මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර් විඥේය රූපයෝය … ශ්‍රෝතවිඥේය ශබ්දයෝ ය … ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ ය … ජිව්හා විඥේය රසයෝ ය … ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රජනීය වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ ය යි, මෙ කාමගුණ පසෙක. මහණෙනි, වැලිත් මොහු කාමයෝ නො වෙති. මොහු ආර්‍ය්‍යයන්ගේ විනයෙහි කාමගුණ නම්හයි කියනු ලැබෙත්.
 
ලොවුහි පුරුෂයක් හට සඞ්කල්ප විසින් උපන් රාගය, කාම වෙයි. යම්බඳු විසිතුරු ආලම්බනයෝ වෙත් නම්, තුලුහු කාම නො වෙත්. පුරුෂයාගේ සඞ්කල්පරාගය ම කාම වෙයි. ලොව්හි විසිතුරු වස්තූහු එලෙසින් ම සිටුනාහ. වැලිත් එ අරමුණු කෙරේ උපන් ඡන්‍දරාගය ධීරයෝ විනයනය කරත්.
 
මහණෙනි, කාමයන්ගේ නිදාන සම්භවය (උප්පත්ති කාරණ) කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශය කාමයන්ගේ නිදානසම්භවය යි.
 
මහණෙනි, කාමයන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය කවරේ ය යත්: මහණෙනි, රූපාලම්බනයෙහි කාමය අනෙකෙකි, ශබ්දාලම්බනයෙහි කාමය අනෙකෙකි. ගන්‍ධාලම්බනයෙහි කාමය අනෙකෙකි. රසාලම්බනයෙහි කාමය අනෙකෙකි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි කාමය අනෙකෙකි.