මහාපුරිස ලක්ඛණ

“ඉඩ භික්ඛවෙ, මහාපුරිසො සුප්පතිට්ඨීත පාදො හොති, යම්පි භික්ඛවෙ මහාපුරිසො සුප්පතිට්ඨීත පාදො හොති, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිස ලක්ඛණං භවති.

පුන ව පරං භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨා පාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි, යම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

පුන ව පරං භික්ඛවෙ, මහාපුරිසො ආයතපණ්හී හොති, (4) දීඝංගුලී හොති, (5) මුදුතලූත හත්ථපාදො හොති. (6) ජාලහත්ථපාදො හොති, (7) උස්සංඛපාදො හොති (8) එණි ජංඝො හොති, (9) ඨීතකොව අනෝනමන්තො උභොහිපාණිතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති, (10) කොසොහිතවත්ථගුය්හො හොති (11) සුවණ්ණවණ්ණො හොති, කඤ්චනසන්නිහත්තවො, (12) සුඛුමච්ඡවි හොති, සුඛුමත්තා කායෙ රාජොජල්ලං න උපලිම්පති, (13) එකෙක ලොමො හොති එකෙකානි ලොමානි ලොමකූපෙසු ජාතානි, (14) උද්ධග්ගලොමො හොති උද්දග්ගානි ලොමානි ජාතානි, නීලානි අඤ්ජනවණ්ණානි වත්තානි දක්ඛිණාවත්තජාතානි (15) බ්‍රහ්මුජ්ජුගත්තො හොති, (16) සන්තුස්සදො හොති, (17) සීහපුබ්බද්ධ කායො හොති, (18) චිතන්තරංසො හොති (19) නිග්‍රොධපරිමන්ඩලො හොති යාවතක්වස්ස කායො තාවතක්වස්ස බ්‍යාමො, යාවතක්වස්ස බ්‍යාමො තාවතක්වස්ස කායො හොති, (20) සමවත්තක්ඛන්ධො හොති, (21) රසග්ගසග්ගී හොති, (22) සීහහනු හොති, (23) වත්තාළීස දන්තො හොති, (24) සමදන්තො හොති (25) අවිවරදන්තො හොති (26) සුසුක්කදාඨො හොති, (27) පහූතජිව්හො හොති, (28) බ්‍රහ්මස්සරො හොති, කරවීකහාණී, (29) අහිනීල නෙත්තො හොති, (30) ගොපඛුමො හොති, (31) උණ්ණා භමුකන්තරෙ ජාතා හොති, ඔදාතා මුදුතුලනිභා ඉදම්පි භික්ඛවෙ මහාපුරිසස්ස මහා පුරිසලක්ඛණං භවති. (32) පුන ච පරං මහාපුරිසො උණ්හීසසීහො හොති, යම්පි භික්ඛවෙ මහාපුරිසො උණ්හීසසීසො හොති, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති, ඉමානි ඛො තානි භික්ඛවෙ ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානී”.

  1. සුප්පතිට්ඨීතපාදො

සාමාන්‍යය ජනයා පය බිම තබන කල්හි පයෙහි අග හෝ විලූඹ හෝ පාර්ශ්වයක් හෝ පළමුවෙන් පොළොවට පැමිණේ. බිම තැබූ කල්හි ද මැද පොළොවෙහි නො සැපී උස්ව සිටී. තථාගතයන් වහන්සේ පය බිම තබන කල්හි සැම තැන එක වර පොළොව ස්පර්ෂ කරයි. මැද උස්ව නොසිටී, මේසෙන් හැන්දක් මෙන් සැම තැනින් පොළොව ස්පර්ශ කර ගෙන සීටී. මේ සුප්පතිට්ඨිතපාදතා නම් පුරුෂ ලක්ෂණ ය.

  1. හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි

තථාගතයන් වහන්සේගේ යටි පතුල් යුවළෙහි දහසක් දැවි ඇති චක්‍රසටහන් යුවළක් පිහිටා ඇත්තේ ය. මේ එක් මහා පුරුෂ ලක්ෂණයෙකි. එය වටා ස්වස්තිකය ශ්‍රීවත්සය, නන්ද්‍යාවර්තය, සෞවස්තිකය, අවතංසය යනාදි මඟුල් ලකුණු බොහෝ ගණනක් පිහිටා ඇති බව අටුවාවල කියා ඇත්තේ ය.

  1. ආයතපණ්හි

දික් වූ විළුම් ඇති බව එක් මහා පුරුෂ ලක්ෂණයෙකි. සාමාන්‍ය ජනයන්ගේ අක් පතුල් දිගය. විළුම් මත සිහින් කකුල් පිහිටා ඇත්තේය. ඇතැමුන්ගේ විළුම් මඳක් ඇත්තේ ය. ඇතැමුන්ගේ විළුම් සැසැදැමුවාක් මෙන් පෙනෙන්නට නැත. තථාගතයන් වහන්සේගේ පතුලෙන් දෙකෙන් කොටසක් ඉදිරියට ඇත්තේ ය. තුන් වන කොටසෙහි සිහින් කකුල් පිහිටා ඇත්තේ ය. ඉන් පස්සට විලූඹ පතුලෙන් සතරෙන් කොටසක් ඇත්තේ ය. එය ලියවන ලද්දක් සේ ශෝභන ලෙස පිහිටා තිබේ.

  1. දීඝංගුලි

සෙස්සන්ගේ ඇඟිලි සමහරක් දික් ය. සමහරක් කෙටි ය. බුදුරදුන්ගේ අත් පාවල ඇඟිලි මුල මහත්ව අග සිහින්ව දිගින් සමව පිහිටා ඇත්තේ ය.

  1. මුදු තලුණ හත්ථපාදො

බුදුරදුන්ගේ අතුල් පතුල් උපන් සැටියේ දරුවකුගේ අතුල් පතුල් මෙන් මෘදුව ඇත්තේ ය.

  1. ජාලහත්ථ පාදො

බුදුරදුන් අතෙහි ඇඟිලි සතර හා පයේ ඇඟිලි පස දක්ෂ ශිල්පියකු විසින් ලිය වූ පොලූ යොදා කළ කවුළුවක අක්මුල් හා ගැට එක පෙලට පවත්නාක් මෙන් අක්මුල් හා සන්ධිස්ථාන එක පෙළට සමව පිහිටා ඇත්තේ ය.

  1. උස්සංඛ පාදො

බුදුරදුන්ගේ පාදයෙහි ගොප් ඇට අන්‍යයන්ගේ ගොප් ඇට පිහිටි තැනට ඉහළින් පිහිටා ඇත්තේ ය. සෙස්සන්ගේ ගොප් ඇට පයේ පහළ පිහිටා ඇති බැවින් පතුල් තද වී ඇත්තේ ය. පහසුවෙන් ක්‍රියා කරවිය නො හැකිය. බුදුරදුන්ගේ පාවල ගොප් ඇට ඉහළින් පිහිටා ඇත් බැවින් පතුල් පහසුවෙන් ක්‍රියා කරවිය හැකි ය. ගමන් කරන කල්හි සෙස්සන්ගේ පතුල් ඇතුන්ගේ මෙන් පිටිපසට පමණක් පෙනේ. ඉදිරියෙන් නො පෙනේ. බුදුරදුන් වඩනා කල්හි උන්වහන්සේ ගේ පතුල් ඉදිරි, පසු දෙසින් ම දැකිය හැකිය.

  1. එණිජංඝො

සෙස්සන්ගේ සිහින් කකුල් පිටිපසින් මස් ගොබයකින් යුක්ත වී ඉදිරිපස ඇට මතු වී ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ ජංඝාවෝ එණි නම් මෘගයන්ගේ ජංඝා මෙන් මසින් වට වී ඇත්තාහ.

  1. ඨීතකොව අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති, පරිමජ්ජති.

සෙස්සන්ට පිට ගෙන තමන්ගේ දණ නො නැමී අත නො ගෑ හැකි ය. තථාගත ශරීරය සිට ගෙන නො නැමී දණ අතින් පිරිමැදිය හැකි පරිදි ඇත්තේ ය. එය පමණට වඩා අත් දික්ව පිහිටිමක් ලෙස නො සැලකිය යුතු ය. එයට සුදුසු වන පරිදි තථාගත ශරීරය පිහිටා ඇති බැවින් උන් වහන්සේට එසේ කළ හැකි ය.

  1. කොසොභිත වත්ථගුය්හො.

තථාගතයන් වහන්සේගේ පුරුෂව්‍යඤ්ජනය ගවයන්ගේ ඇතුන්ගේ මෙන් කෝෂයකින් වැසී ඇත්තේ ය.

  1. සුවණ්ණවන්ණො.

තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ඔපලා ඇති ස්වර්ණයක් මෙන් ස්වර්ණ වර්ණ වන්නේ ය.

  1. සුබුමච්ඡවි.

තථාගතයන් වහන්සේගේ සම ඉතා සියුම් ය. එබැවින් එහි ධුලි ආදිය නො තැවරෙයි. නෙළුම් පතට වැටෙන දියබින්දු එහි නො ඇලී පෙරළි යන්නාක් මෙන් තථාගත ශරිරයට පැමිණෙන ධූලි එහි නො ඇලී ඉවත් වෙයි. එබැවින් තථාගත ශරීරය සෑම කල්හි පවිත්‍රව පවත්නේ ය. උන්වහන්සේ අත් පා සේදීම කරන්නේ ජලස්නානය කරන්නේ කය සිසිල් කිරිම පිණිස හා දායකයන්ට පින් සිදුවීම පිණිස ය.

  1. එකෙක ලොමො.

සෙස්සන්ගේ එක ලෝමකූපයක සමහර විට ලොම් දෙක තුන බැගින් ද වෙයි. තථාගත ශරිරයෙහි ඇත්තේ එක් ලෝමකූපයක එක් ලෝමයක් බැගිනි.

  1. උද්ධග්ග ලොමො.

සෙස්සන්ගේ ශරීරවල ලොම් නන් අයුරින් පිහිටා තිබේ. තථාගත ශරිරයේ ලොම් සියල්ල දකුණතට කරකැවී අග උඩ බලා සිටින සේ පිහිටා ඇත්තේ ය.

  1. බ්‍රහ්මුජ්ජුගත්තො.

බොහෝ දෙනාගේ ශරිර ඉදිරියට හෝ පස්සට නැමී බර වී තිබේ. සමහරුන්ගේ ශරීර පැත්තට ද නැමී පවතී. ඇතැම්හු පස්සට නැමුණු ශරිරය ඇති නිසා නිතර උඩ බලා සිටිති උඩ බලා ගමන් කරති. මහාපුරුෂ ශරිරය බ්‍රහ්මයාගේ ශරීරය මෙන් සෘජුව පවතී. තථාගතයන් වහන්සේගේ දේහය එසේය.

  1. සන්තුස්සදො.

පිටිඅත් දෙක පිටිපතුල් දෙක උරහිස් දෙක ස්කන්ධය යන සත්තැන ම තථාගත ශරීරයෙහි ඇට නහර මතු නොවී පිරි පවතී. එය සත්තුස්සද නම් මහාපුරුෂ ලක්ෂණය ය. බොහෝ දෙනාගේ ශරිරවල ඒ ස්ථානයන්හි ඇට නහර මතු වී ඇත්තේ ය.

  1. සීහපුබ්බද්ධ කායො

සිංහ ශරීරයේ පූර්වාර්ධය පරිපුර්ණ ය. පිටිපස අපරිපුර්ණ ය, දුබල ය. තථාගතයන් වහන්සේගේ සකල ශරීරය ම සිංහ ශරීරයේ පූර්වාර්ධය සේ පරිපූර්ණ ය.

  1. චිතන්තරංසො

සෙස්සන්ගේ පිට මැදින් වළගැසී දෙකට බෙදී ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ පිට මසින් පීරී ලෑල්ලක් සේ සමව පිහිටා ඇත්තේ ය.

  1. නිග්‍රොධ පරිමණ්ඩලො

නුග ගස සැට රියනක් උස නම් සැටරියනක් පුළුල් වන්න් ය. අසූරියනක් උස නම් අසුරියනක් පුළුල් වන්නේ ය. දිග පුළුලින් සමවන නුගරුකක් මෙන් තථාගත ශරීරය ද සමව පිහිටා ඇත්තේ ය. තථාගත දේහයේ උස යම් පමණ නම් බඹය ද එපමණ ම වේ. බඹය යම් පමණ නම් උස ද එපමණ ම වේ. උසත් බඹයත් සමව පිහිටා ඇත්තේ ය. සෙස්සන්ගේ බඹය හෝ දික්වෙයි. ශරිරය හෝ දික්වෙයි. ශරිරයත් බඹයත් සම නො වේ.

  1. සමවත්තක්ඛන්ධො.

ඇතැම්හු කොකුන් මෙන් දිග් ගෙළ ඇත්තෝ ය. ඇතැම්හු වක් වූ ගෙළ ඇත්තෝ ය. ඇතැම්හු පුළුල් ගෙළ ඇත්තෝ ය. කථා කිරිමේ දී ඔවුන්ගේ ගෙළෙහි නහර මතුවෙයි. හඬ මහත්ව මිහිරිව නො නැඟෙයි. තථාගතයන් වහන්සේගේ ගෙළ රන්කලසක කර සෙයින් වටවී පිහිටා ඇත්තේ ය. කථා කිරීමේදී නහර මතු නොවේ. එයින් මහත් වූ ද මිහිරි වූ ද හඬ නැඟෙයි.

  1. රසග්ගසග්ගී

භාග්‍යවතුන් වහන්සේගේ සත්සියයක් රස නහර (ආහාර ඕජාව ශරීරයේ පතුරුවන නහර) උඩුකුරුව ගොස් ග්‍රීවයට අක් පැමිණ පිහිටා තිබේ. එබැවින් තල ඇටයක් පමණ වූ ද ආහාරයක් දිවෙහි තැබුව හොත් එහි රසය සකල ශරිරයෙහි ම පැතිර යයි. දුෂ්කර ක්‍රියා කාලයේ දී බෝසතාණන්ට එක් බත් ඇටයකින්, මුං තැන්බු දිය ස්වල්පයකින් යැපිය හැකි වූයේ මේ මහාපුරුෂ ලක්ෂණය නිසා ය. සෙස්සන්ගේ රස නහර එසේ පිහිටා නැති බැවින් ඔවුන් ගන්නා ආහාරයේ ඕජාව සකල ශරීරයේ නො පැතිරෙයි. එබැවින් ඔවුහු රෝග බහුලයෝ වෙති.

  1. සීහහනු.

සිංහයාගේ යටිහක්ක සම්පුර්ණ ය. උඩුහක්ක අසම්පුර්ණ ය. සිංහයාගේ යටිහනුව මෙන් මහා පුරුෂයාණන්ගේ උඩු යටි හනු දෙක ම පුර පසළොස්වක දිනයේ සඳ මෙන් සම්පුර්ණව ඇත්තේ ය.

  1. චත්තාළීස දන්තො

සෙස්සන්ට හනු අපරිපූර්ණ බැවින් ඔවුනට දත් දෙතිසක් වුවද, තිසක් වුවද, විසිඅටක් වුවද ප්‍රමාණ වන්නේය. තථාගතයන් වහන්සේගේ හනු පරිපුර්ණ බැවින් එක් එක් හනුවක දත් විස්ස බැගින් දත් සතළිසක් ඇත්තේ ය.

  1. සමදන්තො

සෙස්සන්ගේ ඇතැම් දත් මිටිව ඇතැම් දත් උස්ව ද නො සම ලෙස පිහිටා ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ සමසතළිස් දන්තයෝ උස් මිටි නැතිව එක් පෙළට මැනවින් පිහිටා සිටින්නාහ.

  1. අව්වරදන්තො

බොහෝ දෙනාගේ දත් එකිනෙක බැඳි පිහිටා නැත්තේ ය. ආහාර ගන්නා කල්හි දත් අතර අහර රැඳේ. එවා පසුව ඉරටු ආදියෙන් බැහැර කළ යුතු වෙයි. තථාගතයන් වහන්සේ ගේ දන්තයෝ එකින් එක බැඳි පිහිටා සිටිති. ආහාරවලට රැඳී සීටිමට තැනක් උන් වහන්සේගේ දන්තයන් අතර නැත්තේ ය.

  1. සුසුක්ක දාඨො

දාඨා යනු තොල් කෙළවර පිහිටා ඇති වට දත් සතර ය. ඇතැමුන්ගේ දාඨාවෝ විවර්‍ණ වෙති. තථාගතයන් වහන්සේගේ සතර දාඨාවෝ පහන් තරුව සේ ඉතා සුදු ය. උන් වහන්සේ සිනාසෙන කල්හී ඒවායින් සුදු රැස් විහිදෙන්නේ ය.

  1. පහුත ජිව්හො.

ඇතැමුන් ගේ දිව පමණට වඩා ඝන හෝ වෙයි, කුඩා හෝ වෙයි. ඉක්මනින් ක්‍රියා කරවිය නොහෙන පරිදි තද හෝ වෙයි. ඔවුනට පිරිසිදු ලෙස උච්චාරණය නො කළ හැකි ය. ඇතැම් අකුරු උච්චාරණය නො කළ හැකි ය. බුදුරදුන්ගේ දිව වනාහි දිග් ද පුළුල් ද මෘදු ද සම ද වර්‍ණවත් ද වේ. එබැවින් උන් වහන්සේගේ ස්වරය මිහිරි ය. සෙස්සන් කීමට පැය ගණනක් කාලය ගන්නා දෙය උන් වහන්සේට අසනුවන්ට පැහැදිලි ලෙස තේරුම් යන පරිදි විනාඩි ගණනකින් කිය හැකි ය. දිව මෘදු බැවින් තථාගතයන් වහන්සේට එය හකුළුවා පන්හිඳක් සේ කොට නාස්පුඩු පිරිමැදිය හැකි ය. කන් සිදුරු පිරිමැදිය හැකි ය. පුළුල් කොට නළල වැසිය හැකි ය.

  1. බ්‍රහ්මස්සරො හොති කරවීකභාණී.

ඇතමෙකුගේ හඬ වඩුවන් ඇණ ගසන හඬ සේ ටින් කබල්වලට තට්ටු කරන හඬ සේ දර පලන හඬ සේ කවුඩු හඬ සේ රළුය. අමිහිරිය, පිත් සෙම් ආදියෙන් අවහිරයක් නැතිව නැඟි එන තථාගතයන් වහන්සේගේ ස්වරය බ්‍රාහ්මයාගේ ස්වරය බඳු ය. අෂ්ටාංගයකින් යුක්ත ය. ස්වරයෙහි අංග අට,

“විස්සට්ඨ මඤ්ජු විඤ්ඤෙය්‍යා – සවනීයා වීසාරිනො

බින්දු ගම්භීර නින්නාදි – ත්‍යෙව අට්ඨංගිකො සරො”

යනුවෙන් අභිධානප්පදීපිකාවෙහි දක්වා ඇත්තේ ය. සිනිඳු බවය, මිහිරි බවය, පහසුවෙන් තේරුම් ගත හැකි බවය, කනට සැප බවය, අවුල් නැති බවය, එකතු වී ඇති බවය, ගැඹුරු බවය, නින්නාද ඇති බවය යන මේ අට ස්වරයෙහි අංගයෝ ය. අෂ්ටාංගයෙන් යුක්ත වන බුදුරදුන්ගේ හඬ කුරවිකෙවිල්ලන්ගේ හඬ සේ මධුර ය.

කුරවිකෙවිල්ලා හිමාලය වනයෙහි වෙසෙන පක්ෂියෙකි. ඌ ඉදුණු අඹවලින් වෑස්සෙන පැණි බී තෘප්තව පියාපත් ගසමින් නාද කරන්නට පටන් ගනී. උගේ හඬ කොතරම් මිහිරි ද කියත හොත්, ඒ හඬ කන හුණු මෘගපක්ෂිහු මත්වුවන් මෙන් එයට ඇහුම්කම් දෙන්නට පටන් ගනිති. තණ කන මෘගයෝ කටට ගත් තණ බිම හෙලා එයට ඇහුම්කන් දෙමින් එහි රසය විඳින්නට පටන් ගනිති. කුඩා සතුන් ලුහුබැඳ දුවන සිංහව්‍යාඝ්‍රාදීහු එස වූ පා බිම නො තබා එයට ඇහුම්කන් දෙති. මරණ බියෙන් දුවන කුඩා සත්තු නැවතී එයට ඇහුම්කන් දෙති. පියාසර කරණ පක්ෂිහු පියාපත් නොගසා ඒ හඬ අසති. දියෙහි මස්හු වරල් නො ගසා ඒ හඬ අසති. කරවීක පක්ෂීයාගේ හඬට වඩා සියගුණයෙන් සහස් ගුණයෙන් තථාගතයන් වහන්සේගේ නාදය වූ බ්‍රහ්මඝෝෂාව මිහිරි ය.

කරවීය පක්ෂියාගේ හඬ ගැන බ්‍රහ්මායු සුත්‍ර අටුවාවෙහි සඳහන් කථාවක් මෙසේ ය. අසන්ධිමිත්‍රා නම් වු ධර්මාශෝක රජුගේ දේවිය “ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ හඬ බඳු හඬක් කාහටවත් ඇත්තේ දැ’යි මහාසංඝයාගෙන් විචාළා ය. “එබඳු හඬක් කරවීක පක්ෂියාට ඇතය ය’යි මහාසංඝයා වහන්සේ වදාළහ. “ඔවුහු කොහි වෙසෙත් දැ’යි දේවිය ඇසුවා ය. හිමාලය වනයෙහි වෙසෙන බව මහාසංඝයා වදාළහ. දේවිය කරවීක පක්ෂියකු බලන්නට කැමති බව රජතුමාට කීවේය. රජු “මේ කුඩුවෙහි හිඳ කරවීය පක්ෂියෙක් ඒවා’යි රන්කූඩුවක් යැවීය. එය අහසින් ගොස් එක් කරවීය පක්ෂියකු ඉදිරියේ නැවතිණ. පක්ෂියා එය තුළට වන් කල්හි කූඩුව පෙරළා අවුත් රජු ඉදිරියේ නැවතිණ. එහෙත් ඌ ලවා නාද කරවන්නට නො පිළිවත් විය. එකල්හි රජ “මේ පක්ෂියා හඬන්නේ කෙසේදැ’යි ඇසීය. “දේවයන් වහන්ස, නෑයන් දුටු කල්හි මොහුහූ හඬ නගන්නාහ’යි දන්නෝ කීහ. රජතුමා කූඩුව වටා කන්නාඩි තැබවී ය. පක්ෂියා උගේ ඡායාව දැක නෑයන් පැමිණියේ ය’ යි සිතා නාද පවත්වන්නට විය. සකළ නගරයේ ම මනුෂ්‍යයෝ ඒ හඬ අසා මත් වූහ. අසන්ධිමිත්‍රා දේවිය “මේ තිරිසන් සතාගේ ස්වරය මෙතරම් මිහිරි නම් සර්‍වඥතාඥානශ්‍රීයට පත් තථාගතයන් වහන්සේ ගේ ස්වරය කොතරම් මිහිරි වන්නට ඇද්දැ’යි බුද්ධාලම්බණ ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතියෙන් ම සෝවාන් ඵලයෙහි පිහිටියා ය.

  1. අභිනීල නෙත්තො

බොහෝ දෙනාගේ නෙත් දුඹුරු පැහැ ඇත්තේ හෝ බොරපැහැ ඇත්තේ හෝ වෙයි. තථාගතයන් වහන්සේගේ නේත්‍රයන්ගේ මධ්‍යමණ්ඩලයෝ දිය බෙරලිය මල් සෙයින් නිල්පැහැ ඇත්තාහ. තවද ඒවායේ රන්වන් විය යුතු තැන් කිණිහිරිමල් සෙයින් රන්වන් ය. රතු විය යුතු තැන් බඳුවද මල් මෙන් රතු ය. සුදු විය තැන් ඔප ලූ සක් මෙන් සුදු ය. කළු විය යුතු තැන් අඳුන් සේ කළු ය.

  1. ගොපඛුමො

බොහෝ දෙනාගේ ඇස් පමණට වඩා මහත් හෝ කුඩා හෝ වෙයි. ඉදිරියට නෙරා හෝ ගිළී හෝ ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ අක්ෂිගුලයෝ එකෙණෙහි උපන් රතු වස්සන්ගේ ඇස් මෙන් ප්‍රසන්න වන්නාහ. ඔප දමා ඇති මැණික් ගුළි සේ සිනිඳු ද පැහැපත් ද වන්නාහ.

  1. උණ්ණා භමුක්කන්තරෙ ජාතා

තථාගතයන් වහන්සේ ගේ දෙබැම අතර නළල මැද දක්ෂිණාවර්ත ශුභ්‍රවර්ණ රෝමයක් පිහිටා ඇත්තේ ය. එය ඌර්‍ණරෝම නම් වේ. එය අගින් ගෙන ඇද්ද හොත් බාහුවෙන් අඩක් පමණ වන්නේ ය. ගිතෙල් ගැල්වූ සියවර පෙලූ පුළුන් රොදක් සේ මෘදු වූ ඒ රෝමය එක් මහාපුරුෂ ලක්ෂණයකි. එය රන් තැටියක රිදී බුබුලක් සේ බබලන්නේ ය.

  1. උණ්භීස සීසො

දෙකන්සිළු දක්වා නළල වසා සිටින සෙස්සන්ට නැති විශේෂ මාංසපටලයක් තථාගතයන් වහන්සේගේ නළලෙහි ඇත්තේ ය. එය උණ්හීස නම් වේ. එය රජුන් බදින නළල් පටක් සේ දිලෙයි. පශ්චිමභවික මහාබෝසතුන්ගේ ඒ මහා පුරුෂ ලක්ෂණය අනුව රජුන් නළල් පටක් පළදින්නට පටන් ගත් බව ද කියා තිබේ

සතපුඤ්ඤ ලක්ෂණ

අනන්ත සක්වළවල සියලු සත්ත්වයෝ එක් එක් පින්කම සියවරක් කරන්නාහ. මෙතෙක් ජනයා විසින් කරන ලද කර්මය බෝසත්හු තමාම තනිව සියගුණයෙන් කොට උපන්හ. එහෙයින් සතපුඤ්ඤලක්‍ඛණයයි කියනු ලැබේ

 

පිං අනුමෝදන් වීම

දස පුණ්‍ය ක්‍රියා අතුරෙන් මොනයම් හෝ පුණ්‍ය ක්‍රියාවක් සිදු කරද්දී එම පුණ්‍ය ක්‍රියාව සිදු කරන පුද්ගලයාට ඇති වන ( ජවන ) සිත් වල ඇති වන චේතනාව ප්‍රධාන අනිකුත් චෛතසික වල ශක්තිය පුණ්‍ය ශක්තිය නමින් හැඳින්වේ. මෙම පුණ්‍ය ශක්තිය හැඳින්වීමට පින, කුසලය, පුණ්‍ය ක්‍රියාව, කුසල ක්‍රියාව යන නම් භාවිතා වේ.

උදාහරණයක් ලෙස දානයක් දීමේ දී දානය දෙන පුද්ගලයා ට ඇති වන චේතනා ශක්තිය දානමය පුණ්‍ය ක්‍රියාව නමින් හැඳින් වේ. මෙම දානය තව කෙනෙකුට අනුමෝදන් කිරීමට ක්‍රියා කිරීමේදී දායකයා ට ඇති වන චේතනා ශක්තිය ( පත්තිදාන ) පින් දීම නම් වූ පුණ්‍ය ක්‍රියාව යි. මෙම පින් දීම නම් වූ පුණ්‍ය ක්‍රියාව අයිති වන්නේත් දායකයාට මය.

එම පින් දීමේ ක්‍රියාවලිය ඇසින් දැක හෝ කනින් අසා හෝ සතුටු වන විට ඒ සතුටු වන පුද්ගලයාට ඇති වන සිත් වල ඇති චේතනා ශක්තිය ( පත්තානුමෝදනා ) පින් අනුමෝදන් වීම නමින් හැඳින්වේ. මෙම පුණ්‍ය ක්‍රියාව අයිති වන්නේ අනුමෝදන් වන්නාට ය.

මෙසේ අනුමෝදන් විය හැක්කේ එම පින දැකීමෙන් හෝ හෝ ඇසීමෙන් පසු සතුටු වෙන පුද්ගලයන්ට පමණ ය.

මනුෂ්‍ය ලෝකය, තිරිසන් ලෝකය, නිරය, ආදී ලෝකවල සිටින විට අන්‍යයන් කරන පින් දැනගැනීමට හැකියාවක් නැත.

දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය ආදී ලෝක වල සිටින විට දිවැසින් දැකීම හො දිව්‍ය කනින් ඇසීම කළ හැකි වුවත් එ් සඳහා කැමැත්තක් සහ ⁣කාලයක් නොමැති විට සිහි කිරීමක් සිදු නොවන නිසා අනුමෝදන් වීමක් ද සිදු නොවේ.

නමුත් ඥාති ප්‍රේත තත්වයෙන් සිටින සත්වයෝ විශේෂයෙන් මෙම අනුමෝදන් වීම සිදු කරති. ඔවුන්ට තම ඥාතීන් දකින හැකියාවත් අනුමෝදන් වීමේ කැමැත්තත් ඇති බැවිනි.

ගුණ දැක පැහැදීමෙන් ලද යසස

ඕ තොමෝ බණ අසා භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට, මන වඩන භික්‍ෂූන් ද වැඳ විහාරයෙන් නික්ම මදක් දුර ගොස් ‘දාසිය ආභරණ පළඳින්නෙම්, එම ආභරණ ගෙනෙව’යි කීවාය. ඒ දාසිය එය පොදියක් කොට බැඳ විහාරයෙහි තබා ඒ ඒ තැන්වල ඇවිද ආපසු යන කල්හි එය (මහලිය පළඳනාව) විහාරයේ අමතකව දමා ගිය බැවින්, උත්තමාවියනි, මට එය අමතකව විහාරයේ ආවෙමි. මා දුවගොස් ගෙන එන තෙක් නවතිනු මැනවිය කීවාය. එසේ කියා නවත්වාලනු කැමති වූවාය. විශාඛා තොමෝ දාසියෙනි, එයම විහාරයේ අමතකව ආයේ නම් එය විහාරයේම ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරන්නෙමියි විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේ හමුවී තම අදහස පැවසුවාය. ස්වාමීනි, මෙය විකුණා විහාරයක් තනවන්නෙම් අනුකම්පා කොට පිළිගනු මැනැවියි ඉල්ලා සිටියාය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක.
විශාඛාවෝ ඒ පළඳනාව සඳහා නවකෝටි එක් ලක්‍ෂයක් වැයකොට මුගලන් තෙරුන් වහන්සේ මගින් කර්මාන්ත පාලකයකු මෙහෙයවා ඔහු ලවා මනාව බෙදන ලද බිත්ති, කණු, දෙපස සමවන සේ යොදා නොනැස් නම් යට ලී, පරාල, යොදා කර්ණිකාව සහිත මුදුනක් ඇතිවැ දොර කවුළු තරප්පු පේළි ආදියෙන් සමන්විතවැ මනහර ලෙස කාමර බෙදා රමණීය වූ දැව කර්මාන්ත මනාව නිමකොට, සුදුහුණු පිරියම්කොට, ශෝභන ලෙස කරන ලතා ලතා කර්ම මාලා කර්මයන්ගෙන් සරසා, සිනිඳු ලෙස මැණික්මය ලෑලි වැනි ප්‍රවර බිමට අල්ලා, දෙව් විමනක් වැනි බිම් මහළෙහි පන්සියයක් කාමර ඇතිව, උඩුමහලේ හිස පන්සියයක් කාමර ඇතිව, කාමර දහසකින් යුත් ආවාසයක් කරවා භාග්‍යවතුන් වහන්සේට පූජා කළහ. භික්‍ෂු සංඝයාගේ වාසය සඳහා සුදුසු මහත් ප්‍රාසාදයක් ද කරවා එයට පිරිවර ප්‍රාසාද දාහක් කරවා, අමතරව කුටි සක්මන්මළු, මණ්ඩප ආදියද කරවා නව මාසයකින් විහාර කර්මාන්තය නිමා කරවීය. එසේ නිමා කරවා විහාර පූජාව කරවා තම සහායිකාවන් සමග විහාරයේ උඩු මහලට නැග එහි ඓශ්වර්යය දැක හටගත් සොම්නසින් සහායිකාවන් කැඳවා ‘මෙබඳු ප්‍රාසාදයක් කරවන්නා වූ මා විසින් යම් පිනක් ලබන ලද්දේ නම් ඒ පින ඔබලා අනුමෝදන් වන්න. ඔබලාට ප්‍රාප්ති දානය ලබාදෙන්නෙමි’යි කීවාය. ප්‍රසන්න වූ සිත් ඇති සියල්ලෝම අනේ සාධු අනේ සාධු යි කියා අනුමෝදන් වූහ.
එහි එක්තරා ස්ත්‍රී උපාසිකාවක් ඒ ප්‍රාප්ති දානය විශේෂ වශයෙන් මෙනෙහි කළාය. ඕ තොමෝ නොබෝ කලකින් කළුරිය කොට තව්තිසාවෙහි උපන්නාය. ඇගේ පුණ්‍යානුභාවයෙන් බොහෝ වූ කුටාගාර, උයන්වතු, පොකුණු ආදියෙන් යුතු සොළොස් යොදුන් දිග පළල ඇති උස ඇති යොදුන් සියයක් පැතිරෙන තමන්ගේ ප්‍රභාවයෙන් යුත් අහසෙහි හැසිරෙන මහත් වූ විමානයක් පහළ විය. ඇය යන්නේ නම් අප්සරාවන් දහසක් පිරිවරාගෙන විමානයත් සමගම යන්නීය. ඒ විශාඛා මහෝපාසිකා තොමෝ නිර්මාණරතී දෙව්ලොව ඉපිද සුනිර්මිත දිව්‍යරාජයන්ගේ අගමෙහෙසිය බවට පත්වූවාය. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ දිව්‍යලෝක චාරිකාවේ යෙදෙන්නේ විශාඛාවගේ සහායිකාව තව්තිසාවේ දී සමුවී ගාථා මගින් ඇගෙන් පහත සඳහන් ප්‍රශ්න ඇසීය.

දේවතාවිය, යම්බඳු වූ ඔබ මෙහි සිටින්නෙහිද? ඒ ඔබ මනස්කාන්ත වර්ණයෙන් යුතුව, සියළු දිශාවන් බබුළුවමින් ඕසධී නම් තාරකාව මෙන් සිටියේය.
නැටුමෙහි යෙදෙන්නා වූ ඒ ඔබගේ අංගෝපාංගයන්ගෙන් හැම අයුරින්ම කන්කළු වූ මනරම් වූ දිව්‍ය ශබ්දයෝ නික්මෙති.
නැටුමෙහි යෙදෙන්නා වූ ඒ ඔබගේ අංගෝපාංගයන්ගෙන් හැම අයුරින්ම මනා සුවඳ ඇති මනරම් වූ දිව්‍යමය වූ සුවඳ වහනය වන්නෝය. කයෙන් ගිලිහෙන්නා වූ ඔබගේ යම් ශීර්ෂ පළඳනාවක් වේද, ඒවායේ ඝෝෂාව පංචාංගික තූර්ය නාද ඝෝෂා මෙන් ඇසේ.

ඔබගේ ශීර්ෂාභරණයෝ වාතයෙන් සෙලවේද, වාතයෙන් දැඩිව කම්පනය වෙත්ද, ඒවායේ ඝෝෂාව පංචාංග තූර්ය ඝෝෂා මෙන් ඇසේ.
ඔබේ හිසෙහි මනා සුවඳැති මනරම් වූ යම්බඳු මල්මාලා පවතීද ඒවා මංජුසා නම් දිව්‍ය වෘක්‍ෂය මෙන් සියලු දිශාවන් සුවඳවත් කරයි.
දේවතාවිය, අන් අයට ඒ පිරිසිදු සුවඳ ආඝ්‍රාණය කරවන්නෙහිය. මෙය කවරනම් කුසල කර්මයක විපාකයක්ද යන බව මම ප්‍රශ්න කරමි. එහි විස්තර මා හට කියන්න.
තෙරණුවෝ මෙසේ ප්‍රශ්න කළවිට ඒ දෙව්දුව මෙසේ පිළිතුරු දුන්නීය.
අනුරුද්ධ හිමියනි, සැවැත්නුවර මගේ සහායිකාව විශාඛාව සංඝයා සඳහා මහා විහාරයක් කරවීය. මා හටද ප්‍රිය වූ ඒ මන්දිරය දැක එහි පැහැදී එහි පින් අනුමෝදන් වීමි.
මාගේ ඒ හුදු පුණ්‍යානුමෝදනාවෙන් පමණක්ම ලබාගන්නා ලද අද්භූත වූ දර්ශනීය වූ විමානය මගේ සෘද්ධි බලයෙන් හාත්පසින් සොළොස් යොදුනක් අහසේ ගමන් කරයි.
ප්‍රමාණානුකුල වූ කොටස් වශයෙන් බෙදන ලද්දා වූ මාගේ කුටාගාර නිවාසයන් හාත්පසින් යොදුන් සියයක් දීප්තිමත්ව බබළයි.
මත්ස්‍යයන්ගෙන් ගැවසී ගත් රන්වැල් පිරී පවත්නා මෙහි ඇති මගේ පොකුණු ද, පැහැදිලි ලෙස ප්‍රසන්නව පවතී.
එහි නොයෙක් රත් නෙළුම් මල්, සුදු නෙළුම් මල් පිපී විසිරී ඇත්තාහ. සිත්කලු වූ වාතයෙන් කම්පිත වූ සුවඳ හමා ගෙන යයි.
දඹ, කොස්, තල්, පොල් ආදී නානා වෘක්‍ෂ වර්ග සහිත උයන්වතු නිවාස සීමාව තුළම රෝපිත වී ඇත.
නොයෙක් තූර්ය භාණ්ඩයන්ගෙන් ඝෝෂා සහිත වූ, අප්සරාවන් සමූහයා විසින් ඝෝෂා කරන ලද්දා වූ විමානයෙහි වෙසෙන මා යමෙක් සිහිනෙන් හෝ දකින්නේ ද, ඒ තැනැත්තා පවා සතුටට පත්වන්නේය. හෙවත් සම්පත්ලාභියෙක් වන්නේ ය.

පටිසාරණය කර්මය

බුදු සස්නෙහි පැහැදී සිටින සඞ්‌ ඝයාහට උවටැන්‌ කරන’චිත්ත’ නම්‌ ගෘහපතියාට බැණ, ඔහුගේ ආවාසයද හැර ගිය, ‘සුධම්ම’ නම්‌ භික්ෂුව නිමිත්ත කොට, තථාගතයන්‌ වහන්සේ පටිසාරණීය කම්ය වදළ-සේක. එය කරනුයේ සඞ්‌ඝයාට ‘උපසථාන කරන, බුදු සස්නෙහි පැහැදී සිටින, ශාසනාලය ඇති ගිහියන්ට අපහාස කොට ඔවුන්ගේ සිත්‌ රිදවන, ඔවුන්‌ බුදුසස්නෙහි කලකිරවන භික්ෂූන්ට ය. එසේ කරන භික්ෂුව සඟ මැදට ගෙන චෝදනා කොට වරද සිහි කරවා ඇවැත දක්වා ඒ කම්ය කළ යුතු ය.

පටිසාරණීය කම්ය කරනු ලැබූ භික්ෂුව විසින්‌ ද සඞ්ඝයා විසින්‌ එය ඉවත්‌ කරන තුරු තජ්ජනීය කමය කරනු ලැබූ භික්ෂූන්‌ විසින්‌ පිරිය යුතු අටළොස්‌ වත අනුව පිළිපැදිය යුතුය. සඞ්‌ඝයා විසින්‌ කම්ය ඉවත්‌ කරනු ලබන්නේ අපහාස කිරීමෙන්‌ කලකිරවන ලද තැනැත්තා ක්ෂමා කරවා නැවත පැහැද වීමෙන්‌ පසු ය. චිත්ත ගෘහපතියා කලකිරවූ සුධමීම භික්ෂු තෙමේ පටිසාරණීය කමිය ‘කරනු ලැබීමෙන්‌ පසු ක්ෂමා කරවා චිතත ගෘහපතියා නැවත පැහැදවීමට ‘මව්ජකා ඝණ්චයට’ ගියේ ය. එහෙත්‌ දොම්නසට පැමිණ සිටි සුධම්ම භික්ෂුව චිත්ත ගෘහපති ‘වෙත ගොස්‌ කථාකිරීමට අසමත්ව සැවැත්‌ නුවරට පෙරළා පැමිණියේ ය.

චිත්ත ගෘහපතියා ක්ෂමා කරවන ලද්දේදැ. යි භික්ෂූන්‌ විසින්‌ විචාළ කල්හි නො හැකි වූ බව සුධම්ම භික්ෂුව කීය. ඒ බව ‘තථාගතයන්‌ වහන්සේට සැලකළ කල්හි තථාගතයන්‌ වහන්සේ සුධම්ම භික්ෂුවට චිත්ත ගෘහපතියා ක්ෂමා කරවන්නට භික්ෂුවක්‌ දූතයකු කොට දීමට අනු දැන වදාළසේක. දුතයකු දීමේදී දුත ක්‍රියාව ‘කරන ලෙස භික්ෂුවකගෙන්‌ ඉල්ලා කැමති කරවා ගෙන සම්මත
කොට දිය යුතු ය.

පටිසාරණීය කර්මය කරන ලද භික්ෂුව විසින්‌ අනුදුතයකු වශයෙන්‌ සඬඞ්‌ඝයා විසින්‌ දුන්‌ භික්ෂුව සමග වරද කළ ගෘහපනියා ‘වෙත ගොස්‌, ක්ෂමාව ඇයැදිය යුතු ය. ඉඳින්‌ එයින්‌ ගිහියා ක්ෂමා වී සිත පහද නො ගත්තේ නම්‌, අනුදුත භික්ෂුව විසින්‌ “ගෘහපතිය! මේ භික්ෂුවට සමාවුව මැනව, මේ භික්ෂු තෙමේ ඔබගේ හොඳහිත බලාපොරොත්තු වන්නේය, යි කිය යුතු ය.

එයින්‌ ද ගෘහපතියා සමා නො වන්නේ නම්‌, “ගෘහපනිය මේ භික්ෂුවට සමා වන ලෙස මම ඔබෙන්‌ ඉල්ලමිය” යි කිය යුතුය. එයිනුත්‌ ගෘහපතිය සමා නුවූයේ නම්‌, “ගෘහපතිය සඞ්‌ඝයාගේ ඉල්ලීම පරිද මේ භික්ෂුවට සමාවන්නය” යි කිය යුතුය. එයින්ද සමා නුවුයේ නම්‌ ගෘහපනියාට පෙනෙන ඇසෙන ලෙස වරද කළ භික්ෂුව ලවා සිවුරු ඒකාංස කොට පෙරචවවා, උක්කුටිකයෙන්‌ හිඳවා, ඇඳිලි බඳවා, ඇවැත දෙසවිය යුතුය.

‘පටිසාරණීය කර්මය කරනු ලැබු භික්ෂුව තමා විසින්‌
‘අවමන්‌ කොට කලකිරවන ලද දයකයාගෙන්‌ ක්ෂමාව ගෙන සිත පහදවා භික්ෂූන්ගේද සිත පහදවා සඞ්‌ඝයා වෙන එළඹ, සිවුර ඒකාංස කොට පෙරවා, වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ, මතු දැක්වෙන වාක්‍යය කියා පටිසාරණීය කම්යාගේ සන්සිඳවීම ඉල්ලිය යුතු ය.

යම් පුද්ගලයෙක් සරණ යාමේ දී

යම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් සුපටිපන්න නම් එම පුද්ගලයා සරණ යාම වරදක් නැත.

නමුත් පුද්ගලයෙක් ඒකාන්තයෙන් ම සැම කල්හිම කල්‍යාණ දැයි නිශ්චය කරගැනීම අසීරුය. පසු කලෙක වෙනස් විය හැකි බැවිනි.

භාග්‍යවතුන් වහන්සේ ගේ අවවාදයෙහි පිහිටන අප විසින් කළ යුත්තේ ;

භාග්‍යවතුන් වහන්සේ සහ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය ඒකාන්තයෙන් ම සරණ ගොස්,

එම ධර්මය අනුව ම කල්‍යාණ මිත්‍රයා තෝරා ගැනීම ය.

කල්‍යාණ මිත්‍රයා ද අපට සරණ වෙයි.

එනමුදු යම් ආචාර්ය වරයෙක් ඒකාන්තයෙන්ම සුපටිපන්න නම් ඔහු සංඝයා හොබවන බව සඳහන් වේ.

‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌ති. කතමෙ චත්‌තාරො?

භික්‌ඛු, භික්‌ඛවෙ, වියත්‌තො විනීතො විසාරදො බහුස්‌සුතො ධම්‌මධරො ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො සඞ්‌ඝං සොභෙති.

භික්‌ඛුනී, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති.

උපාසකො, භික්‌ඛවෙ, වියත්‌තො විනීතො විසාරදො බහුස්‌සුතො ධම්‌මධරො ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො සඞ්‌ඝං සොභෙති.

උපාසිකා, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති.

ඉමෙ ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌තී’ති

පුද්ගලයෙක් සරණ නොයන ලෙසට භාග්‍යවතුන් වහන්සේ අපට දෙන අවවාදය,

පුබ්බ නිමිත්ත සූත්‍රයෙහි සඳහන් වන්නේ,

දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට වෙනස් කළ නො හැකි සද්ධාවක් තථාගතයන් වහන්සේ කෙරෙහි ත් තථාගතයන් වහන්සේ ගේ ධර්මය කෙරෙහිත් ඇති කර ගන්නා ලෙසය

එම නිසා කල්‍යාණ මිත්‍රයා තෝරා ගැනීමේදී ත්,

තමාගේ ගමන නිවැරදි ද යන කාරණය පරීක්ෂා කිරීමේදී ත්

ධර්ම රත්නය ම නිර්නායකය වේ.

සැමකල්හි තමන්වද
තමන්ගේ ධර්ම දැනුම ද
තමන්ගේ භාවනා ප්‍රගතියද
තම ආචාර්ය වරයාද
තමන් ඉගෙන ගන්නා ධර්ම කාරණා ද

ධර්ම රත්නය අනුවම පරික්ෂා කර බැලීමෙන් නොමඟ නො යා නිවැරදි ලෙස නිවනට ලඟා වීමට පුළුවන.

සකලමෙවිදං, ආනන්‌ද, බ්‍රහ්‌මචරියං, යදිදං – කල්‍යාණමිත්‌තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්‌පවඞ්‌කතා

කල්‍යාණමිත්‌තතා – කල්‍යාණ මිත්‍රයන් ඇති බව

කල්‍යාණසහායතා – කල්‍යාණ මිත්‍රයන් අපට අනුකම්පා කරන බව ( අපගේ ශ්‍රද්ධාව ප්‍රමාණවත් ලෙස ඇත්නම් අපට කල්‍යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව ලැබේ )

කල්‍යාණසම්‌පවඞ්‌කතා – අප කල්‍යාණ මිත්‍රයන් දෙසට නැමී පවතින බව ( කල්‍යාණ මිත්‍රයන් අපට දෙන අවවාද ගෞරවයෙන් පිළිපදිමින් ශික්ෂාකාමී වීම )

මේ පාඨය අනුව අද බොහෝ දෙනෙක් ව්‍යවහාර කරන කාරණයක් වන
කල්‍යාණමිත්‍රයන් නිසා මේ සාසනය පවතින්නේය” යන කරුණ අසම්පූර්ණ ය. සුනක්ඛත්ත භික්ෂුව වැනි අවාසනාවන්තයන් භාග්‍යවතුන් වහන්සේ ළඟින්ම ආශ්‍රය කල ද ප්‍රයෝජනයක් ගැනීමට නො හැකි ව ඇත.

එම නිසා නිවැරදිව එම ධර්ම කාරණය සඳහන් කළ යුත්තේ

කල්‍යාණ මිත්‍ර සේවනය සහිත බව නිසා ත්,

කල්‍යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව ( ලැබීමට තරම් ම සුදුසු සද්ධාවක් ) සහිත බව නිසා ත්,

කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට ගෞරව සහිත ව දැඩි ඕනෑකමකින් ඒ දෙසට යොමුවී සිටින බව නිසා ත්,

මේ සියලු සාසනය පවතින්නේ ය” ලෙස ය.