යම් භික්ෂුවක් දවසක් සක්මනින් හිඳීමෙන් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කොට, එසේම රාත්‍රියෙහි ප්‍රථම යාමයද, මධ්‍යම යාමයෙහි සයනයකොට පශ්චිම යාමයෙහි හිඳීම් සක්මනින් කල්ගෙවා උදෑසනම සෑමළු බෝමළු වත් කොට බෝරුකෙහි ජලය ඉස පැන් බොජුන් එළවා ආචාර්ය උපාධ්‍යය වත් ආදී සියලු කඳුවත් සමාදන්ව සිටී. හේ සිරුරු පිරියම්කොට සෙනසුනට පිවිස උණුසුම් කරමින් කමටහන්හි යෙදී පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි නැගිට කමටහන් හිසින්ම පාසිවුරු ගෙන සෙනසුනින් නික්ම කමටහන් සිහි කරන්නේම සෑමළුවට ගොස් යම්හෙයකින් බුද්ධානුස්සති කමටහනක් වේද එය අත්නොහැරම සෑමළුවට පිවිසෙයි. අන් කමටහනක් වේනම්, හිණි පාමුල අතින් ගත් භාණ්ඩයක් මෙන් එය තබා බුදුන් අරමුණු කොටගත් ප්‍රීතියෙන් සෑමළුවට නැග චෛත්‍ය මහත් නම් තෙවරක් පැදකුණු කොට සිව්තැනෙක වැඳිය යුතුය. චෛත්‍යය කුඩානම් එසේම පැදකුණු කොට අටතැනෙක වැඳිය යුතුය. චෛත්‍යය වැඳ බෝමළුවට පැමිණියහු විසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමුවෙහි මෙන් වැදහෙව බෝධිය වැඳිය යුතුය. හේ මෙසේ චෛත්‍යයද බෝධියද වැඳ පිළියෙල කළ තැනට ගොස් පිළියෙල කළ භාණ්ඩය අතින් ගන්නාක් මෙන් තැබූ කමටහන ගෙන ගම සමීපයෙහි කමටහන් හිසින්ම සිවුර පොරවා ගමට පිඬු පිණිස පිවිසෙයි.