වැඳුම් පිදුම් කිරීමට ගාථාවන් වුවමනා බවක් පිටකත්‍රයෙහි හෝ අටුවා ටීකාවල හෝ සඳහන් වී නැත. පැරණියන් වැඳුම් පිදුම් කළේ ගාථා කීමක් නැතිවය. චෛත්‍යය හෝ බෝධිය වැඳිය යුතු ආකාරය සාමඤ්ඤ ඵල සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ ය.
චෙතියංගණං ආරුය්හ මහන්තං චෙ චෙතියං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතුසු ඨානෙසු වන්දිතබ්බං. ඛුද්දකං චෙ තථෙව පදක්ඛිණං කත්වා අට්ඨසු ඨානෙසු වන්දිතබ්බං, චෙතියං වන්දිත්වා බොධියංගණං පත්තෙනා පි බුද්ධස්ස භගවතො සම්මුඛා විය නිපච්චාකාරං දස්සෙත්වා බොධිං වන්දිතබ්බො.
“සෑ මලුවට නැඟ ඉදින් සෑය මහත් වේ නම් තුන් වරක් ප්රදක්ෂිණා කොට සතර තැනක දී වැඳීම කළ යුතු ය. ඉදින් සෑය කුඩා නම් එසේ ම ප්රදක්ෂිණා කොට අට තැනක දී වැඳිය යුතු ය. චෛත්‍යය වැඳ බෝ මලුවට පැමිණියහු විසින් බුදුන් වහන්සේ ඉදිරියෙහි මෙන් ගෞරව කොට බෝධිය වැඳිය යුතුය” යනු එහි තේරුම ය.
ගාථා කිය යුතු බවක් එහි සඳහන් වී නැත. එහි සඳහන් වන්නේ ප්රදක්ෂිණා කරමින් තැනින් තැන නැවතී පසඟ පිහිටුවා වැඳිය යුතු බව ය. මේ කරුණ මෙසේ ම තවත් අටුවාවල ද සඳහන් වී ඇත්තේ ය. වැඳුම් පිදුම් කිරීමෙන් ලත් අනුසස් දැක්වෙන කථා බොහෝ ගණනක් අපදාන – විමානවත්ථු යනාදි පොත්වන එන්නේ ය. කවරකු විසින්වත් ගාථා කියා වැඳුමක් පිදුමක් කළ බවක් ඒ කථාවල සඳහන් නො වන්නේ ය. අපදානයේ කථා කීපයක ගාථා කියා බුදුන් වහන්සේට ස්තුති කළ බව සඳහන් වී ඇත්තේ ය. ඒ අය ඒ ගාථා කීයේ ස්තුති පූජාවක් වශයෙනි.
බුදුන් වහන්සේ ජීවමාන කාලයේ දී උන් වහන්සේ වෙත පැමිණෙන ජනයා ගාථා කියා වඳින්නට පටන් ගත්තා නම් කොතරම් අවුලක් වේද කියා සිතා බැලිය යුතු ය. උන් වහන්සේ වෙත පැමිණෙන අය වැඳීම කළේ ගාථා නැතිව ය. මල් ආදිය පිදුවේත් ගාථා නො කියා ය. එසේ ම දැනුදු ගාථා නො කියා වැඳීම හා මල් පහන් ආදිය පිදීම කළාට ඇති වරදක් නැත.
විහාරයට චෛත්‍ය මලුවට හෝ බෝ මලුවට ගොස් පසඟ පිහිටුවා තුෂ්ණීම්භූතව වැන්දාම වැඳීමේ කුශලය අත්පත් වේ. බුදුනට පිදීමේ අදහසින් මල් පහන් ආදිය පූජාසනය මත තැබුවාම පූජා කිරීමේ කුශලය අත්වේ. ගාථා නො කීමෙන් වැඳීම පිදීම සිදු නො වීමක් නැත. ඇතැම්හු ගාථා කියන්නත් වුවමනා ම ය යි වරදවා සිතා ගෙන ගාථා නො දැනීම නිසා වැඳුම් පිදුම් කරන්නට ද නො යෙති. එය වැරදි හැඟීමෙකි. ගාථා නො දත් අය විසින් ගාථා නො කියා වැඳුම් පිදුම් කළ යුතු ය.
ඇතැම්හු තමන් ගාථා කියන්නට නො දත් බැවින් වැඳුම් පිදුම් කරන්නට වුවමනා වූ විට ගාථා කියවා ගන්නට තවත් අය සොයමින් වෙහෙසෙති. දේව පූජා වලට කපුවකු සොයන්නාක් මෙන් බුද්ධ පූජා කිරීමට ගාථා කියවන අය සෙවීමට වුවමනා නැත. කියවන කෙනකු ඇති නම් ගාථා කියවා ගත්තාට ද වරදක් නැත. ගාථා කීමේ සිරිත මෑත කාලයේ ඇති වූවකි. තේරුමක් නො දැන ගාථා කීම එතරම් පලක් ඇති වැඩකැයි නො කිය හැකි ය. තේරුම දැන ගෙන ගාථා කියනවා නම් එසේ කරන්නා හට වචනයක් පාසා කුශල් ඇති වේ. ගාථා කියන පින්වතුන් ඒවායේ තේරුම දැන ගන්නටත් උත්සාහ කළ යුතු ය. වැඳුම් පිදුම් කිරීමේ දී සිය බසින් ගෙතුණු තුනුරුවන් ගුණ පාඨ භාවිත කිරීම වඩාත් හොඳ බව කිය යුතු ය. වැඳුම් පිදුම් කිරීමේ දී රත්නත්‍රය ගුණ කී පමණට පින් සිදු වන බව සැලකිය යුතු ය.