මහණෙනි එවු, ඔබද මේ ආනිසංස පස බලමින් රාත්‍රිභෝජනය අත්හැර වළඳවු මෙසේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රි විකාලභෝජනය දිවා විකාල භෝජනයැයි මේ භෝජන දෙක එක් පහරින් අත් නොහරවා එක්කලෙක දිවා විකාල භෝජනයම අත්හරවාපු සේක. නැවත බොහෝ කලකට පසු රාත්‍රි විකාලභෝජනය අත්හරවනසේක් මෙසේ කීසේක. කුමක් නිසාදයත්, මේ භෝජන දෙක සංසාරයෙහි පුරුදු වූවකි ගඟට බට ජලය මෙන් ඉදිරියටම යන්නකි. එළිමහනෙහිද ගෙහිද අහර අනුභවකොට වැඩුණු සුකුමාර කුලපුත්‍රයෝ භෝජන දෙක එක් පහරින් අත්හරින්නාහු ක්ලාන්ත වෙති. ඒනිසි එක්පහරින් අත්නොහරවා භද්දාලි සූත්‍රයෙහි දිවා විකාල භෝජනය අත්හැරවු සේක. කීටාගිරි සූත්‍රයෙහි රාත්‍රි විකාල හෝජනය අත්හරවන්නේ තර්ජනය කොට හෝ අවමන් කොට නොවේ. ඒවා අත්හැරීම නිසා අල්පාබාධතාව හඳුනා ගනිවුයයි මෙසේ ආනිසංස දක්වා අත්හැරවු සේක. 

ආනිසංශ

  1. නීරෝග බව
  2. නිදුක්බව
  3. සැහැල්ලු පැවැත්ම
  4. සුවවිහරණය

මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි: බුදුහු ශාස්තෘහ. මම ශ්‍රාවකයෙමි. බුදුහු දන්නාසේක. මම නො දනිමියි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන වැටෙන සැදැහැති ශ්‍රාවකයක්හට ශාස්තෘශාසනය ස්නේහවත් වැ වැඩෙනුයේ වෙයි, මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි.


 

බත් ව්‍යඤ්ජන කැවිලි පෙවිලි පලතුරු ආදි යාවකාලික ආහාරයන් නො කල්හි වැළඳීමෙන් වැළකීම “විකාල භෝජනා වේරමණී” නම් වේ. අරුණෝදයේ පටන් ම මධ්‍යාහ්නය දක්වා කාලයෙහි පමණක් බුද්ධාදි ආර්‍ය්‍යයෝ ආහාර වළඳන්නා හ. ඒ කාලය හැර දවසේ ඉතිරි කාලය විකාල නම් වේ. විනයෙහි කන බොන දෑ සියල්ල ම යාවකාලික ය – යාමකාලිකය – සත්තාහ කාලිකය – යාවජීවිකය කියා කොටස් සතරකට බෙදා තිබේ. විකාලයෙහි යාවකාලික ආහාරයක් උගුරෙන් ඔබ්බට ගිලීමෙන් මේ සිකපදය බිඳේ. විකාලය වීම ය, යාවකාලික ආහාරයක් වීම ය, ගිලීම ය කියා විකාල භෝජනයට අංග තුනක් ඇත්තේ ය.

මේ සිකපදය රැකිය හැකි වීමට අරුණ හා මධ්‍යාහ්නය දත යුතු ය. “අරුණය” යි කියනුයේ හිරු උදාවීමට කලින් අහසෙහි නැගෙනහිර පැත්තේ පෙනෙන අප්‍ර‍කට රතු පැහැයෙන් යුක්ත ආලෝකය ය. ඒ ආලෝකය මතුවීමට අරුණ නැඟීම යයි කියනු ලැබේ. විනය ක්‍ර‍මයේ සැටියට දිනයේ පටන් ගැනීම ගණන් ගන්නේ අරුණෝදයෙනි. අරුණ නඟින වේලාව පිළිබඳ නොයෙක් ආචාර්ය මත ඇත්තේ ය. එය පැය විනාඩි ගණන්වලින් හරියට දැක්වීමට දුෂ්කර ය. සාමාන්‍යයෙන් පෙරවරු 5 ටත් 5-30 ටත් අතර කාලයේ අරුණ නැඟුණු වේලාවේ පටන් පැවිද්දන්ටත් අටසිල් රක්නා උපාසකෝපාසිකාවන්ටත් ආහාර වැළඳීම සුදුසු ය. අරුණ නැඟීමට කලින් වැළඳුව හොත් සිකපදය බිඳේ. අලුයම් කාලයේ අහස දෙස බලා අරුණ සොයා ගත යුතු ය.

සාමාන්‍යයෙන් දවල් දොළහ මධ්‍යාහ්නය ලෙස සලකනු ලැබේ. එහෙත් සෑම දිනයකම මධ්‍යාහ්නය දවල් 12 ලෙස නො සැලකිය යුතු ය. රෑ දාවල් ප්‍ර‍මාණය දිනෙන් දින වෙනස් වේ. අවුරුද්දේ සමහර කාලයක දවාල පැය දොළසකට අඩුය. සමහර කාලයක පැය දොළසකට වැඩි ය. සූර්‍ය්‍යයා උදාවන වේලාව හා අස්ත වන වේලාව පඤ්චාංග ලිත්වල සඳහන් කර තිබේ. දවසේ ප්‍ර‍මාණය එයින් සලකා ගෙන මධ්‍යාහ්නය සොයා ගත යුතු ය. සමහර දිනයෙක දොළහට විනාඩි ගණනකට කලින් ද සමහර දිනයෙක දොළහ පසු වී විනාඩි ගණනෙකින් ද මධ්‍යාහ්නය පැමිණෙන්නේ ය. විකාල භෝජන් සික පද රක්නවුන් විසින් මධ්‍යාහ්නය පැමිණිමට කලින් ආහාර වැළඳීම අවසන් කර ගත යුතුය. මධ්‍යාහ්නය ඉක්මීමෙන් පසු එක් බත් හුලකුදු වැළඳුව හොත් සික පදය බිඳේ.

ගිහියාගේ හා පැවිද්දාගේ වෙනස කැපී පෙනෙන කරුණු වලින් එකක් මේ සික පදය යි. එ බැවින් මෙය සැහැල්ලු කොට නො සිතා ආදරයෙන් රැකිය යුතු ය. විකාල භෝජනයෙන් නො වළකින පැවිද්දා ගේ තත්ත්වය ඉතා පහත් ය.


විකාලයෙහි කැප පාන වර්ග

  1. අඹ පානය (අම්බපානං)
  2. ජම්බු පානය (ජම්බුපානං)
  3. ඇට සහිත කෙසෙල්‌ පානය (චොචපානං)
  4. ඇට රහිත කෙසෙල්‌ පානය (මොචපානං)
  5. මී පැණි පානය (මධුපානං) (පැන්‌ මිශ්‍ර කළ යුතු ය)
  6. මිදි පානය (මුද්දිකපානං)
  7. ඕලු / නෙළුම්‌ / මානෙල්‌ පානය (සාලූකපානං)
  8. මසන්‌ පානය (ඵාරුසකපානං)
  9. උක්‌ යුෂ

අනෙකුත්‌ කැප පාන ( කිහිපයක්‌ )

දිවුල්‌ පානය

ස්ට්‍රෝබෙරි පානය

අලිගැටපේර පානය

ඇපල්‌ පානය

පේර පානය

ඇඹරැල්ලා පානය

සියඹලා පානය

ලොවි පානය

දොඩම්‌ / නාරං / දෙහි පානය

උගුරැස්ස පානය

නෙල්ලි පානය මොර පානය

වෙරළු පානය රඹුටන්‌ පානය

දෙලුම්‌ පානය මැංගුස්‌ පානය

පැපොල්‌ පානය*

සියලු පුෂ්ප රස (මී පුෂ්ප හැර)

අන්නාසි පානය

සියලු පත්‍ර රස (එළවලුපත්‍ර හැර)

බෙලි පානය සියලු

ඵල රස (ධාන්‍ය/මහඵල හැර)

උක්‌ හකුරු දියකර සාදන පානය

විකාලයෙහි කැප වන්නේ උක්‌ හකුරු පමණය. තල්‌ හකුරු, කිතුල්‌ හකුරු, පොල්‌ හකුරු ආදී අනෙකුත්‌ හකුරු වර්ග කැප නැත. ගිලනාට පමණක්‌ උක්‌ හකුරු දත්වලින්‌ සපා කෑමට කැපය. නොගිලනාට කැප වන්නේ උක්‌ හකුරු දිය කර සාදාගත්‌ පානය යි.

මෙම පාන වර්ග සැදීමේදී පළතුරු වර්ග ගෙන අතින්‌ මැඬ ( හෝ Blend කර ), ඇල්‌ පැන්‌ / සීතල පැන්‌ මිශ්‍ර කර, සීනි / උක්හකුරු / ලුණු ආදිය සුදුසු පරිදි යොදා, (කුඩා කැබලි වත්‌ නොසිටින සේ) හොඳින්‌ පෙරා පූජාකිරීම කැපය. අව්වෙන්‌ කකාරා පූජාකිරීම ද කැපය. ගින්නෙන්‌ රත්‌ කර පූජාකිරීම අකැපය. ගින්නෙන්‌ රත්‌ කර පූජා කිරීමට සුදුසු වන්නේ ගිලන්පස පමණි. බෙහෙත්‌ පිණිස ගිලනන්ට සුදුසු දේ විකාලයෙහි දී කැප ය.

*පැපොල්‌ (ගස්ලබු) අකැප යැයි ඇතමෙක්‌ සඳහන්‌ කළ ද එය ‘පොල්‌” හෝ ‘ලබු” වර්ගයක්‌ නො වන බැවින්‌ අකැප වන ක්‍රමයක්‌ නො පෙනේ. විමසන්න. තමන්ට අකැප යැයි සිතෙන මොන යම්‌ හෝ පානයක්‌ නො ගැනීමෙන්‌ තමන්ගේ සීලයට වන හානියක්‌ නැත.

පංච මධුර – ගිතෙල්‌, වෙඩරු (Butter), තලතෙල්‌, උක්පැණි, මීපැණි

චතු මධුර – ගිතෙල්‌, වෙඬරු (Butter), උක්පැණි, මීපැණි

සියලු දෑ සම ප්‍රමාණයෙන්‌ ගෙන හොඳින්‌ මිශ්‍ර කර ගන්න.

ගින්නෙන්‌ රන්‌ නො කරන්න. මෙම වර්ග 5 ම විකාලයෙහි කැපය.

උතුම්‌ වූ භාග්‍යවතුන්‌ වහන්සේ ජීවමානව වැඩ වාසය කරන බව සිතින්‌ අරමුණු කර මහත්‌ වූ සද්ධාවෙන්‌ මහත්‌ වූ ගෞරවයෙන්‌ උසස්‌ ම ආකාරයෙන්‌ නම තමාට හැකි උපරිම මට්ටමින්‌ රාජාධිරාජයෙකුට දක්වන ගෞරවයට වඩා වැඩි ගෞරවයක්‌ දක්වා කර්ම එල අදහා පූජා කර දෙලෝ වැඩ පිණිස ද නිවන අවබෝධවීම පිණිස ද හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා කළ යුතු.

ඵල යුෂ පිදීමේ ආනිසංස – සොවාන්‌, සකදාගාමී, අනාගාමි, අර්හත්‌ ඵල රසයන්‌ විපාක වශයෙන්‌ ලැබීම


විකාලයෙහි අකැප පාන වර්ග

තල්‌ / පොල්‌ / වරකා / දෙල්‌ / ලබු / කොමඩු / පුහුල්‌ / පිපිඤ්ඤා / කැකිරි වැනි

පාන වර්ග සහ මෙම නව මහඵලයන්ට අනුරූප ඵලරසයන්‌,

දුරියන්‌ පානය / එළවලු යුෂ වලින්‌ සදාගත්‌ පාන වර්ග සහ සුප්‌ වර්ග අකැප ය.

සව්‌,බාර්ලි ආදී ධාන්‍ය රස, Milo / Nestomalt වැනි මොල්ට්‌ වර්ග, කිරි සහිත / පිටි

සහිත පාන වර්ග. දිවුල්‌,වෙරළු වැනි යුෂ වර්ග – බත්, කිරි, මුදවපු කිරි, (උක්හකුරු හැර) අනෙකුත්‌ හකුරු වර්ග වැනි අකැප දෙයක්‌ සමග මිශ්‍ර නම්‌ අකැප ය.

ගිලන්‌ නොවී හෝ ගිලන්‌ වීමට පෙර ගිලන්පස (ගිලාන ප්‍රත්‍ය) කැප නැත. රෝගයක්‌ ඇති කල්හි ම ගිලන්පස කැප ය. ගින්නෙන්‌ රත්‌ කරන සියලු පාන (තේ, කෝපි, ඉරමුසු, බෙලි ආදී) ගිලනාට පමණක්‌ කැප ය.