ගීත හා කවි

ආණි සූත්‍රය

මහණෙනි, පෙර වූවක් කියමි: (අස්වැන්නෙන් දශයෙන් කොටසක් ගන්නා බැවින්) දසාරහ (නම් වූ) ක්‍ෂත්‍රියන්ගේ ආණක නම් මිහිඟු බෙරයෙක් විය. දසාරහයෝ ඒ අණබෙරය පැළුනු කල්හි ඊට අන් ඇණයක් ගැසූහ. මහණෙනි, යම් කලෙක්හි ආණක මිහිඟුබෙරයේ පැරණි බෙරකඳ අතුරුදන් වී ද, ඇණහැකිල්ල ම ඉතිරි වීද, එබඳු කලෙක් වූයේ ම ය.

මහණෙනි, එහෙයින් ම මතුකාලයෙහි භික්‍ෂූහු වන්නාහ. (ඔහු) තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දක්වන ශුන්‍යතාධර්‍මය පවසන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති නො වන්නාහ. කන් යොමු නො කරන්නාහ. අවබෝධය පිණිස සිත නො එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි පිරිවැහිය යුතු ය යි නොසිතන්නාහ. කවීන් විසින් කරණ ලද කවීන් විසින් නිපදවන ලද විසිතුරු ව්‍යඤ්ජන ඇති සස්නෙන් පිටත්හි වූ (අන්) සව්වන් විසින් දෙසන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් කියනු ලබන කල්හි අසනු කැමති වන්නාහ. කන් යොමු කරන්නාහ. අවබෝධය පිණිස සිත එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි ද පිරිවැහිය යුතු ය යි ද හඟින්නාහ. මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්‍මය පැවසෙන සූත්‍රාන්තයන්ගේ අතුරුදහන් වීම වන්නේ ය.

මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්‍මය පැවසෙන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති වන්නෙමු. කන් යොමු කරන්නෙමු. අවබෝධය පිණිස සිත එළවන්නෙමු. ඒ දහම් ම උගත යුතුය යි, පිරිවැහිය යුතු ය යි සිතන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.


ආණි සූත්‍ර වර්ණනාව

සත්වන සූත්‍රයේ – “දසාරහානං” යනු මෙනම් ඇති ක්‍ෂත්‍රියයන්ගේය. ඔවුහු අස්වැන්නෙන් දහයෙන් කොටසක් ගත්හ. එනිසා “දසාරහා” (දහරහයෝ) යැයි ප්‍රසිද්ධ වූහ. “ආණකො” මෙසේ ලබන ලද නම් ඇති මිහිඟු බෙරයකි.

හිමාලයේ පෙර මහා කුළීර නම් විලක් විය. එහි එක් මහා කකුළුවෙක් විලට බසින, බසින ඇතුන් කයි. එවිට ඇත්තේ තමාට වන විපත නිසා “මැගේ පුතා නිසා අප සැපයට පැමිණෙන්නේයැ”යි එක් ඇතින්නකට මහත්සේ සත්කාර කළහ. ඇය ද මහේශාක්‍ය පුතෙකු වැදුවාය. ඊට පසු සෙසු ඇත්තු ඔහුට ද සත්කාර කළහ. ඔහු වැඩිවියට පත්ව “කුමක් නිසා මොවුහු මට සත්කාර කරයි ද?” මවගෙන් ඇසුවේය. ඇත් ගණයාට ඇති විපත ගැන දැනුම් දුන්නාය. ඔහු ද “කිම මට කකුළුවා සෑහේද? එවු. යවු.”යි මහා ඇත් පිරිවරක් සහිතව එහි ගොස්, තමා පළමුව විලට බැස්සේය. කකුළුවා දියේ කැලඹුණු හඬින් එහි විත් ඔහු අල්ලා ගත්තේය. කකුළුවාගේ අඬුව සහිත අත ඉතා මහත් එකකි. ඇත්රජු එම අඬුව එහෙ-මෙහෙ සෙලවීමටවත් නොහැකි වූයේ මුවෙහි සොඬ දමා හඬින් කෑගැසුවේය. ඇත්තු “යමෙකු නිසා අපි සැපයට පැමිණෙන්නාහ”යි සිතුවේද ඔහු පළමුව ම අල්ලා ගන්නා ලදැ” යි කියා ඒ ඒ තැන පලාගියහ.

ඇත්රජුගේ මව නුදුරෙහි හිඳ, “අපි ගොඩ නාගයෝ (ඇත්තු) වෙමු. නුඹ දිය නාගයෝ වෙහු. නාගයන් විසින් නාගයන් නොවෙහෙසිය යුතුයි” යනුවෙන් කකුළුවාට ප්‍රිය වචනයෙන් මෙසේ කීවාය.

යෙ කුළීරා සමුද්දස්මිං ගංගාය යමුනාය ච

තෙසං ත්‍වං වාරිජො සෙට්ඨො මුඤ්ච රොදන්තියා පජන්ති

“ගංගා-යමුනා දී මහා ගංගාවන්හිද මුහුදෙහි ද යම් කකුළුවෝ වෙසෙත් නම්, ඒ සියලු ජලජ ජීවීන් අතරින් නුඹ ම ශ්‍රේෂ්ඨයා-ප්‍රධානියා වේ. එනිසා තම ප්‍රජාව හඬවන (ඇත්රජු) අත්හරින්න.”

ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයන් කැළඹවීමට සමත්ය. එනිසා කකුළුවා තම ග්‍රහණය ලිහිල් කළේය. ඇත්රජු වේගයෙන් සිය දෙපා ඔසවා කකුළුවාගේ පිට පෑගුවේය. පෑගීමත් සමග ම පිට මැටි බඳුනක් මෙන් බිඳුනේය. ඉක්බිති දළයෙන් විද කකුළුවා උඩට ගෙන, ගොඩබිමට විසිකර සතුටු නාදයක් නිකුත් කළේය. එය ඇසූ පලාගිය ඇත්තු එහෙන්-මෙහෙන් පැමිණ කකුළුවා මැඬ-පාගා දැමූහ. උගේ එක් අඬුවක් සිරුරින් ඉවත්වී වැටුනේය. සක්දෙව් රජු එය රැගෙන ගියේය.

ඉතිරි අඬුව අවු-සුළඟින් වේලී පැසුණු ලාක්‍ෂා (රතු) ලාකඩ වර්ණ ඇත්තේ විය. එය වැසි වැටුණු කල්හි ජල පහරින් ගසාගෙන අවුත් දස සෝයුරු රජවරුන්ගේ, දියපහර මත්තෙහි බැඳි දැලෙහි රැදුණි. රජදරුවෝ ගඟෙහි ජලක්‍රීඩා කරමින් පැමිණ දැල සමීපයේ සිට ජලක්‍රීඩා අවසන්හි දැල ඔසවා බලා එය දැක “මේ කිමෙක්ද?”යි ඇසූහ. “ස්වාමීනි, මෙය කකුළු අඬුවකි.” “මෙයින් ආභරණයක් සෑදීමට නොහැකිද?” “හාත්පසින්ම වෙලා බෙරයක් සැදිය හැකියැ”යි පවසා හාත්පසින් ම වෙලා ඊට ගැසූහ. ශබ්දය දොළොස් යොදුන් නගරය පුරාම පැතිරුණි. එවිට ඔවුහු මෙසේ කීහ. “මෙය දිනපතාම ගැසිය නොහැක. උත්සව දිනයට ගසන ‘මඟුල්බෙරය’ වේවා”යි එය මංගල බෙරය බවට පත්කළහ. එය ගැසූ කල්හි මහජනයා මැනවින් නා, සැරසී ඇත් යානාදියේ නැගී වහ වහා රැස්වෙති. මෙසේ මහජනයා රැස් කරවමින්-කැඳවමින් “අණ කරන” බැවින් “ආණක” යන නාමය මේ බෙරයට තැබූහ.

“අඤ්ඤං ආණිං ඔදහිංසු” යනු අනික් රන්-රිදීමය ඇණයක් ගැසූහ යනුයි. “ආණිසංඝාටොව අවසිස්සී” යනු රන්-රිදීමය ඇණය ගැසු කල්හිම ඉතිරි විය යනුයි. එවිට එහි මුලින් පැවති දොළොස් යොදුන් ප්‍රමාණ වූ හඬ නැතිවී ඇතුල් ශාලාවෙහිද දුකසේ ඇතිවන ශබ්දයක් විය.

“ගම්භීරා” යනු බුද්ධවචන වශයෙන් ගැඹුරුය යනුයි. සල්ලේඛාදීසූත්‍ර මෙනි. “ගම්භීරත්‍ථා” යනු අර්ථ වශයෙන් ගැඹුරුය යනුයි. මහාවේදල්ලාදී සූත්‍ර මෙනි. “ලොකුත්තරා” යනු ලෝකෝත්තර අර්ථ දීපකයෝය. “සුඤ්ඤතා පටිසංයුත්තා” යනු සප්ත ශුන්‍යතා ධර්ම පමණක්ම ප්‍රකාශ කරන යනුයි. සංඛිත්ත සංයුත්තය මෙනි. “උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං” යනු ඉගෙනගත යුතුය. පිරිවහා කටපාඩම් කරගත යුතුයි යනුයි. “කවිකතා” යනු කවීහි කතා. කවියන් විසින් කරන ලද යනුයි. “කාවෙය්‍යා” යන පදය ද මීට සමාන වූ පදයකි. “චිත්තක්ඛරා” යනු විසිතුරු වූ අක්‍ෂරයන්ය. “චිත්ත බ්‍යඤ්ජනා” යන පදයද මීට සමාන වූවකි. “බාහිරකා” යනු සසුනින් බැහැර වූ යනුයි. “සාවකභාසිතා” යනු ඒ ඒ ශ්‍රාවකයන් විසින් පවසන ලද යනුයි. “සුස්සූයිස්සන්ති” යනු විසිතුරු අක්‍ෂර ඇති බැවින් ද ශ්‍රවණ මාධුර්ය ඇති බැවින්ද සතුටු සිත් ඇතිව යනුයි. සාමණේර, තරුණ භික්‍ෂූහු-ස්ත්‍රීහු මහා ධනවත් ගෘහපතීහු මේ ධර්මකථිකයෙකි’යි රැස්වී ඇසීමට කැමති වෙති. “තස්මා” යනු එනිසා තථාගතයන් විසින් දේශිත සූත්‍රාන්තයෝ නොදරණ-නූගන්නා බැවින් අතුරුදහන් වෙති.


 

තතියඅනාගතභය සූත්‍රය

මහණෙනි, මේ අනාගතභය පස් දෙනෙක් දැන් නූපන්නාහු මතුයෙහි උපදිති. ඔහු තොප විසින් දතයුතු වෙති. දැන ද ඔවුන්ගේ ප්‍රහාණය සඳහා වැර වැඩිය යුතු ය. කවර පස්දෙනෙක යත්:

මහණෙනි, අනාගතකාලයෙහි නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ ප්‍රඥා ඇති භික්‍ෂුහු වෙති. නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ ප්‍රඥා ඇති ඔහු අන්‍යයන් උපසපන් කෙරෙති. ඔහු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි හික්මවීමට නො හැකි වෙති. ඔහුදු නො බැවූ කය ඇතියාහු නො බැවූ සිල් ඇතියාහු නො බැවූ සිත් ඇතියාහු නො බැවූ පැණ ඇතියාහු ම වෙති. අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වූ ම ඔහු ද අනුන්, උපසපන් කරත්. ඔහුදු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි හික්මවීමට නො හැකි වෙති. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. මහණෙනි, මෙසේ ධර්‍මසන්දූෂණයෙන් (ධර්‍මපරිහාණියෙන් ශමථවිදර්‍ශනා ධර්‍ම ගැබ්නොගැණීමෙන්) විනය සඤුෂණ ය (විනය පරිහාණිය වෙයි. විනයසන්‍දූෂණයෙන්) ධර්‍මසන්දූෂණ වෙයි. මහණෙනි, දැන් නූපන් මේ ප්‍රථම අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් දතයුතු ය දැන ද එ ප්‍රහාණ කරණු පිණිස ව්‍යායාම කටයුතු.

තවද මහණෙනි, අනාගතකාලයෙහි මහණහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන ඔහු අන් මහණුනට නිස දෙත්. ඔහු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි විනයනට නො හැකි වෙත්. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙත්. අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන ඔහු ද අන් මහණුනට නිස දෙත්. ඔහුදු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි විනයනට නො හැකි වෙත්. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැනු නූපන් මේ දෙවන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට ව්‍යායාම කටයුතු යි.

තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙත්. ඔහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන්නාහු ම අභිධර්‍මකථා හා ඥානප්‍රතිසංයුක්ත කථා කියන්නාහු කෘෂ්ණධර්‍මයට (උපාරම්භලාභසත්කාරපර්‍ය්‍යෙෂණ වශයෙන් අකුශලයට) බැස ගන්නාහු නො පිළිවිදුනාහ. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මේ තුන් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට ව්‍යායාම කටයුතු.

තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වන්නාහු ම ඔහු තථාගතභාෂිත වූ ගැඹුරු පෙළ ඇති, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තරධර්‍මදීපක, ශූන්‍යතාප්‍රතිසංයුක්ත, යම් ඒ සූත්‍රාන්තකෙනෙක් වෙත් නම්, ඔවුන් දෙසනු ලබන කල්හි ඇසුමට රුචි නො කෙරෙත්. කන් රුකොට නො ගණිත්. දැනුමට සිත් නො එළවත්. එ දහම් උගතයුතු කොට ප්‍රගුණ කටයුතු කොට නො සිතත්. කවීන් විසින් ගොතන ලද, කවියනට අයත්, විසිතුරු අකුරු ඇති, විසිතුරු වියඳුන් ඇති සස්නෙන් බැහැර ව ගියා වූ බැහැරිසව්වන් විසින් කියු යම් සූත්‍රාන්තකෙනෙක් වෙත් නම්, ඔවුන් දෙසනු ලබන කල්හි ඇසුමට රුචි කෙරෙත් කන් රුකොට ගණිත්. දැනුමට සිත් එළවත්. එ දහම් ද උගතයුතු කොට ප්‍රගුණ කටයුතු කොට සිතත්. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මේ සතර වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.

තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය වන, අභාවිතශීල වන, අභාවිතචිත්ත වන, අභාවිතප්‍රඥ වන, එ ස්ථවිරභික්‍ෂූහු සිවුපස බහුල කොට ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු නීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි පුරෝගාමී වන්නාහු ප්‍රකර්‍ෂවිවේකයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇත්තාහු අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නාහ. ඔවුන්ගේ පශ්චිමජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඒ පශ්චිමජන ද සිවුපස බහුල කොට ඇත්තේ, සස්න ලිහිල් කොට ගත්තේ, අවක්‍රමණයෙහි පූර්‍වඞ්ගම වූයේ, ප්‍රවිවේකයෙහි හළ වැර ධුර ඇතියේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වේ. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මෙ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.

මහණෙනි, මෙ කල නූපන් මේ පඤ්ච අනාගතභය මතුයෙහි උපදනාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතුහ. පිළිවිද ද ඔවුන් ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු යි.


තතියඅනාගතභය සූත්‍ර වර්ණනාව

නවවැන්නෙහි ධම්මසන්දොසා විනයසන්දොසො යනු ධර්‍ම දූෂණයෙන් විනය දූෂණය වෙයි, කෙසේනම් ධර්‍මය දූෂණය වනවිට විනය දූෂණය වේද? සමථ විදර්‍ශනා ධර්‍මයන් ගැබ් නොගන්නා කල්හි පස්වැදෑරුම් විනය නොවෙයි, මෙසේ ධර්‍මය දූෂණය වනවිට විනය දූෂණය වෙයි, දුශ්ශීලයාට සංවර විනය නැත. එය නොවනවිට සමථ විදර්‍ශනා ගැබ් නොගනියි. මෙසේ විනය දූෂණය වීමෙන් ධර්‍ම දුෂණ ද දතයුතුය. අභිධම්මකථං යනු ශ්‍රේෂ්ඨ ධර්‍මකථාවයි, වෙදල්ලකථං යනු අවබෝධයෙන් යුක්ත වූ ඥානමිශ්‍ර වූ කථාවයි, කණ්හං ධම්මං ඔක්කමමානා යනු සිදුරු (දොස්) සෙවීම නිසා අපවාද සෙවීම් වශයෙන් පාපධර්‍මයට බසින්නාහුයි, තවද දුෂ්ට සිතින් පුද්ගලයා හා ගැටෙන්නාහු ද ඒ පාප ධර්‍මයෙන් තමන් දැවෙන්නාහු ද ලාභසත්කාර සඳහා කියන්නාහු ද පාපධර්‍මයට බැසගන්නාහුමය,

ගම්භිරා යනු පෙළෙන් ගැඹුරුවූයි, ගම්භීරත්‍ථා යනු අර්‍ත්‍ථයෙන් ගැඹුරුවූයි, ලොකුත්තරා යනු ලෝකෝත්තර ධර්‍මය ප්‍රකට කරන්නාවූයි, සුඤ්ඤතා පටිසංයුත්තා යනු ස්කන්ධ ධාතු ආයතන ප්‍රත්‍යයාකාරයන්ගෙන් යුක්ත වූයි, න අඤ්ඤාචිත්තං උපට්ඨපෙස්සන්ති දැනීම සඳහා සිත නොතබත්, උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං යනු උගතයුතු දේත් පිළිපැදිය යුතු දේත්ය, කවිකතා යනු ශෛලාක බන්ධනාදි වශයෙන් කවීන් විසින් කරන ලද කථායි, කාවෙය්‍යා යනු එයටම සමාන වචනයකි, බාහිරකා යනු සසුනෙන් බැහැර සිටියාහුයි, සාචකභාසිතා යනු බාහිර ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූයි, මෙහි සෙස්ස යට කියන ලද ආකාර ඇති බැවින් ද මනාව දත හැකි බැවින් ද පැහැදිලි අරුත් ඇත්තේමය.


 

2. 1. 5. 6.

මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අවිනීත වූ පිළිවිස නොහික්මුනු පිරිසය, දුර්විනීත නො වූ පිළිවිස හික්මුනු පිරිසය යන දෙකය.

මහණෙනි, අවිනීත වූ පිළිවිස නො හික්මුනු පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද (පාළි වසයෙන්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර අර්‍ත්‍ථය ප්‍රකාශ කරණ (සත්ත්‍ව පුද්ගල) ශුන්‍යතායෙන් යුත් යම් සූත්‍රාන්ත කෙනෙක් වෙත් ද, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට නො කැමැති වෙත්, ඇසීමට කන් රුකොට නොගණිත්, දැන ගැණීමට සිත් නො එළවත්, ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො හඟිත්, කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ, සව්වන් විසින් කියන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය කියත් කියත් ඇසීමට කැමැති වෙත්, කන් රුකොට ගණිත්, ඇසීමට සිත් එළවත්, ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්‍මයන් පුහුණු කොට ඔවුනොවුන් නො ද පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අරුත් කිමැ යි පිළිවිසුමට නො ම සැරිසරත්. ඔහු පිළිසන් අරුත විවර නො කෙරෙත්. අප්‍රකට අර්‍ත්‍ථය ප්‍රකට නො කෙරෙත්. නන් වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍මයන් විෂයෙහි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මේ අවිනීත නො පිළිවිස හික්මුනු පිරිස වෙයි.

මහණෙනි, පිළිවිස හික්මුනු අවිනීත නො වූ පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ ශ්‍රාවකයන් විසින් කියන ලද, යම් ම සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියත් ම එය ඇසීමට කන් නතු නො කෙරෙත්. දැනගැණීමට සිත් නො එළවත්. ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො ද හඟිත්. තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද (පාළිවිසින්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ යම් ම සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට කැමැති වෙත්. කන් නතු කෙරෙත්. දැනගැණීමට සිත් එළවත්. ඒ ධර්‍මයන් ද උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්‍මය පුහුණු කොට උනුන් පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අර්‍ත්‍ථය කිමැ? යි පිළිවිසීමට සැරිසරත්. ඒ භික්‍ෂූහු නොපිළිසන් වූ අර්‍ත්‍ථය විවර කෙරෙත්. අප්‍රකට වූ අර්‍ත්‍ථය ද ප්‍රකට කෙරෙත්. නන්වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍ම විෂයෙහි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ විනීත වූ පිළිවිස හික්මුනු පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් පිළිවිස හික්මුනු විනීත වූ පිරිසෙක් වේ ද, තෙල අගී.

 

2. 1. 5. 6 වර්ණනාව

සයවැන්නෙහි ඔක්කාචිතවිනීතා යනු නොහික්මුණෝයි. නොපටිපුච්ඡා විනීතා යනු විමස විමසා විනීත නොවුවෝයි. ගම්භීරා යනු සල්ලසූත්‍ර වැනි පෙළ වශයෙන් ගැඹුරු වූයි. ගම්භීරත්‍ථා මහාවේදල්ල සූත්‍රය වැනි අර්‍ත්‍ථ වශයෙන් ගැඹුරුවුයි. ලොකුත්තරා යනු ලෝකෝත්තර අර්ථ ප්‍රකට කරන්නාවූයි. සුඤ්ඤතා පටිසංයුත්තා යනු සඤ්ඤාසංඛාත සංයුත්තය වැනි ශුන්‍යවූ ධම්මාත්‍රයම ප්‍රකාශ කරන්නාවූයි. න අඤ්ඤාචිත්තං උපට්ඨාපෙන්ති යනු දැන ගැනීම සඳහා සිත නොඑළවත්. නිදත් හෝ සිත වෙනතකට යොමු වූවාහු හෝ වෙත්. උග්ගභෙතබ්බං පරියාපුණිතබ්බං යනු උගතයුතුදේද පුහුණු කළයුතුදේද යනුයි. කවිකතා යනු කවීන් විසින් කරනලදැයි සෙස්ස එහිම පර්‍ය්‍යාය වචනයි. චිත්තක්‍ඛරා යනු විසිතුරුවූ අකුරුයි. සෙස්ස එහිම පර්යාය වචනයි. බාහිරකා යනු සසුනින් පිටත වූවෝයි. සාවකභාසිතා යනු ඔවුනොවුන්ගේ ශ්‍රාවකයන් විසින් කියනලද්දාවූයි. සුස්සුසන්ති යනු අක්‍ෂරවිචිත්‍රත්වය නිසා හෝ ස්වර සම්පත්තිය (මිහිර ස්වර) නිසා සතුටු සිතැතිව අසත්. න චෙච අඤ්ඤමඤ්ඤං පටිපුච්ඡන්ති යනු අර්‍ත්‍ථය හෝ අනුසන්‍ධි (ගැලපීම) හෝ මුල අග (ගැලපීම) හෝ නොවිමසත් පටිවිචරන්ති යනු ඇසීම (විමසීම) සඳහා චාරිකාවෙහි නොයත්. ඉදං කථං යනු මේ ව්‍යංජනය කෙසේ නැංවිය යුතුද කුමකට නැංවියයුතුද යනුයි. ඉමස්සක්‍චන්‍ථො යනු මේ ප්‍රකාශයේ අර්‍ත්‍ථය කුමක්ද? අනුසන්‍ධිය කුමක්ද? මුලඅග කුමක්ද යනුයි. අවිවටං යනු වැසුණුයි. නවිවරන්ති යනු නොඅරිත්. අනුත්තානීකතං යනු නොපැහැදිලිවූයි. කඞ්ඛාඨානීයෙසු යනු සැකයට හේතුවූ තැන්හියි. යහපත් අංශය කියනලද්දට විරුද්ධ නයින් දතයුතුය.


 

චූළහත්ථිපදොපම සූත්‍ර වර්ණනාව

ශාසනයට සුදුසු නොවන බැවින්, ශාසනයට විරුද්ධ වූ පටහැනි වූ දර්ශනය විසූක දස්සන නම් වේ. තමන් නැටීම නැටවීම ආදී වශයෙන් කරන ක්‍රියා නෘත්‍යයෝය. ගීතයෝ ද වාදිතයෝ ද, යටත් පිරිසෙයින් මොනර නැටුම් ආදී නාට්‍යාදීන්ගෙන් යුක්ත දර්ශනයෝ නච්ච ගීත වාදිත විසූක දස්සන යන්නෙන් ගැනේ. තමන් නටන්නට හෝ අනුන් නටවන්නට හෝ කටයුතු කිරීම, බැලීම භික්‍ෂූන්ට නො වටී. භික්‍ෂුණීන්ට නො වටී.


 
 

3.3.1.5.

මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි අත්‍යර්‍ත්‍ථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි).
මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැස්ම වේවා නෘත්‍යයෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.
 
පස්වෙනි සූත්‍රය අර්ථොත්පත්තියක ඉදිරිපත් කරනලදී. කවර අර්ථොත්පත්තියකදයත්? ඡබ්බග්ගිය භික්‍ෂූන්ගේ නොමනා හැසිරීමෙහිය. ඔවුහු ගයමින් නටමින් සිනහසෙමින් හැසිරුණාහුය. භික්‍ෂූහු (එය) තථාගතයන්වහන්සේට දැන්වූවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් කැඳවා ඔවුන්ට අවවාද සඳහා මේ සූත්‍රය ඇරඹුසේක. එහි රුණ්ණං යනු හැඬීමයි. උම්මත්තකං යනු උමතුවූවන්ගේ ක්‍රියාවයි. කොමාරකං යනු ළාබාලයන් විසින් කළයුතු ක්‍රියාවකි. දන්තවිදංසකං හසිතං යනු දත් දක්වා අත් පොළන්නවුන්ගේ මහ හඬින් යුත් සිනහවයි. සෙතුඝාතො ගීතෙ යනු තොපගේ ගීතයෙහි ප්‍රත්‍යය විනාශය වේවා? හේතුසහිත ගීතය දුරුකරවූයයි දැක්වෙයි. නාත්‍යයෙහිද මේ ක්‍රමයමයි. අලං යනු යුතුදෙයයි. පමොදිතානං සතං යන මෙහි හේතුව ධර්මයයි කියනුලැබේ. කිසියම් කරුණකින් ප්‍රමුදිතවූ සත්වයන්ගේයි. සිතං සිතමත්තාය යනු ඒ සිනහවට කරුණක් ඇති විට යම් සිනහවක් කරවූද එය තොපගේ සිනහව පමණට ඉදිරිදත් පෙන්වා සතුටුවූ ආකාරයක් දැක්වීම පමණක්ම සුදුසුයයි කියනලද්දේ වෙයි.

 

ගීතස්සර සූත්‍රය

මහණෙනි, දීර්‍ඝ ගීතස්වරයෙන් (ගාථා වෘත්තය වනසා) දහම් බණනුවහට මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ද ඒ ස්වරයෙහි ඇලෙති. “අපි යම් සේ ගයමෝ නම්, මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ද එසෙයින් ම ගයති” යි ගෙහෙවියෝ ද අවඥා කෙරෙත්. ස්වරාකෘතිය පතන්නහුගේ සමාධිභේදය ද වෙයි. පශ්චිම ජනතාව (එය ආදර්‍ශයට ගෙණ) දෘෂ්ටානුගතියට පැමිණෙයි.
මහණෙනි, දීර්‍ඝ ගීතස්වරයෙන් දහම් බණනුවහට මේ දොස්පස වේ යයි.



ඛුද‍්දකවත්‍ථුකථා

එ සමයෙහි රජගහ නුවරැ ගිරග්ගසමජ්ජය (හෙල් මුදුන්හි පැවැත්වෙන උළෙලෙක්) වෙයි. සවග මහණහු ගිරග්ගසමජ්ජය දකිනු පිණිස ගියාහ. “ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කාමභෝගී ගිහියන් සේ කෙසේ නම් නැටුම් ද ගැයුම් ද වැයුම් ද දක්නා පිණිස යන්නාහු දැ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. …
මහණෙනි, නැටුම් හෝ ගැයුම් හෝ වැයුම් හෝ දක්නා පිණිස නො යායුතු. යමෙක් යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා ආයතකෙන ගීතස‍්සරෙන ධම‍්මං ගායන‍්තස‍්ස: අත‍්තා පි තස‍්මිං සරෙ සාරජ‍්ජති, පරෙ පි තස‍්මිං සරෙ සාරජ‍්ජන‍්ති, ගහපතිකා පි උජ‍්ඣායන‍්ති, සරකත‍්තිම‍්පි නිකාමයමානස‍්ස සමාධිස‍්ස භඞ‍්ගො හොති. පච‍්ඡිමා ජනතා දිට‍්ඨානුගතිං ආපජ‍්ජති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා ආයතකෙන ගීතස‍්සරෙන ධම‍්මං ගායන‍්තස‍්ස. න භික‍්ඛවෙ ආයතකෙන ගීතස‍්සරෙන ධම‍්මො ගායිතබ‍්බො. යො ගායෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ සරභඤ‍්ඤෙ කුක‍්කුච‍්චායන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ සරභඤ‍්ඤන‍්ති.”

සරකුනති” හඬ නැගීම. “භඞ්ගො හොති” නොලත් සමාධිය ලබන්නට, ලද සමාධියට සමවදින්නට. “පච්ඡිමා ජනතා” අපගේ ආචාර්‍ය්‍යයෝද උපාද්ධ්‍යායයෝද මෙසේ ගායනා කළහ’යි පශ්චිම ජනතෙමේ දිට්ඨානුගතියට පැමිණේද එසේම ගායනා කරයි. “න භික්‍ඛවෙ ආයතකෙන” යන මෙහි ආයතක නම් ඒ ඒ වෘත්ත බිඳ අකුරු විනාශකොට පැවැත්තේය. ධර්‍මයෙහි වනාහි සූත්‍රාන්තවෘත්ත ඇත්තේය. ජාතකවෘත්ත ඇත්තේය. ගාථාවෘත්ත ඇත්තේය. එය විනාශකොට ඉතා දිග් කිරීම නොවටියි. පරිපූර්‍ණ උච්චාරණ වෘත්තයෙන් පිරිමඩුලු වූ පදබ්‍යඤ්ජන දැක්විය යුතුය. “සරභඤ්ඤං” ස්වරයෙන් බිණීමය. ස්වරයෙන් බිණීමෙහි තරඞ්ගවෘත්ත තරඞ්ගභෙදවෘත්ත ගලිතවෘත්තාදීවූ දෙතිස් වෘත්තයෙක් ඇත්තේය. ඒ වෘත්තයන් අතුරෙහි යමක් කැමැත්තේද, ඒ කිරීම ලබයි. සියල්ලන්ගේ පදබ්‍යඤ්ජන නොනසා විකාර නොකොට ශ්‍රමණ සාරුප්‍යයෙන් පරිපූර්‍ණ උච්චරණවෘත්තනයින් පැවැත්මම ලක්‍ෂණය වේ.

එ සමයෙහි වනාහි සවග මහණහු දික් වූ ගී හඬින් දහම් ගයත්, “යම්සේ අපි ගයමෝ ද, එසේ ම මේ ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ දික් වූ ගී හඬින් දහම් ගයති”යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචනය භික්‍ෂුහු ඇසූහ. අල්පෙච්ඡ වූ, ලත් පමණින් සතුටු වූ, ලජ්ජා ඇති, කුකුස් කරන ශික්‍ෂාකාමී වූ, යම් , මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් සවග මහණහු දික් වූ ගීහඬින් දහම් ගයන්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. … ‘මහණෙනි, සැබෑ දැ’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “සැබැව වහන්සැ” යි ඔහු කීහ. … භාග්‍යවතුන් වහන්සේ විවිධ කාරණයෙන් ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා,
මහණෙනි, දික් වූ ගීහඬින් දහම් ගයන්නහුගේ (ඒ ගැයීමෙහි) මේ ආදීනව පසෙකි: තෙමේත් ඒ හඬෙහි ඇලෙයි, අන්හු ද ඒ හඬෙහි ඇලෙත්, ගැහැවියෝ ද ලාමක කොට සිතත්, ස්වර ක්‍රියාව (හඬ නැංවීම) පතන මහණහුගේ චිත්ත සමාධිය බිඳී යෙයි, පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. මහණෙනි, දික් වූ ගීහඬින් දහම් නො ගැයියයුතු. යමෙක් ගයන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි වනාහි මහණහු ස්වරභණ්‍යයෙහි (තරංගවෘත්තාදි වෘත්තවලට අනුව කීමෙහි) කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ස්වරභණ්‍යය අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

න භික්‍ඛවෙ නච්චං වා” යනාදිතන්හි යම්කිසි නාට්‍යයෙක් වේ. යටත්පිරිසෙයින් මොනර නැටුමද දකිනු පිණිස යන්නාවූ මහණහුට දුක්කටය වේ. තමන් නටන්නහුට නටවන්නහුටද දුක්කටයම වේ. ගීතයද යම්කිසි නැටුමෙක්හි වූ ගීතයක් හෝ අනිත්‍යාදි ප්‍රතිසංයුක්ත ගීතයක් හෝ යටත් පිරිසෙයින් දන්තගීතයක් හෝ ගායනා කරන්නෙමු’යි පූර්‍වභාගයෙහි ශබ්දකරමින් කරත්ද, මෙද නොවටටියි. තමන් ගායනා කරන්නහුටද ගායනා කරවන්නහුටද දුක්කටයම වේ. වාදිතයද යම් කිසිවක් නොවටියි. යම් දියක් මුඛයට ගෙණ මුදන්නේ හෝ සැකසහිත තැනක සිටියේ හෝ අසුරු හෝ ගසාද අත්ල හෝ ගසාද එහි ඇවැත් නොවේ. ආරාමය තුළ සිට බලන මහණහුට ඇවැත් නොවේ. බලන්නෙමියි විහාරයකින් විහාරයකට යන මහණහුට ඇවැත්වේමය. අසුන්හලෙහි හුන්නේ දකීද, ඇවැත් නොවේ. බලන්නෙමියි නැගිට යන්නහුට ඇවැත් වේ. වීථියෙහි සිට බෙල්ල හරවා බලන්නහුටද ඇවැත්වේමය.

 

පෘථග්ජනයා යනු

හෙතෙම බොහෝ නානාප්‍රකාර ක්ලේශාදීන්ගේ ඉපදවීම් ආදී කරුණුවලින් පෘථග්ජන නමැ.

බොහෝ කෙලෙස් උපදවත්නුයි පෘථග්ජනයි.
පහ නොකළ බොහෝ සක්කාය දෘෂ්ටි ඇත්තේනුයි, පෘථග්ජනයි.
බොහෝ ශාස්තෲවරුන්ගේ මුහුණු බලන්නේනුයි පෘථග්ජනයි.
බොහෝ සියලු ගතිවලින් නැගී නොසිටියේනුයි පෘථග්ජනයි.
බොහෝ නොයෙක් අභිසංස්කාරයන් රැස් කෙරෙත්නුයි පෘථග්ජනයි.
බොහෝ නොයෙක් දියපහරවලින් පාවී යෙත්නුයි පෘථග්ජනයි.
බොහෝ නොයෙක් සන්තාපයන්ගෙන් තැවෙත්නුයි පෘථග්ජනයි.
බොහෝ නොයෙක් දාහයන්ගෙන් දැවෙත්නුයි පෘථග්ජනයි.
බොහෝ පඤ්ච කාම ගුණයන්හි ඇලී, ගිජුවී, ගැලී, මූර්ච්ඡාවට පත්ව, එහි බැස, ඇලී, තදින් ඇලී, කරදරයට පත්වූවාහුය යන අර්ථයෙන් පෘථග්ජනයි.
බොහෝ පඤ්ච නීවරණයන්ගෙන් ඇමිණුනාහු, වටකරන ලද්දාහු බාධාකරන ලද්දාහු වසන ලද්දාහු වැසුනාහු යටිකුරු කළාහුනුයි පෘථග්ජනයි.
බොහෝ සංඛ්‍යාතික්‍රාන්ත, ආර්ය ධර්මයන්හි ඉවතට හරවාගත් මුහුණු සහිත වූයේ පහත් හැසිරීම්වලින් යුත් ජනයන්ට ඇතුළත් වූ හෙයින්ද පෘථග්ජනයි.
බොහෝසෙයින් මේ තෙමේ වෙන්වූයේමයැයි යන සංඛ්‍යාවට ගියේය. සීල ශ්‍රැත ආදී ගුණයුත් ආර්ය ජනයාගෙන් වෙන්වූයේනුයි පෘථග්ජනයි.

 

ආනන්තරිය කර්ම යනු

එත්‌ථ හි මනුස්‌සභූතස්‌සෙව මනුස්‌සභූතං මාතරං වා පිතරං වා අපි පරිවත්‌තලිඞ්‌ගං ජීවිතා වොරොපෙන්‌තස්‌ස කම්‌මං ආනන්‌තරියං හොති, තස්‌ස විපාකං පටිබාහිස්‌සාමීති සකලචක්‌කවාළං මහාචෙතියප්‌පමාණෙහි කඤ්‌චනථූපෙහි පූරෙත්‌වාපි සකලචක්‌කවාළං පූරෙත්‌වා නිසින්‌නභික්‌ඛුසඞ්‌ඝස්‌ස මහාදානං දත්‌වාපි බුද්‌ධස්‌ස භගවතො සඞ්‌ඝාටිකණ්‌ණං අමුඤ්‌චන්‌තො විචරිත්‌වාපි කායස්‌ස භෙදා නිරයමෙව උපපජ්‌ජති. යො පන සයං මනුස්‌සභූතො තිරච්‌ඡානභූතං මාතරං වා පිතරං වා, සයං වා තිරච්‌ඡානභූතො මනුස්‌සභූතං, තිරච්‌ඡානොයෙව වා තිරච්‌ඡානභූතං ජීවිතා වොරොපෙති, තස්‌ස කම්‌මං ආනන්‌තරියං න හොති, භාරියං පන හොති, ආනන්‌තරියං ආහච්‌චෙව තිට්‌ඨති.

මජ්ඣිම නිකාය උපරිපණ්‌ණාස-අට්‌ඨකථා

මෙහි මනුෂ්‍ය වූ පුද්ගලයකුගේම, මනුෂ්‍ය වූ මව හෝ පියාගේ, තවද ( මව හෝ පියාගේ ) ලිංග පරිවර්තනයක් වූ පසුව ( හෝ ) ජීවිතයන්ට හානි කරන්නහුට කර්මය ආනන්තරිය වෙයි.

එහි විපාකය වළක්වමි’යි සියලු සක්වළ මහා චෛත්‍ය ප්‍රමාණයෙහි රත්රන් පුරවා හෝ සියලු සක්වළ පුරා හිඳගෙන වැඩ සිටී භික්ෂු සංඝ රත්නයට මහා දානයක් දී හෝ භාග්‍යවතුන් වහන්සේ ගේ දෙපට සිවුරෙහි කොන ⁣අත් නො හරිමින් හැසිරුණ ද කය බිඳීමෙන් පසු ව නිරයටම විශේෂයෙන් එළඹෙයි ( නිරයෙහි ම උපදියි ).

යමෙක් තමන් මනුෂ්‍ය ව, තිරිසන් වූ ම මව හෝ පියා හෝ ( මරණයට පත් කරයි ද ),

තමන් තිරිසන් ව මනුෂ්‍ය ( මව හෝ පියා හෝ මරණයට පත් කරයි ද ),

තමන් තිරිසන් ව, තිරිසන් වූ ( මව හෝ පියා හෝ ) මරණයට පත් කරයි ද

ඔහුගේ කර්මය ආනන්තර්ය නොවේ. බලවත් කර්මයක් වෙයි. ආනන්තර්ය කර්ම යට බොහෝ සෙයින් ආසන්න වූ කර්මයක් ව සිටියි.

මෙම පාඨය අනුව යම් මනුෂ්‍යයකු, තමන්ගේ මේ ජීවිතයේ ම මව හෝ පියා ගේ ( තිරිසන් වූ ) ජීවිතය නැති කලත් ආනන්තරිය නොවේ.

තමන් ගේ මව හෝ පියා හෝ මරණයට පත් ව ඊළඟ ජීවිතක ඉපදුන පසු ව ඥාතිත්වය අහෝසි වේ. මිය ගිය ඥාතීන්ට පින් දීමේදී එම පුද්ගලයාගේ ප්‍රාණකාරයාට පින් ලැබේවා යයි වෙනත් ව්‍යවහාරයකින් පින් දෙන්නේ මරණයෙන් පසු ඥාතිත්වය බිඳෙන නිසාය

 

අටපිරිකර යනු

භික්‍ෂුවට තුන්සිවුරු, පාත්‍රය, දැහැටිදඬු කැපීමාදිය සඳහා පිහිය, හිඳිකටුව, කාබහන, පෙරහන යන අටපිරිකර වටින්නේ යයි කියන තුන්සිවුර, පාත්‍රය, දැහැටිදඬු කපන පිහිය, ඉඳිකටුව, පටිය, පෙරහන යන පිරිකර අට භික්‍ෂුව හට වටින්නේ ය. සුදුසු වන්නේ ය.
 
තිචීවරං ච පත්තො ච – වාසි සූචීච බන්‍ධනං
පරිස්සාවනෙන අට්ඨෙ තෙ – යුත්ත යොගස්ස හික්ඛුනො
 

මේ සියල්ල කය පරිහරණයට ද කුස පරිහරණයට ද, ප්‍රමාණ වෙති. කෙසේද? 

පළමුකොට තුන් සිවුර හැඳ පෙරවා, හැසිරෙන කල කය පරිහරණය කෙරෙයි. පෝෂණය කෙරෙයි යන අදහසින් ‘කාය පරිහාරිය’ වෙයි. සිවුරු කොණින් දිය පෙරා බොන කල ද, කෑ යුතු පලවැල ගන්නා කලද කුස පරිහරණය කෙරෙයි. පෝෂණය කෙරෙයි යන අදහසින් ‘කුච්ඡ පරිභාරිය වෙයි. 

පාත්‍රය ද එයින් දිය ගෙන නාන කල ද, කුටිය පිරිබඩන කල ද, කාය පරිභාරිය’ වෙයි. ආහාර ගෙන වළඳන කල ‘කුචඡි පරිභාරිය’ වෙයි. 

පිහිය එයින් දැහැටි දඬු කපන කල ද, ඇඳපුටුවලට වියලි, පා සිවුරු දඬු, කිළිදඬු සකස් කරන කල ‘කාය පරිහාරිය’ වෙයි. උක්දඬු කපන, පොල් ආදිය සසින කල ‘කාය පරිහාරිය’ වෙයි. 

ඉඳිකටුව සිවුර ආදිය මහන කල ‘කාය පරිහාර’ වෙයි. කැවුම් හෝ ගෙඩි හෝ සිඳ විඳ අනුභව කරනවිට ‘කුච්ඡිපරිහාර’ වෙයි. 

කාබහන (පටිය) බැඳ හැසිරෙන කල ‘කාය පරිභාරිය’ වෙයි. උක් ආදිය බැඳගන්නා කල ‘කුච්ඡි පරිහාරිය වෙයි. 

පෙරහන් මගින් දිය පෙරා නාන කල සෙනසුන් පිරිබඩන කල ‘කාය පරිභාර’ වෙයි. බීම සඳහා පැන් පෙරන කල ද, එයින් තල සහල් හබලපෙති ආදිය පොඟවා ආහාර වශයෙන් ගන්නා විට ‘කුච්ඡි පරිහාරිය’ වෙයි. 

මේ වූ කලී අටපිරිකර හිමි භික්‍ෂුවගේ පරිෂ්කාර මාත්‍රයෝය.

නැවත ශයනයට පිවිසෙන නව පරිෂ්කාරකයා හට එහි පිහිටි පසතුරණ හෝ පැන් කෙණ්ඩිය සුදුසුය. වටනේය. දස පිරිකරට හිඳිනා සම්කඩ පත්කඩය ද ඇතුළත් වේ. එකොළොස් පිරිකරවලට සැරයටිය හෝ තෙල් නැළිය ඇතුළත් වෙයි. දොළොස් පිරිකරවලට කුඩය හෝ වහන්සඟල ඇතුළත් වේ. තව ද මොවුන් අතුරෙහි අෂ්ටපරිෂ්කාර තෙමේ එයින්මැ සතුටු වෙයි. අන්‍යයෝ අසතුටු වෙති. වැඩිපුර ආශා ඇත්තවුන් මහා තණ්හාධිකයෝ යැයි නො කිවයුතුය. මොවුහු ද අපිස් බවින් සතුටු වූවාහු මැ සුහර වූවාහු මැ සැහැල්ලු පැවැතුම් ඇත්තාහු මැ වෙති. භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ සූත්‍රය ඔවුන් සඳහා නො වදාළහ. එය එසේමය. හෙතෙම කුඩා පිහිය ද, ඉඳිකටුව ද, පෙරහන ද, පාත්‍රය ඇතුළත තබා, පාත්‍රය උරහිස එල්වා, තුන්සිවුර ශරීරයෙහි පොරවා තමන් කැමති වූ යම්තැනකට සුවසේ නික්ම යයි. පෙරළා අවුත් ගතයුත්තක් ඔහුට නොවේ. මෙසේ මේ භික්‍ෂූන්ගේ සැහැල්ලු පැවැතුම් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ සන්තුට්ඨො හොති කාය පරිභාරිකෙන චීවරෙන ආදිය වදාළහ.

 

විවටචක්ඛු – පිරිසිදු ඇස යනු

භාග්‍යවත්හුගේ මසැස්හි නිල්පැහැය ද රන්වන් පැහැය ද රත්පැහැය ද කළුපැහැය ද සුදුපැහැය ද යන පඤ්චවර්‍ණයෝ විද්‍යමාන වෙති. තවද බුදුන්ගේ අක්‍ෂිරොම යම් තැනෙක්හි පිහිටියේ ද එතැන දියමෙරළියමල් සිදිසි සුනිල් පිරිසුදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සදිසි සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සදිසි සුරත් පිරිසිදු දැකුම්කලු රත්පැහැ වෙයි. මැද රුකපෙණල ඇට සදිසි ඉතා කළු මොළොක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සදිසි ඉතා සුදු සිත පඬෙර පිරිසිදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයි දු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙක චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ ද; හිරු අස්තයට ගියේ වේ ද, කෘෂ්ණපක්‍ෂයෙහි පොහොයත් වේ ද, ගහන වූ වනලැහැබත් වේ ද, මහත් කළු වලාකුළු නැඟුණේත් වේ ද, මෙබඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දකිති, එහි ඒ බිත්තියක් හෝ දොරක් පවුරක් ගලක් ගසක් වැලක් හෝ රූපදර්‍ශනයට ආවරණයෙක් නොවේ. ඉදින් එක් තලඇටයෙක් ලකුණු කොට තලගැලෙක බහාලන්නේ නම්, ඒ තලඇටය මැ නඟාගන්නා සේක. බුදුන්ගේ පියවි මැසැස මෙසේ පිරිසිදු වේ. මෙසේ බුදුහු මසැසිනුදු විවටචක්ඛු වන සේක.

 

නිරෝධසමාපත්ති පුර්වකෘතිය යනු

නානාබද්ධ – අවිකෝපනය, සඞ්ඝපතිමානනය, සත්‍ථු පක්කෝසනය, අද්ධාන පරිච්ඡේදය යන චතුර්විධ පූර්වකෘත්‍යයන් කරයි.
 
එහි ‘නානාබද්ධ-අවිකෝපන’ යනු, යම් (පිරිකර ආදියක්) මේ භික්‍ෂුව හා සමග එක්ව බැඳී නොපවතී නම්, එනම් (හඳනා, පොරෝනා ආදී වශයෙන් පරිභෝග නොකැරෙමින්) වෙන්ව පවතින යම් පා-සිවුරු, ඇඳපුටු හෝ නිවාස ගෘහ හෝ අන්කිසි පිරිකර ආදියක් හෝ වේ නම්, එයට හානි නොවන සේ – එනම්, ගිනි, දිය, සුළං, ආදියෙන් හෝ, සොරුන්, මීයන් ආදීන්ගෙන් විනාශ නොවන සේ – අධිෂ්ඨාන කළයුතුය.
 
එහිලා අධිෂ්ඨාන කළ යුතු ආකාරය මෙසේය:- “මේ මේ මේ දැය මෙම සතිය තුළ ගින්නෙන් නොදැවේවා, ජලයෙන් පාවී නොයේවා, සුළඟින් නොවිසිරේවා, සොරුන් විසින් පැහැරගනු නොලැබේවා, මීයන් විසින් කා-දමනු නොලැබේවා” ආදී වශයෙනි. මෙසේ අධිෂ්ඨාන කළ කල එම සතිය තුළ එයට කිසි හානියක් නොවන්නේය.
 
එසේ අධිෂ්ඨාන නොකළහොත්, ගිනි ආදියෙන් හානි සිදුවිය හැකිය, මහානාග ස්ථවියන්හට සෙයිනි; උන්වහන්සේ මව් උවැසියගේ ගමට පිඬු පිණිස පිවියහ; උවැසි තොමෝ උන්වහන්සේට කැඳ පිළිගන්වා ආසනශාලායෙහි හිඳවූය; උන්වහන්සේ නිරෝධයට සමවැද වැඩහුන්හ; උන්වහන්සේ වැඩහිඳියදී ආසනශාලාවට ගිනි ඇවිලිණි; සෙසු භික්‍ෂූහු තමතමන් හුන් අසුන් ගෙන ඉවත ගියහ. ගම්වැසියෝ රැස්වී තෙරුන් දැක, ‘අලස මහණෙක, අලස මහණෙකැ’යි කීහ; ගින්න තණ, හුණ, දැව දවාගෙන තෙරුන් වට කොට සිටියේය; මිනිස්සු කළවලින් දිය ගෙනවුත්, ගිනි නිවා, අලු ඉවත් කොට, පිරිසිදු කොට, මල් විසුරුවා වඳිමින් සිටියහ. තෙරුන් වහන්සේ පිරිසිඳින ලද කාලය අවසන් වූ කල ඔවුන් දැක, “ප්‍රකට වීමි”යි (නිරෝධ සමාපත්තියට සමවැද හුන් රහතකු බව හෙළි වීය’යි) අහසට නැඟ පුවඟු දිවයිනට වැඩියහ. ‘නානාබද්ධ – අවිකෝපන’ යනු මේය.
 
 
යමක් (පිරිකර ආදියක්) එක්ව බැඳී පවතීද, (දරා සිටි) එවන් හඳනාපොරෝනා හෝ හුන’සුන හෝ පිළිබඳව වෙන්කොට අධිෂ්ඨාන කිරීමක් අවශ්‍ය නොවේ. සමවත මගින්ම එය රැකේ, ආයුෂ්මත් සංජීව තෙරුන්හට සෙයිනි. කියන ලදමැයි, “ආයස්මතො සඤ්ජීවස්ස සමාධිවිප්ඵාරා, ඉද්ධි, ආයමතො සාරිපුත්තස්ස සමාධිවිප්ඵාර ඉද්ධි’’ (ආයුෂ්මත් සංජීව තෙරුන්ගේ සමාධිබලයෙන් පතළ ඍද්ධියයි, ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ගේ සමාධිබලයෙන් පතළ ඍද්ධියයි) යනුවෙනි.
 
සඞ්ඝස්ස පතිමානනං’ යනු, එම භික්‍ෂුව කෙරෙහි සංඝයාගේ බහුමානයයි, එම හේතුවෙන්ම සංඝකර්මයෙකදී එම භික්‍ෂුවගේ පැමිණ සිටීම අපේක්‍ෂා කරන බවයි. එම භික්‍ෂුව පැමිණෙන තුරු සංඝකර්මය ආරම්භ නොකොට (පොරොත්තුව) සිටීමය යන අර්ත්‍ථයි. මෙහිලා භික්‍ෂුවගේ පූර්වකෘත්‍යය වනුයේ පතිමානනය නොව පතිමානනය ගැන සැලකිලිමත් වීමයි. එහෙයින් මෙසේ ආවර්ජනය කළයුතුය:- “ඉදින් මා සතියක් නිරෝධ සමාපත්තියට සමවැද හුන් කල ‘ඤත්ති’ ආදී වූ කිසියම් (විනය) කර්මයක් කළයුතු වේද, එකල යම්තාක් කිසි භික්‍ෂුවක් පැමිණ මා කැඳවත්ද ඒ තාක් නොනැගිටින්නෙමැ’යි (කැඳවූ කෙණෙහි නැඟිටින්නෙමැ’යි) මෙසේ ඉටා ගෙන සමවැදුණහොත් එකල (තමාගේ පැමිණීම අවශ්‍ය වූ කල) නැඟිටිනුයේමය.
 
යමෙක් එසේ නොකෙරෙත්ද, සංඝයාද රැස්වී ඒ භික්‍ෂුව නොදැක, “අසුවල් භික්‍ෂුව කොහිදැ”යි විමසා, “නිරෝධසමාපත්තියට සමවන්හ”යි කී කල, ‘සංඝයාගේ වචනයෙන් එම භික්‍ෂුව කැඳවනු යැ’යි කිසි භික්‍ෂුවක් යවත්ද, එවිට එම භික්‍ෂුව විසින් (සමවතට සමවන්නහුට) ඇසෙන තෙක් මානයේ සිට, “ඇවැත්නි, සංඝයා ඔබගේ පැමිණීම හරසරින් අපේක්‍ෂා කෙරෙති”යි කී කෙණෙහිම නැඟිටීම සිදුවේ. මෙසේ සංඝාඥාව වූකලී ඉතා ගරු (සුලු පටු නොවූ) දෙයකි; එහෙයින් එය ගැන සැලකිලිමත්ව, යම්සේ තමාම නැඟිටිත්ද, එසේ අදිටන් කොට සමවැදීම මැනවි.
 
සත්‍ථූපක්කොසන’ යන මෙහිද සමවදින්නාගේ පූර්ව කෘත්‍යය වනුයේ ශාස්තෘන් වහන්සේ විසින් කැඳවනු ලැබීමේ භව්‍යතාව ආවර්ජනය කිරීමයි; එහෙයින් එයද මෙසේ ආවර්ජන කළයුතුය:- “ඉදින් මා සතියක් නිරෝධයට සමවැද හුන් කල, යම්කිසි සිද්ධියක් පැන නැඟී, ශාස්තෘන් වහන්සේ ශික්‍ෂාපදයක් පණවත්ද, එවැනි කරුණක් සිදුවී ධර්මයක් හෝ දෙසත්ද, කිසිවක් පැමිණ මා නැඟිටුවන්නට පෙර නැඟිටිමි’යි මෙසේ අදිටන් කොට හුන්නේ එකල නැඟිටිනුයේමය.
 
යමෙක් වනාහි එසේ අදිටන් නොකෙරෙත්ද, ශාස්තෘන් වහන්සේද සංඝයා රැස්වූ කල ඒ භික්‍ෂුව නොදැක, “අසුවල් භික්‍ෂුව කොයිදැ’යි විමසා නිරෝධයට සමවැඳුනහ’යි කීකල, “ගොස් මාගේ වචනයෙන් ඒ භික්‍ෂුව කැඳවන්නැ”යි කිසියම් භික්‍ෂුවක් යවත්ද, එවිට ඒ භික්‍ෂුව විසින් (සමවැඳ හුන්) භික්‍ෂුවට ඇසෙන තෙක් මානයේ සිට “ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැ’යි කී කෙණෙහිම නැඟිටීම සිදුවේ. මෙසේ ශාස්තෘන් වහන්සේ විසින් කැඳවනු ලැබීම ගරුක වූ (සුලුපටු නොවු) දෙයකි. එහෙයින් එය ආවර්ජනය කොට, යම්සේ තමාම නැඟිටිත්ද, එසේ අදිටන් කොට සමවැදීම මැනවි.
 
අද්ධාන පරිච්ඡේද’ යනු තමාගේ ජීවිත කාලය පිරිසිඳීමයි. මේ භික්‍ෂුව කාලය පිරිසිඳීමෙහි ඉතා දක්‍ෂ විය යුතුය. තමාගේ ආයුසංස්කාරය සත්දවසක් පවතීද නොපවතීදැ’යි ආවර්ජන කොටම සමවැදිය යුතුය. ඉදින් සත් දිනක් ඇතුළත ඉකුත් වීමට ඇති ආයුසංස්කාරය ඇති කල, ආවර්ජන නොකොටම සමවැදුණහොත්, එම භික්‍ෂුවගේ නිරෝධ සමාපත්තිය මරණය වලකනු නොසමත්වන හෙයින්ද, නිරෝධ සමාපත්ති කාලය තුළ මරණය නොවිය හැකි හෙයින්ද සත්දවස අතරතුරදීම සමවතින් නවතින්නට සිදුවේ. එහෙයින් මෙය ආවර්ජන කොටම සමවැදිය යුතුය. සෙසු පූර්වකෘත්‍යයන් ආවර්ජන නොකළද මෙය ආවර්ජනය කළයුතුමය’යි කියන ලදි.