බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ සිංහල අටුව පරිවර්ථන කළ අතර, බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ තම අදහස් අටුවාවන්හි දක්වන තැන්හි ඉතා පැහැදිලිව එය “මෙය අපගේ අදහසයි” යනුවෙන් දැක්වූ සේක. ඊට උදාහරණ කීපයක් අපි මෙසේ දක්වමු. එමගින් අටුව උන් වහන්සේ රචනා නොකරන ලද්දක් බව පැහැදිලිය‍.

1. සචෙ පන එකාහද්‌වීහාදිවසෙන යාව දසාහානාගතාය වස්‌සූපනායිකාය අන්‌තොවස්‌සෙ වා ලද්‌ධා චෙව නිට්‌ඨිතා ච, කදා අධිට්‌ඨාතබ්‌බාති එතං අට්‌ඨකථාසු න විචාරිතං. ලද්‌ධදිවසතො පට්‌ඨාය අන්‌තොදසාහෙ නිට්‌ඨිතා පන තස්‌මිංයෙව අන්‌තොදසාහෙ අධිට්‌ඨාතබ්‌බා. දසාහාතික්‌කමෙ නිට්‌ඨිතා තදහෙව අධිට්‌ඨාතබ්‌බා. දසාහෙ අප්‌පහොන්‌තෙ චීවරකාලං නාතික්‌කමෙතබ්‌බාති අයං නො අත්‌තනොමති. කස්‌මා?……… තස්‌මා යථාවුත්‌තමෙව ගහෙතබ්‌බං, අඤ්‌ඤං වා අචලං කාරණං ලභිත්‌වා ඡඩ්‌ඩෙතබ්‌බං.

(ඉඳින් ……කෙදිනක අදිටන් කළ යුතු ද යන මෙය අටුවාවන්හි විචාරණය නොකරන ලදි. …….. චීවරකාලය නොයික්ම විය යුතුය යන මෙය අපගේ අදහසයි. .. කවර හෙයින්ද යත්….. එබැවින් කියූ පරිදි අරුත් ගතයුතුය. නැතහොත් අන්‍ය වූ අචල කාරණාවක් ලැබ අපගේ මතය හැරදැමිය යුතුය.)

2. පහරිත්‌වා නිග්‌ගතෙ අට්‌ඨකථාසු දොසො න දස්‌සිතො. මයං පන යං ඨානං පහටං, තතො සයංපතිතමෙව හොතීති තක්‌කයාම.

(යම් ආහාරයක් නිස්සග්ගිය ක්‍රමයට පිළිගැන්වීමේදී යමක වැදී බැහැරගිය කල්හි එහි දෝෂයක් අටුවාවන්හි නොදක්වන ලදි. අපි වනාහි එය යමක හැපුණේ ද එතැනින් තෙමේම වැටුනේ වේ යැයි තර්ක කරමු.)

3. තස්‌මා යො යො පටිග්‌ගණ්‌හාති, තස්‌ස තස්‌ස තප්‌පච්‌චයා – ආපත්‌තියෙවාති අයමෙත්‌ථ අම්‌හාකං ඛන්‌ති.

(එබැවින් යම් යම් භික්‍ෂුවක් පිළිගනී ද ඒ ඒ භික්‍ෂුවට ඒ හේතුවෙන් ආපත්ති වේ යනු මෙහිලා අපගේ අදහසයි.)

4. අථ ඛො සබ්‌බඅට්‌ඨකථාසු වුත්‌තත්‌තා අට්‌ඨකථාචරියාව එත්‌ථ පමාණං, න අඤ්‌ඤා විචාරණා. පුබ්‌බෙපි ච ආවොචුම්‌හ – ‘‘බුද්‌ධෙන ධම්‌මො විනයො ච වුත්‌තො, යො තස්‌ස පුත්‌තෙහි තථෙව ඤාතො’’තිආදි. අට්‌ඨකථාචරියා හි බුද්‌ධස්‌ස අධිප්‌පායං ජානන්‌ති.

(තවද සියලු අටුවාවන්හි කියූ බැවින් අටුවාචාරීන් වහන්සේලාම මෙහිලා ප්‍රමාණය. අන්‍ය විචාරණයක් ප්‍රාමාණික නොවේ. ග්‍රන්ථාරම්භයේදීම අපි “බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් විනයක් වදාරණ ලද්දේද, එය උන්වහන්සේගේ පුත්‍ර වූ අටුවාචාරීන් වහන්සේලා විසින් එයාකාරයෙන්ම දැනගන්නා ලද්දේය” යනාදී වශයෙන් කීවෙමු. අටුවාචාරීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අදහස දන්නා සේක.)

5. සබ්‌බඅට්‌ඨකථාසු පන වුත්‌තත්‌තා න සක්‌කා පටිසෙධෙතුං. ගවෙසිතබ්‌බා එත්‌ථ යුත්‌ති. අට්‌ඨකථාචරියානං වා සද්‌ධාය ගන්‌තබ්‌බන්‌ති.

(සියලු අටුවාවන්හි කියූ බැවින් ප්‍රතික්‍ෂේප කිරීමට නොහැකිය. මෙහි යුක්තිය සෙවිය යුතුය. තවද අටුවාචාරීන් වහන්සේලාට ශ්‍රද්ධාවෙන් හෝ යායුතුය. (කියූ පරිදි අරුත් ගත යුතුය.) )

6. සචෙ පන නියමිතොකාසතො අඤ්‌ඤත්‍ර මාරෙති, ආණාපකො මුච්‌චතීති අයං නයො මහාඅට්‌ඨකථායං සුට්‌ඨු දළ්‌හං කත්‌වා වුත්‌තො. තස්‌මා එත්‌ථ න අනාදරියං කාතබ්‌බන්‌ති.

(ඉඳින් නියමිත අවකාශයෙන් අන් තැනකදී මරයි ද අණකරු ඇවතින් මිදේ යන මෙම න්‍යාය මහාට්ඨකථාවෙහි මනාව දැඩි කොට කියන ලදි. එබැවින් මෙහි අනාදරියක් නොකළ යුතුය.)

බුදුගොස් මාහිමිපාණෝ තම අදහස් දැක්වූ අයුරින් හා වෙනත් සුදුසු කරුණක් ලදහොත් එතුමන්ගේ අදහස අත්හරින ලෙස දැක්වීමෙන් එතුමන් තුළ පැවති ධර්ම ගරුත්වය හා නිහතමානිත්වය ප්‍රකට වේ. තවද අටුවාව හා එම සිංහල ඇදුරුවරු කෙරෙහි දැක්වූ ගරුත්වය 3 – 6 යන උදෘතයන්ගෙන් ප්‍රකට වේ. ඉහත උදෘත සියල්ලම විනය අටුවාවෙනි. සෙසු අටුවාවන්ගෙන් ද මෙබඳු තැන් රාශියක් දැකගත හැකිය. එක් උදාහරණයක් මෙසේ දක්වමු.

7. ඉමෙ පන තයොපි ථෙරා පණ්‌ඩිතා, ‘තිණ්‌ණම්‌පි වාදෙ කාරණං දිස්‌සතී’ති තිණ්‌ණම්‌පි වාදං තන්‌තිං කත්‌වා ඨපයිංසු.

(තිපිටකචූළනාගත්ථෙර, තිපිටක මහාධම්මරක්ඛිත ථෙර, තිපිටකචූළාභයත්ථෙර යන මේ තෙරුන් වහන්සේලා තිදෙනාම මහානුවණැති උතුමෝය. තිදෙනාගේම වාදයෙහි කාරණයක් ඇතැයි තිදෙනාගේම වාදය තන්තිය (පෙළ මෙන්) කොට තැබූහ.)

මෙහිදී “උභතොභාගවිමුත්ත” යන පදය පිළිබඳ ඉහත නම් සඳහන් ඇදුරුපාණන් වහන්සේලා තිදෙනාගේ අදහස් තුනක් දක්වා ඒ කිසිවක් ප්‍රතික්‍ෂේප නොකොට ඒ උතුමන් කෙරෙහි ඉතා ගරුත්වයෙන් කරුණු දක්වා ඇත.

බුදුගොස් හිමියන්ගේ කාර්යය හා ස්වාභාවය තේරුම් ගැනීමට නුවණැත්තෙකුට ඉහත කරුණු ස්වල්පය වුවත් සෑහෙන බැවින් ඒ පිළිබඳ කරුණු දැක්වීම මෙතෙකින් අවසන් කරමු.