ආනත්තරිය කුසල් හෝ අකුසල් එකක් පමණක් විපාක දෙන බව

අත්‍ථසාධිකා පන සත‍්තමජවනචෙතනා උපපජ‍්ජවෙදනීයකම‍්මං නාම. තං අනන‍්තරෙ අත‍්තභාවෙ විපාකං දෙති. තං පනෙතං කුසලපක‍්ඛෙ අට‍්ඨසමාපත‍්තිවසෙන, අකුසලපක‍්ඛෙ පඤ‍්චානන‍්තරියකම‍්මවසෙන වෙදිතබ‍්බං. තත්‍ථ අට‍්ඨසමාපත‍්තිලාභී එකාය සමාපත‍්තියා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තති. පඤ‍්චන‍්නම‍්පි ආනන‍්තරියානං කත‍්තා එකෙන කම‍්මෙන නිරයෙ නිබ‍්බත‍්තති, සෙසසමාපත‍්තියො ච කම‍්මානි ච අහොසිකම‍්මභාවංයෙව ආපජ‍්ජන‍්ති, අවිපාකානි හොන‍්ති.
 
අර්‍ත්‍ථසාධනය කරන්නාවු සත්වැනි ජවන චෙතනාව උපපජ්ජවෙදනීය කර්‍මය නමි. එය අනතුරු අත්බවෙහි විපාකය දෙයි. එය කුශලපක්‍ෂයෙහි අෂ්ටසමාපත්ති වශයෙන්ද අකුශලපක්‍ෂයෙහි පංචානන්තර්ය කර්ම වශයෙන්ද දතයුතුය. එහි අෂ්ටසමාපත්තිලාභියා එක් සමවතකින් බඹලොව උපදියි. ආනන්තර්ය පසමකරන්නා එක් කර්‍මයකින් නිරයෙහි උපදියි. සෙසු සමවත්ද සෙසු කර්‍මයෝද අහොසිකර්‍ම බවටම පැමිණෙත්. විපාක නැත්තෝ වෙත්.

ගිහි ජිවිතයේ රහත්වුහොත්

ගිහිබන්ධනය භාණ්ඩවල ආශාවයි. ගිහි සංයෝජන අත්නොහැර දුක් කෙළවර කිරීමක් නම් නැත. සන්තතිමහා මාත්‍රයා උග්ගසේන සිටු පුත්‍රයා මීතසේත දාරකයා ගිහිබවෙහි සිටම රහත්බවට පත්වුහ. ඔවුහු මාර්ගයෙන් සියලු සංස්කාරයන්හි ආශාව වියලවාම රහත්බවට පත්වූහ. එසේ පැමිණ ගිහිබවෙන් නොසිටියහ. මේ ගිහිබව වනාහි හීනය උතුම් ගුණ දැරීමට නොහැකිය. ඒනිසා එහි සිටියේ රහත්බවට පැමිණ එදවසම එක්කෝ පැවිදිවෙයි නැතහොත් පිරිනිවන් පායි. බුමාටු දෙවියෝ නම් සිටිති. කුමක්නිසාදයත් සැඟවී සිටීමට ආකාශය ඇති බැවිනි. සෙසු කාමභාවයන්හි මනුෂ්‍යයන් අතර සෝවාන් ආදී ඵලයන්ට පැමිණියාහු සිටිති. කාමාවචර දෙවියන් අතර සෝවාන් වුවෝද සකෘදාගාමීහුද සිටිති. අනාගාමි වුවෝද ක්ෂීණාශ්‍රවයෝද නොසිටිති. කුමක්නිසාදයත් ඒ ස්ථානය ප්‍රමාදී ජනයාට නිවාසස්ථානයකි. එහි ඔවුන්ට විවේකයට සුදුසු සැඟවුණු තැනක් නැත. මෙසේ එහිදී ක්ෂීණාශ්‍රව තෙමේ පිරිනිවන්පායි අනාගාමියා චුතවී සුද්ධාවාසයෙහි උපදී. කාමාවචර දෙවියන්ට ඉහළ ආර්යයෝ සතරදෙන සිටිත්.
මැදුම් සඟිය අටුවාව/මජ්ඣිම පණ්ණාසකය අටුවාව/පරිබ්බාජක වර්ගය/ තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍ර වර්ණනාව

මුල මැද අග යන තුන් තැන දානය භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා බව

පඤ්චවග්ග දායක බ්‍රාහ්මණයා පිළිබඳ වූ කතා පුවත

මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පඤ්චවග්ග දායක නම් බමුණා නිමිති කරගෙන දේශනා කළහ.

මේ තැනැත්තා නම් කෙත ශුද්ධ කළවිට ම “බෙත්තග්ග” දානය දෙයි. කමතට ගෙනෙන කල “බලග්ග” දානය දෙයි. කමතේ කොළ මඩින විට බලග්ග භණ්ඩග්ග නම් දානය දෙයි. සැළිවලට දමන කාලයේ දී “කුම්භග්ග” දානය දෙයි. තලිය වඩන කාලයේ දී පාතග්ග නම් දානය දෙයි. මේ පඤ්චවග්ග දානයම දෙයි. ගෙදරට පැමිණි කෙනෙකුට ආහාර නොදී නො වළඳ යි. මේ නිසාම ඔහුට පඤ්ච දායක යන නම ඇතිවුණි. බුදුරදුන් ඔහුගේ ද බැමිණියගේ ද තුන් මාර්ග ඵලයක් ලබාගැනීමට හේතු සම්පත් දැක බ්‍රාහ්මණයා ආහාර ගන්නා වේලාවේ ගොස් දොර අසල වැඩ සිටියහ. බමුණාද දොර ළඟ ගෙය තුළට මුහුණලා වාඩිවී ආහාර අනුභව කරයි. දොර අසල වැඩසිටි බුදුරදුන් නො දකී. බැමිනිය ඔහුට බෙදමින් සිටියදී බුදුන් දැක මෙසේ සිතුවාය. මේ බ්‍රාහ්මණයා පස්වතාවක් අග්‍රදානය දී අනුභව කරයි. දැනුදු භවත් ගෞතමයන් පැමිණ දොර ළග වැඩි සිටියේය. ඉදින් බ්‍රාහ්මණයා ඔහු තම බත බැහැර කර දෙන්නේනම් මට නැවත ඉවීමට නොහැකිවෙමි. ඇය ගෞතමයන් වහන්සේ මුවාවන ලෙසට බුදුන් දෙසට පිට හරවා බමුණාගේ පිටුපසින් ඔහුව මුවාකරමින්. පුන්සඳ අත්ලෙන් වසාලන්නා සේ සිටියේය. එසේ සිට බුදුන් ආපසු ගියේද නැත්දැයි බුදුන් නොපෙනෙන ලෙසට බැලුවාය. බුදුහු එලෙසම සිටගෙන සිටියහ. බ්‍රාහ්මණයාට ඇගේය යන බියෙන් ඉක්ම යන්නැයි ද නොකියයි පසුබිමින් ඉක්මනින් ඉවත්වන්නැයි පැවසුවාය. බුදුහු නොයමියි හිස සෙලවුහ. (හිස සලමින් නොයනබව ඇගවුහ) ලෝක ගුරුවු බුදුන් නොයමියි හිස සැලීම නිසා ඇයට එය දරා ගැනීමට නොහැකිව මහ හඩින් සිනාසුනාහ. එම අවස්ථාවේ බුදුහු ගෙය දෙසට ආලෝක ප්‍රජාවක් පිටකළහ. පිටුපස බැමිණිය දෙන සිනා හඩ ඇසු බමුණා ෂවර්ණ රශ්මියේ ප්‍රභාව ද බලා බුදුන් සිටින තැන් දුටුවේය. බුදුවරයින් නම් ගමට හෝ ආරණ්‍යයට හෝ හේතු සම්පත් ඇති අයට තමන් නොදන්වා නොයති. බ්‍රාහ්මණයා බුදුන් දැක එම්බල තී නැසුනෙමි රාජ පුත්‍රයෙක් පැමිණ දොර ළග සිටින විට මට නොදන්වා බැරැරුම් දෙයක් කරන ලදී. පවසා අඩක් අනුභව කරන ලද ආහාර බඳුන ගෙන තථාගතයන් වෙත ගොස් – පින්වත් ගෞතමයාණනි මම අවස්ථා පහක් – මුල් කොටස දන්දීම අනුභව කරන කෙනෙක්මි. මෙය මැදින් බෙදා එකම කොට කොටසක් අනුභව කළෙමි. එක් කොටසක් ඉතිරි විය. මේ මගේ බත් දානය පිළිගනු මැනව. නැත මට ඉඳුල් බතින් වැඩක් නැතැයි නොකියා බ්‍රාහ්මණය මට අග්‍ර වූ දෙයම, මුල් කොටසම මට සුදුසුය. බ්‍රාහ්මණය අපි පරදත්තූප ජීවිහු වෙමු. අන්අය දෙන දෙයින් යැපෙන ප්‍රේතයන් වැන්නැයි කිය

මුලින් හෝ මැදින් හෝ අවශේෂ වශයෙන් අන් අයගෙන් යැපෙන්නට පිණ්ඩපාතය ලැබෙන්නේද ලැබුනේය හෝ නොලැබුනේයයි ධීර මුණිවරයෝ වෙනස්කම් නොදන්වති. 

බමුණ මෙය අසා ප්‍රසන්න සිත් ඇතිව අහෝ ආශ්චර්යකි දීපසාමී වූ රාජ පුත්‍රයා ඔබේ ඉඳුල් බතින් වැඩක් නැතැයි නොකියයි. දොර ළඟම සිට බුදුන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. පින්වත් ගෞතමයන් වහන්ස ! ඔබ වහන්සේගේ ශ්‍රාවකයින්ට භික්ඛු යනුවෙන් පවසති කොපමණකින් නම් භික්ෂුවක් වේද ප්‍රශ්න කළේය. බුදුහු මොවුන්ට කවර ස්වරූප ධර්මයක් දෙසන්නේ දැයි බලන්නේ මේ දෙදෙනා කාෂ්‍යප බුද්ධ කාලයේදී නාමරූප කියමින් කතාකළහ. ඒ නාමරූප දක්වමින්ම මොවුන්ට ධර්ම දේශනා කළේය

දේශනාව අවසානයේ අඹුසැමි දෙපලම අනාගාමී ඵලයේ පිහිටියාහුය. පැමිණි පිරිසටද දෙසුම සාර්ථක වුයේය.

 
 

වන්‍ද්‍ය (වැන්ද යුතු) පුද්ගලයෝ කෙතෙක් ද?

උපාලි, මේ වන්‍ද්‍යපුද්ගලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: පසුව උපසපන් වූවහු විසින් පළමු උපසපන් වූයේ වන්‍ද්‍ය යැ, නානාසංවාසක වෘද්ධකර ධර්‍මවාදී වූයේ වන්‍ද්‍ය යැ, ඇදුරු තෙර වන්‍ද්‍ය යැ, වත්තෙර වන්‍ද්‍ය යැ, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ඇති ලෝකයෙහි තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුහු වන්‍ද්‍යයහ. උපාලි, මොහු පස්දෙන වන්‍ද්‍යයෝ යි.
 
වහන්ස, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් කෙතෙක් දහම් ස්වකීය සන්තානයෙහි එළවා පා වැන්දයුතු ද?
 
උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් දහම් පසක් සිත්සතන්හි එළවා පා වැන්දයුතු යැ. කවර පසෙක යත්: උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් උතුරුසඟ එකස් කොට ඇඳිලි බැඳගෙණ දෙඅත්ලෙන් දෙපත්ල පිරිමදිමින් ප්‍රේමයත් ආදරයත් එළවා පා වැන්දයුතු, උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් මෙ පස්දහම් සිත්සතන්හි උපයා පා වැන්දයුතු.
 
 

අවන්‍ද්‍ය (නො වැන්දයුතු) පුද්ගලයෝ කෙතෙක් ද

උපාලි, මේ අවන්‍ද්‍යයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: ඇතුළු ගමට පිවිසියේ අවන්‍ද්‍ය යැ. වීථියට ගියේ. අවන්‍ද්‍ය යැ, අඳුරෙහි හුන්නේ අවන්‍ද්‍ය යැ, (කෘත්‍යය නිරත බැවින්) වඳනා බව නො දන්නේ අවන්‍ද්‍ය යැ, නිදාගත වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
 
උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: හුළුකැන් වළඳන සමයෙහි අවන්‍ද්‍ය යැ, භක්තාශ්‍රයෙහි අවන්‍ද්‍ය යැ, වෛරීපුද්ගල අවන්‍ද්‍ය යැ, අන්‍යවිහිත වූයේ අවන්‍ද්‍ය යැ, නග්න වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
 
උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: (අවුළු ඈ) කමින් සිටියේ අවන්‍ද්‍ය යැ, (අහර) බුදිමින් සිටියේ අවන්‍ද්‍ය යැ, වස් පවත්මින් සිටියේ අවන්‍ද්‍ය යැ, සුළුදියටනු කරමින් සිටියේ අවන්‍ද්‍ය යැ, උඛෙව්නීකම් කරනලද්දේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
 
උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: පළමු උපසපන් වූවහු විසින් පසු වැ උපසපන් වූයේ අවන්‍ද්‍ය යැ, අනුපසම්පන්න වූයේ අවන්‍ද්‍ය යැ, නානාසංවාසක වෘද්ධතර අධර්‍මවාදී වූයේ අවන්‍ද්‍ය යැ, මාගම අවන්‍ද්‍ය යැ, පණ්ඩක අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
 
උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: පිරිවෙස් පුරන්නේ අවන්‍ද්‍ය යැ, මූලායපටිකස්සන කර්‍මයට නිසි වූයේ අවන්‍ද්‍ය යැ. මානතට නිසි වූයේ අවන්‍ද්‍ය යැ, මානත් පුරන්නේ අවන්‍ද්‍ය යැ, අබ්හානකර්‍මයට නිසි වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි.
 
 

බුදු සසුනේ බහුශ්‍රැත තෙමේ යනු

නිස්සයමුච්චනකය, පරිසුපට්ඨාකය, භික්‍ඛුනොවාදකයයි තෙවැදෑරුම් වේ.

 

එහි නිස්සයමුච්චනක වූ උපසම්පත්තියෙන් පස්වස් ඇතියහු විසින් යටත් පිරිසයින් භික්‍ෂු භික්‍ෂුණී මාතිකා දෙක ප්‍රගුණ කළ යුතුය. වාචොද්ගත කළයුතුය. පක්‍ෂ දිනයන්හි දහම් ඇස්වීම පිණිස සූත්‍ර පිටකයෙන් බණවර සතරක්ද, පැමිණියවුන්ට පරිකථනය පිණිස අන්‍ධකවින්‍ද මහාරාහුලොවාද අම්බට්ඨසූත්‍ර සමානවූ එක් කථාමාර්‍ගයක්ද. සඟබත් මගුල් අවමගුල්හි අනුමොදනා පිණිස සඟබත් ආදියෙහි දානානිසංස ප්‍රතිසංයුක්තවූ නිධිකණ්ඩ සූත්‍රාදි අනුමොදනා, ගෘහප්‍රවෙශ මඞ්ගලාදියෙහි මඞ්ගලසූත්‍රාදි අනුමොදනා, මතකභත්ත ආදි අවමඞ්ගලාදියෙහි තිරොකුඩ්ඩසූත්‍රාදි අනුමොදනා යන ත්‍රිවිධ අනුමොදනාද, උපොසථ පවාරණාදිය දැනගනු පිණිස කර්‍මාකර්‍ම විනිශ්චයද, මහණදහම් කරනු පිණිස සමාධි වශයෙන් හෝ විදර්‍ශනා වශයෙන් හෝ රහත්බව කෙළවර කොට ඇති එක් කර්‍මස්ථානයක්ද යන මෙපමණෙක් උගත යුතුය. මෙපමණකින්ම මෙතෙමේ බහුශ්‍රැත වේ. සිවු දිසාවෙහි නොපැකිළෙන ගමන් ඇති බැවින් සිවුදිසා ඇත්තේ වේ. තමන්ගේ ඓශ්චර්‍ය්‍යයෙන් යම්කිසි තැනක වසන්නට ලබාද,

 
පරිසුපට්ඨාපකවූ උපසම්පත්තියෙන් දසවස් ඇත්තහු විසින් යටත් පිරිසයින් පිරිස සියලු විනය පිටකයෙහි හික්මවන්නට භික්‍ෂු භික්‍ෂුණී විභඞ්ග දෙක ප්‍රගුණ කටයුතුය. වාචොද්ගත කටයුතුය. නොහැක්කහු විසින් තුන් දෙනකුන් සමග හැදෑරීමට සුදුසු වූවාහු කටයුත්තාහ. කර්‍මකර්‍ම විනිශ්චයද උගත යුතුය. කඳුවත්ද උගත යුතුය. පිරිස නාමරූප පරිච්ඡෙදයෙහි හික්මවනු පිණිස ඉදින් මද්ධ්‍යම භාණකයෙක් වේ නම්, මූලපණ්ණසකය උගත යුතුය. දීඝභාණකයා විසින් මහාවග්ගය උගතයුතුය. සංයුක්තභාණකයා විසින් මහාවග්ගයෙන් යට හෝ සගාථකවග්ග නිදානවග්ග ඛන්‍ධකවග්ග යන තෙවග හෝ උගත යුතුය. අඞ්ගුත්තර භාණකයා විසින් යට හෝ මතුවෙහි හෝ අද්ධ නිකායයක් උගත යුතුය. නොහැක්කහු විසින් තිකනිපාතය පටන් යට එකකනිපාත දුකනිපාත උගෙනීම වටියි. මහාපච්චරියෙහි වනාහි එක් නිපාතයක් උගත්නහු විසින් චතුක්කනිපාතය හෝ පංචකනිපාතය හෝ උගතයුතුයයි කියනලදී. ජාතකභාණකයා විසින් අර්‍ත්‍ථකථා සහිත වූ ජාතකය උගත යුතුය. ඉන් මෙපිට උගෙණීම නොවටියි. ධම්මපදයද වස්තූන් සහිතව උගතයුතුයයි මහාපච්චරියෙහි කියන ලදී. ඒ ඒ තැනින් එක් රැස් කොට මූලපණ්ණාසකය තරම් වටීද, නොවටීද, යත්: නොවටීයයි කුරුන්‍දි අර්‍ත්‍ථකථාවෙහි ප්‍රතික්‍ෂෙප කරන ලදී. අන් තන්හි විචාරීමෙක්ම නැත්තේය. අභිධර්‍මයෙහි කිසිවක් ගතයුතු යයි නොකියන ලදී. යමක්හට වනාහි අර්‍ත්‍ථ කථා සහිත වූම විනයපිටකයද අභිධර්‍මපිටකයද ප්‍රගුණවේද සූත්‍රාන්තයෙහිද කියූ අයුරු ඇති ග්‍රන්‍ථයෙක් ප්‍රගුණ වූයේ නොවේද, හෙතෙමේ පිරිස ලවා උවැටන් කරවන්නට නොලබයි. යම් මහණකු විසින් සූත්‍රාන්තයෙන් හා විනයයෙන්ද කියූ පමණැති ග්‍රන්‍ථයෙක් උගන්නා ලද්දේ ද මෙතෙමේ පරිසුපට්ඨාපක බහුස්සත නම්වේ. දිසාපාමොක්‍ඛ වේ. යම්කිසි දිසාවෙක කැමැති සේ පවත්නේ වේ. පිරිස ලවා උවැටන් කරවා ගන්නට ලබන්නේය.
 
 
භික්‍ෂුණීන්ට අවවාද කරන මහණහු විසින් අර්‍ත්‍ථකථා සහිතවූ ත්‍රිපිටකය උගතයුතුය. නොහැකිවන්නහු විසින් සිවු නිකායයන් අතුරෙහි එක් නිකායයක අර්‍ත්‍ථකථාව ප්‍රගුණ කටයුතුය. එක් නිකායයක් ඉගෙණීමෙන් සෙසු නිකායයන්හිද, ප්‍රශ්න විසදන්නට හැකිවන්නේය. සප්තප්‍රකරණයන් අතුරෙහි ප්‍රකරණසතරක අර්‍ත්‍ථකථාව ප්‍රගුණ කටයුතුය. එහි ලද නයින් සෙසු ප්‍රකරණයන්හිද ප්‍රශ්න විසදන්නට හැකිවන්නේය. විනයපිටකය වනාහි නොයෙක් අර්‍ත්‍ථ ඇත්තේය. නොයෙක් කරුණු ඇත්තේය. එහෙයින් එය අර්‍ත්‍ථකථාව සමග ප්‍රගුණ කටයුතුමය. මෙපමණකින් භික්‍ඛුණොවාදක බහුස්සුත වේ.