Ape Budu Hamuduruwo 24

අපේ බුදුහාමුදුරුවෝ 24

 

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 07

පරිණායක රත්නය

හත්වෙනි රත්නය ‘පරිණායක රත්නයයි’. මිට පෙර සඳහන් කල ගහපති රත්නය පහල වූවායින් පස්සේ සක්විති රජකෙනෙකුගේ සියලු කෘත්‍ය සම්පාදනය කිරීමේ සමර්ථ පරිණායක රත්නයක් පහළ වෙනවා. ඒ තමයි රජතුමාගේ වැඩිමහල් පුත්‍ර රත්නය. සාමාන්‍යයෙන් සක්විති රජ කෙනෙකුට පුතුන් දාහක් ලැබෙන බව සඳහන්.  බොහෝ විට ධර්මයේ සඳහන් වන්නේ පරිණායක රත්නය වැඩිමහල් පුත්‍ර රත්නය බවයි. සක්විති රජතුමාගේ ඇවෑමෙන් ඊළඟ සක්විති රජකම හා රාජ්‍ය ලබා ගන්නේ මේ පරිණායක රත්නයයි.

ස්වභාවයෙන්ම ඔහු පඬිවරයෙක්. ව්‍යක්තයෙක්. නුවණැත්තෙක්. ඔහු රජතුමාට වෙහෙසෙන්නට දෙන්නේ නැහැ වගේම රජතුමාත් පෞද්ගලික අත්‍යාවශ්‍යතාවයන් සහ රාජ්‍යය පරිපාලනය සඳහා අවශ්‍යය සියලුම කටයුතු පවරන්නේ ඔහුට. රජතුමාගේ පින්වත්කම නිසාත් ඔහුගේ කර්මානුභාවයෙනුත් ඔහු ඉපදෙන්නේ අනුන්ගේ සිත් දැනගන්නා ඤාණය ද සමගින්. ඔහුට පුළුවන් යොදුන් දොළහක් ඇතුළත රජ පිරිසේ සිත් හැසිරෙන ආකාරය ගැන දැන රජතුමාව දැනුවත් කරන්න. ඒ මගින් රජුට හිතවත් වගේම අහිතවත් අයවත් වෙන් කර හඳුනාගන්න සමත් වෙනවා.

මේ අයුරින් කිසිම මැති ඇමතියෙකුට පරිණායක රත්නයට හොරා සතරකන් මන්ත්‍රණයක් වත් කරන්නට වෙන්නේ නැහැ. ඒ නිසාම රාජ්‍යය ඉතාමත් දැහැමින් සෙමින් සමගි සම්පන්නව පාලනය වෙනවා. විජිතාවී සක්විති රජතුමා නොහොත් අපේ බෝසතාණන් වහන්සේටත් එවැනි ලොකු පුතෙක් හිටියා. ඇත්තෙන්ම අපි හැමෝටමත් ලොකු පුත්තු ඉන්නවා. ඒ අයට ඉහතින් කියූ සෘද්ධි බල නැතත් අපගේ දුක සැප හොයා බලනකොට අපිට දැන්නේ පරිණායක රත්නයක් වගේ නෙවෙයි. සක්විති රත්නයක් විදිහටයි.

 
 

Ape Budu Hamuduruwo 23

අපේ බුදුහාමුදුරුවෝ 23

 

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 06

ගෘහපතිරත්නය,

අද කියන්න යන්නේ විජිතාවී රජ්ජුරුවන්ගේ සත් රුවනේ සයවැන්න වන ගෘහපතිරත්නය ගැනයි. ගෘහපතිරත්නය කියන්නේ සක්විති රජතුමාගේ සියලු ධනය වස්තුව පහසුවෙන් පැවැත්වීම සඳහා පහළවෙන උත්තමයෙකුට. ඔහු උපදින්නේත් මහත් සම්පත් ඇති මහත් භවභෝග ඇති උසස් සිටු කුලයක සිටුවරයෙකු ලෙස. ඔහු රජතුමාගේ ධනය වස්තුව පාලනය කරනවා පමණක් නොවෙයි. රජ්ජුරුවන්ට ධනය රැස්කර දෙන ගහපති සිටුවරයාද වෙනවා. ඔහුට උපතින්ම ලැබෙන විශේෂ ලාභයක තියෙනවා. ඒ තමයි දිවැස්. එය ලැබෙන්නේ ඔහු පෙර භවයන්හි කල කුසල කර්ම විපාකයන්හි ප්‍රතිඵලයක් ලෙසත් සත් රුවනේ ආණුභාවය නිසාමත්මයි. ඒ දිවැස ඔහුට පෘථිවිතලය මත සාගරය තුල හෝ පොළොව යට හෝ යොදුනක් පමණ දුර ඇති නිධාන පෙනෙනවා. හිමිකරුවන් නැති නිධාන වෙතොත් එය රජ්ජුරුවන්ට පෙන්වා හිමි කරදෙනු ලබනවා.

මේ ගැන ලස්සන විස්තරයක් දීඝ නිකායේ මහා සුදස්සන සුත්‍රයේ තියෙනව. මේ එහි දැක්වෙන අයුරුයි.

“නැවතද අනිකක් නම්, ආනන්දය, මහා සුදර්ශන රජහට ගෘහපති රත්නයක් පහළ වූයේය. ඒ ගෘහපති රත්නයට කුශල විපාකයෙන් දිවැස් පහළවිය. යමකින් අයිතිකාරයන් ඇතිවූද, නැතිවූද නිධාන දකීද එබඳු දිවැසකි. ඒ ගෘහපති රත්නය මහා සුදර්ශන රජු වෙත පැමිණ මෙසේ කීවේය. දෙවයන් වහන්ස, උත්සාහ නොකළ මැනව, මම ඔබ වහන්සේගේ ධනයෙන් වුවමනා කටයුතු කරන්නෙමියි” ධනයෙන් පැවරීය. ආනන්දය පෙරවූවක් කියමි. මහා සුදර්ශන රජ ඒ ගෘහපති රත්නය විමසනු පිණිස නැවකට නැගී ගංගානම් ගඟ මැද දිය පාරට පැමිණ ගෘහපති රත්නයට මෙසේ කීය ‘ගෘහපතිය, මට රත්රනින් ප්‍රයෝජන ඇත්තේය’ යනුයි ‘මහ රජාණෙනි, එහෙනම් නැව එක් ගොඩකට (තෙරකට) පමුණුවනු මැනවැයි’ කීය. ‘ගෘහපතිය, මට මෙහිදීම රන් රුවනින් ප්‍රයෝජන ඇත්තේය’යි කීය.

“ආනන්දය, එවිට ඒ ගෘහපතිරත්නය දෝතින් දියදෙබෑ කොට රන්රුවනින් පිරි ඇති නිධිකුම්භයක් (නිධාන කළයක්) ඔසවා මහා සුදර්ශන රජුට මෙසේ කීය. ‘මහ රජාණෙනි, මෙපමණකින් ප්‍රමාණද, මහ රජාණෙනි, මෙපමණකින් (කටයුතු) කරන ලද්දේද, මහරජාණෙනි, මෙපමණකින් (ඔබවහන්සේ) පුදන ලද්දේදැයි’ ඇසීය. මහාසුදර්ශන රජ තෙමේ ගෘහපතිය, මෙපමණකින් ප්‍රමාණය, ගෘහපතිය, මෙපමණකින් (කටයුතු) කරන ලද්දේය. ගෘහපතිය, මෙපමණකින් පුදන ලද්දේයයි’ කීය ආනන්දය, මහා සුදර්ශන රජුට මෙබඳු ගෘහපති රත්නයක් පහළ වූයේය.

ඒ විජිතාවී සක්විති රජතුමාටත් එවැනිම ගෘහපතිරත්නයක් හිටියා.

Ape Budu Hamuduruwo 22

අපේ බුදුහාමුදුරුවෝ 22

 

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 05

දිව්‍යමය ස්ත්‍රීරත්නය

මෙසේ මිනිරුවණ පහළවීමෙන් පස්සේ සක්විති රජතුමාගේ අග්‍ර මෙහෙසිය ලෙස විශේෂ වූ ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. එය සමහර විට මදුරජ කුලයෙන් විය හැකියි. එසේත් නැතහොත් උතුරුකුරු දිවයිනෙන් විය හැකයි. එසේත් නැතහොත් පුණ්‍ය අනුහසින් තමා විසින්ම ආරාධනයකින් තොරව එනු ලබන්නියක් විය හැකියි.

ඕතොමෝ මනා රූ ඇත්තීයකි. දකින්නන් වසඟයට පත්වේ. ඒ නිසාම තම තමන් නිරත වූ කාර්යයන් පසෙක ලා දුටුවන් දෙනෙත් නොපියා බලා සිටි.  උතුම්වූ වර්ණ සංකලනයක් වගේ සෞන්දර්යාත්මකයි. ගොඩක් උසත් නැහැ. ගොඩක් මිටිත් නැහැ. ඉතා කෙට්ටුත් නැහැ. ඒ වගේම ඉතා මහතත් නැහැ. ඉතා කළුත් නැහැ, ඉතා සුදුත් නැහැ, රන්වන් පාටයි.

සාමාන්‍යයෙන් මිනිසුන්ගේ වර්ණාලෝකය පිටතට පෙනෙන්නේ නැහැ. එත් දෙවියන්ගේ දොළොස් රියනක් පමණ දුරට විහිදෙනවා. එහෙත් ඇයගේ වර්ණය මිනිස් වර්ණය ඉක්මවූ එහෙත් දිව්‍ය වර්ණයට නොපැමිණියාවූ (දෙවඟනක් සමාන) ඒ දෙකට අතර වූ ප්‍රභාශ්වර බවක්. 

ඇයගේ සිරුරේ ස්පශයද විශේෂයි. එය මෙවැන්නක්.  ඉඹුල්පුළුන්වල හෝ කපු පුළුන්වල යම්බඳු ස්පර්ශයක් ඇද්ද, එබඳු ස්පර්ශයක්. ඒ විතරක් නොවෙයි, ශීත කාලයේ ඒ ස්ත්‍රී රත්නයගේ ශරීරය උණුසුම් වෙනවා. එයින් රජතුමාට යහනේදී උණුසුම ලැබෙනවා. ඒ වගේම උණුසුම් කාලයේදී ඇයගේ වත සීත වනවා. එයින් උණුසුම අධික අවස්ථාවල ඇයගේ පහස සිසිලස ගෙන එනවා.

ඒ ස්ත්‍රී රත්නයයේ ශරීරයෙන් සඳුන් සුවඳ නිරන්තරයෙන්ම විහිදෙනවා. මුව විවර කරන සෑම වතාවකම නිල් උපුල් මල්සුවඳ හමනවා.

ඇය රජු දුටු විගස ගින්නෙන් දැවුනාක් මෙන් පළමුව හුන් අසුණින් නැගි සිටිනවා. ඒ වගේම රජු අවදිවීමට කලින් අවදිවී සැරසී සිටිනවා. ඒ වගේම රජු හිඳගත් විට තල්වැටින් පවන් සැලීම අදියකොට රජු සැතපුන පසුව නින්දට යනවා.

“දේවයනි කුමක් කරම්ද? ඔබ හට අවශ්‍ය යමක් ඇත්ද?” යනාදී ප්‍රිය තෙපුල් තෙපලමින් වචනයෙන් පවා කීකරු බව දක්වමින් දාසියක් මෙන් හැසිරෙනවා.

ප්‍රිය මනාපව හැසිරෙනවා. යමක් රජු ප්‍රිය නම් ඒ දේම කියනවා. අකමැති දේ කතා කරන්නේ නැහැ. කරන්නේත් නැහැ. මේ සියල්ලම පාරිශුද්ධ වූ ආචාරශිලත්වයේ උපරිමය නිසාම වන අතර කපටි කෛරාටික බව නිසා නොවන බවත් මතක තියාගන්න ඕනේ.

ඇය කිසි කලෙක රජු ඉක්මවා නොහැසිරෙයි. බොහෝ සිල්වත් වෙයි. රාගාදී කෙලෙස් තුනී වුවෙක් වෙයි. ඒ නිසාම අනාචාරයේ නොහැසිරෙන පතිවෘතාව දිවිහිමියෙන්ම රකින තැනැත්තියක් වෙයි. ඒ නිසාම රජු හැර අන් පුරුෂයෙක් සිතෙන්වත් නොපතයි. එසේනම් කයෙන් කියනුම කවරේද?

මෙය කියවන ඔබ ස්ත්‍රියක් නම් ඔබටත් එවැනිම ස්ත්‍රී රත්නයක් විය හැකියි.  මෙය කියවන ඔබ පුරුෂයෙකුනම් ඔබටත් සක්විති රජකම හිමි කරගත හැක. අවශ්‍ය වන්නේ දාන සීල පාරමිතා පිරිම පමණි.

Ape Budu Hamuduruwo 21

අපේ බුදුහාමුදුරුවෝ 21

 

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 04

දිව්‍යමය මාණික්‍ය රත්නය.

අශ්වරත්නය ගැන ලියනකොට පාන්දර දෙකහමාර පමණ වුනා. ඒ නිසා සමහර දේ අත හැරුනා. මෙසේ පහළ වන සත් රුවන් අතර සතරවැනි රුවන් තමයි දිව්‍යමය මාණික්‍ය රත්නය. මාණික්‍යරත්නය කියන්නේ සක්විති රජුට පහල වෙන ආලෝකය විහිදෙන මැණිකක්. මුළු මහත් රාජධානියම රාත්‍රියට හිරුමෙන් අලෝකවත් කරන්නත් එයට පුළුවන්. රියන් හතරක් පමණ විශාල දෙකළවර පියුම් කෙමියෙක කෙළවර මෙන් වෙළෙන ලද පිරිසිදු මුතු කලාපවලින් රන් පියුමෙන් අලංකාර කළ අසූහාර දහසක් මැණික් පිරිවරද සහිත තරු පිරුවරු සඳ මෙන් බබළන මහා මිණිරුවණක් වේපුල්ල පර්වතයෙන් මතුව එනු ලබනවා. මෙම මාණික්‍යය රත්නය උණ ලී ආධාරයෙන් රියන් හැටක් පමණ එසවීමෙන් රාත්‍රී භාගයෙහි හාත්පස යොදුනක් පමණ අවකාශයෙහි එලිය පැතිරෙනවා. හරියටම මෙකල රාත්‍රී ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගන එළිය කරනවා වගේ. ක්‍රීඩාංගන එලිය කරන්නේ අධි බලැති විදිලි බුබුලු දහස් ගණනකින්. මෙය එක් මැණිකකි. එකයි දිව්‍යමය මාණික්ය රත්නයක් කියන්නේ. එය හිරු නැගි කලක් මෙන් ප්‍රභාශ්වරයි. එයින් ගොවියෝ කෘෂිකර්මය, වෙළෙන්දෝ ආපන වැඩ සහ වෙළදාම, ඒ ඒ ශිල්පින් ඒ ඒ කර්මාන්වල යෙදෙන්නේ හරියටම දහවල දී වාගේමයි. අපේ බුදුහාමුදුරුවන්ට බෝසත්වියේදී මේ සියල්ලම පහළ වුනා පමණක් නෙවෙයි ඔබ අප වෙනුවෙන් ඒ සියල්ලමත් අත්හරිනු ලැබුවා.

Ape Budu Hamuduruwo 20

අපේ බුදුහාමුදුරුවෝ 20

 

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 03

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ගේ කාලයේ අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජව චන්දවතී නුවර වාසය කළා. ඒ කාලෙත් අවුරුදු අනුදාහක් විතර ආයුෂ. ඒ රාජ්‍යය සශ්‍රීක භාවයෙන් සහ මිනිසුන්ගේ පුණ්‍ය මහිමයෙන් ඉහලම තලයේ තියෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි. සම්මා සම්බුදු වරයෙක් ඒ හා සමානම පුණ්‍ය මහිමයක් ඇති සක්විති රජකෙනෙක් වගේම මතු බුදුවන බෝසත්වරයෙක් පහළ වුනු විරල කාලයක්. සමහරවිට ඔබත් මමත් ඉන්න ඇති කොහේ හරි.

රජකම පිය උරුමෙන් ලැබුනත් සක්විති රජකම පිය උරුමෙන් ලැබෙන දෙයක් නොවෙයි. එය ලබන්න පෙර වැඩු කුසල් මෙන්ම ආර්යය වු දස සක්‌විතිවත් වඩන්නත් ඕනේ. පොහෝ දින සුවඳ පැන් සොළොසකින් හිස සෝදා ස්නානය කොට පෙහෙවස්‌ සමාදන්ව උදේ කාලයේ කහවනු ලක්ෂයක් වියදම් කොට දානයක් දී රජ මාළිගයේ ඉහලම මාලයේ සිරියහනෙහි එරමිණියා ගොතා හිඳිමින් තමා දුන්නා වූ දානමය පින් ආවර්ජනය කරමින් සිටීම සියලු සක්විති රජුන්ගේ ධර්මතාවයක්. එසේ ප්‍රාසාදයේ සිටන විට නිල්මැණික් සමුහයක් මෙන් දිව්‍ය චක්‍ර රත්නය අහසින් මතු වී නගරය උඩින් රජ මාළිගාව දක්වා එන්න පටන් ගන්නවා. ඒ චක්‍ර රත්නයෙන් විහිදෙන එළිය වරෙක හිරු ලෙසත් වරෙක සඳු ලෙසත් තවත් වරෙක දිව්‍ය විමානයක් අහසේ ගමන් කරන ලෙසත් වගේ තමයි මිනිසුන්ට පෙන්නේ. ඒ එක්කම එහි ඇති නිම් වළලු ගරාදි අතරින් යන සුළඟ නගන්නේ විණා දහසක් වාදනය කරන්නාක් මෙන් මිහිරි නාදයක්. ඒ නාදය නිසා ගෙවල්  තුල සිටින මිනිසුන්ද එලියට එන්නේ  ඒ නාදය කොහෙන්ද එන්නේ යනුවෙන් විපරම් කරමින්. අවසානයේ ඒ සියලු ජනී ජනයා ඒ සත් රුවන යන පැත්තට ඇදී එන්නට පටන් ගන්නවා.

අවසානයේ ඒ සත්රුවනද රජ සඳහාම තමන්ගේ පැමිණීම දැක්වීමට මෙන් සත් වරක්ම පවුර මතින් නගරයට ගොස් ඉන් අනතුරුව රජ තුමාගේ ඇතුළු නගරය ප්‍රදක්ෂිණා කොට ඇතුළු පුරයේ සීමැදුරු කවුළුවට සමව සුවඳ මල් ආදියෙන් පහසුවෙන් පුජා කිරීමට හැකි ස්ථානයක අකුර ගැසුවාක් මෙන් නවතිනවා. මෙසේ සිටින විට ඒ නා නා විධි වර්ණ රජ තුමාගේ ප්‍රසාදය ඇතුලට වැටී සිටන හැටි රජතුමා දැක මහත් වූ ප්‍රීතියෙන් සීමැදුරු කවුළුවෙන් බලා අතීතයේ මෙන් තමන්ටද සක්විති රජකම ලද බව දැන ප්‍රීති වාක්‍ය පවසන්නට පටන් ගන්නවා. අපගේ බෝසතාණන් වූ විජිතාවී සක්විති රජුන්ටත් මේ දේ මෙලසින්ම සිදුවුනා.

මේ සක්රුවන කොතරම් කල් තිබේද එතරම් කල් සක්විති රජකම පවතී. යම් දිනක මෙය අතුරුදන් වේද එදින සිට සත් දිනක් ඇවෑමෙන් සක්විති කිරුලද අහිමි වේ.

 ඒ සමගම රජ තුමා හට රත්න හතක හිමිකම ලැබෙනවා. එනම්

  1. දිව්‍යමය චක්‍රරත්නය,
  2. දිව්‍යමය හස්තිරත්නය,
  3. දිව්‍යමය අශ්වරත්නය,
  4. දිව්‍යමය මාණික්‍ය රත්නය,
  5. දිව්‍යමය ස්ත්‍රීරත්නය,
  6. ගෘහපතිරත්නය, 
  7. පරිණායක රත්නය

දිව්‍යමය චක්‍රරත්නය.

ඉහත සඳහන් කලේ මේ සම්බන්ධව. සක්විති රජකම තහවුරු කරන්නේ මෙම චක්‍ර රත්නයෙන්. සාගරය කෙලවර කොට ඇති මෙම භුමි තලයේ සෑම දිසාවකටම එක් මොහොතකින් රජතුමා මැති ඇමති වරු වගේම ඒ සමග යාමට සිත් පහළවන හැමෝම ගෙන යාමට මෙම චක්‍රරත්නයට පුළුවන්. සාගරය තුලට යන විට සාගර ජලය දෙබෑ වී විනිවිද පෙනෙන මහා ප්‍රාසාද මෙන් රැඳී තියෙනවා පමණක් නොව මුතු මැණික් අභරණ වැනි නිධන් වස්තුන් රජතුමන් වෙත පැමිණෙන්නේ කැමති දේ ගැනීමටය. ඒ නිසාම රජතුමාට කිසිම රාජ්‍යයකින් බදු අය කලයුතු නැහැ. මෙම යානාව පෙරටු කොට යන සියලුම රාජ්‍යය යුද්ධයකින් තොරව යටත්වෙනවා. සියලු රජවරු රජතුමාට අවනත වෙනවා. ඔවුනට බදු ගෙවීම වෙනුවට දසරාජ ධර්මයෙන් රාජ්‍යය පවත්වාගෙන යන ලෙස අවවාද කරනවා. දැනුවත් කරනවා. මේ සියලු ප්‍රතිලාභ ලැබෙන්නේ මෙම චක්‍රරත්නයෙන්. ඒ ගැන ලියන්න තව පිටුගනණක්ම ලියන්න වේවි.

දිව්‍යමය හස්තිරත්නය,

හස්තිරත්නය කියන්නේ සක්විති රජතුමාට පහලවෙන අහසින් ගමන් කරන ධවල හස්ථි රජයාට. ඔහුත් පහළවන්නේ මහා පින් බලයට ඉබේටම. පිපුණු රන් පියුමක් මෙන් මනෝඥ වූ සොඬ අග ඇති, සෘධිමත් යෝගියකු මෙන් අහස් ගමනට සමත් මනෝසිලා සුණු ඇලුණු ඉදිරිපස ඇති රිදී පවුවෙන් මතු වුන ශ්‍රේෂ්ඨ ඇතෙක් මෙන් විත් මගුල් ඇතා අයින්කර ඉදිරියෙන් සිටිනු දැක සතුටුව ඇත්ගොවුවා වහා දුව ගොස් රජුට දන්වනවා. රජ පැමිණෙන විට පිරිවර ජනයා රන්දද රනින් වියනු ලැබූ රන් දැලකින් සරසා ඇතා රජු ඉදිරියට පමුණනවා. රජ්ජුරුවෝ ඇතා මතට නැගීමට ඇතාව දන ගස්වන්නේ නැහැ. ඒ වෙනුවට රුවන්මය ඉණිමගක් අධාරයෙන් පිට මතට ගොඩ වෙනවා. යා යුතු තැන සිතු සැණින් ඒ ඇත් රජ රාජ හංසයකු මෙන් ඉඳුනිල් මිනි ආලෝක ධාරා සතර දිසාවට විහිදුවමින් අහසට නැගී සියලු රජවරු වෙතට ගෙනගොස් උදේ ආහාරය සඳහා නැවත රාජ මාළිගාව වෙත රැගෙන එනු ලබන්නේ සුළු වෙලාවකින්.

දිව්‍යමය අශ්වරත්නය,

අශ්වරත්නය කියන්නේ අහසින් ගමන් කරන අජානීය අස්රජුටයි. ඒ වගේම මේ අස් රජුටත් ඇත් රජුටත් රජුගේ සිතුම් පැතුම් සිතූ සැනින් වැටහෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ අයට සිතෙන් අණ දෙන්න සක්විති රජුට පුලුවන්. යායුතු දිශාව සිතීම පමණයි කල යුත්තේ. රජ්ජුරුරුවෝ පෙර වගේම ඒ අශ්වයා බලාපොරොත්තුව ඉහත කි පරිදී පෙහවත් සමාදන් වී කරනු ලැබූ කුසලක්‍රියා අනුස්මරණය කරන මොහොතේම තමයි ඒ අශ්ව රත්නය පහල වෙන්නේ. ඔහුගේ පින් තෙදින් මෙහෙයවන ලද සින්ධව කුලයෙන් විදුලියෙන් එතූ සරත් කාලයේ සුදුවලා රැසක සිරිය පෑ, රතු පා, රතු හොම්බ , සඳරැස් රැසක සමාන පිරිසිදු සිනිදූ ඝණයෙන් යුත් ශරීරය කාක ගීවයක් මෙන් ඉඳුනිල් මිණි මෙන් ද කළුවන් හිසින් යුත් කලුහිස මනාව ලද්දාක් මෙන් අහසින් යන අස් රජද පහල වෙනවා. අනෙකුත් සියලු දේ ඇත් රජුට සමානයි.

Ape Budu Hamuduruwo 19

අපේ බුදුහාමුදුරුවෝ 19

 

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 02

අනන්ත සතරකැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා තියනවා. 

අනන්ත සතර

එනම් සත්ව ජාතීන්ද, අහසද, සක්වළවල්ද, බුද්ධ ඥානයද යන මේ සතර අනන්ත බවයි. මේ තවත් එවන් බුදුවරයෙකුගේ අතීත කතාවයි.

ත්‍රිපිටකයේ කොණ්ඩඤ්ඤ බුද්‍ධ වංශ කතාව පටන් ගන්නේ ලස්සන ගාථාවකින්. මම හිතන්නේ එය සෑම බුදුවරයෙකුටම සාධාරණයි. ඒ නිසා එහි තේරුම ලියන්න හිතුනා.

දීපඞ්කරස්ස අපරෙන, කොණ්ඩඤ්ඤො නාම නායකො;
අනන්තතෙජො අමිතයසො, අප්පමෙය්‍යො දුරාසදො.

මෙහි “දීපඞ්කරස්ස අපරෙන,” කියන්නේ දීපංකර බුදුන්ට පසුව යන තේරුමයි. ” කොණ්ඩඤ්ඤො නාම” යන්නෙන් අදහස් කරන්නේ සිය ගෝත්‍රයෙන් ලැබුණු නම් ඇති යන්නයි. “අනන්තතෙජො” යනුවෙන් අදහස් කරන්නේ සිය සිල් ගුණ පින් තෙදින් අපමණ තෙද ඇති එනම් යටින් අවිචිය ද උඩින් භාවාග්‍රයද සරසින් අපමණ ලෝකධාතු ද අතර එක් පුද්ගලයෙකු හෝ උන්වහන්සේගේ මුව බලා සිටීමට සමතෙක්නම් නැත්තේය යන බවයි.

“අමිතයසො” යනු අපමණ පිරිවර ඇත්තේය යන්නයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ වසර ලක්ෂයක් වූ පිරිනිවන් කාලය තෙක්  හික්ෂු සාසනයට එක්වූ භික්ෂු සංඝයාගේ ගණන මෙතෙකැයි සීමාවක් වුනේම නැහැ. . එහෙයින් “අමිතයසො” යැයි කියනු ලැබුවා.

කොණ්ඩඤ්ඤ  බුදුහාමුදුරුවන්ටත් මහා ශ්‍රාවක සන්නිපාත

කොණ්ඩඤ්ඤ  බුදුහාමුදුරුවන්ටත් මහා ශ්‍රාවක සන්නිපාත තුනක් තිබුනා.  කොණ්ඩඤ්ඤ  ශාස්තෘන් වහන්සේ බුදුබවට පත්ව පළමු වස සඳවතී නුවර අසල චන්ද්‍රා රාමයෙහි වාසය කළා. එහි සුචින්ධර නම් මහසල් බමුණාගේ පුත් චන්ද්‍රමානව නම් කීර්තිධර බමුණු පුත් සුභද්ද නම් තරුණයාද කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ වෙතින් බණ අසා පහන් සිතින් තරුණයන් දස දහසක් සමග උන් වහන්සේ වෙතින් පැවිදිව රහත් වුනා. ඉන්පසු කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ පොසොන් පුර පසළොස්වක දින සුභද්ද තෙරුන් ප්‍රමුඛ කෙළ ලක්ෂයක් පිරිවරා පාමොක් දේශනා කරනු ලැබුවා. එය පළමු සන්නිපාතයයි.

ඉන් මෙපිට කොණ්ඩඤ්ඤ බුදු පුත් විජිත තෙරුන් රහත් වූ කල උන්වහන්සේ ප්‍රමුඛ කෙළ ලක්ෂයක් මැද පාමොක් දේශණා කරන්නට වුනා. එය දෙවැනි සන්නිපාතයයි.

පසුකල දසබලයන් වහන්සේ ජනපද චාරිකා කරනසේක් අනුකෙළක් පිරිවර ඇති උදේත නම් රජතුමා පැවිදි කරනු ලැබුවා. ඒ පිරිස සමග ඔහු ප්‍රධාන කොට ඇති අනූ කෙළක් මහා සඟරුවන  සමග භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශණා කරනු ලැබුවා. එය තෙවැනි සන්නිපාතයයි.

ඊට අමතරව මෑත භාගයෙහි මහා මංගල සමාගමයෙහි දසදහසක් සක්වළ දෙවියෝ සියුම් ආත්මභාව මවාගෙන මේ සක්වළට රැස්වුනා. එහි එක් දිව්‍ය පුත්‍රයෙක් කොණ්ඩඤ්ඤ දසබලයන් වහන්සේගෙන් පැනයක් විමසුවා. ඔහුට භාග්‍යවතුන් වහන්සේ මංගල කරුණු දේශණා කරණු ලැබුවා. එහිදී අනූ කෙළ දහසක් දෙවිවරු රහත්වුනා. සෝවාන් වූවන්ගේ ගණන නිමක් නැත.

ඒකාලේ අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජව චන්දවතී නුවර වාසය කළා.