Skip to content

අස්සක ජාතකය

පෙර කසී රට පෝතල නම් නුවර අස්සක නම් රජ කෙනෙක් රජය කරවීය. ඒ රජතුමාට උබ්බරී නම් අගමෙහෙසියක් වූවාය. ඈ ප්‍රියමනාපය. මනා රූ ඇත්තීය. දැකුම්කලුය. මිනිස් රූප සම්පත්තිය ඉක්මවා සිටියාය. දිව්‍ය රූපශෝභාවට නො පැමිණියාය. ඈ මියගියාය. ඇගේ අභාවයෙන් රජතුමා ශෝකයෙන් මැඩුනේ දුක් දොම්නස් ඇත්තේ විය. රජතුමා ඇගේ මෘත දේහය ඔරුවක තැන්පත් කරවා තෙල් ආදිය දම්මවා ඇඳයට තබ්බවා නිරාහාරව හඬමින් වැළපෙමින් හොත්තේය. මව්පියෝ, සෙසු නෑයෝ, ඇමතිවරු, බමුණු ගහපති ආදීහුද මහරජ සෝක නොකරන්න. සංස්කාර ධර්ම අනිත්‍යයයි යනාදිය කියන්නාහු කරුණු හඟවන්නට නොහැකි වූහ. වැලපෙන ඔහුට හත්දින ගතවිය. එකල්හි අප මහබෝසතාණන් වහන්සේ පඤ්ච අභිඥා, අට්ඨ සමාපත්තිලාභී තවුසෙක්ව හිමාල වනයෙහි වාසය කරන්නාහු ආලෝකය වඩා දිවැසින් දඹදිව ලෙස බලන්නාහු එසේ වැළපෙන ඒ රජු දැක මොහුට මා විසින් පිහිටවිය යුතුයයි සිතා සෘද්ධි බලයෙන් අහසට පැන නැගී රජුගේ උයනෙහි බැස මඟුල් ගල්තලාව මතුවෙහි රන්පිළිමයක් මෙන් හුන්නාහුය.

ඉක්බිති පෝතාලි නුවර වැසි එක් බමුණු මානවයෙක් උයනට ගියේ බෝසතාණන් වහන්සේ දැක වැඳ හුන්නේය. බෝසතාණන් වහන්සේ ඔහු සමග පිළිසඳර කථාකොට මානවය! කෙසේද? රජතුමා දැහැමිදැයි විචාළ සේක. එසේය ස්වාමීනි! රජතුමා දැහැමිය. නමුත් රජතුමාගේ බිසව කලුරිය කළාය. එතුමා ඇගේ මෘතදේහය ඔරුවක තැන්පත් කරවා වැළපෙමින් වැතිරී සිටියි. අද ඔහුගේ හත්වෙනි දවසයි. නුඹවහන්සේ රජතුමා මෙබඳු දුකින් නොමුදවන්නේ ඇයි? නුඹවහන්සේලා වැනි සිල්වතුන් සිටිද්දී රජතුමා මෙබඳු දුකක් විඳීම යුත්තියක් තිබේද? මානව! මම රජතුමා නොහඳුනමි. ඉදින් වනාහි හෙතෙම අවුත් මගෙන් විමසන්නේ නම් මම මොහුට බිසව උපන් තැන කියා රජතුමාගේ ඉදිරිපිටදීම ඇය ලවා කථා කරනවන්නෙමි. එසේනම් ස්වාමීනි! රජතුමා මෙහි කැඳවාගෙන එනතෙක්, නුඹවහන්සේ මෙහිම හිඳුවයි කියා බෝසතාණන් වහන්සේගේ ප්‍රතිඥාව ගෙන රජතුමා සමීපයට ගොස් ඒ කාරණාව කියා ඒ දිවැස් ඇත්තාගේ සමීපයට යන්නට වටීයයි කීවේය.

රජතුමා උබ්බරී බිසව දකින්නට ලැබෙන්නේ යයි සතුටු සිත් ඇත්තේ රථයට නැගී එහි ගොස් බෝසතාණන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. ඇත්තද, ඔබතුමා දේවීන් වහන්සේ උපන් තැන දන්නෙහුදැයි විචාළේය. එසේම මහරජතුමනියි කී සේක. කොහි උපන්නීද? මහරජ, ඇය වනාහි රූපශ්‍රීයෙන් මත්ව ප්‍රමාදයට පැමිණ යහපත් ක්‍රියා නොකොට මේ රජ උයනෙහිම ගොම කෘමි යෝනියෙහි උපන්නේ යයි කීහ. මම එය නොඅදහමියි කීය. එසේනම් ඔබට පෙන්වා කථා කරවන්නෙමියි කීහ. හොඳයි කථා කරවනු මැනවි කීය. බෝසතාණන් වහන්සේ තමන්ගේ ආනුභාවයෙන් ගොම කෘමියන් දෙදෙනා ගොම පිඩු දෙකක් පෙරළ පෙරළා රජුගේ ඉදිරියට එත්වායි ඔවුන්ගේ පැමිණීම සිදුකළහ. ඔවුහු එසේම ආවාහුය. බෝසතාණන් වහන්සේ ඌ පෙන්වමින් මහරජතුමනි! මේ ඔබතුමාගේ උබ්බරී දේවියයි. ඔබ අතහැර දමා ගොම පණුවාගේ පසුපස එයි. ඇය බලවයි කීහ. ස්වාමීනි! උබ්බරී ගොම කෘමි යෝනියෙහි උපන්නීයයි කීම නම් මම නොපිළිගමියි කීය. මහරජතුමනි! ඇය ලවා කථා කරවන්නෙමි. ස්වාමීනි! කථා කරවනු මැනවි.

බෝසතාණන් වහන්සේ තමන්ගේ ආනුභාවයෙන් ඇය ලවා කථා කරවමින් උබ්බරී යයි කීහ. ඈ මිනිස් බසින් ඇයි ස්වාමීනියි කීවාය. තී අතීත ආත්ම භාවයේදී කවරනම් තැනැත්තියක් වූවාද? ස්වාමීනි අස්සක රජුගේ උබ්බරී නම් අගමෙහෙසිය වූයෙමි. දැන් ඔබට ප්‍රිය අස්සක රජද නැතිනම් ගොම කෘමියාද? ස්වාමීනි, ඒ මගේ පෙර ජාතියයි. එකල මම මේ උයනේ අස්සක රජු සමග රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බයන් (පස්කම් සැප) අනුභව කරමින් හැසුරුනෙමි. දැන් වනාහි භවයෙන් වැසීගිය කාලයේ පටන් ඒ රජතුමා මට කවරෙක් වේද? මම වනාහි දැන් අස්සක රජ මරා ඔහුගේ ගෙල සිඳි ලේ මගේ සැමියා වන ගොම කෘමියාගේ පාවල තවරන්නේ යයි කියා පිරිස මැද කීවාය.

පෙර ඒ මා විසින් කැමති වන ලද ප්‍රිය සැමියා වූ අස්සක නම් රජු සමග මේ පෙදෙසෙහි හැසිරෙන ලදි.

අළුතින් ඇති වූ සැප දුක් දෙකින් පැරණි (කල තිබූ) සුව දුක් දෙක වසනු ලැබේ. එහෙයින් අස්සක නම් රජුට වඩා සිය ගුණයකින් මේ ගොම පණුවාම මට අතිශයින් ප්‍රිය වේ.

ඒ නිසා අස්සක රජතුමා පසුතැවිලි වී උයනෙහි සිටිමින්ම උබබ්රිගේ කුණපය බැහැර කරවා ඉස් සෝදා නා බෝසතුන්ට වැඳ නගරයට පිවිස අනිත් තැනැත්තියක අග මෙහෙසිය කොට දැහැමෙන් රාජ්‍යය කරවීය. බෝසතාණන් වහන්සේ ද රජුට අවවාද දී ශෝකය දුරු කොට හිමාල වනයට ගිය සේක.