Skip to content

ශීල සමාදන් වැ ගත් යෝගීහු විසින් අප්පිච්ඡතා දි ගුණයන් මැනෙවින් සම්පාදනය කරන්නට නම් ධුතාද්‍ධග සමාදන් විය යුතුය. ධුතාඞ්ග සමාදන් වූ කල ම ඔහුගේ ශීලය අප්පිච්ඡතා, සන්තුඨිතා, සල්ලෙඛ-පිවෙක-අපචය-විරියාරම්භ-සුභරතාදි ගුණ නමැති ජලයෙන් මල සේදී ගොස් පිරිසිදු වන්නේ ය. ව්‍ර‍ත සම්පාදනය වන්නේත් ඔහුට ම ය.

භගවත් බුදුන් වහන්සේ විසින් ලෝකාමිෂය හැරැ පියා කාය ජීවිත දෙකෙහි නිරපෙක්‍ෂ වැ අනුලෝම ප්‍ර‍තිපදාව ලබා ගන්නට කැමැති කුලදරුවන් උදෙසා ධුතාඞ්ග තෙළෙසක් අනුදන්නා ලද්දේ ය.

තෙළෙස් ධුතාඞ්ග නම්

1. පංසුකුලිකඞ්ගය
පංසු නම් වීථි සොහොන් කසල ගොඩ ආදිය අතුරෙන් යම් කිසි තැනෙක පස් ය. ඒ පංසූන්හි කුලයක්-ඉවුරක් මෙන් පවත්නේ පංසුකූලය. මෙහි ඉවුරක් මෙන් පැවැත්ම නම් උස් වැ තිබීම ය. (පස් මතුයෙහි ඉවුරක් මෙන් වැටී තිබෙන දෙය පංසුකූලය යි කී සේ ය. “පංසුසුකූලමිච-පංසුකූලං” යනු විග්‍ර‍හ වාක්‍යයි.)

තව ද යමක් පස් මෙන් පිළිකුල් බවට පැමිණෙන්නේ ද, එ ද පංසුකූලය යි කියනු ලැබේ. මේ අර්‍ථ පක්‍ෂයෙහි පංසු + කු + උල යයි පදචෙඡද කළ යුතු. පංසු නම් පස්. කු නම් කුච්ඡිත – පිළිකුල්. උල නම් පැමිණීම. “පංසු විය කුචඡිත භාවං උලති ගච්ඡතීති පංසුකූලං” යනු එහි විග්‍ර‍හ වාක්‍ය යි.)

පංසුකූල ධැරීම ද පංසුකූල ශබ්දයෙන් ම කියනු ලැබේ. (පංසුකූල ධාරණය යි කිය යුතු තැන ධාරණ ශබ්දය ලොප් විය.) යමෙක් පංසුකූල ධැරීම ස්වභාව කොට ඇත්තේ ද හෙතෙම පංසුකූලික නම් වේ. ඒ පංසුකූලිකයාගේ අඞ්ගය පංසුකූලිකඞ්ගය යි. මෙහි අඞ්ග නම් කාරණය යි. යම් සමාදානයෙකින් භික්‍ෂුතෙම පංසුකූලික වේ ද ඔහුගේ ඒ සමාදාන ලක්‍ෂණ චේතනාව පංසුකූලිකඞ්ග නම් වීය යි දත යුතු යි.

READ MORE

2. තෙචීවරිකඞ්ගය
තෙචීවර නම් සංඝාටි, උත්තරාසඞ්ග, අන්තරවාසක යන සිව්රු තුන ය. ඒ තෙචීවර ධාරණය ද තෙචීවර ය. යමෙක් තෙචීවර ධාරණය ස්වභාවකොට ඇත්තේ ද හෙතෙම තෙචීවරිකය. තෙචීවරිකයාගේ අඞ්ගය තෙචීවරිකඞ්ගය යි.

READ MORE

3. පිණ්ඩපාතිකඞ්ගය
භික්‍ෂා සංඛ්‍යාත ආමිස පිණ්ඩයන්ගේ පාතය පිණ්ඩපාතය. එ නම් අනුන් විසින් දෙන ලද පිණ්ඩයන් පාත්‍රයෙහි හීමයි. ගෙයක් ගෙයක් කරා ගොස් ඒ පිණ්ඩපාතය සොයා ගන්නේ පිණ්ඩපාතිකය. පිණ්ඩපාතිකයා ගේ අඞ්ගය පිණ්ඩපාතිකඞ්ගය යි. නොහොත් පිඬු පිණිස හැසිරීමේ ව්‍ර‍තය යමෙකුට ඇත්තේ ද හෙතෙම පිණ්ඩපාතීය. පිණ්ඩපාතී ම පිණ්ඩපාතිකය. පිණ්ඩපාතිකයා ගේ අඞ්ගය පිණ්ඩපාතිකඞ්ගය යි.

READ MORE

4. සපදානචාරිකඞ්ගය
දාන නම් මෙහි කඩ කිරීමය. දානයෙන් අපේත වූයේ අපදානය. හෙවත් නො කඩකිරීම ය. අපදාන හෙවත් නො කඩකිරීම සහිත වූයේ සපදානය. එවිට එහි අර්‍ථය ගෙපිළිවෙළින් යනුයි. සපදාන හෙවත් ගෙපිළිවෙළින් පිඬු සොයා හැසිරීම යමෙකුගේ ශීලය ද හෙතෙම සපදානචාරීය. සපදානචාරී ම සපදානචාරිකය. සපදානචාරිකයාගේ අඞ්ගය සපදානචාරිකඞ්ගය යි.

READ MORE

5. එකාසනිකඞ්ගය
එක ආසනයෙක් ම හිඳැ වැළදීම ඒකාසනය ඒ ඒකාසනය යමෙකුගේ සීලය ද හෙතෙම ඒකාසනිකය. ඒකාසනිකයාගේ අඞ්ගය එකාසනිකඞ්ගය යි.

READ MORE

6. පත්තපිණ්ඩකඞ්ගය
පත්තපිණ්ඩ නම් දෙවන භාජන ප්‍ර‍තික්‍ෂෙප කොටැ එක ම පාත්‍රයෙහි ගන්නා පිණ්ඩය යි. ඒ පත්තපිණ්ඩය හෙවත් එක ම පාත්‍රයෙහි පිඬු ගැන්ම – වැළඳීම යමෙකුගේ සීලය වේ ද හෙතෙම පත්තපිණ්ඩිකය. පත්තපිණ්ඩිකයාගේ අඞ්ගය පත්තපිණ්ඩිකඞ්ගය යි.

READ MORE

7. ඛලුපච්ඡාභත්තිකඞ්ගය
ඛලු යනු ප්‍ර‍තිෂෙධාර්‍ථයෙහි නිපාතයෙකි. පච්ඡාභත්ත නම් පවාරණ වීමෙන් පසු ලැබෙන බතයි හෙවත් භෝජනය යි. ඒ භෝජනය වැළඳීම ද මෙහි පච්ඡාභත්ත ශබ්දයෙන් ම කියනු ලැබේ. පච්ඡාභතතය හෙවත් පවාරණ වීමෙන් පසු වැළඳීම යමෙකුගේ ශීලය වේ ද හෙතෙම පච්ඡාභත්තිකය එබඳු ස්වභාවය නැත්තේ ඛලුපච්ඡාභත්තිකය. පවාරණ වීමෙන් පසු ලැබෙන භෝජනය වැළඳීම සමාදන් වීම් වශයෙන් හැර පියූ භික්‍ෂුව මෙහි ඛලුපච්ඡාභත්තිකය යි කියන ලදැයි දත යුතු යි.

මේ සඳහා අටුවායෙහි දැක්වුණේ අන්‍ය ක්‍ර‍මයෙකි.

ඒ මෙසේ යි :- ඛලු යනු පක්‍ෂි විශේෂයකි. ඒ පක්‍ෂියා මුඛයෙන් ගත් ඵලය ඉදින් බිම වැටී ගියේ නම් අන්‍ය ඵලයකු දු නො කන්නේ ය. එසේ මැ යම් භික්‍ෂු කෙනෙක් පවාරණ වීමෙන් පසු ලැබෙන භෝජනය නො වළඳන්නේ ද? හෙතෙම ඛලුපච්ඡාභත්තිකය යි කියනු ලැබේ යනු යි.

READ MORE

8. ආරඤ්ඤිකඞ්ගය
(ආරඤ්ඤ නම් ගම්මානයෙන් දුනු පන්සියයෙකින් ඈත වනය යි) අරණ්‍යයෙහි විසීම යමෙකුගේ ස්වභාවය ද හෙතෙම ආරඤ්ඤිකය. ආරඤ්ඤිකයාගේ අඞ්ගය අරඤ්ඤිකඞ්ගයයි.

READ MORE

9. රුක්ඛමූලිකඞ්ගය
වෘක්‍ෂමූලියෙහි වාසය රුක්ඛමූලය. රුක්ඛමූල වාසය යමෙකුගේ ස්වභාවය වේද හෙතෙම රුක්ඛමූලිකය. රුක්ඛමූලිකයාගේ අඞ්ගය රුක්ඛමූලිකඞ්ගය යි.

READ MORE

10. අබ්භෝකාසිකඞ්ගය
අභ්‍යවකාශ වාසය අබේභාකාසය අභ්‍යවකාශ නම් සෙවන නැති අහසයි. අබේභාකාස වාසය යමෙකුගේ ස්වභාවය වේද හෙතෙම අබේභාකාසිකය. අබේභාකාසිකයාගේ අඞ්ගය අබ්භොකාසිකඞ්ගය යි.

READ MORE

11. සෝසානිකඞ්ගය
සුසානයෙහි වාසය සුසානය. සුසාන නම් සොහොන. සුසාන වාසය යමෙකුගේ ස්වභාවය වේ ද හෙතෙම සෝසානිකය. සෝසානිකයාගේ අඞ්ගය සෝසානිකඞ්ගය යි.

READ MORE

12. යථාසත්‍ථතිකඞ්ගය
යථාසත්‍ථත නම් ‘මෙය ඔබ වහන්සේ වෙනුවට පත් වුණේය’යි පළමුකොට නියම කරන ලද සේනාසනය යි. එහි වාසය ද යථාසත්‍ථය. යථාසත්‍ථ වාසය යමෙකුගේ ශීලය වේද හෙතෙම යථාසත්‍ථකිය. ඔහුගේ අඞ්ගය යථාසත්‍ථතිකඞ්ගය යි.

READ MORE

13. නෙසජ්ජිකඞ්ගය
නිසජ්ජා නම් සයනය (නිදාගැනීම) හැරැ පියා හිඳැගෙනැම කල් යැවීම ය. නිසජ්ජාව යමෙකුගේ ස්වභාවය වේ ද හෙතෙම නෙසජ්ජික ය. නෙසජ්ජිකයාගේ අඞ්ගය නෙසජ්ජිකඞ්ගය යි.

READ MORE