සමහර කාලවල බුදුන් වහන්සේ සහ සක්විති රජතුමා එකවර වැඩ සිටිනවා

කොණ්ඩඤ්ඤ බුද්ධවංශය

කොණ්ඩඤ්ඤ ශාස්තෘන් වහන්සේ බුදුබවට පත්ව පළමු වස සඳවතී නුවර ළඟ චන්‍ද්‍රරාමයෙහි විසූහ. එහි සුචින්‍ධර නම් මහසල් බමුණාගේ පුත් චන්‍දමානව නම් කීර්තිධර බමුණු පුත් සුභද්ද නම් තරුණයා ද කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ වෙතින් බණ අසා පහන් සිතින් තරුණයන් දසදහසක් සමග උන්වහන්සේ වෙත පැවිදිව රහත් විය.
ඉක්බිති කොණ්ඩඤ්ඤ බුදුහු පොසොන් පුර පසළොස්වක දින සුභද්ද තෙරුන් ප්‍රමුඛ කෙළ ලක්‍ෂයක් පිරිවරා පාමොක් උදෙසූහ. එය පළමු සන්නිපාතයයි. ඉන් මෙපිට කොණ්ඩඤ්ඤ බුදුපුත් විජිත තෙරුන් රහත් වූ කල උන්වහන්සේ ප්‍රමුඛ කෙළ ලක්‍ෂයක් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය දෙවන සන්නිපාතයයි. පසුකලෙක දසබලයන් වහන්සේ ජනපද චාරිකා කරන සේක් අනූකෙළක් පිරිවර ඇති උදේන නම් රජු පැවිදි කරවූහ. ඒ පිරිස සමග ඔහු ප්‍රධානකොට ඇති අනූ කෙළක් සමග සමග භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන සන්නිපාතයයි එයින් කියන ලදි-

එකල් අප බෝසතාණෝ විජිතාවී නම් සක්විති රජව චන්‍දවතී නුවර වසන්නාහ. උන්වහන්සේ වනාහි නොයෙක් උතුම් මිනිසුන් පිරිවරා සයුර හිම්කොට මේරුයුගඳුරු සහිත අපමණ රුවන් දරන මහපොළව අදණ්ඩනයෙන් අශසත්‍රයෙන් දැහැමෙන් සෙමෙන් පාලනය කරන්නාහ. එකල්හි කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්‍ෂයක් රහතන් පිරිවරා ජනපද චාරිකාවෙහි යෙදෙන සේක් පිළිවෙලින් චන්‍දවතී නුවරට වැඩි සේක.
ඒ විජිතාවී රජ බුදුහු අපගේ නුවරට වැඩිසේකැයි අසා පෙරගමන් කොට වසන තැන් නිලකොට බික්සඟුන් සහිතව සෙට දිනට ආරාධනා කොට පසුදා මනාව දන් සරහා කෙළ ලක්‍ෂයක් පමණ බුද්ධ ප්‍රමුඛ බික්සඟනට මහදන් පිදීය. බෝසත්හු බුදුන් වළඳවා අනුමෝදනාවසානයෙහි ස්වාමීනි, තෙමසක් මහජන අනුග්‍රහ කරමින් මෙහිම වසන සේක්වායි අයැද තෙමස නිතොර බුදුපාමොක් මහසඟනට අසදෘශ මහදන් පිදූහ.
ඉක්බිති ශාස්තෘන් වහන්සේ බෝසතුන්ට මතු ගෝතම නම් බුදුවන්නේ යයි ප්‍රකාශකොට දම් දෙසූහ. උන්වහන්සේ බණ අසා රාජ්‍යය පුදා මහණව තුන්පිටකය ඉගෙන අටසමවත් පසභිඥා උපදවා නොපිරිහුණු දැහැනින් බඹලොව උපන්හ.

සුජාත බුද්ධවංශය

එ මැ මණ්ඩ නම් කල්පයෙහි සිංහයකුට බඳු පරිපූර්‍ණ හනු ඇති වෘෂභයකුට බඳු සම වට කඳට ඇති ප්‍රමාණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සුජාත නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූහ. විගත මල ඇති එහෙයින් මැ ශුද්ධ වූ චන්‍ද්‍රයා යම් සේ ද ප්‍රතාපවත් සූර්‍ය්‍යයා යම් සේ ද, එසෙයින් මැ හැම කල්හි සිරියෙන් බබළන සම්බුදුහු බබළති. සම්බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුමඞ්ගල නම් නගරයෙහි දී දම්සක් පැවැත් වූහ. සුජාත නම් ලෝකනායකයන් වහන්සේ උතුම් වූ දහම් දෙසන කල්හි ප්‍රථම ධර්‍මදේශනායෙහි අසූ කෙළක් ප්‍රාණීහු ධර්‍මභාවබෝධය කළහ. යම් කලෙකැ අප්‍රමාණ යසස් ඇති සුජාත නම් සම්බුදුහු දෙව්ලොවැ වස් එළැඹි සේක් ද, එකල්හි සත්තිස් දහසක් සත්නට ද්විතීය ධර්‍මාභිසමය වී. යම් කලෙකැ අසමසම වූ සුජාත නම් බුදුහු පියරජහු සමීපයට වැඩිසේක් ද, එකල්හි සැටලක්‍ෂයක් ප්‍රාණීන්ට තුන් වැනි ධර්‍මාවබෝධය වී. මහර්ෂි වූ සුජාත සර්‍වඥයන් වහන්සේට විගතරාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී. අභිඥාබලයට පැමිණි කුදු මහත් භවයට නො පැමිණියවුන් අතුරින් ඒ සැටලක්‍ෂයක් රහත්හු පළමු වැ රැස් වූහ. යළි පස්මරුන් දිනූ බුදුන් ගේ දෙව්ලොවින් බස්නා සන්නිපාතයෙහි පනස් ලක්‍ෂයක් රහතුන් ගේ ද්විතීය සමාගමය වී. ඒ සුජාත නම් බුදුනට යම් අගසවු කෙනෙක් වූවාහු ද, සුදර්‍ශන නම් වූ උන් වහන්සේ නරශ්‍රේෂ්ඨ බුදුන් කරා පැමිණෙන්නාහු සාර ලක්‍ෂයක් පිරිවර හා සමග පැමිණියාහ. එසමයෙහි මම් කොදිව් සහිත සතර දිවයිනෙහි අධිපති වූ අහස්හි හැසිරෙන මහබල ඇති සක්විති රජ වීමිඒ මම් ලෝකයෙහි අද්භූත වූ ලොමුදහගන්වන ආශ්චර්‍ය්‍යය දැක සුජාත ලෝකනායකයන් වහන්සේ කරා එළැඹ වැන්දෙමි. සිව්මහදිවයින්හි මහරජය උතුම් වූ සත් රුවන බුදුන් විෂයයෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.

මෛත්‍රෙය බුදුරදුන් පහළවන කාලය

මහණෙනි, මිනිසුන් හවුරුදු අසූදහසක් ආයු ඇතියන් වූ කල්හි මේ දඹදිව සමෘද්ධ (ධාන්‍යාදියෙන් සම්පන්න) ද, ස්ථිත (වස්ත්‍රාදියෙන් පරිපූර්‍ණ) ද වන්නේ ය. ගම් නියම්ගම් දනවු රජදහන්හු වහළ මතුයෙන් ගමෙකින් ගමකට කුකුළකු විසින් යෑ හැකි වන් සේ ඒකාබද්ධ වැ පිහිටි දහස්ගණන් ගෙවලින් යුක්ත වන්නාහ. මහණෙනි, අසූ දහසක් හවුරුදු ආයු ඇති මිනිසුන් ඇති වන කල්හි මේ දඹදිව උනවනයක් බටවනයක් සේ, අවීචිය මෙන් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැති සේ ගැවැසුණේ වන්නේ ය.

මහණෙනි, මිනිසුන් වස් අසූදහසක් ආයු ඇත්තන් වන කල්හි, මේ බරණැස් නුවර සමෘද්ධ වූ ද ආඪ්‍ය වූ ද බොහෝ ජනයා ඇත්තා වූ ද මිනිසුන්ගෙන් ආකීර්‍ණ වූ ද සුලභ ආහාර ඇත්තාවූ ද කේතුමති නම් රජ දහනෙක් වන්නේ ය. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇත්තවුන් වූ කල්හි මෙ දඹදිව්හි කේතුමතී රාජධානිය පාමොක් කොටැති සුවාසූ දහසක් නගරයෝ වන්නාහ. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇතියන් වූ කල්හි කේතුමති රාජධානියෙහි ධාර්මික වූ ධර්‍මරාජ වූ සිවු සයුරු හිම් කොට සතර මහාද්වීපයට අධිපති වූ, සියලු සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් යුත් ශංඛ නම් සක්විති රජෙක් පහළ වන්නේ ය. ඔහුට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වන පරිනායක රත්නයැ යි මේ සප්ත රත්න කෙනෙක් වන්නාහ. ඔහුට බාන සුලු නොවූ මූර්තිමත් වීර්‍ය්‍යය බඳු ශරීර ඇති, පර සෙන් මඩිනු සමත් වූ, දහසකට වැඩි දරු කෙනෙක් වන්නාහ. හෙ තෙම සයුරුහිම් මෙ මහ පොළොව දඬුවමින් තොර වැ, අවියෙන් තොර වැ, දැහැමෙන් සෙමෙන් ජය ගෙන අධිපති වැ වසන්නේ ය.

මහණෙනි, මිනිසුන් හවුරුදු අසූදහසකට පරමායුෂ ඇත්තවුන් වූ කල්හි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණ සම්පන්න වූ, සුගත වූ, ලොව දන්නා, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිස්නට ශාස්තෘ වූ, සිවුසස් අවබෝධ කළ, සියලු භාග්‍යගුණ ඇති, මෛත්‍රෙය නම් භාග්‍යවත් තෙම ලොවැ උපදින්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්‍වප්‍රජාව ද තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට පළ කෙරෙම් ද, එසේ ම ඒ මෛත්‍රෙය බුදුරජ ද දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්‍වප්‍රජාව ද තෙමේ ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට දන්වන්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසම් ද, හැම ලෙසින් පිරිපුන් වූ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරම් ද, එසේ ම ඒ බුදුරජ තෙමේ ද ආදිකල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත ව්‍යංජන සහිත වූ දහම් දෙසන්නේ ය. හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කරන්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි නොයෙක් සිය ගණන් භික්‍ෂු සඞ්ඝයා පරිහරණය කෙරෙම් ද, එසේ ම ඒ බුදුරජ නොයෙක් සියදහස් ගණන් භික්‍ෂු සඞ්ඝයා පරිහරණය කරන්නේ ය.

මහණෙනි, එ කල්හි ශඞ්ඛ නම් ඒ සක්විති රජ තෙම, පෙරැ මහාපනාද රජහු විසින් කරවන ලද යම් ප්‍රාසාදයෙක් වේ ද, ඒ පහය මත්තට නංවා, කලක් එහි වැස, මහණ බමුණු දුගී මගී පුලනු යදි ආදීනට එය පරිත්‍යාග කොට හැර දමා කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙයින් නික්මැ භගවත් අර්‍හත් මෛත්‍රෙය සම්මාසම්බුදු රජුහු වෙතැ, පැවිදි වන්නේ ය. හෙ තෙම මෙසේ පැවිදි වූයේ ම, හුදෙකලා වූයේ, කයින් සිතින් විවික්ත වූයේ, නොපමා වූයේ, කෙලෙස් තවන වැර ඇතියේ, නිවන් කරා මෙහෙයූ සිතැත්තේ, මඳ කලෙකින් ම යමක් පිණිස කුල දරුවෝ ගිහි ගෙන් නික්ම මනා කොට ම සසුන් වදිත් නම්, ඒ නිරුත්තර වූ සසුන් බඹසරැ අවසන වූ රහත්පලය වත්මනු බෙවෙහි ම තමා ම දැන පසක් කො සපයා වසන්නේ ය.

පස්විසි බුදුවරුන් වහන්සේලාගේ මව-පියා සහ බෝධීය

මෙම බුදුවරුන් ගේ විස්තර කීපයක් පහත දැක්වේ.


තණ්හංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුනන්ද රජු
මව් දේවිය  : මනෝනඤ දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : රුක් අත්තන බෝධිය


මේධංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදේව රජු
මව් දේවිය  : යසෝධරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 14
බෝධිය  : කෑල නැමති බෝධිය


සරණංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුමංගල රජු
මව් දේවිය  : යසවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය  : පුලිල නැමති බෝධිය


දීපංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදේව රජු
මව් දේවිය  : සුමේධා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : පුලිල නැමති බෝධිය


කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුනන්ද රජු
මව් දේවිය  : රම්යාවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : සල් බෝධිය


මංගල බුදු රජාණන් වහන්සේ

පිය රජු  : උත්තර රජු
මව් දේවිය  : උත්තර දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : නා බෝධිය


සුමන බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදත්ත රජු
මව් දේවිය  : සිරිමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : නා බෝධිය


රේවත බුදු රජාණන් වහන්සේ

පිය රජු  : විපුල රජු
මව් දේවිය  : විපුල දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 07
බෝධිය  : නා බෝධිය


සෝභිත බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුධම්ම රජු
මව් දේවිය  : සුධම්ම දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : නා බෝධිය


අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ

පිය රජු  : යසවන්න රජු
මව් දේවිය  : යශෝධරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය  : කුඹුක් බෝධිය


පදුම බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදේව රජු
මව් දේවිය  : අනෝමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : මුරුත බෝධිය


නාරද බුදු රජාණන් වහන්සේ

පිය රජු  :
මව් දේවිය  :
දුෂ්කර ක්‍රියා කාලය :
බෝධිය  : මුරුත බෝධිය


පදුමුත්තර බුදු රජාණන් වහන්සේ

පිය රජු  : ආනන්ද රජු
මව් දේවිය  : සුජාතා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : කිරිපලුබෝධිය


සුමේධ බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදත්ත රජු
මව් දේවිය  : සුමනා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : බක්මී බෝධිය


සුජාත බුදු රජාණන් වහන්සේ

පිය රජු  : උද්ගත රජු
මව් දේවිය  : ප්‍රභාවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : හුණ බෝධිය


පියදස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදත්ත රජු
මව් දේවිය  : සුවේන්ද්‍ර දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය  : කුඹුක් බෝධිය


අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සාගර රජු
මව් දේවිය  : සුදර්ශණා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : සපු බෝධිය


ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සරණ රජු
මව් දේවිය  : සුනන්ද දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : කරවි බෝධිය


සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ

පිය රජු  : උදේනි රජු
මව් දේවිය  : සුප්පා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : කිණිහිර බෝධිය


තිස්ස බුදු රජාණන් වහන්සේ

පිය රජු  : ජනසන්ධ රජු
මව් දේවිය  : පදුමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : කොහොඹ බෝධිය


ඵුස්ස බුදු රජාණන් වහන්සේ

පිය රජු  : ජයසේන රජු
මව් දේවිය  : සිරිමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය  : නෙල්ලි බෝධිය


විපස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු  : බන්දුන්තු රජු
මව් දේවිය  : මදුමති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : පලොල් බෝධිය


සිඛි බුදු රජාණන් වහන්සේ

පිය රජු  : අරුණවන්තු රජු
මව් දේවිය  : ප්‍රභාවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : අඹ බෝධිය


වෙස්සභු බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුප්පාසික රජු
මව් දේවිය  : යසවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය  : සල් බෝධිය


කකුසඳ බුදු රජාණන් වහන්සේ

පිය රජු  : ඛේම රජු
මව් දේවිය  : විශාකා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : බක් බෝධිය


කෝණාගම බුදු රජාණන් වහන්සේ

පිය රජු  : යඤ්ඤදත්ත රජු
මව් දේවිය  : උත්තරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය  : දිඹුල් බෝධිය


කස්සප බුදු රජාණන් වහන්සේ

පිය රජු  : බ්‍රහ්මදත්ත රජු
මව් දේවිය  : ධනවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : නුග බෝධිය


ගෞතම බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුද්ධෝදන රජු
මව් දේවිය  : මහාමායා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : වසර 06
බෝධිය  : ඇසතු බෝධිය

බුදුවරු විසිපස් දෙනා අතර වෙනස්කම් අට.

පස්විසි බුදුවරුන් වහන්සේලාගේ වෙනස්කම් අටක් දතයුතුය.

අට කුමක් ද?

ආයු වෙනස, ප්‍රමාණ වෙනස, කුල වෙනස, ප්‍රධන් වෙනස, රශ්මි වෙනස, යානා වෙනස, බෝධිවෘක්‍ෂ වෙනස, පර්යංක වෙනස යනුයි.


එහි ආයු වෙනස නම්

සමහර බුදුවරු දීර්ඝායුෂ්ක වෙති. සමහරු අල්පායුෂ්ක වෙති. ඒ එසේමැයි.

දීපංකර, කොණ්ඩඤ්ඤ, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, අත්‍ථදස්සී, ධම්මදස්සී, සිද්ධත්‍ථ, තිස්ස යන මේ නව බුදුවරයන් වහන්සේලා වර්ෂ ලක්‍ෂයක් ආයු ඇත්තෝ වූහ.

මංගල, සුමන, සෝභිත, නාරද, සුමේධ, සුජාත, පියදස්සී, ඵුස්ස මේ අටබුදුවරයන් වහන්සේලා අනූදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.

රේවත, වෙස්සභු දෙනම හැටදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.

විපස්සී භාග්‍යවතුන් වහන්සේ අසූදහසක් අවුරුදු ආයු ඇතිවූ සේක.

සිඛී, කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන මේ සතර බුදුවරයන් වහන්සේලා ක්‍රමයෙන් සැත්තෑදහස් සතලිස්දහස් තිස්දහස් විසිදහස් අවුරුදු ආයු වූ සේක.

අප භාග්‍යවතුන් වහන්සේගේ ආයු ප්‍රමාණය අවුරුදු සියයක් විය.

රැස්කරන ලද පුණ්‍යසම්භාර ඇත්තා වූද දීර්ඝායුෂ්ක පැවතීමට හේතුකර්මයන් ඇත්තා වූද බුදුවරුන් වහන්සේලාට යුග වශයෙන් ආයු ප්‍රමාණය අප්‍රමාණ විය.

මේ ආයු පිළිබඳ වෙනසයි.


පමාණ වෙමත්තතාව නම්

සමහර බුදුවරුන් වහන්සේලා උස්වෙති. සමහරු මිටි වෙති. ඒ එසේය.

දීපංකර, රේවත, පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී, විපස්සී බුදුවරුන්ගේ ශරීර ප්‍රමාණය අසූරියන් විය.

කොණ්ඩඤ්ඤ, මංගල, නාරද, සුමේධ බුදුවරුන්ගේ ශරීරය අට අසූරියන් පමණ විය.

සුමන බුදුරදුන්ගේ ශරීරය අනූරියන් උස්විය.

සෝභිත, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, ඵුස්ස බුදුවරුන්ගේ ශරීරය අටපනස් රියන් උස්විය.

සුජාත බුදුන්ගේ සිරුර පනස්රියන් උස්විය.

සිද්ධත්‍ථ, තිස්ස, වෙස්සභූ බුදුවරුන්ගේ ශරීරය හැටරියන් විය.

සිඛී බුදුන්ගේ සිරුර සැත්තෑරියන් උස්විය.

කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුවරුන්ගේ ශරීරය පිළිවෙලින් සතලිස් තිස් විසි රියන් උස්විය.

අප භාග්‍යවතුන් වහන්සේ අටළොස් රියන් උස්වූහ.

ප්‍රමාණ වෙනස මෙයයි.


කුල වෙමත්තතාව නම්

සමහරු කැත් කුලයෙහි උපදිති. සමහරු බමුණු කුලයෙහි උපදිති.

කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුවරුන් වහන්සේලා බමුණු කුලයෙහි උපන්හ.

සෙසු දෙවිසි බුදුවරුන් වහන්සේලාම කැත් කුලෙහි උපන්හ.

මේ කුල වෙනස නමි.


පධාන වෙමත්තතාව නම්

දීපංකර, කොණ්ඩඤ්ඤ, සුමන, අනෝමදස්සී, සුජාත, සිද්ධත්‍ථ, කකුසන්‍ධ බුදුවරුන් වහන්සේලාගේ වීර්ය වැඩීම දසමසකි.

මංගල, සුමේධ, තිස්ස, සිඛී බුදුවරුන් වහන්සේලාගේ ප්‍රධාන චර්යාව අටමසකි.

රේවත බුදුන්ගේ සත්මසකි. සෝභිත බුදුන්ගේ සිවුමසකි.

පදුම, අත්‍ථදස්සී, විපස්සී බුදුවරුන්ගේ අඩමසකි.

නාරද, පදුමුත්තර, ධම්මදස්සී, කස්සප බුදුවරුන්ගේ සතියකි.

පියදස්සී, ඵුස්ස, වෙස්සභූ, කෝනාගමන බුදුවරුන්ගේ සමසකි.

අප බුදුන්ගේ ප්‍රධන් චර්යාව සවසක් විය.

මෙය ප්‍රධන් චර්යාවේ වෙනසයි.


රස්මි වෙමත්තතාව නම්

මංගල සම්මා සම්බුදුන්ගේ ශරීර රශ්මිය දසදහසක් සක්වළ පැතිර සිටියේය.

පදුමුත්තර බුදුන්ගේ දොළොස් යොදුන් ප්‍රමාණ විය.

විපස්සී බුදුන්ගේ සත් යොදුනකි.

සිඛී බුදුන්ගේ තුන් යොදුන් පමණය.

කකුසඳ බුදුන්ගේ දස යොදුන් පමණය.

අප බුදුන්ගේ හාත්පස බඹයක් පමණය.

සෙසු බුදුවරුන්ගේ නියමයක් නොමැත.

මේ රශ්මි වෙනස නමි. අදහස අනුව බැඳුණෝය. යමෙක් යම් පමණ කැමතිද උන්වහන්සේගේ ශරීරයෙන් එපමණ පැතිරෙයි. පිළිමිදි ගුණයෙහි කිසිදු වෙනසක් නැත්තේය.

මේ රශ්මි වෙනස නමි.


යාන වෙමත්තතාව නම්

කිසිවෙක් ඇත් යානයෙන් නික්මෙති.

කිසිවෙක් අස් රථ පද පාසාද සිවිකාදි කිසිවකින් නික්මෙති.

ඒ එසේමැයි. දීපංකර, සුමන, සුමේධ, එුස්ස, සිඛී, කෝනාගමන බුදුවරු ඇත්යානයෙන් නික්මුණහ.

කොණ්ඩඤ්ඤ, පදුම, රේවත, පියදස්සී, කකුසන්‍ධ බුදුවරු රථයානයෙනි.

මංගල, සුජාත, අත්‍ථදස්සී, තිස්ස, ගෝතම බුදුවරු අස් යානයෙනි.

අනෝමදස්සී, සිද්ධත්‍ථ, වෙස්සභූ සිවිකාවෙනි.

නාරද බුදුහු පාගමනිනි.

සෝභිත, පදුමුත්තර, ධම්මදස්සී, කස්සප බුදුවරු ප්‍රාසාදයෙන්ම නික්මුණහ.

මේ යානා වෙනස නමි.


බෝරුක් වෙනස නම්

දීපංකර බුදුන්ගේ ගිවුළු රුක බෝධියයි.

කොණ්ඩඤ්ඤ බුදුන්ගේ සල්කලණ ගසයි.

මංගල, සුමන, රේවත, සෝභිත බුදුවරුන්ගේ නාරුක බෝධියයි.

අනෝමදස්සී බුදුන්ගේ බෝධිය කුඹුක්ගසයි.

පදුම, නාරද බුදුවරුන්ගේ බෝධිය මහාසොණ වෘක්‍ෂයයි.

පියුමතුරා බුදුන්ගේ හොරගස බෝධියයි.

සුමේධ බුදුන්ගේ බෝධිය කොළොම්ගසය.

සුජාත බුදුන්ගේ බෝධිය හුණගසයි.

පියදස්සී බුදුන්ගේ බෝධිය කුඹුක් ගසයි.

අත්‍ථදස්සී බුදුන්ගේ බෝධිය සපුගසයි.

ධම්මදස්සී බුදුන්ගේ බෝධිය කුරවක වෘක්‍ෂයයි.

සිද්ධාර්ථ බුදුන්ගේ බෝධිය කිණිහිරි රුකයි.

තිස්ස බුදුන්ගේ පියාගසය.

ඵුස්ස බුදුන්ගේ නෙල්ලිගසය.

විපස්සී බුදුන්ගේ පළොල් රුකය.

සිඛී බුදුන්ගේ සුදුඅඹ ගසය.

වෙස්සභූ බුදුන්ගේ සල්රුකය.

කකුසඳ බුදුන්ගේ සරස රුකය.

කෝනාගමන බුදුන්ගේ දිඹුල් රුකය.

කස්සප බුදුන්ගේ නුගරුකය. ගෝතම බුදුන්ගේ ඇසතු රුකය.

මේ බෝරුක් වෙනසයි.


පර්යංක වෙනස නම්

දීපංකර, රේවත, පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී, විපස්සී බුදුවරුන්ට තෙපනස් රියන් පර්යංක විය.

කොණ්ඩඤ්ඤ, මංගල, නාරද, සුමේධ බුදුවරුන්ට සත්පනස් රියන් විය.

සුමන බුදුන්ට සැටරියන් පර්යංකය විය.

සෝභිත, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, ඵුස්ස බුදුවරුන්ට අටතිස්රියන් විය.

සුජාත බුදුන්ට දෙතිස්රියන් විය.

සිද්ධත්‍ථ, තිස්ස, වෙස්සභූ බුදුවරුන්ට සතළිස් රියන් විය.

සිඛී බුදුන්ට දෙතිස්රියන් විය.

කකුසඳ බුදුන්ට සව්සිරියන් විය.

කෝනාගමන බුදුන්ට විසි රියන්ය.

කසුප් බුදුන්ට පසළොස් රියන්ය.

ගෞතම බුදුන්ට තුදුස්රියන් වූයේය.

මේ පර්යංක වෙනස නමි.

ගෘහපති උපාලි විසින් ප්‍රකාශ කරන ලද බුදු ගුණ.

ගෘහපති උපාලි විසින් ප්‍රකාශ කරන ලද බුදු ගුණ.

උපාලි ගෘහපති  ආසනයෙන් නැගී උතුරුසළු එකස් කොට බුදුන් වසන දෙසට ඇඳිලි පනවා.

මම් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකි.

බුදුන් වහන්සේගේ ගුණ අසව්.

 

ධීරස‍්ස විගතමොහස‍්ස පභින‍්නඛිලස‍්ස විජිතවිජයස‍්ස,

අනීඝස‍්ස සුසමචිත‍්තස‍්ස වුද‍්ධසීලස‍්ස සාධුපඤ‍්ඤස‍්ස,

වෙස‍්සන‍්තරස‍්ස විමලස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.

 

අකථංකථිස‍්ස තුසිතස‍්ස වන‍්තලොකාමිසස‍්ස මුදිතස‍්ස,

කතසමණස‍්ස මනුජස‍්ස අන‍්තිමසාරීරස‍්ස නරස‍්ස,

අනොපමස‍්ස විරජස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.

 

අසංසයස‍්ස කුලස‍්ස වෙනයිකස‍්ස සාරථිවරස‍්ස,

අනුත‍්තරස‍්ස රුචිරධම‍්මස‍්ස නික‍්කඞ‍්ඛස‍්ස පභාසකරස‍්ස,

මානච‍්ඡිදස‍්ස වීරස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.

 

නිසභස‍්ස අප‍්පමෙය්‍යස‍්ස ගම‍්භීරස‍්ස මොනපත‍්තස‍්ස,

ඛෙමඞ‍්කරස‍්ස දෙවස‍්ස ධම‍්මට‍්ඨස‍්ස සංවුතත‍්තස‍්ස,

සඞ‍්ගාතිගස‍්ස මුත‍්තස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.

 

නාගස‍්ස පන‍්තසෙනස‍්ස ඛීණසංයොජනස‍්ස මුත‍්තස‍්ස,

පටිමන‍්තකස‍්ස ධොනස‍්ස පන‍්නද‍්ධජස‍්ස වීතරාගස‍්ස,

දන‍්තස‍්ස නිප‍්පපඤ‍්චස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.

 

ඉසිසත‍්තමස‍්ස අකුහස‍්ස තෙවිජ‍්ජස‍්ස බ්‍රහ‍්මපත‍්තස‍්ස,

නහාතකස‍්ස පදකස‍්ස පස‍්සද‍්ධස‍්ස

විදිතවෙදස‍්ස,පුරින්‍දදස‍්ස සක‍්කස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.

 

අරියස‍්ස භාවිතත‍්තස‍්ස පත‍්තිපත‍්තස‍්ස වෙය්‍යාකරණස‍්ස,

සතීමතො විපස‍්සිස‍්ස අනභිනතස‍්ස නො අපනතස‍්ස,

අනෙජස‍්ස වසිප‍්පත‍්තස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.

 

සම‍්මග‍්ගතස‍්ස ඣායිස‍්ස අනනුගතන‍්තරස‍්ස සුද‍්ධස‍්ස,

අසිතස‍්ස අප‍්පහීනස‍්ස පවිවිත‍්තස‍්ස අග‍්ගපත‍්තස‍්ස,

තිණ‍්ණස‍්ස තාරයන‍්තස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.

 

සන‍්තස‍්ස භූරිපඤ‍්ඤස‍්ස මහාපඤ‍්ඤස‍්ස වීතලොභස‍්ස,

තථාගතස‍්ස සුගතස‍්ස අප‍්පටිපුග‍්ගලස‍්ස අසමස‍්ස;

විසාරදස‍්ස නිපුණස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මි.

 

තණ‍්හච‍්ඡිදස‍්ස බුද‍්ධස‍්ස වීතධූමස‍්ස අනුපලිත‍්තස‍්ස,

ආහුණෙය්‍යස‍්ස යක‍්ඛස‍්ස උත‍්තමපුග‍්ගලස‍්ස අතුලස‍්ස,

මහතො යසග‍්ගපත‍්තස‍්ස භගවතො තස‍්ස සාවකො’හමස‍්මී”ති.

 

01 -. සියලු සම්මුති පරමාර්ථයන් දන්නාවූ මහා ප්‍රඥා ඇති,

02 -. සමුච්ඡේද ප්‍රහාණයෙන් පහව ගිය මෝහාන්ධකාර ඇති,

03 -. බිඳහරන ලද පඤ්චවේ කෙලේශයන් ඇති,

04 -. දිනන ලද පස්‌මරුන් අති,

05 -. හෙයින් විජයශ්‍රීයෙන් යුක්‌තවූ

06 -. ක්‌ලේශ දුක්‌ඛ විපාක දුක්‌ඛයන් දුරුකළ හෙයින් නිදුක්‌වූ,

07 -. හිතා හිත සියලු සත්ත්වයන් කෙරෙහි සමසිත් ඇති,

08 -. වැඩුනාවූ උත්තමාචාර සීල ඇති,

09 -. යහපත් ප්‍රඥා ඇති,

10 -. විෂම වූ රාගාදී ක්‌ලේශයන් තරණය කළ

11 -. දුරුකළ සැක ඇති,

12 -. හැම ලෙසින්ම සතුටු සිත් ඇති

13 -. බැහැර කරන ලද පංචකාම ගුණික තෘෂ්ණා ඇති,

14 -. මුදිත භාවනා විහරණ ඇති,

15 -. මුදුන්පත්වූ උත්තම ශ්‍රමණ ගුණ ඇති,

16 -. සත්වෝත්තම වූ,

17 -. අන්තිම ශරීරයක්‌ දරන්නාවූ,

18 -. නරශ්‍රේෂ්ඨවූ,

19 -. උපමා විෂයාතික්‍රාන්ත ගුණ ඇති,

20 -. රාගාදි කෙලෙස්‌ රජස්‌ නැති,

21 -. කොතැනකවත් සැක නැති,

22 -. ධර්මා’ ධර්ම විනිශ්චයෙහි දක්‌ෂ වූ,

23 -. සත්ත්වයන් හික්‌මවන්නා වූ,

24 -. අන්‍යයන් විසින් දමනය කළ නොහැකි වූ,

25 -. චණ්‌ඩ පරුෂ සක්‌ත්වයන් වූ,

26 -. දමනය කිරීමෙහි උත්තම සාරථිවූ,

27 -. නිරුත්තරවූ පවිත්‍ර ධර්ම ඇති,

28 -. තරණය කළ විචිකිච්ඡා ඇති,

29 -. ප්‍රභාපත් වූ සිඳින ලද මානය ඇති,

30 -. සතර සම්‍යයක්‌ ප්‍රධාන වීර්යයෙන් යුක්‌තවූ

31 -. අතිශයින් ශ්‍රේෂ්ඨවූ ,

32 -. අප්‍රමාණ ගුණ ඇති,

33 -. ඥාණණානුභාව සම්පත්තවූ,

34 -. මහ සයුර සේ ගැඹුරු ගුණ ඇති,

35 -. පැමිණියාවූ ප්‍රඥා සම්පත් ඇති,

36 -. ලොවට නිර්වාණ ශාන්තිය සිද්ධකරන උතුම් නුවණ ඇති,

37 -. නව ලොව්තුරා දහම්හි පිහිටි,

38 -. සංවර කරන ලද ඉඳුරන් ඇති,

39 -. රාගාදී පඤ්ච සංගයන් ඉක්‌මවූ.

40 -. කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති,

41 -. සතර කරුණකින් ශ්‍රේෂ්ඨ වූ,

42 -. ප්‍රාන්ත සේනාසනයෙහි ඇලුණු,

43 -. ක්‍ෂය කරන ලද

44 -. සසර බැඳුම ඇති,

45 -. පටිමන්තන ප්‍රඥාවෙන් යුක්‌ත වූ,

46 -. මාර්ග ඥාණයෙන් දවන ලද කෙලෙස්‌ ඇති,

47 -. මානය දුරුකළ,

48 -. චිතරාගී වූ,

49 -. දැමුනාවූ,

50 -. කෙලෙස්‌ ගැටළු නැති

51 -. විපස්‌සි ආදී සවිසි බුදුවරයන්ට සත්වැනි වූ,

52 -. කොහොන් ගුණ නැති,

53 -. ත්‍රිවිද්‍යා ඇති,

54 -. ශ්‍රේෂ්ඨ බවට පැමිණි,

55 -. නසන ලද කෙලෙස්‌ ඇති,

56 -. ගාථා පදරචනායෙහි සමර්ථවූ,

57 -. සන්සුන් කාය චිත්ත ඇති.

58 -. විදිත ඥන ප්‍රභේද ඇති,

59 -. හැමට පළමුව ධර්මදානය දුන්,

60 -. වැඩසදාලීමෙහි සමර්ථ

61 -. ආර්ය වූ,

62 -. වැඩූ සිත් ඇති.

63 -. පැමිණිය යුතු සියලු ගුණයන්ට පැමිණි,

64 -. විස්‌තරකොට උත්තමාර්ථය ප්‍රකාශ කරණ,

65 -. ස්‌මෘතිමත්,

66 -. විදර්ශනාකරන,

67 -. අර්හත්වූ,

68 -. අදුෂ්ටවූ,

69 -. තෘෂ්ණා රහිතවූ,

70 -. වශීප්‍රාප්තවූ

71 -. මනාකොට ශාන්ත පදයට ගියාවූ,

72 -. ධ්‍යාන කරන,

73 -. කෙලෙසුන් අනුව,

74 -. ගියසිත් නැති,

75 -. සසරෙහි නොබැඳුනු,

76 -. ප්‍රහීණ නොවූ කෙළෙස්‌ නැති,

77 -. උත්තම විවේකයෙහි ඇලුනු,

78 -. ලොවට අගපත්වූ,

79 -. තරණය කළ චතුරොඝය ඇති,

80 -. අන්‍යයන් සසර සයුරෙන් එතෙර කරවන

81 -. සාන්තවූ,

82 -. මහත්ව ප්‍රඥාවෙන් යුක්‌ත,

83 -. පහකළ ලෝභ ඇති,

84 -. තථාගත වූ,

85 -. සුන්දර වූ ගමන් ඇති.

86 -. අප්‍රතිපුද්ගලවූ,

87 -. අසම සම වූ,

88 -. බුදුවරයන්ටම සමානවූ,

89 -. විසාරදවූ,

90 -. නිපුණවූ

91 -. සිඳදැ මූ තෘෂ්ණා ඇති,

92 -. චතුරාර්ය සත්‍යය අවබෝධකළා,

93 -. පහවූ කෙලෙස්‌ දුම් ඇත,

94 -. තෘෂ්ණාධික නොවූ,

95 -. දෘෂ්ටි වශයෙන් නොඇලුණු,

96 -. පූජාවට සුදුසු,

97 -. දිව්‍ය ස්‌වරූපවූ,

98 -. උත්තම පුද්ගලවූ,

99 -. අතුලවූ,

100 -. මහත් යසසින් අගපත්වූ

මම  භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්‌ වෙමි.

ගෞතම බුදුරජාණන් වහන්සේ අමතන නම් 100 ක්

තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ අමතන නම් 100 ක්.

01) බුද්ධෝ – චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් බුද්ධෝ නම් වන සේක.

02) දසබලො – බල දහයක් දරණ බැවින් දසබල නම් වේ.

03) සත්ථා – සියලු දෙව් මිනිසුන්ගෙ ගුරුවරයා වන බැවින් සත්ථා නම් වන සේක.

04) සබ්බඤ්ඤු – ලෝකයේ සියල්ලම අවබෝධ කළ බැවින් සබ්බඤ්ඤු නම් වේ.

05) දීපදූත්තම – දෙපයින් ඇවිදින සතුන් අතර අග්‍ර වූ බැවින් දීපදූත්තම නම් වේ

06) මුනිද්‍රො – සියලු මුනිවරුන්ට අග්‍ර ප්‍රධාන වු බැවින් මුනිද්‍රො නම් වේ.

07) භගවා – සියලු භග්‍ය ධර්මයන්ගෙන් යුක්තවු බැවින් භගවා නම් වන සේක.

08) නාථො – සියලු සතුන් වෙත පිහිට වූ බැවින් නාථො නම් වන සේක.

09) චක්ඛුමා – ලෝකයේ සත්‍ය පෙනෙන බැවින් චක්ඛුමා නම් වේ.

10) අංගීරසො – ශරීරයෙන් ‍රැස් විහිදෙන බැවින් අංගීරසො නම් වේ.

11) මුනී – තිදොරින් උපදින කෙලෙස් නැසු බැවින් මුනී නම් වේ

12) ලෝකනාථො – කාම,රූප,අරූප යන තුන්ලෝ වැසියන්ට පිහිට වූ බැවින් ලෝකනාථ නම් වේ.

13) අනධිවරෝ – ලැබිය යුතු සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් අනධිවර නම් වේ.

14) මහෙසී – මහා ඍෂිවරුන් අතර අග්‍ර ප්‍රධාන බැවින් මහෙසී නම් වන සේක.

15) විනායක – ශ්‍රේෂ්ඨ හික්මීමක් (විනය) ඇති බැවින් විනායක නම් වේ.

16) සමන්තාචක්ඛු – සියලු ලෝකන්හි තොරතුරු කිසිවක් ඉතුරු නැතිව අවබෝධ කළ බැවින් සමන්තාචක්ඛු නම් වේ.

17) සුග‍තෝ – මිහිරි සුන්දර වූ නිවනට වැඩිය බැවින් සුග‍තෝ නම් ව්න සේක.

18) භූරිපඤ්ඤ – ඉතා සියුම් (මිනිස් ඇසට නොපෙනෙන) දෙය පවා හසුකර ගත හැකි බැවින් භූරිපඤ්ඤ නම් වේ.

19) මාරජි – සියලු මාරයන් පරාජය කර ජය ගත් බැවින් මාරජි නම් වේ.

20) නරසීහ – සියලු මිනිසුන් හට උතුම් බැවින් නරසීහ නම් වේ.

21) නරවරෝ – සියලු මිනිසුන් අතර උතුම් කෙනෙක් (බුදුන් වහන්සෙට සමාන) නොමැති බැවින් නරවරෝ නම් වේ.

22) ධම්මරාජා – සියලු ගුණධර්මයන්ට රජු වූ බැවින් ධම්මරාජා නම් වේ.

23) දෙවදෙවො – සියලු දෙවියන්ට දෙවි (දෙවියන්ට පිහිට) වූ බැවින් දෙවදෙවො නම් වේ.

24) ලෝකගුරු – සියලු ලෝ වැසියන්ගේ ගෞරව (ගුරු ගෞරව) ලබන බැවින් ලෝකගුරු නම් වේ.

25) ධම්මස්සාමි – සියලු ගුණධර්මයන්හි අග්‍ර ප්‍රධාන බැවින් ධම්මස්සාමි නම් වේ.

26) තථාගත – සසර නොනැවති නිවණට පැමිණි බැවින් තථාගත නම් වේ.

27) සයම්භූ-තමාම සියලු ධර්මයන් අවබෝධ කළබැවින් සයම්භූ නම් වේ.

28) සම්මා සම්බුද්ධ – පංචවිධ ඥෙය්‍ය මංඩලය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

29) වරපඤ්ඤ – කිසිවකුට සමකල නොහැකි නුවණ දරණ බැවින් වරපඤ්ඤ නම් වේ.

30) අන්නජිත – ජයගත යුතු සියල්ලම ජයගත් බැවින් අන්නජිත නම් වේ.

31) අසමෝ – කිසිවෙකුට සමකළ නොහැකි බැවින් අසමෝ නම් වේ.

32) අස සමෝ – වෙනත් බුදුවරුන්ට පමනක් සමකළ හැකි බැවින් අස සමෝ නම් වේ.

33) අප්පටිමෝ – සියලු ලක්ෂණ ඇතුළත් කර ප්‍රතිමාවක් නොකළ හැකි බැවින් අප්පටිමෝ නම් වේ.

34) අප්පටිභාගෝ-තමන් දෙසු ධර්මය එසේ නොවේ යැයි කිමට කිසිවෙක් නොමැති බැවින් අප්පටිභාග නම් වේ.

35) අප්පටි පුද්ගලෝ – ඔබ බුදුන් නොවේ, මම බුදුවරයායි කීමට කිසිවෙක් නොමැති බැවින් අප්පටි පුද්ගල නම් වේ

36) සෙට්ඨො – සියලු ලෝ වැසියන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් සෙට්ඨො නම් වේ.

37) ජෙට්ඨො – සියලු ලෝ වැසියන්ට වැඩිමහල්ලා වූ බැවින් ජෙට්ඨො නම් වේ.

38) සත්‍යපුංගව – ශාක්‍ය වංශය බබලවන බැවින් ඒ නම යෙදේ.

39) මායාදෙවිසුභ – මායා දේවියගේ පුතා වූ බැවින් මායාදෙවිසුභ නම් වේ.

40) සමන්තභද්ද – සියලු තැනම යහපත සිදුකරන බැවින් සමන්තභද්ද නම් වේ.

41) නරාසභ – මිනිසුන් අතර ඉපිද මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් නරාසභ නම් වේ.

42) ලෝකජින – සියලු ලෝක ජයගත් බැවින් ලෝකජින නම් වේ.

43) ලෝකජි – ජයගත යුතු වෙනත් ලෝකයක් නොමැති බැවින් ලෝකජි නම් වේ.

44) පුරිසධම්මසාරති – පුරිසයන් දමනය කිරීමේ දක්ෂ බැවින් ඒ නම් වේ.

45) ධම්මස්සරෝ – සියලු ධර්මයන්ට ප්‍රධාන බැවින් ධම්මස්සරෝ නම් වේ.

46) අච්චෙජකධජ්ජ වචනො – නොබිඳිය හැකි වචන ඇති බැවින් ඒ නමින් හැඳින්වේ.

47) සත්ථ වාහක – අනේක සත්වයන් සසරින් එතෙර කරන බැවින් සත්ත වාහක නම් වේ.

48) විශුද්ධිදෙව – සියලු කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් ඒ නම් වේ.

49) සමණීස්සර – සියලු ශ්‍රමණයන්ට අධිපති වූ බැවින් සමණීස්සර නම් වේ.

50) ජළභිඤුඤ – සමභිඤු ලැබූ බැවින් ඒ නම යෙදේ.

51) ජනෙසුත – සියලු සත්වයන්ට දෙමාපියෙකු වූ බැවින් ජනෙසුත නම් වන සේක.

52) යතිරාජ – සියලු යතිවරුන්ට රජබැවින් යතිරාජ නම් වේ.

53) ලෝකබන්ධු – සියලු ලෝ වැසියන්ගෙ විස්වාස වූ නෑයා බැවින් ඒ නම් වේ.

54) ලෝකපජේජාත – තුන් ලොවෙහි අඳුර දුරලු පහනක් වූ බැවින් මේ නම් වේ.

55) අමතංදද – නිර්වාණය නැමති අමෘතය සොයාදුන් බැවින් ඒ නම් වේ.

56) සද්ධම්මචක්කවත්ති – සියලු සද්ධර්මයන්ට අණසක පතුරවන බැවින් ඒ නම් වේ.

57) ලෝකදීප – තුන් ලොවට පහනක් වූ බැවින් ඒ නම යෙදේ.

58) නිරුත්තමෝ – කිසිලෙසකින් උතුම් බව නොපිරිහෙන බැවින් ඒ නම යෙදේ.

59) ලෝකත්තයවිදු – තුන්ලොව අඳුර දුරලූ පහනක් වැනිවූ බැවින් ඒ නම යෙදේ.

60) පුරිසත්තම – ලොවට උතුම් ශ්‍රේෂ්ඨ පුරුෂයකුවූ බැවින් මේ නමින් හැඳින්වේ.

61) සච්චදදස – ලෝකයේ සියලු සත්‍ය දු‍ටු බැවින් ඒ නම් වේ.

62) සතප්‍රඤ්ඤ ලක්ඛණ – සියයක් පිං ලකුණු දරන බැවින් ඒ නම යෙදේ.

63) රවිබන්දු – සූර්ය වංශයට නෑයෙක් වූ බැවින් ඒ නමින් හැඳින් වේ.

64) පඤචනෙත්ත – පසැස් ඇති බැවින් පඤචනෙත්ත නම් වන් සේක.

65) සබ්බාහිගූ – සියලු කෙලෙස් මැඩලූ බැවින් ඒ නම යෙදේ.

66) සබ්බාහිවිදු – සියලු නුවණින් පසක් කළ බැවින් ඒ නම යෙදේ.

67) පාරගූ – සසර සයුරෙන් එතෙර වූ බැවින් ඒ නම යෙදේ.

68) සබ්බදස්සාමි – සියලු ධර්මයන් බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ.

69) නරසාරථි – සියලු මිනිසුන් නිවැරදි මාර්ගයෙ යොදවන බැවින් නරසාරථි නම් වේ.

70) තාදී – අටලෝ දහමට නොසැලෙන බැවින් තාදී නම් වේ.

71) විභජජවදි – සියලු ධර්මයන් නිරවුල්ව බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ.

72) මහා කාරුණිකො – සියලු සතුන් හට කරුණා දක්වන බැවින් ඒ නමින් හැඳින් වේ.

73) චක්බුභූතො – සියල්ල දක්නා ඥානය නැමති ඇස ඇති බැවින් ඒ නමින් හැඳින් වේ.

74) ධම්මභූතො – සියලූම ධර්මය අඩු නැතිව දත් බැවින් ධම්මභූතො නම් වේ.

75) ඤාණභූතො-සියලු ඤාණයන් අඩු නැතුව දත් බැවින් ඒ නමින් හැඳි වේ.

76) පුරිසාදඤ්ඤ – මිනිසුන් අතර දුර්ලභ උපතක් නිසා ඒ නම යෙදේ.

77) මාරභඤ්ජන – සියලු මාර බලයන් බිදලූ බැවින් ඒ නමින් හැදින් වේ.

78) අමෝඝවචන-කිසි දිනෙක හිස් වචන නොකියන බැවින් ඒ නම යෙදේ.

79) අකණිට්ඨක – කිසිවකුට බාල නොවන බැවින් අකණිට්ඨක නම් වේ.

80) ගුනාකාර – සියලු ගුන මතු කෙරෙන ආකාරය බැවින් ඒ බැවින් හැදින් වේ.

81) තිකාලවිදූ – තුන් කාලයම අවබෝධ කළ බැවින් ඒ නම් වේ.

82) වීතරාගෝ – සියලූම ගුන ඇති බැවින් වීතරාගෝ නම් වේ.

83) චීතදෝසෝ – සියලු ද්වේෂයන් පහ කළ බැවින් චීතදෝසෝ නම් වේ.

84) චීතමෝහෝ – සියලු මෝහයන් පහ කළ බැවින් ඒ නමින් හැඳින් වේ.

85) නිකලෙසී – කිසිදු නොමැති බැවින් නිකෙලෙසී නම් වේ.

86) ශාක්‍ය මුනි – ශාක්‍ය වංශයේ උපත වූ ඍෂි වරයානන් බැවින් ශාක්‍ය මුනි නම් වේ.

87) ගෞතම – බුදුවූ නාමය ගෞතම නම් වේ.

88) සිද්ධාර්ථ – අර්තයක් සිද්ද කරණ බැවින් සිද්ධාර්ථ නම් වේ.

89) මහා වීර – තුන් ලෝව ඇතුලු සියල්ලම දිග් විජය කළ බැවින් මහා වීර නම් වන සේක.

90) භාග්‍යවතුන් වහන්ස – සංසාරයෙන් මිදිමට හැකි භාග්‍ය තිබුන බැවින් ඒ නමින් හැදින් වේ.

91) බුද්ධවීර – සියලු මාරයන් පරාජය කර බුදුවු බැවින් ඒ නම යෙදේ.

92) ශාක්‍යසිංහ – යමහ මහ පෙළහර පැමෙන් ශාක්‍යන් දමනය කිරිම නිසා ඒ නමින් හැඳින්වේ.

93) සර්වඥ – ගුරුවරයකු නොමැතිව තමා විසින්ම ධර්මය අවබෝධ කරගැනිම නිසා ඒ නම් යෙදේ.

94) ජින – ලෝකය දිනූ බැවින් ජින නම් වේ.

95) තිලෝගුරු – බ්‍රහ්ම,දේව,මනුස්ස යන තුන් ලෝකයේහිම ගුරුවරයා බැවින් ඒ නම යෙදේ.

96) අමාමෑණි – මවක් තම එකම පුතුට දක්වන සෙනේහස මෙන් ලෝවැසියාට පිහිටවන බැවින් ඒ නම යෙදේ.

97) බුදුපියානන් – පියකු තම දරුවන්ට ‍රැකවරනය සලසන මෙන් ලෝවැසියන්ට ‍රැකවරනය සැලසු බැවින් ඒ නම යෙදේ.

98) ශ්‍රමණ ගෞතම – ගෞතම නාමයෙන් තපස් දිවියක් ගත කළ නිසා ඒ නම යෙදේ.

99) භවත් ගෞතම – නිවනට පැමිනි වාසනාව (භාග්‍ය) තිබු බැවින් ඒ නම යෙදේ.

100) අජරාමර ලෝක නාථ – සංසාරය නැමති ජරා මරණයෙන් සදහටම මිදි,

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ස්වරය

  • විස්සට්ඨො:- හමුනොවුයේ, බාධා නොකරන ලද්දේ, විශිෂ්ඨ වූයේ, නොපැකිළෙනුයේ වේ. ඒ ඒ තැන නැවත නැවතී කථා නොකරන. ( ගොත ගැසීමක්, බාධාවක්, උගුර පෑදීමක් න‍ොමැතිව සුවසේ වචන නික්මෙයි) 
  • විඤ්ඤෙය්‍යො:- දන්වන ප්‍රකට විස්‍රැත බැවින්, මනාව දැනගත හැකි වන්නේය. අර්ථය දන්වන්නා ( අවබෝධය ඇතිවන අර්ථයෙන් වචන නික්මෙයි)
  • මඤ්ජු:- මිහිරි, මෘදු ( මධුර ස්වරයෙන් යුත්ත වචන නික්මෙයි) 
  • සවනියො:- මිහිරිබව නිසාම කණට මිහිරි වේ. ඇසිය යුතු. කනට සැප ඇති. (සවන් යුග ඒ හඞට ඇදී යයි)
  • බින්‍දු:- සම්පිණ්ඩිත, ඒකඝන වූ ( ඒ ස්වරය වචන හා හොදින් කැ‍ටි වී තිබේ)
  • අවිසාරි:- නොවිසුරුණු, සම්පිණ්ඩිත බව නිසා, නො පැතුරුණු යථා පරිසං සිටිනතාක් පිරිසට දන්වයි, ශබ්දය ඇතුළත පිරිසට ඇසෙයි, පිටතට නො ඇසෙයි, සක්වළ කෙළවරටම ඒකාබද්ධවූ පිරිසට දන්වන සේක. බහිද්ධා අඟලක්වත් අඩ අඟලක්වත් පිරිසෙන් පිටට නොයයි. කුමක් නිසාද මෙවන් මිහිරි හඬක් නිකරුණේ නොනැසේවායි මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ හඬ පිරිස් මත්තෙන් මත්තෙන්ම හැසිරේ.
  • ගම්භීරො:- ගැඹුරින් නැගුණු, (ඒ ස්වරය ගාම්භීර හඞකින් යුත්තයි)
  • නින්නාදි:- නින්නාද වන, ගැඹුරු බව නිසාමහාමේඝ, (ගෙරවිලි හඬ) බෙර ශබ්ද මෙන් නින්නාදයෙන් යුක්ත ( ඒ ස්වරය දොංකාර දෙයි)

බ්‍රහ්මසරො:- අන්‍යයන්ට සිඳුණු ස්වර ඇත. බිඳුණු ස්වර ඇත. කාක ස්වර ඇත. බුදුරදුන් මහා බ්‍රහ්මයාගේ ස්වරය හා සමාන සවරයකින් යුක්තය. මහා බ්‍රහ්මයා වනාහි පිත්, සෙම් ආදී පීඩා නොවනක් වන නිසා ස්වරද ඉතා පිරිසිදු වූයේ වේ. කළ පින් බෙලෙන් බුදුරදුන්ගේ ශරීරාංග (වත්‍ථුං) ඉතා පිරිසිදුය. ශරීරාංගයන්ගේ පාරිශුද්ධභාවය නිසා නාභියේ සිට හටගන්නා වූ ස්වරය ඉතා පවිත්‍රය. අංග අටකින් සමන්විතව ම හටගනී. කෙවිල්ලන් (කොවුලන්) මෙන් හඬ ඇත්තේනුයි