සම්මුති පරමාර්ථ දේශනා

 සම්මුති දේශනා පරමත්‍ථ දේශනා යයි, භාග්‍යවත් බුදුරදුන්ගේ දේශනා ආකාර දෙකකි.

  1. එහි පුග්ගල – සත්ත – ඉත්‍ථි – පුරිස – ඛත්තිය, බ්‍රාහ්මණ දේව මාර යනාදි මෙවන් දේශනා සම්මුති දේශනා නම් වේ.
  2. අනිච්ච, දුක්ඛ, අනත්ත, ඛන්‍ධ, ධාතු ආයතන සතිපට්ඨාන යනාදි දේශනා පරමත්‍ථ දේශනා නම් වේ.

එහි භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අතුරෙන් යමෙක් සම්මුති වශයෙන් දේශනාව අසා අර්ථය අවබෝධ කොට මෝහය දුරුකොට මාර්ගඵලයන්ට පැමිණෙන්ට සමර්ථ වූවාහු වෙත්ද, ඔවුනට සම්මුති දේශනාව දේශනා කරති.

එහි මේ උපමාවකි. යම්සේ දේශ භාෂාවන්හි දක්‍ෂ වූ තුන්වේදයට අර්ථ වර්ණනා කරන්නා වූ ආචාර්යතෙම, යමෙක් දෙමළ බසින් කී කල අරුත් දැනගනිත්ද, ඔවුන් දෙමළ බසින් කියාද, යමෙක් ආන්‍ද්‍ර භාෂා අතුරෙන් අන්‍යතර භාෂාවකින් ඔවුනට ඒ ඒ භාෂාවෙන් ප්‍රකාශ කෙරේද, මෙසේ ඒ මානවකයෝ දක්‍ෂ වූ ව්‍යක්ත වූ ආචාර්යවරයෙකු වෙත පැමිණ වහාම ශිල්ප උගනිති. මේ උපමාවෙහි ඇදුරා මෙන් භාග්‍යවත් බුදුහුද ත්‍රිවේදය මෙන් කිවයුතු බැවින් තුන්පිටකයද දේශ භාෂාවන්හි කුසලතාව මෙන් සම්මුති පරමත්‍ථ දේශනාවන්හි දක්‍ෂතාවයද නානා දේශ භාෂාවන් දත් මානවකයන් මෙන් සම්මුති පරමාර්ථ වශයෙන් අවබෝධ කිරීමෙහි දක්ෂ වූ (වෙනෙය්‍ය) හික්මවිය යුතු සත්ත්වයෝ ද ආචාර්යවරයා විසින් ද්‍රවිඩ භාෂා ආදියෙන් ප්‍රකාශ කිරීම මෙන් භාග්‍යවතුන් වහන්සේගේ සම්මුති පරමත්‍ථ දේශනා දතයුත්තාහුය.

දුවෙ සච්චානි අක්ඛාසි සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්‍ථඤ්ච, තතියං නූපලබ්භති

සංකෙත වචනං සච්චං ලොක සම්මුති කාරණා
පරමත්‍ථ වචනං සච්චං ධම්මානං භූත කාරණා

තස්මා වොහාර කුසලස්ස ලොකනාථස්ස සත්‍ථුනො
සම්මුතිං වොහරන්තස්ස, මුසාවාදො නපායතී ති

වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරද සම්මුති සත්‍යය ද පරමත්‍ථ සත්‍යය ද යන සත්‍යයන් දෙකක් වදාළේය. එහි පිටත තුන්වන සත්‍යයක් නොලැබේ.

ලෝක ව්‍යවහාර කථාව ලෝකයාගේ සම්මුතිය නිසා පවත්නා හෙයින් සත්‍යය වේ.
එම නිසා ලෝවහරෙහි දක්‍ෂ වූ ලෝක ව්‍යවහාරය වදාරණ ලෝකනාථ වූ ශාස්තෘෘන් වහන්සේ හට මුසාවාදයෙක් නොවේ යනුයි.

පුද්ගල කථා

කරුණු අටක් නිසා භාග්‍යවතුන් වහන්සේ පුද්ගල කථාව කරන සේක.

  1. හිරිඔතප් ප්‍රකට කරනු පිණිස,
  2. කර්මය ස්වකීය කොට ඇති බව ප්‍රකට කරනු පිණිස ද ඒ ඒ සත්ත්වයන් විසින් කළ යුතු කර්ම දැක්වීම
  3. පුරුෂ ස්වරූප දක්වනු පිණිස,
  4. ආනන්තරීය කර්ම විස්තර කිරීම පිණිස,
  5. බ්‍රහ්ම විහාර දැක්වීම පිණිස,
  6. පෙර විසූ කඳ පිළිවෙළ දැක්වීම පිණිස
  7. දක්ඛිණා විසුද්ධිය දක්වනු පිණිස ද,
  8. ලෝක සම්මුති නොපිරිහෙලනු පිණිස ද යන මේ කරුණු අට නිසාය.

1).ඛන්‍ධ, ධාතු ආයතනයෝ ලජ්ජාවෙන් භයවෙත් යයි කීකල්හි මහජන තෙමේ නොදනී. මුලාවට පැමිණෙයි. විරුද්ධ නොවෙති. එහෙයින් භාග්‍යවත් බුදුරදහු හිරිඔතප් දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.

2).ස්කන්ධයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහුය. ධාතූහු, ආයතනයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහු යයි කී කල්හිදු මෙම ක්‍රමයයි. එබැවින් කර්මය ස්වකීය කොට ඇති බව දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.

3).වෙළුවනාදි මහා විහාරයෝ ස්කන්ධයන් විසින් ධාතූන් විසින්, ආයතනයන් විසින් කරවන ලද්දාහුයයි කී කල්හිදු මෙම ක්‍රමයමැයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වෙන් වෙන්ව පුරුෂ ස්වරූප දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.

4).ඛන්‍ධයෝ – ධාතූහු – ආයතනයෝ, මව ජිවිතයෙන් තොර කරති. පියා, රහත්හු ජීවිතයෙන් තොර කරති. (බුදු සිරුරෙන්) ලේ සෙලවීම කරති. සංඝභේද කර්මය කෙරෙත් යයි කී කල්හිදු මෙම ක්‍රමයමැයි. එහෙයින් භාග්‍යවත් තෙම ආනන්තරිය කර්ම දැක්වීම පිණිස පුද්ගල කථාව වදාරති.

5).ඛන්‍ධයෝ ආයතනයෝ ධාතූහු මෛත්‍රී කෙරෙත් යයි කී කල්හිදු මෙම ක්‍රමයමැයි. එසේ හෙයින් භාග්‍යවත් තෙමේ බ්‍රහ්මවිහාර දැක්වීම පිණිස පුද්ගල කථාව වදාරති.

6).ඛන්‍ධයෝ, ධාතූහු, ආයතනයෝ පෙර විසූ කඳපිළිවෙල සිහිකරත යයි කී කල්හිදු මෙම ක්‍රමයමැයි. පෙර විසූ කඳපිළිවෙල දැක්වීම පිණිස පුග්ගල කථාව වදාරති.

7).ඛන්‍ධ-ධාතු-ආයතනයෝ දානය පිළිගනිතියි කීකල්හි මහජන තෙමේ නොදනී. මුලාවට පැමිණෙයි. පුද්ගලයෝ පිළිගනිත්. සිල්වත්හු යහපත් දහම් ඇත්තහු පිළිගනිත් යයි කී කල්හි දැනගනී. මුලාවට නොපැමිණෙයි. විරුද්ධ නොවෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණ විසුද්ධිය දක්වනු පිණිස පුද්ගල කථාව වදාරති.

8).භාග්‍යවත් බුදුවරයෝ ලෝක සම්මුතිය අත්නොහරිත්. ලෝවහරෙහි, ලෝකනිරුත්තියෙහි ලෝකයාගේ ව්‍යවහාර කථාවෙහි පිහිටියාහුට දහම් දෙසති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ලෝක ව්‍යවහාරය නොහරිනු පිණිස පුද්ගල කථාව වදාරති.

එබැවින් මේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ ද ලෝ වහරෙහි දක්‍ෂ බැවින් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විරුද්ධ නොවෙමින් ලෝවහරෙහි පිහිටාම පුද්ගල යයි වදාළහ. එහෙයින් පරමාර්ථ වශයෙන් නොගෙන සම්මුති වශයෙන්ම පුද්ගල තෙම දත යුත්තේයැ.

සර්වඥතා ඤාණ බලයට පත්වූවකුට වුවද කර්ම විපාක ඵලදේමය

  1. වර්ෂ හයක් දුෂ්කර ක්‍රියා කරන ලද්දේ

    අතීතයේ කාශ්‍යප සම්මා සම්බුදුරදුන්ගේ කාලයේ බෝධිසත්ත්ව තෙම ජෝතිපාල නම් බ්‍රාහ්මණ මානවකයා වී උපන්නේ, බ්‍රාහ්මණ ජාති වශයෙන් ශාසනයෙහි අප්‍රසන්න වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේට කඩමාළු රෙද්දක් තුළින් උපන් බැවින් කාශ්‍යප භාග්‍යවතුන් යයි අසා, කරන ලද මුණ්ඩක ශ්‍රමණයාගේ බෝධිය ඉතාම දුර්ලභ යයි කීවේය. ඔහු ඒ කර්මය නිසාවෙන් නොයෙක් ජාති සිය ගණනක දුක් අනුභව කොට ඒ බුදුරදුන් කෙරෙන්ම ලද වියරණ ඇත්තේ. අනතුරුව, ඒ කර්මයෙන්ම ඉපදීම සංසාරය ගෙවා දමා අවසානයේ වෙස්සන්තර ආත්මභාවයට පැමිණ අනතුරුව චුත වී තුසිත භවනයේ උපන්නේ දේවතාවන්ගේ ආයාචනයෙන් එතැනින් චුතවී ශාක්‍ය කුලයේ උපන්නේ, නුවණ මුහුකුරා ගිය බැවින් සියලු දඹදිව රාජ්‍ය හැරදමා අනෝමා ගංතෙර සිනිදු තලාවේ හුන්නේ, සමලෙස කෙස් කලාපය සිඳදමා බ්‍රහ්මයා විසින් ගෙන එන ලද, සෘද්ධිමය වූ කල්පය කෙළවර වන කාලයේ පියුම් ගැබෙහි උපන් අෂ්ට පරිෂ්කාර පිළිගෙන පැවිදි වී බෝධි ඤාණදර්ශනයට ඒතාක් මුහුකුරා නොගිය බැවින් බුද්ධභාවයට වූ මාර්ග අමාර්ග නොදැන සය වර්ෂයක් උරුවෙලා ජනපදයේ එකම ආහාරයෙන් එකම ඵලයෙන් එකම සහල් ඇටයෙන් ඒකාසන භෝජන වශයෙන් ඇට මස් සම් නහර ඉතිරිවන සේ මස් රහිත රුධිරය රහිත ප්‍රේතයකු සදිසි රූපය ඇත්තකු වී මහාපදාන සූත්‍රයෙහි හෙතම මේ දුෂ්කරක්‍රියාව සම්බෝධියට මාර්ගය නොවේයයි සිතා ගම්නියම් රාජධානිවලදී ප්‍රණීත ආහාරපාන වළඳා පිනන ලද ඉඳුරන් ඇත්තේ පිරිපුන් දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණවලින් යුතුව ඒ බෝමැඩ වෙත එළඹ පස්මරුන් දිනා බුදුබවට පත්වූයේ,
    “එකල මම කස්සප සුගත සමයේ ජෝතිපාලට ඇවිද්දේ බෝධිය මුඩු නිසාවෙන් කී නිසා අවබෝධ ඤාණය පරම දුර්ලභ විය.
    ඒ කර්ම විපාක නිසාවෙන් බොහෝ දුෂ්කරතා ලැබ හැසිරුණෙමි. අනතුරුව බෝධිය පතා සයවසක් උරුවේලාවට පැමිණියෙමි.
    ඒ මම ඒ මාර්ගයෙන් උතුම් වූ බෝධියට පැමිණියෙමි. පෙර කර්ම විසින් කරන ලද දුර්මාර්ගය නොසොයන්නෙමි.
    සියළු ලෙස සිත් පිරිසිදු කර පින පව දැනගැනීමෙන් ශෝක රහිත, උපායාස නැති ආශ්‍රව රහිත නිවනට පැමිණෙන්නෙමි.”

     

  2. බොරුවෙන් දෝෂාරෝපණය කිරීම. අපහාස කිරීමයි.

    අතීතයේ බෝසත් තෙම ශුද්‍ර කුලයෙහි ඉපිද අප්‍රකට අප්‍රසිද්ධ මුනාලි නම් ධූර්තයෙක් වී වාසය කරයි. එකල මහත් සෘද්ධි ඇති මහානුභාව සුරභි නම් පසේ බුදුරදුන් කිසියම් කාරණයකට ඔහුගේ සමීපයට පැමිණි සේක. හෙතම උන්වහන්සේ දැක දුස්සීල පාපධර්මයකි. මේ ශ්‍රමණයා ආදී වශයෙන් දෝෂාරෝපණය කළෙමි. හෙතම ඒ අකුසලය නිසාවෙන් නොයෙක් වර්ණ සිය දහස් ගණනක් දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේ යම්කලෙක තීර්ථකයෝ පළමුව බුදුරදුන් තුසිත භවනයේ වාසය කරන සමයේ ප්‍රකට වී සියළු ජනයා රවටා දෙසැටක් මිථ්‍යා දෘෂ්ටිවලින් බබලවා හැසිරුණහ. එකල තුසිත පුරයෙන් නික්ම ශාක්‍යරාජ කුලයේ ඉපිද ක්‍රමයෙන් බුදුබවට පත්විය. තීර්ථකයෝ හිරු උදාවනවිට කළාමැදිරියන් මෙන් පහවූ ලාභ සත්කාර ඇත්තේ, බුදුරදුන් කෙරෙහි වෛර බැඳ හැසිරෙත්. එසමයෙහි රජගහනුවර සිටුතුමා ගංගාවේ ජලය බැඳ සෙල්ලම් කරන්නේ රත්සඳුන් කලයක් දැක අපගේ ගෙදර සඳුන් බොහෝ ඇත. මෙම දියසුළියකට නංවා දියසුළියක ආකාරයෙන් පාත්‍රයක ලියා තබා උණපඳුරේ ලග්ගවා යමෙක් මේ පාත්‍රය සෘද්ධියෙන් අවුත් ගනිත්ද? ඔවුන්ට බත පිරිනමන්නෙමියි බෙරහඬ නංවාලීය.
    එදා තීර්ථකයෝ දැන් නටුයේ වෙමු. දැන් නටුයේ වෙමුයි සාකච්ඡා කළහ. නිගණ්ඨනාථපුත්ත සිය පිරිසට මෙසේ කීවේය. මම උණගස් සමීපයට ගොස් අහසේ එල්ලෙන බවක් හඟවමි. නුඹලා බාල ලීයකින් උපන් පාත්‍රයක් නිසා සෘද්ධිය නොකරවු යයි මාව කඳින් අල්ලාගෙන වලක්වවු යයි ඔවුහු එහි ගොස් එසේ කළහ.
    එකල පිණ්ඩෝල භාරද්වාජ මොග්ගල්ලාන ද තුන්ගව්වක් පමණ ගල්තලාවක සිට, පිණ්ඩපාතයට ගමන් කරන්නේ සිවුරු පොරවමින් ඒ කෝලාහලය ඇසූහ. ඒ අතර මොග්ගල්ලාන තෙරුන් පිණ්ඩෝල භාරද්වාජට නුඹ අහසින් ගොස් ඒ පාත්‍රය ගන්නැයි කීවේය. හෙතම, ස්වාමීනි, ඔබවම බුදුරදුන් සෘද්ධිමතුන් අතර අග්‍ර තනතුරේ තබන ලද්දේ, නුඹවහන්සේම ගන්නැයි කීවාහුය. එසේවුවත් මා විසින් අණ කරන බැවින් ඔබම ගන්නැයි අණ ලද බැවින් තමන් සිටි තුන්ගව්වක් පමණ ගල් පර්වතයට පා තලයෙන් ලැග සැළියකින් වසන ලද මෙන් මුළු රජගහ නුවරම වසාලීය. එකල නගරවැසියෝ පළිඟු පර්වතයේ ආවරණය වූ රතුනූලක් මෙන් ඒ තෙරුන් දැක ස්වාමීනි, භාරද්වාජ අපව රකිවු! යනුවෙන් උද්ඝෝෂණය කළහ. බියට පත්වූවෝ නිදාගැනීම් ආදියද කළහ. එකල ඒ තෙරුන් ඒ පර්වතය පිහිටි ස්ථානය විසුරුවා හැර සෘද්ධියෙන් ගොස් ඒ පාත්‍රය ගත්තේය. එකල නුවරවැසියෝ මහා කෝලාහල කළහ.
    බුදුරදුන් වේළුවනාරාමයේ වසන්නේ ඒ ශබ්දය අසා මේ ශබ්දය කුමක්දැයි ආනන්ද තෙරුන්ගෙන් විචාළ සේක. ස්වාමීනි, භාරද්වාජ විසින් පාත්‍රය ගත් බැවින් සතුටුවූ නගරවාසීහු උස්හඬ කළහයි කීවේය. බුදුරදුන් එකල මතු සිදුවිය හැකි අනුන්ගේ උපවාද මිදීම පිණිස ඒ පාත්‍රය ගෙන්වාගෙන බිඳවා අඳුන් ආලේපකොට භික්‍ෂූන්ට දුන් සේක. දී වනාහි “මහණෙනි, සෘද්ධි ප්‍රාතිහාර්ය නොකළ යුතුය. කරන්නේ නම් දූකුළා පැවැත්වේ යයි ශික්‍ෂාපදයක් පැනවීය.
    ඉක්බිති තීර්ථකයෝ ශ්‍රමණභවත් ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවන ලද්දේ ඒවා ජීවිතය නිසාවත් ඉක්මවා නොයති. අපි සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නෙමුයි ඒ ඒ තැන රැස්වී කෝලාහල කළහ. ඉක්බිති බිම්බිසාර රජු ඒ අසා බුදුරදුන් සමීපයට ගොස් වැඳ එකත්පසක හුන්නේ බුදුරදුන්ට මෙසේ කීවේය. ස්වාමීනි, තීර්ථකයෝ සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නෙමු යයි උද්ඝෝෂණය කරති. මහරජ, මමද කරන්නෙමි. ස්වාමීනි, නොයන්න. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවත්ද? එසේම මහරජ ඔබගෙන් විචාරන්නෙමි. ඔබගේ උයනේ අඹගෙඩි ආදිය කන්නවුන්ට මෙපමණ දඬුවම් යයි දඬුවම් කරන්නේ එයද එකක්කොට තැබුවේය. ස්වාමීනි මටද දඬුවමක් නැත. මෙසේ මහරජ මටද ශික්‍ෂාපද පැනවීමක් නැත. ස්වාමීනි කෙසේ ප්‍රාතිහාර්ය කරන්නේද? මහරජ සැවැත්නුවර සමීපයේ අඹ ගස මුලය. යහපති ස්වාමීනි, එය බලන්නෙමුයි ඉක්බිති තීර්ථකයෝ අඹගස මුල ප්‍රාතිහාර්ය පවත්වන්නේ යයි අසා නගරය හාත්පස අඹගස් කපාලූහ. නගරවැසියෝ මහා අංගනයෙහි ඇඳන් ඉක්මවා යන අට්ටාල බැන්දවූහ. සියලු දඹදිව වැසියෝ රැස්වී පෙරදිග දිශාවේ දොළොස් යොදුනක් පැතිරී සිටියහ. සෙසු දිශාවලද ඒ ආකාරයෙන්ම රැස් වූහ.
    බුදුරදුන්ද කාලය පැමිණි කල්හි ඇසළ පෝදා උදෑසන කළයුතු කිස නිමවා ඒ ස්ථානයට ගොස් වැඩසිටි සේක. එකෙණෙහි ගණ්ඩබ්බ නම් උයන්පල්ලා කුඹියහින්න ගසක ඉදුණු අඹගෙඩියක් දැක ඉදින් මම මෙය රජුට දෙන්නේ නම් කහවනු අධිලාභයක් ලබන්නෙමි. බුදුරදුන්ට දුන් කල්හි මෙලොව පරලොව යහපත වන්නේ යයි බුදුරදුන්ට පිළිගැන්වීය. බුදුරදුන් එය පිළිගෙන ආනන්ද තෙරුන්ට අණකළ සේක. මේ ගෙඩිය ගෙන මිරිකා පානයක් දෙන්න. තෙර්න් එසේ කළහ. බුදුරදුන් අඹරස පානයකොට අඹඇටය උයන්පල්ලාට දී මෙය රෝපණය කරන්නැයි වදාළහ. ඔහු වැලි ඉවත්කොට එය රෝපණය කළේය. ආනන්ද තෙරුන් කෙණ්ඩියෙන් ජලය දැම්යෙ. එකෙණෙහි අඹ අංකුරයක් පැන නැගී ජනතාව බලා සිටිද්දීම අතු වෙළෙප් සම්පන්නව, ගෙඩි බරින් යුතුව ප්‍රකට විය. වැටුණු අඹගෙඩි කන්නා වූ සියළු දඹදිව වැසියෝ නිමකිරීමට නොහැකි වූහ.
    ඉක්බිති බුදුරදුන් පෙරදිග සක්වලේ සිට පශ්චිම චක්‍රාවාටය දක්වා මේ සක්වලෙහි මහාමේරුව මුදුනේ රුවන් සක්මනක් මවා අනේක පිරිසක් සමග සිංහනාදය කරන්නේ ධම්මපදට්ඨ කථාවේ කියන ලද අයුරින් මහා සෘද්ධි ප්‍රාතිහාර්යක් පා තීර්ථකයන් දමනය කොට ඔවුන්ගේ විකාර හෙළා ප්‍රාතිහාර්ය අවසානයේ පෙර බුදුවරුන් පුරුදු කළ විලසින් තව්තිසා භවනයට ගොස් එහි වස් වසන ලද්දේ, නිරතුරුව තුන් මාසයක් අභිධර්මය දේශනාකොට මව ප්‍රමුඛ නොයෙක් දේවතාවන්ට සෝවාන් මාර්ග අධිගමය කොට වැසූ වස් ඇත්තේ දේවාරෝහණය කොට නොයෙක් දිව්‍ය බ්‍රහ්ම සේනාව පිරිවරා සංකස්ස පුර ද්වාරයට බැස ලොවට අනුග්‍රහ කළේය.
    එකල බුදුරදුන් ලාභ සත්කාරවලින් ජම්බුද්වීපය උතුරා ගලා යන පංචමහා ගංගා මෙන් විය. ඉක්බිති තීර්ථකයෝ පිරිහුණු ලාභසත්කාර ඇත්තේ දුකට දොම්නසට පත් වූයේ බිම බලාගෙන හුන්හ. එකල ඔවුන්ගෙන් චිංචිමානවිකා නම් උපාසිකාව අතිශය රූපයෙන් අගතැන්පත්ව එසේ හුන්නා බව දැක ස්වාමීනි කිම, මෙසේ දුක් දොම්නසින් හුන්නේදැයි විචාලේය. කිම ඔබට නැගනිය අපහසුවක්ද? කිම ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් පහළවූ කාලයේ පටන් අපි නැසුණු ලාභ සත්කාර ඇත්තේ නගරවාසීහු අපට කිසිවක් නොදෙත්. මා විසින් මෙහි කුමක් කළ යුතුද? ඔබ විසින් ශ්‍රමණ භවත් ගෞතමයන්ට අවඥාවක් උපදවාලීමට වටී යනුවෙනි. එය මට භාර යයි පවසා එහිදී උත්සාහ කරත්. නුසුදුසු වේලාවේ ජේතවන විහාරයට ගොස් තීර්ථකයන්ගේ ආරාමයේ වාසයකොට උදෑසනම නුවරවැසියන් සුවඳ දෑ ආදිය රැගෙන බුදුරදුන් වැඳීම පිණිස යන වේලාවේ ජේතවනයෙන් පිටත් වන්නාක් මෙන් කොහේ නිදාගත්තේ දැයි විචාරණ ලදුව, නුඹලාට කිම, මම කොතැන නිදාගත්තද, යනුවෙන් පවසා පිටත්ව ගියාය. ඇය ක්‍රමයෙන් කාලය ගතවන කල්හි විචාරණ ලදුව මම ශ්‍රමණ භවත් ගෞතමයන් සමග එක ගන්ධකුටියේ නිදාගෙන නික්මෙන්නේ යයි කීවාය. එය බාල පෘථග්ජනයෝ විශ්වාස කළහ. සෝවාන් ඵලලාභී උගත්තු එය විශ්වාස නොකළහ. එක්දිනක් ඇය දරමිටියක් බඩේ බැඳගෙන මත්තෙහි රතු වස්ත්‍රයක් පොරවාගෙන ගොස් රජු සමග බණ අසන පිරිස ඉදිරියට ගොස් බුදුරදුන්ට මෙසේ කීවාය. මහා ශ්‍රමණය, ඔබ ධර්ම දේශනා කරන්නේය. ඔබ නිසා උපන් දරුගැබ දරන මට ලුණුමිරිසක්වත් දීමට නොවිචාරහි. ඒ ගැන නැගණිය ඔබම දැනගනුව. මම නම් මෙසේ මෛථුන සංසර්ගය කල කාලයක් දෙදෙනෙක්ම දනිත් අනිත් අය නොදනියි කීවේය.
    එකෙණෙහි ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණුවන බව පෙන්වීය. ශක්‍රයා ආවර්ජනය කරන්නේ ඒ කරුණ දැන දේවපුත්‍රයන් දෙදෙනෙකුට අණ කළේය. නුඹලා අතරින් එකකු මීයකුගේ විලාශයක් මවා ඒ දරමිටියේ බැම්ම කැපීමටද, එකකු වාත සමූහයක් මවා පොරවන ලද වස්ත්‍රය උඩට එසවාවා යනුවෙනි. ඔවුහු එසේ කළහ. දරමිටිය බිම වැටෙනවිට ඇගේ පාද පිටිතලය බිඳුණේය. දම්සභාවේ රැස්වුණා වූ පෘථග්ජනයෝ සියල්ල, බොල දුෂ්ට තැනැත්තිය, තෝ මෙබඳු ආකාර ලෝකනාථ ස්වාමියාණන්ට මෙබඳු ආකාර ලැජ්ජාවක් කළේයි නැගී සිට එක එක මිටි පහර බැගින් දී සභාවෙන් බැහැර කළහ. දර්ශනය ඉක්මවන කල්හි පොළොව විවර විය. එකෙණෙහි අවීචි නරකයෙන් ගිනිජාලාවක් නැගී සිට කුලයෙන් දුන් රතු පොරෝනාවත් සමග එය අන්දවා අවීචියට වැටුණේය. බුදුරදුන්ට ලාභ සත්කාර අතිරේකතර විය. ඒ නිසා කියන ලදි –
    “සියළු කෙලෙස් නැසූ බුදුවරුන්ට ශ්‍රාවකයා නොඉක්මවා යන්නේය. ඒ අපහාසය නිසා මා විසින් චිරාත් කලක් හැසිරුණෙමි.
    වර්ෂ දස දහසක් අපායේ හැසිරුණෙමි. මම මිනිස් ආත්මභාවයක් ලැබද බොහෝ අපහාසවලට මුහුණ දුනිමි.
    ඒ කර්මවිපාක අවසන්වීම් වශයෙන් මට චිංචිමානවිකාව ජනකාය මැද අභූත චෝදනාවකින් අපහාස කළේ.”

     

  3. අක්‍රෝෂණය අපහාසය.

    අතීතයේ බෝසත්හු අප්‍රකට ජාතියක උපන්නේ මුනාලි නම් ධූර්තයා වී දුර්ජන සංසර්ග බලයෙන් සුරභිනම් පසේ බුදුරදුන්ට මේ පාපකාරී දුශ්ශිල භික්‍ෂුවකැයි අපහාස කළේය. ඔහු ඒ අකුශල කර්මයෙන් අකුශල වචී කර්මයෙන් බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයේ පැසී මේ විසූ ආත්මභාවයේ දසපාරමිතා පිරූ බලයෙන් බුදුබව ලැබුවේ ලාභයෙන් කීර්තියෙන් අගතැන්පත් විය. නැවත තීර්ථකයෝ කෙසේ නම් ශ්‍රමණ භවත් ගෞතමයන්ට අපකීර්තියක් උපදවන්නෙමුයි උත්සාහ කළෝය. දුකින් දොම්නසින් කල්ගත කළහ. එකල සුන්දරී නම් එක් පරිව්‍රාජිකාවක් ඔවුන් වෙත එළඹ වැඳ සිටියේ ඔවුන් නිශ්ශබ්දව සිටිකල්හි කිසිවක් නොකියන්නේ කිම මගේ දෝෂයක්දැයි විචාළාය. ශ්‍රමණභවත් ගෞතමයා අපව වෙහෙසට පත්කරවන කල්හි ඔබ අපහසුවක්දැයි විමසන්නේය. මෙය ඔබගේ දෝෂයක් යයි මෙසේ කීවේය. එහිදී කුමක් කරන්නෙම්ද? ඔබ ශ්‍රමණ ගෞතමයන්ට අපකීර්තියක් ඉපදවීමට හැකිවන්නෙහිද? ආර්යයනි, හැකිවන්නෙමි යයි පවසා එතැන් පටන් කියන ලද අයුරින් දකින දකින අයට ශ්‍රමණ භවත් ගෞතමයන් සමග එක ගඳකිළියේ වාසයකොට නික්ම ආවේ යයි කියා ආක්‍රෝෂ කරයි. පරිභව කරයි. තීර්ථකයෝද බලවු! ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ වැඩයයි අක්‍රෝෂ කරත්. පරිභව කරත්. මෙය මෙසේද කියන ලදි.
    “පෙර මම මුනාලි නම් ධූර්තයෙකු වූයෙමි පෙර වෙනත් ජාතියක සිට පසේ බුදුවරයෙකුට අභූත චෝදනාවලින් අවමන් කළෙමි
    ඒ කර්ම විපාකයේ බලයෙන් මම නිරයෙහි සැරිසැරියෙමි බොහෝ වර්ෂ දහස් ගණනක් දුක් වේදනා වින්දෙමි.
    ඒ කර්ම විපාක අවසානයේ මේ පශ්චිමභාවයේ මා විසින් සුන්දරි විසින් කරන ලද අපහාස වින්දෙමි.”

     

  4. අක්‍රෝෂ පරිභව කිරීම

    අතීතයේ බෝසත් බමුණු කුලේ උපන්නේ බහුශ්‍රැත වූයේ බොහෝදෙනා විසින් සත්කාර කළේ පුදන ලද්දේ තාපස ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිවී හිමාලයේ වනමුල්ගෙඩි ආහාරකොට බොහෝ මානවකයන්ට මන්ත්‍ර උගන්වමින් කල්ගත කළේය. එක් පංචඅභිඥා අෂ්ට සමාපත්තිලාභී තාපසයාටද ඔහුගේ සමීපයට ගියේය. ඔහු හේ දැකම ඊර්ෂ්‍යාව ඉස්මතු වී, ඒ ඔබ ඒ පිරිසිදු තාපසයාට මේ සෘෂිවරයා කාමභෝගී කුහකයකැයි කියමින් අපහාස කළේය. තමන්ගේ ශිෂ්‍යයන්ටද කීවේය. මේ සෘෂිවරයා මෙබඳු ආකාර අනාචාරයකැයි ඔවුහුද ඔහුට ආක්‍රෝෂ කළහ. ඔහු ඒ අකුසල කර්මවිපාක බලයෙන් නොයෙක් වර්ෂ දහස් ගණනක් අපායේ දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේ බුදුවී ලාභයෙන් කීර්තියෙන් අග පැමිණ අහසේ පූර්ණ චන්ද්‍රයා මෙන් ප්‍රකට විය. ඒ තීර්ථකයා අපහාස කරනුයේ අසන්තෝෂව යළිත් ඒ සුන්දරී ලවා බොරුවෙන් අපහාසකොට සුරා ධූර්තයන් කැඳවා අල්ලස් දී නුඹලා සුන්දරී මරා ජේතවනාරාමය සමීපයෙහි කසලවලෙහි දමවු යයි අණ කළහ. ඔවුහු එසේ කළහ. ඉක්බිති තීර්ථකයෝ, සුන්දරී පේන්නට නැතැයි කියමින් රජුට දැන්වූහ. රජු සොයවු යයි කීවේය. ඔවුන් වැටී තිබූ තැනින් ගෙන ඇඳක තබා රජුට පෙන්වා බලවු ශ්‍රමණ භවත් ශ්‍රාවකයන්ගේ වැඩ යයි පවසමින් බුදුරදුන්ටද, භික්‍ෂු සංඝයාටද මුළු නගරයේ අපකීර්තිය පතුරුවමින් හැසිරුණහ. සුන්දරිය අමු සොහොනේ අට්ටාලයක තැබූහ. රජු සුන්දරිය මැරූ වුන් සොයවුයයි පුරුෂයන්ට අණ කළේය. එකල ධූර්තකයෝ සුරා පානයකොට තෝ සුන්දරිය මැරුවෙහි, තෝ මැරුවෙහි කියමින් කෝලාහල කළහ. රාජපුරුෂයෝ ඒ ධූර්තකයන් අල්ලාගෙන රජුට ඉදිරිපත් කළහ. රජු බොලවු තොපි කුමක් නිසා සුන්දරී මරණ ලද්දී ද? දේවයන් වහන්ස, එසේය. කවුරු විසින් අණ කරන ලද්දේ ද? දේවයන් වහන්ස තීර්ථකයෝය. රජතුමනි, තීර්ථකයන් ගෙන්වාගෙන බඳවා, බොල යවු! බුදුරදුන්ට අපහාස කිරීම පිණිස අප විසින්ම සුන්දරිය මරණ ලද්දීය. බුදුරදුන්ද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ද කළ ආකාරයෙන් උද්ඝෝෂණය කරවු යයි කීවේය. ඔවුහු එසේ කළහ. සියළු ගම්වැසියෝ නිසැක වූහ. රජ තීර්ථකයන් ද ධූර්තයන් ද මරවා වල දැමීය. ඉක්බිති භගවත්හට බොහෝ ලාභ සත්කාර වැඩෙයි. එබැවින් කියන ලදි –
    “මම සකසා පුදන ලද ශ්‍රැතවත් බ්‍රාහ්මණයෙකු වූයෙමි මහා වනයේ පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර ප්‍රගුණ කළෙමි.
    එහි පැමිණි පංචාභිඥාලාභී මහත් සෘද්ධි ඇති සෘෂිවරයෙකුට ඒ පැමිණියේ දැක මම බොරුවෙන් ඉරිසියාවෙන් දොස් පැවරුවෙමි.
    මමද මගේ සිසුන්ද මේ සෘෂිවරයා කාමභෝගියකැයි කීවෙමි. මානවකයෝද මගේ වචනයම පවසමින් අනුමෝදන් වූහ.
    ඉක්බිති මානවකයෝ ගෙයක් පාසා පිඬු පිණිස යනකල් මේ සෘෂිවරයා කාමභෝගියකැයි මහජනයාට කීහ.
    ඒ කර්ම විපාක බලයෙන් මේ පන්සියයක් භික්‍ෂූන් සමග සියල්ලටම සුන්දරිය කරණකොටගෙන බොරුවෙන් අපහාස වින්දෙමි.

     

  5. ඛේදයට පත් සිත් ඇතිව සීලය ඉවතලීය.

    අතීතයේ බෝසත්ද, කනිටු සොයුරාද, එකම පියාගේ පුත්තු වූහ. ඔවුහු පියා ඇවෑමෙන් ධනය ද දාසයන් ද නිසා කෝලාහල කරන්නේ ඔවුනොවුන් විරුද්ධ වූහ. බෝසත්තුමා තමන්ගේ ශක්ති බලයෙන් කනිටු සොයුරා ඉවත්කොට ඔහුගේ පිරිසට ඔහු ඉවතලීය. හෙතම ඒ කර්ම විපාක බලයෙන් නරකාදියෙහි නොයෙක් වර්ෂ සහශ්‍රයක් දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේ බුදුවූ, දේවදත්ත රාහුල කුමරුගේ මාමාය. පෙර සේරිවාණිජ කාලයේ බෝසතුන් සමග වෙළෙන්දකු විය. ඔවුහු එක් වරායක් සහිත ගමකට පැමිණ නුඹ එක වීදියක් ගන්න. මමද එක වීදියක් ගනිමියි දෙදෙනාම පිවිසි කල්හි දේවදත්ත පැමිණි වීදියටම ජින්න සෙට්ටිගේ බිරිඳද මුණුපුරාද දෙදෙනාම වූහ. ඔවුන්ට ඉතා විශාල රන් තැලියක්, මලකඩ රහිත වූ භාවිත අතර තබන ලද්දේ වෙයි. එය රන්තැලියක් බව නොදන්නී, මේ තලිය ගෙන පලඳනාවක් දෙවයි කීවාය. ඔහු එය ගෙන ඉඳිකටුවකින් ඉරක් ඇඳ, රන්තැලියක් බව දැන ටිකක් දී ගෙනයන්නෙමියි, සිතා ගියේය. ඉක්බිති බෝසත් දොරටුව සමීපයට ආ බව දැක මුනුපුරා ආයි, කච්ඡපුට මගේ පිලන්ධනය දෙන්නැයි ඇය ඔහු කැඳවා, හිඳුවා ඒ තලිය දී ගෙන මගේ මුනුපුරාට කච්ඡපුටය; පලඳනාවක් දෙවු යයි කී. බෝසත් එය ගෙන රන්තැලියක් බව දැන ඔහු විසින් රවටන ලද බව දැන තමන්ගේ පසුම්බියේ තුබූ කහවණු අටද, ඉතිරි භාණ්ඩද දී කච්ඡපුට පළඳනාව කුමාරිකාවගේ අතේ තබා ගියේය. ඒ වෙළෙන්දා යළිත් අවුත් විචාළේය. දරුව; නුඹ නොගන්නා ලද්දේ මගේ පුතාට මේ මේ දේවල් දී ඔහු ගෙන ගියේයයි කී. ඔහු එය ඇසුවේම හදවත පැලුනාක් මෙන් දුවගෙන ගොස් ලුහුබැන්දේය. බෝසත් නැවට පැන පලා ගියේය. ඔහු හිටුව! පලා නොයව! පලා නොයව! යයි පවසා නවතාලීමට නොහැකි වන්නේ උපනුපන් ආත්මභාවයේ විනාශ කිරීමට සමත් වේවා!යි ප්‍රාර්ථනා කළේය.
    ඒ ඔහු ප්‍රාර්ථනා වශයෙන් නොයෙක් ජාති සියදහස් ගණනක ඔවුනොවුන් තලා පෙළා මේ ආත්මභාවයේ ශාක්‍ය කුලයේ ඉපිද, ක්‍රමයෙන් බුදුරදුන් සර්වඥතාත්වයට පැමිණ රජගහනුවර වාසය කරන කල්හි, අනුරුද්ධ ආදීන් සම බුදුරදුන් සමීපයට ගොස් පැවිදි වී ධ්‍යානලාභී වී, ප්‍රකට වී බුදුරදුන්ගෙන් වරයක් ඉල්ලීය. ස්වාමීනි, ඉදින් භික්‍ෂු සංඝයා පිණ්ඩපාතිකාංගය ආදිය තෙලෙස් ධුතාංග සමාදන් වන්නේද, සියලු භික්‍ෂු සංඝයා මගේ භාරයට පත්වේවා! භාග්‍යවතුන් වහන්සේ අනුදැන නොවදාළහ. දේවදත්ත වෛර බැඳ ධ්‍යානයෙන් පිරිහුණේ බුදුරදුන් මරනු කැමැත්තේ එක්දිනක් වේභාරපර්වත පාමුල සිටි බුදුරදුන් මස්තකයට ගල් පර්වතයක් පෙරළීය. එය ගැටී නැගී සිටි පතුරක් අවුත් බුදුරදුන්ගේ පිටිපතුලේ පහර දුන්නේය. එබැවින් කියන ලදි.
    “එක මව්කුස උපන් මම පෙර ධනහේතු නිසා ගිරිදුර්ගයකදී ගල්කැටයක් විත් පහර වැදුණෙමි,
    ඒ කර්ම විපාක බලයෙන් දේවදත්ත සීලය අත්හළේය. මගේ පාද පිටිපතුලේ ගල් පතුරක් වැදී මාපට’ඟිල්ල බිඳුණි.”

     

  6. ගල්කැට කැබිලිති ගැටීමය.

    අතීතයේ බෝසත් එක් කුලයක උපන්නේ ළදරු කාලයේ මහාමාර්ගයේ ක්‍රීඩා කරන්නේ වීථියේ පිඬු පිණිස හැසිරෙන පසේබුදුවරයෙකු දැක මේ මුඩු මහණා කොහි යන්නේදැයි ගල්කැටයක් ගෙන උන්වහන්සේගේ පය පිටිපතුලට දමාගැසීය. පිටිපතුලේ සම බිඳී රුධිරය පිටවිය. ඔහු ඒ පාප කර්මයෙන් නොයෙක් වර්ෂ දහස් ගණනක් අපායේ මහා දුක් අනුභවකොට බුදුවූයේද, කර්ම විපාක ඵලදීම් වශයෙන් පා පිට ගල්කැටයක් වැදිමෙන් පය රුධිරයෙන් නැහැවිණි. එබැවින් කියන ලදී –
    “පෙර මම ළදරුවකු වී මහා මාර්ගයේ සෙල්ලම් කරන්නේ පසේ බුදුකෙනෙකු දැක පාරේදි ගල්කැටයකින් ගැසුවෙමි.
    ඒ කර්ම විපාක බලයෙන් බුදුවූ මේ කාලයේ දේවදත්ත එහිදී ගල්කැටයක් විද තුවාල කරන ලදි”

     

  7.  නාලාගිරි යනු ධනපාලක ඇතාය. මරණු පිණිස එවන ලදී.

    අතීතයේ බෝධිසත්ත්වයෝ ඇත්ගොව්වකු වී උපන්නේය. ඇතුපිට නැගී මහාමාර්ගයේ හැසිරෙනකල්හි පසේබුදුවරයකු දැක මේ මුඩු මහණා කොහේ යයි දැයි හටගත් දුෂ්ට වූ සිතින් ඇතුව මෙහෙයවීය. ඔහු ඒ පාපකර්මයෙන් අපායවල නොයෙක් වර්ෂ දහස් ගණනක් දුක් අනුභවකොට පශ්චිම ආත්මභාවයේ බුදුවී උපන්නාහ. දේවදත්ත අජාසත් රජු සහාය කොටගෙන, මහරජ; නුඹ පියා මරා රජ වෙව! මම බුදුන් මරා බුදුවන්නෙමි යයි හඟවා, එක්දිනක් රජුගේ අනුදැනීමෙන් ඇත්හලට ගොස් නුඹ හෙට නාලාගිරි ඇතාට රා කල දහසක් පොවවා, බුදුරදුන් පිඬු පිණිස වඩින වේලාවේ නාළාගිරිව එවවයි ඇත්ගොව්වාට අණ කළේය. මුළු නගරයම මහා කෝලාහලයක් මෙන් විය. බුද්ධ ඇතු සමග හස්ති නාගයාගේ යුද්ධය බලන්නෙමුයි රාජ වීදි දෙක ආසන පිට ආසන බඳවා උදෑසනම රැස්වූහ. බුදුරදුන්ද කරන ලද ශරීර පිළිදැගුම් ඇත්තේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. එකෙණෙහි කියන ලද ආකාරයෙන්ම නාළාගිරිව පිටත් කළහ. හෙතම වීථියේ කුණුකසල අවුස්සමින් එයි. එකල එක් ස්ත්‍රියක් දරුවා ගෙන වීථියෙන් වීදියට යයි. ඇතා ඒ ස්ත්‍රිය දැක ලුහුබැන්දේය. බුදුරදුන් නාළාගිරිට ඔහු සඳහා ඔබව නොඑවන ලදි. මෙහි එවයි කී සේක. ඇතා ඒ ශබ්දය අසා බුදුරදුන් අභිමුඛව දිව්වේය. භාග්‍යවතුන් වහන්සේ අප්‍රමාණ සක්වලවල අනන්ත සත්ත්වයන් කෙරෙහි පතුරුවන ලද මෙත් සිත ඇත්තේ නාලාගිරි කෙරෙහිද එය පැතිරවීය. හෙතම බුදුරදුන්ගේ මෛත්‍රියේ ගැටී, නිර්භය වී, භගවත් පාමුල වැටුණේය. බුදුරදුන් ඔහුගේ හිස්මුදුනේ අත තැබූ සේක. එකල දෙව් මිනිස්සු ආශ්චර්ය අද්භූත සිත් ඇත්තේ මල් පරාග ආදිය පූජා කළහ. මුළු නගරයේ දණක් පමණ ධනය රැස්වී තිබුණි. රජු පශ්චිම දොරටුවේ ධනය නගරවාසීන්ට වෙත්වා! පෙරදිග දොරටුවේ ධනය රාජ භාණ්ඩාගාරයට වෙත්වා!යි බෙරහඬ නැංවීය. සියල්ලෝ එසේ කළහ. එකල නාලාගිරි ධනපාල නම් විය. බුදුරදුන් වේළුවනාරාමයට වැඩම කළ සේක. එබැවින් කියන ලදි –
    “පසේ බුදුවරයෙකු ගමන් යන කල්හි ඇතකු පිට නැගි මම, පිඬු පිණිස හැසිරෙන මුනිවරයාට ගර්ජනා කරමින් අපහාස කළෙමි.
    ඒ කර්ම විපාක බලයෙන් නාළාගිරි ඇතා මගධ රට හැසිරෙමින් දරුණු ලෙස මා වෙත එළඹීය.

     

  8. පිහියකින් ගෙඩියක් පැලීම, පොරවකින් සැතකින් සිඳින ලදී.

    අතීතයේ බෝසත් ප්‍රත්‍යන්ත ජනපදයේ රජ විය. දුර්ජන සංසර්ගය නිසාවෙන් ප්‍රත්‍යන්ත දේශවාසි වූ සුරා සූදු ලොල් ධූර්ත සාහසිකයකු එක දවසක් කඩුවක් ගත් අත් ඇතිව පයින් යමින් නගරයෙහි හැසිරෙන්නේ නිරායුධ ජනතාව කඩුවෙන් පහර දෙමින් පලමින් ගියේය. හෙතම ඒ පාපකර්ම විපාකය නිසාවෙන් බොහෝ වර්ෂ දහස් ගණනක් අපායේ පැසී, තිරිසන් ආදි මහදුක් අනුභව කොට පැසවා, අවසානයේ පශ්චිම ආත්මභාවයේ බුදුවී යට කියන ලද ආකාරයෙන් දේවදත්ත විසින් විසිකරන ලද ගල්පතුරක ප්‍රහාරයෙන් හටගත් තුවාල ඇත්තේ විය. ජීවක මෛත්‍රී සිතින් ඒ ගඩුව පැලීය. වෛර සිත් ඇති දේවදත්තගේ රුධිරය සෙලවීමේ කර්මය ආනන්තරික විය. මෛත්‍රී සිත් ඇති ජීවකගේ ගඩුව පැලීම පින්කමක් විය. එබැවින් කියන ලදී –
    “රජවූ මම සැතක් ගත් පුරුෂයකු මාර්ගයේ වූයෙම් ඒ කර්ම විපාක බලයෙන් බොහෝ කලක් නිරයේ පැසුණෙමි.
    කර්මය ශේෂවීමේ ප්‍රතිඵලයෙන් ඒ සියල්ලටම පාදයේ සැතක් ඇති මෙන් ඒ කර්මය කෙළවර විනාශ වන්නේය.”

     

  9. ශීර්ෂාබාධ, හිසේ වේදනාවයි.

    අතීතයේ බෝසතුන් කේවට්ටගම කෙවුලකු වී උපත ලැබීය. ඔහු එක දවසක් කේවට්ට පුරුෂයන් සමග මසුන් මරණ ස්ථානයට ගොස් මසුන් මරණ ආකාරය දැක සොම්නසින් උඩ පැන්නේය. එහිදී සොම්නසද ඉපදවූහ. හෙතම ඒ අකුසල කර්මයේ බලයෙන් සතර අපායේ දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේ දූත පුරුෂයන් සමග ශාක්‍යරාජ කුලයේ ඉපිද, ක්‍රමයෙන් බුද්ධත්වයට පත්වූයේ ද තෙමේ ශීර්ෂාබාධයෙන් පෙළුනේ වෙයි. ඒ ශාක්‍ය රජවරුන් ධම්මපදට්ඨ කථාවේ කියන ලද අයුරින් විඩූඩභ යුද්ධයේදී සියල්ලෝ විනාශයට පත්වූහ. එබැවින් කියන ලදී.
    “මම ඒ කේවට්ටගමෙහි ළදරු කේවට්ටයෙකු වූයෙමි මසුන් මරණු දැක සොම්නසට පැමිණියෙමි.
    ඒ කර්ම විපාක බලයෙන් මම ශීර්ෂාබාධයෙන් පෙළෙමි. විඩූඩභ සංග්‍රාමයේදී සෙසු ශාක්‍යයෝ විනාශ වූහ.

     

  10. වේරඤ්ජා නුවරදී යවසහල් කෑමය.

    අතීතයේ බෝසත් තෙම එක්තරා කුලයක උපන්නේ ජාති වශයෙන් අන්ධබාල භාවයෙන් යුතුව ඵුස්ස බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මිහිරි ආහාරපාන ඇල් භෝජනාදිය අනුභව කරනු දැක, බොල; මුඩුමහණ, යව කාපියවු! සැල් සහලේ ආහාර අනුභව නොකරවු! යනුවෙන් ආක්‍රෝෂ කළේය. ඔහු ඒ අකුසල කර්ම විපාක බලයෙන් නොයෙක් වර්ෂ දහස් ගණන් සතර අපාවල දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේදී ක්‍රමයෙන් බුදුබවට පත්ව ලෝකයාට සංග්‍රහ කරන්නේ ගම් නියම්ගම් රාජධානිවල හැසිර එක් කලෙක වේරඤ්ජ බමුණුගම සමීපයේ අතුපතර විහිදීගිය කොහොඹ ගසක් මුලට පැමිණි සේක. වේරඤ්ජ බ්‍රාහ්මණයා බුදුරදුන් වෙත එළඹ නොයෙක් ආකාරයෙන් බුදුරදුන් ජයගැනීමට නොහැකිවන්නේ සෝවාන් වී, ස්වාමීනි; මෙහිම වස් එළඹීමට වටනේ යයි ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති දෙවෙනි දිනයේ පවිටු මාරයා සියලු වේරඤ්ජ බමුණුගම වැසියන්ට මාරාවේශ වීම කළේය. පිඬු පිණිස වැඩම කළ බුදුරදුන්ට මාරාවේශ වීමෙන් එකම බත් හැන්දක්වත් දීමට නොවීය. භාග්‍යවතුන් වහන්සේ හිස්වූ පාත්‍රය ඇතිව භික්‍ෂු සංඝයා පිරිවරා පෙරළා ආපසු වැඩියහ. එහි පැමිණි කල්හි එහිම නැවතී සිටි අශ්ව වෙළෙන්දෝ එදවස දන්දී වස් එළඹුනා වූ පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගත් බුදුරදුන්ට පන්සියයක් භික්‍ෂූන් පිරිවරා ආරාධනාකොට පන්සියයක් අශ්වයන්ගේ වැටුපෙන් වෙන්කොට තුන්මස පෝෂණය කරමු යයි සාකච්ඡා කොට ‘යව’ කොටා භික්‍ෂූන්ගේ පාත්‍රවල දමත්. සියලු දසදහසක් සක්වල දේවතාවෝ සුජාතාවගේ කිරිබත් පිසන දිනයේ මෙන් දිව්‍ය ඔජස් බහාලති. භාග්‍යවතුන් වහන්සේ වළඳති. මෙසේ තුන්මස මුළුල්ලේ යව අනුභව කළ සේක. තෙමස ඇවෑමෙන් මාරාවේශය පහව ගිය කල්හි පවාරණ දිනයේ වේරඤ්ජ බ්‍රාහ්මණයා සිහිකොට, මහා සංවේගයට පැමිණියේ බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දී වැඳ ක්‍ෂමාව අයැද සිටියේය. එබැවින් කියන ලදී –
    “ඵුස්ස බුදුරදුන්ගේ සමයේ බුද්ධ වචනයේ නිරත ශ්‍රාවකයන්ට මම අපහාස කළෙමි. මෙසේ යව කවු! සැල් සහල් බත් නොවලඳවු යනුවෙනි.
    ඒ කර්ම විපාක වශයෙන් තුන්මසක් යව කන ලදිමි. වේරංජා වැසි බ්‍රාහ්මණයන්ගේ ඇරයුමෙන් එකල වස් සමාදන් වූයෙමි.

     

  11. පිටේ අමාරුවයි.
    අතීතයේ බෝසතුන් ගෘහපති කුලයේ උපන්නේ ජවසම්පන්න කිසියම් මිටිබිහිරි අයෙකු විය. එසමයෙහි එක් මල්ලව පොර ශූරයකු මුළු දඹදිව ගම් නියම්ගම් රාජධානිවල මල්ල යුද්ධ පවත්වන කල්හි මිනිසුන් බිම හෙළා ජයගත්තේ ක්‍රමයෙන් බෝසතුන් වසන නගරයට පැමිණ, එහි ජනයන් බිම දමා යන්නට පටන් ගත්තේය. එකල බෝසත්හු මා වසන තැන මෙතම ජයගෙන යයි. එහිදී නගරශාලාවට පැමිණ අත්පුඩි ගසා, එව්, මා සමග යුද්ධකොට යව් යනුවෙනි. ඔහු සිනහසී කීවේය. මෙපමණ මහා පුරුෂයන් බිම හෙළා මේ මිටි බිහිරි අඟුටුමිට්ටකු වූ මගේ එක් අතක්වත් එසවීමට අපොහොසත් යයි අත්පොළසන් දී කෑගසා ආවේය. ඒ දෙදෙනාම ඔවුනොවුන් අත් පරමාර්ශනය කළහ. බෝසත් ඔහු ඔසවා අහසට ඔසවා බිම හෙළන්නේ කොඳුනාරටිය බිඳී බිම වැටුණේය. සියළු නුවරවාසීහු සියුරුම් හඬ නගමින්, අත්පොළසන් දෙමින් වර්ග පිළිවෙළින් වස්ත්‍ර ආභරණ ආදියෙන් බෝසතුන් පිදූහ. බෝසතුන් ඒ මල්ලව යෝධයා සෘජුව අල්ලාගෙන කොඳුඇටය සෘජුකොට යව! මෙතැන්පටන් මෙබඳු ආකාර දේ නොකරව!යි පවසා පිටත් කළේය. ඔහු ඒ කර්ම විපාක වශයෙන් උපනුපන් ආත්ම භාවවල ශාරීරික බොහෝ දුක් අනුභවකොට මේ පශ්චිම ආත්මභාවයේ බුදුවූයේ නමුත්, පිටේ රුදාව ආදී දුක් අනුභව කළේය. එහෙයින් කිසිදා පිටෙහි දුකක් උපන්කල්හි සැරියුත්-මුගලන් දෙනම එතැන් පටන් ධර්මදේශනා කරවු! යයි තෙමේ සුගත චීවරය පනවා නිදයි. කර්ම විපාක දීම නම් බුදුවරුන්ටද නොමිදිය හැකිය. මෙයද කියන ලදී –
    “බුදු නොවී සිටිකල්හි මල්ල පුත්‍රයකු තැලුවෙමි. ඒ කර්ම විපාක බලයෙන් පිටෙහි දුකක් මට ඇතිවිය.

     

  12. අතීසාරො යනු ලේ යාමේ විරේචනයයි.

    ලෝහිත පක්ඛන්දිකා ආබාධයයි. අතීතයේ බෝසතුන් ගෘහපති කුලයේ උපන්නේ වෛද්‍ය කර්මයෙහි දක්‍ෂයකු වී. වෛද්‍ය කර්මයෙන් ජීවිතය ගෙවීය. ඔහු ඒක සිටුපුත්‍රයකු රෝගයෙන් පෙළෙන කල්හි චිකිත්සා කරන්නේ බෙහෙත්කොට චිකිත්සා වශයෙන් දියයුතු දෙයෙහි ප්‍රමාදව පැමිණ, වෙනත් බෙහෙතක් දී, වමන විරේචනය කළේය. සිටුතුමා බොහෝ ධනය දුන්නේය. ඔහු ඒ කර්ම විපාකයෙන් උපනුපන් භාවයෙහි ලෝහිත පක්ඛන්දික (ලේ වමනය යාමේ) ආබාධයෙන් විරේචනය විය. මේ පසු ආත්මභාවයෙන්ද, පරිනිර්වාණ සමයේ, චුන්ද කම්මාර පුත්‍රයා විසින් පිරිනමන ලද දිව්‍ය භෝජනයෙන් ආහාර සමග අනුභව කළ කල්හි ලෝහිත පක්ඛන්දිකා විරේචනය විය. කෝටි සියගණන් ඇතුන්ගේ බල ශක්තිය ක්‍ෂය විය. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුන් පෝදා කුසිනාරාවේ පරිනිර්වාණය පිණිස යන්නේ නොයෙක් තැන්වල හිඳිමින් පිපාසිතව, පැන් පානයකොට මහා දුකකින් කුසිනාරාවට ගොස් අළුයම් කාලයෙහි පිරිනිවන් පෑ සේක. කර්ම විපාකය මෙබඳු ආකාර තුන්ලොවට ස්වාමි වූවහුට පවා අත්නොහරියි. එබැවින් කියන ලදි –
    “වෛද්‍යවරයෙක් වී පෙර සිටුපුත්‍රයකු විරේක කරවූයෙමි. ඒ කර්ම විපාකයෙන් මට පක්ඛන්දිකා රෝගය වෙයි.
    මෙසේ බුදුරදුන් භික්‍ෂු සංඝයා ඉදිරියේ තොරතුරු හෙළි කළ සේක. සර්වඥතා ඤාණ බලයට පත්වූවකුට වුවද කර්ම විපාක ඵලදේමය.

නාලාගිරි දමනය

දේවදත්ත විසින් තථාගත ජීවිතය විනාශ කිරීමට දුනුවායන් යොදවන කල්හි, සියල්ලට පළමුව යවන ලද්දා අවුත්, ස්වාමීනි; භාග්‍යවතුන්ගේ ජීවිතය විනාශ කිරීමට මට නො හැක්කේය. ඒ භාග්‍යවතුන් වහන්සේ, මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න යයි කී කල්හි, දේවදත්ත, නුඹ ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ නො කරව. මම ම ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමි යි කියා තථාගතයන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයේ සවස් කාලයේ සක්මන් කරන කල්හි තෙමේ ගිජ්ඣකූට පර්වතයට නැග යන්ත්‍ර වේගයෙන් මහත් වූ ගලක් යන්ත්‍රයකින් පෙරලීය. මේ ගලෙන් ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමියි යන න්‍යායෙනි. එකල ගල්කුළු දෙකක් සපැමිණ එ් පෙරළූ ගල වැළැක්වීය. එයින් ගැලවුණු ගල් පතුරක් විසි වී අවුත් භාග්‍යවතුන්ගේ පාදයක ගැටී ලේ ගලා ආවේය. බලවත් වේදනා හටගත්තේය. ජීවක තෙමේ තථාගතයන්ගේ පාදය සැත්කමකින් පලා නරක් වූ ලේ මුදා හැර නරක් වූ මස් ඉවත්කොට සෝදා බෙහෙත් ගල්වා නීරෝගී කෙළේය. ශාස්තෲන් වහන්සේ පෙර මෙන් ම මහත් භික්‍ෂු සංඝයා පිරිවරා ගෙන මහත් වූ බුද්ධ ලීලාවෙන් නගරයට පිවිසි සේක.

ඉක්බිති උන්වහන්සේ දැක, දේවදත්ත මෙසේ සිතුවේය. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රූප ශෝභාවෙන් අගතැන්පත් සිරුර දැක කිසියම් මිනිසකු (බුදුන්) වෙත සමීපවීමට නොහැකි වෙයි. රජුගේ නාලාගිරි නම් ඇතා, චණ්ඩය. ඵරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. බුද්ධ ධම්ම සංඝ ගුණයන් නො දනියි. හෙතෙම මුන්වහන්සේට ජීවිතක්‍ෂයට පමුණුවන්නේය. උන්වහන්සේ ගොස් රජුට මේ පුවත දැනුම් දුන්හ. රජු යහපතැයි පිළිගෙන ඇත්ගොව්වා කැඳවා, මිත්‍රය; හෙට නාලාගිරිව මත්කොට උදෑසන ම ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිපන් මාර්ගයට පිටත්කර හරිව් යයි කීවේය. දේවදත්තද ඔහුගෙන් වෙනත් දිනවල ඇතා කොපමණ සුරා බොන්නේදැයි විචාරා ස්වාමීනි, කළ අටක් යයි කී කල්හි හෙට ඔහුට කළ දහසයක් පානය කරවා, ශ්‍රමණභවත් ගෞතමයන් පිළිපන් මාර්ගයට අභිමුඛ කරන්නැයි කීවේය. ඔහු යහපතැයි පිළිගත්තේය. රජු නගරයේ බෙරහඬ නංවා හෙට නාලාගිරි මත්කොට නගරයට පමුණුවන්නේය. නගරවැසියෝ උදෑසනම කළයුතු කටයුතු නිමවා, අතුරු වීථියට නොපැමිණේවායි කීවේය. දේවදත්ත ද රජමාළිගාවෙන් බැස, ඇත්හළට ගොස් ඇත්ගොව්වන් අමතා බොල; අපි උසස් තනතුරු පහත් කරන්නටත් පහත් තනතුරු උසස් කරන්නටත් දක්‍ෂයෝ වෙමු. ඉදින් තොප කීර්තිමත් වූයේ, හෙට උදෑසනම නාළාගිරිට පැසුණු රා කළ දහසයක් පානය කරවා, ශ්‍රමණ භවත් ගෞතමයන් පැමිණෙන වේලාවට හුල් තෝමරයෙන් (හෙණ්ඩුවෙන්) විදිමින්, කෝප කරවා, ඇත්හල බිඳවා ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිපන් වීථියට අභිමුඛ කොට, ශ්‍රමණ භවත් ගෞතමයන් ජීවිතක්‍ෂයට පමුණුවවු යයි කීවේය. ඔවුහු යහපතැයි පිළිගත්හ.

ඒ ප්‍රවෘත්තිය මුළු නගරයේම ප්‍රසිද්ධ විය. බුදුන් දහම් සඟුන් මාමක වූ උපාසකයෝ ඒ පුවත අසා ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, දෙව්දත් රජු සමග එකතු වී හෙට ඔබවහන්සේ පිළිපන් වීථියට නාලාගිරිව පමුණුවන්නේය. හෙට පිඬු පිණිස නොවැඩ මෙහි ම වැඩසිටින්න. අපි විහාරයේදී ම බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට භික්‍ෂාව දෙන්නෙමුයි කීවාහුය. ශාස්තෲන් වහන්සේ හෙට පිඬු පිණිස නොවඩින්නෙමි යි නොකියාම හෙට මම නාලාගිරි දමනය කර ප්‍රාතිහාර්ය පා, තීර්ථකයන් මැඩ රජගහනුවර පිඬු පිණිස නොහැසිර භික්‍ෂු සංඝයා පිරිවරා නගරයෙන් නික්ම වේළුවනයට ම යන්නෙමි. රජගහ නුවර වාසීහු බොහෝ බත් භාජන ගෙනවුත්, වේළුවනයටම පැමිණෙන්නාහ. හෙට විහාරයේම දන් වැළඳීම වන්නේය යන මේ කාරණයෙන් ඔවුන්ගේ ඉවසීම සිදුවිය. ඔවුහු තථාගතයන්ගේ ඉවසීම දැන, බත් භාජන රැගෙන විහාරයේ ම දානය දෙන්නෙමුයි පිටත් වූහ.

ශාස්තෲන් වහන්සේ පළමු යාමයේ දහම් දෙසා මධ්‍යම යාමයේ දේවතාවන්ගේ ප්‍රශ්න විසඳා පශ්චිම යාමයේ පළමු කොටසේ සිංහ සෙය්‍යාවෙන් කල්යවා දෙවෙනි කොටසේ ඵල සමාපත්තියෙන් කල්ගත කොනට තෙවෙනි කොටසේ මහාකරුණා සමාපත්තියට සමවැදී නැගිට අවබෝධ කළයුතු වෙනේය ජනයන් බලන්නේ, නාලාගිරි දමනයේදී අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වන බව දැක අළුයම් වේලාවේ කරන ලද ශරීර පිළිදැගුම් ඇත්තේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා රජගහ නුවර හාත්පස පිහිටි අටළොස් මහා විහාරවල සියලුම භික්‍ෂූන්ට මා සමග රජගහනුවරට පිවිසීමට ආරාධනා කෙරේවායි වදාළහ. තෙරුන් වහන්සේ එසේ කළහ. සියලු භික්‍ෂූන් වේළුවනයට රැස්වූහ. ශාස්තෲන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයා පිරිවරන ලද්දේ රජගහ නුවර පිඬු පිණිස පිවිසි සේක. ඉක්බිති ඇත්ගොව්වෝ කැමැති පරිදි පිළිපැද්දාහ. මහත් සේනාවක් විය. සැදැහැති මිනිස්සු අද වනාහි බුද්ධ නම් මහ ඇතෙක් තිරිසන්ගත ඇතකු සමග යුද්ධයක් වන්නේය. උපමා රහිත බුද්ධ ලීලාවෙන් නාලාගිරිගේ දමනය බලන්නෙමුයි, ප්‍රාසාද සෑදවීය. ගෙවල් පියසි ආදියට නැග සිටියහ. ශ්‍රද්ධා රහිත මිථ්‍යා දෘෂ්ටිකයෝ මේ නාලාගිරි චණ්ඩය. ඵරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. බුදුවරුන්ගේ ගුණ නො දනියි. හෙතෙම අද ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රන්වන් ශරීරය විදා නැතිකොට ජීවිතක්‍ෂයට පමුණුවන්නේය. අදම පසමිතුරු පිටුදකින්නෙමුයි, ගස්, ගෙවල් ආදි තැන්වල සිටියහ.

ඇත්රජ ද, වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දැක, මිනිසුන් තැති ගන්වමින්, ගෙවල් සුණුවිසුණු කරමින් කරත්ත කුඩු කරමින් සොඬවැල ඔසවා ඉතා සතුටුව කන් තල හා වාලධිය ඔසවා, පර්වතයක් මෙන් මාර්ගයට පිළිපන්නේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනක ද, එතැනට දිව්වේය. භික්‍ෂූහු ඇතා දැක බුදුරදුන්ට මෙසේ කීහ. ස්වාමීනි, මේ නාලාගිරි සැඩපරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. මේ වීථියට පිළිපන්නේ, මෙතෙම බුදුවරුන්ගේ ගුණ නොදනියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඉවත්වේවා! සුගතයන් වහන්සේ “මහණෙනි, බිය නොවෙව්. තැති නොගනිව්. නාලාගිරි දමනය වේවා” යනුවෙනි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර මහතෙරණුවෝ තථාගතයන්ගෙන් මෙසේ අයැද සිටියහ. ස්වාමීනි, පියාට උපන් කටයුත්ත නම් වැඩිමහල් පුතුගේ ම බරයි. මම ම ඌ දමනය කරමි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ, සාරිපුත්‍රය බුද්ධ බලය නම් අනෙකකි. ශ්‍රාවක බලය තව එකකි. නුඹ නිශ්ශබ්දව සිටින්න. බොහෝ සෙයින් අසූමහා ශ්‍රාවකයෝ ආයාචනා කළ ද ශාස්තෲන් වහන්සේ සියල්ල ප්‍රතික්‍ෂේප කළහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් බුදුරදුන් කෙරෙහි උපන් බලවත් සෙනෙහසින් ඉවසා සිටීමට නොහැකි වන්නේ, මේ ඇතා පළමුව මා මරාවායි තථාගතයන්ගේ අර්ථ සිද්ධිය පිණිස ජීවිතය අත්හැර ශාස්තෲන් පෙරටුව සිටියේය. ඉක්බිති බුදුරදුන් ආනන්දය, ඉවත්වන්න. මා ඉදිරියේ නොසිටින්නැයි වදාළ සේක. ස්වාමීනි, මේ ඇතා චණ්ඩය. පරුෂය. මිනිස් ඝාතකයෙකි. කල්පාන්තයේ නගින ගින්නක් සමානය. කපුරු පහනින් දිළිසෙන ගින්න (කණාමැදිරි) මෙන් පළමුව මා මරා පසුව ඔබවහන්සේ සමීපයට පැමිණේවායි තෙරුන් වහන්සේ වදාළ සේක. තෙවෙනි වරද කියනු ලබන්නේ එසේම සිටියේය. ඉවත්ව නො ගියේය.

එකෙණෙහි එක් ස්ත්‍රියක් නාලාගිරි දැක මරණ බියෙන් පලායන්නී ඇකයෙන් වැටුණු දරුවා බුදුරදුන් ද, ඇතා ද අතර බිම දමා පලා ගියාය. ඇතා ඇය ලුහුබැඳ දරුවා සමීපයට ආවේය. දරුවා මහහඬින් ශබ්ද කෙළේය. ශාස්තෲන් වහන්සේ නාලාගිරි වෙතම නියමකොට මෛත්‍රිය පතුරුවා සුමිහිරි බ්‍රහ්මනාදය පතුරුවා පින්වත් නාලාගිරිය, ඔබට සොළොස් කළයක් පිරුණු සුරා පොවා මත්කරවූයේ අනෙකකු ගැන්වීමට නොවේ. නිකරුණේ කෙණ්ඩා වෙහෙසට පත්කරමින් නොහැසිර මෙහි එන්නැයි කැඳවූහ. ඌ ශාස්තෲන් වහන්සේගේ වචන අසා, ඇස් කුඩා කොට භාග්‍යවතුන්ගේ රූප ස්වභාවය බලා ලබන ලද සංවේග ඇත්තේ බුදුරදුන්ගේ සමීපයේ පැසවන ලද සුරා මදය ඇත්තේ සොඬවැල එල්ලාගෙන කන් සොලවමින් ගොස් තථාගතයන් වහන්සේගේ පා අතර වැටුණේය. ඉක්බිති ඔහුට ශාස්තෲන් වහන්සේ “නාලාගිරි, නුඹ තිරිසන්ගත හස්තියෙකි. මම බුද්ධ නමැති ඇතාය. මෙතැන් පටන් චණ්ඩ නොවෙව. ඵරුෂ නොවෙව. මනුෂ්‍ය ඝාතකයෙකු නොවෙව. මෛත්‍රී සිත් ලබාවායි” කියා දකුණු අත දිගහැර කුම්භස්ථලය පිරිමැද;

 

මා කුඤ‍්ජර නාගමාසදො, දුක‍්ඛං හි කුඤ‍්ජර නාගමාසදො,

න හි නාගහතස‍්ස කුඤ‍්ජර සුගති හොති ඉතො පරං යතො.

 

‘හස්තිය, යම් හෙයෙකින් බුද්ධනාගයා පෙළන්නහුට
මෙයින් මතු සුගතියෙක් නො වන්නේ ද

එහෙයින් හිංසක සිතින් බුද්ධ නාගයාට ළං නොවෙව.
බුද්ධනාගයාට හිංසක සිතින් ළං වීම ඒකාන්තයෙන් දුකට කරුණු වේ.

 

“මා ච මදො මා ච පමාදො න හි පමත‍්තා සුගතිං වජන‍්ති

තෙන ත්‍වඤ‍්ඤෙව තථා කරිස‍්සසි යෙන ත්‍වං සුගතිං ගමිස‍්සසී”ති.

 

මත් නොවෙව, පමා නොවෙව, පමා වූවෝ සුගතියට නො යෙත්.

එබැවින් යමෙකින් තෝ සුගතියට යන්නෙහි ද තෝ ම එසේ කරව.” යි.

දහම් දෙසු සේක.

ඇතාගේ මුළු සිරුරම සතුටින් පිනා ගියේ නිරතුරුව පැතිරුණේ විය. ඉදින් තිරිසනකු නොවූයේ නම් සෝවාන් ඵලයෙහි පිහිටන්නේය. මිනිස්සු ඒ ප්‍රාතිහාර්යය දැක මහහඬින් නාද කළහ. අත්පොළසන් ගැසූහ. හටගත් සොම්නසින් නොයෙක් ආභරණවලින් දමා ගැසූහ. ඒවා ඇතාගේ ශරීරයේ වැදී ගියේය. එතැන් පටන් නාලාගිරි, ධනපාලක නම් විය. එසමයෙහි ධනපාලක සමාගමේ අසූහාරදහසක් ප්‍රාණීහු අමා පානය කළහ. ශාස්තෲන් වහන්සේ ධනපාලක පංචසීලයෙහි පිහිටවූ සේක. හෙතෙම සොඬවැලෙන් භාග්‍යවතුන්ගේ පා, පස්ගෙන මත්තෙහි මුදුන්කොට විසුරුවා එතැනින් ඉවත්ව, දක්වන ලද උපචාර ඇත්තේ දසබලයන් වහන්සේ වැඳ ඇත්හලට පිවිසියේ එතැන් පටන් ශාන්තදාන්තව සිට කිසිවෙකුට හිරිහැරයක් නොකළේය. ශාස්තෲන් වහන්සේ පිරිපුන් මනෝරථ ඇත්තේ, යමකු විසින් යම් ධනයක් විසිකරන ලදද, ඒවා ඔවුන්ටම වේවා!යි අධිෂ්ඨාන කොට අද, මා විසින් මහත් ප්‍රාතිහාර්ය කරන ලදි. මේ නගරයෙහි පිඬු පිණිස හැසිරීම නුසුදුසුයයි තීර්ථකයන් මර්දනය කොට භික්‍ෂූන් පිරිවරා ජයගත් ක්‍ෂත්‍රියෙකු මෙන් නගරයෙන් නික්ම වේළුවනයට ම වැඩම කළ සේක. නගරවාසීහු බොහෝ ආහාරපාන ආදිය ගෙන විහාරයට ගොස් මහාදානයක් පැවැත්වූහ

ආර්‍ය්‍යයන්ට හා බඹසර ඇත්තවුන්ට ආක්‍රෝෂ පරිභව කරන්නාට.

බුද්ධ, ප්‍රත්‍යෙකබුද්ධ බුද්ධශ්‍රාවක වූ ආර්‍ය්‍යයන්ට. යටත්පිරිසෙයින් ගිහි ස්‍රොතාපන්නයන්හටද අනර්‍ත්‍ථ කැමතිව අන්තිම වස්තුවෙන් හෝ විද්‍යමාන ගුණ නැසීමෙන් දොස් නගන්නෝය. ආක්‍රෝශ කරන්නෝය. ගරහන්නෝ යයි වදාරණ ලද්දේ වේ. එහි ‘මොවුන්හට මහණදමක් නැත, මොවුහු අශ්‍රමණයෝ’යි කියනුයේ අන්තිම වස්තුවෙන් දොස් නැගීමම කරයි. ‘මොවුන්හට ධ්‍යානයක්, විමොක්‍ෂයක්, මාර්‍ගයක්, ඵලයක් හෝ නැතැ’යි කියනුයේ ගුණ නැසීමෙන් දොස් නැගීම කෙරේයයි දතයුතුය. ඒ දොස් නැගීම කරනුයේද දන්නේ හෝ නොදන්නේ දොස් නැගීම කරන්නේය. දෙපරිද්දෙන්ම දොස් නැගීම ආර්‍ය්‍යාපවාදයම වේ. මේ කය ඉතා බැරෑරුම්ය. ස්වර්‍ගාවරණද මාර්‍ගාවරණද වේ. එය ප්‍රකට කරණු පිණිස මේ කථාවස්තුව ගෙනහැර දක්වත්:

එක්තරා ගමක එක් ස්ථවිර නමක්ද තරුණ භික්‍ෂු නමක්ද පිඩුසිඟා හැසිරෙති. ඔවුහු පළමු ගෙයිදීම කෙණෙස්සක් පමණ උණු කැඳක් ලැබූහ. තෙරුන්ගේ උදරයෙහි වාතයක් ඇත්තේය. එහෙයින් ස්ථවිරතෙමේ ‘මේ කැඳ මට හිතවේ. සිහිල් වන්නට පෙරාතුව එය වළඳිමි’යි සිතුයේය. සිතා මිනිසුන් විසින් එලිපතක් සඳහා ගෙනැවිත් තුබූ දැවකඩක හිඳ එය වැළඳුයේය. තරුණ භික්‍ෂුතෙමේ ‘මේ මහල්ලා තද බඩගිනි ඇත්තේ ඒකාන්තයෙන් අපට ලජ්ජා විය යුත්තක් කෙළේය’යි එය පිළිකුල් කෙළේය. ස්ථවිරතෙමේ ගමෙහි පිඩුසිඟා හැසිර වෙහෙරට ගොස් ‘ඇවැත! ඔබට මේ ශාසනයෙහි පිහිටක් ඇත්තේදැ’යි ඒ තරුණ භික්‍ෂු නමගෙන් ඇසීය. ‘ස්වාමීනි! එසේය, ඇත්තේය, මම සෝවාන්මි’යි කීය. ‘ඇවැත! එසේනම් මතු මාර්‍ග පිණිස උත්සාහ නොකරව, යුෂ්මත්හු විසින් දොස් නගන ලද්දේ ක්‍ෂීණාස්‍රවයෙකැ’යි කීවිට ඒ භික්‍ෂුනම මහතෙරහු කමාකරවීය. එහෙයින් ඔහුගේ එය පියවිබවට ගියේය. එහෙයින් අනෙකෙක්ද ආර්‍ය්‍යන් හට දොස් නගානම්, ඔහු විසින් ඔහු වෙත ගොස් ඔහු තමාට වඩා වෘද්ධතර වේ නම්, ‘මම ආයුෂ්මත්හට මේ මේ වචන කීමි, මට එයට කමාවනු මැනවැ’යි කමාකරවිය යුතුය. ඉදින් නවකතරයෙක් වේනම්, වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘වහන්ස! මම ඔබවහන්සේට මේ මේ වචන කීමි, එයට මට කමාවනු මැනවැ’යි කමා කරවිය යුතුය. ඉදින් ඔහු කමානොකෙරේ නම්, දිග් බලා ගියේ හෝ වේනම්, එකල ඒ විහාරයෙහි යම් භික්‍ෂූහු වසත්නම්, ඔවුන් වෙතට ගොස් ඉදින් තමාට වඩා වෘද්ධතර වේනම්, සිටියහු විසින්ම කමාකරවිය යුතුය. ඉදින් නවකතර වේනම්, උක්කුටිකයෙන් හිඳ ඇඳිලිබැඳ ‘වහන්ස! මම අසුවල් ආයුෂ්මත් හට මේ මේ වචන කීමි, ඒ ආයුෂ්මත්තෙමේ මට කමාවා’යි මෙසේ කියන්නහු විසින් කමා කරවිය යුතුය. ඉදින් හෙතෙමේ පිරිනිවියේ වේනම්, පිරිනිවි ඇඳ තුබූතැනට ගොස්, සොහොනට හෝ ගොස් කමා කරවිය යුතුය. මෙසේකළ කල්හි සර්‍ගාවරණද මාර්‍ගාවරණද නොවේ. පියවි සැහැවි ඇත්තේම වේ.

මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම අරියූපවාද ඇත්තේ, සමාන බඹසර ඇත්තවුන්ට ආක්‍රොෂ පරිශව කරන්නේ වේද, හෙතෙම මේ එකොළොස් වැදෑරුම් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකට පැමිණෙන්නේය.
 
කවර නම් එකොළසකටද යත්?
  1. නොලබන ලද්ද නොලබයි.
  2. ලබන ලද්දෙන් පිරිහෙයි.
  3. සද්ධර්මය පැහැදිළි නොවෙයි.
  4. සද්ධර්මයන්හි හෝ අධික මාන ඇත්තේ වෙයි.
  5. අකමැතිව බඹසර හැසිරෙයි.
  6. එක්තරා කිලිටු ඇවතකට හෝ පැමිණෙයි.
  7. ශික්‍ෂාව හැර දමා ගිහිබවට පැමිණෙයි.
  8. දැඩිවූ රෝගාබාධයක් හෝ ස්පර්‍ශ කරයි.
  9. චිත්ත වික්‍ෂෙප ඇත්තාවූ උමතුබවට හෝ පැමිණෙයි.
  10. අතිශයින් මුළාවූයේ කළුරිය කරයි.
  11. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකම පිහිටියා වූ නරකයෙහි උපදියි.

 
කොකාලික සූත්‍රය.
 
ඉක්බිති කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කොකාලික මහණතෙම, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක
දෙවනුවත්, කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, කිමෙක්ද, භාග්‍යවතුන් වහන්සේ මා අදහන්නේය. විශ්වාස කරන්නේය. ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක
“තුන්වෙනුවත් මෙසේ කීය.
 
ඉක්බිති කොකාලික මහණතෙම ආසනයෙන් නැගිට බුදුන් වැඳ, පැදකුණුකොට ගියේය. ගිය නොබෝ වේලාවකින් කොකාලික මහණහුගේ අබ ඇට පමණ පිළිකාවලින් මුළු සිරුර වැසුණේ වේ. අබ ඇට පමණ වී, මුං ඇට පමණවිය. මුං ඇට පමණ වී, කොල්ලු ඇට පමණ විය. කොල්ලු ඇට පමණ වී, ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණ වී, ඩෙබර ගෙඩි පමණ විය. ඩෙබර ගෙඩි පමණ වී, නෙල්ලි ගෙඩි පමණ විය. නෙල්ලි ගෙඩි පමණ වී, බෙලි ගැට පමණ විය. බෙලි ගැට පමණ වී, බෙලි පමණ විය. බෙලි පමණ වී, බිඳුණේය. සැරවද, ලෙයද වැගුරුණේය. විෂ ගිලින ලද මසෙකු මෙන් මේ තෙමේ කෙසෙල් කොළවල සයනය කරයි.
 
ඉක්බිති තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මතෙමේ කොකාලික මහණ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, අහසෙහි සිට, කොකාලික මහණහට, “කොකාලිකය, සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත පහදින්න. සැරියුත්, මුගලන් දෙනම සිල්වත්ය” යි කීයේය. – “ඇවැත්නි, ඔබ කවරෙක්ද?” “මම තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මයෙක්මි.” “ඇවැත්නි, ඔබ අනාගාමීයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දේ නොවේද?”
“මෙහි පැමිණ කොහි හැසිරෙහිද?”
 
“තොපගේ මේ අපරාධය පළමුකොට බලව.” ඉක්බිති කොකාලික මහණහට තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මතෙම මේ ගාථාවන් කීයේය.
 
නපුරු වචන කියන්නාවු බාලතෙම තමන් යමකින් සිඳීද, උපන් මනුෂ්‍යයාගේ කටේ එබඳු කෙටේරියක් ඇත.
යමෙක් නින්දා කළ යුත්තෙකුට ප්‍රශංසා කෙරේද? යමෙක් ප්‍රශංසාර්හද, ඔහුට හෝ නින්දා කරයිද, හෙතෙම මුවින් පාපයක් රැස්කරයි. ඒ පාපයෙන් සැපක් නොවිඳී.
“දූ කෙළියෙන් යම් ධන පිරිහීමක් ඇද්ද, මේ වරද ස්වල්පමාත්‍රය. යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, තමා සමග සියල්ලන්ට මෙය මහත් පාපයකි. ලාමක සිතද, වචනයද පිහිටුවා ආර්‍ය්‍යයන්ට ගරහා අබ්බුද ලක්‍ෂ ගණන්ද, නිරබ්බුද තිසක්ද පසක්ද නරකයට යයි.
 
ඉක්බිති කොකාලික මහණතෙම ඒ අසනීපයෙන්ම කළුරිය කෙළේය. කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි ඉපදුනේය.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම රාත්‍රිය පැමිණි කල්හි, මනහර ප්‍රභා ඇතිව, මුළු ජේතවනාරාමය ආලෝකකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සහම්පතී බ්‍රහ්මතෙම, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කොකාලික මහණතෙම කළුරිය කෙළේය. ස්වාමීනි, කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නිරයෙහි උපන්නේය” යි කීයේය. සහම්පතී බ්‍රහ්මතෙම මෙය කීයේය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට, එහිම අතුරුදහන් වූයේය.
 
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සහම්පති බ්‍රහ්මතෙම රාත්‍රිය පැමිණි කල්හි, මනහර වර්‍ණයෙන් යුක්තව, මුළු ජේතවනය ආලෝකකර මම යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. මහණෙනි, එකත්පසෙක සිටි සහම්පතී බ්‍රහ්මතෙම, “ස්වාමීනි, කොකාලික මහණතෙම කළුරිය කෙළේය. ස්වාමීනි, කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි උපන්නේය” යි කීයේය. මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙම මෙය කීයේය. මෙය කියා මා වැඳ, පැදකුණුකොට, ගියේය” යි වදාළ සේක.
 
“මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක්තෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, පදුම නරකයෙහි ආයුෂ ප්‍රමාණය කොපමණ දිගදැ” යි ඇසිය. “මහණ, පදුම නරකයෙහි ආයුෂ ප්‍රමාණය, මෙතෙක් වර්‍ෂයයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ සියයකැයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ, ගණන් කරන්නට පහසු නොවේ.” – “ස්වාමීනි, උපමාවක් කරන්නට හැක්කේදැ” යි ඇසීය. “මහණ, හැකිය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
 
“මහණ, විසි කිරියක් ඇති, (කිරිය කුරුණි 16) කොසොල් රට තල ගැලක් පුරුෂයෙක් තෙම ඉන් වර්‍ෂ සියයකට, වර්‍ෂ සියයකට වරක් එක තල ඇටක් ගන්නේය. මහණ, ඒ විසිකිරියක් ඇති, ඒ කොසොල්රට තල ගැල මේ උපක්‍රමයෙන් ගෙවීමට, ඉතිරි නොවීමට යන්නේ යම් සේද, එක් අබ්බුද නරකයක් (ආයුෂ) ගෙවීමට නොයයි. මහණ, යම් සේ අබ්බුද නරක විස්සක් එක් නිරබ්බුද නරකයක් වේද, මහණ යම් සේ නිරබ්බුද නරක විස්සක් එක් අබබ නරකයක් වේද, මහණ යම් සේ අබබ නරක විස්සක් එක් අහහ නිරයක් වේද, මහණ යම් සේ අහහ නිරය විස්සක් එක් අටට නිරයක් වේද, මහණ යම් සේ අටට නරක විස්සක් එක් කුමුද නරකයක් වේද, මහණ යම් සේ කුමුද නරක විස්සක් එක් සොගන්‍ධික නරකයක් වේද, මහණ යම් සේ සොගන්‍ධික නරක විස්සක් එක් උත්පලක නරකයක් වේද, මහණ යම් සේ උත්පලක නරක විස්සක් මෙසේ එක් පුණ්ඩරීක නරකයක් වේද, මහණෙනි, විසි පුණ්ඩරීක නරකයක් එක් පදුම නිරයකි. මහණ, කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි උපන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
 

දස පාරමිතා

සම්බෝධියට පමුණුවන කුශලයෝ පාරමිතා නම් වෙති. ලෞකික සම්පත් පතා කරන කුශලයෙන් ලෞකික සම්පත් ම ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ. එ බැවින් ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන හෝ පතා කරන කුශලයෝ පාරමී සංඛ්‍යාවට යෙති.

දානං සීලඤ්ච නෙක්ඛම්මං – පඤ්ඤා විරියෙන පඤ්චමං

ඛන්ති සච්චමධිට්ඨානං – මෙත්තුපෙක්ඛාතිමා දස


යනුවෙන් දැක්වෙන පරිදි දාන පාරමිතාවය, ශීල පාරමිතාවය, නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාවය, ප්‍ර‍ඥා පාරමිතාවය, වීර්‍ය්‍ය පාරමිතාවය, ක්ෂාන්ති පාරමිතාවය, සත්‍ය පාරමිතාවය, අධිෂ්ඨාන පාරමිතාවය, මෛත්‍රී පාරමිතාවය, උපේක්ෂා පාරමිතාවය යි පාරමිතා දසයෙකි.

1. දාන පාරමිතාව

සම්බෝධිය පතා තමා අයත් වස්තුව දන්දීම දාන පාරමිතාව ය. දන් දීම ගැන විස්තර ඉහත දානය විස්තර කිරීමේදී දක්වා ඇත. ලොවුතුරා බුදු බව සඳහා දාන පාරමිතාව පුරන්නවුන් බාහිර වස්තුව දන්දීම ම ප්‍ර‍මාණ නො වේ. එය ලබනු කැමතියන් විසින් අඹුදරුවන් ද, ලේ මස් ආදී ශරීරාවයවයන් ද, ජීවිතය ද පරිත්‍යාග කළ යුතු ය. අප මහා බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව වර්ණනා කරන ගාථාවක් මෙසේ ය.

“සෝ සාගරෙ ජලධිකං රුධිරං අදාසි

භූමිං පරාජිය මංසමදාසි දානං

මේරුප්පමාණ මධිකඤ්ච සමොලි සීසං

ඛෙ තාරකාදිකතරං නයනං අදාසි.”


“උන් වහන්සේ සාගරයේ ජලයට ද වඩා ලේ දන් දුන් සේක. මහ පොළොව පරදවා මස් දන් දුන් සේක. ගොඩ ගැසුව හොත් මහ මෙරට ද අධික ව ඔටුනු සහිත හිස් දන් දුන් සේක. අහසේ තරුවලට වඩා ඇස් දන් දුන් සේක” යනු එහි තේරුම ය.

2. ශීල පාරමිතාව

සම්බෝධිය පතා පුරන චාරිත්‍ර‍ වාරිත්‍ර‍ ශීලයෝ ශීල පාරමිතාව ය. ශීලයන් පිළිබඳ විස්තරය ද ඉහත දක්වා ඇත.

3. නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව

සම්බෝධිය පතා වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් බැහැර වීම නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව ය. කාමයන්ගේ ආදීනවය බලා ගිහිගෙය හැර පැවිදි වීම වස්තු කාමයෙන් බැහැර වීම ය. පැවිදි ව මහණ දම් පුරා ලෝභය දුරු කිරීම ක්ලේශ කාමයෙන් බැහැර වීම ය.

4. ප්‍ර‍ඥා පාරමිතාව‍

නාම රූපයන්ගේ හෙවත් ස්කන්ධාදි ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ හා විශේෂ ලක්ෂණ දක්නා ඥානය ප්‍ර‍ඥා පාරමිතාව ය. අනිත්‍ය ලක්ෂණය දුඃඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය යන තුන නාම රූප සියල්ලේ ම ලක්ෂණ බැවින් ඒවා සාමාන්‍ය ලක්ෂණයෝ ය. එක් එක් ධර්මයකට පමණක් අයත් ලක්ෂණයෝ විශේෂ ලක්ෂණයෝ ය. අභිධර්මය උගෙනීමෙන් නාම රූප ධර්මයන්ගේ ලක්ෂණ දන්නා ඥානය ඇති කර ගත හැකි ය. සත්පුරුෂ සේවන, සද්ධර්ම ශ්‍ර‍වණාදිය ද ප්‍ර‍ඥාව ලැබීමේ හේතු ය. ප්‍ර‍ඥාව ඇති කර ගත යුතු අයුරු මෙසේ දක්වා තිබේ.

“සෙවෙථ වුද්ධෙ නිපුණෙ බහුස්සුතේ

උග්ගාහකො ච පරිපුච්ඡකො සියා

සුණෙය්‍ය සක්කච්ච සුභාසිතානි

එවං කරො පඤ්ඤවා හොති මච්චො.”


“මහලු උගත් සියුම් නුවණැතියන් සේවනය කරව්. ධර්මය උගන්නා වූ ද නො දත් අර්ථය දන්නවුන්ගෙන් නැවත නැවත විචාරන්නා වූ ද කෙනෙක් වන්නේ ය. සුභාෂිතයෙන් මනා කොට අසන්නේ ය. මෙසේ කරන මිනිස් තෙම නුවණැතියෙක් වන්නේ ය” යනු එහි තේරුම ය.

5. වීර්‍ය්‍ය පාරමිතාව

සම්බෝධිය පිණිස ආත්මාර්ථ පරාර්ථ සාධනයේ නො පසු බස්නා ස්වභාවය වීර්‍ය්‍ය පාරමිතාව ය. කරගෙන යන්නා වූ ආත්මාර්ථ පරාර්ථ සාධක ක්‍රියා නැවැත්වීමට හේතු පැමිණීමෙන් නො නවත්වා ඉදිරියට කරගෙන යෑමෙන් වීර්‍ය්‍ය පාරමිතාව පිරෙන්නේ ය.

6. ක්ෂාන්ති පාරමිතාව

අව් වැසි සුළං ආදියෙන් වන පීඩා ද, ආහාරපානාදි වුවමනා දේ නො ලැබීමෙන් වන පීඩා ද, මැසි මදුරු ආදි සතුන්ගෙන් වන පීඩා ද, සතුරන්ගෙන් වන පීඩා ද, ඉවසන ස්වභාවය ක්ෂාන්ති පාරමිතාව ය. පීඩා පැමිණි කල්හි ඒවා ඉවසීමට නො සමත් තැනැත්තේ පළිගැනීම පිණිස හෝ ආත්මාරක්ෂාව පිණිස හෝ අනුන්ට පීඩා කරයි. පීඩා නිසා කරගෙන යන්නා වූ ද, මතු කරන්නට බලාපොරොත්තු වන්නා වූ ද ආත්මාර්ථ පරාර්ථ සාධක පුණ්‍ය ක්‍රියා හැර දමයි. එය පීඩනය නිසා වෙනසකට පැමිණීම ය. එබඳු වෙනසකට නො පැමිණීම ඉවසීම ය. එසේ ඉවසීමෙන් ක්ෂාන්ති පාරමිතාව පිරෙන්නේ ය.

“යො හවෙ බලවා සන්තො – දුබ්බලස්ස තිතික්ඛති

තමාහු පරමං ඛන්තිං – නිච්චං ඛමති දුබ්බලො.”


යමෙක් තමා බලවත් ව සිට දුබලයාගේ වරද ඉවසත් නම් එය උතුම් ඉවසීම ය. දුබලයා නිතර ම ඉවසන්නේ ය යනු එහි අදහසයි.

7. සත්‍ය පාරමිතාව

බොරු පොරොන්දු වීම්, නැති ගුණ පැවසීම්, වරද සැඟවීම් ආදිය සඳහා බොරු කීමෙන් වැළකීම සත්‍ය පාරමිතාව ය. සත්‍යය ශීලයට ම ඇතුළත් වතුදු බෝසතුනගේ විශේෂ ගුණයක් වන බැවින් එය වෙන් වූ පාරමිතාවක් සැටියට ගනු ලැබේ. මහාබෝධි සත්ත්වයෝ සත්‍යය සැම කල්හි ම රක්ෂා කරති.

8. අධිෂ්ඨාන පාරමිතාව

කළ යුතු දෙයක් කරමි කියා ද, නො කළ යුතු දෙයක් නො කරමි කියා ද, මතු වෙනස් නො කරන ලෙස සිතා ගැනීම අධිෂ්ඨාන පාරමිතාව ය. අධිෂ්ඨාන පාරමිතාව පුරන තැනැත්තා කරන්නට සිතා ගත් දෙය හැර දමා අනිකක් පටන් නො ගත යුතු ය. නො කරමියි කියා හළ දෙය ද නැවත කිනම් කරුණක් නිසාවත් නො කළ යුතු ය.

9. මෛත්‍රී පාරමිතාව

අන්‍යයන්ගේ යහපතට සැපයට කැමති බව වූ මෛත්‍රිය, මෛත්‍රී පාරමිතාව ය. මෙත් වැඩීමෙන් හා අන්‍යයන්ට හිත වූ ක්‍රියා කිරීමෙන් ද මෛත්‍රී පාරමිතාව පිරේ. මෛත්‍රී පාරමිතාව කළ යුතු සැටි ඉහත දක්වා ඇත.

10. උපේක්ෂා පාරමිතාව

නො මනා වස්තූන්ට හා පුද්ගලයන්ට විරුද්ධ නො වීම් වශයෙන් ද ඇලුම් කළ යුතු වස්තූන්ට හා පුද්ගලයන්ට ඇලුම් නො කිරීම් වශයෙන් ද පවත්වන මධ්‍යස්ථතාව උපේක්‍ෂා පාරමිතාව ය.


 

සමතිස් පාරමිතාව.

 

කියන ලද පාරමිතා දශය අතුරෙන් එක එකක් පාරමිතාය, උප පාරමිතාය, පරමත්ථ පාරමිතාය යි තුන් තුන් ආකාර වේ. පුත්‍ර‍දාරාවන් හා බාහිර වස්තූන් පරිත්‍යාග කිරීම දාන පාරමිතා නමි. තමාගේ ලේ මස් ඇස් ඉස් ආදි ශරීරාවයවයන් පරිත්‍යාග කිරීම දාන උප පාරමිතා නමි. ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමත්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය කෙරෙහි ආලය හැර ගිහි ගෙයින් නික්මීම පැවිදිවීම නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතා නමි. ශරීරාවයවයන් කෙරෙහි ආලය හැර ගිහි ගෙයින් නික්මීම නෛෂ්ක්‍ර‍ම්‍යෝපපාරමිතා නමි. ජීවිතාශාව හැර ගිහි ගෙයින් නික්මීම නෛෂ්ක්‍ර‍ම්‍ය පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය කෙරෙහි ආලය හැර අනුන්ගේ යහපත ගැන නුවණ මෙහෙයා ක්‍රියා කිරීම ප්‍ර‍ඥා පාරමිතා නමි. ශරීරාවයවයන් කෙරෙහි ආලය හැර අන්‍යයන්ගේ යහපත පිණිස නුවණ මෙහෙයා ක්‍රියා කිරීම ප්‍රඥෝපපාරමිතා නමි. තමාගේ ජීවිතය ගැන අපේක්ෂා නොකොට අන්‍යයන්ගේ යහපත ගැන නුවණ මෙහෙයා ක්‍රියා කිරීම ප්‍ර‍ඥා පරමාර්ථ පාරමිතා නමි.

“පුත්‍ර‍දාර ධනාදිය පරිත්‍යාග කිරීමෙහි හා ඒවා කෙරෙහි ආලය හැර ශීල පූරණාදියෙහි ද වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය පාරමිතාවය. ස්වකීය ශරීරාවයව පරිත්‍යාග කිරීමෙහි හා ඒවා කෙරෙහි ආලය හැර ශීල පූරණාදියෙහි ද වීර්‍ය්‍යය, වීය්‍යෝපපාරමිතා නමි. ජීවිත පරිත්‍යාගයෙන් හා ජීවිතාශාව හැර ශීලාදිය පිරීමෙහි ද වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදියට කරන හානි ඉවසීම ක්ෂාන්ති පාරමිතා නමි. තමාගේ ශරීරාවයවයන්ට හානි කරනු ඉවසීම ක්ෂාන්ත්‍යෝපපාරමිතා නමි. ජීවිතයට හානි කරනු ඉවසීම ක්ෂාන්ති පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය නිසා බොරු නො කියා සත්‍යය කීම සත්‍ය පාරමිතා නමි. ශරීරාවයවයන් ආරක්ෂා කර ගැනීම පිණිස ද බොරු නො කියා සත්‍යය ම කීම සත්‍යෝපපාරමිතා නමි. ජීවිතාරක්ෂාව නිසා ද බොරු නො කියා සත්‍යය ම කීම සත්‍ය පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය නිසා ද නො හරනා අධිෂ්ඨානය, අධිෂ්ඨාන පාරමිතා නමි. තමාගේ ශරීරාවයවයන් ආරක්ෂා කර ගැනීම සඳහා ද නො හරනා අධිෂ්ඨානය, අධිෂ්ඨානෝපපාරමිතා නමි. ජීවිතය රැකීම පිණිස ද නො හරනා අධිෂ්ඨානය, අධිෂ්ඨාන පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදියට අහිතයන් කෙරෙහි ද මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී පාරමිතා නමි. ශරීරාවයවයන්ට අහිතයන් කෙරෙහි ද මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී උප පාරමිතා නමි. තමාගේ ජීවිතයට අහිතයන් කෙරෙහි මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය කෙරෙහි හා ඒවාට හිතාහිතයන් කෙරෙහි මධ්‍යස්ථතාව උපේක්ෂා පාරමිතා නමි. තමාගේ ශරීරාවයවයන් කෙරෙහි හා ඒවාට හිතාහිතයන් කෙරෙහි මධ්‍යස්ථතාව උපේක්ෂෝපපාරමිතා නමි. ජීවිතය කෙරෙහි හා එයට හිතාහිතයන් කෙරෙහි මධ්‍යස්ථතාව උපේක්ෂා පරමාර්ථ පාරමිතා නමි.

ලොවුතුරා බුදු බවට පැමිණෙනු පිණිස පාරමිතා සමතිස ම පිරිය යුතුය. පසේ බුදු බව පතනුවන් විසින් පාරමිතා දශය හා උපපාරමිතා දශය ද පිරිය යුතුය. ශ්‍රාවක බෝධිය පතනුවන්ට පාරමිතා දශය පිරීම ම ප්‍ර‍මාණ වේ. (පාරමිතා ප්‍ර‍කරණය කියවීමෙන් වැඩි විස්තර දත හැකිය.)

කල්ප විභංගය