සියලු බුදුවරුන් වහන්සේලාගේ සමතිස් ධර්මතා
සියලු බුදුවරයන් වහන්සේලාගේ අසාධාරණ ධර්මතාව ප්‍රකාශ කරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේලාගේ ධර්මතාව සමතිස් වැදෑරුම් වෙයි.
ඒ මෙසේයි.
පශ්චිමභවික බෝසතාණන් වහන්සේගේ මනා සිහිනුවණින් මවුකුස පිළිසිඳ ගැනීම,
මවුකුස පර්යංකයෙන් පිටත බලා හිඳීම,
බෝසත් මව හිටගෙනම ප්‍රසූත කිරීම,
අරුණයෙහිම මවුකුසින් බිහිවීම,
රන්පටෙහි පිහිට වූ පාදයෙන් උතුරුදිග බලා සත්පියවරින් ගොස් සිවුදිග බලා සිංහනාද කිරීම,
සතර නිමිති දැක පුතුන් උපන් පසු මහාසත්ත්‍වයන්ගේ මහබිනික්මන කිරීම,
අරහත්ධජය පිළිගෙන පැවිදිව,
යටත් පිරිසෙයින් සතියක් ප්‍රධන් වැඩීම,
බුදුබවට පත්වන දින කිරිපිඬු භෝජනය,
තණ ඇතිරියෙහි වැඩහිඳ සර්වඥතාඥානය අවබෝධ කිරීම,
ආනාපාන කර්මස්ථාන පරිකර්මය,
මාරබල නැසීම,
බෝපලඟෙහිම ත්‍රිවිද්‍යාව ආදිකොට අසාධාරණඥානාදි ගුණ ප්‍රතිලාභය,
සත්සතිය බෝධිසමීපයෙහිම ගතකිරීම,
ධර්ම දේශනාව පිණිස බ්‍රහ්මයාගේ ආයාචනය,
ඉසිපතන මිගදායෙහි දම්සක් පැවැත්වීම,
නවම් පුර පසළොස්වක සිවුවනක් පිරිස් රැස්වීමෙහි පාමොක් දෙසීම,
ජේතවන ස්ථානයෙහි නිත්‍යවාසය,
සැවැත්නුවර දොර යමාමහ පෙළහර දැක්වීම,
තව්තිසා භවනයෙහි විජම්බණ දෙසීම,
සකස්පුර දොර දෙව්ලොවින් බැසීම,
නිරන්තර පලසමවතට සමවැදීම,
දැහැන් දෙක්හි විනෙයජනයන් දෙස බැලීම,
හේතුවක් උපන් කල ශික්‍ෂාපද පැනවීම,
හේතුවක් ඇතිව ජාතක දේශනාව,
ඤාතිසමාගමයෙහි බුද්ධවංසය දේශනා කිරීම,
ආගන්තුක භික්‍ෂූන් සමග පිළිසඳර කිරීම,
ආරාධිතයන්ට නොදන්වා වස් නිමවා නොවැඩීම,
දවසක් පාසා පෙරබත පසු බත පෙරයම මැදියම අලුයම කටයුතු කිරීම,
පිරිනිවන් දිනයෙහි මස්රස වැළඳීම,
සූවිසි කෙළදහසක් සමවත් සමවැද පිරිනිවීම
යන මේ සමතිස් සියලු බුදුවරුන් වහන්සේලාගේ ධර්මතායි.
සතර අන්තරාය නොකළ හැකි ධර්ම
සියලු බුදුවරුන් වහන්සේලා උදෙසා එළවන ලද සිවුපසයට අන්තරාය කිරීම කිසිවෙකු විසිනුත් නොකළ හැකිය. කිසිවෙකු විසිනුත් ආයුෂයට අනතුරු කළ නොහැකිය. එහෙයින් අනුන්ගේ උපා ක්‍රමයෙන් තථාගතයන් වහන්සේගේ දිවි තොර කරන්නේය යන යමක් ඇත්ද මෙය නොවන්නකි. අවකාශ නැත්තේයයි කියන ලදි. බුදුවරුන්ගේ දෙතිස් මහපුරිස් ලකුණුවලට අසීති අනුව්‍යඤ්ජනවලට කිසිවකු විසිනුත් අන්තරාය කළ නොහැක්කේය. බුදුරැස්වලට අනතුරු කිරීම කිසිවකු විසිනුත් කළ නොහැක්කේය. මේ සතර අන්තරාය නොකළ හැකි ධර්ම නම් වෙයි.
සමහර කාලවල බුදුන් වහන්සේ සහ සක්විති රජතුමා එකවර වැඩ සිටිනවා
කොණ්ඩඤ්ඤ බුද්ධවංශය
කොණ්ඩඤ්ඤ ශාස්තෘන් වහන්සේ බුදුබවට පත්ව පළමු වස සඳවතී නුවර ළඟ චන්‍ද්‍රරාමයෙහි විසූහ. එහි සුචින්‍ධර නම් මහසල් බමුණාගේ පුත් චන්‍දමානව නම් කීර්තිධර බමුණු පුත් සුභද්ද නම් තරුණයා ද කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ වෙතින් බණ අසා පහන් සිතින් තරුණයන් දසදහසක් සමග උන්වහන්සේ වෙත පැවිදිව රහත් විය.
ඉක්බිති කොණ්ඩඤ්ඤ බුදුහු පොසොන් පුර පසළොස්වක දින සුභද්ද තෙරුන් ප්‍රමුඛ කෙළ ලක්‍ෂයක් පිරිවරා පාමොක් උදෙසූහ. එය පළමු සන්නිපාතයයි. ඉන් මෙපිට කොණ්ඩඤ්ඤ බුදුපුත් විජිත තෙරුන් රහත් වූ කල උන්වහන්සේ ප්‍රමුඛ කෙළ ලක්‍ෂයක් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය දෙවන සන්නිපාතයයි. පසුකලෙක දසබලයන් වහන්සේ ජනපද චාරිකා කරන සේක් අනූකෙළක් පිරිවර ඇති උදේන නම් රජු පැවිදි කරවූහ. ඒ පිරිස සමග ඔහු ප්‍රධානකොට ඇති අනූ කෙළක් සමග සමග භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන සන්නිපාතයයි එයින් කියන ලදි-
එකල් අප බෝසතාණෝ විජිතාවී නම් සක්විති රජව චන්‍දවතී නුවර වසන්නාහ. උන්වහන්සේ වනාහි නොයෙක් උතුම් මිනිසුන් පිරිවරා සයුර හිම්කොට මේරුයුගඳුරු සහිත අපමණ රුවන් දරන මහපොළව අදණ්ඩනයෙන් අශසත්‍රයෙන් දැහැමෙන් සෙමෙන් පාලනය කරන්නාහ. එකල්හි කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්‍ෂයක් රහතන් පිරිවරා ජනපද චාරිකාවෙහි යෙදෙන සේක් පිළිවෙලින් චන්‍දවතී නුවරට වැඩි සේක.
ඒ විජිතාවී රජ බුදුහු අපගේ නුවරට වැඩිසේකැයි අසා පෙරගමන් කොට වසන තැන් නිලකොට බික්සඟුන් සහිතව සෙට දිනට ආරාධනා කොට පසුදා මනාව දන් සරහා කෙළ ලක්‍ෂයක් පමණ බුද්ධ ප්‍රමුඛ බික්සඟනට මහදන් පිදීය. බෝසත්හු බුදුන් වළඳවා අනුමෝදනාවසානයෙහි ස්වාමීනි, තෙමසක් මහජන අනුග්‍රහ කරමින් මෙහිම වසන සේක්වායි අයැද තෙමස නිතොර බුදුපාමොක් මහසඟනට අසදෘශ මහදන් පිදූහ.
ඉක්බිති ශාස්තෘන් වහන්සේ බෝසතුන්ට මතු ගෝතම නම් බුදුවන්නේ යයි ප්‍රකාශකොට දම් දෙසූහ. උන්වහන්සේ බණ අසා රාජ්‍යය පුදා මහණව තුන්පිටකය ඉගෙන අටසමවත් පසභිඥා උපදවා නොපිරිහුණු දැහැනින් බඹලොව උපන්හ.
සුජාත බුද්ධවංශය
එ මැ මණ්ඩ නම් කල්පයෙහි සිංහයකුට බඳු පරිපූර්‍ණ හනු ඇති වෘෂභයකුට බඳු සම වට කඳට ඇති ප්‍රමාණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සුජාත නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූහ. විගත මල ඇති එහෙයින් මැ ශුද්ධ වූ චන්‍ද්‍රයා යම් සේ ද ප්‍රතාපවත් සූර්‍ය්‍යයා යම් සේ ද, එසෙයින් මැ හැම කල්හි සිරියෙන් බබළන සම්බුදුහු බබළති. සම්බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුමඞ්ගල නම් නගරයෙහි දී දම්සක් පැවැත් වූහ. සුජාත නම් ලෝකනායකයන් වහන්සේ උතුම් වූ දහම් දෙසන කල්හි ප්‍රථම ධර්‍මදේශනායෙහි අසූ කෙළක් ප්‍රාණීහු ධර්‍මභාවබෝධය කළහ. යම් කලෙකැ අප්‍රමාණ යසස් ඇති සුජාත නම් සම්බුදුහු දෙව්ලොවැ වස් එළැඹි සේක් ද, එකල්හි සත්තිස් දහසක් සත්නට ද්විතීය ධර්‍මාභිසමය වී. යම් කලෙකැ අසමසම වූ සුජාත නම් බුදුහු පියරජහු සමීපයට වැඩිසේක් ද, එකල්හි සැටලක්‍ෂයක් ප්‍රාණීන්ට තුන් වැනි ධර්‍මාවබෝධය වී. මහර්ෂි වූ සුජාත සර්‍වඥයන් වහන්සේට විගතරාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී. අභිඥාබලයට පැමිණි කුදු මහත් භවයට නො පැමිණියවුන් අතුරින් ඒ සැටලක්‍ෂයක් රහත්හු පළමු වැ රැස් වූහ. යළි පස්මරුන් දිනූ බුදුන් ගේ දෙව්ලොවින් බස්නා සන්නිපාතයෙහි පනස් ලක්‍ෂයක් රහතුන් ගේ ද්විතීය සමාගමය වී. ඒ සුජාත නම් බුදුනට යම් අගසවු කෙනෙක් වූවාහු ද, සුදර්‍ශන නම් වූ උන් වහන්සේ නරශ්‍රේෂ්ඨ බුදුන් කරා පැමිණෙන්නාහු සාර ලක්‍ෂයක් පිරිවර හා සමග පැමිණියාහ. එසමයෙහි මම් කොදිව් සහිත සතර දිවයිනෙහි අධිපති වූ අහස්හි හැසිරෙන මහබල ඇති සක්විති රජ වීමි. ඒ මම් ලෝකයෙහි අද්භූත වූ ලොමුදහගන්වන ආශ්චර්‍ය්‍යය දැක සුජාත ලෝකනායකයන් වහන්සේ කරා එළැඹ වැන්දෙමි. සිව්මහදිවයින්හි මහරජය උතුම් වූ සත් රුවන බුදුන් විෂයයෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.
මෛත්‍රෙය බුදුරදුන් පහළවන කාලය
මහණෙනි, මිනිසුන් හවුරුදු අසූදහසක් ආයු ඇතියන් වූ කල්හි මේ දඹදිව සමෘද්ධ (ධාන්‍යාදියෙන් සම්පන්න) ද, ස්ථිත (වස්ත්‍රාදියෙන් පරිපූර්‍ණ) ද වන්නේ ය. ගම් නියම්ගම් දනවු රජදහන්හු වහළ මතුයෙන් ගමෙකින් ගමකට කුකුළකු විසින් යෑ හැකි වන් සේ ඒකාබද්ධ වැ පිහිටි දහස්ගණන් ගෙවලින් යුක්ත වන්නාහ. මහණෙනි, අසූ දහසක් හවුරුදු ආයු ඇති මිනිසුන් ඇති වන කල්හි මේ දඹදිව උනවනයක් බටවනයක් සේ, අවීචිය මෙන් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැති සේ ගැවැසුණේ වන්නේ ය.
මහණෙනි, මිනිසුන් වස් අසූදහසක් ආයු ඇත්තන් වන කල්හි, මේ බරණැස් නුවර සමෘද්ධ වූ ද ආඪ්‍ය වූ ද බොහෝ ජනයා ඇත්තා වූ ද මිනිසුන්ගෙන් ආකීර්‍ණ වූ ද සුලභ ආහාර ඇත්තාවූ ද කේතුමති නම් රජ දහනෙක් වන්නේ ය. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇත්තවුන් වූ කල්හි මෙ දඹදිව්හි කේතුමතී රාජධානිය පාමොක් කොටැති සුවාසූ දහසක් නගරයෝ වන්නාහ. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇතියන් වූ කල්හි කේතුමති රාජධානියෙහි ධාර්මික වූ ධර්‍මරාජ වූ සිවු සයුරු හිම් කොට සතර මහාද්වීපයට අධිපති වූ, සියලු සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් යුත් ශංඛ නම් සක්විති රජෙක් පහළ වන්නේ ය. ඔහුට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වන පරිනායක රත්නයැ යි මේ සප්ත රත්න කෙනෙක් වන්නාහ. ඔහුට බාන සුලු නොවූ මූර්තිමත් වීර්‍ය්‍යය බඳු ශරීර ඇති, පර සෙන් මඩිනු සමත් වූ, දහසකට වැඩි දරු කෙනෙක් වන්නාහ. හෙ තෙම සයුරුහිම් මෙ මහ පොළොව දඬුවමින් තොර වැ, අවියෙන් තොර වැ, දැහැමෙන් සෙමෙන් ජය ගෙන අධිපති වැ වසන්නේ ය.
මහණෙනි, මිනිසුන් හවුරුදු අසූදහසකට පරමායුෂ ඇත්තවුන් වූ කල්හි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණ සම්පන්න වූ, සුගත වූ, ලොව දන්නා, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිස්නට ශාස්තෘ වූ, සිවුසස් අවබෝධ කළ, සියලු භාග්‍යගුණ ඇති, මෛත්‍රෙය නම් භාග්‍යවත් තෙම ලොවැ උපදින්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්‍වප්‍රජාව ද තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට පළ කෙරෙම් ද, එසේ ම ඒ මෛත්‍රෙය බුදුරජ ද දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්‍වප්‍රජාව ද තෙමේ ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට දන්වන්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසම් ද, හැම ලෙසින් පිරිපුන් වූ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරම් ද, එසේ ම ඒ බුදුරජ තෙමේ ද ආදිකල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත ව්‍යංජන සහිත වූ දහම් දෙසන්නේ ය. හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කරන්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි නොයෙක් සිය ගණන් භික්‍ෂු සඞ්ඝයා පරිහරණය කෙරෙම් ද, එසේ ම ඒ බුදුරජ නොයෙක් සියදහස් ගණන් භික්‍ෂු සඞ්ඝයා පරිහරණය කරන්නේ ය.
මහණෙනි, එ කල්හි ශඞ්ඛ නම් ඒ සක්විති රජ තෙම, පෙරැ මහාපනාද රජහු විසින් කරවන ලද යම් ප්‍රාසාදයෙක් වේ ද, ඒ පහය මත්තට නංවා, කලක් එහි වැස, මහණ බමුණු දුගී මගී පුලනු යදි ආදීනට එය පරිත්‍යාග කොට හැර දමා කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙයින් නික්මැ භගවත් අර්‍හත් මෛත්‍රෙය සම්මාසම්බුදු රජුහු වෙතැ, පැවිදි වන්නේ ය. හෙ තෙම මෙසේ පැවිදි වූයේ ම, හුදෙකලා වූයේ, කයින් සිතින් විවික්ත වූයේ, නොපමා වූයේ, කෙලෙස් තවන වැර ඇතියේ, නිවන් කරා මෙහෙයූ සිතැත්තේ, මඳ කලෙකින් ම යමක් පිණිස කුල දරුවෝ ගිහි ගෙන් නික්ම මනා කොට ම සසුන් වදිත් නම්, ඒ නිරුත්තර වූ සසුන් බඹසරැ අවසන වූ රහත්පලය වත්මනු බෙවෙහි ම තමා ම දැන පසක් කො සපයා වසන්නේ ය.
පස්විසි බුදුවරුන් වහන්සේලාගේ මව-පියා සහ බෝධීය
මෙම බුදුවරුන් ගේ විස්තර කීපයක් පහත දැක්වේ.
තණ්හංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුනන්ද රජු
මව් දේවිය : මනෝනඤ දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : රුක් අත්තන බෝධිය
මේධංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදේව රජු
මව් දේවිය : යසෝධරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 14
බෝධිය : කෑල නැමති බෝධිය
සරණංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුමංගල රජු
මව් දේවිය : යසවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය : පුලිල නැමති බෝධිය
දීපංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදේව රජු
මව් දේවිය : සුමේධා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : පුලිල නැමති බෝධිය
කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුනන්ද රජු
මව් දේවිය : රම්යාවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : සල් බෝධිය
මංගල බුදු රජාණන් වහන්සේ
පිය රජු : උත්තර රජු
මව් දේවිය : උත්තර දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : නා බෝධිය
සුමන බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදත්ත රජු
මව් දේවිය : සිරිමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : නා බෝධිය
රේවත බුදු රජාණන් වහන්සේ
පිය රජු : විපුල රජු
මව් දේවිය : විපුල දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 07
බෝධිය : නා බෝධිය
සෝභිත බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුධම්ම රජු
මව් දේවිය : සුධම්ම දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : නා බෝධිය
අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ
පිය රජු : යසවන්න රජු
මව් දේවිය : යශෝධරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය : කුඹුක් බෝධිය
පදුම බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදේව රජු
මව් දේවිය : අනෝමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : මුරුත බෝධිය
නාරද බුදු රජාණන් වහන්සේ
පිය රජු :
මව් දේවිය :
දුෂ්කර ක්‍රියා කාලය :
බෝධිය : මුරුත බෝධිය
පදුමුත්තර බුදු රජාණන් වහන්සේ
පිය රජු : ආනන්ද රජු
මව් දේවිය : සුජාතා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : කිරිපලුබෝධිය
සුමේධ බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදත්ත රජු
මව් දේවිය : සුමනා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : බක්මී බෝධිය
සුජාත බුදු රජාණන් වහන්සේ
පිය රජු : උද්ගත රජු
මව් දේවිය : ප්‍රභාවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : හුණ බෝධිය
පියදස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදත්ත රජු
මව් දේවිය : සුවේන්ද්‍ර දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය : කුඹුක් බෝධිය
අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : සාගර රජු
මව් දේවිය : සුදර්ශණා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : සපු බෝධිය
ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : සරණ රජු
මව් දේවිය : සුනන්ද දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : කරවි බෝධිය
සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ
පිය රජු : උදේනි රජු
මව් දේවිය : සුප්පා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : කිණිහිර බෝධිය
තිස්ස බුදු රජාණන් වහන්සේ
පිය රජු : ජනසන්ධ රජු
මව් දේවිය : පදුමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : කොහොඹ බෝධිය
ඵුස්ස බුදු රජාණන් වහන්සේ
පිය රජු : ජයසේන රජු
මව් දේවිය : සිරිමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය : නෙල්ලි බෝධිය
විපස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : බන්දුන්තු රජු
මව් දේවිය : මදුමති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : පලොල් බෝධිය
සිඛි බුදු රජාණන් වහන්සේ
පිය රජු : අරුණවන්තු රජු
මව් දේවිය : ප්‍රභාවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : අඹ බෝධිය
වෙස්සභු බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුප්පාසික රජු
මව් දේවිය : යසවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය : සල් බෝධිය
කකුසඳ බුදු රජාණන් වහන්සේ
පිය රජු : ඛේම රජු
මව් දේවිය : විශාකා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : බක් බෝධිය
කෝණාගම බුදු රජාණන් වහන්සේ
පිය රජු : යඤ්ඤදත්ත රජු
මව් දේවිය : උත්තරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය : දිඹුල් බෝධිය
කස්සප බුදු රජාණන් වහන්සේ
පිය රජු : බ්‍රහ්මදත්ත රජු
මව් දේවිය : ධනවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : නුග බෝධිය
ගෞතම බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුද්ධෝදන රජු
මව් දේවිය : මහාමායා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : වසර 06
බෝධිය : ඇසතු බෝධිය
බුදුවරු විසිපස් දෙනා අතර වෙනස්කම් අට.
පස්විසි බුදුවරුන් වහන්සේලාගේ වෙනස්කම් අටක් දතයුතුය.
අට කුමක් ද?
ආයු වෙනස, ප්‍රමාණ වෙනස, කුල වෙනස, ප්‍රධන් වෙනස, රශ්මි වෙනස, යානා වෙනස, බෝධිවෘක්‍ෂ වෙනස, පර්යංක වෙනස යනුයි.
එහි ආයු වෙනස නම්
සමහර බුදුවරු දීර්ඝායුෂ්ක වෙති. සමහරු අල්පායුෂ්ක වෙති. ඒ එසේමැයි.
දීපංකර, කොණ්ඩඤ්ඤ, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, අත්‍ථදස්සී, ධම්මදස්සී, සිද්ධත්‍ථ, තිස්ස යන මේ නව බුදුවරයන් වහන්සේලා වර්ෂ ලක්‍ෂයක් ආයු ඇත්තෝ වූහ.
මංගල, සුමන, සෝභිත, නාරද, සුමේධ, සුජාත, පියදස්සී, ඵුස්ස මේ අටබුදුවරයන් වහන්සේලා අනූදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.
රේවත, වෙස්සභු දෙනම හැටදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.
විපස්සී භාග්‍යවතුන් වහන්සේ අසූදහසක් අවුරුදු ආයු ඇතිවූ සේක.
සිඛී, කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන මේ සතර බුදුවරයන් වහන්සේලා ක්‍රමයෙන් සැත්තෑදහස් සතලිස්දහස් තිස්දහස් විසිදහස් අවුරුදු ආයු වූ සේක.
අප භාග්‍යවතුන් වහන්සේගේ ආයු ප්‍රමාණය අවුරුදු සියයක් විය.
රැස්කරන ලද පුණ්‍යසම්භාර ඇත්තා වූද දීර්ඝායුෂ්ක පැවතීමට හේතුකර්මයන් ඇත්තා වූද බුදුවරුන් වහන්සේලාට යුග වශයෙන් ආයු ප්‍රමාණය අප්‍රමාණ විය.
මේ ආයු පිළිබඳ වෙනසයි.
පමාණ වෙමත්තතාව නම්
සමහර බුදුවරුන් වහන්සේලා උස්වෙති. සමහරු මිටි වෙති. ඒ එසේය.
දීපංකර, රේවත, පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී, විපස්සී බුදුවරුන්ගේ ශරීර ප්‍රමාණය අසූරියන් විය.
කොණ්ඩඤ්ඤ, මංගල, නාරද, සුමේධ බුදුවරුන්ගේ ශරීරය අට අසූරියන් පමණ විය.
සුමන බුදුරදුන්ගේ ශරීරය අනූරියන් උස්විය.
සෝභිත, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, ඵුස්ස බුදුවරුන්ගේ ශරීරය අටපනස් රියන් උස්විය.
සුජාත බුදුන්ගේ සිරුර පනස්රියන් උස්විය.
සිද්ධත්‍ථ, තිස්ස, වෙස්සභූ බුදුවරුන්ගේ ශරීරය හැටරියන් විය.
සිඛී බුදුන්ගේ සිරුර සැත්තෑරියන් උස්විය.
කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුවරුන්ගේ ශරීරය පිළිවෙලින් සතලිස් තිස් විසි රියන් උස්විය.
අප භාග්‍යවතුන් වහන්සේ අටළොස් රියන් උස්වූහ.
ප්‍රමාණ වෙනස මෙයයි.
කුල වෙමත්තතාව නම්
සමහරු කැත් කුලයෙහි උපදිති. සමහරු බමුණු කුලයෙහි උපදිති.
කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුවරුන් වහන්සේලා බමුණු කුලයෙහි උපන්හ.
සෙසු දෙවිසි බුදුවරුන් වහන්සේලාම කැත් කුලෙහි උපන්හ.
මේ කුල වෙනස නමි.
පධාන වෙමත්තතාව නම්
දීපංකර, කොණ්ඩඤ්ඤ, සුමන, අනෝමදස්සී, සුජාත, සිද්ධත්‍ථ, කකුසන්‍ධ බුදුවරුන් වහන්සේලාගේ වීර්ය වැඩීම දසමසකි.
මංගල, සුමේධ, තිස්ස, සිඛී බුදුවරුන් වහන්සේලාගේ ප්‍රධාන චර්යාව අටමසකි.
රේවත බුදුන්ගේ සත්මසකි. සෝභිත බුදුන්ගේ සිවුමසකි.
පදුම, අත්‍ථදස්සී, විපස්සී බුදුවරුන්ගේ අඩමසකි.
නාරද, පදුමුත්තර, ධම්මදස්සී, කස්සප බුදුවරුන්ගේ සතියකි.
පියදස්සී, ඵුස්ස, වෙස්සභූ, කෝනාගමන බුදුවරුන්ගේ සමසකි.
අප බුදුන්ගේ ප්‍රධන් චර්යාව සවසක් විය.
මෙය ප්‍රධන් චර්යාවේ වෙනසයි.
රස්මි වෙමත්තතාව නම්
මංගල සම්මා සම්බුදුන්ගේ ශරීර රශ්මිය දසදහසක් සක්වළ පැතිර සිටියේය.
පදුමුත්තර බුදුන්ගේ දොළොස් යොදුන් ප්‍රමාණ විය.
විපස්සී බුදුන්ගේ සත් යොදුනකි.
සිඛී බුදුන්ගේ තුන් යොදුන් පමණය.
කකුසඳ බුදුන්ගේ දස යොදුන් පමණය.
අප බුදුන්ගේ හාත්පස බඹයක් පමණය.
සෙසු බුදුවරුන්ගේ නියමයක් නොමැත.
මේ රශ්මි වෙනස නමි. අදහස අනුව බැඳුණෝය. යමෙක් යම් පමණ කැමතිද උන්වහන්සේගේ ශරීරයෙන් එපමණ පැතිරෙයි. පිළිමිදි ගුණයෙහි කිසිදු වෙනසක් නැත්තේය.
මේ රශ්මි වෙනස නමි.
යාන වෙමත්තතාව නම්
කිසිවෙක් ඇත් යානයෙන් නික්මෙති.
කිසිවෙක් අස් රථ පද පාසාද සිවිකාදි කිසිවකින් නික්මෙති.
ඒ එසේමැයි. දීපංකර, සුමන, සුමේධ, එුස්ස, සිඛී, කෝනාගමන බුදුවරු ඇත්යානයෙන් නික්මුණහ.
කොණ්ඩඤ්ඤ, පදුම, රේවත, පියදස්සී, කකුසන්‍ධ බුදුවරු රථයානයෙනි.
මංගල, සුජාත, අත්‍ථදස්සී, තිස්ස, ගෝතම බුදුවරු අස් යානයෙනි.
අනෝමදස්සී, සිද්ධත්‍ථ, වෙස්සභූ සිවිකාවෙනි.
නාරද බුදුහු පාගමනිනි.
සෝභිත, පදුමුත්තර, ධම්මදස්සී, කස්සප බුදුවරු ප්‍රාසාදයෙන්ම නික්මුණහ.
මේ යානා වෙනස නමි.
බෝරුක් වෙනස නම්
දීපංකර බුදුන්ගේ ගිවුළු රුක බෝධියයි.
කොණ්ඩඤ්ඤ බුදුන්ගේ සල්කලණ ගසයි.
මංගල, සුමන, රේවත, සෝභිත බුදුවරුන්ගේ නාරුක බෝධියයි.
අනෝමදස්සී බුදුන්ගේ බෝධිය කුඹුක්ගසයි.
පදුම, නාරද බුදුවරුන්ගේ බෝධිය මහාසොණ වෘක්‍ෂයයි.
පියුමතුරා බුදුන්ගේ හොරගස බෝධියයි.
සුමේධ බුදුන්ගේ බෝධිය කොළොම්ගසය.
සුජාත බුදුන්ගේ බෝධිය හුණගසයි.
පියදස්සී බුදුන්ගේ බෝධිය කුඹුක් ගසයි.
අත්‍ථදස්සී බුදුන්ගේ බෝධිය සපුගසයි.
ධම්මදස්සී බුදුන්ගේ බෝධිය කුරවක වෘක්‍ෂයයි.
සිද්ධාර්ථ බුදුන්ගේ බෝධිය කිණිහිරි රුකයි.
තිස්ස බුදුන්ගේ පියාගසය.
ඵුස්ස බුදුන්ගේ නෙල්ලිගසය.
විපස්සී බුදුන්ගේ පළොල් රුකය.
සිඛී බුදුන්ගේ සුදුඅඹ ගසය.
වෙස්සභූ බුදුන්ගේ සල්රුකය.
කකුසඳ බුදුන්ගේ සරස රුකය.
කෝනාගමන බුදුන්ගේ දිඹුල් රුකය.
කස්සප බුදුන්ගේ නුගරුකය. ගෝතම බුදුන්ගේ ඇසතු රුකය.
මේ බෝරුක් වෙනසයි.
පර්යංක වෙනස නම්
දීපංකර, රේවත, පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී, විපස්සී බුදුවරුන්ට තෙපනස් රියන් පර්යංක විය.
කොණ්ඩඤ්ඤ, මංගල, නාරද, සුමේධ බුදුවරුන්ට සත්පනස් රියන් විය.
සුමන බුදුන්ට සැටරියන් පර්යංකය විය.
සෝභිත, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, ඵුස්ස බුදුවරුන්ට අටතිස්රියන් විය.
සුජාත බුදුන්ට දෙතිස්රියන් විය.
සිද්ධත්‍ථ, තිස්ස, වෙස්සභූ බුදුවරුන්ට සතළිස් රියන් විය.
සිඛී බුදුන්ට දෙතිස්රියන් විය.
කකුසඳ බුදුන්ට සව්සිරියන් විය.
කෝනාගමන බුදුන්ට විසි රියන්ය.
කසුප් බුදුන්ට පසළොස් රියන්ය.
ගෞතම බුදුන්ට තුදුස්රියන් වූයේය.
මේ පර්යංක වෙනස නමි.