Ape Budu Hamuduruwo 366

අපේ බුදුහාමුදුරුවෝ 366 (සන්තිකේ නිධානය)

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 02

මහාකාශ්‍යප මහා රහතන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානය පැතු රහතන් වහන්සේ මෙන්ම එම සුවිශේෂී තනතුරෙන් පුද ලැබූ ශ්‍රාවකයන් වහන්සේද වන බව ඔබ දන්නා කරුණක්. එමෙන්ම උන්වහන්සේ අපගේ සාසනයේ “තතිය සාවක” යන ගෞරව නාමයෙනුත් හැඳින්වෙනවා.

අපගේ සාසනයේ ධුතාංග භික්ෂුන් තව බොහෝ දෙනෙක් සිටියා. කාශ්‍යප නමින් හැඳින් වූ භික්ෂුන් වහන්සේලාත් සිටියා. කාශ්‍යප නමින් හැඳින්වූ තව බොහෝ භික්ෂූන් වහන්සේලා සිටි නිසා උන්වහන්සේ ඔවුන් අතරින් මහා කාශ්‍යප නමින් හැඳින්වුනා. ධුතාංග භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත්වීමට, මිට ඉහතින් කි පදුමත්තර බුදුන් හමුවේ කල අධිෂ්ඨනයත් පහත කාරනා සතරෙහි ශ්‍රේෂ්ඨ බවත් හේතු වූ බව එත්දග්ග පාළියෙහි කියවෙනවා. එහි කෙටි විස්තරයක් මෙහි ලීවත් දීර්ඝ වශයෙන් ධර්මධර භික්ෂුන්වහන්සේ නමකගෙන් අසා දැනගත යුතු වනවා.

ධුතාංග භික්ෂූන් අතරින් අග්‍රස්ථානයට පත්වීමට නම්

1.ධුතය

2.ධුතවාදය

3. ධුතධර්‍මයන්

4.ධූතඞ්ග යන මෙම කාරනා සතරින් අගතැන්පත් විය යුතුයි. එහි ධුත යනු සොලවනලද කෙලෙස් ඇති පුද්ගලයා හෝ කෙලෙස් සොලවන්නා වූ ධර්‍මය හෝ යැයි පවසනවා.

ඒ සමගම උන්වහන්සේ “තතිය සාවක” යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙනවා. එහෙත් ඒ පිළිබදව විග්‍රහයක් සූත්‍ර පිටකයේ හෝ අට්ඨ කතාවෙහි හමුවුනේ නැහැ. ඒතදග්ග පාළියෙහි කියවෙන හැටියට උන්වහන්සේ සතරවන ශ්‍රාවකයා. එහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පළමු තැනටත් සැරියුත් සහ මුගලන් මහරහතන් වහන්සේලා දෙවැනි තුන්වැනි තැනටත් පිලිවෙලින් සංග්‍රහ වෙනවා. එහෙත් සාසනික සේවාව අතින් බලනකොට උන්වහන්සේ තුන්වැනි ස්ථානයට පත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ සහ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවට පසුව මෙම සාසනය ආරක්ෂා කරගැනීමේ වගකීම සම්පූර්ණයෙන්ම උන්වහන්සේ පිට පැටවුණු නිසා. උන්වහන්සේ නොසිටින්න අද මෙම විස්ත්රයවත් ඔබ හට මට ලියන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ප්‍රථම ධර්ම සංඝායනාව පවත්වා මෙම අසුහරදසක් වූ දරම්ස්කන්ධය මෙලෙසින් ආරක්ෂා කොට මේ දක්වා පැමිණීමට උපකාරී වුයේත් උන්වහන්සේගේ මේ පාරමී ශක්තියෙන්. ඒ බව දැනගෙනම අපේ බුදුහාමුදුරුවෝ උන්වහ්සේ හැඳි සිටි සිවුර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සිව්ර හා සමග මාරු කරගත්තා. ඒ අවස්තාව වෙනයම් කිසිම භික්ෂුවකට හිමි උනෙත් නැහැ. ඒ පිළිබඳව ඉදිරි ලිපි වලින් ඔබට කියවන්නට ලැබේවි.

 “තතිය සාවක” යනුවෙන් හැඳින්වුයේ ඇයිදැයි කරුණු ත්‍රිපිටකය තුල සොයද්දී එය සොයා ගැනීමට නොහැකි වූ නිසා අපට දර්මය කියාදෙන අපගේ ගෞරවනීය ගුරුදේවයාණන් වහන්සේ නමක් වු නවසීලන්තයේ වැඩ වාසයකරන භන්තේ ජිනාලංකාර නායක හාමුදුරුවන්ට කතා කළා. උන්වහන්සේ තමයි මේ කරුණ මට විචිත්‍රව විග්‍රහ කොට දුන්නේ. ඒත් උන්වහන්සේ දේශනා කල අයුරින්ම ලස්සනට පද වලට පෙරලන්නට මම දක්ෂ නැහැ. ඒ නිසාම උන්වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සුව පතනවා.

උපකාර වූ මූලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

Ape Budu Hamuduruwo 365

අපේ බුදුහාමුදුරුවෝ 365 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 01

ඔබ හමුවේ දැන් මම තැබීමට යන්නේ ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳ අතීත කතා පුවතෙහි සිට වර්තමානයේ අපේ බුදුහාමුදුරුවෝ හමුවට පැමිණි මග පිළිබදවයි. එය බුදුවරුන් කිහිප දෙනෙකු හමුවූ දීර්ඝ එමෙන්ම ආදර්ශමත් කතා පුවතක්.

 උන්වහන්සේ පියුමතුරා බුදුන්ගේ කාලයේ හංසවතී නගරයෙහි වේදේහ නම් වූ අසූ කෝටියක් සම්පත් ඇති සිටුවරයාගේ පුත්‍රයෙක් වී උපන්නා. ඔහු උපාසකයකු වී බුද්ධමාමකව, ධර්මමාමකව, සංඝමාමකව ජීවත්වමින් එක් උපෝසථ දිනයක උදෙන්ම මනාබොජුන් අනුභවකොට උපෝසථ අංගයන් සමාදන් වී සුවඳ මල් ආදියද රැගෙන විහාරයට ගොස් බුදුන් වැඳපුදා එකත්පසෙක සිටිය.

ඒ මොහොතෙහි ශාස්තෲන් වහන්සේ මහානිසභ නම් වූ තුන්වන තෙරනමක් ‘මහණෙනි, ශ්‍රාවකයන් අතර ධුතාංගධරයන්ගෙන් මේ නිසභ තෙරුන් අග්‍රස්ථානයෙහි තබමි’ යනුවෙන් මහරහත් තනතුරක තැබුවා. එය දැක්ක උපාසකතුමාට හිතේ පුදුම ශ්‍රද්ධාවක් ඇතිවුනේ. සිතේ අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා. ඒ පැහැදිමෙන්ම ධර්මදේශනාව අවසානයේ මහාජනයා නැගිට ගිය කල්හි බුදුන් වැඳ ‘ස්වාමීනි, හෙට දානය සඳහා මාගේ ආරාධනය පිළිගන්න’ යැයි ඉල්ලා සිටිය. එවිට භාග්‍යවතුන් වහන්සේ උපාසකය! භික්‍ෂු සංඝයා බොහෝය. භාග්‍යවතුන් වහන්ස කොපමණක්ද? හැටඅටදහසක් යැයි වදාරනු ලැබුවා.ඒ මහා ධනවත් සිටුපුත්‍රයා “ස්වාමීනි! එක් සාමණේර නමක්වත් විහාරයෙහි ඉතිරි නොවී දානය සඳහා ආරාධනය භාරගන්නයැයි ඉල්ලා සිටියා. ශාස්තෲන් වහන්සේ ආරාධනය පිළිගත්තා. උපාසකතුමා බුදුන් ආරාධනය පිළිගත් බව දැනගෙන ගෙට ගොස් මහදන් සූදානම් කර පසුවදා බුදුන්වහන්සේට දනට වඩින්නට සුදුසු වේලාව දන්වා සිටියා. ශාස්තෲන් වහන්සේ පාත්‍රාසිවුරු ගෙන හැටඅටදහසක් භික්‍ෂු සංඝයා පිරිවරා උපාසකතුමාගේ ගෙදරට වැඩ පැනවූ අසුනෙහි වැඩසිටියේ දානය සඳහා පැන් පිළිගැන්වීමෙන් අනතුරුව කැඳ ආදිය පිළිගෙන පිළිවෙලින් දානය පිළිගැන්වීම කරනු ලැබුවා. ඉන් අනතුරුව උපාසකතුමාද බුදුන් සමීපයට වී සිටියා.

 ඒ අතරේදී මහානිසභ තෙරුන් වහන්සේ පිඬු සිඟා යමින් එම වීදියටම පිවිසුනා. උපාසකතුමාත් උන්වහන්සේව දැක නැගිට ගොස් තෙරුන්ට වැඳ ස්වාමීනි! පාත්‍රය දෙන්නයැයි ඉල්ලා සිටියා. තෙරුන්වහන්සේ පාත්‍රය ඔහුට් දුන්නා. ස්වාමීනි, මෙහි වඩින්න. භාග්‍යවතුන් වහන්සේත් මෙහි වදසිටිනවා. සිටුවරයා උන්වහන්සේටත් ගෞරවයෙන් ආරාධනය කරනු ලැබුවා.එවිට ඒ මහා තෙරුන් උපාසකතුමනි, එය අපට නුසුදුසුය කරුණාවෙන් කියා සිටියා. සිටුපුත්‍රයත් පාත්‍රය ගෙන පිණ්ඩපාතයෙන් පුරවා පිටතට ගෙන ගොස් උන්වහන්සේට පිළිගැන්වූයේ මහත් විමතියෙන්. ඒ කටයුතු නිම කාරයින් පසුව නැවත බුදුන් ලඟට පැමිණ වාඩිවී මෙසේ කියා සිටියා. ස්වාමීනි! මහානිසභ තෙරුන් වහන්සේ, බුදුන්වහන්සේ ගෙයි වැඩසිටින බව කියූ නමුත් මෙහි වඩින්නට කැමැතිවුනේ නැහැ. හරිම පුදුමයි. ස්වාමීනි, ඔබවහන්සේලාට වඩා අමතර ගුණයක් උන්වහන්සේට තිබේදැයි විමසා සිටියා. බුදුරජාණන් වහන්සේලා ලග ගුණමකුකමක් නැහැ.. ඒ කියන්නේ කාගෙවත් ගුණයක් මකන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරනු ලැබුවා.

උපාසකය! අපි භික්‍ෂාව ලබමින් ගෙයි හිඳිමු. ඒ භික්‍ෂුව වනාහි මෙහි වාඩිවී භික්‍ෂාව නොගනී. අපි ග්‍රාමාත්ත සේනාසනයෙහි වසමු. ඔහු අරණ්‍යයෙහිම වාසය කරයි. අපි ජනාකීර්ණයෙහි වසමු. ඔහු එලිමහනෙහි වාසය කරයි යැයි ඔහුගේ මේ ගුණයයි මේ ගුණයයි කියමින් මහා සමුදුර පුරවන්නාක් මෙන් ධුතාංග භික්ෂුවකගේ ගුණ පවසා සිටියා.

සිටුකුමාරයාගේ සිතත් දැල්වෙන පහනකට තෙල් ඉස්සාක් මෙන් අතිශයින්ම පැහැදුන. ඔහු මෙසේ සිතුවා. මට වෙන සැපකින් කවර ඵලයක්ද? අනාගතයෙහි එක් බුදුවරයන් වහන්සේ නමක් ලඟ මෙවැනිම ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්වන්නෙමියි යන ප්‍රාර්ථනා සිතේ පැන නැග්ගා. මෙසේ සිතා ඔහු නැවතද දනට ආරාධනා කොට මේ ක්‍රමයට දවස් හතක් මහදන් දී සත්වන දවසෙහි බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට තුන්සිවුරු පිළිගන්වා බුදුන් පාමුළ වැටී මෙසේ කිවා.

 ස්වාමීනි, සත් දවසක් දන් දෙන්නා වූ මාගේ මෙත්තා කාය කර්මය, මෛත්‍රී වචී කර්මය, මෛත්‍රී මනෝ කර්මය එළඹ සිටියේද මේ පිනින් මට අන්‍ය වූ දෙව්සැපක් හෝ ශක්‍ර, මාර, බ්‍රහ්ම සම්පතක් ප්‍රාර්ථනා නොකරමි. මේ පුණ්‍යකර්මය වනාහි අනාගතයෙහි එක් බුදුවරයන් වහන්සේ නමකගේ සමීපයෙහි මහානිසභ තෙරුන් විසින් පතන ලද තනතුරට පත්වීම සඳහා තෙළෙස් ධුතාංග දරන්නන්ගෙන් අග්‍රස්ථානයට පත්වීම සඳහා හේතුවේවායි ප්‍රාර්ථනා කරනවා. ශාස්තෲන් වහන්සේත්, මොහු විසින් ලොකු තනතුරක් පතන ලදී. එය ඉටුවෙයිද? නොවේදැයි බලමින් එය සඵල වනබව දැක මෙසේ වදාරනු ලැබුවා.

පින්වත් උපාසකය, ඔබ විසින් මනාප වූ තනතුරක් පතන ලදී. කල්ප ශතසහශ්‍රයක් ගිය තැන ගොතම නම් බුදුන්වහන්සේ පහළවන්නේය. ඔබ උන්වහන්සේගේ තතිය සාවක මහා කස්සප තෙරුන් නම් වන්නෙහිය. ඒ අසා උපාසක තැන බුදුවරයාණන් වහන්සේලාගේ වචන දෙකක් නැතැයි පසුවදා ලැබෙන සම්පතක් ලෙසම එය සැලකුවා. ඔහු දිවි ඇතිතෙක් දන්දී සිල්රැක නොයෙක් ආකාර යහපත් දේ කොට අවසානයේ කලුරිය කොට ස්වර්ගයෙහි උපත ලැබුවා.

උපකාර වූ මූලාශ්‍ර

මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවෙහි ථේරගාථා අටුවාව චත්තාලීසනිපාතය

Ape Budu Hamuduruwo 364

අපේ බුදුහාමුදුරුවෝ 364 (සන්තිකේ නිධානය)

 

භාග්‍යවතුන් වහන්සේ ශුද්ධෝදන රජතුමා වෙත වැඩමකරවීමට කල්පයක් පෙරුම් පිරූ කාළුදායි මහරහතන් වහන්සේ.

කාලය මෙසේ සෙමින් ගතවෙද්ද්දී ශුද්ධෝදන රජතුමා තම පුතුණුවන් පිළිබඳව සොයා බැලීම අතහැරියේ නැහැ. බෝසතාණන් වහන්සේ ගිහි ගෙන් නික්ම පැවිදි වූ තැන් සිට ම ශුද්ධෝදන රජතුමා උන් වහන්සේගේ තොරතුරු සොයා දැන අවුත් තමාට දැන්වීමට රහස් දූත පිරිසක් යොදවලයි තිබුනේ. බෝසතාණන් වහන්සේ යන එන හැම තැනම උන්වහන්සේට නො දැනෙන සේ සොයා බැලීමට මේ දූත පිරිස සමත් වුණා පමණක් නෙවෙයි ඔවුන් අතරින් කිහිප දෙනෙක් නිතර නිතර කිඹුල්වත් නුවරට පැමිණියා. රජුට තොරතුරු දන්වා සිටියා. මෙසේ මාරුවෙන් මාරුවට කිඹුල්වත් පුරට යමින් එමින් සාවුරුද්දකට වැඩි කලක් ඔහු මේ රහස් සේවයෙහි යෙදුනා. බෝසතාණන් වහන්සේ බුදු වී දම්සක් පවත්වා රජගහ පුර වැඩ එහි වසන තොරතුරුත් ශුද්ධෝදන රජතුමාට සැපවුයේද මේ රහස් දූතයෝයි. ශුද්ධෝදන රජතුමා ඔවුන් ගෙන් තොරතුරු දැන “දැන් පුත්‍රයාණන් වහන්සේ තම නුවරට වැඩම කැරැවීමට කාලයැ” යි සිතන්නට වුණා. සිතා එහි වඩින්නට ආරාධනා කරන පිණිස ඇමතියකුට පැවරුවා. එපමණක් නෙවෙයි ඔහුට රාජපුරුෂයන් දහසක් පිරිවර කොට දී රජගහ නුවර භාග්‍යවතුන්වහන්සේ වෙතට යන්නට පහසුකම් සැලසුවා. කිඹුල්වත් පුර සිට රජගහ නුවරට පොඩි දුරක් නෙවෙයි තිබ්බේ. යොදුන් හැටදෙකක්. යොදුනක්න් කියන්නේ සැතැප්ම දහසයක් කියනවනේ. ඔවුන් මේ සඳහා කොතරම් කාලයක් ගත්තද කියා සඳහනක් නැහැ. ඔවුන් කිඹුල්වත සිට රජගහ පුර දක්වා වූ ඒ සැට යොදුන් මාර්ගය ගෙවා වේළුවනාරාමයට කෙසේ හෝ පැමිණිය. ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ දම් දෙසමින් සිටියේ. ඒ වනවිට ඔවුන්ගේ සතර ඉන්ද්‍රියධර්ම කොතරම් වැඩි තිබුනාද කිවහොත් ඒ දේශනය අවසානයේම ඔවුන් අරහත්වයට පත්වුණා. ඉන්පස්සේ ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේත් ඔවුන්ව ඒහිභික්ෂු ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් කරනු ලැබුවා. රහත් වූවායින් පස්සේ මධ්‍යස්ථ වීම ආර්‍ය්‍යන් ගේ ස්වභාවයක් බැවින් ඒ තෙරණුවෝ රජු එවූ පණිවුඩය භාග්‍යවතුන් වහන්සේට දැන්වීමෙහි යුහුසුලු වුනේ නැහැ. ඒ සඳහාම සසර පෙරුම් පුරමින් පැමිණි කෙනෙකු ඉන්නා බව සමහරවිට ඔවුනට දිවසින් පෙනුන නිසා වෙන්නටත් ඇති කියලා මට හිතෙනවා.

සුදොවුන් රජු බලාගෙන සිටිය හැම දිනකම. එහෙත් කිසිම පණිවිඩයක් නැහැ. බැරිම තැන පළමු පරිද්දෙන් ම තවත් දහසක් පිරිවර සහිත වූ ඇමැතියකු යැවූවා. ඒ පිරිස ද පළමු පිරිස සේ ම රහත් ව තුෂ්ණිම්භූත නිසා මෙසේ පුරුෂයන් දහස බැගින් පිරිවර කොට ඇති ඇමැතියන් නව දෙනකුන් වරින් වර යවනු ලැබුවා. ඒ කියන්නේ පිරිස නවදහසක්. ඒ සියලු දෙන ම පෙර පරිදිම රහත් වැ පැවිදි ව තුෂ්ණිම්භූත වුණා. හිතන්න ආදරණිය පියෙකුට කොතරම් හිතට දුකක් දැනෙන්නට ඇතිද? රජු හසුන් මාත්‍රයක්වත් නැතිව කිසිදු තොරතුරක් නොලැබ මෙසේ සිතුව. මේ හැමදෙනා මට සෙනෙහස නැති බැවින් ලියුම් කැබැල්ලක්වත් පෙරළා නොගෙනාව. මගේ අවශ්‍යතාව කවරෙක් ඉටු කරන්නේදැයි සියලු රජ බලසෙනග බලමින් විපරම් කරන අතරේ කාලුදායි අමතියාව දැක්කා. ඒ විතරක් නෙවෙයි ඔහු මේ සඳහාම සසරෙහි පෙරුම් පුරමින් පැමිණියේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටයි.

මොහුද පෙර බුදුවරුන් හමුවෙමින් විර්යය කරමින් අප මහා බෝසතාණන් වහන්සේ සමගම එකෙට පැමිණි කෙනෙක්. හැබැයි ඔහුගේ පින ඵල දුන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙ. ඔහු ඒ කාලයේ හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද දැන උගත් බවට පත්වී ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාවක් අසමින් සිටියා. එදින පදුමුත්තර ශාස්තෲන් වහන්සේ භික්‍ෂුවක කුල පහදන්නවුන් අතර අගතන්හි තබනු දැක එබඳු ප්‍රාර්ථනාවක් කොට ඔහුද මතු දිනක ඒ තනතුර ම පතා සිටියා. ශාස්තෲන් වහන්සේත් ඔහුට ඒ විවරණ ලබා දුන්නා. ඔහු දිවි ඇති තාක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරමින් අපගේ බෝධිසත්ත්වයන් මව්කුස පිළිසිඳ ගන්නා දවසෙහි දෙව්ලොවින් චුතව කපිල වස්තුවෙහිම ඇමති කුලයෙක පිළිසිඳ ගත්ත. බෝසතුන් සමග එකම දවසෙහිම උපන්න නිසා එදවසම ඔහුව දුහුල් සුඹුළුවක හොවා බෝසතුන්ට උපස්ථානය පිණිස ගෙන ගියා. බෝසතුන් සමග බෝධිවෘක්‍ෂය, රාහුල මාතාව, සතරමහා නිධාන, ආරෝහනී හස්තියා, කන්ථක, ඡන්න, කාළුදායී යන මේ සත්දෙන එක්දිනයෙක උපන් බැවින් සහජාත නම් වූනා. ඉන්පස්සේ ඔහුට නම් තබන දවසෙහි සියලු නගරයෙහි උද්දාමයට පත් සිත් ඇති දවසෙහි උපන් බැවින් උදායි යැයි නමක් තැබූවත් මදක් කාළවර්ණ බැවින් කාළුදායී යනුවෙන් ප්‍රසිද්ධියට පත්වුනා. ඔහු බෝධිසත්ත්වයන් සමග කුමරකෙළිහි යෙදෙමින්ම වැඩිවියට පත්වුණා. ඒ තමයි ඔහුගේ අතීත කතා පුවත.

 ඒ නිසාම කාළුදායී රජුගේ සියලු කටයුතු කරන, අභ්‍යන්තරික ඉතාම විශ්වාසවන්ත ඇමතියා ද වනවා. ඒ නිසා අවසාන වශයෙන් රජු ඔහුට ආමන්ත්‍රණය කරනු ලැබුවා. “දරුව, කාළුදායී, මම මගේ පුතා දකිනු කැමතිව දහසක් පිරිවරකොට ඇමැතියන් නවදෙනෙකු පුරුෂයන් නවදහසක් සමග යැව්වෙමි. ඔවුන් අතර එකකුදු අවුත් පණිවිඩ මාත්‍රයක්වත් දැනුම් දුන්නේ නම් නැත. මම දැන් මහලුයි. මගේ ජීවිතයට අන්තරායක් වේදැයි නොදනිමි. ජීවමානවම මම මගේ පුතා දකිනු කැමැත්තේ වෙමි. මගේ පුතා කැඳවාගෙන එන්නට හැකිවන්නෙහිද?”

ඔහු එකවරම කැමති වුනේ නැහැ. ඒ සඳහා යම් ඉල්ලීමක් කරනු ලැබුවා. රජතුමනි “ඉදින් පැවිදි වීමට ඉඩ ලැබෙන්නේ නම් හැකිවන්නෙමි.” රජතුමා එයට ඉඩ දෙන්නට ඇත්තේ පුතා කෙරෙහි තිබුණු අසීමිත ආදරය නිසාම වෙන්නට ඇති. මොකද විශ්වාසවන්ත අමතියත් නැති වන නිසා. ‘යහපති දේවයන් වහන්ස’ යයි රජුගේ හස්නක් ගෙන ඔහුද දහසක් පිරිවර සමග රජගහනුවරට පැමිණියා. ඒ යනවිටත් ශාස්තෲන් වහන්සේ ධර්ම දේශනාවක් කරමින් සිටියේ. ඔවුන් නිහඬවම, පිරිස කෙළවර හිඳ, බණ අසා, පිරිවර සහිතව රහත්ඵලයට පැමිණ ඒහිභික්‍ෂු භාවයෙන් පැවදි භාවය ලැබුවත් ආරාධනය කිරීමට ඉක්මන් වුයේ නැහැ. ඒ සඳහා කාලය පැමිණෙන තෙක් නිහඬ වුණා.

උපකාර වූ මූලාශ්‍ර

සන්තිකෙනිදානකථා කුදුගත් සඟිය අටුවාව අපදාන අටුවාව ග්‍රන්ථාරම්භ කථා,

කාළුදායි ථෙර අපදාන වර්ණනාව

Ape Budu Hamuduruwo 363

අපේ බුදුහාමුදුරුවෝ 363 (සන්තිකේ නිධානය)

 

කෙණිය සහ සේල ජටිල තවුසන් පැවිදිවීම 03

ඇත්තෙන්ම ඒ කෙණිය නම් ජටිලයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ජටිලො කියන්නේ තවුසන්ට. ඔහු බමුණු මහසල් කුලයකට අයත් කෙනෙක්. ඒ අය තවුස් දිවියට පැමිණ තිබෙන්නේ තමන්ගේ ධනය රැකීම පිණිස තවුස් වත සමාදන්ව. ඔහු රජුට පඬුරු දී බිම් කොටසක් ලබාගෙන එහි අසපුවක් කොට පවුල් දහසකට උපකාරවෙමින් වාසය කරනවා. ඔහුගේ වාසනාව කොතෙක්ද කිවොතින් ඒ අසපු බිමෙහි එක් තල්ගසක දිනපතා එක් රත්රන් ගෙඩියක් වැටෙනවා යනුවෙන් සඳහන්. අදකාලේ එහෙම නොවුනට ඒ කාලේ එහෙම දේවල් සිදුවන්නට ඇති. කේණිය තවුසා දිවාකල කහවත් දරනවා. ජටාවත් බඳිනවා. එහෙත් රැයෙහි කැමති පරිදි පස්කම් සුවෙහි රිසිසේ ගැලී කල්ගත කරනවා. එහෙම තමයි ඔහුගේ ජීවිතය ගතවුනේ. එහෙත් සසරෙහි පින්කොට ඇති උදවිය අවසානයේ සසරෙන් එතෙර වන මගට කෙසේ හෝ පැමිණෙනවා.

ඉතින් කේණිය ජටිලතුමා භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟීට සිය අසපුව කරා ඉක්මණින් පැමිණියා. තව වැඩි වෙලාවක් නැහැ බුදුන් ඇතුළු මහා සංඝ පිරිස පැමිණීමට. ඔහු පවුල් දහසකට උදවු කරනවනේ. ඉතින් ඒ අයත් උදවු නොකර ඉන්නේ නැහැනේ. ඔහු ගමට පැමිණි විගස මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේ නෑයන් ව අමතන්න වුනා.

” භවත් මිත්‍රාමාත්‍යයෙනි, නෑසාලේ නෑයෙනි, මබස් අසව. මවිසින් බික්සඟුන් හා ශ්‍රමණ භවද් ගෞතමයෝ සෙට බතට නිමන්ත්‍රණය කරණ ලදහ. මට කයින් වතාවත් කරව”යි.

භවත්නි, එසේය යි කේණිය ජටිලගේ මිත්‍රාමාත්‍යයෝ ද නෑ සාලේ නෑයෝ ද කේණිය ජටිලයන් පිළිවදන් දුන්නා. ඇතැම් ය ගිනි උදුන් වළ කණිනව, ඇතැම් අය දර පලනවා, ඇතැම් අය බඳුන් දොවනවා, ඇතැම්හු දිය සැළ තබනව, ඇතැම්හු අසුන් පණවනවා. එහෙත් කේණිය ජටිලතුමා තමා විසින්ම මණ්ඩල මාලය පිළියෙල කරන්නට වුනා.

සේල බ්‍රාහ්මණයා පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද අද මෙන්ම උගත්බවට පැමිණ පිරිසක ප්‍රධානියා වී පුරුෂයන් තුන්සියයක් හා එක්ව ඔවුන් සමග බුදුරජාණන් වහන්සේට ගන්‍ධකුටියක් සාදවා, ගඳකිලියේ වැඩ අවසන් වූ පසු බුදුන්වහන්සේ ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහ දන් දී ශාස්තෲන් වහන්සේද භික්‍ෂූන්ද තුන්සිවුරු පළඳවනු ලැබුවා. ඔහු ඒ පිණින් එක් බුද්ධාන්තරයක් දෙව්ලොව ගොස් එයින් චුතව දෙව්මිනිසුන් අතර උපදිමින් සැරිසරමින් මේ බුද්ධෝත්පාද කාලයේ අංගුත්තරාපෙසු ආපණො අංගුත්තරාපෙසු ආපණ නම් වූ බමුණු ගමෙහි බමුණු කුලයක ඉපිද සෙලොති සෙල යැයි නම් ලැබුවා. ඒ දවස්වල සේල බ්‍රාහ්මණයා නිඝණ්ඩු ශාස්ත්‍ර හා ක්‍රියාකල්ප විකල්ප ශාස්ත්‍ර සහිත (ශික්‍ෂා, නිරුක්ති සඞ්ඛ්‍යාත) අක්‍ෂර ප්‍රභේද ඇති (අර්‍ත්‍ථව වේද සතරවන කොට) පුරාණ කථා සඞ්ඛ්‍යාත ඉතිහාසය පස්වනු කොට ඇති වේදත්‍රයෙහි කෙළ පැමිණ පද හා ව්‍යාකරණ දතුයේ (විතණ්ඩවාද ශාස්ත්‍රසඞ්ඛ්‍යාත) ලෝකායත ශාස්ත්‍රයෙහි හා මහා පුරුෂ ලක්‍ෂණාධිකාරයෙහි පරිපූර්‍ණ වී ආපණයෙහි වාසය කරමින් සිටියේ.

ඒ වගේම සේල බ්‍රාහ්මණයා මාණවකයන් තුන්සියකට වේද මන්ත්‍ර හදාරවමින් සිටියේ. ඒ කාලේ කේණිය ජටිලය කෙරෙහි සේලබ්‍රාහ්මණයා බොහෝ පහදිලයි සිටියේ. එදා සේල බ්‍රාහ්මණයත් හදිසියේම තුන්සියක් මාණවකයන් ප්රිවරමින් කේණිය ජටිලයන් ගේ අසපුව කරා පැමිණියා. බොහෝ විට මට හිතෙන්නේ සසර පින නිසාම වෙන්නේට ඇති. කේණිය ජටිලයන් තමා මැ මණ්ඩල මාලය පිළියෙල කරණ බවත් ඔහු දුටුවා. ඔහුට පුදුමයි. ඔහු කේණිය ජටිල හට මෙලෙස කිවා.

කිම භවත් කේණියගේ ආවාහයක් හෝ වන්නේ ද? විවාහයෙක් හෝ වන්නේ ද? මහායාගයෙක් හෝ එළඹ සිටියේ ද? සෙට දවස් සඳහා බලකායයෙන් යුත් මගධාධිපති සේනිය බිම්බිසාර රජ හෝ බතින් පවරණ ලදුයේ දැ? යි. අසා සිටියා.

එවිට කේණිය බ්‍රාහ්මණයා මෙලෙස කිවා.

සේලයෙනි, මාගේ ආවාහයෙක් හෝ නො වන්නේ යැ, විවාහයෙක් හෝ නොවන්නේ යැ, බල සෙන් හා මගධපති සේනිය බිම්බිසාර රජ හෝ සෙට දවස් සඳහා නිමන්ත්‍රිත නො වෙයි, වැලිදු මට එළඹ සිටි මහා යඥයෙක් ඇත. සැහැකුලෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ගෞතමයෝ අඞ්ගුත්තරාප ජනපදයෙහි සැරිසරන්නාහු අඩ තෙළෙස් යල් සියක් බික්මහසඟන හා කැටිව ආපණයට පැමිණියහ, එ භවත් ගෞතමයන්ගේ මෙවන් කල්‍යාණ කීර්තිඝෝෂයෙක් උස්වැ නැංගේ යැ. බුද්ධයහ, භගවත්හ”යි. එම බික් සඟුන් හා සමග මා විසින් සෙට දවසට නිමන්ත්‍රණ කරනු ලැබුවා.

භවත් කේණියෙනි, බුද්ධයහ’යි කියහි? භවත් සේලයෙනි, ‘බුද්ධයහ’යි කියමි. භවත් කේණියෙනි, බුද්ධයහ’යි කියහි? භවත් සේලයෙනි, බුද්ධයහ’යි කියමියි.

බුද්ධ යන වචනය අසු පමණින්ම සේල තවුසා තිගැස්සුනා. ඒ වැනි වචනයක් අසන්නට ලැබීමත් කොතරම් වාසනාවක්ද? එහෙම අය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විතයි. මට එය බලන්නටත් පුළුවන්. ඔහු මෙලෙස බොහෝ දේ සිතුවා. මී සම්බන්ධව වැඩි කරුණු දැනගැනීමට සේල සූත්‍ර කිහිපය සහ අට්ට කතා ඉඩක් ලැබුණු විට කියවන්න. බොහෝ කරුණු තියෙනවා. ලිපිය කෙටි කෙරීමට මම ඒ සියලු කරුණු ලියන්නේ නැහැ.

 කේණිය ජටිල තුමා ඒ රෑ ඉක්ම ගිය පසු සිය අසපුවෙහි ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දැ පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, මේ කාලය යි. බත් නිමියේ ය” යි ආරාධනා කොට සිටියා. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ කේණිය ජටිලයාගේ අසපුවට සංඝ පිරිවර සමග වැඩියා. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ සිටියා. එවිට කේණිය ජටිල තුමා ඇතුළු පිරිස බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අසලින් අසුන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් කේණිය ජටිලයාට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කරනු ලැබුවා.

 “යාගයේ ගිනිපිදීම ප්‍රධාන කොට ඇත්තාහ. සාවිත්‍රීජන්‍දස* වේදයට ප්‍රධාන වේ. රජ තෙමේ මිනිසුන්ට ප්‍රධාන වේ. සාගරය නදීන්ට ප්‍රධාන වේ. චන්‍ද්‍ර තෙමේ තාරකාවන්ට ප්‍රධාන වේ. බබළන්නන් අතුරෙන් සූර්‍ය්‍ය තෙමේ ප්‍රධාන වේ. පින් කැමැත්තා වූ දන් දෙන්නන්ට සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් ප්‍රධාන වේ”.

අවසානයේ ඒ සියලුම දෙනා සසර ගමන එතැනින් නිමකළා.

උපකාර වූ මූලාශ්‍ර

සේල සූත්‍ර වර්ණනාව කුදුගත් සඟිය අටුවාවසුත්ත නිපාත අටුවාව. මහා වර්ගය, සේල සූත්‍රය

මැදුම් සඟිය මජ්ඣිමපණ්ණාසකය. බ්‍රාහ්මණ වර්‍ගය,

සේල සූත්‍රය කුදුගත් සඟියසූත්‍රනිපාතය මහා වර්‍ගය, සේල ස්ථවිරගාථා යි කුදුගත් සඟියථේරගාථා 20. වීසතිනිපාතය

විනය පිටකය භෙසජ‍්ජක‍්ඛන්‍ධකයේ මහාවග‍්ගපාළිය,

Ape Budu Hamuduruwo 362

අපේ බුදුහාමුදුරුවෝ 362 (සන්තිකේ නිධානය)

 

කෙණිය සහ සේල ජටිල තවුසන් පැවිදිවීම 02

භික්ෂු සංඝයා හට හිරු අවරට ගිය පසු පානය කල හැකි ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් අනු දැන වදාළ පැන් වර්ග.

මේ අතර භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් කේණිය සහ සේල බමුණන් වෙනුවෙන්මද කොහෙද ආපණයේ වැඩ වාසය කරනවා. මේ බව ප්‍රථමයෙන්ම දැනගත්තේ කේණිය ජටිලයා. ඔහු ඉහත කියූ අකාරයේ බුදුරජාණන් වහන්සේගේ නවහරහදී ගුණ දැක ඉක්මනින්ම උන්වහන්සේව දැක බලාගැනීමට ආශාවක් ඇතිවුනේ සංසාර පුරුද්දටම වෙන්නට ඇති. ඔවුන් අතීතයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේලාට දන් පැන් දුන් මහා පින්වත් සත්පුරුෂයන්. දැන් හොදටම හවස් වෙලා. එහෙත් ඔහුට හෙට වනතෙක් ඉන්නට සිතකුත් නැහැ. ඒ වගේම හිස් අතින් යන්නට හිතකුත් නැත්තේ ඉහත කී අයුරින්ම ඇති වූ සංසාර පුරුද්දට වෙන්නට ඇති. ඔහු මෙහෙම සිතුවා.

 “මම ශ්‍රමණ භවත් ගෞතමයන්ට මොනවද අරගෙන යන්නේ. නැවත කේණිය ජටිලයාහට මෙහෙමත් සිතුනා. : “බමුණන්ගේ මන්ත්‍ර (වේද) කළා වූ පැවැත්වූ යම් ඒ පූර්‍ව ඍෂීහු වූවහු ද, යම්කෙනෙකුන් සතු වූ ඒ පැරණි වේද මන්ත්‍ර දැන් බමුණෝ (පෙර බමුණන්) ගැයූ කියු රැස් කොට තැබූ පරිදි ගයත් ද, කියත් ද, හදාළ පරිදි හදාරත් ද, කියවූ පරිදි කියවත් (උගන්වත්) ද, ඒ ඍෂීහු එනම්: අට්ටක, වාමක, වාමදෙව, වෙස්සාමිත්ත, යමතග්ගි, අඞ්ගිරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොහු රාත්‍රිභෝජනයෙන් වැළකුණා. විකල්බොජුනෙන් තොර වූවා. එහෙත් ඔවුන් යම් යම් පානවර්ග ඉර හවරට ගිය පසු වැළදීම අනුමත කරනු ලැබුවා. ඒ නිසා නිසැක වශයෙන්ම ශ්‍රමණගෞතමයන් වහන්සේ ද රාත්‍රිභෝජයෙන් වැළකී සිටිය යුතයි. විකල්බොජුනෙන් වෙන් වූන ශ්‍රමණගෞතමයන වහන්සේද මෙබඳු පැන් ඉවසීමට සුදුසු වනු ඇති.” යි මෙසේ සිතූ කේණිය ජටිල තෙමේ “බදරපානස්ස කුටසහස්ස යනාදී ඩෙබරපැන්කළ දහසක්” ඇතුළු බොහෝ පැන් පිළියෙල කරවා කත්වලින් ගෙන්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචියේ යෙදුනා. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා ඉන් පස්සේ පසෙකට වී සිටියා. පසෙක සිටි කේණිය ජටිල තුමා භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන වහන්ස මාගේ පැන් පිළිගණීත්වා” යි යැයි යනුවෙන් ආයාචනා කර සිටියා. “කේණිය, එසේ නම් භික්‍ෂූන්ට දෙව” උන්වහන්සේ පිළිගනු ලැබුවා. ඒ එක්දහස් පන්සියයක් වූ මහා සංඝ පිරිසට එතුමා ඇතුළු සේවකයන් ඒ විවිධ පාන වර්ග පිළිගැනීමට පටන් ගැනුණා. එවිටම භික්ෂූන් අතර කුකුසක් ඇති වුනා. සමහර පාන වර්ග අකැප යනුවෙන් සිතා භික්‍ෂූන් ඒවා නොපිළිගත්තා. හරිම ප්‍රශ්ණයක්, හැමෝම තුෂ්නිම්භූත වෙලා. ප්‍රශ්නය භාග්‍යවතුන් වහන්සේ වෙතට යාමට වැඩි වේලාවක් ගතවුනේ නැහැ. උන්වහන්සේට එක් ක්ෂණයකින් ඔවුන් ගෙනැවිත් ඇති පාන වර්ග පෙනෙන්නට ඇති.

“මහණෙනි, පිළිගණිවු, වළඳවු”. ඒ බුදුරජාණන් වහන්සේගේ “අණ ” සියලු ම දෙසවන් වලට එක් මොහොතකින් ඇසෙන්නට ඇති. සියල්ලෝම සන්සුන්ව එම මිහිරි පාන වර්ග පානය කරනු ලැබුවා.

 ඉන්පස්සේ කේණිය ජටිල තුමා බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා බොහෝ පැනින් සියතින් සතප්පා පවරා, සේදූ අත් ඇති පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ පසෙකින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් කේණිය ජටිලයාට දැහැමි කතාවෙන් කරුණු දක්වා එහි ඔහුව තිසරණයේ පිහිටවනු ලැබුවා. ඔහු කල පිනෙන් සතුටු කරවනු ලැබුවා. සසර පුරා දියුණු කරනු ලැබූ පංච ඉන්ද්‍රිය දර්ම තව තවත් තියුණු කරනු ලැබුවේ ඔහුගේ භව ගමන අවසානයට පැමිණි ඇති බැවින්.

 භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සමාදන් කරවූ තියුණු කරවූ සතුටු කරවූ කේණිය ජටිල තුමා “භවත් ගෞතම තෙමේ භික්‍ෂු සඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි යැයි ආරාධනය කරනු ලැබුවා. එවිට බුදුරජාණන් වහන්සේ මෙලෙස පිළිතුරු දුන්නා. “කේණිය, භික්‍ෂු සඞ්ඝයා අතිමහත්. එක්දහස් දෙසියපණසක්. ඔබද අනෙකුත් බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුන ඔවුනට ඇප උපස්ථාන කරන කෙනෙක්. ඒ අයත් හිත නොහොඳ විය හැකියි. භාග්‍යවතුන් වහන්සේ එලෙස කිවේ මහත් වූ කරුණාවෙන්.

එවිට කේණිය ජටිල තුමා දෙවැනිවතාවටත් මෙලෙස ආරාධනා කොට සිටියා. භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා කෙසේ මහත් වුවත් එක්දහස්දෙසියපණසක් වුවත් මා ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනත් භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි යලිත් ආයාචනය කරනු ලැබුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ “කේණිය, භික්‍ෂුසඞ්ඝ තෙමේ මහත් වේ. එක්දහස්දෙසිය පනහක් . ඔබද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුන කෙනෙක් ”.

 තෙවනු ද කේණිය ජටිල තුමා භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා කෙසේ මහත් වුවත් එක්දහස්දෙසියපණසක් වුවත් මා ද බමුණන් කෙරෙහි පැහැදුනත් භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකොට සිටියා. භාග්‍යවතුන් වහන්සේ එවිට තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාරනු ලැබුවා. ඉක්බිති කේණිය ජටිල තුමා භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට ලහි ලහියේ ගියේ විශාල වගකීමක් හිතේ දරාගෙන..

ඔහු ගිය පසු භාග්‍යවතුන් වහන්සේ සංඝයා වහන්සේ සමග දැහැමි කතාවෙන් ඇති වූ ඒ සිද්ධිය පිළිබඳව සාකච්චා කොට හිරු අවරට ගිය පසු පිළිගත හැකි පානිය වර්ග පිලිබඳ භික්ෂුන් වහන්සේලාහට මෙලෙස යම් දැනුවත් කිරීමක් කරනු ලැබුවා.

“මහණෙනි, අඹපැන්, දඹපැන්, ඇටකෙසෙල්පැන්, මස් කෙසෙල්පැන්, මීපැන් ,මිදිපැන්, ඕලුපැන්, බොරලුදමුනුපැන්, යන අට වැදෑරුම් පැන් අනුදනිමි.

මහණෙනි, ධාන්‍යඵලරසය හැර සියලු ඵලරසය අනුදනිමි.

මහණෙනි, පිසූ පලාකොළරසය හැර දිය හා මුසු කොට මිරිකාගත් සියලු කොළරස අනුදනිමි.

මහණෙනි, මීපුප්රසය හැර සියලු මල්රස අනුදනිමි. මහණෙනි, උක් රසය (උක් ඉස්ම) අනුදනිමි” යි වදාළ සේක.

උපකාර වූ මුලාශ්‍ර

විනය පිටකය භෙසජ‍්ජක‍්ඛන්‍ධකයේ මහාවග‍්ගපාළිය,

Ape Budu Hamuduruwo 361

අපේ බුදුහාමුදුරුවෝ 361 (සන්තිකේ නිධානය)

 

කෙණිය සහ සේල ජටිල තවුසන් පැවිදි වීම 01

බුදුන් වහන්සේ විසින් අනු දැන වදාළ තවුස් පැවිද්දන් අට දෙනා.

මෙලෙස අපගේ භාග්‍යවතුන් වහන්සේ ආපන නම් ග්‍රාමයට එක්දහස් දෙසිය පනහක් වූ භික්ෂු සංඝයා සමග වැඩම කරනු ලැබුවා. එවිට ඒ ග්‍රාමය තුල අප මහා බුදුරජාණන් වහන්සේ පිළිබන්ධව මෙලෙස යහපත් කීර්තිරාවයෙක් ගොඩ නැගුණා.

‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් ද රහත් සේක. මේ මේ කරුණෙන් ද සම්‍යක් සම්බුද්ධ සේක. මේ මේ කරුණෙන් ද අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත සේක. මේ මේ කරුණෙන් ද සුගත සේක. මේ මේ කරුණෙන් ද ලෝකවිදු සේක. මේ මේ කරුණෙන් ද පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තර වූ සාරථි සේක. මේ මේ කරුණෙන් ද දෙවි මිනිසුන්ට ශාස්තෘ සේක. මේ මේ කරුණෙන් ද බුද්ධ සේක. මේ මෙම කරුණෙන් ද භාග්‍යවත් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශලෝකය ද, මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකය ද තමන්වහන්සේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි යනුවෙන්.

එකල කෙණිය ජටිල තාපසයාත් එම ග්‍රාමයෙහි ම අනෙකුත් තවුස් පැවිද්දන් හා සමග ඔවුන්ට ඇප උපස්ථාන කරමින් ජීවිකාව ගෙන ගියා. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් සියලු තවුස් පැවිද්දන් වන්නේ යැයි තවුස් පැවිද්දන් වර්ග අටක් පිළිබන්ධව විනය පිටකයේ විග්‍රහ කොට තිබෙනවා.

ඒ මෙලෙසයි, තාපසයෝ අටවැදෑරුම්ය.

1.සපුත්තභරියා

2.උඤ්ඡාචරිය

3.අනග්ගිපක්කික

4.අසාමපාකික

5.අසමමුට්ඨක

6.දන්තවක්කලික

7.පවත්තඵලභොජී

8.පණඩුපලාසික. යනුවෙන්

1.සපුත්තභරියා :- එහි යමෙක් කෙනිය ජටිලයා මෙන් පවුලක් තබා ගෙන තපස් පැවිදි භාවයේ වසත් ද ඔවුහු සපුත්තභරිය නම් වනවා.

2.උඤ්ඡාචරිය :- යමෙක් සකල ආත්මභාවය පැවිද්දාට අයුතු යැයි ගොයම් කපන, මඩින තැන්වල වී, මුං, මෑ, තල ආදිය ඇද ගෙන පිස අනුභව කරත්ද, ඔවුහු උඤ්ජාචරිය නම් වනවා.

3.අනග්ගිපක්කික :- යමෙක් කමතින් කමත හැසිර වී ගෙනවුත් කොටා අනුභව කිරීම නුසුදුසු යයි ගම් නියම්ගමෙහි සහල් ශික්ෂාව ගෙන පිස අනුභව කරන්නේ ද ඔවුහු අනග්ගිපක්කික නම් වනවා.

4.අසාමපාකික :- යමෙක් පැවිද්දාට තමාම පිසූ අහරින් කවර ප්‍රයෝජනයක් දැයි ගමට පිවිස පිසූ ශික්ෂාව ගනින් ද ඔවුහු අසාමපාකීක නම් වනවා

5.අසමමුට්ඨක :- යමෙක් දින දින ශික්ෂාව සොයා යාම පැවිද්දාට දුක් යයි ගල් ගෙඩියකින් අඹ ආදී ගස්වල පොතු කොටා කත් ද ඔවුහු අසමමුටඨික නම් වනවා

6.දන්තවක්කලික :- යමෙක් ගලින් පොතු කොටා හැසිරීම දුක් යැයි (මෙම කොටස අඩුයි)

7.පවත්තඵලභොජී :- දත්වලින් ම පොතු ගලවා කෑම පැවිද්දාට දුක් යයි ගල් කැට දඬු කැබලි ආදියෙන් ගසා වැටුණු ගෙඩි අනුභව කරත්ද ඔවුහු පවත්තඵල භෝජී. නම් වනවා

8.පණඩුපලාසික :- යමෙක් ගල් කැට දඬු කැබලි ආදියෙන් හෙළා පරිභෝගය පැවිද්දාට අසාරුප්‍යයයි ඉබේ වැටුණු මල්පල වියලි කොළ කමින් යැපෙත්ද ඔවුහු පණ්ඩු පලාසික නම් වනවා.

ඔවුන් ද තෙවැදෑරුම් වනවා. උසස් (උක්කට්ඨ) මැද (මජ්ඣිම) මෘදු (මුදුක) යනුවෙනි. එහි යමෙක් හුන් තැනින් නො නැගිට අත පොවන තැනම වැටුණු දේ ගෙන කත් ද ඔවුහු උක්කට්ඨ නම් වනවා. යමෙක් එක් ගසකින් තවත් ගසකට යත්ද ඔවුහු මැද නොහොත් මධ්‍යම නම් වනවා. යමෙක් ඒ ඒ රුක් මුලට ගොස් සොයා ගෙන කත්ද ඔවුහු මෘදුක නම් වනවා.

මේ තවුස් පැවිදිනන් මේ තවත් සතර අකාරයකට මේ අයුරිනුත් සංග්‍රහ වන බව බුද්ධ දේශනාවේ පවසනවා. එනම්, මේවා අතරින් සපුත්තභරියා, උඤ්ඡාචරිය, යන කොටස් දෙක දන් ගෙන වාසය කරනවා. අනග්ගිපක්කික අසාමපාකිකයෝ ගිනිහල්ගෙයෙහි භජනය කරනවා. අනග්ගි අසමමුට්ඨක දන්ත වක්කලිකයෝ චාරිකාවේ යෙදෙමින් ගස්වල කඳ, මුල්, පල බොජුන් වශයෙන් ගනිමින් වාසය කරනවා

පණ්ඩුපලාසිකයො පවත්තඵල භෝජනය ඇසුරු කරයි යනුවෙන් තව දුරටත් එලෙස විග්‍රහ වෙනවා. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් සියලු තවුස් පැවිද්ද නිර්දේශ කරන ලද්දේ වෙයි’ යනුවෙන් විනය පිටකයේ සඳහන් වනවා.

උපකාර වූ මූලාශ්‍ර

විනය පිටකය භෙසජ‍්ජක‍්ඛන්‍ධකයේ මහාවග‍්ගපාළිය,