මෙසේ අසන ලදි. කවරදාක ගෞතමියට බුදුරදුන්ට වස්ත්‍ර යුගලක් දෙන්නට සිතක් උපන්නේ ද? බුද්ධත්වයට පැමිණ පළමු ගමනින් කිඹුල්වතට පැමිණි කාලයෙහිය. එකල්හි බුදුරදුන්ගේ රූප ශෝභාව දැක මහාප්‍රජාපතී ගෞතමිය සිතීය. මාගේ පුතාගේ ආත්මය හොබනේ යැයි අයට මහත් සතුටක් උපණ එයින් සිතීය. මාගේ පුතාට අවුරුදු විසි නවයක් ගිහිගෙදර වාසය කරද්දී යටත් පිරිසෙන් පුවක් ගෙඩියක් පමණකුදු මා විසින් නොදෙන ලද්දේය. දැන් ඔහුට පිණිස සළුවක් දෙන්නෙමියි මේ රජගහනුවර බොහෝ වටිනා වස්ත්‍ර ඇත. ඒවා මා සතුටු නොකරත්. සිය අතින් කරන ලද ම මා සතුටු කරයි. සිය අතින් කොට දෙන්නෙමියි සිතක් ඉපදවීය.

ඉක්බිතිව කඩයෙන් කපු ගෙන්වා සිය අතින් නෙළා තලා සියුම් නුල් කැටීම් කර ඇතුළෙහි ම ශාලාවක් කරවා ශිල්පීන් කැඳවා ඔවුන්ට ආහාර පාන දී වියවුයේය. කලින් කල කිරිමව්වරුන් පිරිවරා ගොස් දඬු කෙළවර ගත්තේය. නිමි කල්හි ශිල්පීන්ට බොහෝ සත්කාර කර වස්ත්‍ර යුගලය සුවඳ කරඬුවක දමා සුවඳ ගන්වා මගේ පුතාට සිවුරු පිණිස වස්ත්‍රයක් ගෙන යන්නෙමියි රජුට දැන්වීය. රජු මාර්ගය පිළියෙළ කරවීය. වීදි හැමද පුන්කලස් තබා කොඩි සෙසත් ඔසවා රජ ගෙදර දොරටුව පටන් නිග්‍රෝධාරාමය දක්වා මාර්ගය පිළියෙළ කරවා මලින් ගැවසීම් කළාහ. මහාප්‍රජාපතිය සියලු ආභරණයන්ගෙන් සැරසී කිරිමව්වරුන් විසින් පිරිවරණ ලදුව කරඬුව හිසෙහි තබා බුදුරදුන් ළඟට ගොස් ඉදම්මෙ භන්තෙ නවං දුස්සයුගන්ති යනාදිය කීය.

ගෞතමිය සංඝයාට දෙවයි කී කල්හි ස්වාමීනි, මම රෙදි කොටුවෙන් භික්‍ෂූන් සීයකට ද දහසකට ද ලක්‍ෂයකට ද සිවුරු සඳහා රෙදි දෙන්නට පොහොසත් වෙමි. ස්වාමීනි, මෙය බුදුරදුන් උදෙසා ම මා විසින් වියන ලදී. මා විසින් කටින ලදි. ස්වාමීනි, එහෙයින් එය මා උදෙසා පිළිගනිත්වායි කීවාය. මෙසේ තුන්වරක් දක්වා ඉල්ලීය. බුදුරදුන් ද ප්‍රතික්ෂේප කළේය.

කුමක් නිසා බුදුරදුන් තමන්ට දෙනු ලබන්න භික්‍ෂු සංඝයාට දෙන්න යැයි කීවේ ද? මව කෙරෙහි අනුකම්පාවෙනි, උන්වහන්සේට මෙබඳු සිතක් ඇති විය. මැයට මා අරබයා පූර්ව චේතනාව මුඤ්චනචේතනාව අපරචේතනාව යැයි චේතනා තුනක් ඉපදුනාහ. මැයට භික්‍ෂු සංඝයා කෙරෙහි ද එබඳු සිතක් උපදීවා. මෙසේ ඇයට චේතනා හය එක්ව බොහෝ කලක් හිතසුව පිණිස පවතින්නේ ය යනුයි.

විතණ්ඩවාදීහු මෙසේ කීහ. සංඝයාට දීම මහත්ඵළ වේ යැයි කියන්නෙහි ද? එසේ යැයි කියමි. සූත්‍රය ගෙනෙයි. ගෞතමිය සංඝයාට දෙව. තා විසින් සංඝයාට දුන් කළ මම ද පුදන ලද්දේ වන්නෙමියි. සූත්‍රයෙහි ද මේ තේරුමයි. මෙය එසේ නම් ආනන්ද, කුසගිනි වූවන්ට කැවුම් දෙවයි. හකුරු දෙවයි යනුවෙන් වචනයෙන් කුසගිනි වූවන්ට දෙන ලද්දක් මහත්ඵල වේද බුදුරදුන් තමාට දෙන ලද්ද දෙවයි කීය. රාජ රාජ මහාමාත්‍යයෝ ද තමාට ගෙනෙන පඬුරු ඇත්ගොව්වන් ආදීන්ට දෙවයි කීවත් ඔවුන් රජුන්ට වඩා මහත් වන්නාහු ද? එහෙයින් එසේ නොගනුව.

මේ ලෝකයෙහි හෝ පරලෝකයෙහි හෝ බුදුරදුන් හා සමාන ශ්‍රේෂ්ඨයෙක් නොවෙයි. යමෙක් ආහුනෙය්‍ය වේද ඔවුන් අතරෙන් අග්‍ර බවට ගියේය. පින් කැමැත්ත වුවන්ට මහත් ඵලයක් වෙයි.

වචනයෙන්වත් බුදුරදුන්ට වඩා උතුම් දක්‍ෂිණාර්හ කෙනෙක් නැත. මෙසේ චේතනා හය එකතුව බොහෝ කලක් හිතසුව පිණිස පවතිත්. කුමක් සඳහා තුන්වරක් බැහැර කොට සංඝයාට දෙවයි කීවේ ද?

පශ්චිම ජනයාට සංඝයා කෙරෙහි ගෞරව ඇතිවීම පිණිසයි. මෙසේ කීය. මෙසේ ද සිතක් විය. මම සජිවි දීර්ඝ නොවෙමි. මාගේ ශාසනය සංඝයා කෙරෙහි පිහිටන්නේය. පශ්චිම ජනතාව සංඝයා කෙරෙහි ගෞරව උපදවා යි තුන් වරක් ප්‍රතික්‍ෂේප කොට සංඝයාට දෙවීය. මෙසේ ඇති කල්හි බුදුරදුන් තමාට දෙන ලද්ද සංඝයාට දෙවීය. සංඝයා දක්‍ෂිණාර්හය ය. පශ්චිම ජනතාව සංඝයා කෙරෙහි ගෞරව උපදවා සිව්පසය දිය යුතු යැයි සිතන්නේය. සංඝයා සිව්පසයෙන් ක්ලාන්ත නොවී බුද්ධ වචනය ඉගෙන මහණකම කරන්නේය. මෙසේ මාගේ ශාසනය අවුරුදු පන්දහසක් පිහිටන්නේ ය.

බුදුරදුන්ට වඩා උතුම් දක්‍ෂිණාර්හ කෙනෙක් නැත. ආනන්ද තෙරුන්ට මහා ප්‍රජාපතිය කෙරෙහි ක්‍රෝධයක් හෝ වෛරයක් නැත. තෙරුන් වහන්සේ ඇයගේ දක්‍ෂිණාව මහත්ඵල වේවයි කැමති නැතිව නොවේ. තෙරුන් පණ්ඩිතය. බහුශ්‍රැතය. සේඛ පටිසම්භිදා පැමිණියේය. උන්වහන්සේ බුදුරදුන්ට දෙන ලද්දෙහි මහත්ඵල බව බලනේ ස්වාමීනි, බුදුරදුන් පිළිගනීවායි ගැනීම පිණිස ඉල්ලීය.