නොකළයුතු වෙළදාම් පහ

පඤ‍්චිමා භික‍්ඛවෙ, වණිජ‍්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ‍්ච:
මහණෙනි, උවසුහු විසින් අකරණීය (නොකටයුතු) මෙ වෙළදාම් පසෙකි. කවර පසෙකින් යත්:

සත්‍ථවණිජ‍්ජා, සත‍්තවණිජ‍්ජා, මංසවණිජ‍්ජා, මජ‍්ජවණිජ‍්ජා, විසවණිජ‍්ජා.
ශස්ත්‍රවාණිජ්‍ය (සත්ත්‍ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම) ය, සත්ත්‍වවාණිජ්‍ය (වහල් වෙළෙඳාම) ය, මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ය, මද්‍යවාණිජ්‍ය (මත්පැන් හා මාදක ද්‍රව්‍ය වෙළෙඳාම) ය, විෂවාණිජ්‍ය (වස වෙළෙඳාම) යි.

ඉමා ඛො භික‍්ඛවෙ, පඤ‍්ච වණිජ‍්ජා උපාසකෙන අකරණීයාති.
මහණෙනි, උවසුහු විසින් නො කටයුතු මේ වෙළදාම් පස යි.

සිතේ ආයුෂය

ඉමස්‌මිං පනත්‌ථෙ මිලින්‌දරාජා ධම්‌මකථිකං නාගසෙනත්‌ථෙරං පුච්‌ඡි, ‘‘භන්‌තෙ නාගසෙන, එකස්‌මිං අච්‌ඡරාක්‌ඛණෙ පවත්‌තිතචිත්‌තසඞ්‌ඛාරා සචෙ රූපිනො අස්‌සු, කීව මහාරාසි භවෙය්‍යා’’ති? ‘‘වාහසතානං ඛො, මහාරාජ, වීහීනං අඩ්‌ඪචූළඤ්‌ච වාහා වීහිසත්‌තම්‌බණානි ද්‌වෙ ච තුම්‌බා එකච්‌ඡරාක්‌ඛණෙ පවත්‌තිතස්‌ස චිත්‌තස්‌ස සඞ්‌ඛම්‌පි න උපෙන්‌ති, කලම්‌පි න උපෙන්‌ති, කලභාගම්‌පි න උපෙන්‌තී’’ති (මි. ප. 4.1.2).
 
ඉහතින් දැක්වෙන්නේ සංයුක්ත නිකායේ නිදානවග්ග අට්ඨකතාවේ සඳහන් වන කොටසකි.
 
මිලිඳු රජු ධම්මකථික වූ නාගසේන මහ තෙරුන් වහන්සේගෙන් මෙම ප්‍රශ්නය ඇසුවේ ය.
 
ස්වාමීනි නාගසේනයන් වහන්ස එක අසුරු සැනක දී ඇති වන්නා වූ චිත්ත සංස්කාරයන් රූපමය ආකාරයෙන් වේ  නම් කොපමණ රාශියක් ( විශාලත්වයක්  ) වන්නේ ද ?
 
ගැල් ( යාල ) 150 කුත් අමුණු 7 කුත් ලාස් 2 ක් යන ප්‍රමාණයෙහි ඇත්තාවූ වී ඇට ප්‍රමාණය,
 
අසුරු සැනක දී ඇති වන්නාවූ සිත් ප්‍රමාණය හා සංසන්දනය කිරීමේදී
 
ගණනට ද නො එන්නේ ය,
 
කලාවටද නො එන්නේ ය,
 
කලාවෙන් කොටසටද නොඑන්නේය.
 
( කලාව යනු යම් දෙයක් 16 වතාවක් 16න් බෙදූ කල ලැබෙන ප්‍රමාණයයි )
 
( යාල 1 ක ඇති වී ඇට ප්‍රමාණය   6,33,60,000 බව සිංහල මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන් කර ඇත )

භික්ෂූන් වහන්සේ විසින් නො යා යුතු කුලය.

“නවහි භික්ඛවේ අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං. උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං. කතමෙහි නවහි? න මනාපේන පච්චුට්ඨෙන්ති. න මනාපේන අභිවාදෙන්ති. න මනාපේන ආසනං දෙන්ති. සන්තමස්ස පතිගූහන්ති. බහුකම්පි ථෝකං දෙන්ති. පණිතම්පි ලූඛං දෙන්ති. අසක්කච්චං දෙන්ති නො සක්කච්චං. න උපනිසීදන්ති ධම්මසවනාය, භාසිතස්ස න රසීයන්ති ඉමෙහි ඛෝ භික්ඛවේ නවහි අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා. නාලං උපගන්තුං වා උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.”
 
මෙහි අදහස මෙසේ ය.
 
මහණෙනි, අංග නවයකින් යුක්ත වූ කුලය (පවුල) නො එළඹියේ නම් එළඹීමට ද, එළඹියේ නම් වැද හිඳීමට ද නුසුදුසු ය. කවර අඞ්ග නවයකින් ද යත්?
 
(1) භික්ෂූන් වහන්සේ දුටු කල්හි සතුටින් හුනස්නෙන් නො නැගී සිටිත් ද,
 
(2) සතුටින් නො වඳිත් ද,
 
(3) සතුටින් ආසනයක් නො දෙත් ද,
 
(4) ඇත්තා වූ දෙය සඟවත් ද,
 
(5) බොහෝ ඇත ද ස්වල්පයක් දෙත් ද,
 
(6) ප්‍ර‍ණීත දෑ ඇත ද අප්‍ර‍ණීත දෙයක් දෙත් ද,
 
(7) නො මනා කොට දෙත් ද,
 
(8) ධර්මශ්‍ර‍වණයට එළඹ නො හිඳිත් ද,
 
(9) දේශනය කරන ධර්මයට සතුටු නො වෙත් ද,
 
මහ‍ණෙනි! මේ නවයක් වූ අංගයන්ගෙන් යුක්ත වූ කුලය නො එළඹියේ නම් එළඹීමට ද එළඹියේ නම් වැද හිඳීමට ද සුදුසු නො වන්නේ ය.

පත්ත නික්කුජ්ජන කර්මය

පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු චෝදනාවක් ඇති කළ වඩ්ඪනම් වූ ලිච්ඡවී පුත්‍ර‍යාට ය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේ ය. ඒ මෙසේ ය.
 
“අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තො නික්කුජ්ජිතබ්බො, භික්ඛූනං අලාභාය පරිසක්කති. භික්ඛූනං අනත්ථාය පරිසක්කති. භික්ඛූනං අවාසාය පරිසක්කති. භික්ඛූනං අක්කෝසති පරිභාසති, භික්ඛු භික්ඛූහි භෙදෙති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති. සඞ්ඝස්ස අවණ්ණං භාසති. අනුජානාමි භික්ඛවේ ඉමෙහි අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තං නික්කුජ්ජිතුං”
 
එහි තේරුම මෙසේ ය:
 
මහණෙනි! අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළ යුත්තේ ය.
 
(1) භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද?
 
(2) භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේ ද?
 
(3) භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නො විසිය හැකි වනු පිණිස උත්සාහ කෙරේ ද?
 
(4) භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරේ ද,
 
(5) භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද,
 
(6) බුදුන්ගේ අගුණ කියා ද,
 
(7) ධර්මයේ අගුණ කියා ද,
 
(8) සංඝයාගේ අගුණ කියා ද,
 
මහණෙනි, මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කිරීමට අනුදනිමි.
 
පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත්‍ර‍ය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත්‍ර‍ය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන් පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටිය හොත් නැවත සංඝයා රැස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සිව්පසය පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.

භාග්‍යවතුන් වහන්සේ ධර්මයට ගරු කළ අතර භාග්‍යවතුන් වහන්සේට ධර්මය ගුරු නොවුන බව

භාග්‍යවතුන් වහන්සේ ධර්ම රත්නයට තමන්ගේ ආචාර්යවරයෙකුට සමාන කර සැලකූ බව ධර්මයෙහි සඳහන් නොවේ.
එය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පඨම උරුවෙල සූත්‍රයෙහි අර්ථය වරදවා තේරුම් ගැනීමෙන් සිදු වී ඇති විශාල වරදකි.
භාග්‍යවතුන් වහන්සේට ඉහළින් ධර්මරත්නය වැඩ සිටියා නම්, අප මුලින් ම සරණ යා යුත්තේ ධර්මරත්නය නොවේද ?
ගුරුවරයා ළඟ සිටිය දී ගෝලයාට ප්‍රථමයෙන්  ගෞරව කරන ක්‍රමයක් ලෝකයේ කොතැනකවත් නැත.
 
  • භාග්‍යවතුන් වහන්සේට “ධම්මිස්සර“, “ධම්මස්සාමි” යන නාමයන් ගෙන් ආමන්ත්‍රණය කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයට ඊශ්වර නිසා ය, ධර්මයට අධිපති නිසා ය. ධර්මයට ඉහළින් වැඩ සිටින නිසා ය.
  • භාග්‍යවතුන්  වහන්සේ ධර්මයට ගරු කළ සේක.
  • භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාකාමී ධර්මකාමී නිවැරදිව ධර්මය සාකච්ඡා කරන්නා වූ භික්ෂූන් වහන්සේට ද ගරු කළ බව අංගුත්තර නිකායේ නවක නිපාතය නන්දක සූත්‍රයෙහි ද සඳහන් වෙයි.
  • ගරු කිරීම යනු ආචාර්යවරයෙකු තත්ත්වයෙන් සැලකීම නොවේ.
  • භාග්‍යවතුන් වහන්සේ තිසරණ සහිත පන්සිල් රකින පුණ්ණ දාසියට ගරු කළ බව  රථවිනීත සූත්‍රට්ඨකතාවෙහි සඳහන් වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මයට ගරු කරන නිසා ය.
දීපංකර භාග්‍යවතුන් වහන්සේ සහ සාරලක්ෂයක් මහ රහතන් වහන්සේලා, සුමේධ තාපසයන් වහන්සේට මල් පූජා කර ( නො වඳිමින් ) තුන් වරක් දක්ෂිනාවර්ථව පැදකුනු කළ බව බුද්ධ වංශ පාලියෙහි සහ අට්ඨ කථාවෙහි සඳහන් වේ.
 

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ රාහුල කුමාරුට සහ නන්ද කුමරුට ඇති බව

1).එකල්හි භාග්‍යවතුන් වහන්සේ පියවරෙහි පියවර තබමින් ලැසිගමනින් පෙරටුව පෙරටුව වඩනාසේක. රාහුල හිමියෝ බුදුහිමියන්ගේ පා අනුව පසුපසින් වඩිති.

එහිදී භාග්‍යවතුන් වහන්සේ සුපිපි සල්වනයක් මැද සිට යහපත් බිමකට බැසීමට නික්මුණු උතුම් මත් ඇතකු මෙන් බැබලුණු සේක. රාහුලභද්‍ර උතුම් හස්තියාගේ පසුපසින් නික්මුණු ඇත්පැටවකු මෙන් විය. භාග්‍යවතුන් වහන්සේ සවස්යාමයෙහි මැණින් ගුහාවකින් නික්මී ගොදුරට පිළිපන් කේශර සිංහයකු මෙන් වූහ. රාහුලභද්‍ර සිංහරාජයා ලුහුබඳිමින් නික්මුණු සිංහ පෝතකයකු මෙනි. භාග්‍යවතුන් වහන්සේ මැණික් පව්වක් වැනි වන ලැහැබින් එන මහ දත්ඇති මහා ව්‍යාඝ්‍රයෙකු වැන්න. රාහුලභද්‍ර ව්‍යාඝ්‍රරාජයා අනුව යන ව්‍යාඝ්‍ර පෝතක යකු වැන්න භාග්‍යවතුන් වහන්සේ සිම්බලි පොකුණින් නික්මුණු ගුරුළු රජුවැන්න. රාහුලභද්‍ර ගුරුළුරජු පසු පසින් නික්මුණු ගුරුළු පොව්වකු වැන්න. භාග්‍යවතුන් වහන්සේ චිත්‍ර කූට පර්වතයෙන් ගුවන්තලයට පියෑඹු ස්වර්ණහංස රාජයකු වැන්න. රාහුලභද්‍ර හංසරාජයා අනුව පියාඹන ස්වර්ණ හංස පෝතකයකු වැන්න. භාග්‍යවතුන් වහන්සේ මහ සයුරෙහි පාවෙන මහරන් නැවක් වැන්න. රාහුලභද්‍ර රන් නැවට සම්බන්ධව පසුපසින් බැඳි පහුරක් වැන්න. භාග්‍යවතුන් වහන්සේ චක්‍ර රත්න ආනුභාවයෙන් ගුවන් තලයට සැපත් සක්විති රජුවැන්න. රාහුලභද්‍ර රජු අනුව සැපත් පුත්‍රරත්නය වැන්න. භාග්‍යවතුන් වහන්සේ වලාකුළු නැති අහස්තලයට පිළිපන් චන්ද්‍රයා වැන්න. රාහුලභද්‍ර චන්ද්‍රයාගේ මගට පිළිපන් පරිශුද්ධ ඕසධී තාරකාව වැන්න.

භාග්‍යවතුන් වහන්සේද මහාසම්මත ප්‍රවේණියෙහි ඔක්කාක රාජවංශයෙහි උපන්හ. රාහුලභද්‍ර එසේය. භාග්‍යවතුන් වහන්සේද රාහුල භද්‍රද සක්ගෙඩියක දැමු කිරක් සේ සුපරිශුද්ධ ජාති ඇති ක්ෂත්‍රිය කුලයෙහි උපන්හ. භාග්‍යවතුන් වහන්සේද රාහුල භද්‍රද රාජ්‍යය අත්හැර පැවිදිවුවෝය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය දෙතිස් මහා පුරිස් ලකුණින් ප්‍රතිමණ්ඩිතය. දෙවිනුවර නැගු රුවන් තොරණක් වැන්න. සැමතැන මල් පිපුණු පරසතු රුකක් මෙන් අතිමනෝහරය. රාහුලභද්‍රගේ ශරීරයද එසේය. මෙසේ දෙදෙනම අහිනීහාර සම්පන්නය. දෙදෙනාම රජකුලයෙන් පැවිදිවුවෝය. දෙදෙනම ක්ෂත්‍රිය සුකුමාරය. දෙදෙනම රන්වන්ය. දෙදෙනම උපලක්ෂණ සම්පන්නය. එක් මගකට පිළිපන්නෝය. පිළිවෙළින් යන්නාවූ චන්ද්‍රමණ්ඩල දෙකෙහි, සුර්ය මණ්ඩල දෙකෙහි, ශක්‍ර සුයාම සන්තුසිත පරනිර්මිත වසවර්ති මහා බ්‍රහ්මයන්…… දෙදෙනාගේ ශ්‍රීය අභිබවන්නාක් මෙන් බැබලුණහ.
එහිදී ආයුෂ්මත් රාහුල හිමියෝ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යන්නාහු තථාගතයන් වහන්සේගේ පාතලයෙහි සිට කේශාන්තය දක්වා බැලුහ. හේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වේශයෙනි විලාසය දැක දෙතිස් මහා පුරුෂලක්ෂණයෙන් විචිත්‍ර වු ශරීරයක් ඇති බඹයක් වටකළ ප්‍රභා මණ්ඩලයක් ඇති, විසිරීගිය රන් සුණු මැදට පැමිණියාක් මෙන්ද විදුලියෙන් වෙළාගත් රන් පව්වක් මෙන්ද. යන්ත්‍ර සුත්‍රයන්ගෙන් ඇදගෙන යන්නාවු රුවනින් විචිත්‍ර වූ රන් ඇහෑයක් මෙන්ද පංසුකූල චීවරයෙන් වැසුණද රන් කම්බිලියෙන් වැසුණු රන්පව්වක් මෙන්ද, පබළුවැලින් විසිතුරු වූ රන් ඇගෑයක් මෙන්ද, චීන පිටිසුන්නෙන් පිදුණු ස්වර්ණ චෛත්‍යයක් මෙන්ද, ලාරසින් තවරන ලද කනක යූපස්තම්භයක් මෙන්ද, රන්වලාවන් අතරට පැමිණි එකෙණෙහි නැගුණු පුන්සඳමෙන්ද, භාග්‍යවතුන් වහන්සේ බබලන සේක. සමතිස් පෙරුම් දමින් සැදුණු ආත්මභාවයෙන් ශ්‍රී සම්පත්තිය පුදුමය යයි සිතූහ. ඉන්පසු තමාදෙසද බලා මමද හොබිමි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සිව්මහ දිවයින්හි සක්විති රජය කළසේක්නම්, මට පරිනායක තනතුර දෙනු ඇත. මෙසේ ඇති කල්හි දඹදිව් තලය අතිශයින් බැබලෙන්නට තිබුණියි ආත්මභාවය ඇසුරින් ගෙන සිත ඡන්දරාගය ඉපදවීය.

2).ඉක්බිති, ඔහුගේ භවනයෙහි තථාගතයන්වහන්සේ වැඩහුන් කල්හි සෙසුභික්‍ෂූන් කෙළවරෙහි සිට වැඩහිඳිත්දී හාස්තෘන්වහන්සේ ඉදිරියෙහිම උපරෙවත සාමණේරයන්ට අසුනක් පැනවීය. නාරජු කැඳ දෙමින්ද කැවිලි දෙමින්ද වරක් බුදුරදුන් දෙස බලයි. වරක් උපරේවත සාමණේරයන් දෙස බලයි ඔහුගේ සිරුරෙහි තථාගතයන්ගේ සිරුරෙහි මෙන් දෙතිස් මහා පුරුෂලක්‍ෂණ පැනෙයි. ඉක්බිති නාරජ තෙමේ, ‘මේ සාමණේර නම බුදුවරුන්ට සමානව පෙනෙයි. මේ කිමෙක් වේදැයි නුදුරෙහි හුන් එක්තරා භික්‍ෂුවකගෙන් ‘ස්වාමීනි. මේ සාමණේර තෙමේ දශබලයන්වහන්සේට කවරෙක් වේදැයි ඇසීය ‘මහරජ, පුතුය.’ හෙතෙම, ‘පුදුමයෙකි, මේ භික්‍ෂුව මෙසේ රූපයෙන් හා යසසින් අගතැන්පත් තථාගතයන්වහන්සේගේ පුත්‍රභාවය ලැබීය. මොහුගේ ශරීරයද ඒකදේශයකින් බුදුන්ගේ ශරීරයට සමානව පෙනෙයි. මාද අනාගතයෙහි මෙබන්දකු වීම වටනේයයි සිතුවේය. හෙතෙම සත්දිනක් මහදන්දී ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයාගේ ආනුභාවයෙන් මේ උපරේවත මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ පුතෙක් වන්නෙම්වායි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුන්ගේ පුත්‍රයා වන්නෙහියයි විවරණදී වැඩිසේක.

පටවින්‍ධර තෙමේ යළි අඩමස පැමිණිවිට විරූපාක්‍ෂ සමඟ සක් දෙවියන්ගේ උටවැනට ගියේය. ඉක්බිති සමීපයෙහි සිටි ඔහුගෙන් සක්දෙව් තෙමේ, ‘යහළුව, මේ දෙව් ලොව පතන ලද්දේදැ’යි ඇසීය. ‘ස්වාමීනි, නොපතන ලදී.’ ‘කවර දොසක් දැක්වේහිද?’ ‘මහරජ, දොසක් නැත. මම දශබලපුතුවූ උපරෙවත සාමණේරයන් දුටුවෙමි. ඔහුදුටු කල්හි සිට මගේ සිත අන්තැනක නොනැමුනේය. ඒ මම අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ මෙබඳුවූ පුතෙක් වන්නෙම්වා’යි ප්‍රාත්‍ථර්‍නා කෙළෙමි. ඔබද මහරජ, එක් පැතුමක් කරව. (එනම්): ‘ඒ අපි උපදින තැන නොවෙන් වන්නෙමු’යි කියාය. සක්දෙව් තෙමේ ඔහුගේ වචනය පිළිගෙන එක් මහානුභාව ඇති භික්‍ෂුවක දැක ‘මේ කුලපුත් තෙමේ කවර කුලයකින් නික්ම පැවිදි වූයේයදැ’යි සිහි කරන්නේ මෙතෙම බිඳුණු රටක් එක් කිරීමට හැකි කුලයක පුත්‍රයෙක්වී තුදුස් බත්සිඳීමක් කොට පැවිද්දට මව්පියන් අනුදන්වා ගෙන පැවිදි වූයේයයි දැන ගත්තේය. දැනද නොදන්නකුමෙන් තථාගයන්වහන්සේගෙන් අසි සත්දිනක් මහාසත්කාර කොට ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් නුඹවහන්සේගේ සසුනෙහි මේ කුලපුත්‍රයා මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍ර වන්නෙම්යයි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක ‘මහරජ, නුඹ අනාගතයෙහි ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී වැඩිසේක. සක්දෙව්තෙමේද තමන්ගේ දෙවිපුරයටම ගියේය.

3).ඕතොමෝද දිවිඇතිතෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නී අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම දෙව්දහනුවර මහාසුප්පබුද්ධගේ ගෘහයෙහි පිළිසිඳ ගත්තාය. ඇයට ගොතමීයයි නමක් කළාහුය. මහාමායාවගේ කනිටු සොයොහුරිය වෙයි. මන්ත්‍රගායන බමුණෝ ලකුණු පිළිගනිමින් (බලමින්) මේ දෙන්නාගේම කුසෙහි විසූ දරුවෝ සක්විති වන්නාහුයයි ප්‍රකාශ කළාහුය. සුදොවුන් මහරජතෙමේ වියපත්කල්හි ඒ දෙදෙනාම සරණමංගල කොට තමන්ගේ ගෙදරට රැගෙන ආවේය. මැතකාලයෙහි අපගේ බෝසතාණෝ තුසීපුරෙන් සැව මහාමායා දේවියගේ කුසෙහි පිළිසඳ ගත්හ. මහාමායා දේවිය ඒ බෝසතුන් උපන් දිනයෙන් සත්වෙනි දිනයෙහි කලුරිය කොට තව්තිසාවෙහි උපන්නීය. සුදොවුන් මහරජතෙමේ බෝසතුන්ගේ සුළුමවවූ ප්‍රජාපතී ගොතමිය අගමෙහෙසුන් කළේය. එකල්හි නන්ද කුමරුවා උපන්නේය. මේ මහාප්‍රජාපතී ගෝතමිය නන්දකුමරු කිරිමවුන්ට දී තොමෝ බොසතුන් වැඩුවාය.