භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනවාරාමයෙහි වැඩ වාසය කරණ සේක. ඒ කාලයෙහි වේසාලි නගරය සමෘද්ධ වූයේ ද සැපතින් පිරී ගියේ ද වේ. බොහෝ ජනයන් ඇත්තේ මිනිසුන්ගෙන් ගැවසී ගත්තේ සුව සේ ලැබිය හැකි භික්‍ෂා ඇත්තේ ද වේ. සත්දහස්සත්සිය සතක් ප්‍රාසාදයෝ ද වෙත්. සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද වෙත්. සත්දහස්සත්සිය සතක් ආරාම ද වෙත්. සත්දහස්සත්සියසතක් පොකුණු ද වෙත්. අම්බපාලි ගණිකාව ද මනා රූ ඇත්තී දැකුම් කලු ය. ප්‍රසාදජනක වූවා උතුම් වූ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූවා වේ. නැටීමෙහි ද ගී කීමෙහි ද වැයීමෙහි ද සමත් වූවා වේ. ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත යන ලද්දී ය. රැයකට කහවණු පණසක් ගෙණ යෙයි. ඇය කරණ කොට වේසාලිය බොහෝ සෙයින් හොබියි.
එකල්හි රජගහනුවර වැසි කෙළෙඹි සමූහයක් තෙමේ කිසියම් කටයුත්තක් නිසා වේසාලියට ගියේ ය. රජගහ නුවර වැසි කෙළෙඹියෝ සමෘද්ධිමත් වූ සම්පූර්‍ණ වූ බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවසී ගත් සුව සේ ලැබිය හැකි භික්‍ෂා ඇති, සත්දහස්සත්සියසතක් ප්‍රාසාද ද, සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද, සත්දහස්සත්සියසතක් ආරාම ද, සත්දහස්සත්සියසතක් පොකුණු ද, මනා රූ ඇති දැකුම්කලු වූ ප්‍රසාදජනක වූ උතුම් වූ, වර්‍ණසම්පත්තියෙන් යුත් නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්‍ෂ වූ, ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත එළඹෙන, රැයකට කහවණු පණසක් ගෙණ යන්නා වූ (=අය කරණ) අම්බපාලී ගණිකාව ද, ඇය නිසා බොහෝ සෙයින් හොබනා වූ වේසාලිය ද දුටුවෝ ය.
ඉක්බිති රජගහ නුවර වැසි කෙළෙඹි සමූහය වේසාලියෙහි ඒ කටයුත්ත අවසන් කොට නැවැත රජගහ නුවරට පෙරළා ආයේ ය. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු වෙත ගියේය. ගොස් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට “දේවයන් වහන්ස, වේසාලිය සමෘද්ධිමත් ය. සම්පූර්‍ණය. බොහෝ ජනයා ඇත්තී ය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තී ය. සුවසේ ලැබිය හැකි භික්‍ෂා ද ඇත්තී ය. සත්දහස්සත්සියසතක් ප්‍රාසාදයෝ ද වෙත්. සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද වෙත්. සත්දහස්සත්සියසතක් ආරාමයෝ ද වෙත්, සත්දහස්සත්සියසතක් පොකුණු ද වෙත්. අම්බපාලි ගණිකාව ද මනා රූ ඇත්තී ය. දැකුම්කලු ය. ප්‍රසාදජනක ය. උතුම් වූ වර්‍ණසම්පත්තියෙන් යුක්ත ය. නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්‍ෂ ය. ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත එළඹෙන ලද්දී ය. රැයකට පණසක් ගෙණ යයි. (=අය කරයි). ඇය නිසා වේසාලිය බොහෝ සෙයින් හොබනී ය. “දේවයන් වහන්ස, අපිත් ගණිකාවක තබන්නෙමු නම්, යෙහෙකැ” යි කීයේ ය. “කොලෙනි, එසේ නම්, තෙපි එබඳු වූ යම් ගණිකාවක තබන්නහු නම්, එබඳු වූ කුමාරිකාවක සොයා දනිවු” යී රජතෙම කී ය.
ඒ කාලයෙහි රජගහ නුවර සාලවතී නම් කුමාරිකා තොමෝ මනා රූ ඇත්තී ය. දැකුම්කලු ය. ප්‍රසාදජනක ය. උතුම් වූ වර්‍ණසම්පත්තියෙන් යුක්ත වූවා වේ. එහෙයින් රජගහනුවර වැසි කෙළෙඹිසමූහය සාලවතී කුමරිය ගණිකාවක කොට තැබීය. ඉක්බිති සාලවතී ගණිකාව නො බෝ දවසකින් ම නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්‍ෂ වූවා ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් එළඹෙන ලද්දී ය. රැයකට කහවණු සියය බැගින් ගෙණ යයි.
ඉක්බිති සාලවතී ගණිකාව නො බෝ කලකින් ම ගැබිනී වූවා ය. එකල්හි සාලවතී ගණිකාවට “ස්ත්‍රිය ගැබිනී වූවා පුරුෂයන්ගේ මන නො වඩන්නී ය. ‘සාලවතී ගණිකාව ගැබිනී වූවා’ යි ඉදින් කිසිවෙක් මා දන්නේ නම්, මාගේ සියලු සත්කාරය පිරිහෙන්නේ ය. මම ගිලන්මි’ යි දන්වන්නෙම් නම්, යෙහෙකැ”යි සිත් වි ය. ඉක්බිති සාලවතී ගණිකාව “කොල දොරටුපාලය, කිසි පුරුෂයෙක් (මා වෙත) නො පැමිණේවා. යමෙක් මා ගැණ විචාරා නම්, ගිලන් වූවා යි දන්වාලව” යි දොරටු පාලයාට අණ කළා ය. ඒ දොරටුපල්තෙමේ “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි සාලවතී ගණිකාවට පිළිවදන් දුන්නේ ය. ඒ අතර සාලවතී ගණිකාව ඒ දරුගැබ මේරීමට පැමිණීමෙන් පුතකු වැදුවා ය. එකල්හි සාලවතී ගණිකාව “කෙල්ල මේ දරුවා දිරූ කුල්ලෙක බහා කසළගොඩෙක ලව” යි දාසියට අණ කළා ය. “ආර්‍ය්‍යාව, එසේ ය” යි ඒ දාසිය සාලවතී ගණිකාවට පිළිවදන් දී ඒ දරු දිරූ කුල්ලෙක බහා ගෙණ ගොස් කසළගොඩෙක බැහුවා ය.
ඒ වේලෙහි අභයරාජකුමාර තෙමේ කලින් ම (=උදෑසනින්) රාජෝපස්ථානයට යන්නේ කවුඩන් විසින් වට කර ගත් ඒ දරු දුටුයේ ය. දැක “කොලෙනි, කවුඩන් විසින් වට කර ගත් මෙය කුමක් දැ” යි මිනිසුන් විචාළේ ය. “දේවයන් වහන්ස, දරුවෙක”. “කොලෙනි, ජීවත් වේ ද?”. “දේවයන් වහන්ස, ජීවත් වේ”. “කොලෙනි, එසේ නම් ඒ දරු අපගේ අන්තඃපුරයට ගෙණ ගොස් පෝෂණය කරන්නට කිරිමවුන්ට දෙවු”. “දේවයන් වහන්ස, එසේ ය” යි ඒ මිනිස්සු අභයරාජකුමාරයාහට පිළිවදන් දී ඒ දරු අභයරාජකුමාරය ගේ අන්තඃපුරයට ගෙණ ගොස් “(මේ දරු) පෝෂණය කරවු” යි කිරිමවුන්ට දුන්හ. ඒ දරුවාට ජීවත් වේ යි යන අරුතෙන් “ජීවක” යි නම් කළහ. අභයකුමරුන් විසින් පෝෂණය කරණ ලද්දේ නු යි “කෝමාරභච්ච” යි නම් කළහ.
ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ නො බෝ කලකින් ම නුවණැතිබවට පැමිණියේ ය. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයන් වෙත ගියේ ය. ගොස්, අනික් රජදරුවෝ ක්‍රීඩා කරන්නාහු කලහ උපන්කල්හි ඒ කොමාරභච්චජීවකයාහට ‘තාගේ පියා කවරෙක්ද, මවුනැත්තෙක, පියා නැත්තෙකැ’යි කියත්, අනෙක් දරුවන්ට සැණකෙළි ආදියෙහිදී සුලුමවු මහමවු ආදීහු යම්සේ කිසි පඬුරක් එවත්ද, එසේ ඔහුට කිසිවෙක් කිසිවක් නොඑවයි. මෙසේ ඇතිකල්හි ඒ සියල්ල සලකා ‘මම මවු නැත්තෙක් වෙම්දැයි’ දැනගනු පිණිස “දේවයන් වහන්ස, මාගේ මව කවරෙක් ද? පියා කවරෙක් දැ” යි අභයරාජකුමාරයන්ගෙන් ඇසී ය. “සගය, ජීවකය, මම ද තාගේ මව ගැණ නො ද නිමි. එහෙත් මම තාගේ පියා වෙමි. මා විසින් පෝෂණය කරවන ලද්දෙහි ය” යි. එකල්හි ජීවක කෝමාරභච්චයාහට “මේ රාජකුලයෝ ශිල්ප නූගතකු විසින් (ශිල්ප නො ඉගෙණ) ඇසුරු කොට ජීවත් වන්නට සුදුසු නො වෙත්. මම ශිල්ප ඉගෙණ ගන්නෙම් නම්, යහපත්” යි සිත් වි ය.
මම වෛද්‍ය ශිල්පය උගන්නෙම් නම් මැනවැ’යි සිතුයේය. ඒ ජීවකයාහට ‘මේ ඇත් අස් ශිල්පාදිය පරහු නැසීමෙන් යුක්තය. වෛද්‍ය ශිල්පය මෛත්‍රිය පූර්‍වභාගකොට ඇත්තේය. සත්ත්‍වයන්ට හිතබවෙන් යුක්තය, මෙබඳු සිතක් විය. එහෙයින් වෛද්‍ය ශිල්පය සඳහාම ‘මම ශිල්ප උගන්නෙම් නම් මැනවැ’යි සිතුයේය. තවද මෙතෙමේ මෙයින් කල්පලක්‍ෂයකට මත්තෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවූ, ‘මේ තෙමේ බුද්ධොපස්ථායකැ’යි සිවු පිරිස අතර පතළ ගුණ ඇති වෙදකු දැක, ‘මමද මෙබඳු තනතුරකට පැමිණියෙම් නම් ඉතා මැනැවැ’යි සිතා සත්දවසක් මුළුල්ලෙහි බුද්ධප්‍රමුඛ සඞ්ඝයාහට දන්දී භාග්‍යවතුන් වහන්සේ වැඳ ‘භාග්‍යවතුන් වහන්ස’ මමද ඔබවහනසේගේ අසුවල් වෙදාමෙන් අනාගතයෙහි බුද්ධොපස්ථායකයෙක් වෙම්ව’යි ප්‍රාර්‍ත්‍ථනා කෙළේය. ඒ පූර්‍වප්‍රාර්‍ත්‍ථනා විසින් මෙහෙයනු ලබන්නාවූද මෙතෙමේ වෛද්‍යශිල්පයම සඳහා “මම ශිල්ප උගන්නෙම්නම්, මැනවැ’යි සිතුවේය.
ඒ කාලයෙහිද තක්සලා නුවරින් එනුවර වෙළෙන්දෝ අහයරාජකුමරු දැකීම පිණිස ගියහ. ජීවක තෙමේ තෙපි කොතැනින් ආවාහුදැ’යි ඔවුන් විචාළේය. තක්සලා නුවරිනැ’යි කියූ කල්හි, එහි වෙදසිත් ඇදුරෙක් ඇත්තේදැ’යි විචාළේය. ‘කුමාරය, එය තක්සලා නුවර දිසාපාමොක් වෙදෙක් වසන්නේය’යි ඔවුන් කියූබස් අසා ‘එසේනම් යම්කලෙක තෙපි යන්නහුද, මට එය දන්වාලවු’යි කීයේය. ඔවුහු එසේ කළහ. හෙතෙමේ පියා නොවිචාරා ඔවුන් සමග තක්සලා නුවරට ගියේය.
ඒ වෙදතෙමේ තමා වෙත එන ඔහු දැක ‘පින්වත’ තෝ කවරෙක් වෙහිදැ’යි ඇසීය. හෙතෙමේ ‘මම බිම්සර මහරජුගේ මුනුබුරුවූ අභය කුමාරයාගේ පුත්වෙමි’යි කීය. ‘පින්වත’ කුමක්නිසා මෙහි ආයෙහිදැ’යි ඇසීය. ඉක්බිති හෙතෙමේ ඔබවහන්සේ වෙත ශිල්ප උගන්නටැ’යි කියා ආචාර්‍ය්‍යන් වහන්ස’ මම ශිල්ප උගන්නට කැමැතියෙමි’යි කීයේය. අන්‍යවූ ක්‍ෂත්‍රිය කුමාරාදීහු ආචාර්‍ය්‍යයා හට ධනයදී කිසිවැඩක් නොකොට උගණිත්මය. හෙතෙමේ එසේ නොවේ. හෙතෙමේ වනාහි කිසිදු ධනයක් නොදී ධර්‍මාන්තෙවාසිකයෙක්වම එක් වේලෙක උපාද්ධ්‍යායයන්ගේ වැඩ කරයි. එක් වේලෙක ඉගෙණීම කරයි. මෙසේ ඇති කල්හිදු අභිනිහාර සම්පන්න කුලපුත්‍රතෙමේ තමා ප්‍රඥාවත් බැවින් බොහෝදෑ උගණියි. වහාද උගනියි. මනාකොටද විමසා බලයි. මොහු විසින් උගන්නා ලද්ද අමතකද නොවේ.
මේ ජීවකතෙමේ වනාහි ආචාර්‍ය්‍යතෙමේ යම්පමණ දනීද, අන්‍යයෝ සොළොස්වසකින් යමක් උගණිත්ද, ඒ සියල්ල සත්වසකින් උගත්තේය. සක්දෙව් රජහට, ‘මෙතෙමේ බුදුරජුට උපස්ථායක වූ අග්‍රවිශ්වාසිකයෙක් වන්නේය, එබැවින් ඔහු බෙහෙත් යෙදීමෙහි හික්මවන්නෙමි’යි මෙබඳු සිතක් වූයේය. එහෙයින් ආචාර්‍ය්‍යයාගේ සිරුරෙහි ආවිෂ්ටව, කර්‍ම විපාක විසින් හටගත් රොගහැර සෙසුරොග එක්ම බෙහෙත් යෙදීමකින් පිළියම් කරන්නට හැක්කේද, එසේ ඒ බෙහෙත් යෙදීම උගන්වාලූයේය. ඒ ජීවක තෙමේ ආචාර්‍ය්‍යයා වෙත උගන්නෙමියි සිතාද, එහෙයින් ‘දැන් ජීවක තෙමේ පිළියම් කරන්නට සමර්‍ත්‍ථය’යි ශක්‍රයා විසින් හළ ඇසිල්ලෙහි මෙසේ සිතා ඇදුරහු විචාළේය. ආචාර්‍ය්‍යතෙමේ ‘මොහු විසින් මාගේ ආනුභාවයෙන් උගන්නා ලද්දේ නොවේ, දෙවතානුභාවයෙන් උගන්නා ලද්දේය.
ජීවක කෝමාරභච්ච තෙමේ “මම බොහෝ කොට උගණිමි. වහා ද උගණිමි. මනා කොට දරමි. මා විසින් උගත් දෙය ද නො නැසේ. සත්වසක් මුළුල්ලෙහි හදාරන්නා වූ මට මේ ශිල්පයාගේ කෙළවරෙක් නො පෙණේ. කවදා මේ ශිල්පයාගේ කෙළවර පෙණෙන්නේ දැ” යි සිත් වි ය.
ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ ඒ වෙදා වෙත ගියේ ය. ගොස් ඒ වෙදාට “ආචාර්‍ය්‍යයන් වහන්ස, මම බොහෝ කොට ද උගණිමි. වහා ද උගණමි. මනා කොට දරමි. මා විසින් උගත් දෙය ද නො නැසේ. සත්අවුරුද්දක් මුළුල්ලෙහි හදාරන්නා වූ මට මේ ශිල්පයාගේ කෙළවරෙක් නො පෙණේ. කවර කලෙක මේ ශිල්පයාගේ කෙළවරෙක් පෙණෙන්නේ දැ” යි කීයේ ය. “ජීවකය, එසේ නම් (බිම කණින) යවුලක් ගෙණ තක්සලා නුවර හාත්පස යොදුනක් ඇවිද බෙහෙත් නො වන්නා වූ යම් කිසිවක් දක්නෙහි ද, එය ගෙණ එව”. “ආචාර්‍ය්‍යයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ ඒ වෙදාට පිළිවදන් දී යවුලක් ගෙණ තක්සලා නුවර හාත්පස යොදුනක් ඇවිදින්නේ බෙහෙත් නො වූ කිසිවක් නො දුටුයේ ය.
එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ ඒ වෙදා වෙත ගියේ ය. ගොස් ඒ වෙදාට “ආචාර්‍ය්‍යයන් වහන්ස, තක්සලා නුවර හාත්පස යොදුනක් ඇවිද්දෙම් වෙමි. බෙහෙත් නො වූ කිසිවක් නො දුටුවෙමි” යි කීයේ ය. “සගය ජීවකය, වෙදකම්හි හික්මුනේ වෙහි. තට ජීවත් වන්නට මෙතෙක් පමණැ” යි කියා ඒ ජීවක කෝමාරභච්චයාහට මගවියදම් මදක් දුන්නේය. ඒ ආචාර්‍ය්‍යයාහට ‘මෙතෙමේ මහාකුලපුත්‍රයෙක, ගිය ඇසිල්ලෙහිම මුතුන් මීමුතුන්ගේ සමීපයෙන් මහත් සත්කාර ලබන්නේය. එයින් මාගේද ශිල්පයාගේද ගුණය නොදන්නේය. අතරමගදී අවසන්වූ මග වියදම් ඇත්තේ ශිල්පය යොදා අවශ්‍යයෙන් මාගේද ශිල්පයාගේද ගුණය දැන ගන්නේය’යි මෙබඳු සිතක් වූයේය. එහෙයින් ස්වල්පයක් දෙවූයේය.
ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ ස්වල්ප වූ ඒ මගවියදම ගෙණ රජගහනුවර බලා නික්ම ගියේ ය. එකල්හි ජීවක කෝමාරභච්චයාගේ ස්වල්ප වූ ඒ මගවියදම අතර මග සාකේතනුවර දී නිමාවට ගියේ ය. ඉක්බිති ජීවක කෝමාරභච්චයාහට “මේ කතරමග දිය නැත්තේ ය. කෑම නැත්තේ ය. මගවියදම නැතු ව යෑම පහසු නො වේ. (එහෙයින්) මම මගවියදම් සොයන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
එකල්හි සාකේත නුවර සිටුබිරිඳට සත් වසක් පැවැති හිසරුජාවෙක් වේ. ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු අවුත් (බෙහෙත් කළෝ ද) ඇය රෝග නැත්තියක කරන්නට නො පොහොසත් වූහ. (එහෙත්) බොහෝ අමුරන් ගෙණ ගියහ. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ සාකේත නුවරට පැමිණ මිනිසුන් ගෙන් “සගයෙනි, (මෙහි) කවරෙක් ගිලන් වූයේ වේ ද? කවරකුට පිළියම් කරම් දැ?” යි විචාළේ ය. “ආචාර්‍ය්‍යයෙනි, මේ සිටු බිරිඳට සත්අවුරුද්දක් පවත්නා හිසරුදාවක් තිබේ. ආචාර්‍ය්‍යයෙනි, යනු මැනවි. ඒ සිටුබිරිඳට පිළියම් කරව” යි කීහ.
ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ සිටුගැහැවිහුගේ ගෙට ගියේ ය. ගොස් දොරටුපාලයාහට “සගය, දොරටුපාලය, යව. ‘ආර්‍ය්‍යාවෙනි, වෙදෙක් ඇවිත් සිටි යි. ඒ වෙදා ඔබ දකිනු කැමැත්තේ ය’ යි සිටුබිරිඳට කියව” යි අණ කෙළේ ය. “ආචාර්‍ය්‍යයෙනි, එසේ ය” යි ඒ දොරටුපාල තෙමේ ජීවක කෝමාරභච්චයාහට පිළිවදන් දී සිටුබිරිඳ වෙත ගියේ ය. ගොස්, “ආර්‍ය්‍යාවෙනි, වෙදෙක් ඇවිත් සිටි යි. ඒ වෙදා ඔබ දකිනු කැමැත්තේ ය” යි සිටුබිරිඳට දැන්වී ය. “සගය, දොරටුපාලය, වෙදා කෙබඳු ද?”. “ආර්‍ය්‍යාවෙනි, තරුණය”. “සගය, දොරටුපාලය, වැඩෙක් නැත. තරුණ වෙදෙක් මට කුමක් කරන්නේ ද? ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු ද අවුත් (මා) සුවපත් කරන්නට අසමර්‍ත්‍ථ වූහ. බොහෝ අමුරන් ගෙණ ගියහ.”
ඉක්බිති ඒ දොරටුපාල තෙමේ ජීවක කෝමාරභච්චයා වෙත ගියේ ය. ගොස් “ආචාර්‍ය්‍යයෙනි, සිටු බිරිඳ ‘සගය දොරටුපාලය, වැඩෙක් නැත. තරුණ වූ වෙදෙක් මට කුමක් කරන්නේ ද, ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු ද අවුත් (මා) සුවපත් කරන්නට අසමර්‍ත්‍ථ වූහ. බොහෝ අමුරන් ගෙණ ගියහ යි කියා” යි ජීවක කෝමාරභච්චයාහට දැන්වී ය.
“සගය, දොරටුපාලය, යව. ‘ආර්‍ය්‍යාවෙනි, සුවපත් කිරීමට පෙර කිසිවක් නො දේවා. යම් කලෙක සුවපත් වෙහි ද, එකල්හි යමක් (දෙනු) කැමැත්තෙහි නම්, එය දෙන්නෙහි’ යි ආර්‍ය්‍යාවෙනි, වෙදා මෙසේ කියා යි සිටු බිරිඳට කියව”. “ආචාර්‍ය්‍යයෙනි එසේය” යි. ඒ දොරටුපාල තෙමේ ජීවක කෝමාරභච්චයාහට පිළිවදන් දි සිටු බිරිඳ වෙත ගියේ ය. ගොස් “ආර්‍ය්‍යාවෙනි, වෙදා මෙසේ කියයි: ආර්‍ය්‍යාවෙනි, පිළියම් කිරීමට පෙර කිසිවක් නො දේවා. යම් කලෙක සුවපත් වෙහි ද, එකල්හි යමක් (දෙනු) කැමැත්තෙහි නම්, එය දෙන්නෙහි” යි සිටුබිරිඳට කීයේ ය. “සගය, දොරටුපාලය, එසේ නම් වෙදා ඒවා” යි. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ඒ දොරටුපාල තෙමේ සිටුබිරිඳට පිළිවදන් දී ජීවක කෝමාරභච්චයා වෙත ගියේ ය. ගොස් “ආචාර්‍ය්‍යයෙනි, සිටුබිරිඳ ඔබ කැඳවා” යි ජීවක කොමාරභච්චහට දැන්වී ය.
එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ සිටුබිරිඳ වෙත ගියේ ය. ගොස් සිටුබිරිඳගේ රෝගය සලකා “ආර්‍ය්‍යාවෙනි, මට පතක් පමණ ගිතෙල් වුව මනා” යි සිටුබිරිඳට කීයේ ය. ඉක්බිති සිටුබිරිඳ ජීවක කෝමාරභච්චයාහට පතක් පමණ ගිතෙල් දෙවූ ය. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ ඒ පතක් පමණ ගිතෙල් නොයෙක් බෙහෙත් හා (මුසු කොට) පිස සිටුබිරිඳ ඇඳෙහි උඩුකුරු කොට හොවා නස්‍යය කෙළේ ය. එකල්හි නැහැයට වක් කළ ඒ ගිතෙල් මුවින් පිට වූයේ ය. ඉක්බිති සිටුබිරිඳ බඳුනෙක කාරා දමා “කෙල්ල, මේ ගිතෙල් පුලුන්රොදකින් ගණුව” යි දාසියට අණ කළා ය.
එවේලෙහි ජීවක කෝමාරභච්චයාහට “පුදුමයෙකි! මේ ගෙහඹුව ඉතා ලෝභ ඇත්තී ය. යම් හෙයකින් මැ මේ හළයුතු ගිතෙල පුළුන් රොදකින් ගන්වා ලූ ද, එ හෙයිනි. මාගේ ඉතා අගනා වූ බොහෝ බෙහෙත් ද (මෑට) වැය විය. මෝ යම් කිසි දෙයධර්‍මයක් කිම මට දෙන්නී” දැයි මේ සිත් විය.
ඉක්බිති ඒ සිටුබිරිඳ ජීවක කෝමාරභච්චයාගේ විකාරය (කළකිරීම) සලකා “ආචාර්‍ය්‍යයෙනි, ඔබ කුමක් නිසා නො සතුටු දැ?” යි ජීවක කෝමාරභච්චයා විචාළා ය. “පුදුමයෙකි! මේ ගෙහඹුව ඉතා ලෝභ ඇත්තී ය. යම් හෙයකින් මෑ මේ හළයුතු ගිතෙල පුලුන් රොදෙකින් ගන්වා ලූ ද, එහෙයිනි. මාගේ ඉතා අගනා බොහෝ බෙහෙත් ද (මෑට) වැය විය. මෝ මට යම්කිසි දෙයධර්‍මයක් (මිලක්) කිම දෙන්නී දැ යි මෙහි මට මේ අදහස වී ය”යි. හෙතෙමේ කී ය. “ඇදුර, අපි ගිහි ගෙයි වසන්නමෝ සකසුරුවමේ (රැක්මේ) අනුසස් දනුම්හ. මේ ගිතෙල් දාසයන්ගේ ද කම්කරුවන්ගේ ද පය ගැල්වීමට හෝ පහනක් දැල්වීමේ දී වත් කරණ ලද්දේ හෝ යහපත් ය. ඇදුර, ඔබ නො සතුටු නො වන්න. ඔබට දියයුතු දේ නො අඩු වන්නේ ය.” යි ඕ තොමෝ කීය.
එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ සිටුබිරිඳගේ සත් වසක් පැවැති හිසරුදාව එක ම නස්‍යකර්‍මයෙන් දුරු කෙළේ ය. ඉක්බිති සිටුබිරිඳ සුවපත් වූවා ජීවක කෝමාරභච්චයාහට සාරදහසක් දුන්නී ය. පුත්‍රයා ද “මාගේ මවු නීරෝග කරණ ලදැ” යි සාරදහසක් දුන්නේ ය. යෙහෙළිය “මගේ නැන්දා නීරෝග කරණ ලදැ” යි සාරදහසක් දුන්නී ය. සිටුගැහැවි තෙමේ “මගේ බිරිඳ නීරෝග කරණ ලදැ” යි සාරදහසක් ද දාසයකු ද දාසියක ද අශ්වරථයක් ද දුන්නේ ය.
ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ ඒ සොළොස් දහසත් දාසයාත් දාසියත් අශ්වරථයත් ගෙණ රජගහනුවර බලා නික්ම ගියේ ය. පිළිවෙළින් රජගහනුවරට ගොස් අභය රාජකුමාරයා වෙත එළඹියේ ය. එළඹ “දේවයන් වහන්ස, රන් සොළොස් දහසක් ද දාසයෙක් ද දාසියක් ද අශ්වරථයක් ද යන මෙතෙක් මගේ පළමු වෙදකමෙන් ලැබුනේ ය. දේවයන් වහන්සේ මා වැඩූ පෝසාවනික මිලයට මෙය පිළිගන්නා සේක්වා” යි අභයරාජකුමාරයාහට කීයේ ය. “සගය ජීවකය, කම් නැත. මේ තට ම වේවා. අපගේ ම නුවර තුළ ගෙයක් ගොඩ නගව” යි. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයාහට පිළිවදන් දි ඇතුල්නුවර ගෙයක් ගොඩ නැංවී ය.
ඒ කාලයෙහි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට භගන්‍දරාබාධය වේ. සළු ලෙයින් තැවරුණේ වේ. බිසෝවරු දැක “දැන් රජ තෙමේ උතුනී වේ. රජුට ඔසප් උපන. නො බෝ කලකින් රජ තෙමේ වදන්නේ ය” යි වෙහෙසත්. (කවටබස් කියත්.) එයින් රජ තෙමේ මංකු (=තෙද රහිත ව ලජ්ජිත) වේ.
එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ අභයරාජකුමාරයාහට “සගය අභය, මට මෙබඳු රෝගයෙක් වේ. සළු ලෙයින් වැකී යයි. බිසෝවරු දැක ‘දැන් රජ තෙමේ මල්වර ඇත්තේ වේ. රජුට ඔසප් උපන. රජ තෙමේ නොබෝ කලකින් වදන්නේ ය’යි කවටකම් කෙරෙත්”. “සගය, අභය, යමෙක් මට පිළියම් කරන්නේ ද, එබඳු වෙදකු දනුව” යි රජතෙමේ කීයේ ය. “දේවයන් වහන්ස, අපගේ මේ ජීවක වෙද තෙමේ තරුණ ය. භද්‍ර ය. කලණ ගුණ ඇත්තේ ය. හෙතෙමේ දේවයන් වහන්සේට පිළියම් කරන්නේ ය.” (රජතෙමේ) “සගය අභය, එසේ නම් ජීවක වෙදාට අණ කරව. හෙතෙමේ මට පිළියම් කරන්නේ ය”යි කී ය.
ඉක්බිති අභයරාජකුමාර තෙමේ “සගය, ජීවකය, රජුට පිළියම් කරව” යි ජීවක කෝමාරභච්චයාට අණ කෙළේ ය. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයාට පිළිවදන් දි බෙහෙතක් නියතුළ බහා ගෙණ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත ගියේ ය. ගොස් මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට “දේවයන් වහන්ස, රෝගය බලමු” යි කීයේ ය.
ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුගේ භගන්‍දරාබාධය එක ම ආලේපයකින් බැහැර කෙළේ ය. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ නීරෝග වූයේ පන්සියයක් අඟනන් සියලු අබරණින් සරසවා, (නැවත) මුදවා පොට්ටනියක් කරවා ජීවකකෝමාරභච්ච හට “සගය ජීවකය, මේ පන්සියයක් අඟනන්ගේ සියලු අබරණ තට වේවා” යි කීයේ ය. ජීවක තෙමේ “දේවයන් වහන්ස, (මෙයින් මට) කම් නැත. දේවයන් වහන්සේ මාගේ අධිකාරය (ශ්‍රේෂ්ඨ) ක්‍රියාව සිහි කෙරෙත්වා” යි කී ය. “ජීවකය, එසේ නම් මටත් බුද්ධප්‍රමුඛසඞ්ඝයාටත් උපස්ථාන කරව”. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට පිළිවදන් දුන්නේ ය.
එකල්හි රජගහනුවර වැසි සිටුහු හට සත් අවුරුද්දක් සිට පැවැති හිස රුදාවෙක් වේ. ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු අවුත් සුවපත් කරන්නට නො හැකි වූහ. බොහෝ අමුරන් – ගෙණ ගියහ. තව ද වෙදුන් විසින් ප්‍රතික්‍ෂේප කරණ ලද්දේ වේ. ඇතැම් වෙද්දු “සිටුගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය” යි මෙසේ කීහ. සමහර වෙද්දු “සිටුගැහැවි තෙමේ සත්වන දින කලුරිය කරන්නේ ය” යි මෙසේ කීහ.
ඉන් පසු රජගහනුවර වැසි කෙළෙඹි සමූහයාට “මේ සිටුගැහැවි තෙමේ රජුට ද කෙළෙඹි සමූහයාට ද බොහෝ උපකාර ඇත්තේ වේ. එහෙත් වෙදුන් විසින් හරණා ලද්දේ ය. සමහර වෙද්දු ‘සිටු ගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීහ. සමහර වෙද්දු ‘සිටුගැහැවි තෙමේ සත්වන දින කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීහ. රජුගේ මේ ජීවක වෙද තෙමේ තරුණ ය. භද්‍ර ය. අපි සිටු ගැහැවියාහට පිළියම් කරන්නට රජුගෙන් ජීවක වෙදා ඉල්ලන්නෙමු නම් යෙහෙකැ” යි සිත් වි ය.
ඉක්බිති රජගහනුවර වැසි කෙළෙඹි ගණයා මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත ගියේ ය. ගොස්, “දේවයන් වහන්ස, මේ සිටු ගැහැවි තෙමේ දේවයන් වහන්සේට ද කෙළෙඹි ගණයාට ද බොහෝ උපකාර ඇත්තේ වේ. තවද වෙදුන් විසින් හරණා ලද්දේ ය. සමහර වෙද්දු ‘සිටුගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි. මෙසේ කීහ. සමහර වෙද්දු ‘සිටුගැහැවි තෙමේ සත්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීහ. දේවයන් වහන්සේ සිටුගැහැවියාට පිළියම් කරන්නට ජීවක වෙදාට අණ කෙරෙත්වා” යි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට කී ය. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ “සගය ජීවකය, යව. සිටුගැහැවියාහට පිළියම් කරව” යි ජීවක කොමාරභච්චහට අණ කෙළේ ය.
“දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට පිළිවදන් දී සිටුගැහැවියා වෙත ගියේ ය. ගොස් සිටුගැහැවියාගේ රෝගය සලකා “ගැහැවිය, ඉදින් මම ඔබ නීරෝග කරන්නෙම් නම්, මට දිය යුතු දෙය කුමක් වන්නේ දැ” යි සිටුගැහැවියාට කීයේ ය. “ඇදුර, සියලු සම්පත් ඔබට වේවා. මමත් ඔබට දාසයෙක් වෙමි”. “ගැහැවිය, සත්මසක් එක් ඇළයකින් හොවින්ට ඔබ සමත් ද?” “ඇදුර, සත්මසක් එක් ඇළයකින් හොවින්ට මම සමත් වෙමි”. “ගැහැවිය, සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට ඔබ සමත් ද?” “ඇදුර, සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට මම සමත් වෙමි.” “ගැහැවිය, සත්මසක් උඩුකුරු ව හොවින්ට ඔබ සමත් ද?” “ඇදුර, සත්මසක් උඩුකුරු ව හොවින්ට මම පොහොසත් වෙමි”.
ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ සිටුගැහැවියා ඇඳක හොවා ඇඳ හා බැඳ හිසෙහි සිවිය පළා හිස් බැඳුම (තුන් සන්‍ධිය) වෙන් කොට (හිස් කබල ගලවා) පණුවන් දෙදෙනකුන් බැහැර කොට ජනයාට දැක්වී ය: “එකකු කුඩා වූ ද එකකු මහත් වූ ද මේ පණුවන් දෙදෙනා බලවු. යම් ඒ ඇදුරු කෙනෙක් ‘සිටුගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීවාහු ද, ඔවුන් විසින් දක්නා ලද මේ මහත පණුවා පස්වන දිනයෙහි සිටුගැහැවියාගේ හිස්මුල් (මොළය) කා නිම වන්නේ ය. හිස්මුල් කා නිමවීමෙන් සිටුගැහැවි තෙමේ කලුරිය කරන්නේ ය. ඒ ඇදුරන් විසින් මැනවින් දක්නා ලද්දේ ය. යම් ඒ ඇදුරු කෙනෙක් ‘සිටුගැහැවි තෙමේ සත්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීවාහු ද, ඔවුන් විසින් දක්නා ලද මේ කුඩා පණුවා සත්වන දිනයෙහි සිටුගැහැවියාගේ හිස්මුල් කා නිම වන්නේ ය. හිස්මුල් කා නිමවීමෙන් සිටුගැහැවි තෙමේ කලුරිය කරන්නේ ය. ඒ ඇදුරන් විසින් මැනවින් දක්නා ලද්දේ ය” යි හිස්මැස්ම (හිස්කබල පෙර සේ ම) සන්‍ධි කොට හිසේ සිවිය මසා ආලේපයක් දුන්නේ ය.
ඉක්බිති සිටුගැහැවි තෙමේ සත්දවසක් ඉක්ම ගිය පසු ජීවක කෝමාරභච්චයාහට “ඇදුර සත්මසක් එක්ඇළයකින් හොවින්ට මම අසමත් වෙමි” යි කීයේ ය. “ගැහැවිය, තෙපි මට ‘ඇදුර, සත්මසක් එක්ඇළයකින් හොවින්ට මම සමත් වෙමි’ යි ප්‍රතිඥා නො කළහු ද?” “ඇදුර, සැබව. මම ප්‍රතිඥා කෙළෙමි. එහෙත් මම මැරෙන්නෙම් නමුත් සත්මසක් එක් ඇළයකින් හොවින්ට මම අසමත් වෙමි. “එසේ නම්, ගැහැවිය, ඔබ දෙවන ඇළයෙන් සත්මසක් හොවිනු මැනවැ”යි කී ය.
ඉක්බිති සිටු ගැහැවි තෙමේ සත්දවසක් ඉක්ම ගිය පසු ජීවක කෝමාරභච්චයාහට “ඇදුර, සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට මම අසමත් වෙමි” යි කීයේ ය. “ගැහැවිය, තෙපි මට ‘ඇදුර, මම සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට හැක්කෙමි’ යි ප්‍රතිඥා නුදුනහුද?” “ඇදුර, සැබව. මම ප්‍රතිඥා දුනිමි. එහෙත් මම මැරෙන්නෙම් නමුත් දෙවන ඇළයෙන් සත්මසක් හොවින්ට මම අසමත් වෙමි”. “එසේ නම්, ගැහැවිය ඔබ උඩුකුරු ව සත්මසක් හොවිනු මැනවැ” යි කීය.
ඉක්බිති සිටුගැහැවි තෙමේ සත්දවසක් ඉක්ම ගිය පසු ජීවක කෝමාරභච්චයාහට “ඇදුර, සත්මසක් උඩුකුරු ව හොවින්ට මම අසමත් වෙමි” යි කීයේ ය. “ගැහැවිය, තෙපි මට ‘ඇදුර, සත්මසක් උඩුකුරු ව හොවින්ට මම සමත් වෙමි’ යි පිළින කෙළෙහි ද නො කෙළෙහි ද?” “ඇදුර, සැබව. මම පිළින කෙළෙමි. එහෙත් මම මැරෙන්නෙම් නමුත් මම සත් මසක් උඩුකුරු ව හොවින්ට අසමත් වෙමි”. “ගැහැවිය, මම මෙය නො කීයෙම් නම්, තෙපි මෙපමණකුත් නො හොවින්නහු ය. එසේ නමුත් ‘සති තුණකින් සිටුගැහැවි තෙමේ නීරෝග වන්නේ ය’ යි මා විසින් පළමු කොට ම දන්නා ලද්දෙහි ය. ගැහැවිය, නැගී සිටුව, නීරෝග වෙහි ය. මාහට දිය යුතු දේ කිමැ යි දනුව”. “ඇදුර, සියලු සම්පත් ඔබට වේවා. මම ද ඔබගේ දාසයෙක් වෙමි”. “ගැහැවිය, කම් නැත. මාහට සියලු සම්පත් නො දෙව. මා හට දාසයෙක් ද නො වෙව. රජුට ලක්‍ෂයක් ද මට ලක්‍ෂයක් ද දෙව” යි. කී ය. එකල්හි සිටු ගැහැවි තෙමේ නීරෝග වූයේ රජුට ලක්‍ෂයක් ද ජීවක කෝමාරභච්චයාට ලක්‍ෂයක් ද දුන්නේ ය.
එකල්හි බරණැස්නුවර සිටුපුතුහට කරණම් පැනීමෙන් ක්‍රීඩා කරද්දී බඩවැල ගැට ගැසීමෙන් හටගත් රෝගයෙක් වේ. ඒ ආබාධය කරණ කොට (ඔහු) පානය කළ කැඳ ද මනා කොට දිරවීමට නො යෙ යි. අනුභව කළ බත් ද මනා කොට නො දිරයි. මලමූත්‍ර ද ස්වභාවයෙන් පහ වීමෙක් (ඔහුට) නැත. එයින් හෙතෙමේ වෑරුණේ වියලුනේ දුර්‍වණි වූයේ හටගත් පඬුවන්පැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වෙයි.
ඉක්බිති බරණැස් සිටුහට “යම් ආබාධයක් කරණ කොට පානය කළ කැඳ මනා කොට නො දිරා ද, අනුභව කළ බත් මනා කොට නො දිරා ද, මලමූත්‍ර ද ස්වභාවයෙන් පහ නො වේ ද, මාගේ පුත්‍රයාට එබඳු රෝගයෙක් වේ. හෙතෙමේ එයින් වෑරුණේ වියලුනේ දුර්වර්‍ණ ඇත්තේ උපන් පඬුවන්පැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වෙයි. මම රජගහනුවරට ගොස් මාගේ පුතුට පිළියම් කරන්නට ජීවක වෙදා රජුගෙන් ඉල්ලන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
ඉක්බිති බරණැස් සිටු තෙමේ රජගහනුවරට ගොස් මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත එළඹියේ ය. එළඹ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට “දේවයන් වහන්ස, යම් ආබාධයක් කරණ කොට පානය කළ කැඳ මනා කොට නො දිරා ද, අනුභව කළ බත් මනා කොට නො දිරා ද, මලමූත්‍රත් පහ නො වේ ද, මාගේ පුතුට එබඳු වූ රෝගයෙක් වේ. හෙතෙමේ එයින් වෑරුණේ වියලුනේ දුර්වර්‍ණ ඇත්තේ උපන් පඬුපැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වේ. දේවයන් වහන්සේ මාගේ පුතුට පිළියම් කරන්නට ජීවක වෙදාට අණ කෙරෙත්වා” යි කීය.
එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ “සගය ජීවකය, බරණැසට යව. ගොස් බරණැස්සිටුපුතුට පිළියම් කරව” යි ජීවක කෝමාරභච්චයාහට අණ කෙළේ ය. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට පිළිවදන් දී බරණැසට ගොස් බරණැස්සිටුපුත් වෙත එළඹියේ ය. එළඹ බරණැස්සිටුපුතුගේ රෝගය සලකා ජනයා බැහැර කරවා තිරයකින් වට කොට ඔහු කණුවක බැඳ බිරිඳ ඉදිරියෙහි සිටුවා බඩ සිවිය උපුටා අතුණුගැටය බැහැර කොට “තිගේ සැමියාගේ රෝගය බලව” යි බිරිඳට දැක්වී ය. “මේ රෝගයෙන් පානය කළ කැඳ ද මනා කොට නො දිරයි. අනුභව කළ බත් ද මනාකොට නො දිරයි. මලමුත්‍රත් පහ නො වේ. මෙයින් මෙතෙමේ වෑරුණේ වියලුනේ දුර්වර්‍ණ ඇත්තේ උපන් පඬු පැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වේ” යි (කියා) අතුණුගැටය උනා හැර නැවත අතුණු ඇතුල් කොට බඩසිවිය මසා ආලේපයක් දුන්නේ ය.
ඉක්බිති බරණැස්සිටුපුත් තෙමේ නොබෝ කලකින් ම නීරෝග වූයේ ය. අනතුරු ව බරණැස්සිටු තෙමේ “මාගේ පුත්‍රයා නීරෝග කරණ ලද්දේය” යි ජීවක කෝමාරභච්චයාහට සොළොස් දහසක් දුන්නේ ය. ජීවක කෝමාරභච්ච තෙමේ ඒ සොළොස් දහස ගෙණ නැවත රජගහ නුවරට පෙරළා ගියේ ය.
එකල්හි පජ්ජෝත රජහට පාණ්ඩුරෝගාබාධයෙක් වේ. ඉතා උසස් බොහෝ දිසාපාමොක් වෙදවරු අවුත් නීරෝග කරන්නට නො හැකි වූහ. බොහෝ අමුරන් ගෙණ ගියහ. ඉක්බිති පජ්ජෝත රජතෙමේ “මට මෙබඳු ආබාධයෙක් වේ. දෙව තෙමේ ජීවක වෙදාට අණ කෙරේවා. හෙතෙමේ මට පිළියම් කරන්නේ ය” යි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත දූතයකු යැවී ය.
ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජතෙමේ “සගය ජීවකය, උදෙනියට යව ගොස් පජ්ජෝත රජුට පිළියම් කරව” යි ජීවක කෝමාරභච්චයාහට අණ කෙළේ ය. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට පිළිවදන් දී උදෙනියට ගොස් පජ්ජෝත රජු වෙත එළඹියේ ය. එළඹ පජ්ජෝත රජුගේ රෝගය සලකා “දේවයන් වහන්ස, ගිතෙල් මුසු බෙහෙතක් පිසන්නෙමි. රජතෙමේ එය පානය කරන්නේ දැ” යි පජ්ජෝත රජුගෙන් ඇසී ය. “සගය ජීවකය, කම් නැත. යම් ලෙසකින් ගිතෙල් නැති ව නීරෝග කරන්නට ඔබට හැක්කේ නම් එසේ කරව. මාහට ගිතෙල් අප්‍රිය ය. පිළිකුල් ය”.
එකල්හි ජීවක කෝමාරභච්චයාහට “ගිතෙල් නැති ව නීරෝග කරන්නට නො හැක්කේ ය. මේ රජුට (ඇත්තේ) එබඳු ආබාධයෙකි. මම කසට පැහැ ඇති කසට ගඳ ඇති කසටරස ඇති ගිතෙල් බෙහෙතක් පිසන්නෙම් නම් යෙහෙකැ” යි සිත් වි ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ නොයෙක් බෙහෙතින් යුත් කසාවන් වූ කසට ගඳ ඇති කසට රස ඇති ගිතෙල් බෙහෙතක් පිසී ය.
අනතුරු ව ජීවක කෝමාරභච්චයාහට “මේ රජුට පානය කළ ගිතෙල් පැසවන්නේ තැලි (ඔක්කාරය) උපදවන්නේ ය. මේ රජ තෙමේ චණ්ඩ ය. මා මැරවිය හැක්කේ ය. මම පළමු කොට ම විචාරන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ පජ්ජෝත රජු වෙත එළඹියේ ය. එළඹ “දේවයන් වහන්ස, අපි වෙදහු වූ කලී (යම් බඳු නැකැත් සුදුසු නම්) එබඳු නැකතින් මුල් උදුරා ගණුම්හ. බෙහෙත් එකතු කරම්හ. එහෙයින් වාහනාගාරයන්හි ද, ද්වාරයන්හි ද “ජීවකයා යම් වාහනයකින් (යනු) කැමැති ද, ඒ වාහනයෙන් යේවා. යම් ද්වාරයකින් (යනු) කැමැති ද, ඒ ද්වාරයෙන් යේවා. යම් කලෙක (යනු) කැමැති ද, එකල්හි යේවා. යම් කලෙක පිවිසෙනු කැමැති ද එකල්හි පිවිසේවා” යි දේවයන් වහන්සේ අණ කෙරෙත්වා” යි පජ්ජෝතරජුට කී ය.
ඉන් පසු පජ්ජෝත රජ තෙම් “යම් වාහනයකින් ජීවක තෙමේ යනු කැමැති වේ ද, ඒ වාහනයෙන් යේවා. යම් දොරටුවකින් (යනු) කැමැති වේ ද, ඒ දොරටුවෙන් යේවා. යම් කලෙක (යනු) කැමැති වේ ද, එකල්හි යේවා. යම්කලෙක (පිවිසෙනු) කැමැති වේ ද, එකල්හි පිවිසේවා” යි වාහනාගාරයන්හි ද ද්වාරයන්හි ද අණ කරවී ය.
එකල්හි පජ්ජෝත රජුගේ භද්දවතිකා නම් ඇතින්න දවසකට පණස් යොදුනක් යන ගමන් වේග ඇත්තී ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ පජ්ජෝත රජුට “දේවයන් වහන්සේ කෂාය පානය කරණ සේක්වා” යි කසට පැහැති ගිතෙල් බෙහෙත එළවී ය. ජීවක කෝමාරභච්ච තෙමේ පජ්ජෝත රජුට ගිතෙල් බෙහෙත පොවා ඇත්හලට ගොස් භද්දවතී ඇතින්න පිට නැගී නුවරින් පලා ගියේ ය.
එවිට පජ්ජෝත රජුට පානය කළ ඒ ගිතෙල් බෙහෙත පැසවන්නේ තැලි ඉපදවී ය. ඉක්බිති පජ්ජෝත රජ තෙමේ “සගයෙනි, දුෂ්ට වූ ජීවකයා විසින් ගිතෙල් පොවන ලද්දේ වෙමි. සගයෙනි, එබැවින් ජීවක වෙදා සොයවු” යි මිනිසුන්ට කීයේ ය. “දේවයන් වහන්ස, භද්දවතී ඇතින්න පිට නැගී නුවරින් පැන ගියේ ය” යි ඔහු කීහ.
එකල්හි පජ්ජෝත රජුගේ අමනුෂ්‍යයකු නිසා උපන් කාක නම් දාස තෙමේ දවසකට සැට යොදුන් යන ගමන් වේග ඇත්තේ වේ. ඉක්බිති පජ්ජෝත රජ තෙමේ “කොල කාකය, ‘ආචාර්‍ය්‍යයෙනි, රජ තෙමේ ඔබ නවත්වා’ය යි ජීවක වෙදා නවතව. කොල කාකය, මේ වෙද්දු නම් බොහෝ මායා ඇත්තාහු ය. ඔහු දෙන කිසිවක් නො පිළිගණුව” යි කාකදාසයාහට අණ කෙළේ ය.
ඉක්බිති කාක දාස තෙමේ අතරමග කොසඹෑ නුවර දී උදාසන අහර ගන්නා ජීවකයා දුටුයේ ය. එකල්හි කාක දාස තෙමේ “ආචාර්‍ය්‍යයෙනි, රජ තෙමේ ඔබ නවත්වා” යයි ජීවක කෝමාරභච්චයාහට කීයේ ය. “කොල කාකය, අනුභව කරමි. ඒ තාක් බලාපොරොත්තු වෙව. කොල කාකය, තෝ ද අනුභව කරව”. ආචාර්‍ය්‍යයෙනි, කම් නැත. ‘කාකය මේ වෙද්දු නම් බොහෝ මායා ඇත්තාහු ය. ඔහු දෙන කිසිවක් නො පිළිගණුව’යි රජු විසින් අණ කරණ ලද්දෙම් වෙමි”යි කාකදාසයා කී ය.
එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ නියගින් බෙහෙතක් ඔබා ගෙණ නෙල්ලි ද කයි. පැන් ද බොයි. එකල්හි ජීවක කෝමාරභච්චතෙමේ “කොල කාකය, නෙල්ලි ද කව. පැන් ද බොව”යි කාකදාසයාට කී ය. ඉක්බිති කාක දාස තෙම් “මේ වෙදා නෙල්ලි ද කයි. පැන් ද බොයි. කිසි නපුරක් වන්නට යුතු නො වේ ය“යි නෙල්ලි ගෙඩියෙන් අඩක් ද කෑයේ ය. පැන් ද බිවේ ය. ඔහු විසින් කන ලද ඒ නෙල්ලි පලුව එ වෙලේම ඔහුට විරේක කෙළේ ය.
එවිට කාකදාස තෙමේ “ආචාර්‍ය්‍යයන් වහන්ස, මාගේ ජීවිතය රැකේදැ” යි ජීවක කෝමාරභච්චයාගෙන් ඇසී ය. “කොල, කාකය, බිය පත් නොව, තෝත් නීරෝග වන්නෙහි ය. රජ තෙමේ ද නීරෝග වන්නේ ය. චණ්ඩ වූ ඒ රජතෙමේ මා මරවන්නේ ද වේ. එහෙයින් මම නො නවතිමි” යි භද්දවතිකා ඇතින්න කාකදාසයාට භාර දී රජගහ නුවර බලා නික්ම ගියේ ය. පිළිවෙළින් රජගහනුවරට ගියේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත එළඹියේ ය. එළඹ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට මේ වග සැළකෙළේ ය. රජ තෙමේ “සගය ජීවකය, යම් හෙයකින් නො නැවතුනෙහි ද එහෙයින් යහපතක් කෙළෙහි ය. (නැවතුනෙහි නම්) චණ්ඩ වූ ඒ රජතෙමේ තා මරවන්නේ ය.”යි කී ය.
ඉක්බිති පජ්ජෝත රජ තෙමේ නීරෝග වූයේ “ජීවක තෙමේ පැමිණේව. වරයක් දෙන්නෙමි” යි ජීවක කෝමාරභච්චයා වෙත දූතයකු යැවී ය. “ආර්‍ය්‍යය, කම් නැත. දේවයන් වහන්සේ මාගේ අධිකාරය (=ශ්‍රේෂ්ඨ ක්‍රියාව) සිහි කෙරෙත්වා” යි කියා යැවී ය.
එකල්හි පජ්ජෝතරජුහට බොහෝ වස්ත්‍රයන්ට බොහෝ වස්ත්‍ර යුග්මයන්ට බොහෝ සිය ගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ දහස් ගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ ලක්‍ෂගණන් වස්ත්‍රයුග්මයන්ට අග්‍ර වූ ද ශ්‍රේෂ්ඨ වූ ද මුඛ්‍ය වූ ද උතුම් වූ ප්‍රවර වූ ද සීවෙය්‍යකවස්ත්‍රයුග්මයක් ලැබුනේ වේ. ඉක්බිති පජ්ජෝත රජතෙමේ ඒ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය ජීවක කොමාරභච්චහට යැවී ය.
එකල්හි ජීවක කෝමාරභච්චයාහට “පජ්ජෝත රජු විසින් මා වෙත එවූ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය බොහෝ වස්ත්‍රයන්ට බොහෝ වස්ත්‍ර යුග්මයන්ට බොහෝ සියගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ දහස්ගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ ලක්‍ෂගණන් වස්ත්‍රයුග්මයන්ට අග්‍ර ද වේ. ශ්‍රේෂ්ඨ ද වේ. මුඛ්‍ය ද වේ. උතුම් ද වේ. ප්‍රවර ද වේ. භාග්‍යවත් වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ තථාගතයන් වහන්සේ හෝ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු හෝ හැර අන් කිසිවෙක් මේ වස්ත්‍රයුග්මයට සුදුසු නො වේ”යි. මේ සිත විය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය දොස් කිපීමෙන් පීඩිත වේ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූ සේක: “ආනන්‍දය, තථාගතයන්ගේ ශරීරය දොස් අධික වූයේ වේ. තථාගත තෙමේ විරේක බෙහෙතක් පානය කරන්නට කැමැති”යි වදාළ සේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ ජීවක කෝමාරභච්චයා වෙත ගියහ. ගොස් ඇවැත ජීවකය, තථාගතයන් වහන්සේගේ ශරීරය දොස් කිපීමෙන් පීඩිත වේ. තථාගතයන් වහන්සේ විරේක බෙහෙතක් පානය කරන්නට කැමැති සේකැ”යි ජීවක කෝමාරභච්චයාහට කීහ. “ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, එසේ නම් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය කිහිප දිනක් තෙල් පොවා මොළොක් කරණ සේක්වා”යි හෙතෙම කී ය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කිහිප දිනක් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය මොළොක් කොට ජීවක කෝමාරභච්චයා වෙත ගියහ. ගොස් “ඇවැත, ජීවකය, තථාගතයන් වහන්සේගේ ශරීරය මොළොක් වූයේය. දැන් යමකට කල් සලකන්නෙහි නම් මේ ඒ විරේක බෙහෙත දීමට කල් වේ යැ යි ජීවකකෝමාරභච්චයාහට දැන්වූහ.
එවිට ජීවක කෝමාරභච්චයාහට “මම භාග්‍යවතුන් වහන්සේට දැඩි වූ විරේක බෙහෙතක් දෙන්නෙමි නම්, මට ඒ සුදුසු නො වේ”යි සිත් වි ය. එසේ සිතා උපුල්මිටි තුණක් නොයෙක් බෙහෙත් ගල්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ පළමුවන උපුල්මිටිය සිඹිනා සේක්වා. මෙය භාග්‍යවතුන් වහන්සේට දසවරක් විරේක කරන්නේ ය” යි එක් උපුල් මිටියක් භාග්‍යවතුන් වහන්සේට එළවූයේ ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ දෙවන උපුල් මිටිය සිඹිනා සේක් වා. මෙය භාග්‍යවතුන් වහන්සේට දසවරක් විරේක කරන්නේය”යි දෙවන උපුල් මිටිය භාග්‍යවතුන් වහන්සේට එළවූයේ ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ තෙවන උපුල්මිටිය සිඹිනා සේක්වා. මෙය භාග්‍යවතුන් වහන්සේට දසවරක් විරේක කරන්නේ ය” යි තෙවන උපුල් මිටිය භාග්‍යවතුන් වහන්සේට එළවූයේ ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේක වන්නට බෙහෙත් දී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
ඉක්බිති බිහිදොරොටුවෙන් නික්මෙන්නා වූ ජීවක කොමාරභච්චහට “මා විසින් භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක වන බෙහෙතක් දෙන ලද්දේ ය. තථාගතයන් වහන්සේගේ ශරීරය දොස් අධික වූයේ වේ. භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක නො වන්නේ ය. එකුන් තිස්වරක් භාග්‍යවතුන් වහන්සේට විරේක වන්නේ ය. එහෙත් විරේචනය කළා වූ භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරන්නාහ. ස්නානය කළා වූ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය වන්නේය” යි මේ සිත විය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ජීවක කෝමාරභච්චයාගේ අදහස (තමන්) සිතින් දැන “ආනන්‍දය, මෙහි බිහිදොරටුවෙන් නික්මෙන්නා වූ ජීවක කෝමාරභච්චයාහට ‘මා විසින් භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක වන බෙහෙතක් දෙන ලද්දේ ය. තථාගතයන් වහන්සේගේ ශරීරය උත්සන්න වූ දොස් ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය නො වන්නේ ය. එකුන්තිස්වරක් භාග්‍යවතුන් වහන්සේට විරේචනය වන්නේ ය. එහෙත් විරේචනය කළා වූ භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරණ සේක. ස්නානය කළ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය වන්නේ ය” යන සිත් වී ය යි වදාරා ආයුෂ්මත් අනඳතෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, එසේ නම් උණුදිය පිළියෙල කරව”යි. “ස්වාමීනි, එසේය”යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි උණුදිය පිළියෙල කළහ.
ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ජීවක කෝමාරභච්ච තෙමේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විරේක කළ සේක් දැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය. “ජීවකය විරේක කළෙම් වෙමි.” “ස්වාමීනි, මෙහි පිටදොරටුවෙන් නික්මෙන්නාවූ මට “මා විසින් භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක වන බෙහෙතක් දෙන ලද්දේ ය. තථාගතයන් වහන්සේගේ ශරීරය උත්සන්න වූ දොස් ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය නො වන්නේ ය. එකුන්තිස්වරක් භාග්‍යවතුන් වහන්සේට විරේචනය වන්නේ ය. එහෙත් විරේචනය කළා වූ භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරණ සේක. ස්නානය කළා වූ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේචනය වන්නේ ය’යි. මේ අදහස වී ය. භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරණ සේක්වා. සුගතයන් වහන්සේ ස්නානය කරණ සේක්වා”යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උණුදිය ස්නානය කළ සේක. ස්නානය කළා වූ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වි ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට සමතිස් විරේචනයෙක් විය. අනතුරුව ජීවක කෝමාරභච්චතෙමේ “ස්වාමීනි, යම්තාක් කලකින් භග්‍යවතුන්වහන්සේගේ ශරීරය ප්‍රකෘතිස්වභාවය ඇත්තේ වේ ද, ඒ තාක් කල් සිනිඳු වූ ආහාර සුදුසු ය”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය නොබෝ කලකින් ම ප්‍රකෘති ස්වභාව ඇත්තේ වි ය. නැවත ජීවක කෝමාරභච්ච තෙමේ ඒ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ජීවක කෝමාරභච්ච තෙමේ “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් එක් වරයක් ඉල්ලමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “ජීවකය, තථාගතවරයෝ වර ඉක්මවූවාහු ය”. “ස්වාමීනි, යමක් කැප වේ ද, යමක් නිදොස් වේ ද, (එබඳු වරයක් ඉල්ලමි)”යි. “ජීවකය, කියව”. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලික වන සේක. භික්‍ෂුසඞ්ඝ තෙමේත් පංසුකූලික වේ. ස්වාමීනි, මේ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය පජ්ජෝත රජු විසින් මට එවන ලද්දේ ය. බොහෝ වස්ත්‍රයන්ට බොහෝ වස්ත්‍රයුග්මයන්ට බොහෝ සියගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ දහස්ගණන් වස්ත්‍රයුග්මයන්ට බොහෝ ලක්‍ෂගණන් වස්ත්‍රයුග්මයන්ට අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය පිළිගන්නා සේක් වා. භික්‍ෂුසඞ්ඝයාට ද ගෘහපතිචීවරය අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ සීවෙය්‍යකවස්ත්‍රයුග්මය පිළිගත් සේක.
භාග්‍යවතුන් වහන්සේගේ තුන් දොසින් ලෙඩවුණු ශරීරය සුළු විරේකයක් කොට සීවෙය්‍යක රෙදිදෙකක් දී වස්ත්‍රානුමෝදනාව අවසන සෝවාන් පෙළෙහි පිහිටා මෙසේ සිතීය. මා දවසට දෙතුන්වරක් බුදු උවටැනට යායුතුයි. මේ දෙවුරම බොහෝ ඈතය. මාගේ අඹ උයන වඩාත් ආසන්නය. මෙහි භාග්‍යවතුන් වහන්සේට විහාරයක් කරවන්නේනම් මැනැවැ හේ ඒ අඹවනයෙහි රාත්‍රිස්ථාන දිව්‍යස්ථාන ලෙන් කුටි මණ්ඩප ආදිය සාදා භාග්‍යවතුන් වහන්සේට සුදුසු ගඳකිළියක් කරවා අඹවනය රියන් දහඅටක් උස තඹපට වණින් පවුරකින් වට කරවා බුදුපාමොක් බික් සඟනට සිවුරු සමග බතින් සතප්වා දක්ෂිණෝදකය වත්කොට විහාරය පැවරිය