චෛත්‍යය බිඳිත්ද බෝධිය සිඳිත්ද ඔවුනට කුමක් වේද?

තථාගතයන්වහන්සේ පිරිනිවන් පෑකල්හි යමෙක් චෛත්‍යය බිඳිත්ද බෝධිය සිඳිත්ද ධාතූන් විෂයෙහි (පැහැරගැනීම් සඳහා) උපක්‍රම යොදත්ද ඔවුනට කුමක් වේද? ආනන්තර්යය සමානවූ බැරෑරුම් කර්‍මයක් වෙයි. ධාතු සහිතවූ ස්තූපයකට හෝ ප්‍රතිමාවකට හෝ බාධා කරන්නාවූ බෝඅත්තක් සිඳීම වටී. තවද එහි සැඟවුණු පක්‍ෂීහු චෛත්‍යයෙහි වසුරු හෙළත්ද සිඳීමට වටනේමය. පාරිභොගික චෛත්‍යයට වඩා ශරීර චෛත්‍යය මාහැඟි වෙයි. චෛත්‍යවස්තුවක් බිඳ යන්නාවූ බෝමුලක් වුවද සිඳ ඉවත්කිරීම වටී. යම් බෝ අත්තක් බෝධිඝරය වළහා සිටීද එය ගෙය රැකීම සඳහා සිඳීමට සුදුසු නොවෙයි. ගෙය බෝධිය සඳහාය. ගෙය සඳහා බෝධිය නොවේ. ආසනඝරයෙහිද මේ ක්‍රමයමයි. යම් ආසනඝරයක ධාතු තැන්පත් කරනලද්දේ වේද? එය ආරක්‍ෂා කිරීම සඳහා බෝඅත්ත සිඳීම වටී. බෝධිය පිළිදැඟුම් කිරීම සඳහා ඉස්ම වැගිරෙන අත්තක් හෝ කුණුවීගිය තැනක් හෝ සිඳීමට වටනේමය. සිරුර පිළිදැඟුම් කිරීමෙහි මෙන් පිණද වෙයි.

එම බමුණා පැමිණ බුදුන්ට නොවැඳම ඒ දේවස්ථානයට වැඳ සිටියේය. සුගතයන් වහන්සේද? බ්‍රාහ්මණය මේ ප්‍රදේශය කවර ස්ථානයක් ලෙස සිතන්නේදැයි විමසුහ. අපගේ ප්‍රවේණියෙන් පවතින චෛත්‍ය ස්ථානයකි එනිසා වඳිමියි පැවසීය. මේ ස්ථානය ඔබ වැඳීමෙන් යහපතක් කරන ලැදැයි බ්‍රාහ්මණයා පසසා සතුටු කළේය. මේ කරුණ අසා භික්ෂූන් වහන්සේලා කිනම් කරුණක් නිසා බුදුහු ප්‍රසාදයට පත්කළේදැයි සැකයක් ඇතිකර ගත්හ. අනතුරුව තථාගතයන් වහන්සේ උන්වහන්සේලාගේ සැකය දුරු කරණු සඳහා මජ්ඣිම නිකායේ සඳහන්වන ඝටීකාර සුත්‍රය දේශනා කර ඍධි බලයෙන් කාශ්‍යප බුදුන්ගේ යොදුනක් උස් වු රන් චේතිය හා අනෙක් චෛත්‍යයක් අහසේ මවා මහ ජනයාට දක්වා බ්‍රාහ්මණය මෙබඳුවු ථූපාර්හ පුද්ගලයන්ට පුජා කිරීම යුතුකමකැයි පවසා මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් වන පරිදි බුද්ධාදීන්ට සතර ස්තූප කිරිමට සුදුසු ථූපාර්හ පුද්ගලයන් සිව්දෙනා පවසා – ශාරීරික චෛත්‍ය උද්දෙසික චෛත්‍යය පාරිභෝගික චෛත්‍යය විශේෂයෙන් විස්තර කර දී මේ ගාථාව පැවසුහ.

“පූජාරහෙ පූජයතො, බුද‍්ධෙ යදි ච සාවකෙ;
පපඤ‍්චසමතික‍්කන‍්තෙ, තිණ‍්ණසොකපරිද‍්දවෙ.

“තෙ තාදිසෙ පූජයතො, නිබ‍්බුතෙ අකුතොභයෙ;
න සක‍්කා පුඤ‍්ඤං සඞ‍්ඛාතුං, ඉමෙත‍්තමපි කෙනචී”ති. (අප· ථෙර 1.10.1-2);

එහි පූජාකිරීමට සුදුසු පූජා කිරීමට යුතු යන අයයි. පුජාරහෙ පුජයතො – වැඳිම් ආදී ද සිවුපසයෙන් ද පූජා කරන්නහුට පූජා කිරීමට යෝග්‍යවුවෝ බුදුන් ආදීන් දක්වයි. බුද්ධොති – සම්මා සම්බුදුන් වහන්සේ යදිති – යදිවා නැතහොත් යන අර්ථයි. එහි පසේ බුදුන් යනු කියන ලද. සාවකෙච පපඤ්ච සමතික්කනෙති – ඉක්ම වූ තෘෂ්ණා දිට්ඨිමාන ප්‍රපංචයන් තරණය කළ තිණ්ණසෝකපරිද්දවේ ශෝක වැළපිම් පරිදාවයන් මේ දෙකම ඉක්මවා සිටි යන අරුත ගෙනදෙයි. මෙයින් පුජාවට සුදුසු බව දක්වන ලදී.
තෙති – බුද්ධාදීය තාදිස යන කී දේ ගැනීම් වශයෙනි. නිබ්බුතෙ – රාගාදි නිවීමයි නත්ථි නැත භව වශයෙන් හෝ රාගාදී වශයෙන් නැත. ඒ නිසා අකුතොභය නම් වන සක්කා පුඤ්ඤ සඞ්ඛාතුං – පින් ගැනීමට නොහැකිය. ඉමෙත්තමපි කෙනචී – අපි ශබ්දය මෙහි සබඳ කළයුතු කිසියම් පුද්ගලයකු විසින් මානයෙන් හෝ එහි පුද්ගලයා විසින් ඒ බ්‍රහ්මයා ආදින් විසින් කියා ගැනේ. මානෙන යනු ත්‍රිවිධ මානයෙන් තීරන ධාරණ – පුරණ මෙය මෙපමණ යයි න්‍යාය වශයෙන් තිරණය වේ. ධාරණ යනු තරාදියෙන් දැරීමයි. පිරීම නම් අඩක් පිරුණු සැලියක් සේ පිරිමයි. කිසියම් පුද්ගලයෙක් විසින් මේ තුන් මානයෙන් බුද්ධාදි උතුමන් පුදන්නේ පිං විපාක වශයෙන් ගැනීමට නොහැකිය. පරියන්ත රහිත නම් ස්ථාන දෙකකදී පුජා කරන්නේ. පළමුව දානය යොදන්නේ කුමක් හෙයින්ද? බුදුන් වැඩ සිටියදී බුදුන් පුදන්නේ පිං රැස් කිරීම කළ නොහැකිය. නැවත කෙලෙස් පරිනිර්වාණයේ දී නිමිති වුව ද ස්බන්ධ පරිනිර්වාණයෙන් නිවුන විටද (පිරිනිවන් පෑමට පසුවද) දැරීම භේදය යෙදේ මේ නිසා විමානවත්ථුප්පකරණයේ – මෙලෙසම සඳහන් වෙයි.
තිට්ඨතෙත නිබ්බුත චාපි – බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී ද පිරිනිවන් පෑ විටද සම සිතට සමඵල ඇතිවේ. සිතේ ප්‍රසාදය නිසා පින්කරන පුද්ගලයෝ සුගතියට යති.
දේශනාවසානයේ ඒ බ්‍රහ්මණයා සෝවාන් ඵලයට පත්විය. යොදුනක් උස රන් චේතිය දින හතක්ම අහසේ සිටියේය. මහත් සමාගමයක් එක් රැස් වීමක් සිදුවිය. සත් දිනක් නොයෙක් ආකාරයෙන් පුජා කළහ. විවිධ ආගමිකයිගේ ලබ්ධි බිඳීමක්ද සිදුවිය. බුද්ධානුභාවයෙන් එම චෛත්‍යය සිද්ධස්ථානයේම රැඳුනි එහිම එකෙනෙහි මහත් ශෛලමය චෛත්‍යයක් ඇතිවිය. එම මහජන රැස්වීමේදී අසුහතර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිදුවිය.

කාන්තාවට ලාබාගත නොහැකි භවයන් / තනතුරු

ස්ත්‍රිය සක්විතිරජ වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් සක්විතිරජ වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය ශක්‍රදේවේන්‍ද්‍ර වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් ශක්‍රදේවේන්‍ද්‍ර වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය පාපිමත් මාර වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් පාපිමත් මාර වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය මහාබ්‍රහ්ම වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් මහාබ්‍රහ්ම වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වේ.
 
ඉත්‍ථි රාජා චක්කවත්ති සියාති නෙතං ඨානං විජ්ජති යම්හෙයකින් කෝෂය තුළට බැසගත් ලිංගය ආදිය නැතිකමින් ස්ත්‍රියගේ (මහා) ලක්‍ෂණ නොසපිරෙත් ද ස්ත්‍රීරත්නය නොමැතිකමින් සප්තරත්නයන්ගෙන් යුක්ත බවට නොපැමිණේ ද සියලු මිනිසුන්ගේ ද අධික වූ ආත්මභාවයක් නොවේ ද එහෙයින් කියන ලදි. යම්හෙයකින් ගරුකළ යුතු බව ආදී කරුණු තුන උතුම් වේ ද ස්ත්‍රී ලිංගය හීන වේ ද එහෙයින් ඇගේ ගරු කළයුතු බව ආදිය ද වැළකී යන්නේය. ස්ත්‍රී ලිංගය යම් සේ ද පුරුෂලිංගයත් එසේ නොවේ ද? එහෙයින් බඹලොව මහා බ්‍රහ්මයා පුරුෂයෙක් වන්නේදැයි නොකිවයුතු නොවන්නේ ද? නොකිව යුත්තේ නොවේ. කවර හෙයින් ද? මෙහි පුරුෂයා එහි උපදනා හෙයිනි. ස්ත්‍රීන් වනාහි මෙහි ධ්‍යාන වඩා කළුරිය කොට බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියන්ගේ සහව්‍යතාවට ඉපදෙත්. මහා බ්‍රහ්මයන්ගේ සහව්‍යතාවට නොවේ. පුරුෂයා වනාහි කිසිතැනක නූපදින්නේ යැයි නොකිව යුතුය. උභයලිංග භාවය ඇතිවිටත් ඔවුහු පුරුෂ සලකුණු ඇත්තෝ ම ය. එහි බඹහු ස්ත්‍රී සලකුණු ඇත්තෝ නොවෙත්. එහෙයින් මෙය මනා කියමනකි.  මෙහි සර්වඥ ගුණයන් උපදවා ලෝකයා (සසරින්) එතෙර කිරීමට සමර්ථ වූ බුද්ධභාවය සිටීවා. ඒ සඳහා ප්‍රාර්ථනා මාත්‍රයකට හෝ ස්ත්‍රිය නොපැමිණෙයි.
 
මනුස්සත්තං ලිංග සම්පත්ති හෙතු සත්‍ථාර දස්සනං,
පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරො ච ඡන්‍දතා,
අට්ඨධම්ම සමොධානා අභිනීහාරො සමිජ්ඣතී
 
මනුෂ්‍යත්වය ලිංග සම්පත්තිය, හේතුව, ශාස්තෲ දර්ශනය, පැවිද්ද, ගුණ සම්පත්තිය, අධිකාරය, ඡන්‍දය යන කරුණු අට එක්වීමෙන් ප්‍රාර්ථනාව සමෘද්ධ වේ.
මේවා වනාහි ප්‍රණිධාන සම්පත්ති කරුණුය. මෙසේ ප්‍රාර්ථනා මාත්‍රයක් හෝ සම්පාදනය කරන්නට අසමර්ථ වූ ස්ත්‍රියට බුදුබවක් කොයින්දැයි දක්වන්නට ඉත්‍ථි තථාගතො අරහං සම්මා සම්බුද්ධො සියා නෙතං ඨානං විජ්ජති යි කියන ලදි. හැම අයුරකින්ම පිරිපුන් පුණ්‍යයන්ගේ නැගී සිටීම සියලු ආකාරයෙන් පරිපූර්ණ වූ ආත්මභාවය උපදවන්නේය යන අර්ථයෙන් පුරුෂයාම අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙයි.
 
ඉත්ථි චිත්තං විරාධෙත්වා – ස්ත්‍රී කමට නින්දා වේවා. ස්ත්‍රී බවින් වැඩක් නැත. ස්ත්‍රී භවයෙහි සිට සක්විති සම්පත් නැත. බ්‍රහ්ම සම්පත් නැත. පසේ බුදු විය නොහැක. සම්මා සම්බෝධිය අවබෝධ කළ නොහැක. මෙසේ ස්ත්‍රී සිත කඩා දමති. මේ පුරුෂභාවය මහත්ය. ශ්‍රේෂ්ඨය, උතුම්ය. මෙහි සිට මේ සම්පත්වලට පැමිණිය හැකිය. මෙසේ වනාහි පුරුස බව වඩන්නී නම් සාදන්නී නම් ඕද එසේ කළහ. එහෙයින් කියන ලදී. “ඉත්ථි චිත්තං විරාධෙත්වා පුරිස චිත්තං භාවෙත්වා” ස්ත්‍රී සිත කඩා පුරිස සිත වඩා යනුවෙනි.

යකුන්ට බුදුන් වහන්සේ ප්‍රිය නැති බව

මහණෙනි, පසෙක උන් ම වෙසවුණු මහ රජ මට මෙ පවත් කී ය:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහතෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත්මය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නොපහන් වූ හීන තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ හීන තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නොපැහැදුණ හු ම වෙත්. ඒ කවර හෙයින් ද? යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පණිවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. අයිනාදනින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. මුසවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසනා සේක. මත්බවට හා පමාවට හා කරුණු වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් පණිවායෙන් නො වැළක්කාහු ම ය, අයිනාදනින් නො වැළැක්නාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසාවායෙන් නො වැළැක්කාහු ම ය, මත්බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය. ඔවුනට (භාග්‍යවතුන් වහන්සේ ගේ) ඒ දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ.

වෙසමුනි රජුන් විසින් දෙන දඩුවම් 

යක්‍ෂයෙක් හෝ යක්‍ෂණියක් හෝ යක්‍ෂපෝතකයෙක් හෝ යක්‍ෂපෝතිකාවක් හෝ යක්‍ෂ මහාමාත්‍රයෙක් හෝ යක්‍ෂ පාරිෂද්‍යයෙක් හෝ යක්‍ෂපරිවාරකයෙක් හෝ, ගන්‍ධර්‍වයෙක් හෝ ගන්‍ධර්වියක් හෝ ගන්‍ධර්‍ව පෝතකයෙක් හෝ ගන්‍ධර්‍වපෝතිකාවක් හෝ ගන්‍ධර්‍ව මහාමාත්‍රයෙක් හෝ ගන්‍ධර්‍ව පාරිෂද්‍යයෙක් හෝ ගන්‍ධර්‍ව පරිචාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියෙක් හෝ කුම්භාණ්ඩ පෝතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිචාරකයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපෝතකයෙක් හෝ නාගපොතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාගපාරිෂද්‍යයෙක් හෝ නාග පරිචාරකයෙක් හෝ මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වේෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවකු යන්නහු අනුව (පසු පසැ) යන්නේ ද, සිටියහු වෙත සිටින්නේ ද, උන්නහු වෙ ඉඳුනේ ද, හොත්තහු වෙත හෝනේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මාගේ ගම්හි හෝ නියම්ගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ ආළකමන්‍දා රාජධානියෙහි වසන ගෙයක් හෝ නවාතැනක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ යක්‍ෂ සමාගමයට යන්නට හෝ නො ලබන්නේ ය. වැලි දු නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු ආවාහයක් නො කටහැක්කකු ද විවාහයක් නො කටහැක්කකු ද කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහුට අත්බව එළවා කියනු ලබන පරිපූර්‍ණ පරිභව වචනයෙන් බණින්නාහ. නිදුකාණන් වහන්ස, තව ද අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහපාත්‍රයක් යැටිකුරු කොට ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිස සත් කඩක් කොට පළන්නාහු ද වෙත්.

යමරජු යනු

යමස්ස රඤ්ඤො :-
යනු යමරජු යනු වෙමානික ප්‍රේතරාජයෙකි. එක් කලෙක දිව්‍යවිමානයක දිව්‍යකල්පවෘක්‍ෂ දිව්‍ය උද්‍යාන දිව්‍ය නාටක ස්ත්‍රීන් ආදි සම්පත් අනුභව කරයි. එක් කලෙක කර්‍මවිපාකය විඳියි. ධාර්මික රජෙකි. මෙතෙම හුදෙකලා වූයේම නොවේ. දොරටු සතරෙහි සතර දෙනෙක් වෙත්.

මේ දේවදූතානුයෝගය කවරෙක් ලබා ද කවරෙක් නොලබා ද යමෙක් බොහෝ පාපයන් කරන ලද ද හෙතෙම ගොස් නරකයෙහි උපදියි. යමෙක් පාපයන් ටිකක් කරන ලද්දේ ද හෙතෙම ලබයි. යම් සේ බඩු සහිත සොරා ගෙන කළ යුත්ත ම කරත්. හෙතෙම විනිශ්චය ලබයි. මෙසේ මේ උපමාවයි. ඉතිරි කර්මය තමන්ගේ ස්වභාවයෙන් ම සිහි කරත්. සිහි කරවන්නාහු ද සිහි කරත්.

එහි දී දීඝ ජයන්ත දෙමළ තෙමේ තමාගේ ස්වභාවයෙන් ම සිහි කළේය. ඒ දෙමළ තෙමේ සුමනගිරි වෙහෙර අහස් චෛත්‍යය රතු වස්ත්‍රයෙන් පිදීය. එකල නරකයෙහි උස්සදයට සමීපයෙහි උපන්නේ ගිනි දැල්වල ශබ්දය අසා තමා පුදන ලද වස්ත්‍රය සිහි කළේය. ඔහු ගොස් ස්වර්ගයෙහි උපන්නේය. තවත් අයෙක් ද තරුණ භික්‍ෂුවකට බලි වස්ත්‍රයක් දෙන්නේ පාමුල තැබීය. තබන කාලයෙහි ම නිමිත්ත ගත්තේය. ඒ තෙමේ ද උස්සද සමීපයෙහි උපන්නේ ගිනිදැල් ශබ්දයෙන් ඒ සළුව සිහිකොට ස්වර්ගයෙහි උපන්නේය.

තමන්ගේ ස්වභාවයෙන් සිහි නොවන විට දේවදූත පස්දෙනාගෙන් විචාරයි. එහි කිසිවෙක් පළමු දේවදූතයාගෙන් සිහි කරයි. කිසිවෙක් දෙවන දේවදූතයා ආදීන්ගෙන් සිහි කරයි. යමෙක් පස් දෙනාගෙනුත් සිහි නො කරයි නම් යමරජු විසින් තෙමේම සිහි කරයි. එක් ඇමතියෙක් සමන්මල් සැළියකින් මහසෑය පුදා යමරජුට පින් දුන්නේය. අකුසල කර්මයකින් නරකයෙහි උපන් ඔහු යමරජු සමීපයට පැමිණවූහ. ඔහු දේවදූතයන් පස් දෙනාගෙනුත් කුසල කර්මයක් සිහි නොකරන කල්හි යමරජු තෙමේම බලන්නේ නුඹ සමන්මල් සැළියකින් මහසෑය පූජා කොට මට පින් දුන්නෙහි නොවේදැයි සිහි කරවූයේය. ඔහු ඒ කාලයෙහි සිහිකොට දෙව්ලොවට ගියේය. යමරජු තෙමේම බලා නොදකින්නේ නම් මේ සත්ව තෙමේ මහා දුක් විඳින්නේ යැයි නිශ්ශබ්ද වෙයි.

භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑම

එ සමයෙහි රජගහනුවර සිටුහුගේ සුහුරුබඩු වූ සැවැත් නුවරැ වැසි සුදත්ත සිටු කිසි කාරියක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය. පෙරැ තමා එහි ආ දවස්වලැ මෙන් නො ව එදා කටයුතු අධික බව ද රජගහ නුවර සිටු හට තමා හා පෙරැ සේ කතා බස් කැර කැර ඉඳීමට එදා කිසි අවකාශ පහසුවක් නැති බව ද සුදත්ත සිටු හට පෙනුණේ ය. “පෙර මෙහි මා ආ විට, අන් මොන කටයුත්තක් වුව ද, ඒ ගැන වැඩිපුර නො සලකා මා හා සතුටු සාමීචි කතා බස් ඇති ව හිඳීම මොහුගේ සිරිත ය. අද එසේ නො කොට වැඩකාරයනට ඒ ඒ කටයුතු නියෝග කරමින් මෙ තෙම හැසිරේ. කිමෙක් ද? මෙහි කුමරකුට අන් තැනෙකින් කුමරියක පාවා ගෙන ඊමෙක් හෝ මෙහි කුමරියක අන් කෙනෙකුට පාවා දීමක් හෝ වන්නේ ද? නැතහොත් මහා පූජෝත්සවයක් ඇති වන්නේ ද? සෙට බලසෙන් සහිත වූ බිම්සර මහ රජුට මෙහි භෝජන සංග්‍රහයෙක් හෝ වන්නේ දැ?”යි අනේපිඬු සිටුහට විතර්කයෙක් විය.

රජගහ නුවර සිටු තෙම වැඩකරුවනට කටයුතු විධාන කොට අවුත් අනාථ පිණ්ඩික සිටුහු හා පිළිසඳර කතා කරන අතර අනේපිඬු සිටු ඒසා මහත් කටයුතු සම්පාදනයකට හේතුව විචාළේ ය. රජගහ නුවර සිටු තමා පසුදාට “බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට දනට නිමන්ත්‍රණය කැර ඇති බවත් එ බැවින් එය සඳහා කටයුතු පිළියෙල කරවමින් උන් බවත් කීය. “බුද්‍ධ” යන වචනය කනැ වැටුණු පමණින් විස්මයට පත් සුදත්ත තෙම “ගහපතිය, බුද්‍ධ යැ යි කියහිදැ?” යි ඇසීය. “එසේ ය, බුද්‍ධ යැ” යි කියමි යි රජගහ නුවර සිටු කී ය. දෙවෙනි වරත් තෙවෙනි වරත් සුදත්ත සිටු පළමු සේ ම ඇසී ය, දෙවෙනි තුන් වන වාරයන්හිත් රජගහ නුවර සිටු පළමු සේ ම පිළිතුරු දුන. ඉක්බිති සුදත්ත සිටු “ගෘහපතිය, බුද්‍ධ යන නම පවා ඇසීම දුර්ලභ යි. ඒ බුද්ධෝත්තමයාණන් දකින්නට දැන් යෑ හැකි දැ?” යි ඇසී ය.

“ගෘහපතිය, ඒ බුද්ධෝත්තමයාණන් වහන්සේ දක්නට යෑමට දැන් සුදුසු වේලාව නො වේ, හෙට උදෙන් ම උන් වහන්සේ දක්නට යෑ හැකි යැ” යි රජගහ නුවර සිටු කී ය. ඉන් පසු සුදත්ත තෙම “සෙට ඉතා උදෙන් ඒ බුද්ධෝත්තමයාණන් වහන්සේ දක්නට යන්නෙමි” යි අධිෂ්ඨාන කොට නිදා ගත්තේ රෑ තුන් විටක් ම “පහන් වී ඇතැ” යි සිතා නැගිට්ටේ ය. තෙවෙනි වාරයෙහි නැඟී සිටි හෙතෙම බුදුරජාණන් වහන්සේ දක්නා පිණිස යනුයේ, නුවර පසු කොට සීවක වන දොරට පැමිණියේ ය. ඔහු එහි පැමිණි විට එහි දොර හැරුණේ ය. සීවක වනයටවන් කෙරෙහි ම කලින් වූ ආලෝකය අතුරුදහන් වී මහ කළුවරෙක් වී ය. ඒ දුටු සිටු තැති ගැන්මට, ලොමුදහ ගැන්මට පැමිණියේ ය. එ තැනින් එහා අඩියකුත් නො තබා ආපසු යන්නට අදහස් කෙළේ ය. එ කෙණෙහි ම,

“ලක්ෂයක් ඇතුන්, ලක්ෂයක් අසුන්, ලක්ෂයක් උතුම් අසුන් යෙදූ රථ, ලක්ෂයක් මිණිකොඬොල් ඈ පැලැඳි කන්‍යාවන් දීම බුද්ධාදි උතුමන් දැකීමට යෑමේදී එක් පියවරක් තැබීමෙක සොළොස් වන කලාව පමණ වත් නො අගී ය”යි කිසිවකු කියන හඬෙක් ඔහුට ඇසිණ.

තවද “ගෘහපතිය, ඉදිරියට යව, ආපසු ගියොත් යෙහෙක් නො වේ යැ”යි කියන්නක් ද කනැ වැටිණ. අඳුරු දුරු වී ය. සිටු ද බිය සැක නැති ව ගියේ ය.

යළිත් අඳුර පැතිරිණ. සිටු බිය වැ පෙරළා යන්නට සිතීය. එ කෙණෙහි පළමු සේ ම ගමනේ අගයත් ඉදිරියට ම යන්නට කරන අවවාදයත් ඇසීය, අඳුරත් දුරු වි ය. බිය දුරු වී ගියෙන් සිට ඉදිරියට ම ගියේ ය.

තෙවෙනි වර ද අන්ධකාර වී ය. බියටත් සැකයටත් පත් සිටු පෙරළා යමැ යි සිතී. එහෙත් එ කෙණෙහි ම පළමු සේ ම ඉදිරියට යෑමට නියෝගයත් යෑමේ යහපතත් කියනු ඇසුණෙන්, අඳුරත් දුරු ව එළිය වැටුණෙන්, මඟ ඔස්සේ ම ගියේ අලුයම් වේලෙහි ශීත වනයට පැමිණියේ ය.

ඒ සිටුවරයා මෙසේ සිතී ය. මේ ලෝකයේ පූරණකස්සප ආදි බොහෝ තීර්ථකවරු “අපි බුදුවරු වෙමු” “අපි බුදුවරු වෙමු” යි කියති. මම කෙසේ නම් බුදුන් වහන්සේගේ බුදු බව දන්නෙම් වේ ද?” ඉක්බිති ඔහුට (මෙසේ) සිතිණි: මට ගුණ වශයෙන් උපන් නම මහජනයා දනිත්, මගේ පවුලේ නම මා හැර අන් කිසිවෙක් නො දනියි. ඉදින් බුදු කෙනෙක් වෙත් නම් මගේ පවුල් නාමයෙන් මා ආමන්ත්‍රණය කරනු ඇත’ යි.

බුදුන් වහන්සේ සිරිත් පරිදි අලුයමැ නැඟී සිට සක්මනේ යෙදුණු භාග්‍යවතුන් වහන්සේ ඈත එන සිටුහු දැක, සක්මන් මලුයෙන් බැස, භික්ෂූන් පණවා දුන් ආසනයේ වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ම “සුදත්ත, මෙහි එන්නැ” යි ඇමැතූ සේක. සිටු තෙම “බුද්ධෝත්තමයාණෝ මගේ නමින් මට හඬ ගසති” යි සතුටු ව භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ පා මුලැ හිස තබා වැතිර වැඳ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, සුව සේ සැතැපුණු සේක්. දැ”යි ඇසී ය.

බුදුන් වහන්සේ ඔහුට අනුපිළිවෙල කථා පවසා අවසානයේ සතර සත්‍යය වදාළ සේක. සිටුවරයා ධර්ම දේශනාව අසා සෝවාන් ඵලයෙහි පිහිටා බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ආරාධනය කොට පසු දින පටන් මහ දන් දීම ආරම්භ කළේ ය. බිම්බිසාර ආදීහු ඔබ ආගන්තුකයෙකි. යමක් ඔබට ප්‍රමාණවත් නැත්නම් ඒවා මෙයින් ගෙන යන්න’යි හසුන් යවති. හේ, ඇති (ප්‍රමාණවත්), ඔබලා බොහෝ කටයුතු ඇත්තහු ය’යි සියල්ල ප්‍රතික්ෂේප කොට පන්සියයක් ගැලින් ගෙනෙන ලද ධනයෙන් සත්දිනක් මහා දානයක් දුන්නේ ය. දානාවසානයෙහි දී භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වස් විසීමට එකඟ කරවා ගෙන, රජගහත් සැවැතත් අතර යොදුන යොදුන තැන්වල ලක්ෂයක් (බැගින්) දී විහාර හතළිස් පහක් කරවමින් සැවැත් නුවරට ගොස් ජේතවන මහා විහාරය කරවා බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට පවරා දුන්නේ ය.