සරණාගමනය යනු

සරණාගමන කථා

සරණය, සරණාගමනය, සරණගතයා මේ වනවිට එම සරණාගමනයන් විෂයෙහි, දක්‍ෂ බව පිණිස සරණය සරණාගමනය යමෙක් සරණ යේද, හෙතෙම සරණාගමන ප්‍රභේදය සරණගමන ඵලය, සරණාගමනය කිලුටුවීම යන මේ දතයුත්තේය. සෙය්‍යථිදං ඒ කවරේද පදාර්ථ වශයෙන් හිංසා කෙරේනුය සරණ නම් වේ. එම සරණාගමනයෙන් සරණාගතයන්ගේ භය, තැතිගැනීම් දුක්, දුගති, පරික්ලේශ නැතිකරයි. විනාශ කෙරේය යන අර්ථයි. සරණ යනු තුණුරුවන්ට නමකි.

නැතහොත් හිතවත් බැව්හි පැවැත්මෙන් අහිතයන් වැලැක්වීමෙන් ද සත්ත්වයන්ගේ භයට හිංසා කෙරේනුයි භගවත් තෙම භව කතරින් එතර කිරීමෙන් හා අස්වැසිලි දීමෙන් ධර්මයද ස්වල්ප වූ සත්කාරයකින් මහත් වූ ප්‍රතිඵල හේතුවෙන් සංඝ තෙම ‘සරණ’ නම් වෙයි. එහෙයින් මෙම ක්‍රමයෙන්ද, රතනත්‍රය සරණ නම් වෙයි. තප්පාසාද තග්ගරුතා යන මෙයින් වෙසෙසින් නසන ලද කෙලෙස් ඇති තත්පරායණාකාරයෙන් පැවැත්තා වූ චිත්තෝද්පාදය තෙම සරණගමණ නම් වෙයි. එයින් යුත් පුද්ගල තෙම සරණ ගියේ වෙයි. උත්තප්‍රකාර චිත්තෝද්පාදයෙන් යුත් මට මේ තෙරුවන් සරණය. තෙරුවන් පිහිටයයි (පරායනයයි) මෙසේ එළඹියේය යන අරුති. මෙසේ පළමුකොට සරණය සරණයාමය යමෙක් සරණයේද හෙතෙමේ ද යන මේ තුන් කරුණු දතයුතුයැ.

සරණාගමන ප්‍රභේද

සරණාගමන ප්‍රභේද දුවිධ වේ. ලෝකෝත්තර සරණාගමනයද, ලෞකික සරණාගමනයද යනුවෙනි. ඔවුනතුරෙන් ලෝකෝත්තර සරණාගමනය නම් මග නැණින් දත් සිවුසස් ඇත්තහුට මහ නැණ පහළ වන මොහොතෙහි සරණාගමනය පිළිබඳ උප ක්ලේශයන්ගේ සමුච්ඡෙද ප්‍රහාණයෙන් අරමුණු වන හෙයින් නිවන අරමුණුව කිස සපුරමින් රත්නත්‍රය සම්පූර්ණ වීමයි.

ලෞකික සරණාගමනය පුහුදුන් හට සරණාගමන උප ක්ලේශයන්ගේ විෂ්කම්භනයෙන් අරමුණු වන හෙයින්, බුද්ධාදි ගුණයන් අරමුණු වීමෙන් සමෘද්ධ වෙයි. එය අර්ථ වශයෙන් බුද්ධාදී වස්තූන්හි ශ්‍රද්ධා ප්‍රතිලාභයයි. ශ්‍රද්ධාව මුල්කොට ඇත්තා වූ සම්මා දිට්ඨිය දශපුණ්‍ය ක්‍රියා විෂයෙහි දිට්ඨුජ්ජ කම්ම යයි කියනු ලැබේ.

ඒ මේ ලෞකික සරණාගමනය සිව් ආකාරයකින් පවතී. අත්ත සන්නීයාතන, තත්පරායනතා, සිස්සභාවූපගමන, පණිපාත යනුවෙනි. ඔවුන් අතුරෙහි අත්තසන්නීයාතන සරණාගමන නම්, මම අද පටන් මගේ ආත්මභාවය බුදුරදුන්ටද, ධර්මයටද, සංඝයාටද පාවා දෙමියි මෙසේ බුද්ධාදීන්ට ආත්ම පරිත්‍යාග යයි.

තත්පරායනතා සරණාගමනය නම් මම අද පටන් කොට බුදුරදුන් පිහිටකොට ඇත්තේ වෙමි. ධර්මය පිහිටකොට ඇත්තේ වෙමි. සංඝයා පිහිටකොට ඇත්තේ වෙමියි මා දැරුව මැනවයි (සරණ යාම) තත්පරායතනතා සරණාගමනයයි.

සිස්ස හාමූපගමන සරණාගමනය නම්, මම අද පටන් බුදුරදුන්ගේ අතවැසියෙක් වෙමි. ධර්මයේ අතවැසියෙක් වෙමි. සංඝයාගේ අතවැසියෙක් වෙමියි මා දැරුව මැනවයි මෙසේ ශිෂ්‍යභාවයට පැමිණීමයි.

පණිපාත සරණාගමනය නම්, මම අද පටන් අභිවාදන – පච්චුපට්ඨාන – අඤ්ජලිකම්ම, සාමීචිකමම බුද්ධාදි තුණුරුවන්ට කරමි යයි මා දැරුව මැනවයි මෙසේ බුද්ධාදීන් කෙරෙහි අතිශයින් පහත් (නිහතමානි) පැවතුම් ඇති ආකාරයයි.

මේ සතර ආකාරයන් අතුරෙන් එක්තරා ආකාරයකින් කරන්නහු විසින් සරණාගමනය ගන්නා ලද්දේම වෙයි.

තව ද භාග්‍යවතුන් වහන්සේට ආත්මභාවය පරිත්‍යාග කරමි. ධර්මයට ද, සංඝයාට ද ආත්මභාවය පරිත්‍යාග කරමි. ජීවිතය පරිත්‍යාග කරමි. මා විසින් ආත්මභාවය පරිත්‍යාග කරන ලද්දේමය. මා විසින් ජීවිතය පරිත්‍යාග කරන ලද්දේමය. ජීවිතය අන්තකොට බුදුන් සරණ යමි. මට බුදුසරණයි, නිලීනස්ථාන යයි ආරක්‍ෂ ස්ථානයයි මෙසේත් අත්ත සන්නීයාතන සරණාගමනය දතයුතුයි.

සත්‍ථාරඤ්ච වතාහං පස්සෙය්‍යං භගවන්තමෙව පස්සෙය්‍යං, සුගතඤ්ච වතාහං පස්සෙය්‍යං භගවන්ත මෙම පස්සෙය්‍යං, සම්මා සම්බුද්ධඤ්ච වතාහං පස්සෙය්‍යං භගවන්තමෙව පස්සෙය්‍ය යනුවෙන් මෙසේත් මහා කාශ්‍යප තෙරුන් බුදුන් සරණ යාම මෙන් භාවූපගමන සරණාගමනය දතයුතුයැ.

සො අහං විචරිස්සාමි ගාමගාමං පුරාපුරං

නමස්සමානො සම්බුද්ධං ධම්මස්සච සුධම්මතං

(ආලවක නම් වූ) මම සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමින් ධර්මයාගේද සුධර්මභාවය ප්‍රකාශ කරමින් ගමින් ගම නගරයෙන් නගරය හැසිරෙන්නෙමි.)

මෙසේ වූ ආලවක ආදීන්ගේ සරණාගමන මෙන් තත්පරායනතා සරණාගමනය දතයුත්තේය. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසංග කරිත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවතො පාදානි මුඛෙනච පරිචුම්බති පාණිහිච පරිසම්හාහති නාමඤ්ච සාවෙති. බ්‍රහ්මායු අහං භොගොතම බ්‍රහ්මායු බ්‍රාහ්මණො අහං භොගොතම බ්‍රාහ්මණො.

(ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙම, හුනස්නෙන් නැගී සිට උතුරු සළුව එකස්කොට භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුහුණින් ද සිඹියි. අතුල්වලින් ද පිරිමදී. නමද අස්වයි. භවත් ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි. භවත් ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි.)

යනුවෙන් මෙසේස්ත ප්‍රණිපාත සරණාගමනය දතයුතුයි.

ඒ මේ ප්‍රණිපාත සරණාගමනය, ඤාති – භය – ආචරිය දක්ඛිණෙය්‍ය වශයෙන් සිව්වැදෑරුම් වේ. එහි දක්ඛිණෙය්‍ය සරණාගමනයම සරණාගමන වෙයි. අන්‍යයන්ගෙන් සරණාගමනය නොවෙයි. ශ්‍රේෂ්ඨ වශයෙන් සරණය ගනු ලැබේ. ශ්‍රේෂ්ඨ වශයෙන්ම සරණාගමනයෙහි බිඳීමද වෙයි. යම් ශාක්‍ය වංශිකයෙක් හෝ කෝලිය වංශිකයෙක් හෝ බුදුරජ අපගේ නෑයෙකැයි වඳී ද, සරණයෙහි නොපිහිටියේ වෙයි. යමෙක් භවත් ගෞතමයන් වහන්සේ රාජපූජිතය. මහත් ආනුභාව සම්පන්නය. නොවැන්දොත් අනර්ථයක් කරන්නේ යයි බයින් වඳීද, සරණයෙහි නොපිහිටියේ වෙයි. යම් කෙනෙක් බෝධිසත්ව කාලයෙහි භාග්‍යවතුන් හමුවේදී කිසිවක් උගත්තේ යයි සිහිකොට බුද්ධ කාලයෙහි හෝ

එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය ද්වීහිකම්මං පයෝජයෙ

චතුත්‍ථඤ්ච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති

(භෝගයන්ගෙන් එක් කොටසක් පරිභෝග කරන්නේය. කොටස් දෙකක් කර්මාන්තයෙහි යොදන්නේය. සතරවැනි කොටස විපතක් ආපදාවකදී ගැනීමට තැන්පත් කරන්නේය.)

මෙබඳු වූ අනුශාසනයක් ඉගෙන හෝ මගේ ආචාර්ය මගේ ආචාර්යවරයෙකැයි වඳීද, සරණ නොපිහිටියේම වෙයි.

යමෙක් මෙතෙම ලෝකයෙහි අග්ග දක්ඛිණෙය්‍ය වේයයි වඳිද, එයින් හෙතෙම සරණයෙහි පිහිටියේ වෙයි.

මෙසේ පිහිටි සරණ ඇති. උපාසකයාගේ හෝ උපාසිකාවගේ හෝ අන්‍ය තීර්ථකයන් කෙරෙහි පැවිදි වූ නෑයෙකු මේ තෙම මගේ නෑයෙකැයි වඳින්නහුගේ සරණාගමනය නොබිඳෙයි. පැවිදි නොවූවකු ගැන කියනුම කවරේද? භය වශයෙන් රජෙකු වඳින්නහුගේද එසේමැයි. යම් හෙයකින් හෙතෙම රටවැසියා විසින් පුදන ලද බැවින් නොවැඳීම නිසා අනර්ථ නමුදු කරන්නේය. එබැවින් එසේම යම්කිසි ශිල්පයක් උගන්වන්නා වූ තීර්ථකයෙකු පවා මගේ ආචාර්යවරයෙකැයි වඳින්නහුගේ සරණය නොබිඳේ. මෙසේ සරණාගමනයෙහි ප්‍රභේද දතයුත්තේය.

මෙහිද සතර සාමඤ්ඤඵලයෝ ලෝකෝත්තර සරණාගමනයාගේ විපාක ඵලයයි. සියලු දුක් නැති කිරිම ආනිශංස ඵලයයි. එහෙයින් කියන ලදී.

යොච බුද්ධඤ්ච ධම්මඤ්ච සංඝඤ්ච සරණං ගතො

චත්තාරි අරිය සච්චානි සම්මප්පඤ්ඤාය පස්සති

(යමෙක් බුදුන් දහම් සඟුන් සරණකොට ගියේද හෙතෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්‍යග් ප්‍රඥාවෙන් දකී.)

දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං

අරියඤ්චට්ඨිංගිකං මග්ගං දුක්ඛූප සම ගාමීනං

එතං ඛො සරණං ඛෙමං එතං සරණ මුත්තමං

එතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති

(දුක්ඛ සත්‍යය ද සමුදය සත්‍යය ද දුක ඉක්ම වූ නිරෝධ සත්‍යය ද දුක් සංසිඳුවීමට පමුණුවන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද සම්‍යග් ප්‍රඥාවෙන් දකී.) මේ ලෝකෝත්තර සරණාගමනය වනාහි ක්‍ෂේමය උතුම් සරණයද වේ. ලෝකෝත්තර සරණාගමනයට පැමිණ සියලු සසර දුකින් මිදෙයි.

තවද නිත්‍ය වශයෙන් ද අනුපගමනාදි වශයෙන් ද මේ ලෝකෝත්තර සරණාගමනයාගේ ආනිශංස ඵලය දතයුතුය. මෙසේ වදාරණ ලද්දේමය. අට්ඨාන මෙතං භික්ඛවෙ අනවකාසො යං දිටඨිසමපන්නො පුග්ගලො කඤ්චි සංඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය සුඛතො උපගච්ඡෙය්‍ය කඤ්චි ධම්මං අත්තනො උපගච්ඡෙය්‍ය මාතරං ජීවිතා වොරොපෙය්‍ය පිතරං ජීවිතා වොරොපෙය්‍ය අරහන්තං ජීවිතා වොරොපෙය්‍ය දුට්ඨ චිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්‍ය, සංඝං භින්දෙය්‍ය අඤ්ඤං සත්‍ථාරං උද්දිසෙය්‍ය, නෙතං ඨානං විජ්ජති

(මහණෙනි, යම් හෙයකින් දිටඨි සම්පන්න පුග්ගල තෙම සංස්කාරයන් අතුරෙන් කිසිදු එක් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ ද, යන මේ කාරණය හේතු රහිතය. ප්‍රත්‍ය රහිතය. සැප වශයෙන් ගන්නේ ද, මව ජීවිතයෙන් තොර කරන්නේ ද පියා ජීවිතයෙන් තොර කරන්නේද රහතුන් වහන්සේගේ ජීවිතය තොර කරන්නේද, දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ උපදවන්නේ ද, සංඝභේදය කරන්නේද අන්‍ය ශාස්තෘවරයෙක් අදහන්නේ ද යන මේ කාරණා නොවන්නේමය.)

ලෞකික සරණාගමනයාගේ භව සම්පත් ද භෝග සම්පත් ද ඵලයම වේ. එහෙයින් කියන ලදී.

යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ නතෙ ගමිස්සන්ති අපායං

පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්ති

(යම් කිසිවෙක් බුදුරදුන් සරණ ගියාහුද, ඔවුහු සතර අපායට නොයන්නාහුය. මිනිස් සිරුර හැර දේවකාය පූරණය කරන්නාහුය.)

අනිකකුදු කියන ලදි. අථ ඛො සක්කොදෙවානමින්‍දො අසීතියා දෙවතා සහස්සෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසංකමි -පෙ- එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්‍දං ආයස්මා මහා මොග්ගල්ලානො එතදවොච සාධු ඛො දෙවානමින්‍ද බුද්ධං සරණාගමනං හොති. බුද්ධං සරණං ගමන හෙතු ඛො දෙවා නමින්‍ද එවමිධෙ කච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජන්ති තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධි ගණ්හන්ති. දිබ්බෙන ආයුනා දිබ්බෙන වණ්ණෙන සුඛෙන යසෙන ආධිපතෙය්‍යෙන දිබ්බෙහි රූපෙහි සද්දෙහි ගන්‍ධෙහි රසෙහි පොට්ඨබ්බෙහීති.

(ඉක්බිති සක්දෙව් රජ අසූදහසක් දේවතාවන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වෙත එළඹියේය. -පෙ- එකත්පසෙක සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙම මෙසේ වදාළහ. දෙවිඳුනි, බුදුන් සරණ යාම යහපති. දෙව්රජුනි, බුදුන් සරණ යාම හේතුකොටගෙන මෙසේ මෙලොව ඇතැම් සත්ව කෙනෙක් කය බිඳීමෙන් මරණින් මත්තෙහි, සොඳුරු ගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයකට උත්පත්ති වශයෙන් පැමිණෙති. ඔවුහු අන්‍ය දෙවියන් කරුණු දහයකින් යටපත් කරත්. දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්ණයෙන් සැපයෙන් යසසින් අධිපති භාවයෙන් දිව්‍ය වූ රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් යයි.)

ධර්මය සරණයාමෙහිද සංඝයා සරණයාමෙහිද මේ නයමැයි. තවද වේලාම සූත්‍ර ආදින්ගේ වශයෙන් ද සරණාගමනයාගේ ඵල විශේෂය දතයුතුයැ. මෙසේ සරණාගමන ඵලය දතයුතුයැ.

එහි ලෞකික සරණාගමනය වස්තු තුන විෂයෙහි, අඥාන, ශංසය, මිථ්‍යා ඥානාදීන් හේතුකොට කිලිටු වන්නේය. මහා බැබලීමක් ඇති නොවේ. මහත් පැතිරීමක් නොවෙයි. (මේ විපාක වශයෙනි) ලෝකෝත්තර සරණගමයාගේ කිලිටිවීමක් නොමැත.

ලෞකික සරණාගමනයාගේ භේද දෙකකි. සාවජ්ජ, අනවජ්ජ කියායි. ඔවුනතුරෙන් සාවජ්ජ භේදය අන්‍ය ශාස්තෘවරයන් විෂයෙහි අත්ත සන්නිය්‍යාතනාදි වශයෙන් වෙයි. එය අනිටුඵල ඇත්තේ වෙයි. අනවජ්ජ (නිවැරදි) භේදය කළුරිය කිරීමෙන් වෙයි. හේ විපාක නැති බැවින් අඵලය. ලෝකෝත්තර (සරණාගමනයාගේ) භේද නොම ඇත්තේය. ඒ එසේමැයි. භවාන්තරයෙහිදු අරියසාවක තෙමේ අන්‍ය ශාස්තෘවරයෙකු නොඅදහයි. මෙසේ සරණගමනයාගේ කිළිටිවීම් ද භේද ද දතයුතුයැ.

උපාසකො මං භවං ගොතමො ධාරෙතු යනු මා උපාසකයකැයි භවත් ගෞතමයන් වහන්සේ මා මෙසේ දරන සේක්වා. දැනගන්නා සේක්වා යන අර්ථයි

පාටිහාරිය පක්‍ෂ උපොෂථය යනු

ධම්මික සූත්‍ර වර්ණනාව

මෙසේ පෙහෙවස් අංග දක්වා දැන් පෙහෙවස් කාලය සඳහන් කරමින් තතොච පක්‍ඛස්ස යන ගාථාව වදාළහ. තතො පද පිරවීමට යෙදූ නිපාතයකි. පක්‍ඛස්සුපවස්සුපොසථං යැයි මෙසේ පසුපදය යෙදිය යුතුය. පක්‍ඛස්ස චාතුද්දසී පඤ්චදසී අට්ඨමී මේ දින තුනෙහි පෙහෙවස් වසව, ඒ අටසිල් සමාදන්ව කල්ගතකොට, පාටිහාරිය පක්‍ඛඤ්ච වස් එළඹෙන මුල්කොටස වූ ඇසළ මාසයත්, වස් කාලයට ගැනෙන තුන් මාසයත්, ඉල් මාසයත් යන මාස පහ පාටිහාරිය පක්‍ඛ යැයි හඳුන්වනු ලබයි. ඇතමෙක් ඇසළ, ඉල්, මැදින් යන මාස තුන දක්වති. පෙහෙවස් සමාදන් වන (පොහොය යයි සම්මත) දිනවල පුරපස වැනි කොටස් අනුව, මුලින් හා පසු දවස් ලෙස, දහතුන්වන දිනය, පසළොස්වක දිනය, අමාවක දිනට පසු හත්වන, නවවන දිනය සේ දින සතර සතර බැගින් සැළකිය යුතු බව ඇතැම්වූ අදහස් කරති. එය කැමති පරිදි පිළිගත යුතුය. පින් කිරීමට බිය විය යුතු නොවේ. මෙම (පොහොය යැයි) සම්මත වෙසෙස් කාලය අනුවද මුළුමනින්ම එක්දිනක් හෝ අත්නොහැර, පෙහෙවස් වසන්නේ යැයි ගැළපිය යුතුය.

චතුමහාරාජ සුත‍්ත වණ‍්ණනා

පාටිහාරියපක්‍ඛංච යනු මෙහි පාටිබාරිය පක්‍ඛ නම් ඇතුළු වස තෙමස නිබඳ උපොෂථයයි. එය නොහැකිවන්නාට පවාරණ දෙක අතුරෙහි එක්මසක් නිබඳ පොහොයයි. එයද නොහැකිවන්නාට පළමුපවාරණයෙහි පටන් එක් අඩමසක් පාටිහාරිය පක්‍ෂයයි. අට්ඨඞ්ග සුසුමාගතං යනු ගුණ අටකින් යුක්තවූයි. යොපස්ස මාදිසො නරො යනු යම් සත්වයෙක් මාබඳුවන්නේය. ශක්‍රයා වනාහි කියනලද ආකාරඇති උපොෂථ කර්‍මයෙහි ගුණය දැන දෙදෙව්ලොව සැපත් අත්හැර මාසයට අටවරක් පෙහෙවස් රකියි. එබැවින් මෙසේ කියනලදි. මෙබඳුවූ උපොෂථකර්‍මයෙන් ශක්‍රසම්පත්තියට පැමිණීමට හැක්කේය යන මෙය මෙහි අදහසයි.

සානු සූත්‍ර වර්ණනාව

පාටිහාරියපක්‍ඛඤ්ච මිනිස්සු අටවක උපෝසථයට ඉදිරියෙනුත් පසුවත් කරන්නෙමු යි සත්වැනි දිනත් නව වැනි දිනත් උපෝසථ අංග සමාදන් වෙති. තුදුස්වක හා පසළොස්වක දිනවලත් පෙරත් පසුත් (උපෝසථ) කරන්නාහු දහතුන් වැනි දනිත්, පුරපස පළමු වන දිනත් සමාදන් වෙති. වස් විසීම අනුගමනය කරන්නමෝ යි පවාරණ දෙක අතරේ අඩමසක් නො කඩවවා පෙහෙවස් විසීම කරන්නාහු ය. මේ අරභයා ප්‍රාතිහාර්ය පක්ෂය යි කියන ලදි. 

 
 

විකාලභෝජනය යනු

මහණෙනි එවු, ඔබද මේ ආනිසංස පස බලමින් රාත්‍රිභෝජනය අත්හැර වළඳවු මෙසේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රි විකාලභෝජනය දිවා විකාල භෝජනයැයි මේ භෝජන දෙක එක් පහරින් අත් නොහරවා එක්කලෙක දිවා විකාල භෝජනයම අත්හරවාපු සේක. නැවත බොහෝ කලකට පසු රාත්‍රි විකාලභෝජනය අත්හරවනසේක් මෙසේ කීසේක. කුමක් නිසාදයත්, මේ භෝජන දෙක සංසාරයෙහි පුරුදු වූවකි ගඟට බට ජලය මෙන් ඉදිරියටම යන්නකි. එළිමහනෙහිද ගෙහිද අහර අනුභවකොට වැඩුණු සුකුමාර කුලපුත්‍රයෝ භෝජන දෙක එක් පහරින් අත්හරින්නාහු ක්ලාන්ත වෙති. ඒනිසි එක්පහරින් අත්නොහරවා භද්දාලි සූත්‍රයෙහි දිවා විකාල භෝජනය අත්හැරවු සේක. කීටාගිරි සූත්‍රයෙහි රාත්‍රි විකාල හෝජනය අත්හරවන්නේ තර්ජනය කොට හෝ අවමන් කොට නොවේ. ඒවා අත්හැරීම නිසා අල්පාබාධතාව හඳුනා ගනිවුයයි මෙසේ ආනිසංස දක්වා අත්හැරවු සේක. 

ආනිසංශ

  1. නීරෝග බව
  2. නිදුක්බව
  3. සැහැල්ලු පැවැත්ම
  4. සුවවිහරණය

මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි: බුදුහු ශාස්තෘහ. මම ශ්‍රාවකයෙමි. බුදුහු දන්නාසේක. මම නො දනිමියි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන වැටෙන සැදැහැති ශ්‍රාවකයක්හට ශාස්තෘශාසනය ස්නේහවත් වැ වැඩෙනුයේ වෙයි, මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි.


 

බත් ව්‍යඤ්ජන කැවිලි පෙවිලි පලතුරු ආදි යාවකාලික ආහාරයන් නො කල්හි වැළඳීමෙන් වැළකීම “විකාල භෝජනා වේරමණී” නම් වේ. අරුණෝදයේ පටන් ම මධ්‍යාහ්නය දක්වා කාලයෙහි පමණක් බුද්ධාදි ආර්‍ය්‍යයෝ ආහාර වළඳන්නා හ. ඒ කාලය හැර දවසේ ඉතිරි කාලය විකාල නම් වේ. විනයෙහි කන බොන දෑ සියල්ල ම යාවකාලික ය – යාමකාලිකය – සත්තාහ කාලිකය – යාවජීවිකය කියා කොටස් සතරකට බෙදා තිබේ. විකාලයෙහි යාවකාලික ආහාරයක් උගුරෙන් ඔබ්බට ගිලීමෙන් මේ සිකපදය බිඳේ. 

විකාලය වීම ය, 

යාවකාලික ආහාරයක් වීම ය, 

ගිලීම ය කියා විකාල භෝජනයට අංග තුනක් ඇත්තේ ය.

මේ සිකපදය රැකිය හැකි වීමට අරුණ හා මධ්‍යාහ්නය දත යුතු ය. “අරුණය” යි කියනුයේ හිරු උදාවීමට කලින් අහසෙහි නැගෙනහිර පැත්තේ පෙනෙන අප්‍ර‍කට රතු පැහැයෙන් යුක්ත ආලෝකය ය. ඒ ආලෝකය මතුවීමට අරුණ නැඟීම යයි කියනු ලැබේ. විනය ක්‍ර‍මයේ සැටියට දිනයේ පටන් ගැනීම ගණන් ගන්නේ අරුණෝදයෙනි. අරුණ නඟින වේලාව පිළිබඳ නොයෙක් ආචාර්ය මත ඇත්තේ ය. එය පැය විනාඩි ගණන්වලින් හරියට දැක්වීමට දුෂ්කර ය. සාමාන්‍යයෙන් පෙරවරු 5 ටත් 5-30 ටත් අතර කාලයේ අරුණ නැඟුණු වේලාවේ පටන් පැවිද්දන්ටත් අටසිල් රක්නා උපාසකෝපාසිකාවන්ටත් ආහාර වැළඳීම සුදුසු ය. රුණ නැඟීමට කලින් වැළඳුව හොත් සිකපදය බිඳේ. අලුයම් කාලයේ අහස දෙස බලා අරුණ සොයා ගත යුතු ය.

සාමාන්‍යයෙන් දවල් දොළහ මධ්‍යාහ්නය ලෙස සලකනු ලැබේ. එහෙත් සෑම දිනයකම මධ්‍යාහ්නය දවල් 12 ලෙස නො සැලකිය යුතු ය. රෑ දාවල් ප්‍ර‍මාණය දිනෙන් දින වෙනස් වේ. අවුරුද්දේ සමහර කාලයක දවාල පැය දොළසකට අඩුය. සමහර කාලයක පැය දොළසකට වැඩි ය. සූර්‍ය්‍යයා උදාවන වේලාව හා අස්ත වන වේලාව පඤ්චාංග ලිත්වල සඳහන් කර තිබේ. දවසේ ප්‍ර‍මාණය එයින් සලකා ගෙන මධ්‍යාහ්නය සොයා ගත යුතු ය. සමහර දිනයෙක දොළහට විනාඩි ගණනකට කලින් ද සමහර දිනයෙක දොළහ පසු වී විනාඩි ගණනෙකින් ද මධ්‍යාහ්නය පැමිණෙන්නේ ය. විකාල භෝජන් සික පද රක්නවුන් විසින් මධ්‍යාහ්නය පැමිණිමට කලින් ආහාර වැළඳීම අවසන් කර ගත යුතුය. මධ්‍යාහ්නය ඉක්මීමෙන් පසු එක් බත් හුලකුදු වැළඳුව හොත් සික පදය බිඳේ.

ගිහියාගේ හා පැවිද්දාගේ වෙනස කැපී පෙනෙන කරුණු වලින් එකක් මේ සික පදය යි. එ බැවින් මෙය සැහැල්ලු කොට නො සිතා ආදරයෙන් රැකිය යුතු ය. විකාල භෝජනයෙන් නො වළකින පැවිද්දා ගේ තත්ත්වය ඉතා පහත් ය.


විකාලයෙහි කැප පාන වර්ග

  1. අඹ පානය (අම්බපානං)
  2. ජම්බු පානය (ජම්බුපානං)
  3. ඇට සහිත කෙසෙල්‌ පානය (චොචපානං)
  4. ඇට රහිත කෙසෙල්‌ පානය (මොචපානං)
  5. මී පැණි පානය (මධුපානං) (පැන්‌ මිශ්‍ර කළ යුතු ය)
  6. මිදි පානය (මුද්දිකපානං)
  7. ඕලු / නෙළුම්‌ / මානෙල්‌ පානය (සාලූකපානං)
  8. මසන්‌ පානය (ඵාරුසකපානං)
  9. උක්‌ යුෂ

අනෙකුත්‌ කැප පාන ( කිහිපයක්‌ )

දිවුල්‌ පානය

ස්ට්‍රෝබෙරි පානය

අලිගැටපේර පානය

ඇපල්‌ පානය

පේර පානය

ඇඹරැල්ලා පානය

සියඹලා පානය

ලොවි පානය

දොඩම්‌ / නාරං / දෙහි පානය

උගුරැස්ස පානය

නෙල්ලි පානය මොර පානය

වෙරළු පානය රඹුටන්‌ පානය

දෙලුම්‌ පානය මැංගුස්‌ පානය

පැපොල්‌ පානය*

සියලු පුෂ්ප රස (මී පුෂ්ප හැර)

අන්නාසි පානය

සියලු පත්‍ර රස (එළවලුපත්‍ර හැර)

බෙලි පානය 

සියලු ඵල රස (ධාන්‍ය / මහඵල හැර)

උක්‌ හකුරු දියකර සාදන පානය

විකාලයෙහි කැප වන්නේ උක්‌ හකුරු පමණය. තල්‌ හකුරු, කිතුල්‌ හකුරු, පොල්‌ හකුරු ආදී අනෙකුත්‌ හකුරු වර්ග කැප නැත. ගිලනාට පමණක්‌ උක්‌ හකුරු දත්වලින්‌ සපා කෑමට කැපය. නොගිලනාට කැප වන්නේ උක්‌ හකුරු දිය කර සාදාගත්‌ පානය යි.

මෙම පාන වර්ග සැදීමේදී පළතුරු වර්ග ගෙන අතින්‌ මැඬ ( හෝ Blend කර ), ඇල්‌ පැන්‌ / සීතල පැන්‌ මිශ්‍ර කර, සීනි / උක්හකුරු / ලුණු ආදිය සුදුසු පරිදි යොදා, (කුඩා කැබලි වත්‌ නොසිටින සේ) හොඳින්‌ පෙරා පූජාකිරීම කැපය. අව්වෙන්‌ කකාරා පූජාකිරීම ද කැපය. ගින්නෙන්‌ රත්‌ කර පූජාකිරීම අකැපය. ගින්නෙන්‌ රත්‌ කර පූජා කිරීමට සුදුසු වන්නේ ගිලන්පස පමණි. බෙහෙත්‌ පිණිස ගිලනන්ට සුදුසු දේ විකාලයෙහි දී කැප ය. (මෙයින් අදහස් කරන්නේ මැත කාලේ වෛද්‍යවරුන් අනුමත කරන ආහාර නොවේ.)

*පැපොල්‌ (ගස්ලබු) අකැප යැයි ඇතමෙක්‌ සඳහන්‌ කළ ද එය ‘පොල්‌” හෝ ‘ලබු” වර්ගයක්‌ නො වන බැවින්‌ අකැප වන ක්‍රමයක්‌ නො පෙනේ. විමසන්න. තමන්ට අකැප යැයි සිතෙන මොන යම්‌ හෝ පානයක්‌ නො ගැනීමෙන්‌ තමන්ගේ සීලයට වන හානියක්‌ නැත.

පංච මධුර – ගිතෙල්‌, වෙඩරු (Butter), තලතෙල්‌, උක්පැණි, මීපැණි

චතු මධුර – ගිතෙල්‌, වෙඬරු (Butter), උක්පැණි, මීපැණි

සියලු දෑ සම ප්‍රමාණයෙන්‌ ගෙන හොඳින්‌ මිශ්‍ර කර ගන්න.

ගින්නෙන්‌ රන්‌ නො කරන්න. මෙම වර්ග 5 ම විකාලයෙහි කැපය.

උතුම්‌ වූ භාග්‍යවතුන්‌ වහන්සේ ජීවමානව වැඩ වාසය කරන බව සිතින්‌ අරමුණු කර මහත්‌ වූ සද්ධාවෙන්‌ මහත්‌ වූ ගෞරවයෙන්‌ උසස්‌ ම ආකාරයෙන්‌ නම තමාට හැකි උපරිම මට්ටමින්‌ රාජාධිරාජයෙකුට දක්වන ගෞරවයට වඩා වැඩි ගෞරවයක්‌ දක්වා කර්ම එල අදහා පූජා කර දෙලෝ වැඩ පිණිස ද නිවන අවබෝධවීම පිණිස ද හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා කළ යුතු.

ඵල යුෂ පිදීමේ ආනිසංස – සොවාන්‌, සකදාගාමී, අනාගාමි, අර්හත්‌ ඵල රසයන්‌ විපාක වශයෙන්‌ ලැබීම


විකාලයෙහි අකැප පාන වර්ග

තල්‌ / පොල්‌ / වරකා / දෙල්‌ / ලබු / කොමඩු / පුහුල්‌ / පිපිඤ්ඤා / කැකිරි වැනි

පාන වර්ග සහ මෙම නව මහඵලයන්ට අනුරූප ඵලරසයන්‌,

දුරියන්‌ පානය / එළවලු යුෂ වලින්‌ සදාගත්‌ පාන වර්ග සහ සුප්‌ වර්ග අකැප ය.

සව්‌, බාර්ලි ආදී ධාන්‍ය රස, Milo / Nestomalt වැනි මොල්ට්‌ වර්ග, කිරි සහිත / පිටි සහිත පාන වර්ග.
දිවුල්‌, වෙරළු වැනි යුෂ වර්ග – බත්, කිරි, මුදවපු කිරි, (උක්හකුරු හැර) අනෙකුත්‌ හකුරු වර්ග වැනි අකැප දෙයක්‌ සමග මිශ්‍ර නම්‌ අකැප ය.

ගිලන්‌ නොවී හෝ ගිලන්‌ වීමට පෙර ගිලන්පස (ගිලාන ප්‍රත්‍ය) කැප නැත. රෝගයක්‌ ඇති කල්හි ම ගිලන්පස කැප ය. ගින්නෙන්‌ රත්‌ කරන සියලු පාන (තේ, කෝපි, ඉරමුසු, බෙලි ආදී) ගිලනාට පමණක්‌ කැප ය.

 

අසම සම යනු

සමො සමාන, සමෙහි විපස්සී ආදී බුදුවරු සහ ඒ බුදුවරු මෙන් අවබෝධය ලද බැවින් සම වූ යැයි කියනු ලබති. උන්වහන්සේලා අවබෝධ කළ සියලු කරුණුවලද, අත්හළ යුතු වූ වැරදිවලද කිසිදු වෙනසක් නැත. (අවබෝධයට) පැමිණි මග, ආයු කාලය, කුලය, උස, මහබිනික්මන, දහම් අවබෝධයට ගත් උත්සාහය, සෙවන දුන් බෝධිය හා රැස්මාලාවෙහි නම් වෙනස්කම් ඇත. එසේ උන්වහන්සේලා විසින් අවම ලෙසින් අසංඛෙය්‍ය සතරකුත් කප් සියදහසක් පෙරුම්දම් පුරති. උපරිම කාලය අසංඛෙය්‍ය දහසයකුත් කප් සියදහසකි. මේ වූකලී බුදුවරුන්ගේ අද්ධානවෙමත්තතා නම් වෙයි. ජීවත්වන අඩුම කාලය වසර සියයක් ද ජීවත්වන වැඩිම කාලය වසර සිය දහසක් අතර පවත්නා යුගයක බුදුවරු උපදිති. මේ උන්වහන්සේලාගේ ආයුවෙමත්තතා වෙයි. රජකුලයෙහි (කැත්කුල) හෝ බමුණු කුලයෙහි ඉපදීම කුලවෙමත්තතා නම් වේ. වැඩිම උසින් අසූඅට රියනකි. අවම උස පහළොස් රියනක් හෝ දහඅට රියනක් පමණ වෙයි. මෙය පමාණවෙමත්තතා වේ. අහසින් හෝ ඇතුපිටින් හෝ, අසකු පිටින් හෝ රියකින්, දෝලාවකින් හෝ මහබිනික්මන් කරති. විපස්සී, කකුසඳ (බෝසත්වරු) අස්රියෙන් නික්මුණහ. සිඛී, කෝණාගම (බෝසතුන්) ඇතුන් පිටිනි. වෙස්සභූ (බෝසත්) දෝලාවෙනි. කස්සප (බෝසත්) අහසිනි. සැකිමුනි (බෝසත්) අසුපිටිනි. මෙය නෙක්‍ඛම්ම වෙමත්තතා ය. දහම් අවබෝධයට සත්දිනක්, අඩමසක්, එක්මසක්, දෙමසක්, තෙමසක්, හයමසක්, එක් වසරක්, වසර දෙකක්, තුනක්, හතරක්, පහක් හෝ හයක් ගතවේ. පධාන වෙමත්තතා නම් මෙයයි. බෝරුක් ලෙස ඇසතු හෝ නුග හෝ වෙනත් ගසකි. මෙය බොධිවෙමත්තතා ය. බුදුරැස් විහිදීම බඹයක්, බඹ අසූවක් වන අතර, පැහැයෙහි සීමාවක් දැක්විය නොහැකිය. එහි ආලෝකය බඹයක් දුර වුවත්, බඹ අසූවක් වුවත්, හැමටම එක සමානය. අපමණ වූ රැස් දහරා ආලෝකය දුරටද, ළඟටද විහිදෙයි. ගවුවක්, ගවු දෙකක්, යොදුනක්, යොදුන් බොහෝ ගණනක් හෝ සක්වළ කෙළවරටද විහිදේ. මංගල බුදුරදුන්ගේ සිරුරේ පැහැයෙහි ආලෝකය දසදහසක් සක්වළ පැතිර ගියේය. කරුණු මෙසේ වුවද සියළුම බුදුවරුන්ගේ සිත් අදිටන් පරිදි, කැමති පමණ දුරකට පැතිරෙයි. රංසිවෙමත්තතා නම් මේ වෙනස්කම් අට හැර, අවබෝධ කළ යුතු සියළුම දෙයෙහිත්, අත්හැර දැමිය යුතු යැයි හෝ, වරද සේ පෙන්වාදෙන කරුණුවල හෝ බුදුවරුන් අතර වෙනස් බවක් නැත. එහෙයින් සමාන යැයි කියනු ලැබේ. මෙසේ ඒ බුදුවරු සමවූවන් හා සමවෙති.

විසමෙහි දූරෙ පසේබුදුවරු පසේබුදුවරුන් හා සමවෙති. අනෙක් සියළු සතුන් හා සම නොවෙති. මුළු දඹදිව මුළුල්ලේම ළංවන සේ, එකට ගෑවෙන සේ පසේ බුදුවරුන් වැඩසිටියද ගුණවලින් එක සම්මා සම්බුදුවරයකු හා සළකන විට දහසයෙන් එක් කොටසක්වත් තරම් නොවේ. එසේනම් (බුදු) සව්වන් පිළිබඳව කවර කතාද? එහෙයින් විසමෙහි දූරෙ යැයි කීහ. තථාගතො හොති වචන දෙක අතර දූරෙ යනුවෙන් (තථාගතො දූරෙ හොති) අනන්ත පඤ්ඤො අපමණ වූ නුවණින්, පොදු මිනිසුන්ගේ නුවණ හා සළකනවිට, සෝවාන් මග ආ තැනැත්තාගේ නුවණ වැඩිය. සෝවාන් බවට පත් තැනැත්තාගේ නුවණ ඊටත් වැඩිය. මෙසේ අරහත් වූවකු දක්වා සළකනවිට, පසේ බුදුවරයකුගේ නුවණ වැඩිය. පසේ බුදුනුවණ හා සළකනවිට තථාගතයන් වහන්සේගේ නුවණ වැඩියැයි නොකිව යුතුය. එහිදී කිවයුත්තේ තථාගත නුවණ පමණ කළ නොහැකි බවයි. එහෙයින් එහි කෙළවරක් දැක්විය නොහැකිය. එහෙයින් අනන්ත පඤ්ඤො යැයි කීහ. අනුපලිත්තො තණ්හා ආසා හා දැඩිව ගත් හැඟීම්වල නොඇළුණු, ඉධ වා හුරං වා මෙලොව හෝ පරලොවෙහි, මේ කරුණුවලින් අදහස් වන්නේ, බුදුවරයකුම හා සම වූ, අන් සියළු දෙනාගේම සමතාවයෙන් ඉතා දුර වූ බවයි. (අසම සම) කවර හෙයින්ද? නුවණින් අපමණ වූ, මෙලොව හෝ පරලොව හෝ කිසිම දෙයක නොඇළුණු, තථාගතයන් වහන්සේ (යාග) බත හා කැවිලි ආදිය පිළිගැනීමට සුදුසු වෙති.