බෝධි පූජාව.

නමත්ථු බුද්ධානං
නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං
නමෝ විමුත්තියා

බෝධි යන වචනයෙන් ලෝකෝත්තර මාර්ග ඥානය, සර්‍වඥතාඥානය, මහබෝසතුන්ට ලොවුතුරු බුදුබව ලැබීමට උපකාර වන ගස යන මේවා කියැ වේ.

බෝධි යන වචනයේ නියම තේරුම නම් නිවැරදි වූ ද පැහැදිලි වූ ද සම්පූර්ණ වූ ද දැනීම ය. අවබෝධය ය. දැකීම ය.

“ඇසින් දැකීම ය, නුවණින් දැකීම ය” යි දැකීම් දෙකකි. ඇසින් දැකීම් අතර වැරදි දැකීම් ද ඇත. අපැහැදිලි දැකීම් ද ඇත. පැහැදිලි වුව ද අසම්පූර්ණ දැකීම් ද ඇත. පැහැදිලි වූ සම්පූර්ණ දැකීම් ද ඇත. කුඩා ගිනි පුපුරු සේ අහසේ පෙනෙන තරු කුඩා ගිනි පුපුරු නොව විශාල වස්තූහු ය. ඒවායින් සමහරක් අප වාසය කරන පොළොවට ද වඩා විශාල වස්තූහු ය. ඒ විශාල වස්තූන් ගිනි පුපුරු සේ දැකීම වැරදි දැකීමෙකි. දුර සිටින මිනිසකු මිනිසකු සේ පෙනේ. එහෙත් හැඳින ගත නො හැකි ය. ඒ අපැහැදිලි දැකීම ය. ආලෝකය ඇති තැන්වල සමීපයේ සිටින මිනිසාට සමීපයේ ඇති වස්තුව හැඳින ගත හැකි සේ පෙනේ. ඒ පැහැදිලි දැකීම ය. සමීපයේ සිටින මිනිසාගේ ශරීරයෙන් ඇසට පෙනෙන්නේ ඇස පැත්තට හැරී තුබූ කොටස පමණකි. පිටිපස නොපෙනේ. මිනිස් සිරුරේ පිට පැත්ත මිස ඇතුළු පැත්ත ද නො පෙනේ. එය පැහැදිලි වූ අසම්පූර්‍ණ දැකීම ය. ආලෝකය ඇති තැනෙක ඇති වතුර පිටවූ සුදු බෝතල දෙස බලන කල්හි එහි සෑම පැත්ත ම පෙනේ. ඇතුළේ ඇති වතුර ද පෙනේ. වතුරෙහි යමක් ඇති නම් ඒවා ද පෙනේ. ඒ පිරිසිදු වූ ද සම්පූර්ණ වූ ද දැකීම ය.

ඇසට යම් යම් දේ පෙනෙන්නාක් මෙන් නුවණට සියල්ල ම පෙනේ. ඒ බැවින් නුවණට ඥානදර්ශනය යි ද නුවණැස ය යි ද කියනු ලැබේ. ඇසට පෙනීමේ වෙනස්කම් ඇති වාක් මෙන් නුවණට පෙනීමේ ද වෙනස්කම් ඇත්තේ ය. ඒ වෙනස්කම් ඇති ව්නනේ නුවණේ තත්ත්වය අනුව ය. නුවණ අතර දුබල ඒවා ද ඇත. බලවත් ඒවා ද ඇත. තියුණු ඒවා ද ඇත. නො තියුණු ඒවා ද ඇත. දුබල වූ ද නො තියුණු වූ ද නුවණට පෙනෙන දෙය පැහැදිලි ලෙස ප්‍ර‍කට ලෙස නො පෙනේ. පැහැදිලි ලෙස ප්‍ර‍කට ලෙස කාරණය පෙනෙන්නේ බලවත් වූ තියුණු වූ නුවණට ය. බෝධි යන වචනයෙන් අදහස් කරන්නේ දක්නා දෙය හරියට ම පෙනෙන, පැහැදිලි ලෙස ප්‍ර‍කෘතිය සම්පූර්ණයෙන් පෙනෙන, බලවත් වූ තියුණු වූ නුවණ ය. එනම් ලෝකෝත්තර මාර්ගඥානය හා සර්වඥතාඥානය ය. මාර්ගඥානයට පෙනෙන්නේ නිවන පමණෙකි. සර්වඥතාඥානයට අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් සියල්ල ම පෙනෙන්නේ ය.

ලෝකෝත්තර මාර්ගය යනු සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන ධර්ම අට ය. සංස්කාර ධර්මයන් අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කර ගෙන යන්නා වූ යෝගාවචරයන්ට විදර්ශනාඥානය දියුණු වීමෙන් මේ මාර්ගාංග ධර්ම අට ලෝකෝත්තර භාවයෙන් එක්වර එකට බැඳී පහළවන අවස්ථාවක් ඇතිවේ. ඒ අවස්ථාවේ දී ඇති වන මාර්ගාංග අටට ලෝකෝත්තර මාර්ගය යි කියනු ලැබේ. එහි සම්මා දිට්ඨි යන වචනයෙන් කියැවෙන්නේ නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දක්නා වූ ඉතා බලවත් වූ ඉතා තියුණු වූ ඥානය ය. ලෝකෝත්තර මාර්ගඥානය යි කියනුයේ ඒ සම්මා දිට්ඨියට ය. එහි බලයෙන් සන්තානයෙහි පවත්නා ක්ලේශයෝ ද එහි ශක්ති ප්‍ර‍මාණය අනුව දුරු වෙති. ප්‍ර‍හීණ වෙති. ලෝකෝත්තර මාර්ගඥානය එක් පුද්ගලයකුට සතර වරක දී ඇති වේ. පළමුවර ඇති වන ඒ ලෝකෝත්තර ඥානය සෝතාපත්ති මග්ගඤාණය නම් වේ. දෙවන වර ඇති වන ඥානය සකදාගාමි මග්ගඤාණ නම් වේ. තුන්වන වර ඇති වන ඥානය අනාගාමි මග්ගඤාණ නම් වේ. සිවුවන වාරයෙහි ඇති වන ඥානය අරහත්ත මග්ගඤාණ නම් වේ. ඒ ඥාන එකින් එකට වඩ වඩා බලවත් ය. බෝධි නම් වූ අරහත්ත මග්ග ඤාණය සියල්ලට ම වඩා බලවත් බැවින් යට මග්ගඤාණවලට ප්‍ර‍හාණය නො කළ හැකි ව ඉතිරි වී තුබූ සකල ක්ලේශයෝ ඒ ඥානයෙන් ප්‍ර‍හාණය වෙති. එයින් එය ලත් පුද්ගලයා පරම විශුද්ධියට පැමිණේ. ඒ උත්තම පුද්ගලයාට කරන ඉතා සුළු වූ ද පූජාව, සත්කාරය ඉතා මහත්ඵල වන්නේ ය. එබැවින් ඒ පුද්ගලයා අරහත් නම් වේ. ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිණෙය්‍ය අඤ්ජලිකරණීය අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත නම් වේ. ඒ බෝධියේ අනුහස ය.

අර්හන් මාර්ගඥාන සඞ්ඛ්‍යාත බෝධිය ද ශ්‍රාවක බෝධිය ප්‍රත්‍යේක සම්බෝධිය මහාබෝධිය යි තුන් ආකාර වේ. ඒ තුන් බෝධිවලට තුන්තරා බෝධි ය යි ද කියනු ලැබේ. ශාරිපුත්‍ර‍ මෞද්ගල්‍යාන ආනන්ද මහා කාශ්‍යපාදි බුද්ධ ශ්‍රාවකයන්ගේ අර්හන් මාර්ගඥානය ශ්‍රාවක බෝධි නම් වේ. පසේ බුදුවරුන්ගේ අර්හන් මාර්ගඥානය ප්‍රත්‍යේක සම්බෝධි නම් වේ. ලොවුතුරා බුදුවරුන්ගේ අර්හන් මාර්ගඥානය මහා බෝධි නම් වේ. සම්‍යක් සම්බෝධි නම් ද වේ. මේ ඥානයන් ද එකිනෙකට වඩ වඩා බලවත් ය. ලොවුතුරා බුදුවරුන්ගේ අර්හන් මාර්ගඥානය ඉතා බලවත් ය. එබැවින් ඒ සන්තානයෙහි තුබූ බවට ලකුණකුදු ඉතිරි නොවන පරිදි ක්ලේශයෝ ප්‍ර‍හීණ වෙති. එයට සවාසනා ක්ලේශ ප්‍ර‍හාණය යි කියනු ලැබේ. ඒ අර්හන් මාර්ගය ලැබෙනු සමග ම එහි අනුහසින් ලොවුතුරා බුදුවරුන්ට සියල්ල දැකීමට සමර්ථ සර්වඥතා ඥානය පහළ වේ. ඒ ඥානයට කොතරම් සියුම් දෙයක් වුව ද ඉතා පැහැදිලි ලෙස පෙනේ. කොතරම් දුර පිහිටි දෙයක් වුව ද අත පිට ඇති දෙයක් සේ පෙනේ. ඒ උසස් ඥානයට ද බෝධිය යි කියනු ලැබේ. අර්හන් මාර්ග ඥානය සමග ම ලොවුතුරා බුදුවරුන්ට දශබලඥාන චතුර්වෛශාරද්‍යඥානාදි සෙසු බුද්ධ ගුණයෝ ද පහළ වෙති.

බෝධි වෘක්‍ෂය.

ශ්‍රාවක බෝධිසත්ත්වයන්ට හා ප්‍ර‍ත්‍යෙක බෝධිසත්ත්වයන්ට කොතැනකදී වුව ද ඒ තත්වයට පැමිණිය හැකි ය. රහත් වීමට පසේ බුදු වීමට නියම තැනක් නැත්තේ ය. මහා බෝධි සත්ත්වයනට එසේ කොතැනක දී හෝ බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. මිනිස් ලොවෙහි ම මිස දිව්‍ය‍ලෝක බ්‍ර‍හ්මලෝක නාගලෝකාදියෙහි ලොවුතුරා බුදුබව නො ලැබිය හැකි ය. එය ලැබිය හැක්කේ මිනිස් ලොවෙහි ම ය. එහි ද සෑම තැනකදී ම බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. සියලු මහා බෝධි සත්ත්වයන් බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නො හෙන පරිදි එය වටා ප්‍රාකාරයක් මෙන් ගස් වැල් වැඩී ඇති තැනකැයි ද දෙවියකුට බ්‍ර‍හ්මයකුට වුව ද එයට උඩින් යා නොහෙන අනුහසක් ඇති තැනකැයි ද කාලිංග බෝධි ජාතකයේ කියා ඇත. එය අචල භූමියකැ යි ද එහි කියා තිබේ. එය දඹදිව මධ්‍යදේශයේ නේරඤ්ජරා නම් ගඟට නුදුරු තැනකි.

සියලු ම බෝධි සත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදී ය. සිද්ධාර්ථ කුමාරයන් මවුකුසින් බිහි වූ දිනයේ ම ඉහත කී ජය භූමියෙහි ඇසටු ගසක් පැන නැඟිණ. එය පැන නැඟුණේ උන්වහන්සේට ලොවුතුරා බුදුවීමට ආධාර වීම සඳහා ය. ඒ අනුව සියලු ම මහා බෝධිසත්ත්වයන්ට උපදින දිනයේ ම බෝධිය පැන නඟින බව සිතිය යුතු ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගස ය. ඇසටු ගස මුල බුදු වූ අන් බුදුවරයකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධි වනු පිණිස නොයෙක් වර්ගවල ගස් පැන නඟී.

දීපංකර බුදුරදුන් බුදු වූයේ පුලිල ගසක් මුල ය. කොණ්ඩඤ්ඤ බුදුරදුන් බුදු වූයේ ශාල කල්‍යාණි නම් ගසක් මුල ය. මංගල බුදුරදුන් බුදු වූයේ නා ගසක් මුලය. සුමන, රේවත, සෝභිත බුදුවරුන් බුදු වූයේ ද නාගස මුල ය. අනෝමදස්සී බුදුරදුන් බුදුවූයේ කුඹුක් ගස මුල ය පදුම, නාරද යන බුදුවරුන් බුදු වූයේ මහාසෝණ නම් ගසමුල ය. පදුමුත්තර බුදුරදුන් බුදු වූයේ සල් ගසක් මුල ය. සුමේධ බුදුරදුන් බුදු වූයේ බක් මී ගසක් මුල ය. සුජාත බුදුරදුන් බුදු වූයේ හුණ ගසක් මුල ය. පියදස්සී බුදුරදුන් බුදු වූයේ කුඹුක් ගසක් මුල ය. අත්ථදස්සී බුදුරදුන් බුදු වූයේ සපු ගසක් මුල ය. ධම්මදස්සී බුදුරදුන් බුදු වූයේ රත්කරව් ගසක් මුල ය. සිද්ධත්ථ බුදුරදුන් බුදු වූයේ කිණිහිරිය ගසක් මුලය. තිස්ස බුදුරදුන් බුදු වූයේ පියාගසක් මුල ය. ඵුස්ස බුදුරදුන් බුදු වූයේ නෙල්ලි ගසක් මුල ය. විපස්සී බුදුරදුන් බුදු වූයේ පළොල් ගසක් මුල ය. සිඛී බුදුරදුන් බුදු වූයේ ඇටඹ ගසක් මුල ය. වෙස්සභු බුදුරදුන් බුදු වූයේ සල් ගසක් මුල ය. කකුසඳ බුදුරදුන් බුදු වූයේ මහරි ගසක් මුල ය. කෝණාගමන බුදුරදුන් බුදු වූයේ දිවුල් ගසක් මුල ය. කස්සප බුදුරදුන් බුදු වූයේ නුග ගසක් මුල ය.

සවසක් දුෂ්කර තපසක් කළා වූ අප මහ බෝසතාණන් වහන්සේ එක් වෙසක් මස පුණු පොහෝ දිනයක අජපාල නම් නුග රුකක් මුල වැඩහිඳ සුජාතා නම් සිටුදුව විසින් පිළිගන්වන ලද කිරි බතක් වළඳා සමීපයෙහි වූ සල් වනයෙහි නොයෙක් සමවත්වලට සමවදිමින් සමවත් සුවයෙන් කල් ගෙවා සවස් කාලයේ දෙවියන් විසින් පිළියෙළ කරන ලද මඟින් බෝධිය කරා වැඩම කළහ. පෙරමඟ ආවා වූ තණ ගෙන යන සොත්ථිය නමැත්තෙක් උන් වහන්සේට කුඩා තණ මිටි අටක් පිළිගැන්වීය. ඒවා ගවයන්ට කැවීමට ගෙන යන තණ නොව මෙට්ටයක් වශයෙන් ගුදිරියක් වශයේ බිම අතුරා හිඳීමට හා සැතපීමට පාවිච්චි කරන වියළි තණ ය. සොත්ථිය බමුණා බෝසතාණන් වහන්සේට ඒවා පිළිගැන්වූයේ ද බිම අතුරා ඒවා මත වැඩ සිටීම සඳහා ය. දඹදිව තවුසන් බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ තණ ඇතිරි ය. බෝසතාණන් වහන්සේ ඒ තණ ගෙන ගොස් බෝධීන් වහන්සේ ගේ නැගෙනහිර පැත්තේ බිම සැලූහ. ඒවායින් තුදුස් රියන් අසුනක් සැදිණ. උන් වහන්සේ බෝධියට පිට දී නැගෙනහිර දිසාවට මුහුණ ලා වැඩ සිටියහ. උන් වහන්සේට බාධා කිරීමට පැමිණි වසවත් මරු හිර බැසීමට කලින් ම පැරදී පලා ගියේ ය.

ඉක්බිති මහ බෝසතාණන් වහන්සේ එහි ම වැඩ සිට භාවනා කොට රාත්‍රියේ පළමුවන කොටසෙහි තමන් වහන්සේගේ අතීත ජාති පිළිවෙළ දැකීමට සමත් පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය උපදවාගත් සේක. රාත්‍රියේ මැද කොටසෙහි ලෝකයෙහි ඒ ඒ තැන මැරෙන උපදින සත්ත්වයන් දක්නට සමත් දිව්‍යචක්ෂුඥානය උපදවා ගත් සේක. දොළොස් පදයක් ඇති ප්‍රතීත්‍ය සමුත්පාදයට ඥානය මෙහෙයා එය අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් මෙනෙහි කොට ඉක්බිති සංස්කාරයන් විදර්ශනා කොට ඇරුණෝද්ගමනයේ දී මාර්ග ඵල පිළිබඳ සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කිරීමට සමත් අර්හත් මාර්ගඥානය උපදවා ගත්හ. එය සමග ම සියල්ල දැන ගැනීමට සමත් සර්‍වඥතාඥානය හා දශබල ඥානාදි සකල බුද්ධ ගුණයන් උපදවා ගත්හ. ඒ මහ බෝසතාණන් වහන්සේගේ බුදුවීම ය. ලෝකෝත්තර මාර්ගඥාන සතර හා සර්‍වඥතාඥානය ඥානයන් අතුරෙන් සියල්ලට උසස් ඥානයෝ ය. එබැවින් ඒවා බෝධි නම් වෙයි. ඒවා ලබා ගත්, ඇති කර ගත් උත්තම පුද්ගලයා ද ඥානයන් නිසා ලෝකයෙහි අග්‍ර‍ පුද්ගලයා වෙයි. දෙවියන් සහිත ලෝකයා විසින් ගරු බුහුමන් වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෙක් වෙයි. එහෙයින් උන් වහන්සේට දේව බ්‍ර‍හ්මයෝ ද වැඳුම් පිදුම් කරති.

බෝධි වෘක්‍ෂවල සර්‍වඥවරයන්ට ඒ තත්වය ලැබීමට උපකාර වන ශක්තියක් අනුහසක් ඇත. බෝධියේ පිහිට නො ලබා බුදු විය නො හැකි ය. මහ බෝසත්වරුන් බුදු වීම සඳහා බෝධිමූලයන්ට එළඹෙන්නේ ඒ නිසා ය. ඒ අනුහස ඇත්තේ ශ්‍රී මහා බෝධියේ පමණෙකි. එයින් ද ඒ ගස වැඳුම් පිදුම් කිරීමට සුදුසු වේ. බුදුවරුන් පරිභෝග කළ වස්තූහු ද වැඳුම් පිදුම් කිරීමට සුදුසු ය. තථාගතයන් වහන්සේ බුදු වූ විගස ම ඒ අසුනෙන් නො නැඟී බෝධියට පිට දී සතියක් ම එතැන වැඩ සිටියහ. තථාගතයන් වහන්සේ එසේ පරිභෝග කිරීම නිසා ද බෝධි වෘක්ෂය පූජනීය වස්තුවක් විය. මෙකල ඇති වෘක්‍ෂවලින් සියල්ලට උසස් වෘක්‍ෂය වන බැවින් ඒ වෘක්‍ෂය මහා බෝධි නම් විය. මහෝත්තම වූ තථාගතයන් වහන්සේගේ බෝධිය වූ බැවින් ද ශක්‍ර‍ බ්‍ර‍හ්මාදි මහත් වූ පුද්ගලයන්ගෙන් පුද ලබන බැවින් ද මහා බෝධි නම් විය.

පළමුවන බෝධි පූජාව.

ශ්‍රී මහා බෝධීන් වහන්සේට පළමු වන පූජාව කෙළේ ද තථාගතයන් වහන්සේ විසිනි. ලොවුතුරා බුදු බව ලැබූ භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්‍ෂ ගණන් සමාපත්තීන්ට සමවදිමින් බෝධි මූලයේ වජ්‍රාසනයේ ම පළමුවන සතිය ගෙවා ඉන් නැඟිට බෝධීන් වහන්සේට උතුරු දිගින් සිට චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පිරූ මාගේ අදහස මේ බෝධිමූලයේ දී මස්තකප්‍රාප්ත වූයේ ය. මෙය නිකම් ම අත් හැර නො යා යුතු ය. මා හට බුදු බව ලැබීමට උපකාර වූ මේ බෝධි වෘක්‍ෂයට හා ආසනයට පූජාවක් කළ යුතුය යි සිතා බෝධිය දෙසත් වජ්‍රාසනය දෙසත් පඤ්ච වර්ණයෙන් බබලන්නා වූ නෙත් දෙකින් ඇසිපිය නො හෙළා ම සතියක් මුළුල්ලෙහි බලා ගෙන සිටි සේක. එය නේත්‍ර‍ පූජාවෙකි. එයට අනිමිසලෝචන පූජාව ය යි කියනු ලැබේ. එය ඉතා දුෂ්කර පූජාවකි. සාමාන්‍ය මිනිසුන්ට විනාඩි ගණනක් ඇසිපිය නො හෙළා විසීම ද දුෂ්කර ය.

ආනන්ද බෝධීන් වහන්සේ.

තථාගතයන් වහන්සේ ජනානුග්‍ර‍හය පිණිස චාරිකාවෙහි වැඩම කළ කල්හි උන් වහන්සේ දක්නට ජේතවන විහාරයට සුවඳ මල් ආදිය ගෙන පැමිණෙන සැදැහැවත්හු උන් වහන්සේ නැති බැවින් ඒ පූජා ද්‍ර‍ව්‍යයන් ගඳකිළිය ඉදිරිපිට දමා කිසි සතුටක් නොලබා පෙරළා යන්නාහ. ඒ බව දත් අනේපිඬු සිටුතුමා බුදුරදුන් දෙව්රම් වෙහෙරට වැඩම කළ කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ ඒ කරුණ උන්වහන්සේට දන්වා “ස්වාමීනි, තථාගතයන් වහන්සේ මේ වෙහෙරෙහි නැති අවස්ථාවන්හි සුවඳ මල් ආදිය ගෙන පැමිණෙන්නවුන්ට ඒවා පුදා සිත සතුටු කර ගැනීමට තැනක් මේ විහාරයෙහි ඇති කළ හැකි ද? නො හැකිද? යන වග දනු මැනව” යි සැල කෙළේ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කොතෙක් චෛත්‍යයෝ ඇත්තා හු දැ” යි විචාළහ. “ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේ ය” යි උන් වහන්සේ වදාළහ. “ඒ කවරහුදැ” යි ආනන්ද මහ තෙරණුවෝ ඇසූහ. “ආනන්දය, ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේශිකය යි චෛත්‍යයෝ තිදෙනෙක් වන්නාහු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “ආනන්දය, ශාරීරික චෛත්‍යය දැන්ම නො කළ හැකි ය. එක කළ හැක්කේ බුදුවරුන් පිරිනිවීමෙන් පසුව ය. බුදුවරුන් පරිභෝග කළ මහාබෝධිය වනාහි බුදුවරුන් ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය. යි බුදුන් වහන්සේ වදාළ සේක. එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, නුඹ වහන්සේ චාරිකාවෙහි වැඩම කළ කල්හි මේ ජේතවන විහාරය මහජනයාට පිහිටක් නැති තැනක් වන්නේ ය. මහජනයාට වැඳුම් පිදුම් කිරීම පිණිස මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවන ද්වාරයෙහි රෝපණය කරන්නෙමි” යි සැල කළහ. “ආනන්ද ය, එසේ කරව. එකල්හි මා ජේතවන විහාරයෙහි නිබඳ විසීමක් වැනි වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ මුගලන් මහ තෙරුන් වහන්සේ ලවා මහා බෝධි ඵලයක් ගෙන්වා ජේතවන විහාර දොරටුව සමීපයේ අනේපිඬු සිටාණන් ලවා මහත් වූ රන් කටාරමක රෝපණය කර වූහ. එකෙණෙහි ම මහජනයා බලා සිටියදී ම එයින් පනස් රියනක් උස සතර දිශාවට විහිදුණු පනස් රියන් අතු ඇති මහා බෝධි වෘක්‍ෂයක් පැන නැංගේ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ මෙහෙයීමෙන් රෝපණය කළ බැවින් ඒ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නම් වූහ.

ශ්‍රී ලංකාවේ බෝධීන් වහන්සේලා.

තථාගත පරිනිර්‍වාණයෙන් දෙසිය සතිස් වන වසරේ මෙහි සසුන් පිහිට වීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ මේ දිවයිනට වැඩම කළ සේක. එකල්හි ලක් රජය කළේ දෙවන පෑතිස් රජතුමා ය. එතුමාගේ කාලයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ නැඟණියන් වන සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ ය. ලක් පොළොවෙහි එය පිහිටි පසු සතියක් ම නො පෙනී තිබිණ. සත්වන දිනයේ බෝධීන් වහන්සේ දෘශ්‍යමාන වූ කල්හි බෝධීන් වහන්සේ දක්නට රජු ඇතුළු බොහෝ ජනයා පැමිණියහ. බෝධීන් වහන්සේගේ මහ අතු පසෙහි ඵල පසක් ද පෙනිණ. ඒවා මහජනයා බලාසිටියදී ම නටුවෙන් ගිලිහී පතිත විය. මිහිඳු මහ රහතන් වහන්සේ ඒවා පොළොවට වැටෙන්නට නොදී සිවුරෙන් පිළිගෙන රෝපණය කිරීම සඳහා රජුට දුන්හ. රජතුමා රෝපණය කළ කල්හි මහජනයා බලා සිටියදී ම එක් එක් ඵලයකින් අට අට බැගින් බෝ පැළ පැන නැංගේ ය. එකක් සතර රියනක් පමණ විය. බෝ පැළ සතළිසක් විය. ඒවා මේ ශ්‍රී ලංකා ද්වීපයේ දඹුළු තොටය, ථූපාරාමය, ප්‍ර‍ථමක චෛත්‍යස්ථානය, රුහුණේ කතරගමය, මල්වැස්සා වෙහෙරය, මහාජල්ලික නම් ගමය, පොළොන්නරුවය, රුහුණු රට මාගමය, මහියංගණය, බදුල්ලේ මුතියංගණය, රුහුණු රට සිතුල්පව්වය, වැලිගම් වෙහෙරය, මැද්දේගමය, පුසුල්පිටියය, බෙලිගල්ලය, වට්ටාරමය, රැස්සේරුවය, ගිරිබා වෙහෙරය, කසාගලය, තිවක්ක බ්‍රාහ්මණ ගමය, සඳුන්ගිරි වෙහෙරය, සෑගිරියය, සඳුන්ගමය, තන්ත්‍රිමාලයය, කොට්ටියාරමය, මාතලේ රුසීගමය, විල්වලය, විල්ගම් වෙහෙරය, බුත්තල හත්පෝරු වෙහෙරය, වනවාස වෙහෙරය, පරගොඩය, ගණේගමය, මායාරට වතුරය, පැපිලියානය, බෙල්ලන්විලය, වඳුරවය, සුළුගල්ලය, කටියාවය, යාපහුවය, රහත්ගල් වෙහෙරය යන ස්ථානයන්හි රෝපණය කරන ලද්දේය. මෙසේ සිරි ලක්දිව බෝධීන් වහන්සේලා සතළිස් එක් නමක් වූහ. වර්ෂ දෙදහස් ගණනකට පෙර රෝපණය කළ ඒ බෝධින් අතුරෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ස්වල්පයක් අද දක්වා පවත්නේය. එය පවත්නේ බලවත් ආරක්‍ෂාවක් සත්කාරයත් නිසා ය. අන්‍ය බෝධීන් වහන්සේලා දැනට ඇති නැති බව නොදත හැකි ය. ඉහත කී ස්ථානවල දැනට ඇති බෝධීන් පසු කාලයේ රෝපණය කළ ඒවා ද විය හැකි ය. ශ්‍රී මහා බෝධි පරම්පරාවෙන් පැවත එන සියලු ම බෝධි වෘක්‍ෂ වැඳුම් පිදුම් කිරීමට සුදුසු ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමට කලින් ද මේ රටේ ඇසතු ගස් තිබෙන්නට ඇත. දැනට ඒ සියල්ලට ම කියනුයේ බෝගස් කියා ය. බෝධීන් වහන්සේලාට වැඳුම් පිදුම් කරන සැදැහැවතුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සලකා ගෙන උන්වහන්සේට කරන වන්දනා පූජාවක් වශයෙන් වැඳුම් පිදුම් කළ කල්හි අඩුවක් නැති ව බෝධි වන්දනා පූජා කුශලය ලැබෙනු ඇත. දැනට බෞද්ධයන් බෝධි වන්දනාව සඳහා භාවිතා කරන,

යස්ස මූලේ නිසින්නෝව

සබ්බාරි විජයං අකා,

පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා

වන්දේ තං බෝධිපාදපං

යන ගාථාව ද බුදුරජාණන් වහන්සේ පිට දී වැඩ සිටි දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේට වැඳීම සඳහා රචිත ගාථාවකි. එය මහා බෝධි වංස නමැති පාලි ග්‍ර‍න්ථය රචනා කළ ස්ථවිර තුමන් විසින් පළමු කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර කිරීම සඳහා එහි යොදා ඇති ගාථාව ය.

ඉන්දියාවෙහි ද ඇතැම්හු බෝගස දේවත්වයෙන් සලකති. පැරණි අශ්වත්ථස්තෝත්‍ර‍යක් ද ඇත. ඇසටු ගස දැකීමෙන් රෝගයන්ගෙන් මිදෙන බව ද, ස්පර්ශ කිරීමෙන් පාපයෙන් මිදෙන බව ද, ඇසුරු කිරීමෙන් චිර ජීවනය ලබන බව ද, ආයුෂය දරුවන්ය ධන ධාන්‍ය සෞභාග්‍ය සර්ව සම්පත්තිය බෝගසින් දෙන බව ද එහි සඳහන් වේ. ඒ අනුව ග්‍ර‍හ අපල රෝග සතුරු උවදුරු ආදිය දුරු වීමට කිනම් බෝධියකට වුව ද වැඳුම් පිදුම් කිරීම හොඳ බව කිය යුතු ය. බෝධි ස්තෝත්‍ර‍ කීමෙන් බ්‍රාහ්මණයන් මැරීමේ පාපයෙන් ද ගුරුන් මැරීමේ පාපයෙන් ද දිළිඳු බවින් ද රෝගවලින් ද මිදිය හැකි බව එහි කියා තිබේ. බෝධි මූලයක දී එක් බමුණකුට දන් දීම බමුණන් කෝටියකට දීම වැනි ය යි ද එහි කියා තිබේ

රාජා කාලිඞ්ගො චක්කවත්තී – ධම්මෙන පඨවි මනුසාසං,

අගමා බොධි සමීපං – නා ගෙන මහානුභාවෙනා තී

කාලිංග නම් වූ සක්විති රජු ධර්මානුකූලව පොළොව (රාජ්‍යය) අනුශාසනා කරන්නේ මහත් වූ ආනුභාවයෙන් යුක්ත ඇතුපිටින් ශ්‍රී මහා බෝධිය සමීපයට ගියේය.

ඉක්බිති රජුගේ පුරෝහිතයා රජු සමග යන්නේ අහසෙහි ආවරණයක් නම් නැත. කවර කරුණකින් රජු ඇතු මෙහෙයවන්නට නොහැකි වේදැයි විමසන්නෙමියි අහසින් බැස සියළු බුදුවරුන්ගේ ජයපළඟ වූ පොළොවෙහි නැඹ වූ මහමෝමැඩ දුටුවේය. එකල්හි එහි රාජකීය මිනුමෙන් අටකිරියක් පමණ තැන සාවුන්ගේ දැලි රැවුල් පමණුදු තණ ගසක් නම් නැත. රිදීපටක පැහැ ඇති වැලි විසුරුනේ වෙයි. හාත්පස තණකොළ-වැල්-වනස්පතීහු බෝමැඩ ප්‍රදක්‍ෂිණා කර කරකැවී බෝමැඩට අභිමුඛව සිටියාහුය. පෙරෙවි බමුණා බිමිකොටස බලා මෙය සියළු බුදුවරුන්ගේ සියළු කෙලෙස් නසන තැනයි. මෙහි මතු භාගයෙන් ශක්‍ර ආදීන් විසින්ද යන්නට නොහැකි යයි සිතා කාලිංග රජුගේ සමීපයට ගොස් බෝමැඩෙහි වර්ණනාව කියා රජු බිමට බසුවයි කීවේය.

කාලිංග භාරද්වාජ පුරෝහිත බමුණා බිම පරීක්‍ෂා කර බලා චක්‍රය ප්‍රවර්තනය කරන (සක්විති වූ) මේ තවුසාගේ පුත් වූ කාලිංග රජුට බඳෑදිළිව මේ බව කීවේය.

යම් සේ මෙම භූමිභාගය බුදුවරුන් විසින් වර්ණනා කරන ලදද මහරජතුමනි, බිමට බසුව. මෙහිදී අපමණ වූ බුදුවරු බුද්ධත්වයට පත්වූවාහු බබළති.

මේ භූමිභාගයෙහි තෘණ ලතාවෝ දක්‍ෂිණාවෘතව කැරකැවී සිටිති. මහරජතුමනි, මෙය මහාපොළොවෙහි උසස් තැන යයි අප විසින් අසන ලදි.

මේ ස්ථානය සයුර කෙළවර කොට ඇති සියළු සතුන් දරා සිටින්නා වූ පෘථිවියෙහි උසස් තැනයි. බැස නමදිනු මැනවි.

මවගෙන්ද පියාගෙන්දැයි (උභය පාර්ශ්වයෙන්ම) උසස් වූ ජන්ම ඇති යම් මේ ඇත්තු වෙත්ද? ඒ ඇත්තු මෙතෙක් කල් මේ ප්‍රදේශයට නොඑළඹෙත්මය.

ඔබගේ ඇතා උසස් ජන්ම ඇත්තියෙකි. දළ ඇති ඒ ඇතු ඒකාන්තයෙන් මෙහෙයවේවා! මෙතෙක් මේ ප්‍රදේශය ඇතුපිට නැගී එළඹෙන්නට නොහැකිය.

කාලිංග රජු ඒ අසා පණ්ඩිත වූ ලක්ෂණ ශාස්ත්‍ර දන්නා වූ ඒ බ්‍රාහ්මණයාගේ වචනයට එසේම වන්නේදැයි තත්වූ පරිදි දැනගන්නෙමුයි කියා ඇතු මෙහෙයවීය.

රජතුමා විසින් මෙහෙයවන ලද ඇතා කොස්වා ලිහිණියෙකු මෙන් නාද කර මහත් වූ බරක් නොඉවසන්නෙක් මෙන් පසුබැස සිටියේය.

සියළු බුදුවරුන් විසින් වර්ණනා කරන ලද. අසමාන වූ. අප්‍රමාණ වූ. නසන ලද සියළු කෙලෙස් නම් අඳුර ඇති මධ්‍යාහ්නයේ හිරු මෙන් මෙහි හුන්නාහු බබලත්. යොදුන් දෙලක්‍ෂ සතලිස් දහසක් ඝන වූ පෘථුවියෙහි උසස් වූ සාර වූ මැඩලිය නොහැකි වූ සෙලවිය නොහැකි වූ තැනයි. කල්පය නැවත හටගන්නා කල්හි පළමුව හටගනී. නැසෙන කල්හි පසුව නැසේ. අප විසින් ලක්‍ෂණ ප්‍රකාශිත මන්තර වශයෙන් මෙසේ අසන ලදි. අහසින් බැස සියළු බුදුවරුන්ගේ කෙලෙස් පඳුරු නසන්නා වූ මේ තැනට නමස්කාර කරව. පූජාසත්කාර කරව.

යම් ඒ සක්විති රජුගේ හස්තිරත්නය නම් වූ උපෝෂත කුලයෙහි උපන් ඇත්තු. දියමන්තිමය හෙණ්ඩුවෙන් සංඥා දී මෙහෙයවයි. ඒ ඇතා ඒ රජු විසින් දියමන්තිමය හෙණ්ඩුවෙන් මෙහෙයවා පිටත්කර හරනා ලදුයේ කොස්වාලිහිණි පක්‍ෂියෙකු මෙන් නාදකොට පසුබැස සොඬය ඔසවා බෙල්ල උඩට නවා මහත් වූ බරක් ඉසිලීමට නොහැකි වන්නෙක් මෙන් අහසෙහිම හුන්නේය.

ඒ ඇතු එම කාලිංග රජු විසින් නැවත නැවතත් විදිනු ලබන්නේ වේදනාව ඉවසන්නට නොහැකි වන්නේ කළුරිය කළේය. රජු ඌ මළ බව නොදන්නේ එලෙස හුන්නේම වීය.

කාලිංග භාරද්වාජ බමුණා ඇතා මළ බව දැන කාලිංග රජුට මෙසේ කීවේය. මහරජතුමනි, ඇතා මළේය. අන් ඇතෙකු වෙත එළඹෙවයි.

තොපගේ ඇතා මරණයට පත් වූයේය. කවරක් කරන්නාහු නමුත් ඇතු පිට හුන්නහු විසින් බෝමැඩ මත්තෙන් යන්නට නොහැකිය. අන් ඇතෙකු වෙත මාරු වෙවයි.

රජුගේ පුණ්‍යමය සෘද්ධි බලයෙන් උපොසථ කුලයෙන් අන් ඇතෙක් අවුත් පිට නැමුවේය. රජු උගේ පිටෙහි හුන්නේය. එකෙනෙහිම මළ ඇතා බිම වැටුනේය.

කාලිංග රජු ඒ අසා වහා අන් ඇතකු පිට නැගුනේය. රජ මාරුවූ කල (මළ) ඇතා එහිම බිම වැටුණි. පණ්ඩිත වූ බමුණාගේ වචනය යම්සේ වීද එසේ ඇතු (මරණයට පත්වූයේ) වීය.

ඉක්බිති රජු අහසින් බැස බෝමැඩ බලා පෙළහර දැක භාරද්වාජට ස්තුති කරන්නේ (මෙසේ) කීවේය.

කාලිංග රජු කාලිංග භාරද්වාජ බමුණාට මෙම වචනය කීවේය. ඔබම සියල්ල දන්නා වූ දක්නා වූ සම්බුදු වෙහිය.

කාලිංග බ්‍රාහ්මණයා එය නොඉවසන්නේ තමා පහත් තැනෙහි තබා බුදුවරුන්ම උසස්කොට වර්ණනා කළේය.

කාලිංග බ්‍රාහ්මණයා එම වචනය නොඉවසන්නේ මෙය කීවේය. මහරජතුමනි, අපි ලක්‍ෂණ ශාස්ත්‍රය දන්නෝ වෙමු. බුදුවරු සියල්ල දත්තෝ වෙති.

බුදුවරු ලක්‍ෂණ ශාස්ත්‍රයෙන් නොව, සර්වඥතාඥානයෙන් සියල්ල දන්නාහුය. සියල්ල අවබෝධ කළාහුය. අපි උගත් දෙය බලය කොට ඇත්තෝ එක දේශයක් දත්තෝ වෙමු. බුදුවරු වූ කලී සියල්ල දනිත්.

මහරජතුමනි, අපි ලකුණු දැක විස්තර කරන්නට සමර්ථ වූවෝ වෙමු. එහෙයින් සුතබුද්ධ නම් වෙමු. බුදුවරු වනාහි සියල්ල දත්තෝය. සියල්ල අවබෝධ කළාහුය. බුදුවරු අතීතාදී සියල්ල දනිත්. ප්‍රකාශ කරත්. උන්වහන්සේලා සර්වඥතාඥානයෙන් සියල්ල දනිත්. ලක්‍ෂණ ශාස්ත්‍රයෙන් නොවේ. අපි වනාහි තමා උගත් ශිල්ප බලයෙන්ම දනිමු. එය එක් කොටසකි. බුදුවරු සියල්ල දනිත් යයි.

රජු බුද්ධ ගුණයන් අසා සොම්නසට පත් වූයේ වී සියළු සක්වල වැසියන් ලවා බොහෝ සුවඳ හා මල් ගෙන්වා බෝමැඩ සත්දිනක් බෝධිපූජාව කරවීය.

වාදනය කරනු ලබන නොයෙක් තූර්යයන්ගෙන් බෝධියට ගරුකොට මල් ගඳවිලවුන් ගෙනවුත් පවුර වටකිරීම කරවීය. ඉක්බිති රජු පිටත්ව ගියේය.

කාලිංග රජු ගැල් සැටදහසක් මල් රැස් කරවීය. උතුම් බෝමැඩ පිදුවේය.

මව්පියවරුන්ගේ සමීපයට ගියේය. හෙතෙම මහබෝ මැඩහි අටළොස් රියනක් උස රන් ටැඹක් නැංවීය. එයට සත්රුවන් මුවා වේදිකාවක් කරවීය. රුවන් මිශ්‍රවූ වැලි විසුරුවා පවුරින් වටකිරීම කළේය. සත් රුවන්මය දොර කොටුවක් කරවීය. දිනපතා සැටදහසක් මල් ගැල් රැස්කරවීය. මෙසේ බෝමැඩ පිදීය.

මෙසේ මහා බෝධිපූජා කොට ගොස් මව්පියන් කැඳවාගෙන දන්ත පුරයටම අවුත් දන්දීම් ආදී වූ පින්කර තවුතිසා භවනයෙහි උපන්නේය.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, ආනන්ද තෙරුන් දැන් පමණක් නොවේ. පෙරද බෝධිපූජා කළේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි කාලිංග රජු ආනන්ද හිමි වීය. කාලිංග භාරද්වාජ බ්‍රාහ්මණයා මම ම වීමි යයි වදාළ සේක