තුරිත චාරිකා – අතුරිත චාරිකා

භාග්‍යවතුන් වහන්සේගේ චාරිකාව දෙවැදෑරුම් වෙයි.

තුරිත චාරිකා, අතුරිත චාරිකා

එහි අවබෝධ කළයුතු පුද්ගලයකු දැක ඔහුට අවබෝධ කරනු පිණිස වහා ගමන තුරිත චාරිකා නම් වේ.

එය මහා කාශ්‍යප තෙරුන්ගේ පෙරගමන් ආදියෙහිදී දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මහකසුප් තෙරුන් පෙරගමන් කරද්දී මොහොතින් ගවු තුනක මගක් වැඩි සේක. ආලවක සඳහා තිස්යොදුනක් වැඩි සේක. අංගුලිමාල සඳහාද එසේය. පුක්කුසාති සඳහා යොදුන් හතළිස්පහක්ද, මහා කප්පින සඳහා යොදුන් දෙදහසක්ද, ධනය සඳහා යොදුන් සත්සියයක්ද වැඩි සේක. ධර්ම සේනාපතිගේ සද්ධිවිහාරික වනවාසි තිස්ස සාමණේරයන් සඳහා ගවු තුනක් සහ යොදුන් දෙදහසක් වැඩි සේක.

එක් දවසක් සැරියුත් තෙරණුවෝ ස්වාමීනි, තිස්ස සාමණේරයන් සමීපයට යමියි කීහ. භාග්‍යවතුන් වහන්සේ මම ද එන්නෙමියි කියා ආයුෂ්මත් ආනන්ද ඇමතූ සේක. ‘ආනන්ද විසිදහසක් ෂට් අභිඥාලාභීන්ට දන්වන්න. භාග්‍යවතුන් වහන්සේ තිස්ස සාමණේරයන් සමීපයට වඩින සේකැ’යි ඉන්පසු දෙවැනි දවසෙහි විසිදහසක් රහතුන් පිරිවරා අහසට නැගී යොදුන් දෙදහසක් එපිට ඔහුගේ ගොදුරුගම්දොර බැස සිවුර පෙරවූ සේක. කර්මාන්ත සඳහා යන මිනිස්සු දැක ‘අපගේ ශාස්තෲන් වහන්සේ පැමිණි සේක. කර්මාන්ත සඳහා නොයන්නැයි කියා අසුන් පනවා කැඳ දී පාවත් කරන්නාහු ‘භාග්‍යවතුන් වහන්සේ කොහි වඩනා සේක්දැයි තරුණ භික්ෂූන්ගෙන් විමසූහ. ‘උපාසකවරුනි, භාග්‍යවතුන් වහන්සේ අන් තැනක නොවඩනා සේක. මෙහිම තිස්ස සාමණේරයන් දකිනු පිණිස වැඩි සේක. ඔවුහු අපගේ කුලුපග තෙරුන් දක්නට ශාස්තෲන් වහන්සේ වැඩිසේකැ, අපගේ තෙරණුවෝ සුළුපටු කෙනෙක් නොවෙති යි සොම්නස් ඇත්තෝ වූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බත්කිස කෙළවර සාමණේරයන් වහන්සේ ගමෙහි පිඬු පිණිස හැසිර උපාසකවරු ‘භික්ෂු සංඝයා මහත්දැයි ඇසූහ. ඉක්බිති ඔවුහු උන්වහන්සේට ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි දැන්වූහ. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ පිණ්ඩපාතයෙන් පිළිවිසූහ. ශාස්තෲන් වහන්සේ තිස්සගේ පාත්‍රය අතින් ගෙන ‘අවශ්‍ය නැත තිස්ස, බත්කිස නිමියේ යැයි කියූ සේක. ඉන්පසු උපාධ්‍යයන් වහන්සේ විමසා තමාට පැමිණි අසුනෙහි හිඳ බත්කිස කළහ. ඉක්බිති ඔහුගේ බත්කිස අවසන ශාස්තෲන් වහන්සේ යහපත් දෙයක් කියා නික්ම ගම්දොර සිට ‘තිස්ස ඔබගේ වසන තැනට යන මග කුමක්දැයි ඇසූ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, මෙය යැයි මග කියනවිට ‘තිස්ස පෙරටුව යන්න’යැයි කී සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි සදේවක ලෝකයට මාර්ගය පෙන්වන්නකු වුවද සියලු තුන්ගවු මග සාමණේරෙයන් දක්නට ලබමියි ඔහු මාර්ග දේශකයා කළ සේක.

හේ තමාගේ වසන තැනට ගොස් උන්වහස්ට වත් කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘තිස්ස ඔබගේ සක්මන කුමක්දැයි අසා එහි ගොස් සාමණේරයන් හිඳින පහණෙහි හිඳ ‘තිස්ස මෙතැන සුවසේ විසීදැයි ඇසූ සේක. ‘එසේය ස්වවාමීනි, මෙතැන වසන මට සිංහයන්ගේ ව්‍යාඝ්‍රයන්ගේ හස්තීන්ගේ මෘගයන්ගේ සොරුන්ගේ හඬ අසනවිට අරණ්‍ය සංඥාව උපදී. එයින් සැපසේ වෙසෙමි.’ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘තිස්ස මහා සංඝයා රැස්කරවන්න. බුද්ධ දායාදය ඔවුන්ට පෙන්වමියි කියා භික්ෂු සංඝයා රැස් වූ කල්හි උන්වහන්සේ උපසම්පදා කොට තමා වසන තැනට වැඩි සේක. මෙය තුරිත චාරිකාවයි.

ගම් නියම්ගම් පිළිවෙළින් දිනපතා යොදුනක් අඩයොදුනක් වශයෙන් පිඬු පිණිස හැසිරීම් ආදියෙන් ලෝකයාට අනුග්‍රහ කරන ගමන. මෙය අතුරිත චාරිකා නමි.

මේ චාරිකාවෙහි හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය අන්තො මණ්ඩලය යන මේ මණ්ඩල තුනෙන් එකක හැසිරෙන සේක. එහි මහා මණ්ඩලය නවසියයක් යොදුන්ය. මධ්‍යම මණ්ඩලය හයසියයක් යොදුන්ය. අන්තො මණ්ඩලය තුන්සියයක් යොදුන්ය. යම්කලෙක මහා මණ්ඩලයෙහි චාරිකා කරන්ට කැමති සේක්ද මහා පවාරණයෙන් පවරා ශුක්ල පක්ෂයෙහි පළමුවන දිනයෙහි මහා භික්ෂු සංඝයා පිරිවරා නික්මෙන සේක. හාත්පස යොදුන් සියයක් එකම කෝලාහලයක් වෙයි. කලින් කලින් ආවාහු ආරාධනා කරන්ට ලබති. ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මහා මණ්ඩලයට ගලා එයි. එහි භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගම් නියම්ගම්හි දවසක් දෙකක් වසන සේක් මහජනයාට ආමිෂ පිළිගැනීමෙන් අනුග්‍රහය දක්වමින් ධර්මදානයෙන් ඔවුන්ට නිර්වාණයට උපනිශ්‍රය වූ කුසල් වඩමින් නව මසකින් චාරිකාව අවසන් කරන සේක.

ඉදින් ඇතුළු වස භික්ෂූන්ගේ සමථ විදර්ශනා තරුණ වේනම් මහා පවාරණයෙන් නොපවරා පවාරණ සංග්‍රහ දී ඇසල පුන් පොහෝදින පවාරණය කොට නිකිණිමස පළමුවන දින මහා භික්ෂු සංඝයා පිරිවරා නික්ම මධ්‍ය මණ්ඩලයට බසින සේක. තවත් කරුණකින්ද මධ්‍ය මණ්ඩලයෙහි චාරිකා කරන්ට කැමති සේක්. සිමසක් වැස ම නික්මෙන සේක. කියන ලද පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මධ්‍ය මණ්ඩලයට ගලා එයි. භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන්ම ලෝකයට අනුග්‍රහය දක්වමින් අටමසකින් චාරිකාව නිමකරන සේක.

ඉදින් සිව්මසක් විසූ වස් ඇති වුවත් භාග්‍යවතුන් වහන්සේ හික්මවිය යුතු සත්ත්වයෝ මුහුකුරා නොගිය ඉඳුරන් ඇත්තෝ නම්, ඔවුන්ගේ ඉඳුරන් මුහුකුරා යාම අපේක්ෂාවෙන් තවත් එක්මසක්, දෙමසක් තුන්මසක් සිව්මසක් වුවද එහිම වැස මහා භික්ෂු සංඝයා පිරිවරා නික්මෙන සේක. කියන ලද පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය අන්තො මණ්ඩලයව ගලා එයි. භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන්ම ලෝකයාට අනුග්‍රහ දක්වමින්, සත් මසකින් හෝ සමසකින් හෝ පස් මසකින් හෝ සිව් මසකින් හෝ චාරිකාව අවසන් කරන සේක.

මෙසේ මේ මණ්ඩල තුනෙහි යම්තැනෙක චාරිකා කරනුයේ චීවර ආදී හේතුවකින් නොවේ. ඉක්බිති දුප්පත්, බාල දිරූ රෝගී වූවෝ කවදා තථාගතයන් වහන්සේ වෙත පැමිණ බලන්නෝද, මා චාරිකාවෙහි හැසිරෙනවිට මහජනයා තථාගත දර්ශනය ලබන්ය. එහිදී කිසිවෙක් සිත් පහන් කරත්. කෙනෙක් මල්දම් ආදියෙන් පුදන්නෝය. සමහරු හැන්දෙන් භික්ෂාව දෙති. ඇතමෙක් මිථ්‍යා දර්ශනය අත්හැර සම්‍යක් දෘෂ්ටිකයෝ වන්නෝය. එය ඔවුන්ට බොහෝකලක් හිතපිණිස සුඛ පිණිස පවතී යැයි මෙසේ ලෝකයාට අනුකම්පාවෙන් චාරිකා කරන සේක.

තවද කරුණු හතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ජංඝා විහාර වශයෙන්, ශරීර පහසුව පිණිස, අර්ථ උත්පත්ති කාලයක් කැමති බැවින්, භික්ෂූන්ට සිකපද පනවනු පිණිස ඒ ඒ තැන මුහුකුරා ගිය ඉන්ද්‍රිය ඇති අවබෝධ කළයුතු සතුන්ට අවබෝධය ලබාදෙනු පිණිස යනුවෙනි.

තවත් කරුණු සතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘බුදුන් සරණ යන්නාහුය කියා හෝ’ දහම් සරණ යන්නාහුය කියා හෝ ‘සඟ සරණ යන්නාහුය කියා හෝ ‘මහත් වූ දහම් වැස්සෙන් පිරිස සන්තර්පණය කරන්නෙමුයි. තවත් කරුණු පසකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘පාණාතිපාතයෙන් වෙන් වන්නාහුය. අදින්නාදානයෙන්, කාමේසු මිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාමෙරය මජ්ජපමාදට්ඨානයෙන් වෙන් වෙන්නාහුය කියා හෝ.

තවත් කරුණු අටකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘ප්‍රථමධ්‍යානය ලබන්නාහුය කියා හෝ ද්විතීය -පෙ- නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ලබන්නාහුය කියා හෝ.

තවත් අට කරුණකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘සෝවාන් මාර්ගය අවබෝධ කරන්නාහුය. සෝවාන් ඵලය -පෙ- අරහත්ත ඵලය සාක්ෂාත් කරන්නාහුය කියා හෝ.

මේ අතුරිත චාරිකාව මෙහි චාරිකායැයි අදහස්කරන ලදී. එය දෙවැදෑරුම් වෙයි. ‘අනිබද්ධ චාරිකා නිබද්ධ චාරිකා යනුවෙන්. එහි ගම් නියම්ගම් නගර පිළිවෙළ වශයෙන්ම හැසිරේ. මෙය අනිබද්ධ චාරිකා නමි. එකම අවබෝධ කළයුතු සත්ත්වයකු පිණිස හැසිරේ. මෙය අනිබද්ධ චාරිකා නමි. මෙහි මෙය අදහස් කරන ලදී.

එකල්හි පැසුළුයම්කිස අවසන්හි දසදහසක් ලෝකධාතුවෙහි ඤාණ මණ්ඩලය පතුරුවා අවබෝධ කළයුතු බන්ධුවරයකු බලන්නා වූ උන්වහන්සේ සර්වඥතා ඥාන ජාලයට පොක්ඛරසාතී බමුණා පිවිසියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ බමුණා මාගේ ඥාන ජාලයෙහි පෙනේ. මොහුට උපනිශ්‍රයක් ඇත්දෝයි විමර්ශනය කරන සේක් සෝවාන් මගට උපනිශ්‍රය ඇති බව දැක ‘මොහු මා ඒ ජනපදයට ගිය කල්හි ලකුණු සොයා බලන්ට අම්බට්ඨ නමැති අතවැසියා එවන්නේය. ඔහු මා සමග වාද ප්‍රතිවාද කොට නානාප්‍රකාර අසභ්‍ය වාක්‍ය කියයි. මම ඔහු දමනය කොට හීලෑ කරන්නෙමි. හේ ගුරුවරයාට කියන්නේය. ඉක්බිති ඔහුගේ ගුරුවරයා ඒ කථාව අසා පැමිණ මාගේ ලකුණු සොයා බලන්නේය. මම ඔහුට ධර්මය දේශනා කරන්නෙමි. හේ දේශනාව කෙළවර සෝවාන්පෙලෙහි පිහිටන්නේය. දේශනාව මහජනයාට සඵල වන්නේ යයි පන්සියයක් භික්ෂූන් පිරිවරා ඒ ජනපදයට පිළිපන් සේක.

අසදිස දානය

බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී අසදෘශ දානය පිරිනැමීම පිළිබදව දේශනා කළහ.

එක් දිනක් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ යෙදී පන්සියයක් භික්ෂූන් පිරිවරා ගෙන දෙව්රම් වෙහෙරට පිවිසියහ. රජතුමා විහාරයට ගොස් බුදුන්ට ආරාධනා කර දෙවන දිනයේ ආගන්තුක දානය සාදා මගේ දානය ඇවිත් බලන්නැයි නගර වැසියන් කැඳවීය. නුවර වැස්සෝ අවුත් රජුගේ දානය දැක දෙවන දිනය සඳහා බුදුන්ට ආරාධනා කර දානය සකසා අප දෙන දානය රජතුමා දකීවායි රජුට පණිවිඩ යැවුහ. රජතුමා නාගරිකයන්ගේ දානය දැක බලා – මෙම දානය මගේ දානයට වඩා උතුම් යයි නැවත දානයක් දෙන්නෙමි යි ඊළඟ දින දානයක් සුදානම් කළේ ය. එය බලා නාගරිකයෝ ද නැවත දානයක් සුදානම් කළහ. මෙලෙසින් රජුට නුවරුන් පරාජය කිරීමට නොහැකිවිය. හයවැනි වාරයේ දී නුවර වැස්සෝ සිය දහස් ගුණයෙන් වැඩි කර වඩා උතුම් දාන පිරිනැමූහ. රජු මේ දාන දැක මොවුන්ට වඩා වැඩිදාන පිරිනැමීමට නොහැකිය මගේ ජීවිතයෙන් වැඩක් නැතැයි සිතුවේ ය. මෙලෙස කලකිරි උපායක් සිතමින් නිදාගත්තේය. මේ අතර මල්ලිකා දේවිය පැමිණ ඇය මහරජ මෙලෙස වැතිරී සිටින්නේ ඇයි ! ඔබ කලාන්ත වී මෙන් සිටින්නේ කුමක් නිසාදැයි විමසුවාය. රජතුමා දේවිය ඔබ නොදනීද මම දන්නේ නැත දේවයනි. ඔහු ඇයට සිදුවූ දෙය පැවසුවේය.

අනතුරුව මල්ලිකා දේවිය මෙසේ පැවසුවාය – දේවයනි නො සිතන්න. පෘථවිශ්වර වූ ඔබ නාගරිකයින්ට පරාජය වීමක් අසන්න දකින්න ලැබෙයි ද? මම ඔබතුමන්ගේ දානය සංවිධානය කරන්නෙමි. අනතුරුව අසදෘශ දානය සංවිධානය කරමින් සල් ලෑලිවලින් පන්සියයක් භික්ෂූන්ට වැඩ සිටීම සඳහා රවුමට අසුන් පනවන්න. පන්සියයක් කුඩ තබන්නැයි පැවසුවාය. මේ කුඩ පන්සියයක් ඇතුන් විසින් දරණු ඇත. මැණික්මය වූ හෝ රන්මය වූ නැව් අටක් හෝ දහයක් කරවන්න. ඒවා මණ්ඩපය මැද තබනු ලැබේ. භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර ක්‍ෂත්‍රිය කන්‍යාවක් වාඩි කරවා සුවඳ අඹරනු ඇත. එක් එක් ක්‍ෂත්‍රිය කන්‍යාවක් විජිනි පතක් ගෙන පවන් සලනු ඇත. අනෙක් ක්‍ෂත්‍රිය දුවණිවරු ඇඹරූ සුවඳ නැවට දමනු ලැබේ. ඔවුන් අතරින් එක් දුවක් නිල් උපුල් කළඹක් ගෙන රන් නෞකාවල දමන ලද. සුවඳ කුඩු කළඹ සුවඳ පතුරුවති. නගරවාසීන්ට ක්‍ෂත්‍රිය දුවණිවරු නැත. සුදු කුඩද නැත. ඇතුන්ද නැත. මෙම කරුණු නිසා නුවර වැසියෝ පරාජයට පත්වෙති. ඔබ විසින් යහපත් දෙයක්ම කියනලදී. ඔබ කිව් අයුරින්ම සියල්ල කරමි. මෙලෙස සුදානම් කරන අතර එක් භික්ෂුවකට ඇතෙක් මදි විය. කුමක් කියන්නේද? ඇතුන් පන්සියයක් නැතිද? දේවිය ඇතුන් ඇත. එනමුත් අනෙක් ඇතුන් සැඩපරුෂය. ඔවුන් භික්ෂූන් වහන්සේලා දැක වේරම්භ වාතය සේ සැඩවන්නෝය. දේවයනි. මම එක් සැඩ පරුෂ ඇතෙක් සේසත දරමින් තැබිය යුතු තැනක් දනිමි. ඒ කොහිද දේවිය. අංගුලිමාල ආර්යයන් වහන්සේ ළඟයයි පැවසුවාය. රජතුමා එසේ තැබවීය. ඇත් පෝතකයා වලිගය කලවා අතර රුවාගෙන දෙකන් පොලාගෙන ඇස් වසා ගෙන සිටියේය. මහජනයා මෙබඳු සැඩ ඇතුන්ට නියම ආකාරයයි ඇතා දෙසම බලාසිටියහ.

රජතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට වළඳවා දමා බුදුන්ට වැඳ ස්වාමීනි! මේ දානයේ කැප භාණ්ඩ හෝ අකැප භාණ්ඩ හෝ සියල්ල ඔබ වහන්සේට පුජා කරමියි පැවසුවේය. මෙම දානයේදී එක දිනකට වැය කළ මුදල කෝටි දාහතරක් විය. බුදුරජාණන් වහන්සේට පැනවූ සේසත වාඩිවන පුටුව මේසය පා පීඨය යන මේ භාණ්ඩ හතර ඉතා අධික වටිනාකමක් විය. එනිසාම අසදිස දාන නමින් ම ප්‍රසිද්ධ විය. එබඳු දානයක් බුදුවරුන්ට එක්වරක් පමණක් පවතී. සියල්ලම ස්ත්‍රීන් විසින් ම සංවිධානය කෙරෙති.

මේ කොසොල් රජතුමාට කාල හා ජුණ්හ යනුවෙන් ඇමතිවරු දෙදෙනෙක් සිටියහ. ඒ දෙදෙනා අතරින් “කාල” මෙලෙස සිතුවේ ය. අහෝ රාජ කුලයේ පරිහානිය සිදුවේ. එක් දිනකට කෝටි දාහතරක් වැයවේ. මෙම භික්ෂූන් මේ දානය වළදා ගොස් වැතිරි නිදාගන්නාහුය. අහෝ රාජකුලය වැනසේ. යනුවෙනි. “ජුණ්හ” මෙසේ සිතුවේය. අහෝ රජුගේ දානය රජ නොවන කෙනෙකුට මෙබඳු දානයක් සියළු සත්ත්වයන්ට ප්‍රාප්ති දෙන්නේ නම් නැත. එනිසා මම මේ දානයේ පිං අනුමෝදන් වෙමියි යනුවෙනි.

බුදුරජාණන් වහන්සේ දන් වළදා අවසානයේ අනුමෝදනය කරමියි පාත්‍රය ගත්හ. බුදුරජාණන් වහන්සේ මෙලෙස සිතූහ. මහරජ මහා සැඩ පහරක් මෙන් මහා දානයක් දෙන ලදී. මහජනයාට සිත ප්‍රසාදයට පත්වීමට හේතු වීද නොවීදැයි විමසා බලමින් ඇමතිවරු දෙදෙනාගේ සිත් ස්වභාය දැන ඉදින් රජුන්ගේ දානයට සුදුසු අනුමෝදනයක් කරන්නේ නම් කාල ඇමතිගේ හිස සක්කඩකට පැලේ. ජුණ්හ ඇමති සෝවාන් ඵලයට පත්වන්නේ යයි දැන – කාල කෙරෙහි අනුකම්පාවෙන් මෙතරම් මහත් දානයක් පිරිනැමු රජුට සතර පද ගාථාවක් පමණක් පවසා අසුනින් නැගිට විහාරයට වැඩ කළේ භික්ෂූන් විසින් අංගුලිමාල තෙරුන් විමසුහ. ඇවැත්නි. දුෂ්ටවූ ඇතා ජත්‍රය දරා සිටියදී ඔබ වහන්සේට බියක් ඇති නොවුවේද? නැහැ ඇවැත්නි මට බියක් ඇති නොවීය. එම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි අංගුලිමාල තෙරුන් අනෙක් කරුණක් පවසන්නේ යයි පැවසුහ. මහණෙනි ! අංගුලිමාල බිය නොවේ රහත් උතුමෙකි. උතුම් වෘෂභ රාජයන් අතර ජ්‍යෙෂ්ඨ වෘෂභයා සමානව මගේ පුත් අංගුලිමාල බිය නොවේයි පවසා

ආජානීය වෘෂභ රාජයකු වැනි උතුම්වූ වීරිය වක්වූ මහර්ෂි වු මරුන් දිනු තෘෂ්ණා රහිත කෙළෙස්මල ශෝධා හල චතුරාර්යයට මුණිවරයා පත් බ්‍රාහ්මණයෙකැයි මම පවසමි.

රජු ද දොම්නසට පත්ව මෙබඳු පිරිසකට දන්දී සිටි මට සුදුසු අනුමෝදනයක් නො කොට ගාථාවක් පමණක් පවසා නැගිට යන ලදී මවිසින් බුදුන්ට සුදුසු දානයක් නොකොට නුසුදුසු කථාවක් වන්නේය. කැප වු භාණ්ඩ නොදී අකැප භාණ්ඩ හෝ දෙන ලද්දේදැයි බුදුන් වහන්සේ මා කෙරෙහි කුපිතවුයේ වන්නේ යැයි ද සිව් කෙනෙකුන්ට දානයට අනුරූපව අනුමෝදනා කිරීම වටීයයි විහාරයට ගොස් බුදුන් වැඳ මෙලෙස පැවසීය.

ස්වාමීනි ඇයි මවිසින් යුතු දානයක් නොදෙන ලද්දේද නොඑසේනම් නොදිය යුතු අකැපවු දේ දෙන ලද්දේද ඇයි මහරජ මම ඔබට සුදුසු වු අනුමෝදනයක් කරන ලදී ඔබ විසින් සුදුසු ම දානයක් දෙනලදී මෙබඳු අසදිස දානයක් බුදු කෙනෙක්ට ලැබෙන්නේ එක් වරක් පමණි. නැවත මෙබඳු දානයක් පිරිනැමීම අපහසු ය. එසේ නම් ස්වාමීනි දානයට සුදුසු අනුමෝදනයක් නොකරන ලද්දේ කුමක් හෙයින්ද?

මහරජ පිරිස අපිරිසිදු හෙයිනි. ස්වාමීනි පිරිසේ කවර වරදක් ද මෙසේ විමසුවිට බුදුහු ඇමතිවරු දෙදෙනාගේ අදහස් සිතුවිලි දන්වා කාල කෙරෙහි අනුකම්පාවෙන් අනුමෝදනා දේශනය නොකළ බව පැවසුහ. රජතුමා කාල ඇමතිගෙන් මෙලෙස සිතුවේදැයි විමසා සත්‍යය බව පැවසුවිට ඔබ අයත් දේ නො ගෙන මගේ අඹුදරුවන් සමග මා සතු දේ දෙනවිට ඔබට කවර පීඩාවක්ද? ම විසින් දෙන ලද දෙය එලෙසම වේවා මගේ රටින් පිටව යන්නයි. ඔහු රටින් පිටුවහල්කර ජුණ්හ ඇමති කැඳවා ඔබ මෙලෙස සිතීම සත්‍යක් දැයි විමසා සැබෑ බව පැවසුවිට තොප කෙරෙහි මම පැහැදුනෙමි. ඔබ මගේ සේවකයින් පරිවාර ජනයා සමග මම දෙන ලද ක්‍රමයෙන්ම සත් දිනක් දන් දෙන්න යයි සත් දිනකට රාජ්‍යය පවරාදී බුදුන්ට මෙසේ පැවසුවේය.

ස්වාමීනි බලන්න අඥානයන්ගේ ස්වභාවය මා විසින් මෙලෙස දෙන ලද දානයට පහර ගැසීය. එසේය මහරජ අනුවණයෝ නම් අන් අයගේ දන්දීමට අසතුටුවී දුගති පරායන වෙති. උතුමෝ නම් අන් අයගේ දානයද අනුමෝදන් වී වර්ග පරායන වෙතියි පවසා මෙම ගාථාව දේශනා කළහ.

“න වෙ කදරියා දෙවලොකං වජන‍්ති, බාලා හවෙ නප‍්පසංසන‍්ති දානං;

ධීරො ච දානං අනුමොදමානො, තෙනෙව සො හොති සුඛී පරත්‍ථා”ති.

 

ලෝහී අය කිසි දින දෙලොව නොයති අනුවණයෝ කිසිදා දානය ප්‍රශංසා නොකරති.

නුවණැත්තෝ දානය අනුමෝදන් වී අන් අයගේ පිනෙන් පරලොව දී සුවය ලබති.

දේශනය අවසන ඒ ජුණ්හ ඇමති සෝවාන් ඵලයට පත් විය. පැමිණි පිරිසද යහපතට පත් වූහ. ජුණ්හද සෝවාන් ඵලයට පත්ව සත් දිනක් රජතුමා දෙන ලද ආකාරයට ම දන් දුන්නේ ය.

පුද්ගල සරණ වශ‍යෙන් භාග්‍යවතුන් වහන්සේම සරණ යන්න

ඝෝටමුඛ බ්‍රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “භවත් උදේනයෙනි, ඉතා කාන්ත යැ, භවත් උදේනයෙනි, ඉතා කාන්ත යි. භවත් උදේනයෙනි, යම්සේ යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් උදේනයන් විසින් නොයෙක් අයුරින් දහම් පැවැසිණ. තෙල මම් භවත් උදේනයන් දහම් හා බික්සඟන හා සරණ කොට යෙමි, භවත් උදේනයෝ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්ව”යි.

බමුණ, තෙපි මා සරණ නොයන්න, මම් යම් කෙනකුන් සරණ ගියෙම් ද, ඔබ ද එ භාග්‍යවතුන් වහන්සේ සරණ යව’යි.

භවත් උදේනයෙනි, වැළිත් ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භවත් ගෞතමයන් දැන් කොහි වැඩවෙසෙත් දැ? යි

බමුණ, ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ මෙ කල්හි පිරිනිවියහ’යි.

භවත් උදේනයෙනි, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේ දසයොදනෙක්හි අසන්නමෝ නම් අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට දසයොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි, ඉදින් ඇපි ඒ භවත් ගෞතමයන් විසියොදනෙක්හි … තිස්යොදනෙක්හි … සතලිස්යොදනෙක්හි …. පනස්යොදනෙක්හි අසන්නමෝ නම්, අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට පනස්යොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි, ඇපි යොදුන් සියයෙක්හිදු ඒ භවත් ගෞතමයන් අසන්නමෝ නම් අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට සියක් යොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි යම් දවසෙක ඒ භවත් ගෞතමයන් වහන්සේ පිරිනිවිසේක් ද, අපි පිරිනිවියා වූ ද ඒ භවත් ගෞතමයන් ධර්‍මය හා භික්‍ෂුසඞ්ඝයා හා සරණ යම්හ, භවත් උදේනයෝ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්වා. භවත් උදේනයෙනි, මට දවස් පතා නිත්‍යභික්‍ෂා දෙන අඞ්ගරජ ඇත. මම භවත් උදේනහට එයින් එක් නිත්‍යභික්ශාවක් දෙමි’යි.

බමුණ තොපට අඟුරජ දිනපතා කිනම් නිත්‍ය භික්‍ෂාවක් දේ ද? භවත් උදයනයෙනි, පන්සියක් කහවණු යැ. බමුණ අපට රන්රිදී පිළිගන්නට කැප නො වෙයි.

ඉදින් භවත් උදයනයන්හට ඒ රන්රිදී නොකැප වේ නම් භවත් උදයනයන්හට වෙහෙරක් කරවමි’යි.

බමුණ, ඉදින් තෙපි මට වෙහෙරක් කරවනු කැමැත්තහු නම් පැළලුප්නුවර සඟනට උපස්ථානශාලාවක් කරව’යි.

මම මෙයිනුදු භවත් උදයනයන්හට බෙහෙවින් සතුටු වීමි. සිත් ඇලවීමි. භවත් උදයනයෝ යම් හෙයෙකින් මා සඟුන් විෂයෙහි දෙන දන්හි සමාදන් කරවත් ද, එහෙයිනි. භවත් උදයනයෙනි, තෙල මම මෙම නිත්‍යභික්‍ෂායෙකිනුදු අ‍නෙක් නිත්‍යභික්‍ෂායෙකිනුදු පාටලීපුත්‍රයෙහි සඟනට උපස්ථානශාලාවක් කරවමි’යී.

ඉක්බිති ඝෝටමුඛ බමුණු මෙම නිත්‍යභික්‍ෂායෙකිනුදු අ‍නෙක් නිත්‍යභික්‍ෂායෙකිනුදු පාටලීපුත්‍රයෙහි සඟනට උපස්ථාන ශාලාවක් කරවී. ඒ ශාලාව දැන් ‘ඝෝටමුඛ’ යයි කියනු ලැබේ

මහා පුරිස ලක්ෂණ තිබුණ පමණින් බුදු විය හැකි ද?

‘‘ද්වත්තිංසිමානි, භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති; සෙය්‍යථිදං, චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිණායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවට්ටච්ඡදො.

“මහණෙනි, මේ ලක්ෂණ දෙතිස මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයෝය. යම් ඒ ලක්ෂණවලින් යුක්තවූ මහාපුරුෂයාගේ මේ ගති දෙකක්ම වෙත්. අන් ගතියක් නොවන්නීය, ඉදින් (ඔහු) ගිහිගෙයි වාසය කෙරේද, සතර දිශාවට අධිපති වූයේ දිනූ රටවල් ඇත්තේ, ජනපදයන්හි ප්‍රධානයා වූයේ, රත්න සතකින් යුක්ත වූයේ, දැහැමි වූයේ, ධර්ම රාජයන්වූ සක්විති රජෙක් වෙයි.

ඔහුට මේ රත්න හත වෙති ඒ කවරේද? චක්‍ර රත්නය, ඇත් රත්නය, අස් රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පරසේනාවන් මැඩිය හැකිවූ දෙව් පුතුන් හා සමානවූ ශරීර ඇති, සූරවූ දහසකට අධිකවූ පුත්‍රයෝ වෙති. හෙතෙම සයුර සීමාකොට වූ මේ පොළොව දඬුවම්කිරීම් නැතිව ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කෙරෙයි.

ඉදින් (ඒ ලක්ෂණ ඇති) මහාපුරුෂයා ගිහිගෙන් නික්ම මහණ වේද, ලෝකයෙහි කෙලෙස් නමැති වැස්ම සිඳිනලද, අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි.


මෙය ඉහත පාඨය වරදවා තේරුම් ගැනීම නිසා ඇතිකරගත් මිථ්‍යා දිටිඨිය කි.

සක්විති රජුගේ ගතිය සක්විති රජ බවමයි. ගිහිගෙය නික්ම පැවිදි වුවද බුදුවිය නොහැක.
පාරමි ධර්ම සම්පුර්ණ කළ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ සහිත බෝසත් උතුමන් පමණක් බුද්ධත්වයට පත්වේ.


සක්විති රජු ද ගිහිගෙය හැරයයි නමුත් බුද්ධත්වය ලැබිය නොහැක.

  1. අනඳයෙනි, මහසුදසුන් රජ සුවාසූදහසක් හවුරුදු කුමරකෙළි කෙළීය. සුවාසූදහසක් හවුරුදු යුවරජය කැරැවිය. සුවාසූදහසක් හවුරුදු රජය කැරැවිය. ගිහි ව මැ සුවාසූ දහසක් හවුරුදු දහම් පායෙහි බඹසර හසළේ ය. හේ සතර බඹවෙහෙර බවා කාබුන් මරණින් මතු බඹලෝ ගියේ විය.
  2. ආනන්‍දයෙනි, මඛාදේව රජු ගේ පුත්‍ර කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රාජ්‍යයෙහි සමනුශාසනා කොට මෙ මැ මුවදෙව් අඹවෙනෙහි කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වන.
  3. ආනන්‍දයෙනි, වැළිත් මඛාදේව රජු පුත් සූවාසුදහසක් හවුරුදුකුමරකෙළි කෙළියේ යැ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු මෙ මැ මඛාදේව අඹවෙනෙහි ගෙන් නික්ම තවුස්පැවිදි වන්නේ බඹසර සැරි. හෙ සිවුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලොව කරා ගියේ යි
  4. එ කලැ සක්විති රජ තෙම දෙටුපුත් කුමරහු බණවා, ‘දරුව, මගේ දෙව් සක්රුවන ඉවත් වී ල, තුබූ තැනින් පහ වී ල. යම් සක්විති රජක්හුගේ දෙව් සක්රුවන ඉවත් වේ ද, තුබූ තැනින් පහ වේ ද, දැන් එ සක්විති රජුහු විසින් බොහෝ කල් ජීවත් වියැ හැකි නො වේ’ යැ යි මෙය මා විසින් අසන ලද. මිනිසුන් විසින් වින්දැයුතු කාමයෝ මා විසින් විඳුනා ලදහ. දැන් දෙව් කම් සැපත් සොයන්නට කල් පැමිණියේ වෙයි. දරුව, කුමාරය, මෙහි එව. මේ මුහුදුහිම් පොළොව තෝ අනුභව කරව. මම් වනාහි කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ, ගිහි ගෙන් පැවිදි බිමට වදනෙමි’ යි කී ය. මහණෙනි, ඉක්බිති සක්විති රජ තෙම දෙටුපුත් කුමරහට රජයෙහි මොනවට අනුසැස, කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ, ගිහි ගෙන් නික්මැ පැවිදි බිම් වනි. මහණෙනි, ඒ රාජර්ෂීහු පැවිදි වැ සතියක් ගිය කලැ දෙව් සක්රුවන අතුරුදහන් විය.

සක්විති රජ වීම සඳහා සක්විති වත සම්පුර්ණ කළ යුතු ය.

  1. අබිසෙස් ලත් එ කැත් රජ තහෙම දෙව් සක්රුවන අතුරුදහන් වූ කල්හි නො සතුටු විය. නො සතුටු බව පළ කෙළේ ය. එහෙත් රාජර්ෂීහු කරා එළැඹ අරී සක්විතිවත් නො විචාළේ ය. හේ සිය මතයෙන් ම රට පාලනය කෙරෙයි. සිය මතයෙන් ම රට පාලනය කරන ඔහුගේ දනවුහු පසු කලැ අරී සක්විති වත්හි පවත්නා පෙරැසිටි රජුන්ගේ දනවු සෙයින් නො වැඩෙත්.
  2. සක්විති රජු පැවිදි වූ කල්හි හෝ කළුරිය කළ කල්හි හෝ චක්‍ර රත්නය දින සතක් පමණක් තිබී අතුරුදහන් වෙයි. කෙසේ නම් මෙතෙම එම චක්‍රය අනුපවත්වයි නම් වේද? පියාගේ ප්‍රවේණියෙහි සිටසක්විතිවත් පුරා සක්විති රජකම කරන්නේද පියා විසින් පවත්වන ලද්දම අනුපවත්වයි.
  3. නන්ද කුමාරයා සහ රාහුල කුමාරයන්ට මහා පුරිස ලකුණු 32 සහිත වුවත් සක්විති පදවිය ලැබිම සඳහා අවස්ථාව තිබුනි. නමුත් තෙරිම ගන්නට භාග්‍යවතුන් වහන්සේ අවස්ථාව නොදේ (සක්විති පදවියට වඩා සෝවාන් ආධී මාර්ගඵල සමකොට පෙන්විය නොහැකි බැවින් – සෝවන් ආර්‍ය ශාවකයාගේ උපරිම භව ප්‍රමාණය හතක් වන අතර සක්විති රජුට එසේ වන්නේ නැත)

බුදු කෙනකුන් පහළවීමෙන් සක්විති රජ පැවිදි වී රහත් වු අවස්ථා.

  1. යම්දාක සුනන්‍ද නම් සක්විති රජ සුරභි නුවර සපිරූ සක්විතිවත් ඇත්තේ සක්රුවන ලැබීද එය මංගල බුදුන් ලොව පහළ වූ කල සැලෙනු දැක සුනන්‍ද රජ නොසතුටුව බමුණන් විමසීය. මාගේ කුසල බලයෙන් ජනිත මේ සක්රුවන කුමක් හෙයින් සැලිණිද කියායි. ඔවුහු ඒ රජුට සැලුණ හේතු පැවසූහ. සක්විති රජුගේ ආයු ගෙවීමෙන් හෝ පැවිදිවීමෙන් හෝ බුදු කෙනකුන් පහළවීමෙන් හෝ සක්රුවන තැනින් සැලේ යයි කියා මහරජ, ඔබගේ ආයු ගෙවීමක් නැත. ඔබ ඉතා දික් ආයු ඇත්තාහ. මංගල බුදුහු ලොව උපන්හ. එයින් ඔබගේ සක්රුවන සැලිණ කියායි. එයසා සුනන්‍ද සක්විති රජ පිරිවර ජනයා සහිතව සක්රුවන වැඳ ආයාචනා කළේය. යම්තාක් මම ඔබගේ අනුහසින් මංගල දසබලයන් වහන්සේට උවටැන් කරන්නෙම් ද ඔබ එතෙක් අතුරුදන් නොවුව මැනව කියායි. එවිට සක්රුවන නිසි තැනම පිහිටියේය.
    එවිට හටගත් සොම්නස් ඇති සුනන්‍ද සක්විති රජ සතිස් යොදුන් පිරිමඩුලු ඇති පිරිස් පිරිවරා සකලලෝකමංගල දසලබලයාණන් වෙත ගොස් ශ්‍රාවක සංඝයා සහිත ශාස්තෘන් වහන්සේ මහදනින් සතප්වා කෙළ ලක්‍ෂයක් රහතුන්ට කසීසළු පුදා තථාගතයන් වහන්සේට සියලු පිරිකර පුදා මුළුලොව විස්මය කරවන බුදුපුද කොට මංගල ලෝකනායකයාණන් වෙත එළඹ දසනඛසමොධානයෙන් බබළන විමල කමල කැකුළු වන් අඤ්ජලි හිස තබා වැඳ බණ ඇසීමට පසෙක හිඳගත්තේය. ඔහුගේ පුත් අනුරාජකුමාර ද හිඳගත්තේය.
    එකල්හි සුනන්‍ද සක්විති රජු ප්‍රධාන ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙල කථාව වදාළ සේක. සුනන්‍ද රජ සහපිරිවරින් පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ පෙර සිරිත් බලන්නාහු ඍද්ධිමය පා සිවුරු සම්පත් දැක සක්දැලින් සුසැදි දකුණත දිගුකොට මහණෙනි, එව්හි වදාළහ. එකෙණෙහි සියල්ලෝ දෑඟුල් කෙස් ඇති පාසිවුරුධර සියවස්ගත තෙරවරුන් මෙන් ආකල්ප සම්පන්නව බුදුන් පිරිවරා ගත්හ.
  2. නන්ද කුමාරයා සහ රාහුල කුමාරයන්ට මහා පුරිස ලකුණු 32 සහිත වුවත් රහත් බවට පැමිණියේය.
  3. මෛත්‍රෙය භාග්‍යවතුන්ගේ සමයෙහි ශංඛ නම් සක්විති රජු පැවිදව පිරිනිවෙන බව.

සක්විති රජු හා බෝසතුන් අතර ඇති වෙනස්කම්.

  1. උපදනා බෝසතුන් දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද, එපරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද?
  2. උපදනා බෝසත් සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද, එසේ ම උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද?
  3. උපදනා බෝසතුන් හා මවට දියකිස කරන සිහිල් වූත් උෂ්ණ වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද, එ පරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයාට සක්විතිදරු හා මවට දියකිස කරන සිහිල් වූත් උණු වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද?
  4. උපන් කෙණෙහි බෝසත් සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්‍යතීහාරයෙන් යේ ද, ශ්වේතච්ඡත්‍ර ධරත් මැ ඔබ මොබ හැමදික් බලා ද, ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මේ අන්තිමජාති යැ, දැන් පුනර්‍භවයෙක්, නැති’ යි සිංහනාද කෙරේ ද, එ පරිදි මැ එකෙණෙහි උපන් චක්‍රවර්තිසත්ත්‍වයා සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්‍යතීහාරයෙන් යේ ද, සේසත් ධරත් මැ හැමදික් ඔබ මොබ බලා ද, ‘මම ලෝකයට අග්‍රයෙමි … පුනර්‍භවයෙක් නැති’යි සිංහනාදත් කෙරේ ද?
  5. උපදනා බෝසත්හු පිළිබඳ වැ මහත් ආලෝකයක්හුගේ මහත් අවභාසයක්හුගේ මහත් භූමිචලනයක්හුගේ පහළ වීමෙක් ඇද්ද, එපරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා පිළිබඳ වැ මහත් ආලෝකයක්හුගේ මහත් අවභාසයක්හුගේ මහත් භූමිචලනයක්හුගේ පහළ වීමෙක් වේ ද?
  6. බෝසත්හුගේ පියවි කය හාත්පස බඹයක් එළිය කෙරේ ද, එපරිදි මැ සක්විතිහුගේ පියවිකය හාත්පස බඹයක් එළිය කෙරේ ද?
  7. බෝසත් මහාසුපින දක්නේ වේ ද, එපරිදි මැ සක්විති රජු මහාසුපින දක්නේ වේ ද?
  8. බෝසතුට එක දරුවෙක් පමණක් වන අතර සක්විති රජුට දරුවන් සහසක් ඉන්නා බව.
  9. බුද්ධත්වය සඳහා පාරමිතා ධර්ම සම්පුර්ණ කළ යුතු අතර භාග්‍යවතුන් වහන්සේට එක් මලක් පුජා කිරිමෙන් පමණක් අවස්ථා ගණනාවක් සක්විති රජවෙන බව.

මහා බෝධි වර්ණනාව සහ බෝධිපූජා 

රාජා කාලිඞ්ගො චක්කවත්තී – ධම්මෙන පඨවි මනුසාසං,

අගමා බොධි සමීපං – නා ගෙන මහානුභාවෙනා තී

කාලිංග නම් වූ සක්විති රජු ධර්මානුකූලව පොළොව (රාජ්‍යය) අනුශාසනා කරන්නේ මහත් වූ ආනුභාවයෙන් යුක්ත ඇතුපිටින් ශ්‍රී මහා බෝධිය සමීපයට ගියේය.

ඉක්බිති රජුගේ පුරෝහිතයා රජු සමග යන්නේ අහසෙහි ආවරණයක් නම් නැත. කවර කරුණකින් රජු ඇතු මෙහෙයවන්නට නොහැකි වේදැයි විමසන්නෙමියි අහසින් බැස සියළු බුදුවරුන්ගේ ජයපළඟ වූ පොළොවෙහි නැඹ වූ මහමෝමැඩ දුටුවේය. එකල්හි එහි රාජකීය මිනුමෙන් අටකිරියක් පමණ තැන සාවුන්ගේ දැලි රැවුල් පමණුදු තණ ගසක් නම් නැත. රිදීපටක පැහැ ඇති වැලි විසුරුනේ වෙයි. හාත්පස තණකොළ-වැල්-වනස්පතීහු බෝමැඩ ප්‍රදක්‍ෂිණා කර කරකැවී බෝමැඩට අභිමුඛව සිටියාහුය. පෙරෙවි බමුණා බිමිකොටස බලා මෙය සියළු බුදුවරුන්ගේ සියළු කෙලෙස් නසන තැනයි. මෙහි මතු භාගයෙන් ශක්‍ර ආදීන් විසින්ද යන්නට නොහැකි යයි සිතා කාලිංග රජුගේ සමීපයට ගොස් බෝමැඩෙහි වර්ණනාව කියා රජු බිමට බසුවයි කීවේය.

කාලිංග භාරද්වාජ පුරෝහිත බමුණා බිම පරීක්‍ෂා කර බලා චක්‍රය ප්‍රවර්තනය කරන (සක්විති වූ) මේ තවුසාගේ පුත් වූ කාලිංග රජුට බඳෑදිළිව මේ බව කීවේය.

යම් සේ මෙම භූමිභාගය බුදුවරුන් විසින් වර්ණනා කරන ලදද මහරජතුමනි, බිමට බසුව. මෙහිදී අපමණ වූ බුදුවරු බුද්ධත්වයට පත්වූවාහු බබළති.

මේ භූමිභාගයෙහි තෘණ ලතාවෝ දක්‍ෂිණාවෘතව කැරකැවී සිටිති. මහරජතුමනි, මෙය මහාපොළොවෙහි උසස් තැන යයි අප විසින් අසන ලදි.

මේ ස්ථානය සයුර කෙළවර කොට ඇති සියළු සතුන් දරා සිටින්නා වූ පෘථිවියෙහි උසස් තැනයි. බැස නමදිනු මැනවි.

මවගෙන්ද පියාගෙන්දැයි (උභය පාර්ශ්වයෙන්ම) උසස් වූ ජන්ම ඇති යම් මේ ඇත්තු වෙත්ද? ඒ ඇත්තු මෙතෙක් කල් මේ ප්‍රදේශයට නොඑළඹෙත්මය.

ඔබගේ ඇතා උසස් ජන්ම ඇත්තියෙකි. දළ ඇති ඒ ඇතු ඒකාන්තයෙන් මෙහෙයවේවා! මෙතෙක් මේ ප්‍රදේශය ඇතුපිට නැගී එළඹෙන්නට නොහැකිය.

කාලිංග රජු ඒ අසා පණ්ඩිත වූ ලක්ෂණ ශාස්ත්‍ර දන්නා වූ ඒ බ්‍රාහ්මණයාගේ වචනයට එසේම වන්නේදැයි තත්වූ පරිදි දැනගන්නෙමුයි කියා ඇතු මෙහෙයවීය.

රජතුමා විසින් මෙහෙයවන ලද ඇතා කොස්වා ලිහිණියෙකු මෙන් නාද කර මහත් වූ බරක් නොඉවසන්නෙක් මෙන් පසුබැස සිටියේය.

සියළු බුදුවරුන් විසින් වර්ණනා කරන ලද. අසමාන වූ. අප්‍රමාණ වූ. නසන ලද සියළු කෙලෙස් නම් අඳුර ඇති මධ්‍යාහ්නයේ හිරු මෙන් මෙහි හුන්නාහු බබලත්. යොදුන් දෙලක්‍ෂ සතලිස් දහසක් ඝන වූ පෘථුවියෙහි උසස් වූ සාර වූ මැඩලිය නොහැකි වූ සෙලවිය නොහැකි වූ තැනයි. කල්පය නැවත හටගන්නා කල්හි පළමුව හටගනී. නැසෙන කල්හි පසුව නැසේ. අප විසින් ලක්‍ෂණ ප්‍රකාශිත මන්තර වශයෙන් මෙසේ අසන ලදි. අහසින් බැස සියළු බුදුවරුන්ගේ කෙලෙස් පඳුරු නසන්නා වූ මේ තැනට නමස්කාර කරව. පූජාසත්කාර කරව.

යම් ඒ සක්විති රජුගේ හස්තිරත්නය නම් වූ උපෝෂත කුලයෙහි උපන් ඇත්තු. දියමන්තිමය හෙණ්ඩුවෙන් සංඥා දී මෙහෙයවයි. ඒ ඇතා ඒ රජු විසින් දියමන්තිමය හෙණ්ඩුවෙන් මෙහෙයවා පිටත්කර හරනා ලදුයේ කොස්වාලිහිණි පක්‍ෂියෙකු මෙන් නාදකොට පසුබැස සොඬය ඔසවා බෙල්ල උඩට නවා මහත් වූ බරක් ඉසිලීමට නොහැකි වන්නෙක් මෙන් අහසෙහිම හුන්නේය.

ඒ ඇතු එම කාලිංග රජු විසින් නැවත නැවතත් විදිනු ලබන්නේ වේදනාව ඉවසන්නට නොහැකි වන්නේ කළුරිය කළේය. රජු ඌ මළ බව නොදන්නේ එලෙස හුන්නේම වීය.

කාලිංග භාරද්වාජ බමුණා ඇතා මළ බව දැන කාලිංග රජුට මෙසේ කීවේය. මහරජතුමනි, ඇතා මළේය. අන් ඇතෙකු වෙත එළඹෙවයි.

තොපගේ ඇතා මරණයට පත් වූයේය. කවරක් කරන්නාහු නමුත් ඇතු පිට හුන්නහු විසින් බෝමැඩ මත්තෙන් යන්නට නොහැකිය. අන් ඇතෙකු වෙත මාරු වෙවයි.

රජුගේ පුණ්‍යමය සෘද්ධි බලයෙන් උපොසථ කුලයෙන් අන් ඇතෙක් අවුත් පිට නැමුවේය. රජු උගේ පිටෙහි හුන්නේය. එකෙනෙහිම මළ ඇතා බිම වැටුනේය.

කාලිංග රජු ඒ අසා වහා අන් ඇතකු පිට නැගුනේය. රජ මාරුවූ කල (මළ) ඇතා එහිම බිම වැටුණි. පණ්ඩිත වූ බමුණාගේ වචනය යම්සේ වීද එසේ ඇතු (මරණයට පත්වූයේ) වීය.

ඉක්බිති රජු අහසින් බැස බෝමැඩ බලා පෙළහර දැක භාරද්වාජට ස්තුති කරන්නේ (මෙසේ) කීවේය.

කාලිංග රජු කාලිංග භාරද්වාජ බමුණාට මෙම වචනය කීවේය. ඔබම සියල්ල දන්නා වූ දක්නා වූ සම්බුදු වෙහිය.

කාලිංග බ්‍රාහ්මණයා එය නොඉවසන්නේ තමා පහත් තැනෙහි තබා බුදුවරුන්ම උසස්කොට වර්ණනා කළේය.

කාලිංග බ්‍රාහ්මණයා එම වචනය නොඉවසන්නේ මෙය කීවේය. මහරජතුමනි, අපි ලක්‍ෂණ ශාස්ත්‍රය දන්නෝ වෙමු. බුදුවරු සියල්ල දත්තෝ වෙති.

බුදුවරු ලක්‍ෂණ ශාස්ත්‍රයෙන් නොව, සර්වඥතාඥානයෙන් සියල්ල දන්නාහුය. සියල්ල අවබෝධ කළාහුය. අපි උගත් දෙය බලය කොට ඇත්තෝ එක දේශයක් දත්තෝ වෙමු. බුදුවරු වූ කලී සියල්ල දනිත්.

මහරජතුමනි, අපි ලකුණු දැක විස්තර කරන්නට සමර්ථ වූවෝ වෙමු. එහෙයින් සුතබුද්ධ නම් වෙමු. බුදුවරු වනාහි සියල්ල දත්තෝය. සියල්ල අවබෝධ කළාහුය. බුදුවරු අතීතාදී සියල්ල දනිත්. ප්‍රකාශ කරත්. උන්වහන්සේලා සර්වඥතාඥානයෙන් සියල්ල දනිත්. ලක්‍ෂණ ශාස්ත්‍රයෙන් නොවේ. අපි වනාහි තමා උගත් ශිල්ප බලයෙන්ම දනිමු. එය එක් කොටසකි. බුදුවරු සියල්ල දනිත් යයි.

රජු බුද්ධ ගුණයන් අසා සොම්නසට පත් වූයේ වී සියළු සක්වල වැසියන් ලවා බොහෝ සුවඳ හා මල් ගෙන්වා බෝමැඩ සත්දිනක් බෝධිපූජාව කරවීය.

වාදනය කරනු ලබන නොයෙක් තූර්යයන්ගෙන් බෝධියට ගරුකොට මල් ගඳවිලවුන් ගෙනවුත් පවුර වටකිරීම කරවීය. ඉක්බිති රජු පිටත්ව ගියේය.

කාලිංග රජු ගැල් සැටදහසක් මල් රැස් කරවීය. උතුම් බෝමැඩ පිදුවේය.

මව්පියවරුන්ගේ සමීපයට ගියේය. හෙතෙම මහබෝ මැඩහි අටළොස් රියනක් උස රන් ටැඹක් නැංවීය. එයට සත්රුවන් මුවා වේදිකාවක් කරවීය. රුවන් මිශ්‍රවූ වැලි විසුරුවා පවුරින් වටකිරීම කළේය. සත් රුවන්මය දොර කොටුවක් කරවීය. දිනපතා සැටදහසක් මල් ගැල් රැස්කරවීය. මෙසේ බෝමැඩ පිදීය.

මෙසේ මහා බෝධිපූජා කොට ගොස් මව්පියන් කැඳවාගෙන දන්ත පුරයටම අවුත් දන්දීම් ආදී වූ පින්කර තවුතිසා භවනයෙහි උපන්නේය.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, ආනන්ද තෙරුන් දැන් පමණක් නොවේ. පෙරද බෝධිපූජා කළේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි කාලිංග රජු ආනන්ද හිමි වීය. කාලිංග භාරද්වාජ බ්‍රාහ්මණයා මම ම වීමි යයි වදාළ සේක

කාකවලිය සිටුවරයා

ඒ රජගහ නුවරෙහි ම කාළවිලංගික (කාකවලිය) නම් දුප්පත් මිනිහෙක් ඇත. ඔහුගේ බිරිඳ ඇඹුල් කොළ කැඳක් පිසුවාය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට කවරෙකුට සංග්‍රහ කරන්නෙම් දැයි සිතන්නේ කැඳ පිසූ බව දැන ගොස් ගේදොර වැඩසිටියහ. ඇය පාත්‍රය ගෙන කැඳ සියල්ල පාත්‍රයට බෙදා තෙරුන් වහන්සේට දුන්නාය. තෙරුන් වහන්සේ විහාරයට ගොස් ශාස්තෘන් වහස්ට පිළිගැන්වූහ. ශාස්තෘන් වහන්සේ යැපෙන ප්‍රමාණයක් ගත් සේක. ඉතිරි කැඳ පන්සීයක් භික්ෂූන් වහන්සේලාට ප්‍රමාණවත් විය. කාළවිලංගියා ද ඒ ස්ථානයට පැමිණි හෙයින් කැඳ ස්වල්පයක් ලැබුවේය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ බුදුරදුන්ගෙන් කාළවිලංගියාට ලැබෙන විපාක ඇසූහ. මෙයින් හත්වෙනි දවස ඔහුට සිටු තනතුර ලැබෙන්නේ යැයි බුදුරදුන් වදාළහ. කාළවිලංගියා ඒ කථාව අසාගොස් බිරිඳට කිවේය.

එකල්හි රජතුමා නගරයෙහි සංචාරය කරන්නේ පිට නගරයෙහි පණ පිටින් හුල සිටුවා ඇති මිනිහෙක් දැක්කේය. මිනිසා රජු දැක දේවයන් වහන්ස ඔබ වහන්සේ වළඳනු ලබන ආහාරයක් එවනු මැනවයි මහත් බියෙන් කීවේය. රජතුමා එවන්නෙමි යි කියා ආහාරය එළඹි කල්හි මේ ආහාරය ගෙන යෑමට සමර්ථයෙකු දනුවයි කී නගරයෙහි දහසක් බැඳි පියල්ලක් දෙන බවට අඬබෙර ගැස්සුහ. තුන්වන වාරයෙහි කාළවිලංගියාගේ බිරිඳ අඬබෙරය නවතාලූහ. ඇය රජුට දක්වන ලදී. ඇය පුරුෂ වේෂයක් ගෙන පංචායුධයන්ගෙන් සමන්විතව බත් පාත්‍රය ගෙන නගරයෙන් නික්මුණාය. පිටත නගරයෙහි තල් ගසට අධිගෘහිත දීඝතඵල නම් යක්‍ෂයා ගස මුලින් යන්නා වූ ඇය දැක නවතිනු. තී මාගේ ගොදුර යැයි කීය. මම නුඹේ ගොදුර නොවෙමි. මම රාජ දූතයෙක්මි. කොහි යන්නේදැයි ඇසූ කල්හි ජීව සුලයෙහි සිටිනා පුරුෂයාගේ සමීපයට යැයි කී කළ මාගේ ද එක් පණිවිඩයක් ගෙන යන්නට හැකිදැයි ඇසූ කල්හි එසේය, හැකියැයි කීවාය. දීඝතඵලයාගේ බිරිඳ වූ සුමන දෙව්රජුගේ දියණිය වූ කාළිය පුතෙකු වැදුවා යැයි දක්වවයි කීය. මේ තල්ගස මුල නිධන් කළ හතක් ඇත. නුඹ ඒවා ගනුවයි කීය. ඇය දීඝතඵලායාගේ බිරිඳ වූ සුමන දෙව්රජුගේ දියණිය වූ කාළිය පුතෙකු වැදුවා යැයි මහත් හඬින් කියමින් ගියා.

යක්ෂ සමාගමෙහි සිටියා වූ සුමන දිව්‍යරාජයා එය අසා එක් මනුෂ්‍යයෙක් අපට ප්‍රිය පුවතක් ගෙන එයි. ඔහු කැඳවන්න යැයි කීය. පණිවිඩය අසා පැහැදී මේ වෘක්ෂයේ පරිමණ්ඩල ඡායාව පැතිරුණු තැන්වල ඇති නිධන් කළ නුඹට දෙමියි කීය. ජීව සුලයෙහි සිටින පුරුෂයා බත් කා මුව පිස්නා කල ස්ත්‍රියක් බව දැන කෙස් වැටියෙන් ඩැහැගත්තේය. ඇය කඩුවෙන් තමන්ගේ කෙස් වැටිය කපා දමා රජු ළඟට ම ගියා. පුරුෂයා බත් අනුභව කළ බව කෙසේ දැනගන්නේදැයි ඇසූ කල්හි කෙස් වැටිය කැපූ සළකුණින් යැයි කියා රජුට දන්වා ඒ ධනය ගෙන්වා ගත්තේය. මෙතරම් ධනයක් අන් අයෙකුට නැති බව දැන ඒ නගරයෙහි සිටු තනතුර රජු විසින් දෙන ලදී