බුදුවරයන් වහන්සේලා පස්නමක් පහළවන බැවින් සුන්දර වූ කල්පයෙහි සාරවත් වූ කල්පයෙහි මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කල්පය වර්ණනා කරමින් මෙසේ වදාළ සේක. යම්තැනක පටන් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ වන්නේද, ඒ අතර එක් කල්පයකදීවත් බුදුවරයන් පස්නමක් පහළවීමක් නම් නැත. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රාර්ථනාවට පෙර තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර යන බුදුවරයන් සිව්නමක් එක් කල්පයක පහළ වූහ. එයට මෙහා එක් අසංඛෙය්‍යක් බුද්ධශූන්‍ය විය.
කල්ප අසංඛ්‍යයක් අවසානයේ කොණ්ඩඤ්ඤ නම් එකම බුදුරජාණන් වහන්සේ එක් කල්පයක පහළ වූ සේක. එයින් ද අසංඛ්‍ය කල්පයක් බුද්ධශූන්‍ය විය. අසංඛෙය්‍ය කල්පයක අවසානයේ මංගල, සුමන, රේවත, සෝභිත යන බුදුවරයන් සතර නම එක් කල්පයක පහළ වූහ. එයින්ද කල්ප අසංඛ්‍යයක් බුද්ධශූන්‍ය විය.
කල්ප අසංඛෙය්‍ය අවසානයෙහි වනාහි මෙයින් කල්ප ශතසහස්‍රයකට අධික කල්ප අසංඛ්‍යයට පෙර අනෝමදස්සී, පදුම, නාරද යන බුදුවරු තුන් නම එක් කල්පයක පහළ වූහ. එයින් කල්ප අසංඛෙය්‍යක් බුද්ධශූන්‍ය විය.
කල්ප අසංඛෙය්‍යක් අවසානයෙහි වනාහි මෙයින් කල්ප ශතසහස්‍රයකට මත්තෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පමණක් එක් කල්පයක පහළ වූහ. එයින් මෙහා මෙයින් කල්ප තිස්දහසකට පෙර සුමේධ, සුජාත කියා බුදුවරු දෙනමක් එක් කල්පයක පහළ වූහ. එයින් මෙහා මෙයින් කල්ප දහඅට දහසකට පෙර අත්‍ථදස්සී, පියදස්සී. ධම්මදස්සී යැයි බුදුවරු තුන් නමක් එක් කල්පයක පහළ වූහ. ඉක්බිති මෙයින් අනූහතරවන කල්පයෙහි සිද්ධාර්ථ නම් බුදුරජාණන් වහන්සේ පමණක් එක් කල්පයක පහළ විය.
මෙයින් අනූදෙවන කල්පයෙහි තිස්ස, ඵුස්ස කියා බුදුවරු දෙනමක් එක් කල්පයක පහළ වූහ. මෙයින් අනූ එක්වන කල්පයෙහි විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූහ. මෙයින් තිස්එක්වන කල්පයෙහි සිඛී, වෙස්සභූ යැයි බුදුවරු දෙනමක් පහළ වූහ. මේ භද්‍ර කල්පයෙහි කකුසඳ, කෝණාගම, කස්සප හා අපගේ භාග්‍යවතුන් වහන්සේ වන ගෞතම යන බුදුවරයන් වහන්සේලා සතරනමක් පහළ වූහ. මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ අනාගතයේ පහළ වන්නේය. මෙසේ මේ කල්පය බුදුවරයන් පස්නමකින් සමන්විත බැවින් සුන්දර කල්පය කියාද, සාර කල්පය කියාද යන ලෙසින් බුදුරජාණන් වහන්සේ මේ කල්පය වර්ණනා කරමින් මෙසේ වදාළහ.
මේ කල්පයෙහි මෙපමණ බුදුවරු පහළ වූහ. පහළ වන්නාහ යන මේ කරුණ බුදුවරයන් වහන්සේලාට පමණක් දැනෙන්නේ ඇයි? නැත්නම් අන් අයටත් පෙනේද? එසේය. අන් අයටද පෙනෙයි. කවර අයටද? ශුද්ධාවාස බ්‍රහ්මයන්ට.
කල්පය පිහිටන කල්හි එක් අසංඛෙය්‍යක් එක් අංගනයක් ලෙස පිහිටි කල්හි ලෝකයාට පිළියෙල වීම පිණිස වැස්ස වසින්නට පටන් ගනී. ආරම්භයේදී අතරෙහි පිහිටි හිමපතනයක් මෙන් වෙයි. එයින් නිවුඩු, සහල්, මුං, මෑ, බජිරි, නෙල්ලි, කැකිරි, කොමඩු, ලබු ආදිය දිය ධාරාවක් මෙන් වී පිළිවෙලින් බඹය, දෙක, අට, අඩගව්වක්, අඩ යොදුනක්, යොදුනක්, දෙකක් -පෙ- යොදුන් සියයක්, යොදුන් දහසක් පමණ වී අකනිටා බඹලොව දක්වා කෝටි සහසහස්‍රයක් සක්වල ගැබ පුරවා සිටී. ඉක්බිති ඒ ජලය අනුපිළිවෙලින් පහත බසී. ජලය පහත බසින කල්හි ස්වාභාවික දිව්‍යලෝක පිහිටිය යුතු තැන්වල දිව්‍යලෝක පිහිටයි.
මිනිස්ලොව පිහිටන තැනට ජලය පත්කල්හි පෙරහන්කඩයක මුව වැසුවාක් මෙන් වායු බලයෙන් ඒ ජලය ස්ථිරව පිහිටා සිටියි. ඒ ජලය මතුපිට නෙලුම්පතක් මෙන් මහපොළොව පිහිටයි. ලෝකය විනාශවන විට මහබෝමැඩ පසුව විනාශ වෙයි. පිහිටනවිට පළමුවෙන් පිහිටයි. එහි පෙරනිමිත්තක් වී නෙලුම්ගසක් පහළවෙයි. ඉදින් ඒ කල්පයෙහි බුදුවරුන් පහළවන්නේ නම් මලක් හටගනී. නොවේනම් මලක් හටගන්නේ නැත. එසේ මල් හටගන්නා විට එක් බුදුවරයෙක් පහළ වන්නේ නම් එක් මලක් ද, දෙකක්, තුනක්, හතරක් ආදී වශයෙන් බුදුවරයන් වහන්සේලා පස්නමක් පහළ වන්නේ නම් මල් පහක් හටගනී. ඒ මල්ද එක් දණ්ඩක කර්ණිකා එකට බැඳී හටගනී. ශුද්ධාවාස දෙවිවරු, යමු. පෙරනිමිති බලමු යැයි මහබෝමැඩ පිහිටි තැනට එක් බුදුවරයන් පහළනොවන කල්පයකදී මල් හටගන්නේ නැත. ඒ ශුද්ධාවාස දෙවිවරු මල් නැති ගස බලා ලෝකය වනාහි අඳුරු වන්නේය. මැරෙන මැරෙන සත්ත්වයෝ අපායේ පිරෙත්. සදෙව්ලොවත් බ්‍රහ්මලෝක නවයත් හිස් වන්නේ යැයි අසතුටු සිත් ඇත්තෝ වෙත්. මල් පිපුණු කල්හි වනාහි මල් දැක සර්වඥ වූ බෝධිසත්ත්වයන් මව්කුසට පිවිසෙන විටත්, මව්කුසින් බිහිවන විටත් සම්මා සම්බෝධියට පත්වනවිටත් දම්සක් පවත්වන විට යමක ප්‍රාතිහාර්ය පවත්වන කල්හි දේවාරෝහණය කරන කල්හිද ආයු සංස්කාර කරන කල්හිද පිරිනිවන්පානා විටත් දසදහසක් සක්වල කම්පා වීම ආදී ප්‍රාතිහාර්යයන් දකින්නෙමු යැයි ද සතර අපාය පිරිහෙන්නේය. සදෙව්ලොවත් බ්‍රහ්මලෝක නවයත් පිරෙන්නේ යැයි සතුටු සිත් ඇත්තාහු උදන් අනමින් තම තමන්ගේ බ්‍රහ්මලෝකවලට යත්. මේ කල්පයෙහි වනාහි නෙලුම්මල් පහක් හටගත්තේය. ඒ නිමිතිවල අනුභාවයෙන් බුදුවරු සතරනමක් පහළ වූහ. පස්වැනි බුදුහිමියෝ පහළ වන්නාහ. ශුද්ධාවාස බ්‍රහ්මයෝද ඒ මල් දැක මේ කාරණය දැනගත්හ. ඒ නිසා කියන ලදි. ‘අන් අයටද පෙනී යයි’