බුදුවරුන්ගේ ආයුෂ අසංඛෙය්‍යකි, එම ආයුෂ අඩු වැඩි වීමට හේතු.

විපස්සී ආදී සියලු බෝසත්වරු මෛත්‍රී පෙරටු කරගත් සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික චිත්තයෙන් මව්කුස පිළිසිඳ ගත්හ. ඒ සිතින් ප්‍රතිසන්ධිය ගත්තහුගේ ආයුෂ අසංඛෙය්‍යකි. මෙසේ සියලු බුදුවරු අසංඛ්‍යයක් ආයු ඇත්තන් වන නමුත් කුමක් නිසා අසංඛ්‍යෙයක් ජීවත් නොවූවාහුද? සෘතු භෝජන වශයෙන් ආයුෂ වැඩිවෙයි. එසේම පිරිහෙයි.

එහිදී යම්කලෙක රජවරු අධාර්මික වෙත්ද එකල්හි යුවරජ, සෙන්පති, සිටුවරු මෙන්ම මුළු නගරයත් මුළු රටත් අධාර්මික වෙයි. ඉක්බිති ඔවුන්ගේ ආරක්ෂක දේවතාවෝද ඔවුන්ගේ මිත්‍ර වූ භූමිය ආශ්‍රිත දෙවියෝ ද ඒ දෙවියන්ගේ මිත්‍ර ආකාසස්ථ දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර උණුවළා දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර වළාකුළු ආශ්‍රිත දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර ශීත වළාහක දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර වස්ස වලාහක දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර චාතුර්මහා රාජික දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර තාවතිංස දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර යාම දෙවියෝ ද යන ලෙසට භවාග්‍රය දක්වා ආර්ය ශ්‍රාවකයන් හැර සියලු දෙව් බඹ පිරිස් ද අධාර්මික වෙත්. ඔවුන්ගේ අධාර්මික බව හේතුවෙන් විෂම ලෙස ඉරහඳ පවතිත්. වායුම නියම මගෙහි ගමන් නොකරයි. වැරදි මගින් හඹා යාම නිසා ආකාසස්ථ විමානයන් කැළඹේ. විමානයන් කැළඹෙන විට ක්‍රීඩා සඳහා සිත නොනැමේ. දෙවියන්ගේ සිත් ක්‍රීඩා සඳහා නොනැමෙන බැවින් ශීත, උණුසුම ආදී භේදයන් සෘජු ආදිය නියම කලට නොපැමිණේ. නියම කල්හි සෘතු නොපැමිණීමෙන් මනාව වර්ෂාව නොලැබේ. විටක වැසි වසී. විටක නොවසී. තැනකට වසී. තැනකට නොවසී. වැසි වැස්සත් වපුරණ ලද කල්හිද අංකුර හටගන්නා කල්හිද බණ්ඩි කාලයේ ද මල් හටගන්නා කල්හිද කිරිවදින කාලයෙහිද යම් යම් ආකාරයකින් අස්වැන්නට සහායක් නොවන්නේ ද ඒ ඒ ආකාරයට වසී. වර්ෂාව පහව යයි. එයින් අස්වැන්න නියම අයුරින් නොපැසෙයි. ගන්ධ, රස, වර්ණ ආදියෙන් තොරවූයේ වෙයි. එකම භාජනයෙහි දමන ලද සහල්වලින් පිසූ සමහර බත් නියම ලෙස නොපැසී තිබේ. සමහර කොටසක බත් අතිශයින් තෙත්ය. සමහර තැනක හොඳින් පැසී ඇත. එය අනුභව කළවිට කුස තුළදී තුන් ආකාරයකින් පැසෙයි. එයින් සත්ත්වයෝ බොහෝ ආබාධ ඇත්තෝ වෙත්. අල්ප ආයුෂ ඇත්තෝ වෙත්. මෙසේ පළමුව සෘතු හා අනුභව කිරීම් හේතුවෙන් ආයුෂ හීන වෙයි.

යම්කලෙක්හි රජවරු ධාර්මික වෙත්ද පෙර පරිදිම බ්‍රහ්මලෝකය තෙක් සියල්ලෝම ධාර්මික වෙත්. ඔවුන්ගේ ධාර්මික බව නිසා ඉරහඳ සම ලෙස පායයි. නියම මගෙන් වායුව හමයි. නියම මගින් සුළං හමනවිට ආකාසස්ථ විමාන නොකැළඹෙයි. මේවා නොකැළඹීම නිසා දෙවියන්ගේ සිත් ක්‍රීඩාව සඳහා යොමු වේ. මෙසේ නියම කාලයට සෘතු ආරම්භ වේ. වැස්ස මනාව වසී. වැපුරූ කාලයේ පටන් අස්වැන්නට උපකාර කරමින් නියම කලට වැසි වසී. නියම කලට වැස්ස පහව යයි. එයින් ධාන්‍ය මනාව පැසී මනා සුවඳ ඇතිව, මනා වර්ණ ඇතිව මනා රස ඇතිව ඕජස් සහිත වේ. එයින් පිළියෙල කළ ආහාරය අනුභව කළවිට මනාව දිරවයි. එයින් සත්ත්වයෝ නීරෝගීව දීර්ඝායුෂ ඇත්තෝ වෙත්. මෙසේ සෘතු, භෝජන වශයෙන් ආයුෂ වැඩෙයි.

එහිදී විපස්සී භාග්‍යවතුන් වහන්සේ වර්ෂ අසූදහසක් ආයු ඇති කාලයක පහළ වූ සේක. සිඛී භාග්‍යවතුන් වහන්සේ හැත්තෑදහසක් වර්ෂ ආයු ඇති කාලයකද පහළ වූ සේක. මෙය පිළිවෙලින් පිරිහෙන තත්ත්වයට පත්වෙයි. මෙසේ පිරිහීමට පත් නොවෙයි. ක්‍රමයෙන් වැඩිවී පරිහානියට පත්වේයැයි දතයුතුයි.

මේ කල්පයෙහි කකුසඳ භාග්‍යවතුන් වහන්සේ වර්ෂ හතලිස් දහසක් ආයු ඇති කාලයක පහළ වූහ. ආයු ප්‍රමාණය කොටස් පහකට බෙදා සතරක් හැර පස්වන කොටස පවත්නා කල්හිම පිරිනිවන් පෑ සේක. ඒ ආයුෂ පිරිහීම වර්ෂ දහය දක්වා පහත බැස නැවත වර්ධනය වී අසංඛෙය්‍ය දක්වා වැඩිවී අනතුරුව පිරිහීගොස් තිස්දහසට පත්ව සිටියේය. කෝණාගම බුදුරජාණන් වහන්සේ එකල පහළවූ සේක. උන්වහන්සේද එසේම පිරිනිවන්පෑ කල්හි ඒ වයස වර්ෂ දහයට පත්ව නැවත වර්ධනය වී අසංඛෙය්‍යට පත්ව පිරිහී ගොස් විසිදහසට පත්ව සිටී. එකල්හි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක. උන්වහන්සේද එසේ පිරිනිවන්පෑ කල්හි ආයුෂ දස වර්ෂයක ප්‍රමාණයට පත්ව නැවත වර්ධනය වී අසංඛෙය්‍යට පත්ව පිරිහී වර්ෂ සියයට පත්ව සිටියේය. ඉක්බිති අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සේක. මෙසේ පිළිවෙලින් අඩුවී, වැඩිවී පිරිහී, නොපිරිහී අඩු බවට පත්වූයේ යැයි දතයුතුයි.

මෙසේ දීර්ඝායුෂ ඇත්තන් වනාහි අතිශයින් දුර්ලභය. අසවලා වනාහි මෙසේ බොහෝ කල් ජීවත් වන්නේ යැයි ඒ ඒ තැන්වල ගොස් දතයුත්තේ වෙයි. එහිදී විශාඛා මහෝපාසිකාව වර්ෂ එකසිය විස්සක් ජීවත් විය. එපරිද්දෙන් පොක්ඛරසාදි බ්‍රාහ්මණයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා සෙල බ්‍රාහ්මණයා, පාවාරිය බ්‍රාහ්මණයා, ආනන්ද තෙරුන් වහන්සේ, මහාකාශ්‍යප තෙරුන් වහන්සේ වනාහි වර්ෂ එකසිය පනහක්ද බක්කුල තෙරුන් වහන්සේ එකසිය සැට වසක්ද ජීවත් විය. සියල්ලන්ටම වඩා දීර්ඝායුෂ වින්ද නමුත් වර්ෂ දෙසීයයක් ජීවත්වූයේ නැත.

එහිදී යම් යම් ආයු ප්‍රමාණයන්හි මිනිසුන් සිටිකල්හි බුදුවරු පහළවෙත්ද උන්වහන්සේලාට ද ඒ ආයු ප්‍රමාණයම වන්නේ ය.

* මෙහිදී විශේෂයෙන් කිවයුතු කරුණ නම් :-

සියලු භාග්‍යවතුන් වහන්සේලා පාරමිතා සම්පුර්ණ කරුණුයේ ශාවක පිරිසට ධර්මාවබෝදය පිණිසය
ඒ ඒ කාල වල ඇති විශමතා මත මිනිසුන්ගේ ආයු අඩු – වැඩි වන කාල වල භාග්‍යවතුන් වහන්සේලාට පහළ විමට සිදුවන බවයි.

එසේ නෙවි භාග්‍යවතුන් වහන්සේලාගේ අඩුපාඩු, කර්ම විපාක හෝ පාරමිතා ධර්මයන්ගේ අඩුපාඩු නිසා නොවන බව කරුණාවෙන් අවබෝධ කරගනිත්වා.

කල්පයෙහි බුදුවරුන් පහළවන්නේ නම් මල් හටගනී. නොවේනම් මලක් හටගන්නේ නැත

බුදුවරයන් වහන්සේලා පස්නමක් පහළවන බැවින් සුන්දර වූ කල්පයෙහි සාරවත් වූ කල්පයෙහි මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කල්පය වර්ණනා කරමින් මෙසේ වදාළ සේක. යම්තැනක පටන් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ වන්නේද, ඒ අතර එක් කල්පයකදීවත් බුදුවරයන් පස්නමක් පහළවීමක් නම් නැත. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රාර්ථනාවට පෙර තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර යන බුදුවරයන් සිව්නමක් එක් කල්පයක පහළ වූහ. එයට මෙහා එක් අසංඛෙය්‍යක් බුද්ධශූන්‍ය විය.

කල්ප අසංඛ්‍යයක් අවසානයේ කොණ්ඩඤ්ඤ නම් එකම බුදුරජාණන් වහන්සේ එක් කල්පයක පහළ වූ සේක. එයින් ද අසංඛ්‍ය කල්පයක් බුද්ධශූන්‍ය විය. අසංඛෙය්‍ය කල්පයක අවසානයේ මංගල, සුමන, රේවත, සෝභිත යන බුදුවරයන් සතර නම එක් කල්පයක පහළ වූහ. එයින්ද කල්ප අසංඛ්‍යයක් බුද්ධශූන්‍ය විය.

කල්ප අසංඛෙය්‍ය අවසානයෙහි වනාහි මෙයින් කල්ප ශතසහස්‍රයකට අධික කල්ප අසංඛ්‍යයට පෙර අනෝමදස්සී, පදුම, නාරද යන බුදුවරු තුන් නම එක් කල්පයක පහළ වූහ. එයින් කල්ප අසංඛෙය්‍යක් බුද්ධශූන්‍ය විය.

කල්ප අසංඛෙය්‍යක් අවසානයෙහි වනාහි මෙයින් කල්ප ශතසහස්‍රයකට මත්තෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පමණක් එක් කල්පයක පහළ වූහ. එයින් මෙහා මෙයින් කල්ප තිස්දහසකට පෙර සුමේධ, සුජාත කියා බුදුවරු දෙනමක් එක් කල්පයක පහළ වූහ. එයින් මෙහා මෙයින් කල්ප දහඅට දහසකට පෙර අත්‍ථදස්සී, පියදස්සී. ධම්මදස්සී යැයි බුදුවරු තුන් නමක් එක් කල්පයක පහළ වූහ. ඉක්බිති මෙයින් අනූහතරවන කල්පයෙහි සිද්ධාර්ථ නම් බුදුරජාණන් වහන්සේ පමණක් එක් කල්පයක පහළ විය.

මෙයින් අනූදෙවන කල්පයෙහි තිස්ස, ඵුස්ස කියා බුදුවරු දෙනමක් එක් කල්පයක පහළ වූහ. මෙයින් අනූ එක්වන කල්පයෙහි විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූහ. මෙයින් තිස්එක්වන කල්පයෙහි සිඛී, වෙස්සභූ යැයි බුදුවරු දෙනමක් පහළ වූහ. මේ භද්‍ර කල්පයෙහි කකුසඳ, කෝණාගම, කස්සප හා අපගේ භාග්‍යවතුන් වහන්සේ වන ගෞතම යන බුදුවරයන් වහන්සේලා සතරනමක් පහළ වූහ. මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ අනාගතයේ පහළ වන්නේය. මෙසේ මේ කල්පය බුදුවරයන් පස්නමකින් සමන්විත බැවින් සුන්දර කල්පය කියාද, සාර කල්පය කියාද යන ලෙසින් බුදුරජාණන් වහන්සේ මේ කල්පය වර්ණනා කරමින් මෙසේ වදාළහ.

මේ කල්පයෙහි මෙපමණ බුදුවරු පහළ වූහ. පහළ වන්නාහ යන මේ කරුණ බුදුවරයන් වහන්සේලාට පමණක් දැනෙන්නේ ඇයි? නැත්නම් අන් අයටත් පෙනේද? එසේය. අන් අයටද පෙනෙයි. කවර අයටද? ශුද්ධාවාස බ්‍රහ්මයන්ට.
කල්පය පිහිටන කල්හි එක් අසංඛෙය්‍යක් එක් අංගනයක් ලෙස පිහිටි කල්හි ලෝකයාට පිළියෙල වීම පිණිස වැස්ස වසින්නට පටන් ගනී. ආරම්භයේදී අතරෙහි පිහිටි හිමපතනයක් මෙන් වෙයි. එයින් නිවුඩු, සහල්, මුං, මෑ, බජිරි, නෙල්ලි, කැකිරි, කොමඩු, ලබු ආදිය දිය ධාරාවක් මෙන් වී පිළිවෙලින් බඹය, දෙක, අට, අඩගව්වක්, අඩ යොදුනක්, යොදුනක්, දෙකක් -පෙ- යොදුන් සියයක්, යොදුන් දහසක් පමණ වී අකනිටා බඹලොව දක්වා කෝටි සහසහස්‍රයක් සක්වල ගැබ පුරවා සිටී. ඉක්බිති ඒ ජලය අනුපිළිවෙලින් පහත බසී. ජලය පහත බසින කල්හි ස්වාභාවික දිව්‍යලෝක පිහිටිය යුතු තැන්වල දිව්‍යලෝක පිහිටයි.

මිනිස්ලොව පිහිටන තැනට ජලය පත්කල්හි පෙරහන්කඩයක මුව වැසුවාක් මෙන් වායු බලයෙන් ඒ ජලය ස්ථිරව පිහිටා සිටියි. ඒ ජලය මතුපිට නෙලුම්පතක් මෙන් මහපොළොව පිහිටයි. ලෝකය විනාශවන විට මහබෝමැඩ පසුව විනාශ වෙයි. පිහිටනවිට පළමුවෙන් පිහිටයි. එහි පෙරනිමිත්තක් වී නෙලුම්ගසක් පහළවෙයි. ඉදින් ඒ කල්පයෙහි බුදුවරුන් පහළවන්නේ නම් මලක් හටගනී. නොවේනම් මලක් හටගන්නේ නැත. එසේ මල් හටගන්නා විට එක් බුදුවරයෙක් පහළ වන්නේ නම් එක් මලක් ද, දෙකක්, තුනක්, හතරක් ආදී වශයෙන් බුදුවරයන් වහන්සේලා පස්නමක් පහළ වන්නේ නම් මල් පහක් හටගනී. ඒ මල්ද එක් දණ්ඩක කර්ණිකා එකට බැඳී හටගනී. ශුද්ධාවාස දෙවිවරු, යමු. පෙරනිමිති බලමු යැයි මහබෝමැඩ පිහිටි තැනට එක් බුදුවරයන් පහළනොවන කල්පයකදී මල් හටගන්නේ නැත. ඒ ශුද්ධාවාස දෙවිවරු මල් නැති ගස බලා ලෝකය වනාහි අඳුරු වන්නේය. මැරෙන මැරෙන සත්ත්වයෝ අපායේ පිරෙත්. සදෙව්ලොවත් බ්‍රහ්මලෝක නවයත් හිස් වන්නේ යැයි අසතුටු සිත් ඇත්තෝ වෙත්. මල් පිපුණු කල්හි වනාහි මල් දැක සර්වඥ වූ බෝධිසත්ත්වයන් මව්කුසට පිවිසෙන විටත්, මව්කුසින් බිහිවන විටත් සම්මා සම්බෝධියට පත්වනවිටත් දම්සක් පවත්වන විට යමක ප්‍රාතිහාර්ය පවත්වන කල්හි දේවාරෝහණය කරන කල්හිද ආයු සංස්කාර කරන කල්හිද පිරිනිවන්පානා විටත් දසදහසක් සක්වල කම්පා වීම ආදී ප්‍රාතිහාර්යයන් දකින්නෙමු යැයි ද සතර අපාය පිරිහෙන්නේය. සදෙව්ලොවත් බ්‍රහ්මලෝක නවයත් පිරෙන්නේ යැයි සතුටු සිත් ඇත්තාහු උදන් අනමින් තම තමන්ගේ බ්‍රහ්මලෝකවලට යත්. මේ කල්පයෙහි වනාහි නෙලුම්මල් පහක් හටගත්තේය. ඒ නිමිතිවල අනුභාවයෙන් බුදුවරු සතරනමක් පහළ වූහ. පස්වැනි බුදුහිමියෝ පහළ වන්නාහ. ශුද්ධාවාස බ්‍රහ්මයෝද ඒ මල් දැක මේ කාරණය දැනගත්හ. ඒ නිසා කියන ලදි. ‘අන් අයටද පෙනී යයි’

පෙර විසූ කඳපිළිවෙල කවරෙක් නම් සිහි කරන්නේද? කවරෙක් නම් සිහි නොකරන්නේද?

තීර්ථකයෝ සිහි කරති.

ශ්‍රාවකයෝ සිහි කරති.

පසේ බුදුවරයන් වහන්සේලා සිහි කරති.

බුදුරජාණන් වහන්සේලා සිහි කරති.



කොතරම් සීමාවක් තීර්ථකයෝ සිහිකරත්ද? යම් ඒ කර්මවාදී වූ අගතැන්පත් වූවාහු ද කල්ප හතලිහක් සිහිකරත්.

කොතරම් සීමාවක් ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ශතසහස්‍රයක් සිහිකරත්.

කොතරම් සීමාවක් අගසව් දෙදෙනා වහන්සේ අසංඛෙය්‍ය වූ කල්ප ශත සහස්‍රයක් සිහිකරත්.

කොතරම් සීමාවක් පසේබුදුවරයන් වහන්සේලා කල්ප ශතසහස්‍ර අසංඛ්‍ය දෙකක්ද සිහිකරත්.

බුදුවරයන් වහන්සේලාට මෙපමණයැයි සීමාවක් නැත. යම්තාක් කැමැති වෙත්ද ඒතාක් සිහි කරත්.



යම් ඒ අගතැන්පත් කර්මවාදී තීර්ථකයෝ වෙත්ද ඔවුහු කඳපිළිවෙලින් සිහිකරත්. පිළිවෙල සිඳ දමා නොහැකි වෙත්. පිළිවෙලින් සිහිකරන්නාහු නමුත් අසඤ්ඤභාවයට පැමිණ ස්කන්ධ පැවැත්ම නොදකිත්. දැලෙහි බැඳුනු පක්‍ෂීන් මෙනි. මොට වූවන් මෙන් කොරුන් මෙන් වෙත්. ඔවුහු එහි සිට මෙය පමණයි. මින් එහා නැත යන දෘෂ්ටිය ගනිත්. මෙසේ තීර්ථකයන් පෙරවිසූ කඳපිළිවෙල සිහිකිරීම වනාහි අන්ධයාගේ කණවැල අල්ලාගෙන යාම වැනිය. යම්සේ අන්ධයෝ සැරයටිය අග අල්වා ගත්තවුන් ඇතිකල්හි යත්. නැතිකල්හි එහිම හිඳිත්. මෙපරිද්දෙන් තීර්ථකයෝ කඳපිළිවෙලින් සිහිකරන්නට හැකිවෙත්. පිළිවෙල හැර නොහැකි වෙත්.

ශ්‍රාවකයෝ ද කඳපිළිවෙලින් සිහිකරත්. අසඤ්ඤ භවයට පැමිණ ස්කන්ධයන්ගේ පැවැත්ම නොදකිත්. මෙසේ ඇතිකල්හිද සසර සැරිසරන සත්ත්වයන්ගේ ස්කන්ධයක් නොමැති කාලයක්ද නැත. අසඤ්ඤ භවයෙහි වනාහි කල්ප පන්සියයක් පවතීයැයි එපමණ කාලයක් ඉක්මවා බුදුවරයන් වහන්සේලා විසින් දෙන ලද ක්‍රමයෙහි පිහිටා එයින් එහි සිහිකරත්. යම්සේ ආයුෂ්මත් ඝොසිත තෙරුන් මෙනි.

අගසව් දෙනමද පසේබුදුරයන් වහන්සේලා ද චුති ප්‍රතිසන්ධි බල බලා සිහිකරත්.

බුදුවරයන් වහන්සේලාට චුති, ප්‍රතිසන්ධි දෙකම නැත. යම් යම් ස්ථානයක් දකිනු කැමැතිද ඒ ඒ දේම දකිත්.



තීර්ථකයෝ ද පෙර අත්බැව් සිහිකරන්නාහු තමා විසින් දකින ලද අසන ලද කරන ලද දෙයම සිහිකරත්. ශ්‍රාවකයෝද එසේම වෙත්.

පසේබුදුවරයන් වහන්සේලාත්, බුදුවරයන් වහන්සේලාත් තමන් විසින් හෝ අනුන් විසින් දකින ලද අසන ලද කරන ලද සියල්ලම සිහිකරත්.



තීර්ථකයන්ගේ පෙර විසූ අත්බැව් දැනීමේ නුවණ කදෝපැණියකුගේ ආලෝකය බඳුය.

ශ්‍රාවකයන්ගේ වනාහි ප්‍රදීපයක ආලෝකය බඳුය.

අග්‍ර ශ්‍රාවකයන්ගේ වනාහි ඕෂධී තාරකාවේ ආලෝකය මෙනි.

පසේබුදුවරයන් වහන්සේලාගේ වනාහි චන්ද්‍රයාගේ ආලෝකය වැනිය.

බුදුවරයන් වහන්සේලාගේ වනාහි සරත් කාලයේ සූර්යයාගේ ආලෝකය බඳුය. උන්වහන්සේලාට මෙපමණ ජාති සියය ජාති දහසක් ජාති ලක්‍ෂයක් හෝ කල්ප සියයක් කල්ප දහසක් කල්ප ලක්‍ෂයක් කියා නැත. යමක් සිහි කරන්නේ ද එහි පැකිලීමක් හෝ ගැටීමක් නැත. ආවර්ජනය හා බැඳුනේම වන්නේ ය. කැමැත්ත, මෙනෙහි කිරීම හා සිතිවිල්ල පහළවීම හා බැඳී පවතී. දුබල පරඬලාවක හෙළන ලද රත්වූ යකඩයක් මෙන් සිනේරු පර්වතයෙහි විදින ලද වජ්‍රයක් මෙන් නොරැඳී ගමන් කරයි.
අහෝ! බුදුවරයන් වහන්සේගේ පෙර විසූ කඳපිළිවෙල දන්නා නුවණ පුදුම සහගත ය. මහත්ය.

චෛත්‍ය වහන්සේ වන්දනා කළයුතු අකාරය

යම් භික්ෂුවක් දවසක් සක්මනින් හිඳීමෙන් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කොට, එසේම රාත්‍රියෙහි ප්‍රථම යාමයද, මධ්‍යම යාමයෙහි සයනයකොට පශ්චිම යාමයෙහි හිඳීම් සක්මනින් කල්ගෙවා උදෑසනම සෑමළු බෝමළු වත් කොට බෝරුකෙහි ජලය ඉස පැන් බොජුන් එළවා ආචාර්ය උපාධ්‍යය වත් ආදී සියලු කඳුවත් සමාදන්ව සිටී. හේ සිරුරු පිරියම්කොට සෙනසුනට පිවිස උණුසුම් කරමින් කමටහන්හි යෙදී පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි නැගිට කමටහන් හිසින්ම පාසිවුරු ගෙන සෙනසුනින් නික්ම කමටහන් සිහි කරන්නේම සෑමළුවට ගොස් යම්හෙයකින් බුද්ධානුස්සති කමටහනක් වේද එය අත්නොහැරම සෑමළුවට පිවිසෙයි. අන් කමටහනක් වේනම්, හිණි පාමුල අතින් ගත් භාණ්ඩයක් මෙන් එය තබා බුදුන් අරමුණු කොටගත් ප්‍රීතියෙන් සෑමළුවට නැග චෛත්‍ය මහත් නම් තෙවරක් පැදකුණු කොට සිව්තැනෙක වැඳිය යුතුය. චෛත්‍යය කුඩානම් එසේම පැදකුණු කොට අටතැනෙක වැඳිය යුතුය. චෛත්‍යය වැඳ බෝමළුවට පැමිණියහු විසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමුවෙහි මෙන් වැදහෙව බෝධිය වැඳිය යුතුය. හේ මෙසේ චෛත්‍යයද බෝධියද වැඳ පිළියෙල කළ තැනට ගොස් පිළියෙල කළ භාණ්ඩය අතින් ගන්නාක් මෙන් තැබූ කමටහන ගෙන ගම සමීපයෙහි කමටහන් හිසින්ම සිවුර පොරවා ගමට පිඬු පිණිස පිවිසෙයි.

පඤ්ඤත්තෙ ආසනෙ යනු

බුද්ධ කාලයෙහි ඒ ඒ තැන භික්‍ෂුවක් හෝ වාසය කළේය. ඒ සියළු තන්හිම බුද්ධාසන පනවන ලද්දේම වේ. කවර හෙයින්ද යත්, තමන් සමීපයෙන් කමටහන් ගෙන පහසු තැන්වලට ගිය භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ (වරින්වර) සිහිකරන සේක. අසවල් භික්‍ෂුව මා සමීපයෙන් කමටහන් ගෙන ගියේය. ඔහුට මාර්ගාධිගමයක් උපදවන්නට හැකිවීද නැද්දැයි උන්වහන්සේ ඔවුන් පිළිබඳ බලති. එකල්හි ඔව්හූ කමටහන් හැර දමා අකුසල විපාකයක් උපදවාගෙන සිටීනම්, උන්වහන්සේ දකිති. නැවත, මා සමාන වූ ශාස්තෲවරයෙකු සමීපයෙන් කර්මස්ථාන ගෙන වසන්නා වූ මේ කුලපුත්‍රයා අකුශල විතර්කයන් මැඩපවත්වා අනවරාග්‍ර වූ මේ සංසාර දුකෙහි ගිල්වන්නේ කෙසේදැයි ඔහුට අනුග්‍රහ පිණිස ඒ කුලපුත්‍රයාට එහිදීම තමන් දක්වා ඒ කුලපුත්‍රයාට අවවාද කොට අහසින් තමන් වසන තැනටම වැඩමවන්නේ ය. එකල්හි ඔවදන් ලබන්නා වූ භික්‍ෂුව මෙසේ සිතයි. ශාස්තෲන් වහන්සේ අපගේ සිත් දැන වැඩමවා අපගේ සමීපයේ සිටම අපට දක්වන්නේ ය. ඒ අවස්ථාවේ මෙහි වැඩ සිටින්න, මෙහි වැඩ සිටින්න යැයි අසුන් සෙවීම කළ නො හැක්කේය. ඒ නිසා බුදුන් සඳහා ආසන පනවාම ඔහු වාසය කරති. යමෙකුට පුටුවක් ඇත්ද ඔහු එය පනවයි. යමෙකුට නැත්තේද, හෙතෙම ඇඳක් හෝ පුවරුවක් හෝ, ලී කොටයක් හෝ ගලක් හෝ වැලි ගොඩක් හෝ ඒ සඳහා පනවයි. එයත් නො ලබන්නාහු පැරණි පරණලා රැස්කොට ඒ මත පාංශුකූල රෙද්දක් අතුරා තබති. මේ වනාහි ස්වභාවිකවම පනවන ලද්දා වූ අසුනක් වන්නේ ය.

එකමන්තං යනු

කෙසේ සිටි විට එකත් පස් ව සිටියේ නම් වේ ද?

ස්ථාන දෝෂ හය මඟ හැර, එනම් –

අති දූර, අති ආසන්න, උපරිවාත, උන්නත ප්‍රදේශ, අති සම්මුඛ, අති පශ්චාත් යනුවෙනි.

  1. අතිදූරේ (බොහෝ ඈතින්) සිටියේ: ඉදින් කථා කරනු කැමැත්තේ නම් උස් හඬින් කථා කළ යුතු වේ.
  2. අත්‍යාසන්න (ඉතා ළං වූ) තැනක සිටියේ ගැටීම් (හැප්පීම්) ඇති කරයි.
  3. උපරිවාත (උඩු සුළඟට) සිටියේ ශරීර ගන්ධයෙන් බාධා පැමිණේ.
  4. උන්නත ප්‍රදේශයෙහි (ඉහළ තැනක) සිටියේ අගෞරවය ප්‍රකාශ කරයි.
  5. අති සම්මුඛ (බෙහෙවින් ම ඉදිරිපිට) ස්ථානයක සිටි විට, ඉදින් දැකීමට කැමැත්තේ නම් ඇසින් ඇස ගටා දැකිය යුතු වේ.
  6. අති පශ්චාත් (බෙහෙවින් පිටුපස වූ) ස්ථානයක සිටි විට, ඉදින් දැකීමට කැමැත්තේ නම් බෙල්ල දික් කර දැකිය යුතු වේ.

එහෙයින් මේ ස්ථාන දෝෂ හය මඟ හැර සිටියේ ය.

ඥානවන්ත වූ දෙව් මිනිස්සු ගරු කටයුතු තැනකට පැමිණ අසුන් ගැනීම පිළිබඳ නිපුණතාවෙන් යුතු ව එකත් පස් ව සිටිති.


එකත් පසක සිටින විදි කීපයක් තියනවා

එකමන‍්තං අට‍්ඨාසි

හිඳ ගැනීමෙන් තොරව, එක් තැනකට වී සිට ගෙන සිටියේ ය. ( බොහෝමයක් දෙවියන් )

කවර හෙයින් නො හිඳ සිට ගෙන සිටියේ ද? ඉක්මනින් ආපසු යාමේ කැමැත්ත නිසාය. දේවතාවෝ කිසියම් වැදගත් කරුණක් නිසා, පිරිසිදු මිනිසෙකු මෙන් අපිරිසිදු තැනක් වූ මිනිස් ලොවට එති. යොදුන් සියයක දුරක පටන් මිනිස්ලොවෙහි දුගඳ දැනෙන බැවින්, පිළිකුල් වෙයි. මිනිස් ලොවෙහි ඇළුම් නො කරති. එහෙයින් පැමිණි කරුණ අවසන්කොට, ඉක්මනින් ආපසු යාමට කැමතිව හිඳගත්තේ නැත. ගමන් කිරිමේදී ඉරියව් පවත්වා ගැනීමේදී ඇතිවන වෙහෙස දුරුකරගැනීම පිණිස, යම් කෙනෙකුට හිඳගැනීම අවැසි වේද, දෙවියන්ට එබඳු වෙහෙස නැත. මහා සව්වන් පිරිවරා බුදුරජාණන් වහන්සේ වැඩසිටි බැවින්, ගරුසැළකිලි දැක්වීමටද හිඳගත්තේ නැත. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගරුබුහුමන් දක්වනු පිණිස ද හිඳගත්තේ නැත. හිඳගනු කැමති දේවතාවුන්ට ආසන පහළ වේ. ඊට නොකැමතිව, හිඳගැනීමට සිතකුදු ඇතිකර නොගෙන, එකත්පස්ව සිටියේය.

එකමන‍්තං නිසීදිංසු

ඉක්බිති සෝණදණ්ඩ බමුණා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කෙළේ ය. සිතැ රැඳවිය යුතු වූ පිළිසඳර කතා අවසන් කොට පසෙක ඉඳගත්තේ ය. චම්පානගරවාසී බමුණෝත් ගැහැවියෝත් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පසෙක ඉඳගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කළහ. සිතැ රැඳවියැ යුතු පිළිසඳර කොට නිමවා පසෙක හිඳගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා වැඳ පසෙක ඉඳගත්හ. කෙනෙක් නම් ගොත් අස්වා පසෙක ඉඳගත්හ. කෙනෙක් නිහඬ වැ පසෙක ඉඳගත්හ.

ඉක්බිති වේනාගපුර වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කරණුවට නිසි කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි බැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණිම්භූත ව එකත් පසෙක හුන්හ.