Ape Budu Hamuduruwo 222

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)222

 

අසිරිමත් බුදුගුණ වරුණ 15

ෂට් අසාධාරණ ඤාණ 01

 

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණං බුද්ධ ඤාණං

සත්තානං ආසයානුසයේ ඤාණං බුද්ධ ඤාණං

යමකපාටිහාරියේ ඤාණං බුද්ධ ඤාණං

මහාකරුණා සමාපත්තියා ඤාණං බුද්ධ ඤාණං

සබ්බඤ්ඞ්ත ඤාණං බුද්ධ ඤාණං

අනාවරණ ඤාණං බුද්ධ ඤාණං

ඉමානි චුද්දස බුද්ධඤාණානි, ඉමේසං අට්ඨ ඤාණානි සාවක සාධාරණානි – ඡ ̃ඤාණානි අසාධාරණානි සාවකේහී ති.

සම්මා සම්බුද්ධත්වය ගැන ඉගෙනගැනීමේදී ඔබ අප සැම විසින් දැන ගතයුතු විශේෂිත “ෂට් අසාධාරණ ඤාණ” නමින් හඳුන්වන තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ, සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේලාට පමණක් ලැඛෙන, ඤාණ සයක් පිළිබඳවයි ඉහත සූත්‍ර පාඨයෙන් කියවෙන්නේ. ඔබ “තෙසැත්තෑ ඤාණ” වශයෙන් හඳුන්වන ඤාණ සැත්තෑ තුනක් පිළිබඳව මිට පෙර අසා ඇති. ඒ ඤාණ සැත්තෑ තුනෙන් ඤාණ හැට හතක් සම්මා සම්බුදුවරුනට පමණක් නොව පසේ බුදු, අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක ආදි රහතන් වහන්සේලාට ද යම් මට්ටමකින් ලැබිය හැකි නිසා ඒ සියල්ලටම සාධාරණ ඤාණ නමින් හඳුන්වනවා. එහෙත් “තෙසැත්තෑ ඤාණ” අතරින් අවසාන ඤාණ සය පසේ බුදුරජාණන් වහන්සේලාට ද නොලැඛෙන, අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක ආදි රහතන් වහන්සේලාට ද නොලැඛෙන, සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ම ලැඛෙන, විශේෂිත වූ ඤාණ සයක් නිසා ද එය අන් අයට අසාධාරණ බැවින්ද “ෂට් අසාධාරණ ඤාණ” නමින් හඳුන්වනවා. ඒ නිසාම අවිදුරේ නිධානය අවසන් කිරීමට මත්තෙන් හැකි අයුරින් එම “ෂට් අසාධාරණ ඤාණ” පිළිබඳව කෙටියෙන් විස්තර කිරීමක් ඉදිරි ලිපි පෙළ මගින් පල කරනු ලබනවා.

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ, සන්තානයේ පහළ වෙනව පුද්ගලයන්ගේ සන්තානවල, ඉන්ද්‍රියයන් පිළිබඳව, උස් පහත් බව තේරුම් ගන්නා විශේෂ ඤාණ දර්ශනයක්. මෙන්න මේ ඤාණ දර්ශනයට කියනවා “ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණය” කියල. එයින් මෙතැන ඉන්ද්‍රිය කියන්නේ කුමක් ද? යන්න අපි තේරුම් ගන්නට අවශ්‍ය යි.

පුද්ගල සන්තානයේ බෝධිපාක්ෂික ධර්ම වශයෙන් වැඩෙන ඉන්ද්‍රිය ධර්ම පහක් තිඛෙනව. ඒවානම්, 1.සද්ධා ඉන්ද්‍රිය, 2.විරිය ඉන්ද්‍රිය, 3.සතින්ද්‍රිය, 4.සමාධි ඉන්ද්‍රිය, 5. පඤ්ඤින්ද්‍රිය’ යන ඉන්ද්‍රිය ධර්ම පහයි. එමෙන්ම සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය පහ. මෙය ලෞකික ලෝකෝත්තර යන දෙපාර්ශවයටම සාධාරණයි. සම්මා සම්බුදුවරයෙකු මෙම ඉන්ද්‍රිය ධර්ම පස පුද්ගල සන්තානයේ වැඩි ඇති අයුරු යුගල වශයෙන් ආකාර පසකට බලා ඔවුන් හට උචිත අයුරින් ධර්මය දේශණා කොට නිවන කරා පමුනවනවා. ඒ යුගල පස සාරිපුත්ත මහරහතන් වහන්සේ පටිසම්භිදාමග්ග පාලියේ මෙලෙස දක්වා තිබෙනවා.

1. අල්පරජස්ක – මහාරජස්ක යුගලය 2. තික්ඛින්ද්‍රිය – මුදින්ද්‍රිය යුගලය 3. ස්වාකාර – ද්වාකාර යුගලය 4. සුවිඤ්ඤාපය-දුවිඤ්ඤාපය යුගලය සහ 5. පරලෝකවජ්ජභයදස්සාවි – න පරලෝකවජ්ජභයදස්සාවි යුගලය වශයෙන්.

රජස් කියන්නේ කෙලෙස් වලට කියන නමක්. බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් සත්වයාගේ කෙලෙස් අඩු වැඩි බව. එය තීරණය වෙන්නේ ඉන්ද්‍රිය දරමයන්ගේ වැඩි ඇති උස් පහත් භාවයෙන්. එය මෙලෙසයි.

ශ්‍රද්ධාව තියන පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. ශ්‍රද්ධාව නැති පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්. ඒ වාගේම අරඹන ලද වීර්යයෙන් යුතු පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. කම්මැලි හෝ කුසීත පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්. එල්බ ගත් සිහිය ඇති පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. සිහියෙන් බැහැරව ඉන්න පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්. සමාධිය තියන පුද්ගලයා කෙලෙස් අඩුකෙනෙක්. සමාධියක් නැති පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්. නුවණ තියන පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. නුවණ නැති පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්,

මේ ආදී වශයෙන් මෙම ඉන්ද්‍රිය දර්ම පස යුගල වශයෙන් පනස් ආකාරයකට සසඳා බලා ධර්මය දේශණා කරනු ලබන්නේ ඔහුට හෝ ඇයට ඇසු සැණින් අවබෝධයට පැමිණෙන ආකාරයට. දැන් ඔබට වැටහෙනවා ඇති බුදුවරයෙකුගේ එක් වචනයක් හෝ වචන කිහිපයක් අසා සමහර පුද්ගලයින් එක් සැණින් මගඵල නිවන් අවබෝධ කොට ගන්නේ කාගේ දක්ෂතාවය මතද කියා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

පටිසම්භිදාමග්ග පාළිය, ඤාණකථා, මහානිද්දේසපාළිය,

Ape Budu Hamuduruwo 221

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)221

 

අසිරිමත් බුදුගුණ වරුණ 14

උන්වහන්සේ මෙසේ “බුද්ධො” නම් වූ සේක.

‘කවර අර්‍ථයෙකින් බුද්ධ නම් වේ ද? යන්න විශුද්ධි මාර්ගයේ මෙලෙස දක්වනවා.

දත යුතුය යන යමෙක් ඇත්තන් ඒ සියල්ල අවබෝධ කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ විමොක්‍ෂාන්තිකඥාන වශයෙන් බුද්ධ නම් වන සේක. (“සියලු කෙලෙසුන් කෙරෙන් මුක්ත වන හෙයින් රහත් මඟ විමොක්‍ෂ නම් වේ. විමොක්‍ෂාවශාන යෙහි උපදනා බැවින් රහත් ඵලය විමොක්‍ෂාන්ත නමි. රහත් ඵලය ලද කල ලැබිය යුතු බැවින් සව්නේ දන්නා නුවණ විමොක්ඛන්තික ඤාණ නමි. ඒ නුවණින් බුද්ධ නම් විය යන අර්‍ථ යි” යනු සන්න යි) එමෙන්ම

චතුස්සත්‍යය තමන් ම අවබෝධ කල බැවින්, අන්‍යයන් අවබෝධ කරවූ බැවින්, සියල්ල දන්නා බැවින්, සියල්ල දක්නා බැවින්, අනෙකකු විසින් අවබෝධ නො කරවන ලද බැවින්, ක්ලේශ නිද්‍රායෙන් පිබිදි බැවින්, ආශ්‍ර‍වක්‍ෂය කළ බැවින්, ක්ලේශ ලෙල්ප නැති බැවින්, ඒකාන්තයෙන් වීතරාග, වීතදෝස, වීතමෝහ බැවින්, ඒකාන්ත නික්ලේශ බැවින්, ඒකායන මාර්‍ගයට ගිය බැවින් හුදෙකලාව අනුත්තර සම්‍යක් සම්බෝධි අවබෝධ කළ බැවින්, අබුද්ධි නැසූ බැවින්, බුද්ධි ලැබූ බැවින් බුද්ධ නම් වේ. උන්වහන්සේට බුද්ධ යන මේ නාමය මව්පියන් විසින් සහෝදර – සහෝදරියන් විසින් මිත්‍රාමාත්‍යයන් විසින් සහ ලේ නෑයන් විසින් මහණ බමුණන් විසින් දෙවියන් විසින් තබන ලද්දේ නො වේ. ඒ බුද්ධ යන ප්‍ර‍ඥප්ති නාමය වනාහි උන්වහන්සේට බෝමුල සවන් නැණ ලැබීම සමඟ විමොක්‍ෂාන්තික වශයෙන් ලැබුණේ ය යනු එහි සංක්‍ෂෙපාර්‍ග යි.

අඞ්ගුත්තරනිකායේ » චතුක්කනිපාතපාළියෙහි » චක්කවග්ගයෙහි » දොණ සූත්‍රයේ දොණ බ්‍රාහ්මණයා ඇසු ප්‍රශ්ණ වලට මෙලෙස උත්තර සපයමින් බුදුරජාණන් වහන්සේ වචනයෙන් විස්තර කල නොහැකි “බුද්ධ” නම් පදයට කුඩා දරුවෙකුට හෝ වැටහෙන අයුරින් සරළ කෙටි අර්ථයක් දුන් හැටි හරිම ආශ්චර්ය ජනකයි.

දොණ සුත්‍රය

ඔබ වහන්සේ දෙවියෙක් නොවන්නේදැ?”

“බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවන්නෙමි.”

“පින්වතුන් වහන්සේ ගාන්‍ධර්‍වයෙක් නොවන්නේද?” – “බ්‍රාහ්මණය, මම ගාන්‍ධර්‍වයෙක්ද නොවන්නෙමි.”

“පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නේද?” – “බ්‍රාහ්මණය, මම යක්‍ෂයෙක්ද නොවන්නෙමි.”

“පින්වත් තෙමේ මනුෂ්‍යයෙක් නොවන්නේද?” – “බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක්ද නොවන්නෙමි.”

“බමුණ, උපුලක් හෝ පියුමක් හෝ සුදු පියුමක් හෝ ජලයෙහි හට ගන්නේ, ජලයෙහි වැඩුනේ, ජලයෙන් උඩට නැංඟේ. ජලය හා නොගැටුනේ යම්සේ සිටීද, බමුණ, එසේම මම ලෝකයෙහි උපන්නේ, ලෝකයෙහි වැඩුණේ, ලෝකය හා නොගැටුනේ, ලෝකය අභිබවා වාසය කරමි. බමුණ, මා බුද්‍ධයයි දරව.”

“යම් ආශ්‍රවයක් හේතුකොටගෙන දෙවියන් අතර උත්පත්තියක් වන්නේද, අහසින් යන ගාන්ධර්‍වයෙක් හෝ වන්නේද, යමකින් යක්‍ෂත්‍වයට යන්නේද, මනුෂ්‍යත්‍වයට යන්නේද, අණ්ඩජ යෝනියෙහි උපදින්නේද, මට ඒ ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය. පිඹ හරින ලද්දාහ. පහකළ බැඳුම් ඇත්තාහ. යහපත්වූ උපුලක් යම්සේ ජලයෙන් නොමැකේද, එමෙන් ලෝකයා හා නොඇලෙමි. බමුණ, එසේ හෙයින් මම බුද්‍ධ වෙමි.”

මෙය කියවූ විට මිට වඩා වැඩියමක් අපගේ අවබෝධය පිණිස ලියන්නට නැත කියා සිතුනා. ඒ එක්කම

ඛුද්දකනිකායේ » සුත්තනිපාතපාළියේ » මහාවග්ගයේ » සෙල සූත්‍රයේ මෙලෙස සටහන් කොට තිබෙනවා.

‘‘අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං, භාවෙතබ්බඤ්ච භාවිතං;

පහාතබ්බං පහීනං මෙ, තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ.

“දතයුත්ත දන්නාලදී. වැඩියුත්ත වඩනලදී.

දුරුකළ යුත්ත දුරුකරණලදී. බ්‍රාහ්මණය එහෙයින් මම බුද්ධයෙමි.

‘‘රාජාහමස්මි සෙලාති, (භගවා) ධම්මරාජා අනුත්තරො;

ධම්මෙන චක්කං වත්තෙමි, චක්කං අප්පටිවත්තියං’’.

සෙලය ශ්‍රේෂ්ඨ ධර්මරාජවූ මම රජෙක් වෙමි.

යම් චක්‍රයක් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකිද ධර්මයෙන් ඒ ආඥාව පවත්වමි.”

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » සච්ච සංයුක්තය » සීසපාවන වර්ගයේ සිංසපා සූත්‍රයේ මේ විශ්වයෙහි දතයුතු යමක් ඇද්ද? අවබෝධ කලයුතු යමක් ඇද්ද? ඒ සියල්ල බුදුකෙනෙකුන් විසින් මෙසේ අවබෝධ කොට ඇතත් වදාරා නැති බව සඳහන් කරමින් “බුද්ද” නම් පදයට තවත් නිදසුනක් දෙනවා.

සිංසපා සූත්‍රය

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඇට්ටේරිය වෙනෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරිය පත් මඳක් අතින් ගෙන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැයි හඟිවූ ද? මා විසින් යම් ඇට්ටේරිය පත් මඳක් අතින් ගන්නා ලදද, ඇට්ටේරිය රුක් මතුයෙහි යම් පතුත් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද මඳ ඇට්ටේරියපත් ඉතා මඳ ය. යලි ඇට්ටේරිය රුක්මතුයෙහි යම් මේ පත් වේ නම් ඔහු ම ඉතා බොහෝහ”යි මහණෙනි, එසෙයින් ම මා විසින් යමක් වෙසෙසින් දැන නොකියන ලද නම් මෙය ම ඉතා බොහෝ ය. කියන ලද්ද ඉතා මඳ ය. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මෙය නො කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් වූයේ නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරොධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බොධිය පිණිස නො පවතී. නිර්වාණය පිණිස නො පවතී. එහෙයින් මා විසින් එය නො කියන ලදී.

මෙලෙස මා විසින් කාලවේලා නැතිකමින් කෙටියෙන් විස්තර කල “බුද්ධෝ” යන ගම්භිර පදය ඔබ විසින් සුත්‍ර දේශණා හා ගලපමින් ගැඹුරින් හැදෑරීමෙන් මතුකරගන්නා ශ්‍රද්ධාව නිවන් දක්නා ජාති දක්වා නොබිඳී පවතිනවා ස්ථිරයි. එයමයි අපගේ නිරන්තර වෑයම.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය

අඞ්ගුත්තරනිකායේ » චතුක්කනිපාතපාළියෙහි » චක්කවග්ගයෙහි » දොණ සුත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » සච්ච සංයුක්තය » සීසපාවන වර්ගයේ සිංසපා සූත්‍රය

Ape Budu Hamuduruwo 220

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)220

 

අසිරිමත් බුදුගුණ වරුණ 13

උන්වහන්සේ මෙසේ “සත්‍ථා දෙවමනුස්සාන” නම් වූ සේක.

සත්ථා යනුවෙන් අදහස් වන්නේ ශාස්තෘ යන්නයි. දෙවිමිනිසුන් සහිත ලෝකයාට ශාස්තෘ (අනුශාසනා කරන්නේ යැයි) යන අරුතින් සත්ථා නම් වේ. භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන්ට ශාස්තෘ වනවා. උන් වහන්සේ කවර අර්‍ථයෙකින් ශාස්තෘ වන්නේද යන්න තව පැහැදිලි කරමින් විශුද්ධි මාර්ගයේ මෙලෙස සඳහන් වනවා.

කවර අර්‍ථයෙකින් ශාස්තෘ වන සේක් ද?

  1. දිට්ඨධම්මික,
  2. සම්පරායික
  3. පරමත්‍ථ

යන මේ ත්‍රිවිධ අර්‍ථයෙන් සුදුසු පරිදි දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට අනුශාසනා කරන්නාහ යන අර්ථයෙන් “සත්‍ථා දෙවමනුස්සානං” වනවා.

දිට්ඨධම්මික නම් මෙ ලොවින් වන අර්‍ථ ය. සම්පරායික නම් පරලොවින් වන අර්‍ථ ය. පරමත්‍ථ නම් නිර්‍වාණය. උන්වහන්සේ මේ ත්‍රිවිධ අර්‍ථයෙන් යෝග්‍ය පරිදි දෙවිමිනිසුන්ට අනුශාසනා කරන එහෙයිනි උන්වහන්සේ (සත්‍ථා ය) ශාස්තෘය.

එමෙන්ම යම් සේ ලෝක සත්වයන් චෞරකාන්තාරයෙන්, ව්‍යාල කාන්තාරයෙන්, දුර්භික්‍ෂකාන්තාරයෙන්, නිරුදක කාන්තාරයෙන් එතෙර කරන්නේ ද, එමෙන් භාග්‍යවතුන් වහන්සේ සත්ත්‍වයන් ජාතිකාන්තාරාදියෙන් එතෙර කරනු ලබනවා. ක්‍ෂේම භූමි සංඛ්‍යාත නිර්‍වාණයට පමුණුවනවනවා. එහෙයින් උන්වහන්සේ සත්‍ථා නම් වනවා. තවදුරටත් විශුද්ධි මාර්ගයේ මෙලෙස විස්තර වෙනවා.

දෙවිමිනිසුන්ට යයි කීයේ උත්කෘෂ්ට පරිච්ඡේද වශයෙනි. භව්‍ය පුද්ගල වශයෙනි. උන්වහන්සේ තිරිසන් ගිය සත්ත්‍වයන්ට ද අනුශාසනා කරනසේක් ම ය. තිරිසන් ගිය සත්ත්‍වයෝ ද උන්වහන්සේගේ ධර්‍මය අසා උපනිස්සය සමපත් ලැබැ එයින් දෙවන තෙවන අත්බැව්හි මාර්‍ගඵල ප්‍ර‍තිලාභය කරති. මණ්ඩුක දෙවපුත්‍රාදීහු එයට නිදර්‍ශන යි.

භාග්‍යවතුන් වහන්සේ ගග්ගරා නම් පොකුණු තෙර චම්පා නගරවාසීන්ට ධර්‍ම දේශනා කරන කල්හි එක් මැඩියෙක් උන්වහන්සේගේ ස්වරයෙහි නිමිත්ත ග්‍ර‍හණය කැරැ සිටියේය. එක් වසුපල්ලෙක් නො දැනැ දඬු කෙළවර උගේ හිස මත තබා එහි එල්බැ සිටියේ ය. එයින් මැඩියා කලුරිය කෙළේ ධර්‍ම ස්වරයෙහි ගත් ප්‍ර‍සාදයෙන් තව්තිසා දෙව්ලොව දොලොස් යොදුන් රන් විමනෙක උපන්නේ ය. දෙවඟනන් දහසෙක් පිරිවර විය. හේ තමා සිරි සම්පත් දැකැ “කොල, මමත් මෙහි උපන්මි. කවර කර්‍මයක් කෙළෙම් දැ”යි බලන්නේ ඒ කාරණය දැනැ සතුටු වැ එකෙණෙහි ම විමානය හා සමඟ එහි අවුත් බුදුන් පා වැන්දේ ය. බුදුහු මෙසේ විචාළෝ ය.

“කො මෙ වන්‍දති පාදානි – ඉද්‍ධියා යසසයා ජලං අභික්කන්තෙන වණ්ණෙන – සබ්බා ඔහාසයං දිසා”

‘සෘද්ධියෙන් යසසින් සියලු දිගුන් බබුළුවමින් විශිෂ්ට වර්‍ණයෙන් යුක්තවැ කවරෙක් මේ මාගේ පා වඳින්නේ ද’

එවිට මණ්ඩුක දේවපුත්‍ර‍ මෙසේ කිය යි.

“මණ්ඩුකොහං පුරෙ ආසිං – උදෙකෙ වාරි ගොචරො තව ධම්මං සුණත්තස්ස – අවධි වච්ඡපාලකො”

‘මම පෙර ජලය ගොදුරු කොටැ ඇති දිය මැඩියෙක් වැ සිටියෙමි ඔබගේ බණ අසත් ම පසුපල්ලෙක් මා මැරුයේ ය. උන්වහන්සේ ඔහුට බණ වදාළ සේක. සුවාසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මභිසමය විය. ඒ දෙව්පුත් ද සෝවාන් වැ සිනාසිසී ගියේ ය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය

Ape Budu Hamuduruwo 219

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)219

 

අසිරිමත් බුදුගුණ වරුණ 12

උන්වහන්සේ මෙසේ “අනුත්තර පුරිසදම්මසාරථී” නම් වූ සේක.

මීට පෙර ලිපියේ සඳහන් වුනේ ” අනුත්තරෝ පුරිසධම්ම සාරථි” ගුණයේ “අනුත්තර” ගුණය පිළිබඳවයි. උන්වහන්සේට වඩා ගුණයෙන් උසස් කිසිවෙක් මෙන්ම උන්වහන්සේට සමාන කෙනකුත් තුන්ලොවෙහිම නැති හෙයින්, අනුත්තර නම් වන බව දැනගත්තා.

ලෝකයෙහි කායබල ධනබල ඥානබල විද්‍යාබල ස්ථානබල ආදී යම්කිසි බලයකින් මත්ව ගරුකළ යුත්තන්ට ගරු නොකරමින් යටත් විය යුත්තන්ට යටත් නොවෙමින් අන්‍යන්ට කරදර කරමින් ගුණවතුන්ට අවමන් කරමින් හැසිරෙන උඬඟු පුද්ගලයෝ දමනය කළ යුතු පුද්ගලයන් වශයෙන් හැඳින්වෙනවා. එවැනි පුද්ගලයන් ඉතාම ශීලාචාර වන පරිදි, ඉතා ගුණවත් වන පරිදි, ඉතා ශාන්ත වන පරිදි, නැවත වෙනස් වී රෞද්‍ර නොවන පරිදි දමනය කිරිමට සමත් වන බැවින් ද රජුන් විසින් හෝ ශක්‍රාදි දෙවියන් විසින් හෝ බ්‍රාහ්මණයන් විසින් හෝ දමනය කළ නොහැකි අතිචණ්ඩ අතිමානී අතිකෛරාටිකයන් වුවද දමනය කිරිමට සමත් බැවින් ද තථාගතයන් වහන්සේ ලෝකයෙහි දම්‍යයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍රවනවා. දමණය කරනවා පමණක් නොව, ඔවුන්ව නිවණ කරා හික්මවමින් මෙහෙයවනවා. එබැවින් උන්වහන්සේ “අනුත්තර පුරිසදම්මසාරථී” යන විශේෂ නාමයෙන් හඳුන්වනවා.

මෙම දමණය කිරීමේ විශේෂත්වයක් තියෙනවා. එනම් එවැනි දරුණු, උඬගු, දෙවියන්, බඹුන්,මිනිසුන්, යක්ෂයින් මෙන්ම තිරසනුන් පවා දමණය කරනු ලැබුවේ කිසිම දඬු මුගුරු හෝ අවිආයුධ භාවිතයකින් නොමැතිව වීමයි. එම නිසාම එවැනි කටයුතු සඳහා සම්මා සම්බුදුවරයෙකු විසින් භාවිතා කරන ලද සුවිශේෂ උපක්‍රම තුනක් වුනා. එය දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගපාළියෙහි කේවට්ට සූත්‍රයේ කේවට්ට ගෘහපතීන් හට මැනවින් විස්තර කරන්නේ මේ අයුරින්.

කේවට්ටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මේ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනම් 1. ඍද්ධි ප්‍රාතිහාර්යය 2. ආදේශනා ප්‍රාතිහාර්යය 3.අනුශාසනා ප්‍රාතිහාර්යය යන මේ තුනයි.

  1. කේවට්ටය එයින් ඍද්ධි ප්‍රාතිහාර්යය කවරේද?

“කේවට්ටය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නොයෙක් අයුරු ඇති ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපෙමින්යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි. මෙවැනි දේ ඍද්ධි ප්‍රාතිහාර්යය නම් වෙයි.

  1. කෙවට්ටය, ආදේශනා ප්‍රාතිහාර්යය කවරේද?

“කේවට්ටය, මේ ශාසනයෙහි භික්ෂූතෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබේ හිත මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබේ හිත මේ ආකාරද වෙයි. ඔබේ හිත මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියයි.

  1. කේවට්ටය, (අනුශාසනී) අනුශාසනාකිරීමේ ප්‍රාතිහාර්යය කවරේද?

කෙවට්ටය, භික්ෂුතෙම මෙසේ අනුශාසනා කෙරෙයි. “මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්. මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්. මෙය දුරු කරව්, මීට පැමිණ වාසය කරව් කියයි” මෙයද කේවට්ටය, අනුශාසනා කිරීමේ ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ. මෙයින් බුදුරජාණන් වහන්සේ බොහෝසේ අගය කරනු ලැබුවේ දේශණා ප්‍රාතිහාර්යයි.

මෙලෙස සම්මා සම්බුදුවරයෙකු පමණක් සතුවන ෂට් අසාධාරණ ඤාණ වලට අයත් “ඉන්ද්‍රිය පරොපරියත්ත ඤාණය” සහ “අනාවරණ ඤාණයන්හි අනුභාවයෙන් ලොව කිසිවෙකුට දමණය කල නොහැකි සත්වයන් කෙරෙහි ඇති සුවිශේෂී ලක්ෂණ, ඉන්ද්‍රිය දර්ම, වාසනා ගුණ මහිම, වැනි දෑ මැන බැලීමෙන් දමනය කිරීමේ සුවිශේසී ගුණය නිසා “අනුත්තර පුරිසදම්මසාරථී” නමින් හඳුන්වනවා.

තව දුරටත් කෙසී සුත්‍ර දේශනාවේ කෙසී නම් රජුගේ අශ්වයින් පුහුණු කරන්නා හට වල් අශ්වයින් දමනය කිරීම පුරුෂයින් දමනය කිරීම හා සසඳමින් මෙලෙස විස්තර කරනවා.

“කෙසිය, මම දමනය කළ යුතු පුරුෂයන් මෘදු කමින්ද හික්මවමි. ඵරුෂකමින්ද හික්මවමි. මෘදු ඵරුෂකමින්ද හික්මවමි.

  1. මෘදු කමින් හික්මවීම.

“කාය සුචරිතය මෙසේය, කාය සුචරිතයාගේ විපාකය මෙසේය, වචී සුචරිතය මෙසේය, වචී සුචරිතයාගේ විපාකය මෙසේය, මනො සුචරිතය මෙසේය, මනො සුචරිතයාගේ විපාකය මෙසේය,“දෙවියෝ මෙසේය, මනුෂ්‍යයෝ මෙසේය, කෙසිය, මෙය මෘදු කමින් හික්මිමය.

  1. ඵරුෂ කමින් හික්මවීම.

කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. වාග් දුෂ්චරිතය මෙසේයි. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. මනො දුෂ්චරිතය මෙසේයි. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. නිරය මෙසේයි. තිරිසන් යොනිය මෙසේය. ප්‍රේත නිකාය මෙසේය. කෙසීය, මෙය ඵරුෂ කමින් හික්මවීමය.

  1. මෘදු ඵරුෂකමින්ද හික්මවමි.

“කාය සුචරිතය මෙසේය.කාය සුචරිතයාගේ විපාකය මෙසේය. කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේය. වාග් සුචරිතය මෙසේය. වාග් සුචරිතයා ගේ විපාකය මෙසේය. වාග් දුෂ්චරිතය මෙසේය. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේය. මනො සුචරිතය මෙසේය. මනො සුචරිතයාගේ විපාකය මෙසේය. මනො දුෂ්චරිතය මෙසේය. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේය.

“දෙවියෝ මෙසේය, මනුෂ්‍යයෝ මෙසේය, නරකය මෙසේය, තිරිසන් යෝනිය මෙසේය, ප්‍රෙත යෝනිය මෙසේය.” මෙය මෘදු මෙන්ම ඵරුෂකමින්ද හික්මවීමය.

අනුත්තර පුරිසදම්මසාරථී ගුණය විස්තර කිරිමේ දී පණ්ඩිතමානයෙන් මත්ව සිටි සච්චකාදීන් දමනය කළ සැටි ද, කුලමානයෙන් මත්ව සිටි ශාක්‍යාදීන් දමනය කළ දැටි ද, ජාතිමානයෙන් මත්ව සිටි ඇතැම් බ්‍රාහ්මණයන් දමනය කළ සැටි ද, මුළාව මිසදිටු ගෙන සිටි ඇතැම් තීර්ථකයන් හා ඔවුන්ගේ ශ්‍රාවකයන් දමනය කළ සැටි ද, අංගුලිමාල – නාලාගිරි – ආලවක අති චණ්ඩයන් දමනය කළ සැටි ද, අතිසම්මූළ්හව සිටි බකබ්‍රහ්මාදීන් දමනය කළ සැටි ද, අදින්නපුබ්බක මච්ඡරියකෝසියාදී මහ මසුරන් දමනය කළ සැටි ද, තවත් දමනයට දුෂ්කර පුද්ගලයන් දමනය කළ සැටි ද විස්තර කළ යුතු වුවත් මෙවැනි ලිපියකින් එවැන්නක් කල නොහැකිය. මෙසේ බෙහෝ සත්ත්වයන් විවිධ ආකාරයනට දමනය කළ බැවින් තථාගතයන් වහන්සේ “අනුත්තර පුරිසදම්මසාරථී” නම් වනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

දීඝනිකාය » සීලක්ඛන්ධවග්ගපාළි » කේවට්ට සූත්‍රය

අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » කෙසිවග්ගය » කෙසි සුත්‍රය

Ape Budu Hamuduruwo 218

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)218

 

අසිරිමත් බුදුගුණ වරුණ 11

උන්වහන්සේ මෙසේ “අනුත්තර” නම් වූ සේක.

“තථාගතයන් වහන්සේ ගුණයෙන් තමන්වහන්සේට වඩා විශිෂ්ටතර වූ කිසිවකු නැති බැවින් අනුත්තර වන සේක.” යනුවෙන් අනුත්තර නම් ගුණය කෙටියෙන් විශුද්ධි මාර්ගයේ හඳුන්වා තිබෙනවා. “අනුත්තරෝ පුරිසදම්මසාරථී” නමින් බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ලෙස මෙම පද අර්ථ ගැන්නුවත් වෙන් වෙන් වශයෙන් පද දෙකෙහි අර්ථ වෙන්කර හඳුනාගැනීම තව තවත් ශ්‍රද්ධාව ඇති කරගැනීමට ඉවහල් වේවි. එය මෙසේ තේරුම් ගත යුතයි.

අසම, සම, සහ අසමසම

බුදුරජාණන් වහන්සේ 1.ශීල ගුණයෙන් ද, 2.සමාධි ගුණයෙන් ද, 3.ප්‍ර‍ඥා ගුණයෙන් ද, 4.විමුක්ති ගුණයෙන් ද, 5. විමුක්ති ඥානදර්‍ශන ගුණයෙන් ද යන සියලු ගුණයෙන් සියලු ලෝකය මැඩ ඉහලින්ම සිටිනවා. උන්වහන්සේගේ ඒ ශීලාදි ගුණයෙන් තමන් හා සමාන අන් අය නැති බැවින් අසම වනවා. එලෙස අසම වූ වද අතීත බුදුරජාණන් වහන්සේලා හා සම බැවින් අසමසම වනවා. එමනිසා උන්වහන්සේ අනුත්තර නම් වනවා.

අප්‍ර‍තිම

එමෙන්ම තමන්ගේ රුව හා සමාන ප්‍ර‍තිමාවක් කල නොහැකි නිසා ද උන්වහන්සේව “අප්‍ර‍තිම” නමින් හඳුන්වනවා. එමනිසා උන්වහන්සේ අනුත්තර නම් වනවා.

අප්‍ර‍තිභාග

එමෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ “සතිපට්ඨානාදි ධර්‍ම එසේ නොවේය” යි පෙරලා කිව හැකි වෙනයම් ජගතෙක් ලොව නැතිනිසා පෙරලා ප්‍ර‍තිපක්‍ෂ කල හැකි පුද්ගලයකු නැති බැවින් “අප්‍ර‍තිභාග” නමින් හඳුන්වනවා.

එමනිසා උන්වහන්සේ අනුත්තර නම් වනවා.

අප්‍ර‍තිපුද්ගල

එමෙන්ම “ඔබ බුදු නොවෙයි මමයි බුද්ධ” යනුවෙන් අභියෝග කල පුද්ගලයෙකු නැති බැවින් උන්වහන්සේට “අප්‍ර‍තිපුද්ගල” නමින් හඳුන්වනවා. එමනිසා උන්වහන්සේ අනුත්තර නම් වනවා.

තවද උන්වහන්සේ ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ ආසයානුසයේ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ පටිහාරිය ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ මහා කරුණා සමාපත්ති ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ සබ්බඤ්ඤුත ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ අනාවරණ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ තේ සත්තෑ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ සත් සත්තෑ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ සුවිසි ප්‍රත්‍ය ඤාණ සුවිසි පට්ඨාන ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ අනන්ත ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ රූපකාය සම්පත්තියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

තවද උන්වහන්සේ බුද්ධත්වයෙහි විශාරද නුවණින් උත්තරීතර බැවින් අනුත්තරෝ නම් වනවා.

සකල ධර්මයන්ගෙන් මෙලෙස සකල ධර්මයන්ගෙන් ද ගුණ ඤාණයන්ගෙන් ද, නවදහස් එකසිය අසූකෝටි පනස් ලක්‍ෂ තිස් හය දහසක් වූ සික්‍ෂාපදයන්ගෙන් උත්තරීතර බැවින් ද අනුත්තර නම් වනවා. මෙසේ ලියා නිම කල නොහැකි අනන්ත වූ ගුණධර්ම සමුදායකින් ලොවට වඩා උසස් වන බවින් උන්වහන්සේ “අනුත්තරෝ” නම් වනවා.

තවදුරටත් අග්ගප්පසාද සූත්‍රයේ මෙලෙස සඳහන් වනවා.

“මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ පා සතරක් ඇත්තාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ, රූප අත්තාවූ හෝ රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ සංඥා නැත්තාවූ හෝ, භවාග්‍රයෙහි ඉපදුනාවූ හෝ යම්තාක් සත්ත්‍වයෝ ඇත්තාහුද, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගත තෙම ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍රවූ දෙයෙහි පැහැදුනාහු වෙති. අග්‍ර දෙයෙහි පැහැදුනවුන්ට, අග්‍ර විපාකය වේ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය

අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » චක්කවග්ගය » අග්ගප්පසාද සුත්‍රය

Ape Budu Hamuduruwo 217

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)217

 

අසිරිමත් බුදුගුණ වරුණ 10

උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 04

අවකාශලෝකය

බුදුරජාණන් වහන්සේ ඉහතින් සඳහන් කල සත්ව ලෝක සංස්කාර ලෝක මෙන්ම අවකාශලෝකය ගැනත් හොඳින්ම දැන සිටියා. මා හට ඇති මහත් වූ ගැටලුව නම් ඒ පිළිබඳව වදාරා ඇති එක් සුත්‍ර දේශනාවක් පවා එක් ලිපියක් සදහා කෙටි කර ගැනීමයි. එම නිසා ඉතාම කෙටියෙන් “සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය” පදනම් කොටගෙන මෙම ලිපිය සැකසෙනවා. ඊට අමතරව “අනමතග්ග සංයුක්තයෙන්” ඔබ හට කල්ප පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධයත්, දේවදුත සුත්‍රයෙන් සතර අපා ලෝක පිළිබඳව විස්තරත් මහා සමය සුත්‍රයෙන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සහ ඔවුන්ගේ දේව නිකා පිළිබඳවත් දැනගන්නට පුළුවන්.

සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රයේ ආනන්ද මහ තෙරුන් අප මහා බුදුපියාණන් වහන්සේගෙන් මෙලෙස අසනු ලබනවා.

“ස්වාමීනි, ‘සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)’ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අරහත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් චක්‍රාවාට ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.

මෙලෙස ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ තුන්වරක්ම මෙම ප්‍රශ්නය ඇසීම නිසා සක්වළවල් සම්බන්ධව මෙම විස්තරය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා.

චූළනී ලෝක ධාතුව

“එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.

ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව

“ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ.

ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව

ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.

“ආනන්‍දය, තථාගත තෙමේ කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවද ශබ්දයෙන් අඟවන්නේය. ඉන් පිටත් ලෝකධාතූන්ගෙන් හෝ යම් පමණ කැමතිවන්නේනම් ශබ්දයෙන් අඟවන්නේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව හෝ යම්තාක් කැමති නම් ඒතාක් හෝ ශබ්දයෙන් අඟවන්නේද?”

“ආනන්‍දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්‍වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්‍දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.

එය තව දුරටත් මෙලෙස විස්තර වෙනවා.

 සක්වළ ක විශාලත්වය

 සක්වළ ක විශාලත්වය අට්ටකතා අනුසාරයෙන් රේරුකානේ චන්දවිමල මහනායක ස්ථවිරයන් වහන්සේ විසින් “සුවිසි මහා ගුණය” නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් වනවා.

එක් ලෝකධාතුවක හෙවත් සක්වළක භූමි එක් තිසක් ඇත්තේය. ඒ මෙසේය:-

  • නරකය,
  • තිරිසන්යෝනිය,
  • ප්‍රේතවිෂය,
  • අසුරකාය කියා අපාය භූමි සතරකි.
  • මනුෂ්‍ය භූමිය,
  • චාතුර්මහාරාජික භූමිය,
  • තාවතිංස භූමිය,
  • යාම භූමිය,
  • තුෂිත භූමිය,
  • නිර්මාණරති භුමිය,
  • පරනිර්මිත වශවර්ති භූමිය කියා කාම සුගති භුමි සතක් ඇත්තේය.
  • බ්‍රහ්මපාරිසජ්ජය,
  • බ්‍රහ්මපුරෝහිතය,
  • මහාබ්‍රහ්මයයි ප්‍රථමධ්‍යාන භුමි තුනෙකි.
  • පරිත්තාහ,
  • අප්පමාණහ,
  • ආභස්සරය යි ද්වීතිය ධ්‍යාන භූමි තුනෙකි.
  • පරිත්තසුභ,
  • අප්පමානසුභ,
  • සුභකිණ්ණය යි තෘතියධ්‍යාන භූමි තුනෙකි.
  • වේහප්ඵලය,
  • අසඤ්ඤසත්තය,
  • සුද්ධාවාසය.
    • අවිහ
    • අතප්ප
    • සුදස්ස
    • සුදස්සී
    • අකනිට්ඨ කියා සුද්ධාවාස පසෙකි. කියා චතුර්ථධ්‍යාන භුමි සතක් ඇත්තේය.මේ භූමි සොළස රූපාවචර භුමිහු ය.
  • අකාසානඤ්චායතනය,
  • විඤ්ඤාණඤ්චායතනය,
  • ආකිඤ්චඤ්ඤායතනය,
  • නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි අරූපාවචර භූමි සතරෙකි.

මෙසේ භූමි එක්තිසක් වේ. සඤ්ජීව කාලසූත්‍රාදි වශයෙන් නරකය අටවැදැරුම් වේ. එක් මහානරකයක් අවට කුඩා නරක සොළොස බැගින් ද ඇත්තේ ය.

ශ්‍රාවකයන්ට ද විෂය වූ සක්වළ

මේ සක්වළ හා මෙයට සමීපව පිහිටි සක්වළ නවසිය අනූනවය සහශ්‍රී ලෝකධාතුවය. එය ශ්‍රාවකයනට ද විෂය ය. සෘඬිමත් ශ්‍රාවකයන්ට ඒ සක්වළ දහසට ඇසෙන සේ කථා කළ හැකිය. ඒ  සක්වළ  දහසෙහි ආලෝක අන්ධකාර පැතිර විය හැකිය.

බුදුවරුන්ගේ ජාතික්ෂේත්‍රය

මේ  සක්වළ  හා අවට පිහිටි දශලක්ෂයක්  සක්වළ  ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවය. එය බුදුවරුන්ගේ ජාතික්ෂේත්‍රයයි ද, මහබෝසතුන්ගේ මවුකුස පිළිසිඳීම, එයින් බිහි වීම, මහාභිනිෂ්ක්‍රමණය, බුදුවීම, දම්සක් පැවැත්වීම, ආයුසංස්කාරය හැරීම, පරිනිර්වාණය යන අවස්ථාවන්හි ඒ මධ්‍යමලෝක ධාතුව කම්පිත වන බවද අංගුත්තර අටුවාවෙහි දක්වා තිබේ. අන් බොහෝ තැන්වල දැක්වෙන්නේ මහබෝසතුන්ගේ පිළිසිඳ ගැනීම් ආදියෙහි  සක්වළ  දසදහසක් කම්පාවෙන බවය.

බුදුවරුන්ගේ ආඥාක්ෂේත්‍රය

මේ සක්වළත් සමඟ කෝටිලක්ෂයක් සක්වළ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේගේ ආඥාක්ෂේත්‍රය ය. එහි ආටානාටිය පරිත්ත, ඉසිගිලි පරිත්ත, ධජග්ග පරිත්ත, බොජ්ඣංග පරිත්ත, ඛන්ධ පරිත්ත, මෝර පරිත්ත, මෙත්තරිත්ත, රතන පරිත්ත යන මේවායේ බලය පිහිටන බව කියා තිබේ. තථාගතයන් වහන්සේ ආඥා බලය ඒ  සක්වළ  කෝටි ලක්ෂයෙහි පවත්නා බැවින් ත්‍රිසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේගේ ආඥා ක්ෂේත්‍රය වේ.

බුදුවරුන්ගේ විෂය ක්ෂේත්‍රය

ත්‍රිසහශ්‍රී ලෝකධාතුවෙන් ඔබ ඇති  සක්වළ  සියල්ල තථාගතයන් වහන්සේගේ විෂය ක්ෂේත්‍රයය. එහි ප්‍රමාණයක් නැත්තේ ය. එය අනන්ත ය. ඒ  සක්වළ  සියල්ලටම තථාගතයන් වහන්සේට ආලෝක අන්ධකාරයන් පැතිරවිය හැකි ය. සැමතැනම වෙසෙන සත්ත්වයනට ඇසෙන සේ කථා කළ හැකි ය. චක්‍රාවාළයන්ගේ බොහෝ බව දැක්වීමට අටුවාවෙහි දක්වා ඇති උපමාවක් මෙසේ ය. ‘කෝටි ලක්ෂයක් සක්වළවල බ්‍රහ්මලෝකය දක්වා පිරවීමට තරම් අබ ඇට ගෙන යම් කිසිවකු හමුවන හමුවන සක්වළට එක අබ ඇටය බැගින් හෙළමින් එක් දිශාවක් බලා ගමන් කළ හොත් අබ ඇට රාශිය ඉවර වෙනවා මිස ඒ දිශාවේ  සක්වළ වල් අවසන් නොවේය යනු ඒ උපමාව ය. මෙසේ අතිමහත් වූ අනන්ත වූ ලෝකය දැන වඳාළ බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වන සේක.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය

අඞ්ගුත්තරනිකාය » තිකනිපාතපාළි » (8) 3. ආනන්දවග්ගො » සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය