේ නාලාගිරි චණ්ඩය. ඵරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. බුදුවරුන්ගේ ගුණ නො දනියි. හෙතෙම අද ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රන්වන් ශරීරය විදා නැතිකොට ජීවිතක්‍ෂයට පමුණුවන්නේය. අදම පසමිතුරු පිටුදකින්නෙමුයි, ගස්, ගෙවල් ආදි තැන්වල සිටියහ.

ඇත්රජ ද, වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දැක, මිනිසුන් තැති ගන්වමින්, ගෙවල් සුණුවිසුණු කරමින් කරත්ත කුඩු කරමින් සොඬවැල ඔසවා ඉතා සතුටුව කන් තල හා වාලධිය ඔසවා, පර්වතයක් මෙන් මාර්ගයට පිළිපන්නේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනක ද, එතැනට දිව්වේය. භික්‍ෂූහු ඇතා දැක බුදුරදුන්ට මෙසේ කීහ. ස්වාමීනි, මේ නාලාගිරි සැඩපරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. මේ වීථියට පිළිපන්නේ, මෙතෙම බුදුවරුන්ගේ ගුණ නොදනියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඉවත්වේවා! සුගතයන් වහන්සේ “මහණෙනි, බිය නොවෙව්. තැති නොගනිව්. නාලාගිරි දමනය වේවා” යනුවෙනි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර මහතෙරණුවෝ තථාගතයන්ගෙන් මෙසේ අයැද සිටියහ. ස්වාමීනි, පියාට උපන් කටයුත්ත නම් වැඩිමහල් පුතුගේ ම බරයි. මම ම ඌ දමනය කරමි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ, සාරිපුත්‍රය බුද්ධ බලය නම් අනෙකකි. ශ්‍රාවක බලය තව එකකි. නුඹ නිශ්ශබ්දව සිටින්න. බොහෝ සෙයින් අසූමහා ශ්‍රාවකයෝ ආයාචනා කළ ද ශාස්තෲන් වහන්සේ සියල්ල ප්‍රතික්‍ෂේප කළහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් බුදුරදුන් කෙරෙහි උපන් බලවත් සෙනෙහසින් ඉවසා සිටීමට නොහැකි වන්නේ, මේ ඇතා පළමුව මා මරාවායි තථාගතයන්ගේ අර්ථ සිද්ධිය පිණිස ජීවිතය අත්හැර ශාස්තෲන් පෙරටුව සිටියේය. ඉක්බිති බුදුරදුන් ආනන්දය, ඉවත්වන්න. මා ඉදිරියේ නොසිටින්නැයි වදාළ සේක. ස්වාමීනි, මේ ඇතා චණ්ඩය. පරුෂය. මිනිස් ඝාතකයෙකි. කල්පාන්තයේ නගින ගින්නක් සමානය. කපුරු පහනින් දිළිසෙන ගින්න (කණාමැදිරි) මෙන් පළමුව මා මරා පසුව ඔබවහන්සේ සමීපයට පැමිණේවායි තෙරුන් වහන්සේ වදාළ සේක. තෙවෙනි වරද කියනු ලබන්නේ එසේම සිටියේය. ඉවත්ව නො ගියේය.

එකෙණෙහි එක් ස්ත්‍රියක් නාලාගිරි දැක මරණ බියෙන් පලායන්නී ඇකයෙන් වැටුණු දරුවා බුදුරදුන් ද, ඇතා ද අතර බිම දමා පලා ගියාය. ඇතා ඇය ලුහුබැඳ දරුවා සමීපයට ආවේය. දරුවා මහහඬින් ශබ්ද කෙළේය. ශාස්තෲන් වහන්සේ නාලාගිරි වෙතම නියමකොට මෛත්‍රිය පතුරුවා සුමිහිරි බ්‍රහ්මනාදය පතුරුවා පින්වත් නාලාගිරිය, ඔබට සොළොස් කළයක් පිරුණු සුරා පොවා මත්කරවූයේ අනෙකකු ගැන්වීමට නොවේ. නිකරුණේ කෙණ්ඩා වෙහෙසට පත්කරමින් නොහැසිර මෙහි එන්නැයි කැඳවූහ. ඌ ශාස්තෲන් වහන්සේගේ වචන අසා, ඇස් කුඩා කොට භාග්‍යවතුන්ගේ රූප ස්වභාවය බලා ලබන ලද සංවේග ඇත්තේ බුදුරදුන්ගේ සමීපයේ පැසවන ලද සුරා මදය ඇත්තේ සොඬවැල එල්ලාගෙන කන් සොලවමින් ගොස් තථාගතයන් වහන්සේගේ පා අතර වැටුණේය. ඉක්බිති ඔහුට ශාස්තෲන් වහන්සේ “නාලාගිරි, නුඹ තිරිසන්ගත හස්තියෙකි. මම බුද්ධ නමැති ඇතාය. මෙතැන් පටන් චණ්ඩ නොවෙව. ඵරුෂ නොවෙව. මනුෂ්‍ය ඝාතකයෙකු නොවෙව. මෛත්‍රී සිත් ලබාවායි” කියා දකුණු අත දිගහැර කුම්භස්ථලය පිරිමැද;

 

මා කුඤ‍්ජර නාගමාසදො, දුක‍්ඛං හි කුඤ‍්ජර නාගමාසදො,

න හි නාගහතස‍්ස කුඤ‍්ජර සුගති හොති ඉතො පරං යතො.

 

‘හස්තිය, යම් හෙයෙකින් බුද්ධනාගයා පෙළන්නහුට
මෙයින් මතු සුගතියෙක් නො වන්නේ ද

එහෙයින් හිංසක සිතින් බුද්ධ නාගයාට ළං නොවෙව.
බුද්ධනාගයාට හිංසක සිතින් ළං වීම ඒකාන්තයෙන් දුකට කරුණු වේ.

 

“මා ච මදො මා ච පමාදො න හි පමත‍්තා සුගතිං වජන‍්ති

තෙන ත්‍වඤ‍්ඤෙව තථා කරිස‍්සසි යෙන ත්‍වං සුගතිං ගමිස‍්සසී”ති.

 

මත් නොවෙව, පමා නොවෙව, පමා වූවෝ සුගතියට නො යෙත්.

එබැවින් යමෙකින් තෝ සුගතියට යන්නෙහි ද තෝ ම එසේ කරව.” යි.

දහම් දෙසු සේක.

ඇතාගේ මුළු සිරුරම සතුටින් පිනා ගියේ නිරතුරුව පැතිරුණේ විය. ඉදින් තිරිසනකු නොවූයේ නම් සෝවාන් ඵලයෙහි පිහිටන්නේය. මිනිස්සු ඒ ප්‍රාතිහාර්යය දැක මහහඬින් නාද කළහ. අත්පොළසන් ගැසූහ. හටගත් සොම්නසින් නොයෙක් ආභරණවලින් දමා ගැසූහ. ඒවා ඇතාගේ ශරීරයේ වැදී ගියේය. එතැන් පටන් නාලාගිරි, ධනපාලක නම් විය. එසමයෙහි ධනපාලක සමාගමේ අසූහාරදහසක් ප්‍රාණීහු අමා පානය කළහ. ශාස්තෲන් වහන්සේ ධනපාලක පංචසීලයෙහි පිහිටවූ සේක. හෙතෙම සොඬවැලෙන් භාග්‍යවතුන්ගේ පා, පස්ගෙන මත්තෙහි මුදුන්කොට විසුරුවා එතැනින් ඉවත්ව, දක්වන ලද උපචාර ඇත්තේ දසබලයන් වහන්සේ වැඳ ඇත්හලට පිවිසියේ එතැන් පටන් ශාන්තදාන්තව සිට කිසිවෙකුට හිරිහැරයක් නොකළේය. ශාස්තෲන් වහන්සේ පිරිපුන් මනෝරථ ඇත්තේ, යමකු විසින් යම් ධනයක් විසිකරන ලදද, ඒවා ඔවුන්ටම වේවා!යි අධිෂ්ඨාන කොට අද, මා විසින් මහත් ප්‍රාතිහාර්ය කරන ලදි. මේ නගරයෙහි පිඬු පිණිස හැසිරීම නුසුදුසුයයි තීර්ථකයන් මර්දනය කොට භික්‍ෂූන් පිරිවරා ජයගත් ක්‍ෂත්‍රියෙකු මෙන් නගරයෙන් නික්ම වේළුවනයට ම වැඩම කළ සේක. නගරවාසීහු බොහෝ ආහාරපාන ආදිය ගෙන විහාරයට ගොස් මහාදානයක් පැවැත්වූහ