පරලෝසැපත් ගුණවත් පුද්ගලයන්ට ගරු කිරීමේ ක්‍රමයක් ශිෂ්ට මනුෂ්‍යයන් අතර ඇත්තේ ය. සොහොන් කොත් පිහිටවීම-පිළිරූ පිහිටවීම – ස්මාරක පිහිටවීම – ඒවාට අභිවාදනය කිරීම – මල්වඩම් ආදියෙන් පිදීම යනාදිය මිය ගිය උත්තමයන්ට ගරු කිරීම් වශයෙන් ශිෂ්ට මනුෂ්‍යයන් කරන වැඩ ය. පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් කිරීම් වශයෙන් සැදැහැවතුන් අනුගමනය කරන්නේ ද ඒ ක්‍රමය ම ය. බුද්ධාදි ආර්‍ය්‍යයන් වහන්සේලා උදෙසා කරන සොහොන් කොත් පිළිරූ සිහිවටන් චේතිය (චෛත්‍ය) නාමයෙන් හඳුන්වනු ලැබේ. උත්තම පුද්ගලයන් උදෙසා සොහොන් කොත් ආදිය පිහිටවීම ඒ පුද්ගලයන් ගේ නියෝගයක් හෝ ඉල්ලීමක් නිසා කරන්නක් නො වේ.
මහත්මා ගාන්ධිගේ පිළිරුව තනන ලද්දේ එතුමාගේ නියෝගයක් ඉල්ලීමක් නිසා නොවේ. කොළඹ විහාර මහාදේවි උයනෙහි විහාර මහාදේවි පිළිරුව පිහිටවා ඇත්තේත් – ධර්මපාල පිළිරුව – සේනානායක පිළිරුව යන මේවා පිහිටවා ඇත්තේත් ඒ අයගේ ඉල්ලීමක් හෝ නියෝගයක් නිසා නො වේ. එසේ ම තථාගතයන් වහන්සේ උදෙසා චෛත්‍ය පිහිටවීම කරන්නේත් උන් වහන්සේගේ නියෝගයක් නිසා නො වේ. උත්තම පුද්ගලයන් හට තැන තැන දී ගරු කිරීමට කරන මේ වැඩ පිළිවෙල හෙවත් ඒ ශිෂ්ට චාරිත්‍රය තථාගතයන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දක් නොව, උන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දකි.
චෛත්‍ය තුන
බුදුරජාණන් වහන්සේ ජනසංග්‍රහය පිණිස ජනපද චාරිකාවෙහි වැඩවදාළ අවස්ථාවල දී සුවඳ මල් ආදිය ගෙන ජේතවනාරාමයට පැමිණෙන බොහෝ දෙනා ඒවා පිදීමට තැනක් නැතිකමින් බුදුන් වහන්සේ වැඩ වෙසෙන ගඳකිළිය දොරකඩ තම තමන් ගෙනා දෑ දමා යන්නට වූහ. එයින් ඒ මිනිස්සු සතුටක් නො ලබන්නාහ. ඒ බව දත් අනේපිඬු මහසිටාණෝ තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙරට පැමිණි කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, තථාගතයන් වහන්සේ නැති කල්හි මේ විහාරය මහජනයාට පිහිටක් නැති තැනක් වන්නේය. මිනිසුන්ට සුවඳ මල් ආදිය ගෙනැවිත් පිදීමට තැනක් මෙහි නැත්තේ ය. මේ කාරණය තථාගතයන් වහන්සේට සැල කොට මෙහි පූජනීය ස්ථානයක් ඇති කළ හැකි ද? නො හැකි ද? යන බව තථාගතයන් වහන්සේගෙන් දැනගනු මැනව” යි සැල කෙළේ ය.
ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන තථාගතයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, චෛත්‍ය කොතෙක් ඇත්තේදැ” යි විචාළහ. “ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේය” යි වදාළ සේක. “ඒ චෛත්‍ය කවරේදැ” යි විචාළ කල්හි: “ආනන්දය, ශාරීරිකය පාරිභෝගිකය උද්දේසිකය යි චෛත්‍ය තුනක් ඇත්තේය” යි වදාළ සේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැඩ ඉන්නා කල්හි චෛත්‍ය කළ හැක්කේදැ” යි විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ, “ආනන්දය, ශාරීරික චෛත්‍යය නො කළ හැකි ය. එය කළ හැක්කේ බුදුන් පිරිනිවි කල්හිය. උද්දේසිකයට ශාරීරික පාරිභෝගික වස්තු නැත. සිතින් ආදරය කිරීම් මාත්‍රයෙන් උද්දේශික චෛත්‍යය වන්නේය. බුදුන් විසින් පරිභෝග කළ මහාබෝධි බුදුන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය”යි වදාළ සේක. මේ ප්‍රවෘත්තිය පිටකත්‍රයට අයත් පොතක සඳහන් වී නැත. මෙය සඳහන් වී ඇත්තේ කාලිංග බෝධි ජාතක නිදානයේ ය: එහි සඳහන් වන පාළිපාඨය මෙසේ ය.
“ආනන්ද සාරීරිකං න සක්කා. තඤ්හි බුද්ධානං පරිනිබ්බුතකාලෙ හොති. උද්දෙසිකං අවත්ථුකං මමායනමත්තමෙව හොති. බුද්ධෙහි පන පරිභුත්තො මහාබොධි බුද්ධෙසු ධරන්තෙසුපි පරිනිබ්බුතෙසුපි චෙතියමෙවා” ති.
මේ දේශනාවෙහි “උද්දෙසිකං අවත්ථුකං මමායන මත්තමෙව හොති” යන පාඨය අර්ථය තේරුම් ගැනුමට අපහසු පාඨයෙකි. බුද්ධ ප්රතිමාවලට වැඳුම් පිදුම් කිරීම පිළිබඳ මතභේදයක් පැන නැඟ ඇත්තේ මේ පාඨය නිසා ය. කාරණය ඉතා කොටින් දක්වන මෙබඳු පාඨවල අර්ථය සෙවීමේදී ඒ දේශනාවේ නිදානය සලකා බැලිය යුතු ය. ඒ කාරණය පෙළ අටුවා ආදියෙහි හා තවත් තැන්වල දක්වා ඇති සැටිය ගැන ද බැලිය යුතු ය. ආචාර්ය්ය පරම්පරාවෙහි පැරණියන් ඒ කාරණය සම්බන්ධයෙන් කෙසේ පිළිපදින ලද්දේ ද යන්න ගැනත් සලකා බැලිය යුතු ය.
මෙබඳු පාඨවල අර්ථය උඩින් පෙනෙන සැටියට ගතහොත් නියම අර්ථය අසු නො වන්නේ ය. ඒ පාඨයේ අර්ථය වරදවා තේරුම් ගත් ඇතැම්හු උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වේය, බුදුගුණ සිහි කිරීම් මාත්‍රය ම උද්දේශික චෛත්‍යය” යි කියති. එසේ අර්ථය ගැනීම ඒ දේශනාවේ නිදානයට කොහෙත් ම නො ගැලපේ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් චෛත්‍ය ගැන විචාළේ ජේතවනාරාමයට පැමිණෙන ජනයා විසින් වැඳුම් පිදුම් කිරීමට වස්තුවක් ඇති කරනු සඳහා ය. වැඳුම් පිදුම් කිරීමට සුදුසු වස්තූන් අසන කල්හි එයට පිළිතුරු දෙන තැනැත්තා එයට වස්තු නො වන්නක් කියා නම් එය “යන්නේ කොහි දැයි අසන්නා හට මල්ලේ පොල්ය” කීම වැනි කාරණයට නො ගැලපෙන හිස් කථාවක් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ එබඳු හිස් කථා නො කියන්නාහ.
උද්දේසික චෛත්‍යය වැඳුම් පිදුම් කිරීමට තබා ගත නො හෙන සිතීම් මාත්‍රයක් නම්, මෙ තන්හි බුදුරජාණන් වහන්සේ ශාරීරික, පාරිභෝගික චෛත්‍ය දෙක පමණක් දක්වා වදාරනවා මිස, පලක් නැතිව උද්දේශික චෛත්‍යයක් ගැන නො වදාරන්නාහ. මෙ තන්හි උන් වහන්සේ උද්දේශික චෛත්‍යයක් ගැන වදාළේ එයත් වැඳුම් පිදුම් කිරීමට සුදුසු වස්තුවක් වන නිසා ය. උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වේ ය යි කීම දේශනා නිදානයට නො ගැලපෙන බව කියන ලද කරුණු අනුව දත යුතු ය.
චේතිය යන වචනයේ අර්ථය නිධිකණ්ඩ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබෙන්නේ “චයිතබ්බන්ති චෙතියං: පූජෙතබ්බන්ති වුත්තං හොති” එයින් දක්වන්නේ චේතිය යන වචනයේ තේරුම: පූජා කළ යුතු වස්තුවය කියා ය. වැඳුම් පිදුම් කිරීමට වස්තුවක් නො වන දෙයකට ‘චේතිය’ යයි නො කිය හැකි ය. වැඳුම් පිදුම් කිරීමට තබා ගත නො හෙන බුදු ගුණ සිහි කිරීම් මාත්‍රය චෛත්‍යයක් නො විය හැකිය. උද්දේශික චෛත්‍යය වශයෙන් අවස්තුවක් ගැනීම චේතිය යන වචනයේ අර්ථය හා සැසඳෙන්නේ නො වේ. චේතිය යන වචනයේ අර්ථයට ගැලපෙන්නට නම් උද්දේශික චේතිය සැටියට වස්තුවක් ම ගත යුතු ය. චෛත්‍යය තුන නිධිකණ්ඩ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේ ය:
“තං පනෙතං තිවිධං හොති, පරිභොගචෙතියං උද්දිස්සක චෙතියං ධාතු චෙතියන්ති. තත්ථ බොධි රුක්ඛො පරිභොගචෙතියං, බුද්ධපටිමා උද්දිස්සක චෙතියං, ධාතුගබ්භ ථූපා සධාතුක චෙතියං”
පරිභෝග චේතිය උද්දිස්සක චේතිය ධාතු චේතිය කියා ඒ චෛත්‍යය ත්‍රිවිධ වන්නේ ය. එහි බෝරුක පරිභෝග චේතිය ය, බුද්ධ ප්‍රතිමාව උද්දිස්සක චේතිය ය, ධාතුගර්භ වූ ස්තූප සධාතුක චේතිය ය යනු ඒ අටුවා පාඨයේ තේරුම ය.
බුද්ධ පටිමා උද්දිස්සක චෙතියං යන මේ අටුවා පාඨයෙන් බුදු පිළිමය උද්දේශික චෛත්‍යය බව නිරවුල් ලෙස ම දැක්වේ. ජාතක අටුවාවය, ඛුද්දකපාඨ අටුවාවය යන මේ පොත් දෙක ම සම්පාදනය කර තිබෙන්නේ එක ම ආචාර්ය්යවරයා විසින් ය. එක ම ආචාර්ය්යවරයෙක් එක ම කාරණයක් එකිනෙකට විරුද්ධ වන ලෙස නො ලියන්නේ ය. ඛුද්දකපාඨ අටුවාවෙහි බුදු පිළිමය උද්දේශික චේතිය බව කියා තිබීමෙන් උද්දෙසිකං අවත්ථුකං යනාදි පාඨයෙන් ගතයුතු අර්ථයත් යම්කිසි වස්තුවක් ම බව කිය යුතු ය. උද්දෙසිකං අවත්ථුකං යනුවෙන් කියැවෙන්නේ; උද්දේශිකයට ශාරීරික පාරිභෝගික වස්තු නැති බව ය. උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වන බව දැක්වීමට නම් කිය යුත්තේ “උද්දෙසිකං අවත්ථුකං” කියා නොව “උද්දේසිකං අවත්ථු” කියා ය. ශරීරයේ කොටසක් වීමෙන් ශාරීරික චෛත්‍යය වේ. පරිභෝග කළ වස්තුවක් වීමෙන් පාරිභෝගික චෛත්‍යය වේ. මේ බුදුන් වහන්සේ ගේ රූපය යනාදීන් සලකා සිතින් ආදරය කරනු ලැබීමෙන් උද්දේශික චෛත්‍යය වේ. “මමායන මත්තමෙව” යන පාඨයෙන් දැක්වෙන්නේ ඒ බව ය. මමායන මාත්‍රය ම චෛත්‍යය යි ගතහොත් එය විහිළුවකි. එයින් වන්නේ මහ අවුලෙකි. මමායනය ම චෛත්‍යයක් වශයෙන් ගතහොත් උද්දේශික චෛත්‍යය කියා වැඳුම් පිදුම් කරන්නට සිදුවන්නේ තමා ගේ සිතට ය. එය කළ හැකි වැඩක් ද?
පිරිනිවන් පා වදාළ බුදුන් වහන්සේට පූජා පැවැත්විය යුත්තේ ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි ය. එසේ කළ කල්හි බුදුන් වහන්සේට පූජා කළේ වන්නේ ය. චෛත්‍යයක් නො ලබන කල්හි කොතැනක හෝ බුදුන් උදෙසා පූජා පැවැත්වීම සුදුසු ය. සැදැහැයෙන් පිදුවහොත් බුදුන් උදෙසා කොතැනක පිදුවත් පින් සිදු වේ.