මහණෙනි, මෙලොව්හි එකෙක් භේරීශබ්ද ඇසීමට යෙයි. වීණාශබ්ද ඇසීමට යෙයි. ගීතශබ්ද ඇසීමට යෙයි. කුදු මහත් ශබ්ද හෝ ඇසීමට යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකුගේ වේවයි, බමුණකුගේ වේවයි, ධර්‍මශ්‍රවණයට යෙයි. මහණෙනි තෙල ශ්‍රවණය ඇත් මැ යි. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල ශ්‍රවණය හීන ය, ග්‍රාම්‍ය ය, පෘථග්ජනයන් සතු ය, අනාර්‍ය්‍ය ය. අනර්‍ත්‍ථය ඇසුරු කෙළේ ය. නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ක්ලේශව්‍යපශමයට නො වැටෙයි. අභිඥානයට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්‍වාණයට නො වැටෙයි.

මහණෙනි, පිහිටි සැදැහැති, පිහිටි ප්‍රේම ඇති, අචලශ්‍රද්ධාවට පත් අභිප්‍රසන්න යමෙක් තථාගතයන් වහන්සේගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ ධර්‍මය ඇසීමට යේ නම්, මහණෙනි, පිහිටි ශ්‍රද්ධා ඇතියේ පිහිටි ප්‍රේම ඇතියේ ඒකාන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ ධර්‍මය ඇසීමට යන්නේය යන තෙල කරුණ – සත්ත්‍ව විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස, දුක්දොම්නසුන්ගේ අස්තගමය පිණිස, න්‍යායාධිගමය පිණිස, නිවන් පසක් කරණු පිණිස පවත්නා හෙයින් ශ්‍රවණයන් අතුරෙහි අනුත්තරිය වෙයි.